බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Monday, November 9, 2015

වත්ත ....................

තාත්තා නැති වුනාට පස්සේ අපි අඳුරු ළිඳක් පතුලට වැටුනා. ඔක්සිජන් නැතුං හුස්ම ගන්න අමාරුවෙන් ඉන්නෙකාට අඳුරු ළිඳට හීන් දීප්තිමත් නළයකින් ඔක්සිජන් ජුන්ඩක් ලැබුණා. අපි යාන්තන් හුස්ම ගත්තා... ඒ ඔක්සිජන් නළය තමයි තේ වත්ත. තේ වත්ත කියන්නේ අපේ තේ වත්ත නෙවෙයි. සුද්දගේ වත්ත. ආණ්ඩුවේ වත්ත. සැන්ජේමිස් වත්ත.

අම්මා කූඩයක් කරේ එල්ලගෙන වත්තේ වැඩට ගියා. අපි වැටිච්ච ළිඳට ආලෝකයක් දෙන්න. උදේම්ම නැගිටලා රොටී උයාගෙන අපිට අලුත් බත් දීලා උන්දෑ හීල් බත් දංකුඩ කාලා අපිව ඉස්කෝලේ යවලා සීතලේ ගැහි ගැහී වැඩට ගියා. කමලනීලා .. සරෝජනීලා ... සරස්වතීලත් එක්ක හරි හරියට උන්දැත් දළු කඩනවා. ඉතිං ඔය තේ වත්ත අපේ ජීවිත එළිය කලේ ඔහොම.
වත්තේ මිනිස්සු ඉන්නේ ලැයිම් වල.එහෙම නැත්තන් කෝටස් එකේ. අපේ ආච්චි ඒ දවස්වල වැඩ කලේ පුල්ලේ කාමරේ. ඒ කියන්නේ වත්තේ ගෑණු දරුවෝ වදන කාමරේ තමයි පුල්ලේ කාමරේ කියන්නේ. ඒ කියන්නේ අපේ ආච්චි පරණ මිඩ්-වයිෆ් නෝනා කෙනෙක්. ඔය කඳුකරේ ගම්මානවල ගෑණු දරුවෝ වදන කාලේ ලං වුනාම අපේ ආච්චිව ඒ මිනිස්සුන්ගේ ගෙවල්වල දවස් ගනන් එක්කරං ගිහිං තියාගන්නවා. ආච්චි එන්නේ දරුවා ලැබිලත් දවස් තුන-හතර ගියාම. ඉතිං ආච්චිත් එක්ක වගේම ගල්වත්තේ ආච්චිත් එක්කත් අපි වත්තේ යන හින්දා අපි වත්ත ගැන ගොඩාක් දේවල් දන්නවා.
වත්තේ මිනිස්සු කාට නැතත් දෙවියන්ට දක්වන්නේ මහා ගෞරවයක් වගේම බයක්. ඔය සැන්ජේමිස් වත්තේ තැන තැන ඉදිවෙච්ච ගණදෙවි රූප ඕනිතරම් තියෙනවා. ඒ වගේම වත්තේ කෝවිලෙන් වාර්ෂිකව පවත්වනවා උත්සවයක්. ඒකට කියන්නේ රදන් කියලා. ඒ ගැන විස්තරයක් ඉදිරියේදි තියන්නම්.
ඉතිං අම්මා හවස ගෙදර ඇවිල්ලා කකුල් කෙඩෙත්තුව හැදිලා කෙඳිරි ගාද්දි සිද්ධාර්ත තෛලය උන්දැගේ කකුල් වල ඇතිල්ලුවේ අපි. සමහර දවස්වලට ලාම්පුතෙල් දාලාත් උන්දැගේ කකුල් අතුල්ලන්නේ වේදනාව වැඩි වුනාම. උන්දැගේ ඇඟිලි පුරුක් කළු පැහැ ගැන්විලා තිබ්බා තේ දළු වල කහටට. ඇඟිලි තුඩු අග පුපුරලා තිබ්බා තේ දළු සැරට. පස්සේ කාලෙක කූඩේ බර හේතුකොටගෙන කොන්දේ කැක්කුමකුත් දායාද වුනා උන්දැට.