බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, August 23, 2016

දන්සිරියාගේ කිතුළ - 02 කොටහ

(ඉරිදාව බදාදාට ගෙන ආ මට පාඨකයන්ගේ සමාව භජනය වේවා..)

ඔය මොන මොන දේත් කෙල පැමිණි මිනිස්සු ඉන්නවනේ. ගුරු හරුකම් අණවිණ කොඩිවිණ හූනියම් නම් ඉතිං සාමි ලොකු තාත්තා තමයි. බූරු ගැහිල්ලනම් ඉතිං සුදුහාමි මාමා තමයි. කොල පනස් දෙකම මිනිහත් එක්ක ගජ මිතුරුයි. අනික් පැත්ත හරවලා මේන් කලාබර හේරා කියලා පෙන්නනවා. ආයේ ඉතිං වරදින්නෑ. පංපෝරි ගැහිල්ලෙන් කප් ගහලා තියෙන්නේ ඉතින් අපේ කලුබංඩේ බාප්පා තමයි. කුඹුරු කෙටිල්ලනම් ඉතිං එගොඩ කෝරලේ මාමා තමයි. මිනිහත්තෙක්ක අවුරුදු අනූවක් විතර වෙනකන් තරඟෙට කුඹුරු කොටන්න ජගතෙක් හිටියේ නෑ. කෝරලේ මාමා මැරුනේ අවුරුදු එකසිය පහලවෙන්. ඒත් නීරෝගීව හිටියා. මල් කැපිල්ලෙන්නන් කෙල පැමිණිලා ඉන්නේ උඩහ ඩිංගිරි බංඩෙ අයියා තමයි. ඔය අත් ගුණෙත් තියෙන්න ඕනිලු ඕකට.

“අනේ රෙද්ද.. උඹ මල කපන්න කිට්ටුව මට ඇවිත් කියපං. මම ඇවිල්ලා ගහට මතුරලා යන්නන්. හැබැයි පුතේ හැමදාම හවහට රා බෝතලේනන් වරද්දන්න බෑ මට“

සාමි ලොකුතාත්තා දන්සිරි අයියා මලක් බෙහෙත් තියනවා කියලා දැනගෙන එහෙම කිව්වා.

දැන් මල බෙහෙත් තියවිල්ලේ දන්සිරි අයියා ආධුනිකයි. උපදෙස් ඔක්කොම සපයන්නේ සාමි ලොකුතාත්තා තමයි.


ඔන්න ලණුවේ එල්ලිලා බාප්පගේ කෝප් පිහිය කිතුල දිගේ හෙමීට හෙමීට නගිනවා.

ඔය පිහියේ අල ගිය මුල ගිය වැල ගිය තැන් අපේ බාප්පා නිතරම කියවනවා. ඕක සීයෙට සීයක් සංශුද්ධ වානේලු. නියපොත්තෙන් තට්ටුවක් දැම්මම 
“ටංංංංංං“ 
ගාලා සද්දයක් එන්නේ ඒකලු. ඕක සුද්දෙක් වත්තේ දෙමළෙක්ගේ මුත්තට දීලා ඒක පරම්පරාවෙන් ඇවිල්ලා අන්තිමට අපේ බාප්පට විකුණලා තියෙන්නේ. ඔය පිහියේ මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ් කියලා උඩ ගහලා තිබ්බලු. ඒත් ඒක දැන් මැකිලලු. බාප්පා ඉතිං යන යන තැන ඔය පිහියත් ඉනේ ගහං යන්නේ. බාප්පා කරන්නේ හරක් රස්සාව. හරක් දිගේලි කරන්න ගියත් පිහිය අරං යන්නේ. ආය අම්ම මුත්ත කිව්වත් කාටවත් ඔය පිහියනම් දෙන්නෑ. දවල් නිදාගත්තු වෙලාවේ තමයි ඔය පිහිය බාප්පට හොරෙන් දන්සිරි අයියා උස්සගෙන ආවේ.

දැන් ඉතිං කිතුල් ගහේ වේලිච්ච අතු .. පරණ කිතුල් රෑන්.. කිතුල් හනසු.. මලට අවහිර වෙන අතු ඔක්කම කපලා බිමට දානවා. එළියට පැනලා බොහෝම ගාම්භීරව බලන් ඉන්න කිතුල් මලේ උඩ තියෙන පොතු දෙක තුනකුත් අහක් කරලා දානවා. දැන් මල කපාගෙන යනකොට මල පිපිරීමේ අවදානමෙන් බේරෙන්න මල වටේට කිටි කිටියේ ලණු එතීමත් සිද්ද කරනවා.

දැන් රිළවුන්ගෙන් මල බේරගන්න ගල්ලත්තේ ආච්චිගේ වැටෙන් හොරෙන් කපාගෙන ආපු කටුකම්බි.. වැල් නිදිකුම්බා වැල් වගේ එවුවගෙන් මල වටේ තියෙන අවකාශ‍යේ  ආරක්ෂක වැටක් හදනවා. මේ වැඩට ඕනි කරන කලමනා ඔක්කොම දන්සිරි අයියා ඉල්ලන ඇසිල්ලෙන් ලණුවේ ගැටගහලා උඩට යවන්න මම බැඳිලා ඉන්නවා.
ඔය රිළවු ඉන්නවා නේද? මේ ලෝකේ මගුලක් තියාගන්න දෙන්නෑ. රංචු පිටින් ඇවිල්ලා විනාසෙමයි කරන්නේ. ගෙවල් වලට පැනලා බත් මුට්ටි පවා උස්සන් යනවා. මඤ්ඤොක්කා ගහක කොලයක්කත් ඉතුරු කරන් නෑ. කනවා. පැපොල් ගස් පිටින් උදුරන් ගිහින් කනවා. ඔය මල බෙහෙත් තිබ්බත් ඒකටම ඇස් ගහගෙන ඉන්න වෙනවා. නැත්තන් රා ටිකත් බීලා මලත් කාලා දානවා.

ඩිංගිරි බංඩේ අයියගේ රා මුට්ටියක් බීලා වෙරි වෙලා දපනේ දාගෙන හිටපු රිළවු හය හත් දෙනෙක් ඩිංගිරි බංඩේ අයියා එලොව යවලා තිබ්බා කියලා අපේ ආච්චිට කවුද කියලා ආච්චි දෙස් දෙවොල් තිය තියා හිටියා.

