බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස
බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම
Sunday, January 10, 2016
Wednesday, January 6, 2016
අපේ පිංකම..............................
බ්ලොග් කළාව අතපත ගාන්ඩ පටන්ගත්තු මට යාන්හෑල්ල ලියන සුරංගයා කිව්වා මෙන්න මෙහෙම මෙව්වා එකක් කරන්න යනවා උඹටත් ඇහැකිනං සම්මාදන් වෙයන් කියලා. මෙව්වා එක තමයි අග හිඟකම් ඉහවහා ගිය බදුල්ල දිස්තිරිකේ (ඇමතිවරු දුසිමක් විතර ඉන්න දිස්තිරික්කයක් නොවැ) දුප්පත් ඉස්කෝලෙක ළමයිට ශක්තියක් වෙන්න අධ්‍යාපන උපකරණ බෙදා දීමක් කරනවා කල්‍යාන මිත්තරයට කතා කොරහං කියලා. කල්‍යාන මිත්තරයා කියන්නේ නෙළුම්යාය බ්ලොග් සංසදයේ නිලදරුවෙක් කියලත් කියව්වා. ඉතිං කල්‍යාණ මිත්තරයා එකවුන්ට් නම්බරේ දුන්නා. අනික් එවුන් එක්ක බලද්දි මගේ හූණු බිජ්ජක් විතර වෙච්ච ආධාරේ මම අර ගිණුමට බැර කලා. මම ගම්පහ හිටියත් මගේ ගමේ වෙන මේ කර්තව්‍යයට යාමේ මහා දොළදුකක් මට ඇතිවුනා. ඒ අනුව මම කෝච්චියේ අළුත් අවුරුද්ද සමරමින් ගෙදෙට්ට ලං වෙද්දි පලවෙනිදා උදේ 8-9 විතර වුනා. වැස්ස හින්දා ගෙදෙට්ටම වැදිලා ඉඳලා 04 වෙනිදා පාන්දර සුරංගයාගේ ගෙදෙට්ට යද්දි සුරංගයා..භාග්‍යා නංගී..සුරංගගේ ප්‍රිය බිරින්දෑයි ඔක්කොම පාසල් උපකරණ පැක් කොරලා වෙන වෙනම තියලා තිබ්බා.
පස්සේ කළ්‍යාණ
මිත්තරෙත් ඇවිල්ලා අපිවයි අර පාසල් බඩු ටිකයි අහුලගෙන අර අපේ බදුල්ලේ ආච්චිලැයි
ගෙවල් පැත්තෙන් ස්ප්‍රීංවැල්ල කඳනේ තේ වත්තක් පාමුල තියෙන ඉස්කෝලෙට ගියා. වාහනේ
ඉස්කෝලෙටම දාන්න බැරි නිසා ඉතුරු හරිය පයින් ගෑටුවා.
ඉස්කෝලෙට යන තැනම බෝඩ්ඩෙකක් දාලා තිබ්බා ගිය අවුරුද්දේ සිස්සත්වෙන් එක ළමයෙක් ලකුණු 171 සහ අනික් ළමයා ලකුණු 169 ගත්තා කියලා. පින්සිබල් අපිව ආදරෙන් පිළිගත්තා. ඒකොල්ලා අපිව ඔපිස් කාමරේට එක්කන් ගියා. පිළිගන්නවනම් පිළිගන්න නැත්තන් නිකන් ඉන්න මේ ඉස්කෝලෙ ළමයි 67යි. ගුරුවරු 20යි. කංකරු 02යි. මුරකරු 01. තව පුස්තකාල සහායකයකුයි විද්‍යාගාර සහායකයකුයි අඩුයි. (මොකුත් කියන්නෑ හිතන්න) ඉතිං ළමයි අම්මලා ගුරුවරු මුරකරු සහ කංකරුවෝ අපිව සාදරෙන් පිළිගත්තා. විදුහල්පතිතුමා කල්‍යාණ මිත්තරේ හරබර කතාවන් කලා. හැබැයි ඔය ඉස්කෝලේ ටීචලා...ළමයි..විදුහල්පති..මුරකරු..කන්කරු ...මවුපිය කවුරුවත් ඔය බොග් කෙරුවාව ගැන දැනන් හිටියේ නෑ.. අපි ඒ ගැන කිව්වත් තේරුණා කියලනම් මම හිතන්නේ නෑ.
