බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, November 23, 2022

ෆේස්බුක් කුමාරයා..

 


------------------------------------------------------------------------මිනුවන්ගොඩ කොරෝනා ලෙඩෙක් සොයාගත්තා යැයි ගුවන්විදුලියේ හදිසි පුවතකින් දැනුම් දෙද්දී ඇය සිටියේ මහන මැෂිමේ බඳේ හිස තියාගෙන හඬමින්‍ ය. හැමදාමත් ඇගේ තනි නොතනියට සිටින බලු කුක්කා ඇගේ පාද යුගල උඩ නිදාගෙන හුන්නේය. ඇගේ දෙනෙතින් ගලා ගිය කඳුලු කැට බලු කුක්කාගේ ඇඟ මත වැටී පොලොව සිප ගත්තේය.

ප්‍රවෘත්තියෙන් තැතිගත් ඇයගේ හිස ඉබේම ඉහළට එසවුනාය.

"මිනුවන්ගොඩ කියන්නේ මහ දුරක් යැ. එහෙනම් මෙහෙත් හැම තැනම ඇති.ඔය ගාමන්ට්ටෙකේ කී දෙනෙක් මෙහේ ඉන්නවද?"

ඇය තමන්ටම කියාගත්තාය.

ඒක වෛරස් එකක්. බෝ වෙන්නේ කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට කෙල බිඳිති වලින්. වෛරස් එක ආවේ චීනෙන්. ඒක හරියට බක්මී ගෙඩිය වගේ. ලෙඩෙන් බේරෙන්න මාස්ක් දාන්න ඕනි.අත් හෝදන්න ඕනි. තමන්ගේ මැහුම්හලේ සාරි ජැකට්, මදුරු දැල් මැසූ ඇය මාස්ක් මහන්නට අදිටන් කරගත්තාය. රෙදි ගේන්න හෙටම කොලඹ යන්න ඕනි. ඇය සිතුවාය.

බීමත් සැමියා ඊයේ රෑ එල්ල කල ගුටි බැට පූජාවෙන් ශේෂ වූ දෑත් වල රතු පැහැ ගැන්වුනු පැල්ලම් දෙස බලමින් ඇය යළිත් හඬන්නට පටන්ගත්තාය.

"ඕකගේ අත් වලට හෙන හතම ගහන්ඩ ඕනි. මම ඉවසගෙන ඉන්නේ ළමයි දෙන්නා නිසා. නැත්තන් යනවා හිස හැරුණු අතේ."

ඇය කෝපයෙන් තමාටම කියාගත්තාය.

යාන්තම් අවුරුදු දහ නමයේ එලිපත්තට බට ඇයට ඇගේ මව්පියන් විවාහා යෝජනාවක් ගෙනාවෝය. මේසෙන් බාස් කෙනෙක්. කොන්ත්‍රාත් ගන්න කෙනෙක්. කිසිදා මව්පියන්ට අකීකරු නොවූ ඈ හිස වැනුවාය.

"අම්මලට ඕනි වුනේ මගෙන් නිදහස් වෙන්න"

අවුරුදු විස්ස විසි දෙක වෙද්දී ඇය මව් පදවිය ලැබුවාය. දුවයි ...පුතයි... 

"ඔය මිනිහා ඉස්සර ඔහොම නෑ. වෙනස් වුනේ කෙල්ලට අවුරුදු දාසයත් පැන්නම. ඔය ගල්කන්ද පැත්තේ හොර ගෑණියෙක් ලෑස්ති කරගෙන. ඔය ගෑණි තමයි මිනිහව වෙනස් කලේ.."

"ඔය ගෑණිට මං කුඩයක් කැඩෙනකල් ගහලත් ඔය සම්බන්ධෙ නැවැත්තුවේ නෑනේ.. අපේ මිනිහා අනුන්ගේ කුඹුරු වල හී හානවා"

පසුදා උදෑසන ඇය කොලඹ ගොස් මුව වැසුම් මැසීමට අවශ්‍ය රෙදි රැගෙන ආවාය.

"අද රෑ ඉඳං රට වහනවලු"

"නෑ.... මොකේද කිව්වේ"

"දැන් සිරසෙ කිව්වේ"

"අම්මලා පරිස්සමෙන් ඉන්න. වයසක අයටලු හොඳ නැත්තේ"

"මොකද උඹේ මූණ තඩිස්සි වෙලා"

"අර යකා පෙරේදා රෑ මාව මරාගෙන කන්ඩ ආවා. පූරුවේ පව් ගෙවනවා"

"කෝ ඉඳපං මම සිද්ධාර්තේ ගාන්න"

"සිද්ධාර්තෙට බෑ මගේ හිතේ තැලුම් වේදනා  නිවන්න.."

"අපි පොලීසි යමු බැරිමනම්"

"ගෙයි ගිනි පිටට දෙන්න හොඳ නෑලු"

"ඕකාගේ පාරක් නරක තැනක වැදුනොත්"

"එහෙමවත් මැරෙන එක සැපයි"

ඇගේ මවද තම දියණියගේ ප්‍රශ්ණයෙන් සිටින්නේ හිතින් හොඳටම ඔත්පලවය.

"අපියි උඹව මේ අමාරුවේ දැම්මේ."

"නෑ අම්මේ ඒ ලැබීම. කරුමේ වලක්කන්න බෑ"

"මොකද්ද අර ඉස්සරහ තියන පඳුර?"

"ආ ඕක දං පඳුරක්. මී මැස්සෝ බඹරු සමනලයෝ එනවා කියලා හිටෙව්වේ. කෝ තාම මල් පිපුන්නෑනේ"

"ලඟදි මල් පිපෙයි..."

බලු කුක්කා උඩු බුරලෑවේය. 

"චුප් බල්ලා"

බලු කුක්කා සංසුන් විය.

කවුදෝ කොහේදෝ නොදත් බලු පැටියෙක් ඇගේ රෙදි කඩය ඉදිරිපිටට ගෙනත් දමා තිබිණ.

"පවුකාර මිනිස්සු"

ඇය තමාටම පවසාගෙන බලු කුක්කා එලියෙහිම තබා ඌට ලගින්නට කාඩ්බෝඩ් පෙට්ටියක් කඩ කෑල්ලේ ඉස්තෝප්පුවේ පනවා දිනපතා කෑම බීමාදියෙන් සංතර්පනය කලාය.

අන්තිමේ කඩය ඇතුලට ආ කුක්කා නවාතැන කරගත්තේ මහන මැෂිමේ පැඩලයයි. මෝටර් ස්විචයට පය තබාගෙන රෙදි මහන ඇයට පැඩලයේ අවශ්‍යතාවයක් නොවීය. ඇයද කිසිවකුටත් කරදරයක් නැති කුක්කාට මහන මැෂින් පැඩලයේ ඉඩ ලබා දුන්නාය. බොහෝ විට කුක්කාගේ උණුසුම ඇගේ පා යුග වලට දැනුනේ ඇයද පා තබා සිටින්නේ පැඩලය මත නිසාවෙනි.

"මං රුවල් ඉරිලා ඔහේ පාවෙන නැවක් වගේ. උඹට ස්වාමියෙක් ඉන්නවා. ඒත් මට...?

කමක් නෑ නාමිකව   පඹයෙක් හරි ඉන්නවනේ"

ඇය තමාටම කියාගත්තාය.

"මිනිස්සු දන්නවනම් මම බල්ලත් එක්ක කතා කරනවා කියලා හිනාවෙයි මට පිස්සු කියලා"

ඇය තනිවම සිනාසුනාය.

මිනුවන්ගොඩ මාස්ක් තොග විකුණන තැන් කීපයකින් ඇයට ඇනවුම් ලැබුනේය. රට වසා දැමිණි. ඉදිරියෙන් දොර වසා ඇය අලුත් ඇනවුම් ලහි ලහියේ සූදානම් කලාය.

"මාත් හරියට මැස්මක් වගේ මැහීගෙන මැහීගෙන මැහීගෙන ගිහිං එක තැනටම ඇලීගෙන ඉන්නවා"

"අක්කේ හොඳ පෝන් එකක් ගන්ඩකෝ. ෆේස්බුක් එකක් හදාගත්තම පාලුවක් නෑ. යූ ටියුබ් එකෙත් නැති දෙයක් නෑ. ෆේස්බුක් එකෙන් ඔය කවුරු හරි අල්ලගත්තම චැට් කරන්ඩත් පුලුවන්. අනික වෙස්සන්තරලා වැහි වැහැලා ෆේස්බුක් එකේ.."

"ඉස්සර වෙස්සන්තරලා නෙවෙයි දැන් ඉන්නේ. වෙස්සන්තරලගෙන් ගත්තොත් හාන්සි වෙන්ඩම වෙනවා."

ඇගේ යෙහෙළියක් ඇගේ හිසේ රෝපනය කල බීජය ප්‍රරෝහනය වී දැන් මහ ගසක් වී තිබේ.

"පෝන් එකක් ගන්ඩ ඕනි. කඩේ ඉස්සරහින් වහගෙන මේක ඇතුලේ තට්ට තනියම දවසම ඉන්න ගියාම ජීවිතේ එපා වෙනවා "

"ඇඳිරි නීති තිබ්බත් රංපොකුණුගම ස්කීම් එකේ පෝන් කඩෙන් පෝන් ගෙනත් දෙනවා"

"මල්ලිට පුලුවන්ද බලලා මටත් එකක් ඕඩර් කරලා දෙන්න"

"අපෝ පුලුවන්.දවසක් දෙකක් යයි."


ඇගේ මාස්ක් ව්‍යාපාරයද බලා ඉද්දී දියුණු විය.

"ඒත් කොච්චර හම්බ කරත් මොකටද? හිතේ සතුටක් නැතිකොට."

ඇයට අලුත් දුරකතනය ලැබුනාය. එහේ මෙහේ හරවා බැලූ ඇයට පුංචි දුරකතනය සමග සැසඳූ කල එය මහා විකාරයක් විය.

"ටික දවසක් යද්දී පුරුදුවෙයි."

ඇය තමන්ටම කියාගත්තාය.

"මල්ලි මේකේ මට ෆේස්බුක් එක හදලා දෙනවද?"

"හා අක්කේ නම දාන්නේ මොකකද?"

"කුමාරි සී කුමාරිකියලා දාන්න"

"සී කියන්නේ"

"චන්ද්‍රිකා ඒක කෙටි කරලා දාන්න."

"උපන් දිනේ"

"එක්දාස් නමසිය හැත්ත හතේ....."

"පොටෝ එකක් දාමුද?"

"අපෝ එපා. රුවන්වැලි සෑයේ පොටෝ එකක් දාන්න."

"යාලුවෝ ඉන්නවද ඇඩ් කරන්න"

"මල්ලි ඔයාව ඇඩ් කරගන්න. මා එක්ක සැලූන් ඩ්ප්ලෝමා එකට එන යාලුවෝ තුන් හතර දෙනෙක් ඉන්නවා ඇඩ් කරලා දෙන්න."

"අක්කේ ෆේස්බුක් කියන්නේ දැළි පිහියෙන් කිරි කනවා වගේ තමයි. නොදන්න අය ඇඩ් කරගන්ඩ එපා. සාන්තුවරයෝ වගේ ඉන්නේ දෙකයි පනහේ යක්කු. සමහරු ජීවිතත් නැති කරගන්නවා ෆේස්බුක් පලහිලව් නිසා. ආ මෙන්න හරි. මේකෙන් තමයි පෝස්ට් දාන්නේ. මේක ෂෙයාර් බටන් එක. මේක ලයික්. මේක කොමෙන්ට්. මේකෙන් තමයි රික්වෙස්ට් යවන්නේ. මේකෙන් තමයි රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන්නේ. ආ මෙන්න පෝන් එක. ඕක ටික දවසක් යද්දි පුරුදු වෙයි "

ඇයගේ සිතේ සතුට දෝරේ ගලා ගියාය. ගස් කොලන් සොලවා සුලඟක් හමා ගියේය.ශාක පත්‍ර ලහි ලහියේ බිම පතිත විය. අහස කලු පාට සලුවකින් වැසී ගියේය. මහා අකුණක් පොලොවට පතබෑ විය.

"වැස්සක් දෙන්ඩයි යන්නේ.. මම යනවා මල්ලී."

අහස ගුගුරා මහ වැස්සක් පොලොවට පතිත විය.

"අකල් වැස්සක්. මේක වහින කාලයක් යැ.. "

ඇය ටිකෙන් ටික  අලුත් ඇත්දැකීමට හුරු වූවාය. ඇගේ යෙහෙළියන් හා සංවාදයන්ට පිවිසුනාය. යූ ටියුබ් ඔස්සේ අලුත් මැහුම් රටාවන් උගත්තාය. ඇය අලුතින් ආරම්භ කරන්නට සිතා සිටින සැලූනයට අවශ්‍ය බඩු බාහිරාදිය නැරඹුවාය. 

"සැලූන් එක දාලා දියුණු කරගත්තොත් මේක වහලා දානවා. දැන් මහලා ඇති වෙලා. පෝන් එක කඩේ දාලා යන්ඩෝනි. අර මිනිහා දැක්කොත් මාව මරං කයි.". 