“අනේ පව් බං.. අපිට කොච්චර වින කෙටුවත් අහිංසක සත්තුනේ. ඔව්වා ඉතිං උන්දැට මේ ආත්මෙම විපාක දෙයි බලපංකෝ.“

දැන් ඉතිං රිළවුන්ටත් මිනිස් ආස්සරේ නැතුව බෑ. ඇයි ඉතිං උන්ට තියෙන කැලෑව එළි කර කර මිනිස්සු තේ හිටවනවනේ. උන්ට යන්න තැනක් නැතුන් අපේ රෙද්ද අස්සටම එනවා. අර අලින්ට වෙච්ච වැඩේ තමයි රිළවුටත් වෙලා තියෙන්නේ.

මලට බෙහෙත් තියන නැකත් දවස සාමි ලොකුතාත්තාට අනුවනම් හෙට තමයි තියෙන්නේ. ඉතිං හැන්දෑ වෙලා රේන්ද පොලේ කඩෙන් සුරුට්ටු මිටියකුයි පුස්නාම්බු දෙක්කුයි අරන් මායි දන්සිරි අයියයි සාමි ලොකු තාත්තලා දිහා යනවා.

පාරේ හැතැප්මක් විතර පල්ලැහැට ගිහින් ගල් පඩිපේලියක් දිගේ හුරියල කන්දේ උඩට නැග්ගම තමයි සාමි ලොකුතාත්තලගේ ගේ තියෙන්නේ. ආය ඉතිං සිරීපාදේ නගිනවා වගේ තමයි.

“ආ..උඹලා ආවද? වරෙන් වරෙන් ඉඳගනින්“

පවුලත් නැති වෙලා ළමයි සීසී කඩ ගිහින් සාමි ලොකුතාත්තා තනියම තමයි ජීවිතේ ගෙවන්නේ. ගුරුකමක් වැරදිලා ආපිට කැරකිලා ඇවිල්ලා ඔහොම වුනා කියලයි ගමේ එක එක කතා හොරෙන් හොරෙන් දුවන්නේ. ඒත් එළිපිට ඔවුවා කියන්න මිනිස්සු කැමති නෑ. මොකද ඔය සාමි ලොකු තාත්ගේ යන්ත්‍ර මන්ත්‍ර සාත්තරේට මිනිස්සු බයයි.

“දැන් කලමනා ටික ලෑස්තිද? බෙහෙත් ටික“

“ඔව් ලෑස්ති කරලා තියෙන්නේ අඹරන්න විතරයි තියෙන්නේ“

“කටු ජාති පහ“

“ලෑස්තියි.“

“උදේ අඹරන්න කලින් මං එන්නන්. ලිපේ අලු ටික්කුයි .. දුම් මැස්සේ දුඹුල් ටික්කුයි එකතු කරලා තියපං.. වැඩිය කාටවත් ආරංචි වෙන්න දෙන්න එපා .. කටවහ වැදුනොත් ඔක්කොම ඉවරයි.“

“හා ලොකු තාත්තා.. එහෙනන් අපි ගිහිං එන්නං“

අපි රෑ වෙලා ගෙදෙට්ට එනකොට අම්මත් ආවේශ වෙලා ඉන්නවා.

“චූටි උඹ කොහේද බං මේ දහපද්දුරාවේ ඇවිදින්නේ. දවසම දන්සිරියගෙ පස්සේ. තොට ඉස්කෝලේ වැඩ නැද්ද. ආය දහපද්දුරාවේ ඇවිද්දොත් කඩනවා තොගේ හතර හංදි“

මං හිමීට ගෙට ගිහින් පොතක් පෙල්ලගන්නවා. පොතේ පිටු අතරෙත් මට දන්සිරි අයියගේ පෙන දාන රා මුට්ටිය මැවිලා පේනවා. අම්මේ... මමත් රා බීලා දපනෙ වැටිලා ඉන්නවා පේනවා. ඩබල් රූල් පොතේ මුලු පිටුවකම පැන්සලෙන් ලොකුවට  “රා“ කියන අකුර මගේ අතින් ඇඳෙනවා.

අම්මා පහුවදා වත්තේ වැඩට යන හින්දත් අපිට නිවාඩු හින්දත් දන්සිරි අයියයි සාමි ලොකුතාත්තත් එක්ක මල බෙහෙත් තියනවා බලන්න මට යන්න පුලුවන්.

“චූටියෝ කොහෙද බං දන්සිරියයි උඹයි ඊයේ හවා ගියේ?“

“ සාමි ලොකුතාත්තලගේ ගෙදර ආච්චි“

“අර මොකටද?“

“මොකටද මංදා කටවහ වදින හින්දා කියන්න එපා කිව්වා“

“අනේ බං ඔය සාමියත් එක්ක කවුද හවුල් වැඩ කරන්නේ. නෑයෝ වුනාට ඔවුන් විස මිනිස්සු. මේ ගේ හදනකොටත් මොනාද යට කරල තිබිලා ගාවෙල කපුවෙක් දම්මලා ගොඩ ගත්තේ. “

ඔන්න උදේ නවය දහය වෙද්දි සාමි ලොකුතාත්තා එනවා. දන්සිරි අයියත් මිරිස් ගල හෝදගෙන බෙහෙත් කලමනා ටිකත් තියාගෙන ලෑස්ති වෙලා ඉන්නවා.

නයි මිරිස් ..කොච්චි.. කැලෑ කොච්චි..කුඩු මිරිස්..යකිනාරන් ගෙඩි..ඇඹුල් දොඩන්..ලිපේ අලු...දුම්මැස්සේ එල්ලෙන දුඹුල් ..අර අපි එකතු කරපු සැර මල්..තවත් මොනාදෝ තිබ්බා..
තව යකි නාරන් කටු.. ගැට දොඩන් කටු..දෙහි කටු..උගුරැස්ස කටු..වශයෙන් කටු වර්ග පහක්..

දැන් සාමි ලොකුතාත්තා ඇවිල්ලා මාමයිට් බෝතලේකට පොල්තෙල් දාලා ඒකට යකඩ ඇනේකුයි කහ කෑල්ලකුයි දාලා මතුරන ගමන් දන්සිරි අයියට කියනවා අර කලමනා ටික අඹරන්න කියලා. දන්සිරි අයියා මිරිස් ගලට අර ටික දාලා අඹරන්න පටන්ගන්නවා. දැන් ඔය මල තැම්බිල්ල කරන්න තමයි ඔය බෙහෙත් අඹරන්නේ. ලිප් අලු සහ දුඹුල් වලින් මල තැම්බීම ඉක්මන් කරනවා ඇති කියලයි මට හිතෙන්නේ.

දැන් ඉතින් බාප්පගේ නියනයි .. බෙහෙත් ගුලියයි.. ඉටිරෙදියි .. රෙදි කෑල්ලයි.. අර කටු ටිකයි අරන් අපි කුඹුර දිගේ පහල කිතුල් මණ්ඩිය දිහාට ඇදෙනවා.

