බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, September 3, 2017

බෝතල් අවුරුද්ද - අන්තිම කොටහ


(සබාවෙන් අවසරයි..
මුලින්ම දැන් රත්නපුරේ පැවැත්තෙන බ්ලොග් වසන්තයට සුබපැතුම් එක්කරනවා)

ඔය ඈත අතීතේ බදුල්ලේ මීගහකිවුලෙමුත් ඈත හද්ද පිටිසර ගමක එක ගෙදරක අම්මයි පුතයි පුතාගේ පවුලයි සහයෝගයෙන් ජීවත් වුනාලු. ලේලිට මැහුම් කර්මාන්තේ ගැන දැනුමක් තිබ්බලු. ඉතිං පුතන්ඩියයි යේලියි කතිකා කරගත්තලු මහන මැෂිමක් ගේන්න බදුල්ලේ ටවුමට ගිහිං. ඒ කාලේ ඔය අහල ගම් හතකවත් මහන මැෂිමක් තිබ්බේ නැල්ලු. පුතාටයි යේලිටයි තමන්ගේ අම්මව පුදුම කරවන්නත් ඕනිලු. ඉතිං අම්මා මීගහකිවුල පොලේ වෙළඳාම් ගිය දවසක තමන් හම්බුකරන් ඉතිරිකරගත් මුදල් වලින් බදුල්ලෙන් මහන මැෂිමක් අරං ඇවිත් ඉස්තෝප්පුවේ තියලා තිබ්බලු අම්මව පුදුම කරන්න.
ඉතිං පොල ඉවර වෙලා ගෙදර ආපු අම්මා ජීවිතේට මහන මැෂිමක් දැකලා තිබ්බ එකක්යැ.
උන්දැ ඇහුවලු

“ආ උඹලා මේකේ නැගලද ආවේ” කියලා.

ඇයි මැෂිමේ රෝද කාරියත් තියෙනවනේ.. හැක් ....
(යලට මහට ලියවෙන මේනකයාගේ ගොඩේ කතා)

**********************************************************

දැන් ඉතිං මේ ගමේ ඇටෙන් පොත්තෙන් එළියට එන එවුන් ගැන මට ලියන්ඩ අමතක වුනාවද්දෝ මංදා. ඒ කියන්නේ මේ අපි සයිස් ගැටයෝ නෙවෙයි ගැටිස්සියෝ ගැන.

ඉතිං කෙල්ලෝ ඇටෙන් පොත්තෙන් එළියට එනවා කියන්නේ ලොකු වෙනවට. නැත්තන් මල්වර වෙනවට. ඇස්ටෝන් වෙනවට. කොටහුල් වෙනවට. නැත්තන් අපි කියන විදියට ජම්බු ගහෙන් වැටෙනවට. ඉතිං ඕක වුනාට පස්සේ කෙල්ලන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ පහල වෙනවා. තිසර යුගවන් ලැමද ... පුලුලු උකුල .. සිහිනිඟ සුඟ.. සුනිල දෙතොල ..දිගු නෙතු යුග ..  ඒ කෙල්ලන්ගේ...
කොල්ලන්ගේ ඉතිං කටහඬ ගොරහැඬි වෙනවා .. දැලි රැවුල වැවෙනවා.. විලි ලැජ්ජයි...

ඉතිං දැන් කෙල්ලන්ට කොල්ලන්ගේ ඇල්ම බැල්ම වැටෙන්ඩ ගන්නවා. අපිවනම් ගනන් ගන්නෙවත් නෑ ඉතිං . හොයන්නෙම ලොකු ලොකු අය තමයි.. ඇයි අපි පොඩියිනේ ...

බස් කොන්දොස්සර්ලා.. බස් ඩැයිවර්ලා .. හාලි ඇල්ලේ ත්‍රීවීල් කාරයෝ.. හාලි ඇල්ලේ මුස්ලිම් කොල්ලෝ.. ඩෝසර් කාරයෝ..

අපිත් ගොඩාක් වෙලාවට බස් කොන්දෙක් එක්ක ගමේ කෙල්ලෙක් යාලු වුනොත් ඒ කෙල්ලගේ ආවතේවකරු හෙවත් පියුන් හෙවත් කොට්ටෝරුවා බවට පත්වෙනවා. ආය කටේ කෙල බිංදුවක් හලන්නෑ. ඒකට ප්‍රති උපකාර විදියට කොන්දගෙන් අපිට ලැබෙන්නේ නොමිලේ ට්‍රාන්ස්පෝට් සහ පාරේ දැක්කම ලැබෙන සැලියුට් පාර. අපිත් ඉතිං සැලියුට් කන්න තරම් උසස් පොඩි එවුන් තමයි ඒ දවස්වල. අදාල කොන්දාගේ කෙල්ලගෙනුත් අපිට එක එක කප්පම් ලැබෙනව ඉතිං. ඔය කෙල්ලෝ බස් ඩැයිවරටත් වඩා මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියටත් වඩා බදුල්ලේ පැයිවට් බස් ස්ටෑන්එකේ ටයිම් කීපර්ටත් වඩා හොඳට බස් ධාවන කාලසටහන දන්නවා. බස් එක එන වෙලාවට කොන්දොස්තර ඉන්න පැත්තෙන් කලගෙඩියකුත් උස්සගෙන උඩහ හේල්ලන්දේ පීල්ලට යනවා වතුර ගේන්ඩ. කොන්දොස්තර බස් එක යන ගමන් වඳුරෙක් වගේ පොල්ලේ එල්ලිලා කෙල්ල දිහා බලාගෙන විරිත්තගෙන ඔහොම යනවා. ඉතිං දෙන්නම සෙනික ආස්වාදයක් ලබාගන්නේ එහෙමයි.

පංති යනවනේ.. යන්නේ බස්සෙකේනේ... ඉතිං කොන්දොස්සරලාගේ ඇල්ම බැල්ම වැටෙනවා. පංති ඇරෙනවනේ.. බස්සෙක එනකන් බලන් ඉන්නවනේ.. බස් හොල්ටෙක ගාව ත්‍රීවීල් පාක් එකනේ.. ඉතිං ත්‍රීවීල් අංකල්ලගේ ඇල්ම බැල්මත් වැටෙනවා..මොකුත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ.. ඌ දරුපවුල් කාරයෙක්ද වැදගත් නෑ .. වයස කීයද වැදගත් නෑ... මඟ දිගට තව ගෑණු ඉන්නවද වැදගත් නෑ ..

“හා”

ඉතිං මොන සාපෙද... ඉතිං මොන උපෙද ...
යං කිව්ව ගමන් පැනලා

“හා”

ඉතිං ගොඩාක් කෙල්ලො ත්‍රීවීල් සරණ.. කොන්දොස්සර සරණ යන්නේ ඔහොම තමයි.

හැබැයි ගමේ වසලා හමාර වෙන්නේ මුස්ලිම් තඩියෙක් එක්ක පැනලා ගියාම තමයි. ඒක තරම් අවනම්බුවක් ආය නෑ.. ආය කවදාවත් උන්වනම් ගෙවල් වලට වැද්ද නොගත්තත් ඕවගේ සිද්දි මේ ගමේ අවුරුදු ගානක් කටගැස්මක් වෙනවා.

“හැබිචෝල් කමට හැදිලා ඇටෙන් පොත්තෙන් එළියට එන්ඩ කලින් ඕකුන්ට මගුල් විසේ... අපේ අම්මා මුත්තා කාලෙවත් වුනාද ඕවගේ වැඩ..ඉස්සරත් ඔය අපේ ගම්වලට මුස්ලිම් වෙළෙන්දෝ කොච්චර ආවා ගියාද? අපි ලැජ්ජාවට බයට හැදුනේ... දැන් එවුන් ඒකට .. එක අතකට යසයි මහ එකීගේ කටේ පුරාජේරුව යන්ඩත්තෙක්ක දුව කොනකපාලයෙක් එක්ක පැනල ගිය එක”

අපේ ආච්චි මුස්ලිම් සරණ ගිය කෙල්ලන්ට දෙස්ස කපන්නේ ඔහොම තමයි..