ඒ තමයි අපේ අම්මා. ඉතිං අපේ අම්මා වැඩට යද්දි පරණ තර්මෝස් උණුවතුර බෝතලේකට තේ කහට එකකුත් පුරවගෙන යන්නේ. වත්තෙ ගොඩක් කට්ටිය තේ ගේන්නේ අරක්කු බෝතල් වල. ඉතින් ඔය බෝතල් වලට තේ දැම්මම පේන්නේ අරක්කු වගේ තමයි. ඉතින් ඔය කහට අරක්කු බෝතල් ගෙනල්ලා නැවුම් තේ දල්ලක් කඩලා ඒකට දාලා ගලක් උඩ තියල තියනවා.අව්ව වැටෙනකොට ගල රත්වෙනවා. ඉර එළියේ රස්නෙයි ගලේ විස්තාපනය වෙන තාපෙයි එකතු වෙලා අර කහට බෝතල් උණුසුමෙන්ම තියනවා. නැවුම් තේ දල්ල තේ කහටත් එක්ක ප්‍රතික්‍රියා කරලා අලුත් රහකුත් අර තේ එකට ලැබෙනවා. කට්ටිය සතුටින් නැවුම් උණුසුම් තේ කෝප්පෙක රහ බලන්නේ ඔහොමයි.
අපි තියා අපේ අහල ගම් හතකවත් මිනිස්සු කවදාවත් තේකොල සල්ලි දීලා කඩෙන් ගෙනාවෙ නෑ.. වත්තේ ඉස්ටෝරුවෙන් තේකොල හම්බුවෙනවා. ඒවා ඉතිං සහයෝගයෙන් ඔහේ ගම්මානේ සංචරණය වෙනවා. හදිසියේවත් නොදැනුවත්ව තේ කොල බෝතලේ හිස් වෙලා තිබ්බොත් ගෙදරදීම තේකොල හදාගන්න ක්‍රමයක් ගමේ මිනිස්සු දන්නවා. ඒක පරිස්සමින් කරන්න ඕනි. ඔය කොයි තේ කොලේටත් වඩා රහයි. ගුණයි. විශ්වාසයි. ඔය අපේ පැතිවල ට්‍රිප් එහෙම යන අය ඔය පාර අයිනේ තියෙන තියෙන තේ වතු වලින් සිලි-සිලි මල්ලකට තේ දලු ටිකක් කඩලා පුරෝගෙන එන්න . කවුරුත් මොකුත් කියන්නේ නෑ.
මෙන්න මෙහෙමයි හදන්නේ. ලපටි තේ දලු ගෙන (බී.ඕ.පී) වංගෙඩියකට දමා කුඩුවනතුරු හොඳින් කොටාගන්න. ඉන්පසුව කපු රෙදි කැබැල්ලක් ගෙන පොට්ටනියක් බැඳ පැය කිහිපයක් තබන්න. එවිට කහට ගතියක් ඇතිවේ. පසුව තැටියක් ගෙන ලිප තබා මද ලා  ගිනි රස්නයේ පදම දැනෙනකන් බැදගන්න. දැන් ඔබට 100% විශ්වාස සුමිහිරි තේ පානය කරන්න ලැබෙයි. කිරි සමඟ අගෙයි.. ඉතිං අත්හදා බලලා කියන්ටකෝ. අපි අර අඳුරු ළිඳට වැටුන නිසා තමයි මේ වගේ කතා ලියවෙන්නේ. නැත්තම් ලියන්න වෙන්නේ “අපේ තාත්තා ප්‍රාඩෝ එක හෝද හෝද ඉන්නකොට තඩි ගැරඬියෙක් එතනින් ගියානේ“ වගේ කතා තමයි. ගිහිං එන්නම්..............................................