දැන් දන්සිරි අයියා කිතුලේ දිගේ උඩට නැගලා කිතුල් මලේ මුලයි කඳයි එක්වෙන තැනින් යට පැත්තෙන් නියනෙන් සිදුරක් විදිනවා. ඕක බොහොම පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්.

දැන් සාමි ලොකුතාත්තා ගහ මුල මතුර මතුර

“දැන් බැඳපන්“  
කියලා නියෝග දෙනවා.

එතකොට අර මිශ්‍රණ තලිය හෙවත් බෙහෙත අර සිදුර අස්සට අතෙන් කොටනවා. කොටලා ඉවර වෙලා අර කටු වර්ග පහත් මල බෙහෙත් තියපු තැන වටේට ගහලා  රෙදි කඩකින් වෙලලා බෙහෙත් තියපු තැනට වතුර කාන්දු නොවෙන විදියට ඉටිරෙදි වලිමුත් ඔතලා මලට වැඳලා දන්සිරි අයියා පහලට බහිනවා.

දැන් මල කපන්න මල හොඳට තැම්බෙන්න ඕනි. ඕකට ඉතින් තව දවස් හතර පහක් යනවා.


(දවස් හතර පහකින් එන්නන්කෝ)

Wednesday, August 17, 2016

දන්සිරියාගේ කිතුල - 01 කොටහ

අර සෙන්ජේමිස් තේ වත්ත පාමුල තමයි අපේ දුප්පත් ඉස්කෝලේ තිබ්බේ. පැත්තකින් ඇල. පැත්තකින් සුබරත්න අයියා අයිතිය කියන ඉස්කෝලේ කුඹුර. පැත්තකින් සම්පකාරය.. මහ පාර.. ඔය ඉස්කෝලේ තමයි අපි අයන්න ආයන්න පුරුදු වුනේ. මේන් හෝල් එක උඩහ. තව හෝල්ලෙකක් පල්ලැහැ. සිමෙන්තියෙන් කරපු ලෝක සිතියම අඩංගු පොකුණක් පැත්තක තිබ්බා. ඉස්කෝලෙටම ළමයි 85-90 ක් ඉන්ඩ ඇති. ඉස්කෝලේ ඉස්සරහ ලොකු බෝ ගහ. බෝගහ යට මළකඩ කාපු තහඩුවෙන් කරපු බුදු මැදුර. එතනම ජම්බෝල ගහයි කොස් ගහයි අතරින් පල්ලැහැ හෝල්ලෙකට බහින පඩිපෙල. ඔය පඩිපෙල දිගේ තියෙන බැම්මේ බුරුස් පැදලා තමයි ප්‍රේමදාස මහත්තයා අපිට දුන්න නිල් කලිසම් වල පස්ස පැත්ත ඉරාගත්තේ. 
ඊට පහලින් කෙල්ලන්ගේ ලැට්ටෙක. ඊට එහායින් කොල්ලන්ගේ වහලක් නැති ලැට්ටෙක. අරක වැසිකිලිය. මේක කැසිකිලිය. කොල්ලන්ගේ ලැට්ටෙක උඩ තියෙන බෝගහ ලඟට ගියාම හොඳට පේනවා. කවුද ඉන්නේ.. මොනාද කරන්නේ..කොච්චර වෙලාද .. කියලා ඔක්කොම බලන්න පුලුවන්. වැහි කාලෙට කොල්ලන්ගේ ලැට්ටෙකට කිට්ටු වෙන්ඩවත් බෑ. වතුර උතුරල ගලනවා . ඒ කාලෙට ලැට්ටෙකට එහායින් තියෙන බූටා කැලේට අල්ලනවා.කෙල්ලන්ගේ ලැට්ටෙක ගාව තියෙනවා ලොකු දන් පාට ගෙඩි හැදෙන අලිපේර ගහක්. ඕකේ ගෙඩි වාරෙට ඇට හෙල්ලෙන ගෙඩි කඩලා හංගලා තියලා ඉදුනම කොල්ලෝ කනවා. සමහරුන්ට හංගපු තැන් අමතක වෙනවා. සමහරක් සත්තු කාලා තියෙනවා. සමහරක් හංගන තැන බලන් ඉඳලා වෙන කොල්ලෝ හොරෙන් කනවා.

ඔය ඉස්කෝලෙට ඉංගිරිසි උගන්නන්න ඉංගිරිස් සර් කෙනෙක් ආවා ඔය ජයවර්ධනපුරේ පැත්තෙන්. ඒ සර් එනකොට අපිට ඉංගිරිසි වලටම කියලා වෙනම සර් කෙනෙක් හිටියේ නෑ. වෙන ටීචලා ඉංගිරිසි පීරියඩ් එකට ඇවිල්ලා ගිරවුට වගේ කටපාඩම් තියලා නිදි කිරලා යනවා.

“අයෑම් සමන් අයෑම් ෆ්‍රොරොම් ශ්‍රී ලංකා.. අයෑම් ගීතා අයෑම් ෆ්‍රොම් ඉන්දියා. අයෑම් ටාරෝ අයෑම් ෆ්‍රොම් ජපෑන්. අයෑම් මුරු අයෑම් ෆ්‍රොම් නයිජීරියා.“

ඔව්වා තමයි ඒ සර් එනකොට කටපාඩන් කරලා තිබ්බේ.
ඉතිං ඔය සර් ඇවිල්ලා අපේ පංතියටත් ඇවිල්ලා ආයුබෝවන් කියලා

“ළමයි .. මම ජයරත්න. අද ඉඳන් ඔයාලගේ ඉංග්‍රීසි සර්. මම ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලෙන් තමයි මෙහෙට්ට ආවේ. දැන් ඔයාලා දන්න බාසාවකින් ඉංගිරිසිම වෙන්න ඕනි නෑ.. ඔයාලා ගැන හැඳින්වීමක් කරන්න එක්කෙනා ගානේ. මෙහෙන් පටන්ගමු.“

ගාමිණියා නැගිටිනවා.

“මම ගාමිණී. ගම සෙන්ජේමිස් උඩ කෑල්ල. අයියයි නංගියි ඉන්නවා. අම්මා වත්තේ වැඩ. තාත්තත් වත්තේ වැඩ.“
ඊට පස්සේ චිත්‍රා නැගිටිනවා.
“මම චිත්‍රා. ගම දිබ්බැද්ද. අම්මා වත්තේ වැඩ. තාත්තා එළවළු හිටවනවා. නංගි කෙනෙක් ඉන්නවා.