දැන් ඉතිං ඔය කියන සුබ නැකත එනවා. ආයෙත් රතිඤ්ඤා හඬින් මුළු ගම්මානෙම ගිගුම් දෙනවා. අපිත් මෙච්චර දවස් විටින් විට හොරෙන් ඇඟලාමින් හැඩ බලපු අළුත් ඇඳුම් දඩි බිඩි ගාලා ඇඳගෙන ගිහින් අම්මට වඳිනවා. අම්මා කිරිබතුයි කෙහෙල් ගෙඩියකුයි පොඩිකරපු ගුලියක් අපේ කටේ ඔබලා බුලත් කොලේක ඔතපු රුපියල් පහක් දෙනවා.
රුපියල් පහෙන් මක් කොරන්නද? කමන්නෑ .. අම්මා අතේ සල්ලිත් නැතුන් ඇතිනේ.
දැන් ඉතිං ඊගාවට ආච්චි. ආච්චි ඉස්සරහ බිම වැතිරිලා වඳින්නේ ආය.
ආච්චි ගොඩාක් වෙලා මගේ ඔළුව බදාගෙන මොනාදෝ කියවන් කියවන් යනවා. පස්සේ බුලත් කොලේක ඔතපු රුපියල් විස්සක් දෙනවා.
යකෝ රුපියල් විස්සද? ඕකෙන් මක් කරන්නද? ආය ආච්චිගේ තඩි ඇහිඳින්නෙත් නෑ .. පුවක් පැහිලද බලන්නෙත් නෑ .. දන්සිරි අයියට කියවලා කඩවනවා පුවක් ටික හොරෙන්... රෙද්ද..
ඊට පස්සේ තමයි මගේ වැදගත්ම අති උත්තම දන්සිරි අයියා ගාවට ගිහිං දෝත් මුදුන් දී වැඳ වැටෙන්නේ. දන්සිරි අයියා බුලත් කොලේක ඔතලා රුපියල් එකසිය පනහක් දෙනවා..
අහා .....මගේ හිත් පොඩ්ඩ ප්‍රීතියෙන් ඔද වැඩෙනවා.. ඇඟ ඇතුලේ රතිඥ්ඥා පත්තු වෙන්ඩ ගන්නවා .. මම වෙනම ලෝකෙකට ඇදි ඇදී යනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මම ස්තීරවම දන්සිරි අයියගේ කොට්ටෝරුවා බවට පත්වෙනවා. පොලීසි සීයක නෙවෙයි දෙසීයක ගියත් කමන්නෑ.. සොහොන් කන්දේ කසිප්පු කෙරුවාවට එකෙන්ම බකප්පෙක දෙනවා.
“උඹ මට ගොඩක් උදව් කරානේ ඕකෙන් මොනා හරි ගනින්”
දැන් සෙනිකව මා එක් කරගත් වත්කම රුපියල් එකසිය හැත්ත පහක්.
දැන් ඔන්න ගමේ එකා දෙන්නා එනවා සුදු රෙද්දකින් වහගත්තු කැවිලි පාර්සල් එහෙම උස්සන්. ඕකට කියන්නේ නෑයින් බලන්න යනවා කියලා. ගල්ලත්තේ ආච්චියි බංඩෙසීයලා ආච්චියි පඩිපෙල බැහැගෙන එනවා .. රබං ගහන්ඩ.
උඩාරුමානෙන් ගෙනාපු රබාන මිදුලේ මැද ලිපක් හදලා ඒකට පොල්කටු අඟුරු දාලා ඒක උඩින් රබාන තියලා තියනවා රත්වෙන්න.
දැන් ගෙදෙට්ට එන එන හැම කෙනාටම වඳින්න ඕනි. කොන්ද කැඩෙනකන්. වැන්දම සල්ලි දෙන එකක්යැ. ඔය කීයක්හරි දෙන්නේ අපි එහෙට්ට නෑයින් බලන්න ගියාම තමයි. සල්ලි දෙනවනම් වැඳවැටිලා හරි ඉන්ඩ බැරියැයි.
දන්සිරි අයියා කොල්ලෝ රංචුවත් එක්කරගෙන තිලකේ මාමලාගේ පැල දිහාට රූටනවා. ඇයි එතනනේ වෙලේ බාර්රෙක.
“උඩපල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩපල ගත්තත් බිම පලගත්තත්
පුංචි පුංචි ගෙඩි වට්ටක්කා..
උඩින් උඩින් වර පෙත්තපුපු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්ඩ වර පෙත්තප්පු”