අනේකවිද පිරිමින්ගෙන් ඇයට මිතුරු ඇරයුම් ගලා එන්නට විය. සමහර විට දවසට දහය පහලොවක්.ඇය තහවුරු කලේ කාන්තාවන්ගෙන් ලද මිතුරු ඇරයුම් පමණි. එහෙත් හොඳින් සොයා බලාය.

"පොටෝ එකක් නොදාත් මෙච්චර එනවනම් පොටෝ එකක් දැම්මනම් කොච්චර එයිද? අනික උන් ඇඩ් නොකරගත්තම හායි හූයි කියලා එවන මැසේජ්. ලංකාවේ ගොඩාක් පිරිමි මානසික අසහනයෙන්... ලිංගික අසහනයෙන් ජීවත් වෙන්නේ. පිට ගෑණියෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න තමන්ගේ ගෑණිව පාවලා දෙනවා. අපේ එකාත් එහෙමනේ. මං ගැන කොච්චර වැරදි අර ගෑණිත්තෙක්ක කියන්න ඇද්ද? හංදි ගානේ බණ ඇහෙන රටේ කවුරුවත් ඒ ධර්මයට අනුව ජීවත් වෙන්නෑ. ඒත් ආගමට මොකක් හරි ඇබැද්දියක් වුනොත් කඩු පොලු අරං දුවන්නේ. දැක්කෙ නැද්ද මිනුවන්ගොඩ මුස්ලිම් කඩවලට ගහපු වෙලේ මෙහේ කසිප්පු රංජියයි.. උගේ කසිප්පු කස්ටර්මර්ස්ලයි.. කුඩු ගංජා බිස්නස් කාරයොයි.. කුඩ්ඩෝ ටිකයිනේ ඉස්සර වුනේ.."

ඉදිරියෙන් වැසුනු දොර පියන් අතරින් 1990 ඇම්බියුලන්ස් රථ හඬ නඟාගෙන එහා මෙහා යනවා ඇයට යන්තමින් පෙනින.

"අපේ ගමේ ගාමන්ට් කෙල්ලොත් අරං ගියාලු අද ඇවිත්. ආරංචියේ හැටියට යකහටුවේ ගාමන්ටෙකේ බර ගානක් ඉන්නවලු. මහ කරුම ලෙඩක්."

මාස්ක් ගෙන යාමට ඇඳිරි නීති මධ්‍යයේ වුව ගැණුම්කරුවන් පැමිණියෝය. 

"සාරි ජැකට් මහනවාට වඩා මේක ලාබයි"

ලද හැම විරාමයේදීම ඇය මුහුණුපොතේ ඉහල පහල ගියාය.

"මේ අර සැලූන් එක කරන අපේ ඩිප්ලෝමා එකට එන ගෑණි නේද? දාන්නෙම පත්තිනි පෝස්ට්. එවුනාට පංතියට එන්නේ වෛවාරන හොර මිනිස්සු එක්ක.ඒ ගෑණිට ඔය පදින ස්කූටිය අරං දිලා තියෙන්නෙත් හොර මනුස්සයෙක්ලු..අර පල්ලෙවෙලත් ලී කඩ අයිතිකාරයෙක් ඉන්නවා කියන්නේ ගෑණිගෙන් ලැබුණු බූදලේ ඔක්කෝම හොර ගෑණුන්ට බෙදනවලු. හතරමහා නිධානේ ගෙනල්ලා ගෑණුන්ගේ දෙපා මුල අතෑරියම ගෑණු රැවටෙනවා. ඌ ගෝරිල්ලෙක් උනත් කමක් නෑ.. ඒ ආදරෙත් වාණිජකරණය වෙලා දැන්.."


ඇය තනිවම සිනාසුනාය.

"කෝ මේ බලු කුක්කා උදේ ඉඳං හිටියෙ නෑ. යන්ඩ ඇති දඩාවතේ."

අමුතු මිතුරු ඇරයුමක් ඇවිත් දින ගණනක් බලා හිඳිනු ඇය දුටුවාය.

"සංසාර සෙනේහේ"

ප්‍රොෆයිල් පිංතූරේ ලංකා සිතියම වටේට මැණික් ගල්.. පදිංචිය රක්වාන. ගොඩාක් පෝස්ට් කරලා තිබ්බේ සඳැස්.. නිසඳැස්...

"පිරිමියෙක්ද... ගෑණියෙක්ද.. ඕපපාතිකයෙක්ද කියලා දාලා නෑ.. ඇඩ් කරනවද නැද්ද?"

ඉස්සර මිනිස්සු තමන්ගේ පම්පෝරිය ලංකාවට කිව්වේ රේඩියෙකේ ප්‍රවෘත්ති ඉවර වෙලා ගිය අවමංගල්‍ය නිවේදන වලින්. දැන් මිනිස්සු තමන්ගේ පම්පෝරිය රටට කියන්නේ ෆේස්බුක් එකෙන්. ඉස්කෝලෙ නොගිය උන්ටත් මොකක් හරි කැම්පස් එකක ඩිග්‍රියක් තියෙනවා ෆේස්බුක් එකේ.

ඇය ඒ වන විට සිටියේ ඔහුගේ ඇරයුම පිලිගන්නවාද, ප්‍රතික්ෂේප කරනවාදැයි තෝරාගත නොහැකි අස්ථානයකය.

"මේ මඟුල නිසා මාස්ක් ඕඩරෙත් දීගන්න බැරි වෙයි. ඕෆ් කරලා දානවා."

අමුතු ඇරයුම අනුමතය හෝ ප්‍රතික්ෂේපය ඇය පසුවට දැමුවාය.

"මේ කරුම ලෙඩේ කවදා තුරන් වෙයිද මංදා

. . හිරකාරයෝ වගේ ඉඳලා ඇති වෙලා ."

"ඒත් ලෙඩේ තුරන් උනොත් මගේ මාස්ක් ඕඩරේ ?"

"මාස්ක් ඕඩරේ නැතිවුනත් කමක් නෑ ලෙඩේ තුරන් වෙනවනම්.. අපි එහෙම හිතුවට හක්දියේ කඩේ මුදලාලියා එහෙම හිතන්නෑ.. ඌ කිව්වලු කොරෝනා හැමදාම තියෙනවනම් හොඳයි කියලා. උගේ දින පනින්න ලඟ බඩුත් සේදිලා ගියාලු. කුණු පෙරේතයා. දරුවෙක් මල්ලෙක් නෑ.ඒ වුනාට පොදි ගහනවා."

ලද විරාමයෙන් ඇය යලිත් දුරකථනය අතට ගත්තාය.

"බලමු අර සංසාර සෙනෙහේ කවුද කියලා"

ඇය මිතුරු ඇරයුම අනුමත කලාය.

"සමනලයො රොත්තක් කඩේ ඉස්සරහින් පියෑඹුවේ සිරීපාදෙ යනවද? ඒත් මේ අවාරෙනේ"

"හායි.."

අනුමත වූ සැනින් ඇයට පණිවිඩයක් ලැබුණි.

"කවුද.. කොහෙද?"

"මම රක්වානේ. නම ප්‍රියන්ත.ජෙම් බිස්නස් කරන්නේ. ඔයා?"

"මොකද තමන්ගෙ නම නැතුව හොර එකවුන්ට් හදන් ඉන්නේ. මගේ ඇත්ත නම තමයි තියෙන්නේ ඔය."

"කෝ ඔයාගෙ පොටෝ එකක් නෑනේ"

"කියන එක්කෙනාගෙත් නෑනේ"

"ඉන්ඩ මං එවන්නම්"

"හා එවන්ඩ මම ආය ආවම බලන්නම් මට වැඩ තියෙනවා. මම යනවා"

"ආය කීයටද එන්නේ"

"බලමු . වෙලාවක් කියන්ඩ බෑ"

ඇය ස්විචයේ පා තැබුවාය. මැසිමේ රෝදය කැරකුණි. නූල් පන්දුව සතුටෙන් මැසිම උඩ නැටුවේය. මාස්ක් රෙද්ද උඩ යට නූලකින් බඳිමින් ඉඳිකටුව ඉහල පහල ගියේය.

"මැහුවට කවුද දන්නෑ මැසිම හොයාගත්තු එකා. කුක්කෝ උඹ දන්නවද?"

කුක්කා හෙමින් කෙඳිරියක් නැගීය.

"උඹ දන්න මගුල..."

වෙලාවක් කියන්ඩ බෑ කිව්වට යළිත් ඇය දුරකතනය අතට ගත්තාය.

"මේක අබිං වලට වඩා සැර ඇබ්බැහියක්."

ඔහු තවමත් සක්‍රීයව සිටිනු ඇය දුටුවාය.

"ගිය ගමන් ආවා නේද?"

ඔහු එසැණින් ඇයට පණිවිඩයක් යොමු කලේය.

පිළිතුරු දෙම්ද නොදෙම්ද ඇය සිටියේ අස්ථානයකය .

"රිප්ලයි කලා කියලා ඇඟේ වදින්නෑනේ"

"ඔව්...." ඇය පිළිතුරු බැන්දාය.

"ඔයාගේ පොටෝ එකක් දාන්න."

"ඉස්සෙල්ලා ඔයා දාන්ඩ. ඊට පස්සෙ මම දාන්නම්."

"ඔන්න දැම්මා"

"හ්ම් ලස්සනයි.වයස කීයද?"

"28යි"

"මම ඔයාට වඩා ගොඩක් වයසයි"

"කීයද?"

"මට හතලිහක්. ළමයි දෙන්නෙක්ගේ අම්මෙක්"

"ආදරේට වයසක් නෑ "

"මේන් බලපල්ලකෝ දැන් කවුද ආදරෙයි කිව්වේ. මම කතා කලේ මනුස්සකමට. අම්මා කෙනෙක්ට ආදරය කරන්න පුලුවන් ළමයිට විතරයි."

ඇය මූනිච්චාවට එසේ කීවත් ඔහු ගැන ඇගේ යටිසිතේ හැඟුමක් මෝදුවෙමින් තිබුණාය.හඳ කොච්චරකල් බලන් හිටියද පායන්න.

"ඔයාගේ පොටෝ එකක් දානවද බලන්න."

"මේ නාකි මගේ පොටෝ මොකටද අනේ"

ඇය අවසන ඇගේ දුරකතනයේ හොඳම පොටෝව තෝරා ඔහුට යැව්වාය.

"ලස්සනයි."

"බොරු කියන්ඩෙපා"

"සත්තයි හැම ගෑණිම ලස්සනයි"

"මාව කිරල අතු උඩ තියන්ඩ එපා. කඩා වැටෙයි."

"ජෙම් බිස්නස්කාරයෙක්නම් සල්ලි ඇති."

"වීඩියෝ කෝල් එකක් ගන්න මැණික් පෙන්නන්ඩ"

"දැන් බෑ. මම ගෙදර ගිහින් කාලා ඇවිත් ගන්නම්."

දං පඳුරේ මල් වල රොන් ගන්න මී මැස්සන් පොරබදින හැටි කඩේ ඉදිරියේ වීදුරුවෙ

වීදුරුවෙන් ඇය බලා උන්නාය. ඇය නිවසට ගියත් ඔහු ගැන හැඟුමින් සිත පිරී ගොස් තිබුණි. "ඌට කතා කරපන්"  අගේ යටි සිත කෑගෑවාය. 

දරුවන්ට බත් බෙදා දී දඩි බිඩි ගා දවල් ආහාරය ගිල දමා ඇය යළිත් කඩේට ආවේ ඔහු දකින්නය.

"මාස්ක් ඕඩරේ හෙට ගෙනියන්ඩ එනවා කිව්වා. රෑ වෙනකම් මහන්ඩ වෙයි."

"වීදුරු නිසා ඉස්සරහින් වහගත්තම ඇතුලේ ඉන්ඩ බෑ රස්නෙයි. ඇරලා තියන්ඩත් බෑ පොලීසියෙන් ආවොත්.. අරයට ගන්නවද? නැද්ද? ඒත් ඇයි ඌ මං වගේ වයසක ගෑණියෙක්ට ආදරේ කරන්නේ. ඒක මායාවක්ද මංදා.."

"නෑ එහෙනන් ඔය අපේ ඩිප්ලෝමා එකට එන ගෑණුන්ටත් ඉන්නේ හොර මිනිස්සු. මිනිහා හරියට නැත්නං මං උන්නද මලාද කියලා බලන්නැත්තං මම මොකටද යශෝධරාවක් වෙන්නේ?"

උඩු සිත යටි සිත විවිධ තර්කයන්ගෙන් තඩිබාගනිමින් සිටී.

"කවුදෝ මගේ පපුවට ගිණි තියලා වගේ . හොඳටම කකියනවා."

ඇය දුරකතනය අතට ගත්තාය.

"ගන්නද?"

"වීඩියෝ කෝල්නම් එපා. වොයිස් ගන්න"

"මට 28යි. ඕලෙවල් කරන්නෙත් නැතුව මම දහය වසරෙදි පතල් බැස්සෙ.  ඔයාගෙ පොටෝ එක සිය වතාවකට වඩා බැලුවා"

"මමනම් ඒ ලෙවලුත් පාස්. ඔයා බැඳලද"

"පිස්සුද තාම හිතලවත් නෑ."