ඒත් අපි අපේ වැඩේ කොරානේ ඒ ඇති. පාසල් උපකරණ ගද්දි පොඩි එවුන්ගෙයි මවු පියන්ගෙයි මුවගේ ඇඳිච්ච හිනාවට ලොකු සර් අපිට කල සංග්‍රහයට වඩා හිතයි බඩයි පිරුණා කියලයි මට තේරුනේ. අර හෙන්දිරික්(එන්රික්) අයියගේ තිසරපට සංදර්සනේට පැයට තිස්පන්දහක් වියදම් කරපු කොළඹ ඇන්ටිලාට කරනවනම් ඕන් වැඩ.
මේකට බොක්කෙන්ම හිටගත්තු නෙළුම් යායටත්.. කල්‍යාන
මිත්තරයටත්...සුරන් ගොයියටත්..ප්‍රිය බිරිඳටත්...භාග්‍යා නංගිටත් එකී මෙකී නොකී
හැමෝටමත් මහත්ඵල මහානිසංස ලැබේවා.තව එකක් අපි හැමෝම දෑහැට දැක්කෙත් එදා. ඉතිං සයිබරේටත්
පිං අපිව එක්කහු කලාට.
මගේ අනික් කතාව ඔන්ද වේ....................
Tuesday, December 29, 2015
පැන්සොන් - 01
ඔය අපේ තාත්තගේ අම්මා ඒ කියන්නේ අපේ පලවෙනි ආච්චි ගැන තමයි මම කලින් කතාවක කිව්වේ. ඒත් අපිට තවත් ආච්චියෙකුයි සීයෙකුයි ඉන්නවනේ. ඒ අම්මගේ අම්මයි තාත්තයි ... අම්මනම් සීයට කියන්නේ පප්පා කියලා. අපි කියන්නේ පප්පා සීයා කියලා. සීයා ඔය ගල්කිස්ස පැත්තේ ඉංග්‍රීසි ඌරුවට හැදිච්ච මනුස්සයෙක්.
ඉතිං අපේ
B ආච්චි හිටියේ බදුල්ලට ගිහින් වේවැල්හින්න හරි රිල්පොල
හරි බස්සෙක්ක නැගලා වැලිකේමුල්ලෙන් බැහැලා උඩහකට නැග්ගම හම්බුවෙන ගමක. A ආච්චියි
B ආච්චියි
අතර වෙනසකට මම දැක්කේ B
ආච්චි ලිප් බොක්කට වෙලා කලු සුරුට්ටු බීමට ඇබ්බැහි වී සිටීම... සීයාගේ පැන්ෂන්
දවසට ගේන හතරැස් බෝතලෙන් වීදුරු දෙක තුනකට වගකීම සහ කිසිම දවසක පන්සල් යනවා මා දැක
නොතිබීම. ඉස්කෝල කීපයක ඉගෙනගත්තු මට අපේ තාත්තා නැතිවෙලා අගහිඟ වැඩිවෙනකොට ගෙදර බර
පොඩ්ඩක් හරි අඩුකරන්න ඔය වැලිකේමුල්ල ඉස්කෝලෙත් අවුරුදු තුනක් විතර යන්න සිද්දවුනා
ආච්චිලගේ ගෙදර නැවතිලා.
අපේ සීයා
පොලීසියේ සාජන් කෙනෙක් විදියට වැඩකල්ලා පැන්ෂන් ගිය හයේ හතරේ කෙනෙක්. සීයා
අගමේ..ආච්චි බුද්ධාගමේ.ගමේ කවුරුත් පැන්ෂන් ගිය සීයට කිව්වේ රාළහාමි කියලා. පැන්ෂන්
ගියත් බදුල්ලේ ටවුමේ වෙළෙන්දෝ කිව්වේ සාජන් මහත්තයා කියලා. ආච්චිනම් ඔය මොකවත් කරේ
නෑ. සීයගේ පැන්ෂන් පඩිය කළමණාකරනය කලේ උන්දෑ. ඉතිං ආච්චිලගේ ගෙදර තවම කසාද නොබැඳපු
ශ්‍රීකාන්ත මාමත් හිටියා. අනිත් මාමලා මේ ගමේම වෙන වෙනම ජීවත් වුනා. ලොකු අම්මා
ආච්චිලගේ ගෙදෙට්ට පල්ලැහින් ගෙයක් හදාගෙන හිටියේ. අපේ අනිත් ආච්චි මට සූටියා කියල
කිව්වත් මේ ආච්චිනම් කියන්නේ මේලකයෝ කියලා. සීයානම් ගොඩාක් කට්ටියට අයිසේ කියලා
කතා කරන්නේ. ඉතිං මටත් කියන්නේ අයිසේ තමයි.