අපේ ආච්චියි බංඩෙ සීයලා ආච්චියි ගල්ලත්තේ ආච්චියි උදලුවත්තේ ආච්චියි රබන් ගහන්නේ එහෙමයි. අතින් විතරක්නම් මැදැයි. වැලමිටෙමුත් ගහනවා.
රබන්හඬ මැද්දේ ගෙදෙට්ට ආපු කට්ටිය සතුටු සාමිචි කතාබහේ ගිලෙනවා.
“නංගි අද රෑ කෑමට අපේ ගෙදර වරෙන්”
“අනේ අක්කේ අදනන් බෑ. අද රෑ ලන්ච්චෙකට පැල්ලැහැ පුතාලගේ ගෙදෙට්ට එන්ඩ කිව්වා”
“ආ එහෙමද”
ඔව්වගේ භාෂා වලේ දැමීමුත් සිද්ද වෙනවා.. R.I.P . English ...හැක්..
අපි ඉතිං ඔය ගමේ සම වයස් කෙල්ලෝ කොල්ලෝ එකතු කරගන්නවා. වෙන මොකටද ඉතිං ... සූදුවට ... පංචා කෙලිල්ලට.. පංචා කෙලිල්ල වත්මන් පරම්පරාවෙන් ගිලිහී ගොස් ඇති නිසා කෙටියෙන් ග්‍රන්ථාරූඪ කිරීමට සිතමි.
පංචා කූට්ටමේ බෙල්ලෝ හය දෙනෙක් ඉන්නවා. ඔය හය දෙනා අතට අරන් සල්ලි දානවා. දෙන්නෙක් අතර තමයි ඔය ගනුදෙනුව කෙරෙන්නේ. ඕකට කියන්නේ තැන්තුව කියලා. උදාහරණයක් විදියට මායි උක්කුවයි රුපියල් දෙක බැගින් බිමින් තියනවා. දැන් පංචා කෙළිය සිද්ද වෙන්නේ මායි උක්කුවයි අතර. ඒ අතරේ වටේ ඉන්න එවුන් ඔට්ටු අල්ලනවා. මේ දෙක චූටියා දිනුම්. මේ දෙක ඔත්තේ. මේ දෙක රෙට්ටේ ආදී වශයෙන්. ඒත් ඔය වටේ ඉන්න ජෝඩු අතර තමයි ගණුදෙනුව සිද්ද වෙන්නේ. මටත් ඕන්නම් ඔට්ටුවක් අල්ලන්න පුලුවන් මම දිනුම් කියලා. ඉතිං ඔය ඔට්ටු දැමිල්ලත් සිද්ද වෙනකන් අපි පංචා නොගහ බලාගෙන ඉන්න ඕනි.
හරි දැන් ඔට්ටු දාලා ඉවර වුනාම ගහන්න පටන්ගන්නවා. ගහනවා කියන්නේ පංචි කූට්ටම එක අතින් හරි අත් දෙකෙන්ම හරි අල්ලලා හොඳට හොල්ලලා හොල්ලලා බිමට දානවා. ඉතිං පංචි බෙල්ලෝ ඔක්කොම ඔලුවෙන් හිටගත්තත් මුනින් අතට හිටගත්තත් චූටියට ඉතිං පරාජය තමයි. ඕකට කියන්නේ බොක්කේ කියලා. බෙල්ලෝ පහක් ඔලුවෙන් හිටගෙන එක බෙල්ලෙක් මුනින් අතට හිටගත්තොත් චූටියා දිනුම්. ඕකෙම අනිත් පැත්ත වුනත් චූටියා දිනුම්. ඒවා දිනුම් ඔත්තේ.ඔය එකක්කත් වුනේ නැත්තං කුට්ටම උක්කුවා අතට යනවා. ඔත්තේ කියන්නේ ඔත්තේ සංඛ්‍යාත්මකව බෙල්ලන් හිටගැනීම. රෙට්ටේ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාත්මකව බෙල්ලන් හිටගැනීම. ඉතිං ඔය ඔට්ටු අල්ලපු එවුන් චරාස් ගාලා සල්ලි ඇදලා ගන්නවා. දිනනවා පරදිනවා. සූදුවේ හැටි ඔහොමයි. ඕක අවුරුද්දත් ඉවර වෙලා දවස් පහක් හයක් ඇදිලා යනවා. සමහර වෙලාවට හොරට ගැහුවා කියලා කෙහෙවලු පටලවා ගැනීම් හොම්බ රිවට් කිරීම් වාර්තා වෙනවා.
යකෝ මගේ අතේ තිබ්බ එකසිය හැත්තෑවෙන් අනූවකටම කෙලවෙලා කියහන්කෝ. ආය පංචි ගහන්නෑ . රෙද්ද ....
දැන් ඉතිං ඔය පිනෑන්ස්සෙකෙන් ත්‍රීවීල් බේරගත්තු ඈයෝ මහ සද්දෙන් එවුවයේ බෆල් දාගෙන පාරේ උඩහ පහල යනවා.
“ජිම්..ජිජිම්..ඩිම්..ඩුඩුන්..බංග්...බංග්..බැංග්..බැංග්... ජිම්..ජිජිම්..ඩිම්..ඩුඩුන්”
දැන් ඉතිං බේබදු නඩේ සෙට් එකට හොඳටම වැඩිවෙලා පාරේ උඩහ පහල යනවා සිංදු කිය කිය. ආය නවතිනවා. ආය බොනවා. ආය සිංදු කියනවා. ආය නටනවා. ආය බොනවා.
“යකෝ ඇති මුංගේ පපු කැවුතු ඉතුරුවෙලා තියෙනවා.”
පංචි කෙලිල්ල ඉවර වෙලා පැල්ලැහැ කෝපි ගහේ බැඳලා තියෙන ඔන්චිල්ලාවට යනවා.
“ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ඩ බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ”
“යකෝ හිමීට තල්ලු දාපිය වැටුනොත් මගේ අතපය කැඩෙයි”
දවල් ලංච්චෙකට අම්මා කතා කරනවා. ඉතිං අපි දුව්වලා දුව්වලා දුව්වලා යනවා. දූවිලි පෙරාගෙන.
“පලයව් ඇලට ගිහිං අතපය හෝදන් වරෙල්ලා. බලපව්කෝ නාවර පෙරාගෙන.”
ඉතිං අපි ඇලට ගිහින් ඔහේ උඩින් පල්ලෙන් වතුර ටිකක් ගාගෙන එනවා. අම්මව රවට්ටන්න.
වෙනදට අම්මා කිරලා බෙදලා දෙන බත් එක වංගෙඩිය උඩ හරි හිරමනේ උඩ හරි බංකුවක් උඩ හරි ඉඳගෙන කන අපි අද ප්‍රොපෙසනල් විදියට මේසේ බෙදාගෙන කන්න ලැහැත්තිය. ඕකට තමයි අවුරුද්ද කියන්නේ.
කන්ඩ ඉස්සෙල්ලා තිලකේ මාමලගේ පැල පැත්තේ රවුමක් ගහලා එන්ඩ තිබ්බනම්... මුද්‍රික පානය... එක්කෝ රෑ වෙලා මොනා හරි කරනවා. රෑ වෙද්දි ඉතුරු වෙයිද? බේබදු නඩේ බොන බීමට.
දැන් ඉතිං කාලෙකින් ගංකුකුල් මස්... කැප්ටන් ටින් මාලු..අච්චාරු.. පපඩම්.. අල තෙල් දාලා.. පපඩං බැදලා... පරිප්පු.. මංනන් පරිප්පු කන්නෑ..
අපිට අසීමිතව බෙදාගෙන බඩ පැලෙන්න කන්න පුලුවන්..
“කෝ මේ දන්සිරියා”
ආච්චි ඉතිං කන්නේ දන්සිරි අයියා ආවම. ඒ කියන්නේ ආච්චිට අද ලංච්චෙක නෑ.. ඩිනර්රෙක තමයි.
“අම්මා කන්ඩ. ඔවුන් බීගෙන ගිහිල්ලා බීලා දැන් කොහේ හරි වැටිලා බුදි ඇති.”
“මම ඕකට කියව්වා කොහේ ගියත් දවල්ට කන්ඩ වරෙන් කියලා. දැන් එනවා ඇති.”
“බලන් ඉන්ඩ එයි රෑට”
දැන් තව කට්ටියක් ඉන්නවා කාඩ් පැක්කෙක් අරං අප්පුහාමි මාමලගේ ගෙදෙට්ට සේන්දු වෙන. ඒ කට්ටිය මධ්‍යම ප්‍රතිපදා කාරයෝ. බොනවා තමයි. ගානකට. බූරුවා ගහන්ඩ සිහියක් පතක් තියෙන්ඩත් එපැයි.
බූරුවා ගැහිල්ල ගැන මරණ ගෙදරදි ග්‍රන්ථාරූඪ කර ඇති බැවින් වැඩිමනක් සටහන් නොකරමි. අප්පුහාමි මාමලගේ ගෙදර බූරු කෙලියද බේබදු නඩේ අරක්කු කෙලිය මෙන් බිං කරුවල වැටෙන තෙක් ඇදි ඇදී ඇදි ඇදී යයි.
දැන් නෑයින් බලන්න යාම හෙවත් නෑයින්ගෙන් කීයක් හරි කඩාගෙන ඒමට අම්මා පසු පස යාම සඳහා අපි අපි අතර සටනක් ආරම්බ වෙයි.
“මමයි යන්නේ කන්දෙගෙදර අයියලා ගෙදර”
“මමත් යනවා”
“දැන් එකෙක්කත් එක්කන් යන්නෑ. ඔක්කොම හිටපියව් ගෙදර”
අපි එකිනෙකා අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අනුව එක එක නෑ ගෙවල් වල යාම එක එක අතර බෙදාහදා ගන්නවා. වැඩියෙන් ගණු දෙනු ලැබෙන ගෙයක් සහ සෙසු ගෙවල් වශයෙන් බෙදාගන්නවා. දැන් අම්මා පස්සේ එක එකා නෑයින් බලන්ඩ යනවා.
ආය වැරදිලාවත් ඔය එක ගෙදරකින් හරි අපි එක්ක ගණුදෙනු නොකරොත් ඉතිං ආපහු ගෙදෙට්ට එනකං හිතිං කුණුහර්පෙන් බැන බැන තමයි එන්නේ.
දැන් ඔය කොලඹ පැත්තේ පැට්ටේරි වල වගේ ඩැයිවිං කරන එවුන් අවුරුද්දට ගමේ එන්නේ ඒ ඒ අදාල ආයතන වල වාහන ඉල්ලගෙන. ගමට ඇවිල්ලා ඉතිං තමන්ගේ වාහනේ වගේ රඟපාන්නේ. උඩහට යනවා. පහලට යනවා. හොන් ගහනවා. හරවනවා. ලයිට් ගහනවා.
ඔය දැන් හාලි ඇල්ලට යන්න කවුරු හරි පාරේ හිටියොත් උඩහට යන ගමන් කාර්රෙක නවත්තනවා.
“නැගපං”
“බෑ හාලි ඇල්ලට යන්නේ බැංකුවට”
“නැගපං..නැගපං”
“බෑ බං පැල්ලැහැට යන්නේ”
පස්සේ බැහැලා නැගපං නැගපං කියලා කාර්රෙකට ඔබාගෙන උඩහ පාලමට ගිහිං අරූට රට බීම බොන්ඩ දීලා උගේ පට්ටන්තරේ දිග ඇරලා කාර්රෙකේ තියෙන එව්වා මෙව්වා ගැන කියා දීලා ගෙනැල්ලා දානවා. දැන් මූ හිතන්නේ තමන්ගේ කාර් එක ගැන අරූ බඩු පිට පාරම්බායි කියලා. දැන් ඉතිං පැට්‍රෝල් ටික ඉවර වෙනකං උඩහට පහලට යනවා.
දැන් ඉතිං බිං කලුවර වැටෙනවා. මම හිමීට හිමීට අලුත් අවුරුද්දේ අන්තිම හරිය සමරන්න තිලකේ මාමලාගේ පැල දිහාවට සේන්දු වෙනවා. යනවා පැල ඇතුලට. අත දානවා යූරියා බෑක්කෙකට. පුෂ්ඨිමත්ව තිබ්බ යූරියා බෑක්එක කෘශ වෙලා. බෝතල් දහය පහලවක් තිබ්බ යූරියා බෑක් එකටම බෝතල් දෙක තුනක් ඉතුරු වෙලා.
“යකෝ මුන් බිව්වද නෑවද?”
මට එවුවයෙන් වැඩක් නෑ. වරෙන් මගේ කොටහ.
“ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්..”
බාගයක් අමුවෙන්. කුඹුරේ බඩවැටියේ තියෙන මිරිස් ගහෙන් අමු මිරිස් කරලක් කටේ ඔබාගෙන මම ගෙදෙට්ට යන්නේ මත්වතුර මගේ ඇඟේ ක්‍රියාත්මක වෙන්ඩ ඉස්සෙල්ලා..
ගිහින් ඇඳේ ඇල වෙනවා. හිටගෙන හිටියොත් ඉතිං අතේ මාට්ටුනේ.. ටික වෙලාවකින් ඇඳ මාවත් අරගෙන මල් මල් ගමනක් යනවා.. අහා සර්ව සුබවාදී සිතිවිලි මගේ හිතේ ජනිත වෙනවා. මාව ගත්ත ඇඳ දන්සිරි අයියගේ කිතුල උඩිමුත් යනවා.
“යකෝ ඇලවෙන්ඩ එපා වැටෙයි...”
ඇඳ කෙලින් යන්නේ නෑ දැන්.. මට බයයි.. මම ඇස් තදේට පියාගන්නවා. ඇස්වලින් කඳුලු පනින සැරක් එනවා.. අමාරුවෙන් ආය ඇස් පියාගන්නවා.
“චූටියා නැගිටපං එලි වෙලා.. කට හෝදගෙන තේ බීපං තේ එක නිමෙනවා.”
“යකෝ එලි වෙලාද?”
තාම ආමිකාරයන්ගේ ගෙවල් වල බෆල් සද්දේ ගම දෙවනත් කරනවා. උදේට බොදු බැති ගී.. දවල්ට ප්‍රින්ස්ගේ අසංක ප්‍රියමන්තගේ සිංදු .. හවසට බයිලා රෑ එළි වෙනකල්. එකම වට්ටෝරුව තමයි දවස් ගානක්.
දැන් ඉතිං ඊයේ දවසම බීලා බීලා මූණු බෙරිකරගත්ත ඇස් රතු කරගත්ත බේබදු සෙට් එකේ එකා දෙන්නා විවිධ තැන් වලින් මතුවෙලා එකට එකතු වෙලා ඊයේ බීපු හැටි සහ ඒ ආශ්‍රිත සිද්ධි ගැන සමාලෝචනයක් කරනවා.
“මන්තිරියගේ මැල්පෝට්ටෙකයි දන්සිරියගේ බඩුයි කලවම් වුනානේ. ඒ අස්සේ සුමනයා මැන්ඩිස්සෙක්කුත් ගෙනාවනේ. උතුර දකුණ නෑ ආය. කෑවෙත් නැද්ද කොහෙද? ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ.තැඹිලි ගෙඩියක්කත් නෑනේ..”
“දන්සිරියා ගාව ඉතුරු ඇති තව පහක් හයක්.. යංද?”
ඔන්න ඉතිං අදත් පටන්ගන්නවා. ඕක ඉතිං දවස් හතරක් පහක් සාක්කුවේ අන්තිම තඹ සතේට හිඳෙනකන් ඇදි ඇදී යනවා. පවුල් සංස්ථාවක් දරුවෙක් මල්ලෙක් පේන්නෑ.. බොනවා..බුදියනවා...බොනවා.. බුදියනවා...
ගෑණු වෙන මිනිස්සු එක්ක බුදියන එක අහන්ඩත් දෙයක්ද?
ඔන්න ඉතිං දවස් පහ හයකින් පස්සේ ලෙල්ලටම හිඳිච්ච එවුනට දැන් තමයි තම තමන්ගේ රස්සා මතක් වෙන්නේ. අනුන්ගේ කාර් අරං ඇවිත් ගමේ රඟපපා හිටපු උදවිය කලින්ම මාරු වෙලා යනවා.
හමුදාවල ඉන්න එවුමුත් තමන්ගේ නිවාඩුව ඉවර බව දැනගෙන තමන්ගේ පසුම්බි පරීක්ෂා කරනවා.
“යකෝ සතයක්කත් නෑනේ”
වෙරිත් හිඳිලා... පසුම්බියත් හිඳිලා..
“අම්මේ.. අම්මේ.. හෙට වැඩට යන්ඩ ඕනි.. සතයක්කත් නෑ..නැද්ද පොලියටවත් කීයක්කත් හොයාගන්ඩ තැනක්”
“සතයක් ඉතුරු වෙයි ඇයි බීපු බීමට.. මම කොච්චරවත් කියලා තියෙනවා ආවම ගමේ එවුන් එක්ක රස්තියාදුවේ යන්න එපා ගෙදෙට්ට වෙලා හිටපං කියලා. දැන් ඔය බීපු එකෙක්ගෙන්වත් කීයක්කත් ඉල්ලපංකෝ වැඩට යන්න තියෙනවා කියලා දෙයිද බලන්ඩ.. කාගෙන්වත් පොලියට ගන්ඩ ඕන්නෑ .. මේන් උඹ අවුරුද්දට දීපු හයසීය තියෙනවා. අරං වැඩට පලයං”
හමුදාවේ ඔක්කොමත් වැඩට යනවා.ආපු ආපු ඔක්කොමත් වැඩට යනවා. කැසට් බැසට් එක පාරම නවතිනවා. මහා නිහැඬියාවක් ගමේ රජ කරනවා.
“ආය අවුරුද්දක් බලන් ඉන්ඩ එපැයි.”
අපි ඊගාව අවුරුද්ද එනකන් ඇඟිලි ගනිනවා.