"ඇයි මං වගේ බැඳපු ගෑණියෙක්ට ආදරේ කරන්නේ. "

"ආදරේට හේතුවක් නෑනේ. සංසාරගත බැඳීමක් වෙන්ඩ ඇති."

"පිරිමි ලගින්න ආස මූකලන්වල කියල මම කියවපු පොතක තිබ්බා."

"මට ඕවා තේරෙන්නෑ. මට තේරෙන්නේ ගලක් මැණිකක්ද කලු ගලක්ද කියලා බලන්න."

"මම මැණිකක් නෙවෙයි. නිකං ඉරිතලලා ගිය තිරුවාණා ගලක්.ඔයාට පුලුවන් නිල් මැණිකක් හොයාගන්න."

"මගේ නිල් මැණික ඔයා. ඔයා මට ආදරෙයිද?"

"මං දන්නෑ.."

අඩමාන පිළිතුර ජයග්‍රහණයක් බව ඔහුට දැනුනේය.

"ඔයා ගැන ටිකක් කියන්නකෝ"

ගෙයි ගිනි පිටට දෙන්න හොඳ නැතැයි ඇගේ මවට කියූ ඇය ගෙයි ගිනි නන්නාඳුනන පිටස්තරයෙකු ඉදිරියේ කියවාගෙන ගියාය.

ගෑණු පිරිමි ඉස්සරහා ඕනවටත් වඩා අවංක වෙනවා. ඒත් පිරිමි එහෙම නෑ.

"ඔයා පවු. මට ආදරෙයි නේද? මාත් ආදරෙයි."

"ආදරේ වෙනුවෙන් රජවරු රජකමත් අතෑරියා... මම තියනවා. හෙට හවස් වෙනකම් ගන්ඩ වෙන්නෑ. හදිසි මාස්ක් ඕඩරයක් තියෙනවා. මැසේජ් එකක් දාන්නම්"

යුද්ධයක් දිනා පැමිණි සෙන්පතියෙක් රජෙක් ඉදිරියට පැමිණෙද්දී ඇතිවන උද්දාමය වන් හැඟීමක් ඇගේ සිත තදින් අල්ලා සිටියේය.

"ජීවිතේම නිහඬ කල්පනාවක හිරකරන්න බෑ.පපුවේ ගින්න නිවුනා."

ඇය පැඩල් ස්විචයට පා තබා මහන මැෂිම පණගැන්වූවාය.

"කෝ අද මේ කුක්කා. මේ ඉන්නවා. මේ නෑ"

කතා බස් වීඩියෝ ඇමතුම් වලින් දින ගෙවී යනවා ඇයට නොදැනිනි. ඇයට ඔහුවත් ඔහුට ඇයවත් නැතිව තත්පරයක්වත් ගෙවිය නොහැකි තරමට ඔවුන් ලංවී සිටියහ. ඇඳිරිනීතිය තවත් දික් විය. කොරෝනා ලෙඩුන් බුරුතු පිටින් වැඩබිම් වලින් මතු විය.

"මාස්ක් වැඩේට අත් උදව්වට කවුරු හරි ගත හැකි. ඒත් මම කොහොමද ඔයා එක්ක මේ විදියට කතා කරන්නේ."

"කොරෝනා ඉවර උනාම මම ඔයාට සැලූන් එක දාන්න උදව් කරන්නම්. බඩු ටික ගන්න මම සල්ලි දෙන්නම්"

"සල්ලි වලට පූලුවන්ලු ගෑණු දහයක් වුනත් නමාගන්න. ඒත් මම නැමුනේ සල්ලි වලට නෙවෙයි.නොලැබිච්ච ආදරේ ලබාගන්න."

"මම බැලුවේ උදව්වක් කරන්න. සල්ලි හොයන විදිහ සල්ලිවල ගහලා නෑ. අපි දවසක හම්බවෙමුද?"

"විකාරද.. මේ ඇඳිරිනීති අස්සෙ ඔයා එන්නේ කොහොමද ඔච්චර දුර ඉඳං"

"මම කාර් එකේ එන්නේ. නීතියත් නමන ආයුධයක් තියෙනවා මා ලඟ."

"ඒ මොකක්ද ඒ?"

"සල්ලි.."

"බලමු. මාස්ක් ඕඩරේ ගෙනියන්න එනවා හවස. මම පස්සෙ කියන්නම්."

"අද දං පඳුරේ මීමැස්සො පොදිගැහිලා. රොන් වලට පොරබදනවා. "

"අම්මා එනකං දැක්කෙ නෑනේ. ඕකට සමනල්ලු මීමැස්සො එනවා කිව්ව  නිසාමයි හිටෙව්වේ"

" මං එන එක පෙනෙයියැ උඹ සිරික්කිය දාගෙනනේ හිටියේ.ආයෙමත් වලේ වැටෙන්නද යන්නේ?"

"අමුතුවෙන් වැටෙන්න වලක් මට නෑ. ඩිප්ලෝමා පංතියේ යාලුවෙක් කතා කලේ."

"මගේ කොණ්ඩෙ පැහුණේ නියඟෙට නෙවෙයි බං"

ඇය  මැසූ මාස්ක් එකක මැහුම දිහා ලැජ්ජාවෙන් බලන් උන්නාය.

"ආං මාස්ක් ගෙනියන්ඩ ඇවිත්."

"අම්මට පුලුවන්ද පෙට්ටි දෙක තුනක් ඉස්සරහට ගිහිං දෙන්න. මම ලොකු පෙට්ටි ටික ගන්නම්."

"මගේ අත පය දැන් දිරාපු දර කෝටු. කෝ දියං"

දින සති ගෙවෙනවා නොදැනුණේ වසංගතය  නිසාද ඔහු නිසාදැයි ඇයට නොවැටහින. 

"ඔයා බොනවද?"

"කටේවත් තියන්නෑ"

"හවසට වැටෙන්න බොන පිරිමිත් උදේට කියන්නේ බොන්නෑ කියලා තමයි."

"අම්මපා බොන්නෑ"

"හ්ම් ඒක හොඳයි."

"ඒ ඇයි?"

"පිරිමි බොන තැන්වල කටගැස්මට ගන්නේ තමන්ගෙ හොර ගෑණුන්ව. මම කැමති නෑ කාගෙවත් කටගැස්මක් වෙන්න."

"අපි හම්බෙන්නැද්ද සුදූ. මම ඔයාට හෙයා ස්ට්‍රේට් මැෂින් එක්කුත් ගත්තා තෑගි දෙන්න."

"මහත්තයා මරදගහමුල වැඩකට යනව කීවා. ඔයා අනිද්දා උදේ එන්න. ඇඳිරි නීතිය සල්ලි වලින් නමලා ඔයාට එන්න පුලුවන් කීවනේ. මම කොහොමත් කඩේ වහගෙනනේ ඉන්නේ. මම පාර කියන්නම්"

"අපි කොහේ හරි යන්. ඔයා මේන් රෝඩ්ඩෙකට එන්න."

"හ්ම්ම්ම්.. ඒක එවේලෙට බලමු"

ඇය එදින උදෑසන සිටම කණ්නාඩිය ඉදිරියේ හිඳිමින් මුහුණේ විවිධ ක්‍රීම් වර්ග ඇතිල්ලුවාය. හෙනා වලින් කලු ගැන්වූ කොණ්ඩයේ සුදු කෙස් ගස් මතුව ඇත්දැයි බැලුවාය. ඇහිබැම සැකසුවාය.  

" මම නාකි පාටද?"

ඇය කණ්නාඩිය ඉදිරියේ ඇයගෙන්ම විමසුවාය.

"නෑ තාම දහ අටේ කෙල්ල වගේ ඉන්නෙ ඔය"

ඇය ඇයටම පිළිතුරු සැපයුවාය.

ඈ සතු හොඳම ගවුම බෑගයේ ඔබාගත්තාය.

"කඩේට ගිහිං ඇඳගන්නවා. මේක ඇඳන් ගියොත් අර යකා සැක කරාවි."

තම සැමියා ගෙයින් පිටවනතුරු හිඳ ඇයද ගෙයින් පිටවූවාය.

අඩක් වැසූ ඇගේ වෙළඳසැලේ සිට ඔහුට ගමන්මඟ විස්තර කලාය.

"ඔයා දැන් කිට්ටුව ඉන්නේ. ගල්කන්දෙ වෙන්දේසි ඉඩම ඉස්සරහ ඉන්න. මම කඩේ වහලා එන්නම්."

ඇය ඔහුගේ කාර් රථය වෙත දිව ගියාය. ඔහු කාරයේ දොර විවර කලේය. ඇය කාර් රථයට ගොඩ වූවාය.

"කාර් එක ලස්සනයි.පොටෝ එකට වඩා ඔයා වෙනස්"

"මාස්ක් එක ගලවන්න"

ඇය මුව වැස්ම ගැලෙව්වාය.

"ඔයත් වෙනස්"

",මම මහන මාස්ක් එකක් මේක"

"හැමෝම ෆේස්බුක් දාන්නේ තමන් ගාව තියෙන හොඳම පොටෝ එක.."

"අපි කොහෙද යන්නෙ"

"ආරක්ෂිත තැනකට"

කාර් රථය ඇදී ගියේ මිනුවන්ගොඩ දෙසටය. මිනුවන්ගොඩ අඹගහවත්ත හංදියේ ලැගුම් හලක පිටුපස දොරින් කාරය ඇතුලු විය. "රක්වානේ ඉඳලා ඇවිත් කොහොමද මේ ගුබ්බෑයම් හොයාගත්තේ.අනික මේවා කොරෝනා නිසා වහන්න කියලනේ තියෙන්නේ."

"ඔයත් ඉස්සරහින් වහලා පස්සෙන් ඇරගෙන ඉන්නේ. ඒ වගේ තමයි මේකත්. හොයාගත්තේ ඉන්ටනේට්ටෙකෙන්."

"යන්ඩ වෙන තැනක් තිබ්බෙම නැද්ද? මම හෙව්වේ මේවා නෙවෙයි පපුවට දැනෙන ආදරයක්.පපුව පැලෙන ආදරයක්."

"මම ඔයාට ආදරෙයි සුදූ.අපිට යන්ඩ වෙන තැනක් නෑනේ."

ඔහු ඇයගේ අත අල්ලාගත්තේය.

සේවකයෙක් ඇවිත් ඔවුන්‍ට මඟ පෙන්නුවේය.

"සර් මෙන්න ටවල්. වතුර ඇති. මොකුත් ඕනි වුනොත් කෝල් එකක් දෙන්න.."

"මම කැමැත්තෙන් හිටියේ ඔයා කුස රජ්ජුරුවෝ වෙයි කියලා."

"කවුද කුස රජ්ජුරුවෝ කියන්නේ"

"ඒකවත් දන්නැද්ද? ෆෑන්නෙක දාන්න රස්නෙයි."

ඇය ඇඳේ දිගාවී ෆෑන් එකේ තටු වේගයෙන් කැරකෙනවා බලා සිටියාය. ඇය සිහින ලොවකට සෙමින් සෙමින් ඇදී යමින් උන්නාය. ඔහු ඇයව ගෙනැවිත් බස්සන විට පැය තුන හතරක් ඉක්ම ගොස් තිබිණ.

"ආ ඔයාගේ ස්ට්‍රේට් මැෂින් එක ගත්තද?"

"ඔව් මේ තියෙන්නේ. කෝ මෙහෙට්ට හැරෙන්න"

ඇය ඔහුගේ නළල මත හාද්දක් තිබ්බාය.

"ආ මේකත් ගන්න"

ඔහු ඇයට පන්දාහේ නෝට්ටු දෙකක් දිගු කලාය.

"මොකටද සල්ලි.. මාව අරං ගියේ සල්ලිවලටද?"

"මේක ගන්න. මේක ආදරේට දෙන්නේ. හම්බෙච්ච විදිහ සල්ලි කොලේ ගහලා නෑනේ"

"ගිහිං කෝල්ලෙකක් දෙන්න"

ඇය කාරයෙන් බැස පිටුපස දොරෙන් කඩයට ගියාය. මැෂිමේ හිස තියාගෙන ගිමන් හැරියාය. ඔහු තෑගි කල හෙයා ස්ට්‍රේට් මැෂිම ඒ මේ අත පෙරලමින් බැලුවාය. ඔහු අතේ ගුලිකල රුපියල් දහස ලාච්චුවේ පරිස්සමින් අරං තිබ්බාය.

"වෙස්සන්තර කෙනෙක්ද මංදා. සැලූන් එකට ඕනි බඩු ඔක්කොම ගෙනත් දෙයි."

"ඒක හීනයක් වගේ. අමාවකටත් හඳ පෑව්වද මංදා"

ඇය යළිත් ඔහුව ඇමතුවාය.

"දැන් කොහෙද?"

"යක්කලින් කිරිඳිවැල පාරේ. ඔයාට මොකද හිතුනේ අද.."

"එවෙලේ මට මං ගැනම අප්පිරියාවක් දැනුනා. දැන් දුකක් පාලුවකුත දැනෙනවා . ඔයා ගිය නිසා."

"හිතන්ඩ එපා.අපි ආය හම්බෙමු."

ඇය මහන මැෂිමේ හිස තබාගෙන දිගු නින්දක ගිලුණාය.