සීයගේ
කොණ්ඩේ සුදුම සුදුයි. සුදුයි කියන්නේ කිරි සුදුයි. මාසයේ වැඩි කාලයක් හරක් මස් ආහාරයට ගැනීමත් ඔහු කල රාජකාරියත් හේතුවෙන් ඉතා
ශක්තිමත් බාහු වලින් පිරුණු දේහයක් ලැබිලා තිබුණා. සීයගේ හොඳම මිතුරා බවට පත්වෙලා
තිබුනේ අල්ලපු ගෙදර වෙද මහත්තයා. ඔහු දන්නා වෙදකමක් නැතිවුනත් බොහෝ පළාත්වල සෙනඟ
ගැවසෙන තැන්වලට ගොස් බෙහෙත් තෙල් කුප්පි විකිණීම නිසා ඔහුට මේ නම ලැබිලා තිබ්බා.හැන්දෑවට
ගෙදර ඇවිල්ලා නාලා වෙද මහත්තයත් එනවා අපේ ආච්චිලගේ ගෙදෙට්ට. ඇවිල්ලා ඉතිං
සීයත්තෙක්ක ආගිය කතා මහ ගොඩයි.
“වෙද
මහත්තයට මතකද මම මොණරාගල පොලීසියේ වැඩ කොන්න කාලේ“
සීයා පරණ මතකයන් ඇදලා ගන්නවා
“නැතුන් නැතුන් රාළහමිගේ පවුලට ඔය ශ්‍රීකාන්තයා ලැබෙන්න ඉන්න කාලෙනේ“
“ඔය කාලේ අපේ පොලීසියට ආවා ගියා ඔය පොලීසිය ගාව ගෑණු කෙනෙක්. බොහොම ලස්සන හීන්දෑරි ගෑණි.“
“හැහ් හැහ් හැහ් හෑ .... ඉතින් රාළහාමිට හිත ගියා... හැක් ... හැක් ..හැක් “
ආච්චිට නෑහෙන්න ඇදිලා ගිය කතාව මුලු ගමටම පැතිරෙන්නේ ඔන්න ඔය වෙද මහත්තයාගේ කට හින්දා.ආච්චිත් කොහෙට්ට හරි වෙලා ඔය කතාවට කන්දීගෙන ඇවිල්ලා සීයට බැණවදිනවා.
“නොදකින් නාකි විසේ ගෙටත් උසේ කියලා කතාවකුත් තියෙනවනේ. මම මොකද බොල නොදන්නේ උඹ මොණරාගලට වෙලා ඒ දවස්වල ගෙදර එන්නෙත් නැතුන් නටපු නාඩගං. මම තමයි ඔය ගැන ලියලා පෙස්සමකුත් ගැස්සෙව්වේ ඒ දවස්වල. වල්කන් කොරලා තව කියවන්නත් එනවා. තුක් නොදකින්“
ඔන්න
වලිය අවුලලා තියලා වෙද මහත්තයා හෙමීට මාරු වෙනවා. සීයා රාළහාමි වුනත් ආච්චිට ඔළුව
නමලා ගෙට ගියත් ආච්චි රෑ දෙගොඩහරියක් වෙනකන් එකම දේ කියමින් සීයාට බැණවදිනවා. සීයා
රෑ එළි වෙනකන් කිසි කතාවක් නැතුන් බ්‍රිස්ටල් සිගරැට් හය හතක දුම් වලලු ඉහල යවමින්
ඉන්නවා.ඔන්න
ඉතිං පහුවදාට ඕක නිවිලා ගියත් ආයෙත් ඕක මතුවෙන දවසක් එනවා. ඒ තමයි පැන්ෂන් දවස.අපේ
ආච්චි අකුරු සාත්තරේ දන්න එකක්යැ. කුස්සියේ අග හිඟ එක එක මතුවෙනකොට
“මේලකයෝ
අර කැලැන්ඩරේ අද දිනේ කීයද කියලා බලපංකෝ“
කියලා ආච්චි මගෙන් අහනවා.