Wednesday, August 2, 2017

බෝතල් අවුරුද්ද 03




ඔය අපේ කලුබංඩෙ බාප්පා ඉන්නව නේද? ගමේ මිනිස්සු උන්දැට කියන්නේ ගොඩ ග්‍රාම සේවක. ආය උජාරුවෙන් තමයි ගමේ උඩහ පහල යන්නේ. දික් කලිසම අද්දිග ෂර්ට් එකයි ඇඳගෙන. නිල් පාට රාජ ඌෂ්නේ. ඉස්සර බදුල්ලේ ......... ඇමතිතුමා පස්සෙමයි. ඒ වරම උඩින් දාගෙන ගමේ කීප දෙනෙට්ට රස්සා දෙනවා කියලා සල්ලි අරං මඟ ඇරියා කියලා කතාවක් තාමත් ගමේ උඩහ පල්ලැහැ දුවනවා.
ඇයි ගිය ජනාධිපති ඡන්දෙ කාලේ ඡන්ද අල්ලස් වශයෙන් බෙදන්න ගෙනාපු කිඹුලා උදළුතල සිය ගානක් මිනිහගේ ගෙදර ගොඩගහලා තිබ්බා. කවුරුත් නොහිතපු විදියට ආණ්ඩුව පෙල්ලුනා. කවුරු හරි ඔත්තුවක් දීලා පොලීසියෙන් ඇවිත් මිනිහවයි උදළු තල ටිකයි කුදලගෙන ගියා. ඉතිං හිරේ ලැගලා අපු දවසේ ඉඳං මිනිහට නමකුත් පට බැඳුනා. දැන් “උදළු බංඩේ” කිව්වොත් නොදන්න එකෙක් නෑ ආය.