ඊට පස්සේ මම

“මම මේනක. තාත්තා මැරිලා. අයියයි අක්කයි මල්ලියි ඉන්නවා. අම්මා දළු කඩනවා.“

ඊට පස්සේ ඉන්දුසිරියා

“මම ඉන්දුසිරි. සෙන්ජේමිස් පල්ලැහැ කෑල්ලේ ඉන්නේ. නංගි කෙනෙක් ඉන්නවා. අම්මා දලු කඩනවා. තාත්තා කෑ ගහනවා“

“කෑ ගහනවා..“

සර් නලලේ ප්‍රශ්ණාර්ථයක් මවාගෙන අහනවා.

“ඔව් සර් කෑ ගහනවා“

“ඒ කියන්නේ මට තේරෙන්නෑ“

“කෑගහනවා සර්“

සර්ට තාමත් නොතේරුන නිසාත් ඉන්දුසිරියා තේරුම් නොකරන නිසාත් ගාමිණියා නැගිටලා තේරුන් කරලා දෙනවා.

“සර් එයාලගේ තාත්තා බදුල්ලේ පැයිවට් බස් ස්ටෑන් එකේ කෑ ගහලා බස්වලට සෙනඟ පටවලා කීයක් හරි හොයාගන්නවා.“

සර්ගේ ඇස් වලින් කඳුලු කැට දෙකක් පනිනවා. සර් කඳුලු හංගන්න බිම බලාගන්නවා.
ඔන්න ඕකයි මහත්තයෝ බදුල්ලේ මිනිස්සුන්ගේ ඇත්ත සිටුවේසන් එක.
========================================
“දන්සිරී.... දන්සිරිඊඊඊඊ... දන්සිරිඊඊඊ“

දන්සිරි අයියව එයාගේ යාලුවෝ පාරට ඇවිල්ලා කැඳවන්නේ අන්න එහෙම.

“ඇයි බං මං කනවා“

සුමනෙ අයියා.. මංතිරි අයියා.. විජේ අයියා.. සාන්තයියා..අප්පයියා..චූටප්පයියා .... ඔය තමයි දන්සිරි අයියගේ යාලුවෝ සෙට්ටෙක.

“කාලා වරෙන් පොඩි ගමනක් යන්න “

දන්සිරි අයියා එනකන් කට්ටිය උඩහ පාරට වෙලා ඉන්නවා.

“කොහේ යන්නද ඉතිං රා කටහලේ බොන්ඩ වෙන්ඩ ඇති. දන්සිරියෝ යන්නෑ. ගෙදර හිටු.“

ආච්චි දන්සිරි අයියට දෙහි කපනවා.

“උඹ පුරන් කොටන්න කියල ජයවද්දනයගෙන් රුපියල් එකසිය පනහක් විතර නයට අරන් තියෙනවලු. ඒ මිනිහා හැමදාම හොයාගෙන එනවා. උඹ මොකද බං කරන්න බැරිනම් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ.?“

“ආච්චි ඉන්ඩකෝ ඒක මම බලාගන්නන්. එවුවගෙත් කන්ඩ බොන්ඩ තමයි ගෙදෙට්ට ගෙනාවේ“

“අනේ ඔව් කන්ඩ කෙසේ වෙතත් බොන්ඩනම් ගන්ඩ ඇති.“

ආච්චිගේ වචන සතේකට ගනන් ගන්නැති දන්සිරි අයියා ඇඳුමක් පටලවගෙන උඩ පාරට යනවා.

ඔය අපේ ගෙදෙට්ට පල්ලැහින් අපේ ගමේ පරම්පරාවකත් නොවෙන පිටින් ඇවිල්ලා ගෙවල් අරන් මාලු බිස්නස් කරන පවුලක් හිටියා. ගමේ මිනිස්සු කියන්නේ මාලු ගෙදර. මාලු අංකල්.. මාලු ඇන්ටි.. මාලු ගෑණි කියලත් කියනවා. ඒ ගෙදර කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. උන් ඉතිං මාලු කෙල්ලෝ. මාලු මුදලාලිට පරන වොක්ස්වැගන් වෑන්නෙකක් තිබ්බා. ඒකේ තමයි මාලු බිස්නස් යන්නේ. හවසට ඉතුරු වෙන මාලු ගමේ මිනිස්සුන්ට කුණු කොල්ලෙට විකුණනවා. එකපාරක් ඔය මාලු කාලා මුලු ගමම ලෙඩ වුනා.

“ආයෙනන් කන්නෑ ඔය බල්ලන්ගේ කුණු මාලු“

දවස් දෙක තුනක් බඩේ අජීර්ණයෙන් හිටපු අපේ ආච්චිත් හැම වෙලේම මාලු අංකල්ගේ අම්මා තාත්තව සිහි කෙරුවා.
ඉතිං ඔය ගෙදර හිටිය ලොකු කෙල්ලට ඒ කියන්නේ ලොකු මාලු කෙල්ලට දන්සිරි අයියා මල්සරාගේ හීයක් විද්දා. හීය හරියට වැදුණද කියලනන් දන්නෑ. දන්සිරි අයියා ව්‍යාජ ප්‍රේමයක පැටලුනා.

දන්සිරි අයියා හිර වෙන්න පටන්ගත්තේ ඔතනින්.

“ඕකගේ මුලු සේසතම ඕකි හූරන් කාලා වෙන එකෙක් එක්ක යනවා. ඔන්න මම හූනා කිව්වා වගේ කියන්නේ“

ආච්චි කිව්ව වචන ඇත්ත වුනා. දන්සිරි අයියගේ සේසතම හූරන් කාලා ලොකු මාලු කෙල්ල වෙන එකෙක් එක්ක පැටලුනා. දන්සිරි අයියා නොකා නොබී දවස් ගානක් හූල්ල හූල්ල ඔහේ බලාගෙන හිටියා.

ඩිංගිරිබංඩෙ අයියගේ රා ටික නොතියෙන්න දන්සිරි අයියා ටැමරෝන් බීලා අඩි හයක් පොලොවෙ යට.
ඩිංගිරිබංඩේ අයියගේ මලේ රා වරාගෙන එනකොට දන්සිරි අයියත් මලක් බෙහෙත් තියන්න කල්පනා කරනවා.

“චූටි වරෙන් පල්ලැහැ කුඹුර පැත්තේ යන්න“

ගෙට පහලින් තියෙන වෙල් යාය පාමුල තියෙනවා කිතුල් මණ්ඩියක්. ඔය කිතුල් මණ්ඩියට ගිහින් එක එක ගහ පරිස්සා කරනවා. බොහොම සාරෙට වැඩිච්ච නාඹර ගහක් ඉරාගෙන එන කිතුල් මල් පොඩියට දන්සිරි අයියගේ හිත වැටෙනවා.