“අද විසි නමයයි“
“ඕකේ බලපං පැන්සොන් කවද්ද කියලා“
මුලු
අවුරුද්දෙම පැන්ෂන් දෙන දවස් කැලැන්ඩරේ කතිරයකින් කපලා තියෙන්නේ.
“ලබන අට“
“ඒ කියන්නේ තව දවස් කීයද?“
ඔන්න මගේ ඇඟිලි වැඩ කරන්න පටන්ගන්නවා. “විසිනමය....තිහ...තිස් එක...තිස් දෙක.... ආ.... තිස් දෙකක් නෑනේ..එක ඇඟිල්ලක් ආයේ දිග ඇරෙනවා. එක...දෙක...............................................“
“තව දවස් එකොලහක් තියෙනවා“
“අප්පද බොල... මම අර මිනිහට ගියපාර කිව්වා තව හාල් ටිකක් වැඩිපුර ගමු කියලා. කෝ ඇහුවද? මස්...මස්...මස්....“
“උඹ රාණිලැහැ අහට ගිහිං හාල් ටික්කුයි තේ කොල ටික්කුයි ඉල්ලං වරෙන්“
ඒ කියන්නේ අපේ ලොකු අම්මලා දිහාට... ඕන් මං පල්ලැහැට දුවගෙන දුවගෙන යනවා.
“මොන මලවදයක්ද බං............ගේන ඒවා පරිස්සම් කරන් උයන්න කියහං... මාසේ අන්තිමේට අපිට කරදරේ“
ලොකු
අම්මා ආඩපාලි කියනවා. හැම පැත්තෙන්ම තැලෙන්නේ මං. ඒත් පැන්ෂන් දවසට ආච්චිගෙන්
නොමසුරුව ලොකු අම්මගේ ණය කොටහට අමතරව නොමිලේ කොටහකුත් ලැබෙනවා. ඉතිං මාසේ අන්තිමේට
බැන බැන හරි ලොකු අම්මා ආච්චිලගේ අඩුපාඩු ඉටුකරන්නේ ඒකයි... අනාගතේට ආයෝජනයක්...
ඉතිං අද
හාලුයි තේකොලයි වුනාට හෙට ..අනිද්දා...ඉන් අනිද්දා වෙනකොට ....සීනි ... ගිණිපෙට්ටි...පොල්තෙල්...පොල්
වගේ ඒවත් ලොකු අම්මලාගේ ගෙදරින් ආනයනය කරනවා. ලොකු අම්මත් තරහෙන් පිපිරි පිපිරි ඒ
හැම දෙයක්ම දෙන්නේ පැන්ෂන් දවසට ඕයිට වඩා දෙයක් හිලව්වට ගන්න පුලුවන් නිසා.
ඔන්න
සීයගෙත් මස් ඝෘතුව නිමා වෙනවා. කොස්...කොස් ඇට...මඤ්ඤොක්කා කොල... ලුණු මිරිස් වගේ
කෑම වලින් මේ කාලය ගෙවිලා යනවා. පැන්ෂන් එකට දවස් දෙකක් තුනක් තියලා සීයා ලෑස්ති
වෙන්න පටන් ගන්නවා. සපත්තු දෙක පොලිෂ් කරනවා. අව්වට ගෙනිහින් දිස්නෙ බලලා අපහු
ගිහින් තියනවා. ඒ සපත්තු දෙකම ආයෙත් හෙටත් දෙපාරක්වත් පොලිෂ් කරනවා. කලිසම.. කමිසය
හය හත් වතාවක්වත් මදිනවා.... කණ්නාඩියෙන් මූණ බලනවා.. ආයේ කණ්නාඩිය ගිහිං එල්ලනවා.
එකම විකාරයයි.“ ඇති ඔය
පැන්සොන් ගන්න එන ගෑණියෙක්වත්... ඔය මිනිහගේ ඒ දවස්වල ඉඳන් මනමාලකම ඉහේ ඉඳං“ආච්චි
කුස්සියේ ඉඳන් මාත් එක්ක කියවනවා. ඒත් මම දන්න දා ඉඳන් සීයා මැරෙනකම්ම පැන්ෂන් එකට
ලෑස්ති වුනේ ඔය විදියට තමයි.