ඔය ජාතියාලේ මතකද? එහෙම නැත්තන් නමසිය අසූ තුනේ කලු ජූලිය කියන්නෙත් ආං ඕකට තමයි. ජාතික ආලේ තමයි ඔය ජාතියාලේ වෙලා තියෙන්නේ. ජාතික ආලේ කියන්නේ මහ ජාතිය විසින් සුළු ජාතිය තලා පෙලා දැමීම. ඔය කලු ජූලිය ඇති වුනේ සිංහල දෙමල මිනිස්සු අතර. ඒක ඒ මිනිස්සු තලා පෙලා දැමීමට වඩා තනිකරම ඒ මිනිස්සුව කොල්ලකෑමක් තමයි සිද්ද වුනේ. මම නෙවෙයි කියන්නේ අපේ උක්කුබංඩේ ලොකු තාත්තා. ඉස්සර උන්දැ අපේ ගෙට උඩ තියෙන පාරට ඇවිල්ලා 
ඔය වගේ කතා කියව කියව ඉඳලා යනවා.

“හාලි ඇල්ලේ සුමිතුරු මුදලාලි විජේ මුදලාලිලා දියුණු වුනේ ඒ කාලේ ඔය දෙමල කඩ මංකොල්ල කාලා තමයි.”

“ඉතිං ඒ කාලේ බදුල්ලේ ඔය මොඩන් පිචර් හෝල්ලෙකයි එත්විල් පිචර් හෝල්ලෙකයි අයිති වෙලා තිබ්බෙත් දෙමල මුදලාලි කෙනෙට්ට. දැන් ඉතිං බදුල්ල ටවුමේ දෙමල කඩ හෝ ගාලා ගිනි තියනවා. මුලු ටවුමම එකම ගිනිගොඩක්. ඇයි කඩ ගොඩ හරිය අයිති වෙලා තිබ්බේ දෙමල මිනිස්සුන්ට. ඒ අතරේ වටේ ගම්මාන වල සිංහල මිනිස්සු ඇවිල්ලා ගින්න මැද්දේ රත්තරං බඩු කඩයි රෙදි කඩයි අනික් සිල්ලර කඩයි කොල්ලකන්ඩ පටන් ගත්තා. ඔය සුමිතුරු මුදලාලිලත් විජේ මුදලාලිලත් ඕකම තමයි කරේ. දැන් රත්තරං වලින් නාගෙන හිටියට ඒ කාලේ ඕකුන්ට පස්ස කහගන්ඩ නිය තිබ්බේ නෑ. ඉතිංහැම මිනිහම කඩ වලට පැනලා වටිනා කියන දේවල් ඇරගෙන යද්දි මීගහකිවුල පැත්තෙන් ආපු මිනිහෙක් කඩේකට පැනලා ඒ කාලේ තිබ්බ ඉලක්කම්  කරකවන ටෙලිපෝන්නෙක්ක වයර් කපාගෙන ගෙදර අරං ගියාළු. හැක් .. හැක්... මිනිහගේ හිතේ ඕක තමයි ඒ කඩේ තිබ්බ වටිනාම වස්තුව කියලා ...හැක් ... හැක් “

දිට්ඨ ධම්ම වේදනීය කර්මෙ හැබෑ වුනා. ලක්සෙට කොඩි දාන් හිටිය සුමිතුරු මුදලාලිගෙයි විජේ මුදලාලිගෙයි ව්‍යාපාර මේ ලිපිය ලියනකොට අලු සුන්නද්දූලි වෙලා ගිහිං.

“ඕවා යා දෙන්නෑ චූටියෝ”

තවත් බීඩියක් පත්තු කරගෙන ගෙදර යන්න අමාරුවෙන් නැගිටින ගමන් අපේ ලොකු තාත්තා කියපු වචන අද උන්දෑ ජීවත්ව නැතත් හැබෑ වෙලා.


ගිය අවුරුද්ද ඉවරවුනාට පස්සේ අපේ රාජධානියේ ප්‍රමිලා දේවියක් දස්කොන් කෙනෙක් එක්ක උඩුවර ලැගුම්හලකට තුන් රෝද රථයකින් යනවා රාජ පුරුෂයෙක්ට මාට්ටු වෙලා තියෙනවා. ඔය රාජපුරුෂයන්ට හොරෙන් අධෝවාතයක්කත් යවන්න බැරි රාජධානියක් මේක. ඉතිං රාජ පුරුෂයා ඇවිත් මේක රාජ්‍යයේ තැන තැන කෙල හලන බව දැනගත්තු දස්කොන් ආපහු ඇවිත් මේ ගැන කටේ කෙල බිඳක් නොහලන බවට රාජපුරුෂයා සමඟ ගිවිසගෙන අල්ලස් වශයෙන් හාලිඇල්ලේ ප්‍රියන්තයගේ තැබෑරුමෙන් රා කල සොලොසක් පොවා පිටත්කර ඇරලා තිවුනා. ඔය සුරාව කටේ හලාගත්තට පස්සේ මොන රහස් රැකිලිද??? ඉතිං පහුවෙන්දා ඉඳං ඔය ප්‍රවෘත්තිය රාජධානියේ බල්ලෝ බළල්ලුන්ට පවා සම්ප්‍රේෂණය වෙලා තිබ්බා.
ඉතිං ඔය අපේ ගමේ විතරක් නෙවෙයි රටේම ව්‍යවසනයක් වගේ පැතිරෙන අනියන් සම්බන්ධතා ගැන නොක්ස් උන්නැහේගේ කතාවත් කියවලාම කතාවේ ඉතුරු හරියට බහිමු.


මෙරට තරුණයෝ සලෙළු ජීවිතයකට උපන්නෝ නොවෙති.(ඒකනම් මසුරන්) 
 මේ රටෙහි නීතියෙන් බලය ලද ගණිකා නිවාස නැත්තේය. එහෙත් මේ වෘත්තියේ නිරත වන අය නගරයේ නැත්තෝද නොවෙති. මොවුන් හට නොයෙක් වර කස පහර දීම් හිස මුඩු කිරීම් ආදි දණ්ඩන දෙන ලද නමුත් ගණිකාවන් සැපයීමේ  නීච වෘත්තියේ යෙදෙන්නෝ අතරින් පතර අසුවෙති. අබිරහස් වශයෙන් මෙම කටයුතු කෙරෙතත් අසු නොවී නිදහසේ යන්නෝ ස්වල්ප දෙනෙක්ම වෙති. දරුවන් ඇතිවීමේ කරදරය හේතු කොටගෙන බොහෝ තරුණ ස්ත්‍රීහු මෙම පහත් වෘත්තියේ නිරත නොවෙති. එසේ වුවද දරු උපත් වැලැක්වීමේ අති සියුම් උපක්‍රමද ඔවුහූ නොදන්නාහු නොවෙති.

ප්‍රසිද්ධියේ මෙබඳු දේ කිරීම නුසුදුසු බව දන්නා නමුදු දිවි පෙවෙත රක්නා පිණීස දුප්පත් ස්ත්‍රීහු මෙම ක්‍රියාවෙහි නිරත වෙති. ඔවුන් බොහෝ දෙනා ගණිකා කර්මය කරතත් වෛශ්‍යා නාමයටනම් එකෙකුත් කැමති නොවෙත්. ස්වකීය වල්ලභයා තමාගේ කුලයට ගැලපෙන කෙනෙකු වුවහොත් එය ප්‍රමාණවත්ය. මෙම අභිරහස් සංගම් ස්වකීය සැමියන් හට නොදැනෙන පරිද්දෙන් සඟවාලීමට ඔවුහූ සහජයෙන්ම දක්ෂය.