“තව සතියක්කත් යයි. ඔය මල හොඳයි වගේ. කීයක්කත් හොයාගන්නත් පුලුවන්නේ“

දන්සිරි අයියා තනියම කියවනවා.

“උඹ වැඩේ හරියනකන් කාටවක්කත් කියනවා නෙවෙයි. කටවහ වැදිලා මල කුණු වෙනවා.“

දවස් දෙක තුනකින් දන්සිරි අයියයි මායි පල්ලැහැ කුඹුරටත් පල්ලැහැ තියෙන ගඟෙන් ගොඩ වෙලා හොබරැල්ල කන්ද පාමුල කඳුරේ තියෙන උණ පඳුරට කිට්ටු කලා. ලඟ ලඟ පුරුක් තියෙන කෙලින් ගිය මෝරපු උණ ගහක් බිම දාලා ඒක සුද්ද කරලා කිතුල් ගස් මණ්ඩිය ගාවට ගෙනැල්ලා අතෑරලා ගෙදර ගියා.

“ඈ බං චූටියෝ. උඹලා මොකද අර කිතුල් මණ්ඩිය ගාව දවස් ගානක් තිස්සේ කරන්නේ. මං බලාගෙන. මට මේ ඇස් පේන්නෑ කිව්වට හොඳට පේනවා. දන්සිරියා මලක් කපන්න නේද යන්නේ.“

ආච්චි දිහා නොබලා බිම බලාගෙන මම කකුලේ විලුඹට බර දීලා ඇඟිලි ටික උඩට අරං ගොම පොලොවේ අර්ධ කවාකාර රේඛාවක් අඳිනවා. ඒ කියන්නේ “ඔව්“ කියන එක නොකියා කියනවා.

“නොදකින් ඕකා තව නොකලේ ඕක විතරයි. ගඟේ ඇපල පඳුරු අතරේ ගංජා හිටවලා පොලිසියෙන් බේරුනේ අනූ නමයෙන්. දැන් ඕකේ තෙලිජ්ජ වැටෙන්න ගත්තම නඩේම මේ ගෙදර ඉඳියි. දුන් ගහලවත් එලවන්න බැරි වෙනවා ඕකුන්ව.“

දන්සිරි අයියයි මායි කුඹුරු වල ඉපනැල්ලේ ඇවිදිනවා. මල බෙහෙත් තියන්න ඕනි කලමනා හොයන්න. වෙල් ඉපනැල්ලේ හැදෙන හුලංතලා මලට සමාන පුංචි කහ පාට මල් පිපෙන ගහේ මල් කඩන්න ඕනි. ඔය මල කටේ තියාගෙන හපනකොට සැරම සැරයි. මිරිස් වගේ. ඊට පස්සේ කුඩු මිරිස් හොයන්න ගඟේ කැලෑ කොලේ ඇවිදිනවා. යකි නාරන් ගෙඩි.. යකි නාරන් කටු... ගැට දොඩන්.. එකී මෙකී නොකී සියළු කලමනා ටික හොයාගෙන ගෙදර ඇවිල්ලා තියනවා.

කලින් ගෙනාපු ලණු ටිකත් අරන් වෙල පාමුල තියෙන කිතුල් මණ්ඩිය දිහාට ගාටනවා.

“ඔය කිතුල් මණ්ඩියේදි තමයි සියාතුවාට යකා ගහලා මලේ. රා මුට්ටියත් යක්කු බීලා තිබ්බා“

ආච්චි දන්සිරි අයියවයි මාවයි බය කරන්නේ එහෙම.

“යක්කු කොහෙද දැන්.. යක්කු හිටියේ ඉස්සර“

“ හා එහෙනන් පලයන්.. උඹ මං කියන දේවල් සතේකට ගනන් ගන්නවද? යක්කු නැත්තන් ඔය වෙලේදි ලඟදි තිලකෙ මල්ලි ආවේස වුනේ. උඹට මතක නැද්ද.. සාමියා ඇවිල්ලා තෙල් මතුරලා ගොඩ දැම්මේ“

“රා පෙරන්ඩ නෙවෙයි මල කපන්නේ. පැණි හදන්න“

“අනේ මම දන්නැතැයි උඹ හදන පැණිය දන්සිරියෝ“

ඉස්සෙල්ලම කිතුල් ගහට තියලා අර උණ ගහ ලණු වලින් බැඳගෙන බැඳගෙන දන්සිරි අයියා උඩට නගිනවා. මට තියෙන්නේ ගහේ වට ප්‍රමාණෙට හරියන්න ලණු කෑලි කප කප දන්සිරි අයියට දෙන්න.

දන්සිරි අයියා මල කිට්ටුවට කිට්ටු වෙනකොට මට එක එක මනෝ විකාරයන් මැවිලා පේනවා. මලේ මුට්ටියක් එල්ලලා.. ඒකෙන් ටැප්පෙක්කින් වතුර වැටෙනවා වගේ තෙලිජ්ජ මුට්ටියට වැටෙනවා. දන්සිරි අයියා පැයෙන් පැය මුට්ටිය මාරු කරනවා. ගෙදර හැම භාජනේකම තෙලිජ්ජ රා වෙනවා. විජේ අයියලා මන්තිරි අයියලා සුමනේ අයියලා හැමෝම අපේ ගෙදර පිරිලා ඉන්නවා..ආච්චි එවුවා (රා) දීලා සල්ලි අරන් චීත්තේ කෙරවලේ ගැටේක තදේට ගැටගහලා චීත්තේ පටලවගන්න හැටිත් මට මැවිලා පේනවා.

“චූටි උඹ නිදිද..ඔය පිහිය ලණුවේ ගැටගහපං“

මං ආය පියවි සිහියට එනවා.