===================================

"දං ගහ හොඳටම ගැබ්බර වෙලා. පහුගිය දවස්වල මල් පිපිලා තිබ්බ කාලේ බඹරු පොරකකා රොන් ගත්තනේ. පර පරාගනය.

 ආය ඉතිං මාස ගානක් මල් පිපෙන්නැතිවෙයි.

 ඔය ගෙඩි ලොකු වෙලා ඉදිලා ගිහිං ඊලඟ මල් වාරේ එනකං මී මැස්සො දකින්න බැරිවෙයි. අලුතින් සර්ජිකල් මාස්ක් ඇවිල්ලලු ගණන් අඩුවට.දැන් රෙදි මාස්ක් යන්නැල්ලු. අපිත් ගහකට නැග්ගොත් ඒකෙ දෙබළක්. දැන් ලෙඩෙත් ටිකක් අඩුයිලු. සතියට දවස් දෙකක් රට අරිනවලු. කමක් නෑ මගේ ගාන ඕනිවටත් වඩා හොයාගත්තනේ."

ඇය ෆේස්බුක් බිත්තියේ පහලට ගොස් එක් පෝස්ටුවක් ලඟ නතර වූවාය.

"සෑම ශිෂ්ඨ ගැහැණියකගේම යටි සිතේ ගල් වැද්දෙක් සිටී."

එය දුටු ඇයට සිනහ පහල වූවාය.

දින ගණනකට කලින් ඇයට ලද මිතුරු ඇරයුමක් මඟ බලා සිටියේය.

"ගෑණු කෙනෙක්නේ"

ඇය මිතුරු ඇරයුම තහවුරු කලාය.

"දැන් බල්ලා වැඩිය කඩේට එන්නෑ. ඌට මගෙ තිබ්බ ආදරේ අඩු වෙලා කියලා දැනෙන්ඩ ඇති. ඌ ගැනත් හොයා බලන්න වෙලාවක් නෑනේ. දැන් මට තියෙනවනේ පපුව පිරෙන්න ආදරයක්."

"Hi"

අළුතින් අනුමත කල මිතුරියගෙන් ඇයට පණිවිඩයකි.

"Hi" ඇය පිළිතුරු බැන්දාය.

"අක්කේ ඔයාගෙ නොම්බරේ දානවද?"

"ඒ මොකටද"

"වැදගත් පණිවිඩේකට"

"මම ඔයාව දන්නෑනේ"

"දෑනගන්නම ඕනිද ගෑණු දෙන්නෙක්ට කතා කරන්න"

"ෆේස්බුක් එකේ ගෑණු නම්වලින් ගොඩාක් ඉන්නේ කොන්ද පණ නැති පිරිමි."

ඇය වොයිස් මැසේජයක් එවුවාය.

"නම්බරේ ඕන්නෑ ඔයා මැසෙන්ජර් කෝල් එකක් ගන්න."

ඇය ඇමතුමක් ගත්තාය. 

"අක්කේ. මම ප්‍රියන්තගේ වයිෆ්"

ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. වචන පැටලිණි . 

"මොකක් ඒ මනුස්සයා බැඳලා නෑ බොරු නොකියා ඉන්නවා. තමුසෙට ඕනි ඒ මිනිහව දැලේ දාගන්ඩද. පුදුම ගෑණු." ඇය පැටලෙන වචනයෙන් වේගයෙන් උත්තර බැන්දාය.

"නෑ අක්කේ අම්මාපල්. ඔයා වීඩියෝ ඔන් කරන්න මම ඔප්පු කරලා පෙන්නන්නම්. මම බඩදරු අම්මෙක්."

ඇය වීඩියෝ සංවාද කොටුව සක්‍රීය කලාය.

කෙට්ටු හීන්දැරි බඩදරු මවකි. සුවිසල් නිවසකි.

"ප්‍රියන්ත බීලා ඉන්න වෙලාවක එයාගේ ෆින්ග ප්‍රින්ට වලින්ම ඇරගෙන මම පෝන් එක බැලුවා. මම අක්කගෙ මැසේජ් කියෙව්වා. අක්කා එක්ක විතරක් නෙවෙයි තව හතර පස් දෙනෙක් එක්ක චැට් කරලා තිබ්බා. එයා දැන් ඉන්නේ ඇලහැර. පතලක් බලන්න ගියා.මගේ මේ පැටියා වෙනුවෙන් මේ සම්බන්දේ නවත්තන්න අක්කේ. මම මිනිහගෙන් ඩිවෝස් වෙනවා. ඒත් මේ පොඩි එකාට යන කල මොකක්ද? ඒ මිනිහා ඔයාට කියලා තියෙන්නේ ගොඩාක් බොරු"

"ඒත් ඔයා ඔප්පු කරලා පෙන්නුවේ නෑනේ ප්‍රියන්ත ඔයාගේ හස්බන්ඩ් කියලා"

වෙව්ලන මුවින් ඇය පිළිතුරු බැන්දාය.

"මම ඔප්පු කරන්නම් අක්කේ. ඒත් මේ විත්තිය ඔයා ප්‍රියන්තට කියන්න එපා. ඔයා එයාට ගන්ඩම එපා. එහෙම වුනොත් ඔය යකා මාවයි බඩේ ඉන්න දරුවවයි මරලා දායි. මේ බලන්න අක්කේ.."

ඇය කැමරාව ඔවුන්ගේ වෙඩිං පොටෝවට දික් කලාය.

අකුණක් හිස මත පාත්වන්නා සේ ඇයට දැණුනි. එය දෙපතුල් හිරි වැටී පොලොවට බහිනවා මෙන් ඇයට දැණුනි. ඇගේ පපුව ගිනි තැබූ හේනක් මෙන් ඇවිලිනි. ඔව් ඉලුක් යායකට ගිනි තිබ්බම චට-පට ගාලා ඇවිලෙනවා වගේ. ඇය අතින් දුරකතනය ගිලිහී බිම වැටුණි.

ඇය කතුර ගෙන බිත්තියට ඇනගෙන ඇනගෙන ගියාය. වැලහින්නක් සේ මහන මැෂිමේ බඳේ හිස තබාගෙන ඉකි ගසමින් හැඬුවාය.

"මගේ පපුවට ආයේ ගිනි තිබ්බා. පිරිමි සංහතියටම මම ශාප කරනවා. බල්ලෝ. ඌ මගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයට දුම්මල ගැහුවා. මම යනවා මුන්නේස්සරම්. ගිහිං පලි ගහනවා ඌට..ඕ ලෙවල්වත් පාස් නැති හරක්ගෙන් ආදරය ඉල්ලන්ඩ හොඳ නෑ. උන්ගේ හරක් ගතිය කොයි වෙලේ හරි මතුවෙනවා."

ඉකිගසා හඬගාමින් ඇය වේදනාව පිට කලාය.

"ඉපදිලා මැරෙනකම් ගෑණු අපි පිරිමින්ට රැවටෙනවා. ඇයි අපි මෝඩ.? ආකාහේ තරු අල්ලන්නත් බෑ. කඩාගන්නත් බෑ. ගෑණු අපට තියෙන්නේ බලාපොරොත්තු විතරයි."

ඔහු ගෙනා හෙයා ස්ට්‍රේට් මැෂිම අතට ගත් ඇය එය හැකි වෙර යොදා පොලොවේ ගැසුවාය. ඔහු දුන් ලාච්චුවේ සඟවා තිබූ රුපියල් දස දහස කීතු කීතු කොට බිම දැමුවාය.

"අන්න දං පඳුර මැරිලා. කවුදෝ කාළකන්නියෙක් උණු වතුර හලලා. මේ මොකද මේ?"

"ඕවගෙ මුල් වේයො කනවා.දං පඳුර බේරගන්න බැලුවා. වතුරත් දැම්මා. බේරගන්න බැරි වුනා. මට  මොකුත් උනේ  නෑ අම්මේ. මාස්ක් ඕඩරෙත් නැවතුනා. ඒවා දැන් යන්නැල්ලු."

"මොකුත් වෙන්න බැරි නෑනේ. උඹේ මූණ තඩිස්සි වෙලා අඬලම. කඩේ යක්කු නටපු පිට්ටනිය වගේ. මොකෝ බං මේ?"

"මෙන්න මේ මගුල තමයි මේ ඔක්කොටෝම මුල. "

ඇය හැකි වෙර යොදා ඇගේ ස්මාට් ජංගම දුරකතනය  මව ඉදිරියේ පොලොවේ ගැසුවාය.

මහන මැෂිමේ පැඩලය උඩ නිදා හුන් බල්ලා එළියට පැන පාර දිගේ දිව ගියේය.


===================================

.

Sunday, October 23, 2022

සීයා.......

සීයා......



එකපාරම මහ හඬින් අම්මා බෙරිහන් දුන්නා.

“අනේ ගහක් ගලක් වගේ උන්න මිනිහා.. බුදු තාත්තේ.....“

මුළු ගමම දෙවනත් වෙන්න...උඩ හුරිහෙල කන්දේ ගැටුනු කටහඬ අනෙක් පැත්තේ ‍හොබරැල්ල කන්දේ වැදිලා දෝංකා‍ර දුන්නා. 

ගමේ මිනිස්සු පෙරහැරකින් වගේ අපේ ගෙදර පඩිපෙල දිගේ පහලට දොක්කන්න පටන්ගත්තා. ඉස්සෙල්ලම සීලවති නැන්දා..බංඩෙ සීයලෑ ආච්චි...කළුබංඩෙ මාමා...ඒ එක එක අය එන පිළිවෙලට අම්මා ආයෙත් හයියෙන් ඇඬුවා....පපුවට ගහගත්තා...මූණ දෑතින් බදාගත්තා...කොන්ඩේ දෑතින් ඇද්දා....බිම වැටුනා....කලන්තෙ දාලා....

“සීයා මැරුණා“...සදහටම අපෙන් වෙන්වෙලා ගියා... නොඑන ගමන් ගියා.....

“මරණ සමිති‍යේ පොත හොයපං පුතේ“

හොයනව හොයනව හදිසියට කිසිම දෙයක් බෑ හොයාගන්න...ඕකෙනේ සේරම වස්තුව...මරණ සමිතියෙන් දහදාහයි....තාත්තගේ යූනියන් එකෙන් හයදාහයි.....තව තව..සීයගේ විශ්‍රාම අරමුදලෙන්.. කලන්තෙ දාපු අම්ම ඇවිත් ගනන් හදනවා...

සීයාගේ සීතල සිරුර තාම ඇඳ උඩ...ඉහෙන් බහින ලෙඩක්වත් නොතිබුන මනුස්සයා...අන්තිමට දැනගද්දි පිළිකාව මුළු සර්වාංගෙම දුවලා....බදුල්ලෙන් බෑ කිව්වා...මහරගම යැව්වා...මහරගමිනුත් ආයුෂ කාලේ අහවරයි කියලා ආයෙත් ගෙදර එවුවා...දොස්තරල කියපු දින වකවානුවේම උන්දැ දෑස් පියාගත්තා..

“ටෙලිග්‍රෑම්“ ගහන්න ඇටම්පිටියේ තැපැල් කන්තෝරුවට යන්න වුනේ මට...ඉස්කෝලේ සිංහල පාඩමේ අපේ සිංහල සර් ටෙලිග්‍රෑම් ගහන්න උගන්නපු පාඩම අකුරක් නෑර මතකයි මට..ඒක අද ප්‍රායෝගික ක්‍රියාකාරකමේ යොදවන්න වෙන්නේ මට...පෑනකුයි පොතකුයි තියාගෙන නලල රැළි කරගෙන අම්මා ඇඩ්‍රස් ලියනවා...පොත මගේ අතට දුන්නම මමත් පරීක්ෂා කලා...එක නමක් අඩුයි..අම්පිටියේ පුංචි....?

“ඕකි මතක් කරන්න එපා. අපේ මූනෙ දැලි ගෑවා මදිවට...පලයං පණ්ඩිතකම් නැතුව....ඔය ටික ගහලා වරෙන්“

සීයගේ බාල දුව පොඩි පුංචි සීයාට යන්තරේ දාපු  අම්පිටියේ කපුවා එක්ක පැනල ගියා...ගම්මු කිව්වෙ ඉනාවක් දීල කියලා...නූලක් පන්නලාලු..එක එක කතා ගමේ එහා මෙහා ගියා...දන්නැද්ද ගම්වල හැටි.....

“බෑ....බෑ“ කිය කියා කැප්පෙටිපොල බස් එක කන්ද නැගගෙන නැගගෙන ඇටම්පිටියට ආවා....අනේ අපිට ආයේ සීයල ආච්චිලා නෑ නේද? අන්තිම පුරුකත් ඉවරයි.

සීයගේ පැන්ෂන් දවසට අපේ ගෙදර ඉතිං මඟුල් ගෙදරක සිරියාවයි. හැම මාසෙම පැන්ෂන් දවස තියෙන ලිස්ට් එකනම් මට කට පාඩම්. එදාට මොන සක්කරයා කිව්වත් මමනම් නෙවෙයි ඉස්කෝලෙ යන්නේ. පැන්ෂන් දවස් කිට්ටු වෙද්දි බලන්න එපැයි අපේ අම්මගෙ කරුණාව...