ඔය
පැන්ෂන් දවස එනකන් ආච්චී..සීයා .. මම වගේම ලොකු අම්මත් ඇඟිලි ගැන ගැන ඉන්නේ. අපි
හතරදෙනාම ඔය පැන්ෂන් දවසට සීයත්තෙක්ක බදුල්ලේ යනවා. පැන්ෂන්
දවසට මගේ ඉස්කෝල ගමන අත්හිටුවනවා. උදේ පාන්දර නැගිටින්න ඕනි. තැපැල් කන්තෝරුව
අරින්නේ උදේ අටහමාරට වුනත් අපි උදේ පහහමාරට එන බස්සෙකට ලෑස්ති වෙන්න ඕනි. ඔන්න උදේ
හතරේ ඉඳලා ආච්චි අපිව ඇහැරවනවා.
“රාළහාමි....රාළහාමි“
ඒ සීයව ඇහැරෝන විදිය.
“මේලකයෝ....මේලකයෝ...උඹ යන්නැද්ද?“
ඒ මාව ඇහැරෝන විදිය.
“ශ්‍රී කාන්තයෝ... තේ ටිකක් හදහන් නැගිටලා“
ඒ අපේ මාමාව ඇහැරෝන විදිය.
මම දඩි
බිඩි ගාලා කුස්සියට ගිහිල්ලා ලිපේ අළු පීරලා අඟුරු කැටයක් හොයාගෙන අඟුර හපලා කන
ගමන් ඇඟිල්ලෙන් වමට දකුනට ඉහලට පහලට උඩින් පල්ලෙන් දත් මැදලා කුස්සිය ගාව තියෙන වතුර බැරල්ලෙකෙන් මූණ කට
හෝදගෙන ඉස්කෝලෙට අඳින නිල් කොට කලිසමයි ලොකු අම්මා අරං දීපු ටී සර්ට් කබලයි ඇඳන්
සෙරෙප්පු දෙක දාගන්නවා විනාඩි දහයෙන්. ආච්චිත් ඉක්මන්ට ලෑස්ති වෙනවා. ඒත්
සීයා..... හතරට ඇහැරුන මනුස්සයා උදේ පහයි කාල විතර වෙනකන් හැඩ වෙනවා. රැවුල කපන්නම
බර වෙලාවක් ගන්නවා. ඉතිං සීයා හැඩ වෙලා එනකන් මායි ආච්චියි පල්ලැහැ ලොකු අම්මලගේ
ගෙදෙට්ට ගිහින් ඔය යූරියා මළු දෙක තුනකුයි සිරි සිරි මලු ටික්කුයි හොයාගන්නවා. ඒ
අස්සේ ලොකු අම්මත් දඩි බිඩි ගාලා ලැහැස්ති වෙනවා. ඔන්න පහමාරේ බස්සෙක රිල්පොලින්
එන වෙලාවට අපි හතර දෙනා පාරට බඩගානවා. දුම් දාගෙන ලයිට් දාගෙන එන බස්සෙක අපි
හතරදෙනාව ගිලගන්නවා. එහෙට්ට මෙහෙට්ට විසි වෙවී යන අපි බදුල්ලෙන් බැහැගන්නවා.
බදුල්ලේ
මයිලගස්තැන්නේ සීටීබි බස් සටෑන් එකේ ඉඳන් සියඹලා ගහ ලඟට යනකන් අපි පයින් ගාටනවා.
සියඹලා ගහට උඩින් තමයි තැපැල් කන්තෝරුව තියෙන්නේ. අපි යන වෙලාව වෙනකොටත් වයසක
උදවිය විස්සක් තිහක් පෝලිං ගැහිලා ඉන්නවා. සීයත් පනාව අරං කොණ්ඩේ පීරන ගමන්
ගිහිල්ලා පෝලිමට එකතු වෙනවා. ආච්චියි.. මායි ..ලොකු අම්මයි පෝලිම අනිත් පැත්තේ
තියෙන සිමෙන්ති බැම්මේ ඇනතියාගන්නවා. බුලත්
මඩිය අතට ගන්න ආච්චී පැණි දුංකල පතුරකුත් කඩාගෙන විටක් කටේ ඔබාගන්න ගමන් පෝලිමට
පිටින් පනින අය ගැන හොයා බලනවා.