(ඉප්පන්ටම ඊලඟ කෑල්ල)

Monday, August 8, 2016

අමුතු ගම --- අන්තිම කොටහ

අර ඉර චැනල්ලෙකෙන් බදුල්ලේ මුතියංගනේ ධාතු පෙන්නුවානේ. ඒක සම්පූර්ණයෙන් රෙ()වෝ සිල්වාව ප්‍රමෝට් කරපු ධාතු පෙන්නිල්ලක්.පෙරහැරටත් බර සෙනඟක් ආවා. ඉතිං ඔය මිනිස්සු ඇවිල්ලා පෙරහැර බලන්න පාර දෙපැත්තේ වාඩි වෙද්දි ප්‍රශ්ණයකට මූණ පෑවා. ඒ තමයි තෙත පොලොවේ වාඩි වීමේ ප්‍රශ්ණය. ඔය ප්‍රශ්ණය හඳුනගත්ත බදුල්ලේ පොරක් ඔතනින් බිස්නස් එක්කට බැස්සා. SLIM/CIMA නොකලට මාකට් එකට අවශ්‍ය භාණ්ඩේ අවශ්‍ය මොහොතේ දැම්මා. පොර ලඟ කඩේකට දුවලා ඉටිරෙදි රෝලක් අරං ඇවිල්ලා මීටරේ කෑලි කපලා ඒක පලලා ඒ භාණ්ඩෙට හිත් ඇදගන්නා නමකුත් දැම්මා.. 
වාඩි කොලේ පනහයි... වාඩි කොලේ පනහයි

පොරගේ භාණ්ඩේ උණු කැවුම් වගේ විකුණුනා. වෙළඳ පොල හඳුනගෙන... පාරිභෝගික අවශ්‍යතාව හඳුනගෙන..භාණ්ඩයක් හරි වෙලාවට හරි තැනට දාන්න බදුල්ලේ මිනිස්සුන්ට SLIM/CIMA ඕනි නෑ මහත්තයෝ.

PRODUCT- ඉටිරෙදි
PRICE- රුපියල් 50
PLACE- පෙරහැර බලන ජනතාව සිටි පාර දෙපස
PROMOTION-වාඩි කොලේ...වාඩි කොලේ
බදුල්ලේ මරු මාකටිං ඈ ........................................
---------------------------------------------------------------
අර නෙලුදණ්ඩෙ මුතුබංඩෙගේ පුවක් ටික හොරු කඩලා උන්දැ කාලි කෝවිල් ගිහිල්ලා හරියට සතියෙන් පුවක් හොරා මකබෑවිලා ගියාළු නේද බං
ගල්ලත්තෙ ආච්චිත් අපේ ආච්චිව දිරිමත් කරන්නෙ එහෙම.

නැතුං නැතුං බං. ඔය කෝවිල් කොයිකත් මහා හාස්කන් තියෙන තැන් නේ. මට මේ දන්සිරියගේ බීම නැති කරන්න කෝවිල පැත්තෙ ගිහින් එන්න ඕනි.“

ඒක නවත්තන්ඩ අපි මැරිලා ඉපදෙන්ඩ වෙයි. මුලු ගමම බේබද්දෝ වෙලා. ඒ මදිවට පහේ ටොපි කිය කිය අර මදනෙ මෝදකේද මොකද්ද ගුලියකුත් ඇවිල්ලා තියෙන්නේ. මුන් ඒවත් කාලා ඇස් උඩ තියාගෙන ඉන්නේ

ඒකනේ බං අපේ කන්වලට අහපුවාද බං ඔව්වා

ඒක නෙවෙයි බං. මං මේ තේකොල ඩිංගක් තියෙනවනන් ඉල්ලන් යන්නත් එක්ක ආවේ. කතාවෙන් කතාවෙන් ඒකත් අමතක වුනා

හා.. හා .. වරෙන් .. වරෙන්..“

ආච්චි ගෙට ගිහිං ගල්ලත්තේ ආච්චිට තේ  කොල ටිකක් බෝතලෙන් කඩදාසියකට හලලා ඔතලා දෙනවා.
ඔය ගං ගොඩවල් වල කුස්සියේ හදිසි අඩුපාඩු සිද්ද වුනොත් කඩේට යන්නැතුං අහල පහල ගෙදරකින් ණයට ඉල්ලා ගැනීමේ පුරුද්දක් තියෙනවා. මේ ණය දෙන්නේ කිරුම් මිනුම් වලින්. හාල් නං හුණ්ඩු වශයෙන්. කිරිපිටිනම් හැඳි වශයෙන්. පොල් තෙල් නං ඇඟිල්ලේ පුරුක් ගානට බෝතලේට දාලා දෙනවා. මිරිස් තුනපහ වගේ එවුවත් මේස හැඳි වශයෙන්. සමහරු ඔය ගෙනියන ණය ගෙනැල්ලා දුන්නත් සමහරු ඕක අමතක කරලා දානවා. අමතක කරපු එවුන් ආය ණය ගෙනියන්න ආ‍වොත් ආච්චිනන් හොඳට කියල දීලා යවනවා.

ගිය මාසේ අරං ගිය හාල් හුණ්ඩු දෙක අමතක වුනාද? අදත් හාල් ඉල්ලන්න එන්නේ. මෙහේ ඇති හාලක් නෑ

ඉතිං දැන් ඔය ඇලට උඩින් වේල්ල දිගට ආච්චි හිටවලා තිබ්බ පුවක් ගස්වල ගොලෑ ගෙඩි පැහිලා පාට ගැහීගෙන එනවා. ගල්ලත්තේ ආච්චිගේ තැඹිලි වලුත් ගෙඩි පිරීගෙන රන්වන් පාට වීගෙන එනවා.

මේ පාර පුවක් විකුනලා මයියංගනේ පංසලටවත් ගිහින් එන්න ඕනි පෝයට.වැලිමොඩින් පොළොන්නරු යන බස්සෙකේ පාන්දර යතෑකි.

යමං .. යමං.. මමත් තැඹිලි ටිකයි පුවක් වගේකුයි තියෙනවා ඒක විකුණලා කීයක්කත් එකතු කරගන්නම්.
“පුවක් ගනන් යයි වගේ මේ පාර...නියඟෙත් එක්ක.“

දැන් ඉතිං ඔය කාලේ වෙද්දි දන්සිරි අයියා කුලී වැඩක්කත් නැතුව හත වැදිලා හිටිය කාලයක්. බීඩියක් බොන්න ඔය කවුරු කවුරු හරි අල්ලගෙන ගානක් කපාගෙන වැඩ හම්බුනාම දෙන්නං කියලා උඩහා ඩිංගිරි බංඩෙ අයියගෙන් රා ටිකක් බිබී හිටිය කාලයක්. අපිටත් ඉතිං පල්ලැහැ කඩෙන් බුල්ටෝ..මුරුකු.. පුස්නාම්බු කෝටාව අහිමි වෙච්ච කාලයක්.