“තාත්තේ කෑවද?“

“තේ බිව්වද?“

“තාත්තේ බෙලිමල් වගයක් ඇති තම්බලා දෙන්නද?“

“තාත්තේ බෙහෙත් බිව්වද?“

මේ වගේ කතා පැන්ෂන් කිට්ටුව අපේ ගෙදර ඕනිතරම්.

දවසක් ලොකු අම්මා ඇවිල්ලා සීයව එක්කරගෙන යන්න හැදුවා එයාලගේ දිහා..මොන...අපේ අම්මා නෙවෙයි යන්න දුන්නේ..

“මේකි තාත්තගේ පැන්ෂන් තුට්ටුවට වහ වැටිලා “                                                                                                                                කියල ලොකු අම්මට කියවිලා අන්තිමට දෙන්නා කෙහෙවළු පටලවාගත්තා... එදා ඉඳං අම්මයි ලොකු අම්මයි නයයි මුගටියයි ව‍‍ගෙයි. 

මමයි අම්මයි  සීයයි තමයි පැන්ෂන් ගන්න යන්‍නේ. හාලි ඇල තැපැල් කන්තෝරුවට. බලන්න එපැයි සෙනඟ..එදාට ඉතිං එක එක දානපතියන්ගේ පොඩි පොඩි දන්සැල් එහෙමත් හම්බවෙනවා. පැන්ෂන් ගත්ත සැනිං අපි දුවන්නේ ගංගාදීසි හෝටලේට. සීයනම් කිව්වේ සීයලගේ තාත්තලගේ කාලෙටත් වඩා පරණ හෝටලේ කියලා. ඒකේ දෙන පෙන දාන කිරි යාරෙයි...ලොකු උළුඳු වඩෙයි..දුම් දාන මාළු පාන් ගෙඩියයි.... අප්පේ මුළු මාසෙම කටට කෙල උනනවා. පැන්ෂන් පඩිය අම්මගේ අතේ. අම්මට ඕනි විදියට තමයි වියදම. සීයට බෙහෙත් කිරිපිටි ඇයි වයින් ස්ටෝර්ස් එකෙන් බෝතලයක්..මට සෙල්ලම් බඩු..ඉස්කෝල පොත්...තව...තව...තව.....

අන්තිමට මස් කඩේ...බාබත්..කිරිබොකු ..ලිවර්...සුප් කටු...කුකුල් මස්..එළු මස්....මේ හැම දේම...මස් කඩේ ඈයොත් අපිට දෙන්නේ හොඳම මස්...සීයාට තියෙන ගරුත්වයට..එයාල සීයාට කියන්නේ රාළහාමි කියලා.මාත් මස් කඩේදි පපුව ඉස්සරහට දාගෙන ඉන්නේ උජාරුවෙන්....සීයා පොලිසියේ වැඩ කරල තියෙන්නේ...ඉතිං ඔය හැම මසක්ම කනවා... අන්තිමට ත්‍රීවිල් එකක බඩු පුරවං අපි ගෙදර....

අබරං මාමයි බංඩෙ සීයයි අපේ සීයගේ ලඟම යාළුවෝ කියලයි මට හිතුනේ..මේ දෙන්නා පැන්ෂන් දා රෑ එකොලහ දොලහ වෙනකන් අපේ ගෙදර..ඇයි අර බෝතලේටයි මස් ටිකටයි වග කියන්නත් අපේ සීයගේ පුරාජේරු කතා අහන්ඩත් එපැයි. සීයා පොලිසියේ ඉන්න කාලේ කරපු වික්‍රමයන් අර දෙන්නා කට ඇරං අහගෙන ඉන්නවා...දුම් ගුලි වලින් සීයගේ කාමරේ උතුරලා යනවා... අම්මගෙනම් රැවුම් ගෙරවුම් එමටයි..

ලබන මාසෙ පැන්ෂන් 08 වෙනිදා. එදාට අබරං මාමටයි බණ්ඩෙ සීයටයි හුලං තමයි..ඇයි අපිට....?

ඔන්න ටෙලිග්‍රෑම් වැඩේ ඉවර වෙලා මම ගෙදර ආවා...මම යද්දි හිටිය සෙනඟ දෙතුන් ගුණයක් වෙලා..අම්මනම් කියන්නේ අපි ගමේ ඉන්න විදිය දැනගන්න පුළුවන් මරණෙකින් කියලා...ඒක ඇත්ත කියල මට හිතුනෙ අද? ගෙදර ඉඩ අරවන්න බෑ.

ඔන්න ඉතිං මෙහෙ මරණයක් වුනාම අපිට පැවරෙන රාජකාරී...පුවක් කැපීම..ඉලත්තට්ටුව හැදීම...ඒවා අඩු පාඩු පිරවිම..කෝඩියල් ඇල්ලීම...මාරි බිස්කට් ඇල්ලීම..වගේ පොඩි පොඩි වැඩ...මාරි බිස්කට් අල්ලන්න කලින් ඒවා අහුරු තුන හතරක් සාක්කුවල පුරවා ගැනීම අපේ පුරුද්දක්....

“අප්පේ කාලා තියෙන බුලත් ගොඩ.....බතික් කරල වගෙයි මිදුල“

මිනිස්සු පඩික්කම් තිබ්බට බුලත් කෙල ගහන්නෙම මල් පාත්තියටයි මිදුලටයි...උණ පුරුකේ පුළුවන්ද බළු වලිගේ ඇද අරින්න..අපේ අතපය පතුරු යනවා පුවක් කපලම...ඒ තරම් බුලත් කනවා...අත්වල කරගැට...ඇයි බොන බීඩි ගොඩ..සීතලටද මන්දා....යන ගමන් බුලත්විඩ 3-4 ක් ඔතාගෙන බීඩි දහයක් විතර සාක්කුවෙත් ඔබාගෙනනේ යන්නේ....අපේ මළමගුල්  ගමට රජමගුල්.

“අනේ මෙතන තිබ්බ හොඳම මල් පැල දෙක උගුල්ලන් ගිහිං“ අම්මා ඇවිත් නිකටට අත තියාගෙන කියවනවා.ඔය හොරෙන් ගලවගෙන යන මල්පැල හොඳට හැදෙනව කියල මතයකුත් තියෙනවා. අනික මිනිස්සු මරණයක් වෙනකන් බලන් ඉන්නේ මල්පැල උගුල්ලන්න.

සීයාට රට අඹ ලීයෙන් පෙට්ටිය හැදුවේ බාප්පා. එයා හොඳ වඩුවෙක්. පෙට්ටගමක වගේ..තමයි පෙට්ටියේ පියන..හතරට කඩන පියන හදන්න අමාරුයි. මැදට පිදුරු ඔබලා සුදු රෙද්දක් ගහලා පොලිෂ් වාර්නිෂ් ගාලා පෙට්ටිය හැදුවා. ග්‍රාමසේවක මහත්තයා ආවට පස්සේ සීයගේ දේහය එම්බාම් කරා. එම්බාම් කරන්න බදුල්ලේ  මල්ශාලාවක කෙනෙක් එක්කන් ආවෙත් බාප්පා.එම්බාම් කරන්න කලියෙන් අරක්කු පාටිය. නැත්නම් ඔය වැඩේ කරන්න බැරිළු. එහෙමයි බාප්පා කිව්වේ..අපිට එම්බාම් එක බලන්න තහනම්..අපි තව ලොකු වුනාම පුළුවන්ළු.

සීයාගේ නිසල දේහය සාලෙට ගෙනෙද්දි අම්මා ආයෙත් මරලතෝනි දුන්නා. සීයගේ ඔළුවට ඉහලින් පහන් දෙකක් දැල්වෙන්න ගත්තා. මල්වඩම හැදුවේ අපේ ළමා කැල. මල් සයිප්‍රස් අතු හොයාගන්න එක මහවැඩක්ද . මල් වඩමේ ආකෘතිය සොහොන් කන්දට ගිහිල්ලා ලඟදි වලදාපු වලකින් අරං ආවා. සොහොන් කන්දේ රතු මාර ගස් වල මල් පිපිලා බලං හිටියා. සීයාගේ දේහය පිලිගන්න වාගේ.

ඕං පහුවදා නෑයෝ එකා දෙන්නා එන්න පටංගත්තා. ඉස්සෙල්ලම ලොකු අම්මා.

“අනේ අක්කේ උන්දැ අපිව දාලා ගියා“ 

තරහ මරහ සේරම ඉවරයි..දෙන්නා බදාගෙන තරඟෙට ....කඳුළු..කඳුළු...කඳුළු...කඳුළු........

“කොලඹ මල්ලී තවම නෑ...ඩුබායි මල්ලිට දැනුම් දුන්නද? “

“කොලඹ මල්ලිට කොහෙද ඔය දුක...ලෙඩින් ඉද්දිවත් ආවද?“

“ඒ වුනත් එයි..මැණිකෙ නංගිත් මඟ ඇති...“

කොලඹ මාමා කොලඹම තමයි. අවුරුද්දට දෙතුන් වතාවක් බදුලු-බණ්ඩාරවෙල ආවට සීයව බලන්නනම් පැත්ත පලාතේ ආවෙ නෑ...එයාට උගන්නන්න අස්සැද්දුම කූඹුරත් වික්කා කියලයි සීයා මට කිව්වේ. දැන් ලොකු තානාන්තරයක. ගම්මුනම් කිව්වේ මහ ගුණමකු මිනිහෙක් කියලා. අඩුගානේ සීයා මහරගම ඉද්දිවත් බලන්න ආවේ නෑළු.

කුස්සියේ ඉඩ නැති නිසා කුස්සියටම අල්ලලා හට් එකක් ගැහැව්වා. වට්ටක්කා...පරිප්පු..කරවල ඔය වට්ටෝරුව තමයි ගමේ ඕනිම මල ගෙයක් වුනාම කැරකෙන්නේ..කොස් වාරෙනම් කොස්..දෙල් වාරෙනම් දෙල්...ඔක්කොම කුස්සියේ රොක් වෙලා ඕපදූප කියව කියව ඉන්නවා. සීයා සාලේ තනියම..උඩුබැලි අතට දිගාවෙලා ජීවිතයේ අස්ථීරබව අපට කියාදෙනවා. 

කොහොමත් මාසේ විස්සේ ඉඳං තිහ වෙනකන් සීයා තනියෙන් තමයි. ඇයි පැංෂන් එකේ ඌෂ්ණේ ගිහින්නේ. අම්මා අහන්නෙත් නෑ කෑවද බිව්වද කියලා...අර දයාව කරුණාව ආයේ පටන්ගන්නේ පලවෙනිදා විතර තමයි. ඒත් සීයානම් මොකුත් කිව්වෙ නෑ. හැමදෙයක්ම විඳදරන්  ඉන්න මානසිකත්වයක් සීයට තිබ්බා. හැම දෙයක්ම සැහැල්ලුවෙන් හිතන මනුස්සයෙක්. ගම්මු කිව්වේ එහෙමයි.

බාප්පා ටවුන් ගිහිල්ලා කාඩ් පැක් හය හතක් උස්සගෙන ආවා. අද රෑට බූරු පොල අරින්න වගේ හදන්නේ.

“බීප් ...බීප්...“ මහ හඬ නගාගෙන කොලඹ මාමගේ කාර් එක ඇවිත් උඩ පාරේ නැවැත්තුවා. අබරං මාමා පෙට්ටි දෙක තුනක් කාර් එකෙන් අරං හිස තියාගෙන ආවා. බංඩෙ සීයා එක පෙට්ටියක් අරං ආවා. කොලඹ මාමා උජාරුවෙන් පඩිපෙල බැහැගෙන ආවා. බංඩෙ සීයගේ කරේ තිබ්බේ රට අරක්කු පෙට්ටියක්...තව ඔය සීනි පිටි තේකොල තමයි අබරං මාමා උස්සගෙන ආවේ.

සීයගේ මිනිය දිහාවත් නොබලා කොලඹ මාමා මගේ කාමරේට රිංගුවා. අබරං මාමා ඉදිකට්ට පස්සේ දැවටෙන නූල වගේ කොලඹ මාමා පස්සෙන්මයි. ඇයි බංඩෙ සීයා....? බොන්න තියෙනවනම් වෙන මොනවද?

ඔන්න ඉතිං මළගම්..හැඬුම්..වැලපුම්.. දැන් ඉවරයි වගේ...පාටි...පාටි..පාටි..පාටි.. ඇතුලට යනවා...එළියට එනවා...කට පිහදනවා..ආයෙත් යනවා..බැදපු කුකුලු මස් අරගෙන එනවා...සීයා තනියෙන්...

“මරණෙ ගන්නේ හෙට....“

“හෙට අරං කොහොමද? අනිද්දා ගත්තොත් නරකද?“

ඒ යෝජනාව බාප්පාගෙන්....ඇයි ඉතිං බූරු පොල තව දවසක් හරි අටවගන්න එපැයි. එයා තමයි බූරු ගස්සන්නේ.  තෝං එකතු කරගන්නවා. පිට පිට තුන් වතාවක් දිනුවොත් බූරු ගස්සන අපේ බාප්පාට කොමිස් එකක් යනවා..උදේ වෙද්දි නිකං ඉඳලා බාප්පා ගානක් හොයාගෙන.