අටහමාරට
තැපැල් කන්තෝරුව ඇරියත් සීයා පැන්සන් එක අතට ගද්දි එකොලහ විතර වෙනවා. එතකන් ඉතිං
අපි අර බැම්ම උඩ නලිය නලිය ඈනුම් ඇර ඇර ඉන්නවා. ආච්චිනං අධෝ වාතයත් පිට කරමින්
තැපැල් කන්තෝරු නිළධාරින්ගේ අම්මා තාත්තවත් මතක් කරමින් නොයිවසිල්ලෙන් ඉන්නවා.පැන්සොන්
පඩියත් අරං තැපැල් කන්තෝරුවෙන් එළියට බහින සීයා ගාවට ගිහිං ආච්චී අර මුලු පඩිපතම
අත්අඩංගුවට ගන්නවා. දැන් අපි කෙළින්ම ගිහිං නවතින්නේ බසාර් වීදියේ පල්ලැහැ තියෙන
සල්ගාදු හෝටලේ.
“ආ.....සාජන්
මහත්තයා එන්ඩ...පැන්ෂන් ගන්න ඇවිල්ලා වගේ ...“
සල්ගාදු මුදලාලි සීයාට පුටුවක් ඇදලා දෙනවා. මාත් ඉතිං සීයගේ පවර්රෙක අරන් පුටුවක් ඇදන් වාඩිවෙනවා.
ඉතුරු කොටහ ලබන අවුරුද්දට .................................
Thursday, December 24, 2015
සල්පිල - 02 කොටහ .............
ලොකු හාන්දුරුවෝ ආවාස ගෙට ගිහිං වහාම ක්‍රියාත්මක වන
පරිදි පොඩි හාන්දුරු නමක් සල්පිල් කාර්යාලයේ සහායට එවන්නේ සල්පිලේ තදබදය අවම කරන්න
වගේම මූල්‍ය පාලනයේදී සිදුවිය හැකි අක්‍රමිකතාවයන් අයින් කරන්ඩත් එක්කයි.ඔය ඔක්කොම අස්සේ සල්පිලට ඇවිත් ඒකට සහභාගි වුනා කියලා නම
දාගන්න එන අයත් ඉන්නවා. ඒ අය ආටෝපෙට ඇවිල්ලා ලොකු හාන්දුරුවන්ට පෙනී ඉඳලා තම
ගෙවල් වලට ඉක්මනට යන අය. සමහරක් අය ඉන්නවා පැය දෙකක් තුනක් ඉඳලා යන අය. සමහරු
ඉන්නවා එද්දි පොඩි එක්කුත් වඩාගෙන ඇවිල්ලා බොරුවට පොඩි එකා අඬනවා කියලා පෙන්නලා යන
අය. තව සමහරු ඉන්නවා ඔත්පල වෙලා ඉන්න තම
මව්පියන් දිහා ජීවිතේටවත් බලන්නැති අය
“මේ තාත්තත් අසනීපෙන්නේ ඉන්නේ උන්දැව බලන්නත් තියෙනවා .
මම යනවා උඹලා ඉඳලා වරෙල්ලා “කියලා මාරුවෙන අය. සමහරු පවුල විතරයි ගෙදර කියලා යනවා.සමහරු
ඉන්නවා බීලා වෙරි වෙලා ඇවිල්ලා වෙරි හිඳුනම
“යකෝ මම පංසලකද ඉන්නේ“
කියලා බලලා දඩි බිඩි ගාලා මාරු වෙලා යන අය. සමහරු ඉන්නවා
සල්පිල ඉවරවෙලා දාන චිත්‍රපටියත් බලලා නිදි කිර කිර කබ කඩ කඩ සීතලේ නලිය නලිය
පහුවදාට කුකුළා අඬන නැකතේ ගෙදර යන අය. මේන් මේ අන්තිම කාණ්ඩෙ තමයි අපි ඉන්නේ. එකා දෙන්නා යන්න පටන් ගත්තම ටී.ඩී . සුමනා යකඩ කටින්
කියනවා
“ඔක්කොමලා ඉන්න අද ලස්සන චිත්‍රපටියකුත් පෙන්නනවා. තව
ටික වෙලාවකින් සල්පිලත් පටන් ගන්නවා“ කියලා.