පුරුෂයාද ස්ත්‍රියගේ රහස් දැනගැනීමට පුරුදු පුහුණු වී සිටින බැවින් ස්ත්‍රියගේ මායම් වලින් හැම විටම ඔහු මුලා කිරීම උගහටය. එහෙත් ස්වාමිපුරුෂ තෙමේ බඩුත් සහිතව සොරා හමුවනතුරු සිය බිරියගේ වරද ඔප්පු කිරීමට කලබල නොවන්නේය.
මේ රටේ නීතියනම් සිය බිරිය සොර සැමියකු සමඟ සිටිනු අසු වුවහොත් සොර සැමියා කවරකු වුවද දෙදෙනාම එතැන මරා දැමීමයි. ගෙහිමියා හදිස්සියෙන්ම ගෙදරට පැමිණි විට ගෙය තුල සිටින සොර සැමියාට පලා යන්නට මඟක් නොවීනම් ඔහුට නියතයෙන්ම මරණය අත් වන්නේය.මෙබඳු ආකාශ්මික අවස්තාවක ඇතැම් මායාකාර ස්ත්‍රීහු අලු කුල්ලක් අතින් ගෙන ගෙයි දොර ඇර හිමියා ගෙට ඇතුල්වත්ම දෑස පුරා යන සේ අලු කුල්ලෙන් ඔහුගේ මුහුණට ගසන්නීය. ඇස්හි අලු ගසාලා මාරකයකින් තමාද බේරී සිය සොර සැමියාත් බේරා ගන්නීය.

ගෙදරදී සොර සැමියකු සමඟ වාසය කිරීමට සැමියාගෙන් කිසි විටෙක ඉඩ ප්‍රස්තාවක් ලබාගත නොහැකි වුවහොත් හිමියා ගෙදර දරුවන් බලාගනිමින් සිටියදී බිරිය සිය සොර සැමියා කැලෑවේදී මුණ ගැසෙන්නට නියම කර ගනියි. කැලයෙන් දර කඩාගෙන ඒම සහ සන්ද්‍යාවේ හරකුන් ගෙදර දක්කාගෙන ඒමත් ස්ත්‍රීන් සතු කාර්යයක් නිසා කැලෑවෙහිදී මේ රහස් හමුවීම පල දරන්නේය. සමහර ස්ත්‍රීන්ගේ සොර සැමියන් ඔවුන් හමුවීම පිණිස අඳුරෙහි පැමිණ ඔවුන් හමුවන අවසරයක් පතා රෑ බෝවන තුරු ගෙය පිටිපස බලා සිටිති. කලින් කරගත් නියමයන් අනුව කෝටු කැබෙල්ලක් බිඳීම හෝ බුලත් කොල කැබැල්ලක් වහලයත් බිත්තියත් අතරින් මුලුතැන් ගෙට දැමීමෙන් තමා පැමිණි බව සොර සැමියා සිය රහස් මිතුරියට දන්වන්නේය. එබඳු නියමයක් කලින් ඇති කරගත් කල්හි එම නියමටය ඉටු නොකර සිටීමට ඇයට ශක්තියක් නැත්තේය.

ස්ත්‍රීන් ස්වභාවයෙන්ම ස්වකීය සොර සැමියන්ට දැඩි ලෙස ප්‍රේම කරන බව මා අසා ඇත්තෙමි. යම් අවධියක සොර හිමියා ගෙයි සිටියදී හරි හිමියා ගෙට පැමිණියහොත් ස්වකීය සොර හිමියා බිත්තියට උඩින් හෝ පන්නවා ඔහුට ලැබෙන්න තිබූ දණ්ඩනය තමාම ලබාගැනීමට තරම් ස්ත්‍රීහු  ස්වකීය සොර සැමියාට ප්‍රිය කරන්නාහ.කිසියම් අවස්ථාවක තමන්ගේ හොර හිමියන් හා      සමඟ දිගු ප්‍රීතියක් භුක්ති විඳින්නට ස්ත්‍රියකට සිතුනහොත් සිය සැමියා හා සමඟ බොරු වරදකට බොරු දබරයක් කරගෙන “තරහ” වී බැහැර ගමකට ගොස් හොර හිමියා සමඟ හොර රහසේ වෙසෙන්නේය. ඇතැම් අවස්ථාවලදී මිනිසුන් ඔවුන්ගේ ස්ත්‍රීන්ට හා දූහිතෘන් හටත් සෙසු අය සමඟ කාම සේවනයට අවස්ථාව දෙති. ඉතා හිත මිතුරන් හා දිසාපතින් ආදි අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි ඔවුන් හට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්‍රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරිඳට හෝ දියණිවරුන්ට අවසර දෙන්නේය.

විවාහයට පෙර සිය බිරිය කුමරි බඹසර රැක සිටියද නොසිටියද එහි ඇති වැඩිමනක් වෙනසක් නැත්තේය. ඉතා අල්ප වූ පරිත්‍යාගයක් ලබා මවක් ස්වකීය දියණිය ආවාහයට කැප කරන අවස්ථාව නැත්තේ නොවේ. එසේ වුවත් වංශවත් වනිතාවෝ කිසි කලක කුල හීනයන් ප්‍රිය නොකරන්නාහ.
මෙම අශෝබන ප්‍රවෘත්ති වාර්තාව මෙතනින් සමාප්ත කොට දැන් ශෝබන දේ ගැන කතාවට බහිමු.

-එදා හෙලදිව “රොබට් නොක්ස්” 1696-

*********************************************************************************

දැන් ඉතිං පරණ අවුරුද්ද ... ආච්චිනන් ලිත දිහා බලලා පරණ අවුරුද්දේ ස්නානය කරන්න පල්ලැහැ ඇලට යනවා. බේබදු නඩේනම් ඉතිං ආය පරණ අවුරුද්ද කියලා නෑ තාමත් බිබී පාරේ උඩහට පල්ලැහැට ඇවිදිනවා. හමුදාවෙ ඉඳං නිවාඩු ආපු උන් ගෙවල්වල නැතත් උන්ගේ කැසට් එකේ සද්දේ බෆල් හරහා නොනැවතී ඇහෙනවා. ඕක නවත්වන්න ඒ ඒ නිවාස වල හිමියන් හෙවත් ඔවුන්ගේ මවුවරු පියවරු නොපෙලඹෙන්නේ ලුණු ඇඹුල් ඇතිව මිහිරි පද අසාගැනීමට ඇති අකමැත්ත මතයි.
නොනගතේ ලබන්නේ හවස හයයි හතලිස් දෙකට. අපේ අම්මත් හරියටම අවුරුද්දකින් කඩෙන් ගෙනාපු එවරෙඩි බැට්රි කෑලි හතර මගේ අතට දෙනවා. රේඩිවෙකට දාන්න. අගහිඟකම් වලින් පිරිච්ච අපේ ගෙදර මුලු අවුරුද්ද පුරාම රේඩිවෙක අහන්නේ කන්දෙගෙදර අයියලාගේ ගෙදර කෑලි හතරේ ටෝච්චෙකෙන් අහක දාන බැට්රි. එවුවත් බැස්සම බැට්රි කෑලි අවුවේ දාලා වේලලා ආය රේඩිවෙකට දාලා තවත් ටිකක් කල් අහන්න පුලුවන්. මේ ලියුම ලියනකොට ඒ කාලේ ලංකාවේ තුඩ තුඩ රැඳිච්ච නාමයක් වෙච්ච එවරෙඩි කොම්පැණියත් ලංකාවේ ව්‍යාපාර අකුලන් ගිහිල්ලා තියෙන්නේ. සියළු සංසකාරක ධර්මයෝ නැසෙන සුලුය.
තාත්තා මැරුණට පස්සේ සීටීබී එකෙන් පන්ට්ටෙක විදියට ලැබිච්ච රුපියල් 5000න් තමයි ඔය යුනික් රේඩිවෙක අම්මා අරං ආවේ. මේ කාලේ වගේ ඒ කාලේ එෆ් එම් තිබ්බ එකක්යෑ. සෝට් වේව්ස් මිඩිල් වේව්ස්.