අබරං මාමා කොහේදෝ ගිහිං කොලඹ මාමාට කිතුල් රා මුට්ටියක් උස්සන් ආවා. රට අරක්කු ඉවරද මංදා..නෑ..නෑ..දොලදුක...අම්මා කිව්වේ ඔලොක්කුවට...

දැන්නම් කොලඹ මාමාට හොඳටම වැඩියි. කෙලින් හිටන් ඉන්නවත් පණ නෑ...ඇයි අබරං මාමට බංඩෙ සීයට ඊටත් එහා...සුරාමේරය තමයි හැම තැනම..මේ මළගමේ නොබීපු එකෙක් හොයාගන්නවත් බෑ...ගම්වල තමයි ඔය විකාර...

“අම්පිටියේ පුංචි ඇවිත්“

“මොනවා ඕකි ඇවිත්ද? ආයෙත් අපේ මූණේ දැලි ගාන්න...“

“කවුද ඕකිට කිව්වේ“

අම්මා... ලොකු අම්මා...මැණිකේ පුංචි..

යුද්ධයක් පටන්ගන්නයි යන්නේ...

කොලඹ මාමා පොල්ලකුත් උස්සගෙන ආවා එළියට..පඩිපෙල බැහැගෙන ආපු අම්පිටියේ පුංචියි කපුවයි ආපහු හැරිලා පඩිපෙල දිගේ දිව්වා. කොලඹ මාමා පඩිපෙල දිගේ උඩට වැටි වැටී බඩගානවා...අපේ අම්මලත් දුවනවා පොඩි පුංචිටයි කපුවටයි පාඩමක් උගන්වන්න..ගෙදර එකම ගාලගෝට්ටියක්...සැර වචන.. පරුෂ වචන.. හිස් වචන.. පාවෙලා ගිහිං හුරිහෙල කන්දෙ වැදිලා ආපහු හොබරැල්ල කන්දෙ ගැටිලා දෝංකාර දෙනවා...

සීයා ගේ ඔළුවට උඩින් තිබ්බ ඔක්කොම පහන් තෙල් ඌණතාවයෙන් නිවිලා ගිහිල්ලා.

“අන්තිමට නිවිච්ච පහනට තෙල් ටිකක් වක්කරන්නවත් එකෙක් නෑ“

.........................................................................................

Monday, May 25, 2020

තෙරපි කෙල්‍ල .........




දැන් කවුරුත් බ්ලොග් ලියන්නෑ.
ඒ්කත් අර පාරවල් අයිනේ තාප්ප වල බාගෙට ඇන්ද චිත්‍ර වගේ. මම ගමේ ගිහිං මාලු ඇල්ලුවා‍‍. ඒක පාරක් බිලිපිත්තේ තඩි කක්කුට්ටෙක් ඇමිණුනා. ඊගාව පාර මාලුවෙක් ඇමිණුනා‍. කොක්කෙන් බේරගෙන ගොඩට දැම්ම මාලුවා පණගැහෙන්න ගත්තා. ඔව් අපේ බ්ලොග් පණගැහෙනවා වගේ.මට දුක හිතිලා මං ආය ඌව දියට අතඇරලා දැම්මා. ඌ අමාරුවෙන් තමන්ගේ කල්ලියට ඒකතු වුණා. මම ආය මාලු අල්ලන් නෑ. වරෙල්ලා ඉස්සර වගේ බ්ලොග් ලියමු‍. මේක මගේ බ්ලොග් පිටුවේ අදහස ඒක්ක නොගැටුනත් මම ලියනවා. මක්ක හරි ලියන්න ඒපැයි..

වේයන්ගොඩින් කුඹල්ඔලුව පාරේ යද්දි මීටර් 500ක් විතර දුරින් ඒකක් තියෙනවා.පස්යාල හංදියේ ඒකක් තියෙනවා.පස්යාලෙන් අත්තනගල්ල පාරේ ඒකක් තියෙනවා. නිට්ටඹුව ටවුමේ ‌දෙකක් තියෙනවා. නිට්ටඹුවේ ඉඳන් වතුපිටිවෙලට යද්දි දෙකක් තියෙනවා. ගම්පහ නගර සීමාවේ නෑ. ඒ්ත් ජාඇල පාරේ ඒ්කලට යනකම් දෙකක් තියෙනවා‍. කොටුගොඩ කාගිල්ස් උඩ තට්ටුවේ ඒකක් තියෙනවා.ඒ්කල හංදියෙන් ජාඇල පැත්තට යද්දි උඩ තට්ටුවක ඒකක් තියෙනවා. ඒ්කල ඔරෙක්ස් සිටි ඒකේ ඒකක් තියෙනවා‍. ඒතනින් ජා ඇල පැත්තට මීගමු පාරේ මීගමු බීච් රෝඩ් ඒකේ ඉහේ කෙස් ගානට.

ඒතනින් ගියාම මල්කඩුවාවේ ඒකක් තියෙනවා. කුරුණෑගල ටවුමේ දෙක තුනක් තියෙනවා. මැල්සිරිපුර පැත්තට දෙකතුනක් තියෙනවා.

ඒතනින් ගියාම රත්නපුර ටවුමේ දෙකතුනක් තියෙනවා‍. ටවුම පාස් කලාම ඒකක් තියෙනවා. ගොඩකවෙලත් පහුකරලා මාදම්පේ හංදියත් පහුකරාම අලුතින් ඒකක් දාලා තියෙනවා. උඩවලවේ හංදියට මෙහායින් ඒකක් තියෙනවා.
බදුල්ලේ ඒකක්වත් නෑ. මේ පාර ගියාමත් බැලූවා බැලුවා නෑ. ඇල්ලෙනම් තියෙනවා.
මම බයිසිකලේ යතුර කැරකුවා.පණගැන්නුවා.ඉගිල්ලෙන ගමන්. මොකක්දෝ අමුතු ජරබර සද්දයක් ඒනවා. බයිසිකලේටත් දැන් වයසයි. අපිත් වාහන වගේ. වයසට යනකොට ලෙඩ ඒනවා.

වේයන්ගොඩින් කුඹල්ඔලුව පාරට. ඒ් කියන්නේ මීරිගම පාරට. වම් පත්තේ ගුරු පාරේ ඇතුලට. මඩ ගොඩ උඩ ගහපු බ්‍රේක් පාරට  බයිසිකලේ අතුල්ලගෙන ගිහිං ඒ් පරණ ගේ බිත්තිවල ගෑවි නොගෑවී නැවතුනා. රෝදත් හොඳටම පරණ වෙලා. අලුත් රෝද දෙකක් දාන්න වෙයි.

මම ඇතුලට ගියා‍. මේසයක් කොලපාට රෙද්දක් ඒලපු. ඒ්ක උඩ ලස්සන මල් පෝච්චියක්. වෙද හාමිනේ කෙනෙක්. වෙද නලාවක් මේසේ උඩ.ආය ඔය ඒක ඒක සිංහල බෙහෙත් ජාති දාපු ට්‍රේ ඒක්කුත් මේසේ උඩ තිබ්බා. මෘදු හිනාවක්.‍

“සර් මසාජ් ඒකක් ගන්නද?”
“ඔව්”
“අයිඩිං කාඩ්ඩෙක”

වෙද නෝනගේ ඉහට උඩිං බිත්තියේ ලයිට් වැල් දාපු බුදුහාමුදුරුවෝ.. ගණ දෙයියෝ..කතරගං දෙයියෝ.. කෙලවරක බාගෙට පත්තුවෙච්චි හඳුන්කූරු පොදියක්.

මස් කඩේ මුදලාලිත් උදේ බුදුන් වඳිනවා. ඔව් සෙන්ජේමිස් වත්තේ කසිප්පු මුදලාලිත් උදේම්ම දෙයියෝ වඳිනවා. මතකද මහාචාර්ය නන්දසේන රතනපාල මහත්තයගේ ශ්‍රී ලංකාවේ යාචකයෝ.. ශ්‍රී ලංකාවේ ගණිකාවෝ පර්යේෂණ ග්‍රන්ථ. ඒතකොට ඇත්තටම මේවගේ තැනකට යන්න වෙනවා. මම ආවෙත් ඒ්කට. ඒ්ත් මම මහාචාර්ය කෙනෙක් නෙවෙයිනේ.
“ඒතකොට උඹ මීට කලින් මෙහෙම තැන්වලට ගිහිල්ලා නැද්ද?”ඒ් මගේ හිත.
“ගිහිල්ලා තියෙනවා. උඹට මොකද? උඹ උඹේ පාඩුවේ හිටපං”

“සර් රුපියල් 1000යි.”
මම පර්ස් ඒක ඇරලා රුපියල් 1000 වෙදනෝනගේ අතේ තිබ්බා. අම්මගේ පෝන්නෙකට රුපියල් සීයක රීලෝඩ් ඒකක් දාන්න කියලා දැන් දවස් දෙක තුනක්. මට අමතක වුනා.

“මෙන්න සර් ඇල්බම් ඒක බලලා තෝරගන්න”

ඇල්බම්මෙකක් වුනාට ඒ්කේ තිබ්බේ පොටෝ හතරක් විතරයි. මම තේරුවේ ඒ් පොටෝ හතරෙන් හොඳම පොටෝ ඒක.
මම බයිසිකලේ තෝරන්න දිවුලපිටියේ බජාජ් බයිසිකල් සේල් ඒකට ගිහිං තෝරගත්තේ ඩිස්කවරි 135 බයික් ඒක. කීප දවසක් සේල් ඒකට ගිහිං මාව හුරු පුරුදු ඒකේ වැඩ කරන කෙල්ල මට හිනාවුනා.

“ඇයි?”
“නෑ හලෝ දවස් ගානක් ඇවිල්ලා බලලා බලලා ගන්න යන්නේ මෝඩ පාට බයික් ඒකක්. පල්සර් 135 ඒකක් ගන්ඩ. ඔයාට ගැලපෙන්නේ ඒ්ක.”

මම පල්සර් 135 ඒක අරං ගෙදර ආවා.

මම දැන් ඇල්බම් ඒක බලලා තේරුවෙත් ඩිස්කවරියක්ද මංදා.

“සර් රූම් නම්බර් ෆෝ”
මම කාමරේට පියනැඟුවා. අර ඇල්බම් ඒකේ කෙල්ල පුටුවක් උඩ ඉඳං හිටියා. මම ඒනවා දැකලා ඒ්කි නැගිට්ටා. අතේ තිබ්බ තුවායයි සබන් කෑල්ලයි මට දික්කරලා  නාන කාමරේ දිහාව ඇස්වලින් පෙන්නුවා.

“සර් වොෂ් ඒකක් දාන් තුවාය ඇඳන් ඒන්න.”

වතුර මලෙන් ආපු වතුර මාව සිහිල් කලා. බයික් ඒකේ ඒන්ජිම වැහි ජලයෙන් හීතල වෙනවා වගේ.
රාණි සබන් කැටේ පුසුඹ මගේ ඇඟ පුරා තැවරුණා. රාණි සුවඳට මට අපේ ආච්චිව මතක් වුනා.
බයිසිකලේ හෝදද්දි හෝදන්න අමාරුම ඇන්ජිමේ දාර ටික. තෙල් බැඳිලා දාර අස්සවල් පිරිසිදු කරන්න හරිම අමාරුයි.
මම තුවාය ඇඳන් ආවා.

“සර් මුණින් අතට නිදාගන්න. ටිකක් උඩට වෙලා. සර්ට ඔයිල් මසාජ් ඒකද  ඔ්නි. බේබි ක්‍රීම්ද?”
“ඔයිල් හොඳයි.”

ඇය මගේ පිට මතට කපුරු තෙල් මිශ්‍රිත තෙලක් වැක්කෙරුවාය. කපුරු මිශ්‍රිත සමන්මල් සුගන්ධයෙන් මුලු කාමරයම පිරී ගියේය.
ඇය මගේ පිට මැද දෑත් තබා සෙමින් පිරිමදිද්දී මුලු සියොළඟම හිරිවැටී යන්නාක් මෙන් දැණුනි.

බයිසිකල් සේල් ඒකෙන් ඒළියට ඒන්ජින් අංක සහ චැසි අංකවලින් සමන්විත මගේ අලුත් බයිසිකලය දමා මාර්ගයේ ගම්පහ දෙසට උරුහන්බාමින් පැදවූ දිනට පසු මෙතරම් ආශ්වාදයක් ලද පළමු දිනයයි.

“කාහේද?” ඇය වැඩෙහි නිමග්න අතරේ මම ඇසුවෙමි.
“තේරුණේ නෑ සර්...”
“ගම කොහෙද?”
“බිබිලේ සර්”
“බිබිලේ කොහෙද?”
“මැදගම සර්”
“වයස කීයද?”
“කීයක් විතර පේනවද සර්ට”
“25ක් විතර”
“මට 35යි සර්.. ඒ් වුනාට මට තමයි මෙතන බාලම පෙනුම තියෙන්නේ”
ඒ් කියන්නේ මම තෝරගෙන තියෙන්නේ ඩිස්කවරියක්.
“මීට කලින් මොකද කලේ”
“ගාමන්ටෙකක මැහුවා..”
“අයින් වුනේ?”
“මැස්ම වැරදුනා..”
“හරිගස්සනඩ බැරිවුනාද?”
“ඒ් කාලේ මේ වගේ බෙහෙත් තිබ්බේ නෑනේ. දැන්නම් පංති යන කෙල්ලන්ගේ බෑක් වලත් පොස්ටිනෝර් 2... ඒ් කාලේ ගමෙන් කොළඹ ඇවිත් බඩක් උස්සන් යන ඒක සාමාන්‍ය දෙයක්. ඒ්ත් ගමේ උන්ට ඒ්ක අවුරුදු ගානක කටගැස්මක්”
“කෝ දැන් ළමයා”
“ගමේ අම්මා ගාව. ඒයා දැන් ළමිස්සියෙක්. මේ අවුරුද්දේ ඒ් ලෙවල්. කෙල්ල කැම්පස් ගියාම මම මේ ජරා රස්සාව අත අරිනවා.”