“මෙන්න තවත් රුපියල් පනහක ආධාරයක් කරනවා නිලිඅතුගොඩ සිට
පැමිණි මාරසිංහ මහත්තයා ............................“
ඔන්න දැන් අපේ ආච්චිගේ රුපියල් විස්සේ ආධාරය දෙන්න හොඳ
නැකත කියලා හිතන ආච්චිත් ආධාර පෝලිමට වෙලා දිලිසි දිලිසි ඉන්නවා.ඔය අතරේ ටී.ඩී සුමනා තවත් ආධාරයක් කියවනවා ... ඔය ටී.ඩී.
සුමනා අපේ ගමේ නෙවෙයිනේ ගොඩාක් දුර .. පංසලේ පින්කම් දවස්වලට තමයි එන්නේ.. කවි කියන්න..
ජෝඩුවම කවි කියනවා. මුළු පළාතෙම පංසල් වල සල්පිල් වගේ එවුවට නැතුම්ම බැරි
දෙන්නෙක්.
“මෙන්න තවත් ආධාරයක් කරනවා නැසීගිය ..............
රත්වත්ත නිවසේ විසූ එච්.ඇන් . බංඩාරමැණිකා උපාසිකාවට පිං පිණිස............“
ඒ අපේ ආච්චිගේ නම. ආච්චිව අවුස්සගන්න කවුරු හරි කොල්ලෙක්
ඔලොක්කුවට දීපු ආධාරයක්... ඔන්න උන්දෑ ඇයිස්සෙනවා
“මොන වේ## බල්ලාද බොලව් අම්මට ####### මේ පරත්තු වැඩේ
කෙරුවේ... මාව මරාගන්න .. මාව මරාගන්න හිතුවා මදි ... වරත්තු බල්ලෝ ... බල්ලන්ට
ජාතක වෙච්චි ###############################“
පංසල එකම පරුෂා වාචා... හිස් වාචා වලින් ගිගුම් දෙනවා
.... ටීඩී සුමනා ගොළු වෙනවා ... ඉස්පීකරේ ඇණ හිටිනවා... ආච්චී යකා නටනවා...
ලොකු හාන්දුරුවෝ වඩිනවා.. ආච්චී ගල් ගැහෙනවා....මුළු
පංසල් භූමියම මීයට පිම්බාක් මෙන් නිශ්චල වෙනවා. අල්පෙනිත්තක් වැටුනත් හඬ ඇහෙන තරමට...
“මොකද උපාසක අම්මේ....“
“නෑ හාන්දුරුවනේ බලන්නකෝ මේ වරත්තු කොල්ලෝ.................“
ලොකු හාන්දුරුවෝ තට්ටේ අතගාන ගමන් කාර්යාලයට ගිහින් දෙන
ආධාර ඉස්පීකරේ කියන්න කලින් අදාල ගමේ නියෝජිතයාගේ අනුමැතියට යොමුකරන්න කියලා උපදෙස්
දීලා යනවා.
ආච්චී ආයෙත් ආධාර පෝලිමට යන්නේ තරහින් පිපිරි පිපිරී.ඉස්සර ටීවී බලද්දි එක පාරම සෝස් ගාලා විනාඩි ගානක්
බුබුළු ගිහිං “විදුලිබලය ඇණහිටීම නිසා සිදු වූ ප්‍රමාද දෝෂය පිළිබඳ අපගේ බලවත්
කණගාටුව“ කියලා තිරයේ වැටිලා ආයෙත් වැඩසටහන පටන් ගත්තම ඇතිවෙන වර්ගයේ හැඟීමක් අපට
ඇතිවෙනවා. ටීඩී සුමනා ආයෙත් යකඩ කටින් කවි කියනවා.