“කරගහතැන්නෙන් මෙගහර්ට්ස් විසි දෙක ... රදැල්ලෙන් මෙගහර්ට්ස් හතලිහ ඒකලින් කෙටි තරංග මීටර් විස්ස ..හුන්නස්ගිරියෙන් මෙගහරට්ස් හතලිස් දෙක ඔස්සේ මහනුවර සේවයේ වැඩසටහන් මෙතැන් සිට ගුවනට මුසු වෙයි...”

“සොරෝස්....සොරෝස්ස්ස්ස්ස්”

ඔය තරංග දුරුවලයි. එෆ් එම් වගේ නෙවෙයි.

“චූටි ඕක වහලා තියපං .. බැට්රි බහිනවා.”

එහෙම තමයි අපේ අම්මලා අපිට අරපිරිමැස්ම ඉගැන්නුවේ.

“චූටි ගිහිං පාරේ හුඹහෙන් පස් ටිකක් කපං වරෙං”


අම්මා ගොම ගාන්න යන්නේ. මං ඉතිං හොඳටම ගෙවිච්ච උදැල්ලයි යූරියා බෑක් එක්කුයි අරං පාරට ගිහිං වේයන්ට අයිති ගේ බිච්චි බිඳගෙන එනවා. බිච්චි බිඳිනකොට කේන්ති ගිය මහා විසාල නයෙක් හුඹස් කටෙන් එලියට පැනලා මට දෂ්ඨ කරනවා චිත්‍රපටියක් වගේ මැවි මැවී පේනවා.

දැන් කුස්සියේ ගොම ගෑවොත් නොනගතේ ගෙවිලා ඉවර වෙලා ලිප පත්තු කරන්න යන වෙලාව වෙනකොට ගොම ගානට වේලිලා තියෙන බව අම්මා අද්දැකීමෙන්ම දන්නවා.

“ඇයි කමලෝ ඕක ඊයේ රෑ ගාලා තියන්ඩ එපැයි.”

“කැවුම් බැදලා ඉවර වෙද්දි ඊයේ රෑ දෙගොඩහරියත් පහු උනා. තාම වැඩ ඉවරයක් නෑ. “

දැන් ඉතිං හුඹස් මැටියි ගොමයි වතුරයි මිශ්‍ර වෙච්ච පල්පය ලිපෙන් පටන්ගෙන මෙහෙට්ට මෙහෙට්ට රටාවට අම්මා ගාගෙන ගාගෙන එනවා. ආච්චි ඕක දිහා බලාගෙන ඉන්නවා.

“ සොහොන් කන්දේ කසිප්පු පෙරනවලු. අප්පා කන්ද හෙලේ නගිනවා දෙතුන් විඩක් සුමනා දැකලා තියෙනවා. දැන් රොත්තම සොහොන් කන්දෙලු”

“නෑ????”

“ඔව් මේ දන්සිරියත් ගෙදර නෑ.. අනිවාර්යෙන් හැත්ත වරිගෙත් එක්ක ඇති ... ඌත් එක්ක චූටියත් කන්ද නගිනවා සුමනා දැකල තියෙනවා”

“චූටි”

“ඇයි”

“මෙහෙ වර”

“ඇයි”

“තොට මං කොච්චර කියල තියෙනවද ඔය දන්සිරියත්තෙක්ක එහේ මෙහේ රස්තියාදුවේ යන්න එපා කියලා. තෝ කසිප්පු පෙරන්ඩද සොහොන් කන්දෙ නැග්ගේ?”

“හෝස්සෙකක් අරං ගියේ”

“හෝස්සෙකක් අරං ගියේ... තොට මම “

“චටස්...පටාස්ස්ස්...”

“අම්මෝමෝමෝ.....”

“එපා බං ඕකට තලන්ඩ අර බලපං ඇඟ පුරාම ගොම. අනේ කමලෝ උඹත් ...”

“අනේ අම්මත් කට වහං ඉන්න.. මුංව හදාගන්ඩ බැරි අම්මයි දන්සිරියයි හිංදා”

ඔන්න දැන් අම්මගෙයි ආච්චිගෙයි ගෝරිය ඇදෙද්දි ගොම හෝදගෙන නාගන්ඩ සල්ලයිට් කැටෙත් අරං මම ඇලට දුවනවා.

ඉතිං ගොම ගාලා ඉවරවෙලා අම්මත් ඇලට ගිහිං නාගෙන එනවා. දැන් ඉතිං වැඩ ඉවරයි.

“සංගරාන්දි ලබන්නේ කීයටද චූටියෝ”

“හයයි හතලිස් දෙකට”

“කරුවලේම එපැයි පංසල් යන්ඩ. මේ පාර නැකැත් කරුවලටම වැටිලා??”

දැන් ඉතිං අපේ ගෙවල් පලාතම එක එක කැවිලි පුසුඹින්  පිරිලා. කැවුම්..කොකිස් .. අලුවා .. පොල්ටොපි ..කිරිටොපි ..සිල්ලර ...තව...තව..තව ..
තෙල් බහින්න කඩදාසි වලින් වහලා තියෙන දොදොලේ උඩ ඉහලා තියෙන රට කජු එකාට එකා හොරෙන් ගිහින් ඇදලා කටට දාගන්නවා. අම්මා ඉතිං හවස බලද්දි රට කජු ඇටයක්කත් නැතිව රටකජු ඇට වල බ්ලොක් දොදොලේ ඉතුරු වෙච්ච  බව දැක්කාම ඌරු ජුවල් නගිනවා.

“ඔය බලපල්ලා ...රට කජු ඇටයක්කත් නෑ .. අනේ මුන්ට බඩ යන්නෑනේ.. මම කට කැඩෙනකන් කියනවා හොරා කන්ඩ එපා කියලා.”

ඔන්න නොනගතේ ලබන්ඩ කලින් දන්සිරි අයියා යූරියා මල්ලක් කරේ තියන් දෝවේ සීයලගේ ගෙවල් දිහායින් හොරගල් අහුල අහුල ගෙයි පිටිපස්සට සේන්දු වෙනවා. ආච්චියි අම්මයි අක්කයි පුංචියි පංසල් යන්ඩ ලක ලෑස්ති වෙනවා.

“කෝ ආච්චි”

පිටිපස්සේ ජනේලේ ගාවට ආපු දන්සිරි අයියා මගෙන් අහනවා.

“පංසල් යන්ඩ ලෑස්ති වෙනවා”

“ආය කවුද යන්නේ?”

“අම්මයි .. පුංචියි”

“උඹත් යනවද?”

“නෑ”

“මම මෙතන ඉන්නවා ගියාම කියපං”

පිටිපස්සේ කෙහෙල් පඳුර ගාව දන්සිරි අයියා හොරගල් අහුලනවා.

“චූටියෝ උඹ යන්නේ නැද්ද පංසල්”

“නෑ ආච්චි”

“එහෙනම් අපි යනවා .. ගේ බලාගෙන හිටිං. පූසෝ පනියි ඔය කැවිලි වලට”

නොනගතේ ලබනවා. නැත්තං සංගරාන්දි ලබනවා. ඔය නෙලුදණ්ඩ පැත්තෙන් ගලබොඩැල්ල පැත්තේ සෙන්ජේමිස් වත්ත පැත්තෙන් වගේම අපේ ගමෙනුත් තරඟෙට රතිඥ්ඥා හඬ රැව් පිළිරැව් දෙනවා.

“දන්සිරි අයියා කට්ටිය ගියා....”

“එහා පැත්තෙන් වරෙන්කෝ..”
දන්සිරි අයියා යූරියා බෑක්කෙක දිගඅරිනවා.