අපේ ආච්චිත් ඉතිං ඔලුවේ තඩි අහුලන්න කතා කරන්නේ මට. උන්දැගේ සුදු ඉසඟෙ ගස් අස්සේ හැංගිච්ච සුදු පාට උකුණෝ ඇදලා උන්දැගේ අල්ල උඩින් තියන්න ඕනි. ලේඬිත් ඇදලා උන්දැගේ අතේ තියන්න ඕනි. එතකොට ආච්චි ඒවා ගනන් කර කර මාපටඟිල්ලේ නියපොතු අතරේ තියලා “චිටිස්“ ගාලා උන්ව බිඳලා දානවා. (ඕකට මරණවා කියන්නේ නෑනේ)

අන්තිමේට මගේ සේවය ඉවර වුනාම සේවා ගාස්තු විදියට තම්බපු බුස්සන්දා අල .. තම්බපු චව් චව්(චොචොල්).. තම්බපු කොස් ඇට.. කොස් ඇට අග්ගලා වගේ කෑම හම්බුවෙනවා.

“චූටි මෙහෙ වරෙන් බඩ්ඩක් කියන්න“

එක දවසක් මට අඬගහපු දන්සිරි අයියා මාව ඇල අයිනට එක්කන් ගිහිල්ලා පොඩි සැලසුමක් ගැන කිව්වා.

“අතේ සල්ලිත් නෑ බං. ආච්චි ගාව සල්ලි තියෙනවා. ඉල්ලන්නත් බෑ. ඉල්ලුවාට දෙන්නෙත් නෑ. අපි ආච්චිගේ පුවක් ටික කඩමු. මං උඹටත් ගානක් දෙන්නන්.“

ගානක් දෙනවා කිව්වම ඉතින් ගොඩාක් අකමැත්තෙන් හරි මාත් පැලෑනට එකඟ වුනා. පැලෑනේ හැටියට අද හවස මම ආච්චිගේ තඩි බලන්න අල්ලගන්නවා. ඒ අතරේ දන්සිරි අයියා ඇල ඉවුරේ තියෙන පුවක් වළු දහය දොලහෙන් හය හතක් කඩනවා.

සුපුරුදු විදියට ආච්චි එදත් හැන්දෑ කොරේ මාව තඩි අහුලන්න කැඳවනවා. හොබරැල්ල කන්දට පිට දීගෙන ඉන්න විදියට මම වේවැල් කැඩිච්ච පුටුව ගෙනිහින් තියනවා. ඒ කියන්නේ ඇල ඉවුරේ තියෙන පුවක් මංඩියට පිට දීගෙන ඉන්න විදියට. මම උස මදි හිංදා බංකු කොටේකුත් තියාගෙන ආච්චිගේ තඩි අහුලනවා. සැලසුමේ හැටියට දැන් දැන් දන්සිරි අයියා පුවක් ගස් ටික සුද්ද කරලා දාන්න ඕනි. පාවලලක්කත් නැතුන් සුරුස් ගාලා පුවක් ගහට නගින්නත් ආපිට වල්ල බරු ගහගෙන සුරුස් ගාලා පුවක් ගහෙන් බහින්නත් දන්සිරි අයියට තියෙන්නේ පුදුම හැකියාවක්. ආච්චි ඉතිං පරණ කතා කිය කිය මාව දිරිමත් කර කර ප්‍රාණ ගාතය කියන සිල් පදේ තිස් හතලිස් පාර නියපොතු අතර තියලා කඩලා දානවා.

“මුන් බිමට දැම්මොත් ආයේ මැස්සො ඔළුවට ගෙනැත් දානවළු“

ප්‍රාණගාතය ආච්චි විසින් සාධාරණිකරණය කරන්නේ එහෙම.

ඉතිං බිං කළුවර වැටෙනකොට තඩි බැලිල්ල අහවර වෙනවා. දන්සිරි අයියත් මිදුලට ඇවිල්ලා හොරගල් අහුලනවා.

“ආච්චි තියෙනවනං රුපියල් පහක් දෙන්ඩකෝ ණයට. හෙට ජයවද්දන මාමගේ බෝංචි කෑල්ලේ වල් ගලවන්න තියෙනවා. හෙට හවසට දෙන්නන්.“

“කොහේ තියෙන සල්ලියක්ද දන්සිරියෝ. දැන් උඹ හෙට දෙන්නන් කියලා කීයක් ඉල්ලන් තියෙනවද? මගේ ලඟ ඇති සුල්ලියක් නෑ. උඹට සිකරට් කටහලේ බොන්න මා ගාව කොහෙන්ද බං සල්ලි“

නෑ.. නෑ කිය කියා ආච්චි ලිප් බොක්ක අත ගාලා දන්සිරි අයියට රුපියල් පහක් හොයලා දෙනවා.

රුපියල් පහ ගන්න දන්සිරි අයියා රටක් රාජ්ජයක් ගත්තා වගේ රූං ගාලා රේන්දපොලේ කඩේට දුවනවා.
රෑ පහන් වෙලා පහුවෙනිදට එළිය වැටෙනවා. ආච්චි නිදි ගැට කඩලා පුරුදු විදියට එළියට බැහැලා පුවක් ගස් වැටියට ඇස් යොමනවා.

“අම්මට හැ####. මොන වේ## පුතාද බොලව් මගේ පුවක් වලු ටික බරු ගහගෙන ගිහිං තියෙන්නේ. බලපියව් පුවක් විකුනලා මයියංගනේ යන්න හිටියා. තොපිටනන් හෙණ හතම වදිනවා. මම යනවා හෙටම කාලි කෝවිලේ“

ආච්චි ආවේස වෙලා ගම දෙවනත් වෙන්න දෙස් දෙවොල් තියනවා. ටික වෙලාවකින් අඬා වැලපෙනවා.

ඒ අතරේ පාරෙන් උඩ ගල්ලත්තේ ආච්චිත් ආවේස වෙනවා.

“බලපං මගේ තැඹිලි ටිකත් කඩලා පාරේ තියාගෙන බීලා තැඹිලි කොම්බ බෝක්කු ගල් උඩ තියලා ගිහිල්ලා. අම්මට හැ####. වේ# බල්ලෝ. යමං හෙට වෙනකන් ඉන්න ඕනි නෑ. අදම යමං පඬුරු කපන්ඩ.“

ගල්ලත්තේ ආච්චි අපේ ආච්චිට යෝජනා කරනවා. දැන් දෙන්නම දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා. ඒ අතරේ දන්සිරි අයියා ඇවිල්ලා පුවක් ගස් යටට ගිහින් විපරං කරලා බලනවා.