ඇය මගේ පිට දිගේ කුඩා දැති රෝද වලින් සමන්විත මෙවලමක් ඒහා මෙහා යවමින් දෑතේ කරගැට බිඳින්නීය.

“මේවයේ හැම ගැහැණියක්ගේම කතාව පොදුයි. ඒ්වා ප්‍රබන්ධ කතාද දන්නෑ”
“මම සර්ට ප්‍රබන්ධයක් ගොතන්නේ සර්ගෙන් වැඩිපුර කඩා වවා ගන්නද සර්.. පිරිමි කැමති නෑ තව පිරිමියෙක් දොස් අහනවා දකින්න”
“තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ..”
“පොඩි කාලෙත් අපි සුරංගනා කතා ඇත්ත කියලා හිතාගෙන හිටියා. මමත් ජැක් වගේ බෝංචි ඇටයක් හිටවලා බලන් ඉඳලා තියෙනවා ඒ්කට නැඟලා ජීවිතේ ගොඩදාගන්න. ගෑණු අපි හැමදාම මෝඩයි. පිරිමි ගැට වලට අහුවෙනවා.”
“ඊට පස්සේ”
ඊට පස්සේ ළමයා අමිමා ගාව දාලා ඇවිත් මම මීගමුවේ මැඩම් කෙනෙක් ගාව හිටියා. ඒ්ක රහසිගත ගණිකා මඩමක්. ළිඳට වැටුනනම් ළිං කටින් ගොඩයන්න මං බැලුවේ.”
බයිසිකලේ පරණ වෙලා. යතුරු කටත් ලොකු වෙලා. දැන් යතුර හරියට වැටෙන්නෙත් නෑ. ඇයි දවසට කී පාරක් යතුර දානවද? විකුණලා අලුත් ඒකක් ගන්න ඔිනි.
“මෙතෙන්ට ආවේ?”
“ඒතන අමාරුයි.බීගත්ත ඒවුන් ඇවිත් දස වද ‌දෙන්නේ.සමහර දවසට හය හතක්. බැරි තැන යාලුවෙක් මෙතන සෙට් කරලා දුන්නේ? මෙතන කරදරයක් නෑ.”
ඈ දැන් තෙරපන්නේ මගේ කලවාය. ඇය ඒ් අතර මාගේ වෘෂණ කෝෂ යාන්තම් තෙරපන්නීය.
සෙල්ෆ් ස්ටාර්ට් වැඩ නෑ. කික් ඒක ගහද්දි අනන්තවත් පිටිපස්සේ පැඩල් ඒකේ කකුල වදිනවා. සෙල්ෆ්ස්ටාර්ට් හදාගන්න ඔ්නි.
“සර් අනික් පැත්ත හැරෙන්න චෙස්ට් ඒක තියෙන්නේ. අපිට තව විනාඩි පහලවයි තියෙන්නේ.. සර් හෑන්ඩ් ෂේක් ඒකක් ගන්නවද?”
“කීයද?”
“සර්  ගාන දන්නවා ඇති හෑන්ඩ් ෂේක් ඒකට දාහයි.ටච් කරනවානම් තව පන්සීයක් ඔ්නි.”
“ටච් කරනවා කියන්නේ මොකක්ද?”
“සර්ට පුලුවන් මගේ පපුව අතගාන්න.”
“ඒතනින් ඒහාට”
“ඒතනින් ඒහාට මොකුත් නෑ”
“සර් හෑන්ඩ් ෂේක් ඒකක් ගන්නවද?”
“හ්ම්”
“මම සර්ගේ පර්ස් ඒක ගේන්නම් සර් 1000ක් අරන් දෙන්න”
“ඇයි මම සල්ලි නොදී පැනලා යයි කියලා බයද?”
“ඔව් ගිනිපෙලෙල්ලෙන් බැටකාපු මිනිස්සු කණාමැදිරි ඒළියටත් බයයි. මගේ ජීවිතේ ආය මහන්න බැරි තරමට ඉරලා දැම්මේ පිරිමි. ඉතිං මම පිරිමි විශ්වාස කරන්නෑ.සර් මොකේද ආවේ?”
“බයික් ඒකේ”
ඇය මගේ මුදල් පසුමබිය ගෙනැවිත් මා අත තැබුවාය. මා ඉන් රුපියල් දහසක් ගෙන ඇයගේ සුරතේ තැබුවෙමි.
අම්මට යවන්ඩ තිබ්බ පන්දාහෙන් දෙදාහක්ම  ඉවරයි.
“මෙතෙන්ට වැඩිපුරම ඒන්නේ කවුද?”
“තටු කැඩිච්ච ලොම් හැලිච්ච ඇසුත් පේනනැති නාකි මිනිස්සු වැඩිපුරම ඒන්නේ. සර් ටවල් ඒක ගලවන්න..”

බයිසිකලය වේයන්ගොඩින් මගලේගොඩ පාරට හැරවූයෙමි. වලවල් තිබ්බත් ගම්පහට පාර ලඟයි.ට්‍රැෆික් ඒක්කුත් නෑ. බයික් ඒකට පෝක් ඔයිල් දාන්නත් බැරිවුනා. වලවල් වල බයික් ඒක වැටෙද්දි පෝක් බාර්  දෙක ඉහල පහල යනවා. පිස්ටන් ඒකක් වගේ. මම ගැස්සෙනවා. උඩ යනවා.මේ පාර කවදා හදලා ඉවරවෙයිද මංදා.. බයිසිකලේ නැවතුනා ඒක පාරම. පෙට්‍රල් ඔ්ෆ්ලෝ යනවා.

“හැමදාම මේක ලෙඩ... විකුණලා දානවා..”

“සර් ගෙදර යනවනම් වොෂ් ඒකක් දාගෙන යන්න. මසාජ් ඔයිල් සැරයි...”




Wednesday, June 12, 2019

ඡන්දේ - 02 කොටස

වෙසක්කෙකටත් ගමේ ගියා. කහ පැහැති සපු මල් පිපී සුවඳ විහිදුවමින් තිබිණ.
බල්බ් වැල්.. වෙසක් කූඩු.. ගමේ ඉහල පහල.. සීතල...
“බියර්රෙකක්කත් ගහන්ඩ නෑ බාර් වහලනේ..”
“මං ආසයි ගමේ ගිහිං එළවලුවක් වවාගෙන ඉන්න”
ගමේ ඉන්න උන්ගේ අවසන් කෙඳිරිය කොළඹ යෑම. කොළඹ ඉන්න උන්ගේ අවසන් කෙඳිරිය ගමේ යෑම.
බෝම්බ පිපුරුණේය. බෝම්බ පිපුරුමෙන් යූ.එම්.පී ආණ්ඩුව අනාත නාථ වෙලාය. “අවුරුදු විසි අටකින් ගත්ත ආණ්ඩුව කොරන් යන්න ඕකාට පින නෑ. එක්කෝ අර සජිත්ට හරි දීලා රනිලා තොලොංජි වෙලා යන්න ඕනි. තිබ්බත් වැඩක් තියෙන එකක්යැ. අපිට මොනාද කරේ. අම්මපල් මේ පාරනම් මගේ ඡන්දේ කටුගානවා.”
අම්මා මට ටැලිපෝං කෝල් එකක් ගත්ත වෙලාවක ආවේගය පිට කලේ එහෙමය.
හාලිඇල ටවුම දෙකට දෙබෑ කරමින් බදුලු ඔයේ අනුශාඛාවක් ටවුම මැද්දෙන් නිසොල්මනේ ගමන් කරයි. ඉස්සර ඔය පාලම ඉහත්තාවේ ලොකු හාල් මෝලක් තිබ්බා. දැන්නම් ඒක අභාවයට ගිහිල්ලා. බණ්ඩාරවෙල පාරේ මීටර් හත් අටසීයක් ගියාම කෝවිල. ඇටම්පිටිය පාරේ මීටර් හත් අටසීයක් ගියාම මුස්ලිම් පල්ලිය. බණ්ඩාරවෙල පාරේ නුග ගහ යටින් පැල්ලැහැට බැහැලා ඇවිදගෙන ගියාම හාලි ඇල්ල කෝච්චි ඉස්ටේසම.ඊගාවට උඩුවර.ඊගාවට දෙමෝදර. ඊගාවට ඇල්ල. ඊගාවට බණ්ඩාරවෙල. ඔය ටවුම බේසමක් වගේ. වටේ කඳු. මැද ටවුම. සීතල මැද්දේ මීදුමෙන් කඳු වසාගත්තාම හරිම මූසල පාටයි. කන්දෙගෙදර පාරනම් කොයි වෙලාවෙත් පාලු පාටයි. හැම වෙලේම සෙනඟ අඩු නැත්තේ සදන් අයියගේ සැලූන් එකෙයි ප්‍රියන්තයගේ බාර් එකෙයි තමයි. මොකා මොන බෝම්බ ගැහුවත් මෙහේ දෙමළ..සිංහල..මුස්ලිම් මිනිස්සු සමඟියෙන් සංතෝසෙන් ඉන්නවා. අවුලන්ඩ හැදුවට ඇවිලෙන්නේ නෑ.
“යෙපි සංතෝෂෙන් යින්නේ...දුක ශෝකය නේ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී.. යෙක හෙලියේ බත් කන්නේ යෙක පැදුරේ බුදියන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී....”
අපි ඉස්සර පුකට අව්ව වැටෙනකන් නිදාගන්න එක තමයි කරේ. සමහර දවස්වලට අම්මා ඇවිත් ඉස්කෝලෙ යන්න දෙතුන් පාර කතා කරත්
“ම්හු”
හතරවෙනි පාර සීතල වතුර ප්‍රහාරයක් බව දන්නා අපි දඩ බඩ ගාලා නැගිටිනවා.
“අම්මට හුඩු හතයි”
දඩ බඩ ගාලා ලිප්බොක්කට ගිහිං ගිනිපෙල්ලක් අරං චොරෝස් ගාලා වතුර එක්ක ඔබලා අඟුරු කැටේකුත් අරං සල්ලයිට් කෑල්ලත් උස්සන් ඇලට දුවනවා.
සීතල වතුර කටට ගත්තම දත කට පූට්ටු වෙලා යනවා දැනෙනවා. රෙදි හෝදන්ඩයි නාන්ඩයි දෙකටම සල්ලයිට් තමයි.
“මෘදු සබන් ඒ කියන්නේ බේබි සබන් වල තියෙන්නේ පොටෑසියම්. හමට අගුණ නෑ. රෙදි හෝදන සබන් ඒ කියන්නේ සල්ලයිට් වල තියෙන්නේ සෝඩියම්.”
“ඌරන්ට මොන සෞඛ්‍යයද මහත්තයෝ.”
ඔන්න දැන් පුක කැඩිච්ච කඩි වගේ අපි දුවනවා. නවතිනවා.. දුවනවා .. නවතිනවා.. ඉස්කෝලෙට කිලෝමීටර් එකයි කාලයි. A5 මාර්ගය. පේරාදෙණිය බදුල්ල චෙන්කල්අඩි හයිවේ. එක කිලෝමීටර් කණුවක් සොහොන ගාව. අනික පංසල ගාව. ඊට ටිකක් එහායින් ඉස්කෝලේ. කිලෝමීටර් එකයි කාලයි.
“පී.ටී..සිංහල..ඉංග්‍රිසි..ආගම..විද්‍යාව..ගණිතය..චිත්‍ර.. සමාජ අධ්‍යයනය”
“ඇයි ඉන්ටවල්”
“මෙවර මධුරිගේ පාසල් නිවාඩුවෙන් වැඩි කොටසක් ගෙවී ගියේ අලුත් අන්දමේ වැඩක් සඳහාය”
“ඉකෙයා බාල වියේ සිටම රාත්‍රී අහස දෙස බලන්නට පුරුදුව සිටියේය.”
“හතර රියන් සහ දෙරියන් එකම ගමේ යාලුවෝය. මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි.”
“මීටර් සියය..නූල් කෑල්ල..සාර භූමි..”
“තිසර සරුයි අංජුලා ටීචයි යාලුයි”
“අංජුලා ටීච බැඳලනේ.මහත්තයා රට”
“ආදරේට එවුවා බාධාවක් නෙවෙයි”
වෙඩි වගේ විනාඩි දහයෙන් උදේ ඉස්කෝලේ ගිය අපි හවස එද්දි පැයක් විතර යනවා. නාකි බල්ලෝ කොළඹ ගියා වගේ.
පිට්ටනිය අයිනේ කොට්ටම්බා ගහට පොලු ගසා කොට්ටම්බා තලා කෑම. ඉස්කෝල කැලේ කැහැලියා..කුඩු මිරිස් කැඩීම..මිනී මහත්තයලගේ ගහෙන් හොරෙන් චෙරිස් කැඩීම. ඉස්කෝලේ අරින වෙලාවට මිනී මහත්තයා පොල්ලකුත් තියාගෙන චෙරිස් ගහ යට ඉන්නවා.පංසලට පැල්ලැහැ ගල් රැන්දේ මොර ගස්වල අතු කඩා ගෙඩි කෑම.. කැකුණ ගහේ ගෙඩි තලා මද කෑම.. වැඩිය කෑවොත් කලන්තේ වගේ.. පකඩෙ මාමලාගේ ගල්රැන්දේ කොක්කු ගෙඩි කැඩීම.. කැටේ ගෙදර වත්තේ තෙල් මොට්ටු කෑම.. බූටා ගෙඩි කෑම බූටා කොල කෑම..ඉස්කෝලේ මහත්තයලගේ පිහිල්ලට කට අල්ලා වතුර බීම.. අතේ සත පනහක් ඇතොත් බංටි ටොපි කා කොලය ඇදීම .. පේරවත්තේ වත්ත අයිනේ පේර ඇතොත් පේර කැඩීම.. පැණි තෝර කෑම.. ගෙදර ගිහිං බත් කෑම..
“උඹලගේ බඩේ එච්චර ඉඩ තියෙනවද? කොන්ක්‍රීට් ටිකක් කාලා යකඩ ඇණ ටිකක් ගිලලා වතුර බීපල්ලා.”
ගෙදරට යන්ඩ ඉස්සෙල්ලා අපි යන තව තැනක් තියෙනවා. ඒ විජේ අයියගේ මඩුව. ලී වැඩනම් ඉතිං විජේ අයියා තමයි. හයි රේට්. කොලිටි වර්ක්ස්. අපි ගෙදරට යන්න කලින් විජේ අයියගේ මඩුවට ගිහිං ලී කැපෙන .. යතු ගෑවෙන.. නියන් ..යතු මුවහත් කෙරෙන දිහා බලා හිඳීම සහ ඔය වුවමනාවක් නැතත් යතු රොඩු හරි ලී කුඩු ටිකක් හරි සාක්කුවේ ඔබාගෙන යන එක සිරිතක්. විජේ අයියා ප්‍රියන්තයගේ බාර් එකේ නිත්‍ය සාමාජිකයෙක්.
අපේ බංඩෙ බාප්පත් වඩුවෙක් තමයි. ඒත් එයා දන්නේ ටවල් රැක් හදන්ඩ විතරයි. ඇඳන් හැදුවොත් ඉතිං
“චිරිස්..බිරිස්..චිරිස්..බිරිස්..ජරස් ..බරස්..ජරස් ..බරස්..”
අලුත බැඳපු ජෝඩුවක් ඇඳක් හදවගෙන ගිහිං මල විජ්ජුම්බරයක් වුනා. ආය ඇඳ හදපු ගාස්තුව දෙන්ඩ වුනාද කොහෙද.. කොඳු නොකැඩී බේරිලා තියෙන්නේ අනූ නමයෙන්.. නිකං බාස්.. බංඩෙ බාස්..