“ටිලිං..ටිලිං..ටිලිං..”
බෝතල්.. කසිප්පු බෝතල්.

“මෙතන බෝතල් දාසයක් තියෙනවා. හංගන්ඩ ඕනි.. කොහේද හංගන්නේ.”

“තිලකේ මාමලගේ පැලේ දුම්මැස්සේ හංගමු. මේ ටිකේ තිලකෙ මාමා කුඹුරෙ එන්නෙත් නෑනේ”

“ඔව් නේද යමං යමං..”
දන්සිරි අයියටත් හොඳටම වෙරි. කසිප්පු ගඳ කතා කරන හැම වචනයක් ගානෙම මට දැනෙනවා.

“බෝතල් හැටක් පෙරුවා. ඉතුරු ටික වික්කා. මේ ටික කොල්ලන්ට බොන්ඩ”
ඔහේ වැනි වැනී දන්සිරි අයියයි මායි තිලකේ මාමලගේ පැල දිහාට ගෑටුවා.
සංගරන්දි ලබපුවම අනුන්ගේ ගෙවල් වලට යන්න හොඳ නෑ. සල්ලි ගනුදෙනු කරන්න හොඳ නෑ. කන්න බොන්න හොඳ නෑ. උපවාසේ.. මේ කාලයේ පංසල් ගිහිං පිං දහම් තමයි කරන්න ඕනි. ඒත් බේබදු නඩේටනම් ඕවා වලංගු නෑ.

“දන්සිරී..දන්සිරී”

“ඇයි මන්තිරී”

“කෝ බං “

“මෙහේ වරෙන්කෝ”

මංතිරි අයියා පඩිපෙල බැහැගෙන අපේ ගෙවල් දිහාට රූටනවා.

“කෑගහන්න එපා බං.. මුලු ගමම දන්නව දැන් සීන්නෙක. තිලකේ මාමලගේ පැලේ හැංගුවා.”

“දැන් ගහන්ඩ මොකුත් නැද්ද?”

“චූටි අර කෙහෙල් ගහ මුල බෝතලයක් ඇති අරං වරෙන්”

මාත් ඉතිං කෙහෙල් ගහ මුලට සෙනිකව ගිහිං කරුවලේම මූඩිය කරකවලා ගුඩුස් ගුඩුස් ගාලා සොට් දෙක තුනක් හලාගන්නවා. පස්සේ පේර ගහෙන් කොලයක් කඩලා කටට දාගන්නවා.

“යකෝ මේකෙන් අඩු වෙලානේ..”

“ඇල වෙලා තිබ්බේ මූඩියෙන් ලීක් වෙන්ඩ ඇති. මූඩියෙන් ගිහිං තිබුණා එතන.”

මන්තිරි අයියත් බෝතලේ අරං ගුඩුස්.. ගුඩුස් .. මොන සැන්ඩිද? දන්සිරි අයියා බිස්ටල් එකක් පත්තු කරගන්නවා. මාව කැරකෙන්ඩ ගන්නවා.. අමුතු ලෝකෙක.. ලඟ ඉන්න දෙන්නගේ කතාබහ දුරින් දුරින් ඇහෙනවා.. මගේ ඇස් පියවෙනවා.. බිත්ති අත ගගා මම ඇඳ හොයාගෙන යනවා..

“අහා... මුද්‍රික පානයක අපූරුව...”

ඔළුව කුරුවල් වෙච්චි මට නින්ද යනවා. ඔන්න පහුවදා උදේ පහ විතර වෙද්දි අම්මා මාව කූද්දනවා.

“චූටි..චූටි...චූටි ... නැගිටපං .. තව ටික වෙලාවයි අවුරුද්ද ලබන්න.. රේඩිවෙක දාපං “
ආය අපේ ගෙදර බිච්චි ඔල්ලෝසුවක් තිබ්බ එකක්යැ.

“චොරෝස් ..චොරෝස්... “

“මහනුවර සේවේ දාපං ඒකේ වෙලාව කියනවා.”

“මහනුවර සේවය..ශ්‍රී පුෂ්පදාන මාවත .. මහනුවර .. නව අවුරුදු උදාවට හරියටම තව විනාඩි තිස්තුනයි..”

“ආ තව වෙලා තියනවනේ ... ආච්චිට කතා කරපං.. අතපය හෝදං වරෙන් ඇලට ගිහිං”

අම්මා අලුත් මුට්ටියට අපේ බටු වැස්සිගෙන් ඊයේ හවස දෝපු කිරි පුරවලා ලිපට දර දාලා කුප්පි ලාම්පුව ලිප උඩින් තියලා නැකැත් එනකන් බලාගෙන ඉන්නවා. ආච්චිත් ඉහෙන් කනින් පොරවගෙන කුස්සියට එනවා.

“දන්සිරියයි... මන්තිරියයි කසිප්පු බීලා මං එද්දි පල්ලැහැ මිදුලේ වඩුබංකුව ලඟ බුදි..”

“ඔන්න ඔහේ කමන්නෑ.. මේ ටිකේ අවුරුදුනේ .. ඔය චූටියා ගැන ඇහැ ගහගෙන ඉන්ඩ ඕනි. කොයි වෙලේත් දන්සිරියා පස්සේ”

“ ඔව් අලුත් අවුරුදු උදාවට හරියටම තව විනාඩියයි.”

“තත්පර පනස් අටයි..”

“තත්පර පනස් තුනයි”

“තත්පර තිස් නමයයි”

“තත්පර දොලහයි”

“තව තත්පර දෙකයි”

“ඔව් දැන් අවුරුද්ද උදා වුනා”

මම එලියේ කඳුර අයිනේ දිගඇරලා තිබ්බ රතිඥ්ඥා පැකට්ටෙකට ගිහිං ගිනි තියනවා. ඔන්න එතකොට අහල ගම් හතේම රතිඥ්ඥා හඬ රැව් පිළිරැව් දෙනවා. හොබරැල්ල කන්ද .. හුරිහෙල කන්ද ... නාරංගල කන්ද ..සැන්ජේමිස් කන්ද කියන කඳුවල ගැටුනු රතිඤ්ඤා හඬ දෝංකාර දෙනවා.

මම දූවගෙන ඇවිල්ලා කුස්සියේ අලුත් ගොම පොලොවේ දනගහලා ආච්චිටයි අම්මටයි වඳිනවා. ලිපේ දර ඇවිලෙද්දි අලුත් ගොම ඇවිලිලා අමුතු කුයිලකින් මුලු ගේම පිරෙනවා.

“ආහාර අනුභවය ගණුදෙනු කිරීම හා වැඩ ඇල්ලීමේ නැකත අටයි දහයටයි යෙදී තියෙන්නේ”

රේඩුවෙකේ නිවේදකයා කියාගෙන යනවා.

“චූටි ඕක වහපං තව වෙලා තියෙනවනේ”

ඔය නැකත තමයි ඉතිං කාට නැතත් අපිට වැදගත්ම නැකත. වැඩ ඇල්ලීම නැතත් කමක් නෑ වැදගත්ම වෙන්නේ ආහාර අනුභවයයි..ගණු දෙනු කිරීමයි.
අපි පොඩි එවුන්නේ ගණු විතරයි.. දෙනු නෑ...

ආච්චිත් චීත්තේ ගැටේ දිගඇරලා සල්ලි අතින් නොඅල්ලා ඇස් කරකෝ කරකෝ බලනවා. මම හිතන්නේ මට කීයක් දෙනවද කියලා කල්පනා කරනවා ඇති. ඇයි යකෝ අවුරුද්දම ආච්චිගේ සුදු කොන්ඩෙ ඉන්න සුදු මකුණෝ සයිස් උකුණෝ ඇහිඳින්නේ මේ චූටියානේ.. ඕකට කලගුණ සලකන්ඩ එපැයි ඉහලින්ම ...

 (අන්තිම කොටහ වලියකින් කෙලවර වෙයිද ?)