“ඔක්කොම කඩලා නෑ. වලු හතර පහක් ඉතුරු කරලා. මේ ගස් පොඩි වෙලා තියෙන හැටියට පාන්දර තමයි කඩන්න ඇත්තේ“

“ඈ දන්සිරියො උඹට සද්ද බද්ද ඇහුන්නැද්ද.. චූටියෝ ලෑස්ති වෙයන් කෝවිලේ යන්න“

මාත් අඟුරු කෑල්ලකුයි සන්ලයිට් කැටෙයි අරන් ඇලට ගිහිං මූණ හෝදන් ඇවිල්ලා ඉස්කෝලේ සුදු සේට් එකයි නිල් කලිසමයි දාගෙන ලෑස්ති වෙනවා. කෝවිල තියෙන්නේ සෙන් ජේමිස් වත්තේ. අපේ ගමේ ඉඳන් කිලෝ මිටර් තුන හතරක් මහා කන්දක් නැගගෙන නැගගෙන ගිහිං කෝවිලට යන්න ඕනි. නෙළුව හරහා බංඩාරවෙල බස්සෙකේ නැගලත් යන්න පුලුවන් උනත් ආච්චිලා යන්නේ පයින් නිසා මට යන්න වෙන්නෙත් පයිං තමයි. ඕක නැගලා ආපහු බැහැලා ආවම කකුල් කෙඩෙත්තුව අනිවාර්යයි.

දැන් ඉතිං කරපන්ටයින් වත්ත මැදින් අපි හෙමින් හෙමින් සැන් ජේමිස් කන්ද නගිනවා. ෂොට් කට් එහෙම නැත්තන් කුරුක්කු පාවිච්චි කරමින් ගමන කෙටි කරගන්නවා. තාර පාරට වඩා ෂෝට් කට් වලින් යද්දි කූඩැලු ප්‍රහාරයට ලක් වීම අනිවාර්යයි.

“පඬුරු කපලා දවස් හත යද්දි ප්‍රතිපලේ හම්බුවෙයි. ඔය වැඩේ කරපු එවුමුයි උදවු කරපු එවුමුයි හැඳි ගෑවිලා යයි“

ආච්චි ගල්ලත්තේ ආච්චි එක්ක කියෝ කියෝ යනවා.
හුටා.. ඒ කියන්නේ දන්සිරි අයියටයි මටයි දෙන්නටම ටිකට් එක ඇදෙනවා කියන එක.මේක කරේ දන්සිරි අයියයි මායි කියලා ආච්චිට කියලා පඬුරු කැපිල්ල නවත්තගන්න මට හිතිච්ච වාර අනන්තයි. ඒත් ඕක දැනගත්තම අම්මගෙන් හම්බුවෙන කෝටු පාර ඊට වැඩිය සැර නිසා මම බුම්මගෙන සෙන්ජේමිස් කන්ද නගිනවා.

පඬුරු කැපිල්ල හා තැලිල්ල අතර වෙනස මේක කියවන පාඨකයන්ගේ දැන ගැනීමට ලියන්න හිතුනා. පඬුර කියන්නේ කාසියකට. ගොඩක් වෙලාවට රුපියලේ හරි දෙකේ හරි කාසියක් කහ වතුරෙන් හෝදලා සුදු පාට රෙදි කඩක ගැට ගහලා කෝවිලට ගෙනිහිල්ලා දෙස් දෙවොල් තියමින් ගිරයකින් ඒ පඬුර කපා දැමීම තමයි පඬුරු කපනවා කියන්නේ. පඬුරු තලන්නේ ගෙදරදි. පඬුර සිමෙන්ති පොලොවේ තියලා දිග යකඩ පොල්ලකින් තලමින් දෙස් දෙවොල් තියමින් හොඳින් පඬුර තැලුනට පස්සේ කෝවිලට ගෙනිහින් දෙවියන්ට බාර කිරීම තමයි පඬුරු තැලිල්ල කියන්නේ.

කරපන්ටයින් වත්තට පස්සේ තේ වත්ත. තේ වත්තේ තැනින් තැන තියෙන ගණ දෙයියන්ගේ ප්‍රතිමා වලටත් ආච්චිලා දෙන්නා වැඳ වැඳ හොරුන්ට දෙස් දෙවොල් තියමින් යනවා. තේ වත්තට පස්සේ ලැයිම. පුංචි මහත්තයගේ බංගලාව. ලොකු මහත්තයගේ බංගලාව. කෝටස්. ඉස්ටෝරුව. ඉස්පිරිතාලේ. පුල්ලේ කාමරේ. ඊට ටිකක් ඈතින් කෝවිල. කෝවිලේ ඉස්සරහම මහා භයංකාර  දෙවිවරුන්ගේ රූප. ඇතුලෙත් එහෙමයි. දිව එළියට දාගෙන බඩ මහත ත්‍රිශූලය සහ විවිධ අවි අතින් ගත් එක එක පාටින් භයංකාර දෙවිවරු. කපුරු හඳුන්කූරු සුවඳ... ඒවගෙන් ගලන දුම. නොනවත්වා නාද වන සීනු හඬ..තුන්නුරු ගාගන්න පොරකන වතු කම්කරුවෝ.

ආච්චි කෝවිල ඇතුලට ගිහිං පූසාරිට විස්තරේ කියනවා. පූසාරි අපි නොදන්න බාසාවකින් සීනුව ගගහ ආවේසයෙන් වගේ කන්නලවු කරනවා. පස්සේ ගල්ලත්තේ ආච්චිගෙයි අපේ ආච්චිගෙයි පඬුරු දෙක දෙවියන්ට භාර කරනවා. ආච්චියි ගල්ලතතේ ආච්චියි පූසාරියාට තුටු පඬුරුත් අත මිට මොලවනවා. පස්සේ අපි ආයෙත් පල්ලම් බහිනවා.

“දවස් හතෙන් හොරු මකබෑවිලා යයි“

ආච්චි ආපහු එන ගමනේදි කියවනවා. මගේ සරුවාංගෙම වෙව්ලලා යනවා. එක එක කතා කිය කිය කිය අපි ආයෙත් ෂෝට් කට් දිගේ ගෙදෙට්ට සම්ප්‍රාප්ත වෙනවා. දන්සිරි අයියා හොරෙන් ඇවිත් මගේ සාක්කුවේ රුපියල් දහයක් ඔබනවා.

“උඹ අද වැඩට යනවා කිව්වේ ගියෙ නෑ“

ආච්චි දන්සිරි අයියගෙන් අහනවා.

“හෙටනේ යන්නේ“

දවස් හත ගෙවෙනකන් මම බයෙන් ඇඟිලි ගැන ගැන ඉන්නවා. දවස් හත නෙවෙයි අවුරුදු ගානක් ගිහිල්ලත් දන්සිරි අයියයි මායි තාම යහතින් ඉන්නවා. ගල්ලත්තේ ආච්චියි අපේ ආච්චියි දැන් ජීවතුන් අතර නෑ.