“පේමදාස මහත්තයා එනවළු බදුල්ලට විසි නමය ... සුයං රැකියා ආධාරයි වියළි ආධාරයි බෙදනවා කියලයි ආරංචි. මං ඔහේගේ නමත් දැම්මා”
මාලු ඇන්ටි කඩිමුඩියේ ඇවිත් අම්මත්තෙක්ක කියෝනවා. මාලු ඇන්ටි තමයි අපේ ගමේ එසසච් ජාචික පස්සේ සම්බන්ධීකරණ නිලධාරී. චී ලංකා නිදහස් පස්සේ සම්බන්ධීකරණ නිලධාරී නෙවෙයි ඇමති වගේ ඉන්නේ නැම්බර් මාමා. ඔය නැම්බර් කියන්නේ ඉස්සර ගංසබා වල තිබ්බ ලොකු පට්ටමක්ලු. හරියට ප්‍රාදේශීය සභා මංත්‍රී කෙනෙක් වගේ. ඉතිං දැන් ගම්සබා නැතත් අදාල පට්ටම නැතත් නැම්බර් මාමා ඉන්නේ අඩි ගානක් උඩින්.පාරේ යන්නේ මෙන්න මෙහෙම. දන්නැද්ද ඉතිං මේ පැතිවල උන්ගේ සද්දෙයි පඩ ගඳයි විතරයිනේ. ඔය නෙලුදණ්ඩෙත් ඉන්නවා නැම්බර් කෙනෙක්. මිනිහට තියෙන්නේ කතා පවත්තන මේනියාවක්. මං හිතන්නේ නෙලුදණ්ඩෙ මරණ සමිතියේ ලොකු කාලයක් මොකක් හරි තනතුරක හිටියා. ඉතිං මිනිහා කරන්නේ එහේ විතරක් නෙවෙයි අහල ගම් හතකම මල ගෙවල් උනාම ගිහිල්ලා අනාරාධිතවම කතා පවත්තන එක. ඒවා හරි ආවේගශීලී කතා. හරියට දේශපාලන කතා වගේ. කතා කරන ගමන් හොරෙන් හොරෙන් වට පිට බලනවා. තමන්ගේ කතාවෙන් මිනිස්සු මුසපත් වෙලාද කියලා. කතා කරන ගමන් අර පේමදාස මහත්තයා වගේ කකුලේ ඇඟිලි වලින් ඉස්සෙනවා. කතාව ඉවරවෙලා බොහෝම උජාරුවෙන් සතුරු බල සේනා දිග්විජය කල කුමාරයෙක් වගේ තුවායත් කර වටේ ඔතාගෙන පැත්තකට වෙලා මිනිස්සු තමන් ගැන අවධානයෙන්ද කිය කිය හොරෙන් හොරෙන් බලනවා. මටනම් මිනිහගේ කතා නිකං පුස්සක් වගේ. ඒත් ගොඩාක් ගම්මුන්ට ඒ කතා මරු.
දැන් ගම්වල තැන තැන පොකට් මීටින් පවත්තන්න හෙන තරඟකාරිත්වයක් තියෙන්නේ.නිදහස් පස්සේ එවුන් එස්සච්ජාතික පස්සෙට වඩා මිනිස්සු තම තමන්ගේ මීටිමට ගේන්ඩ උස්සහ කරනවා. නිදහස් පස්සේ මීටින් නැම්බර් මාමලාගේ ගෙදරද එස්සච්ජාතික පස්සේ මීටින් මාලු ඇන්ටිලාගේ ගෙදරද පැවැත්තෙනවා. ඔය පොකට් මීටින් වලට වි..මු එනවා කියලා පණිවිඩ යැව්වත් එන්නේ වි..මුගේ මල්ලියි ර.මු රත්නායකයි වගේ ලපයි සිපයි තමයි. නැම්බර් මාමානම් පයින්ඩ යවන්නේ බණ්ඩාරනායක නෝනා එනවා වගේ. ඒත් එන්නේ ඔය කටුගහ රත්නායක වගේ ලපයි සිපයි. අපිත් ඉතිං ඡන්ද හිමිකමක් අහල හත් ගවුවක නැති වුනත් ඔය රැස්සීම් වලට යන්ඩ ඕනි. සෙනඟ පෙන්නන්ඩත් එපැයි.
“අයියට එන්ඩ වෙලාවක් නෑ. පේමදාස මහත්තයගෙ මීටින් ඒ නිසා මම ආවේ”
වි..මු ගේ මල්ලී අයියා ලියපු කතාව කියවනවා. අලියා ඉස්සරා කතිරෙ ගහලා ඔයාලගේ ආසනේ ර.මු මහත්තයගේ හය ඉස්සරහ කතිරෙ ගහලා අපේ අයියා ඒ කියන්නේ ඔයාලගේ දිස්ත්‍රික් නායක වි..මු. මහත්තයගේ අංක නමය ඉස්සරහත් කතිරයක් ගහන්ඩ.
එයිට පස්සෙ ර.මු. රත්නායක කතා කරනවා. පිලිගැනීමේ කතාව පාලි සර්ගෙන්. ස්තුති කතාව පකඩෙ මාමා හරි ඡන්නා හරි කරනවා. මාලු ඇන්ටි ගානේ තේ පැන් සංග්‍රහය.  ආච්චිත් ඇවිත් මාරි බිස්කට්ටෙකක් කහට එකේ ඔබාගෙන කනවා. ආච්චිත් ආය කැපුවත් කොල. පකඩෙ මාමටයි ඡන්නාටයි පෝස්ටර් මිටි හතරකුයි තීන්ත බකට්ටෙක්කුයි පින්සලකුයි දීලා කීයක්දෝ සාක්කුවෙත් ඔබලා යනවා.
“ඕකුන්ගේ කාලේ චූටියෝ කන්ඩ තිබ්බෙ නෑ. අපි කෙහෙල් අලත් තම්බන් කෑවා. මිරිස් නැතුව හොදි කාපං. . .සීනි නැතුං තේ බීපං. . . කිව්වේ ඒ කාලේ. හැමතැනම හාල් පොලු. . මිරිස් පොලු. .හඳෙන් හාල් ගෙනල්ලා දෙනවා කියලා ආපු ගෑණි. .
ආච්චි මැතිණිට බනින්ඩ පටන්ගන්නේ ඔතනින්.
ඔය පේමදාස මහත්තයා ඉන්නවා නේද? පේමදාස මහත්තයට විරුද්ධව අපි එකෙක්කත් කට ඇරියොත් බලාගන්ඩ පුලුවන් අපේ අම්මයි ආච්චියි අපිට දෙස්ස කපන හැටි.
“තොපි මහ ගුණමකු ජාතියක්. බඩපොත්ත පිටට ඇලිලා ඉන්නකොට ඔය මිනිහා තමයි විලි වහගන්ඩ වස්තරෙත් දුන්නේ. නිල ඇඳුම් කියලා. ඔය මිනිහා තමයි කූපන් කාඩ්ඩෙක දුන්නෙත්. උඹලට ඉස්කෝලෙදි ඉස්කෝතු. . කිරි. . ඉස්කෝලෙ යනවට දවසට රුපියල් තුන ගානේ දුන්නෙත් ඔය මිනිහා තමයි. දැන් ජනසවිය දෙන්ඩත් යන ඔය මිනිහා දෙවියෙක්. තොපි කරාවො වගේනේ . කරාවෝ ගුණේ නෑ. ලබුමල සුවඳ නෑ.
ජනසවිය දෙන්ඩ ඉස්සල්ලා දත්ත රැස්කරන්න ග්‍රාමසේවක මහත්තයා ගෙයක් ගානේ එනවා කියලා ආරංචි වුනාම අම්මා හොඳ වේවැල් පුටුයි රේඩුවෙකයි ගේ ඇතුලේ කාමරේක හංගලා වේවැල් කැඩුණු පුටුවක් දෙකක් ඉස්සරහින් තියෙනවා. චිමිනි ලාම්පුවත් ගෙනල්ලා කැබිනට්ටෙක උඩ තියෙනවා.
“ගෘහ මූලිකයා?”
“නැතිවෙලා”
“පවුලේ ළමයි?”
“හතරයි”
“ලැයිට් තියෙනවද?”
“නෑ”
“රස්සාව?”
“කුලී වැඩ”
“මාසික ආදායම?”
“අනේ මහත්තයෝ එහෙම කියන්ඩ බෑ. වැස්සොත් වගේ වගක් නෑ”
“අටසීයක් දාමු”
“පන්සීයක් දාන්ඩ මහත්තයෝ”
ඡන්නලා පකඩෙ මාමලා වැඩ පටන් ඇරං. පාරවල් මැද අලි ඇඳලා වි..මු..මු කියලා ලියලා එවුන්ගේ අංක ගහලා. ගස් ගල් වල කොලපාට පෝස්ටර් අලවලා.
පහුවෙනිදට අනික් පැත්තේ එවුන් ඕවා විකෘති කරනව..මු ගේ නමේ රයන්නට ඉස්සරහා කොම්බු ඇඳලා. “රෙමු.
වි..මු ගෙ නමේ මුල් අකුරු දෙකට කලු තෙල් හලලා. “මූ”
“මූ කවුද මූ මොනාද කරන්නේ?”
ඡන්නලා පකඩෙ මාමලා පහුවෙනිදා ඇවිල්ලා මේ විකෘතිය කරපු උන් ගැන අපේ අම්මත්තෙක්ක කතා පවත්තනවා.
“අනුමානයක් නෑ ඕක මැම්බරයගේ වැඩක්. ඕකුන්ටත් එකක්වත් ගහන්ඩ දෙන්ඩ එපා. ඇයි යකෝ අපේ ආණ්ඩුවනේ”
“ලොකු හාන්දුරුවෝ මේ පාර මොකාටද දන්නෑ”

“දෙපැත්තටම. දෙපැත්තෙන්ම සල්ලි දුන්නොත් ලොකු හාන්දුරුවෝ මැද. කොයි පැත්තෙද කියලා හිතාගන්ඩ බෑ.
(තව කොටසක් ඇත)