ඔය පංසලට නගින පාර දෙපැත්තේ තාවකාලිකව ජංගම කඩත්
බිහිවෙනවා. ජයසූරිය...රංබංඩා .... පේමේ මාමා වගේ කට්ටිය මේ කඩවල්වල තාවකාලික
මුදලාලිලා බවට පත්වෙනවා. අඹ පෙති ගහලා ලුණු මිරිස් දාලා විකුණන කඩ .. එක එක
තොරම්බෝල් එල්ලගත්ත කඩ ... කඩල කඩ ... උණු උණූ වඩේ කඩ .. පංසල් පාර දෙපැත්තේ හතු
පිපෙන්නා වගේ බිහි වෙනවා. හාන්දුරුවෝ මේකට අකමැත්ත ප්‍රකාශ කලත් මිනිස්සු
(මුදලාලිලා) බලෙන් පංසල ආක්‍රමණය කරනවා. ඔන්න දැන් තමයි ධනසිරි අයියලා පංසල් එන්නේ.. ආච්චී
කිව්වා වගේ වැනි වැනී ... සිගරට් පුසුඹ හම හම ධනසිරි අයියලා යාළුවෝ කාණ්ඩෙත් එක්ක
පංසල් එනවා. විශේෂයෙන්ම ඔය කට්ටිය පංසල් එන්නේ සල්පිල බලන්නවත් ... ඒවට උදව්
කරන්නවත් නෙවෙයි .. මාළු ඇන්ටිට ඉන්නවනේ දුවලා හතර පස් දෙනෙක්... ආන් එවුන් පස්සේ
වැටිලා වැඳ වැඳ යන්න .... ඒත් එවුන්නම් ඔය ගමේ එවුන්ව කොහොමවත් ගනන් ගන්නේ නෑ සත
පහකට....
ඔන්න අපේ ආච්චිත් ආධාරේ දීලා ඇවිල්ලා වළාකුළු බැම්මට
හේත්තු වෙලා උන්දැටත් කවියක් කියනකන් බලාගෙන ඉන්නවා. අනිත් ආච්චිලා සෙට් එකත් එක්ක
අනුන්ගේ ඇදකුද හොයන එකත් උන්දැගේ සිරිත
“ අර බලපල්ලකෝ මාළු ගෑණිගේ දෝණියන්දැලා ටික ඇඟේ පටලවගෙන
ඇවිත් තියෙන සුකුරුත්තන්... නොදකින් ඔවුවෝ එන්නේ ඔය පංසලේ ඉන්න කොල්ලො ටික
අවුස්සලා යන්න ... සෝබනේට...“
“නැතුව ...නැතුව ...අර බලපංකෝ එකියෙක්ගේ කොන්ඩෙ ඩිස්කො
කපාගෙන ... හිරට හිරේ කයිසමකුත් ඇඳගෙන ... අනේ කාලේ වනේ වාසේ කිව්වළු“බංඩේ සීයලෑ
ආච්චිත් අපේ ආච්චිගේ කතාවට පොහොර දානවා.චිත්‍රපටි සංස්ථාවේ වෑන්නෙක ලයිට් දාගෙන සද්දේ දාගෙන
ඇවිල්ලා පල්ලැහැ මළුවේ නවත්තනවා. ඒකෙන් බැහැගත්ත කට්ටියක් පල්ලැහැ මළුවේ ප්‍රොජෙට්ටරේ
හයි කරනවා ... උඩ මළුවේ සල්පිලට පේන දුරින් හිටෝලා තියන එල් අයිරින් කණු දෙකේ තිරේ
හයි කරනවා... දැන්නන් චිත්‍රපටිය අනිවාර්යෙන් පෙන්නනවා කියලා උත්තේජනයක්
මිනිස්සුන්ට දීලා තියෙන නිසා මිනිස්සු ගෙවල් වලට යන්න ඉක්මන් කරන්නෑ.. දැන් ආධාර
අස්සේ සල්පිල් වෙන්දේසියත් පටන්ගන්නවා...
“මෙන්න තියෙනවා ලස්සන ගුරුලේත්තුවක්... මේක එවලා
තියෙන්නේ නෙලුදණ්ඩේ කෝරලේ මාමා ... තියන්ඩ බලන්න මේකට ලංසුවක්“
“රුපියල් දහයයි“
“ආනේ සිරිල් මල්ලි මේක දහයද“
“පහලොවයි“
තව කෙනෙක් කෑ ගහනවා...
“විස්සයි“
“විස්සයි ... ඈවරයි ...විස්සයි දෑවරයි....“
“තිහයි.....“
ඔය විදියට සල්පිල ඇදි ඇදී යනවා.
දැන් අපේ ආච්චිගේ කවියත් ඔය අස්සෙන් කියවනවා..
“රත්වත්ත නිවසේ එච් ඇන් බණ්ඩාරමැණිකා මහත්මිය රුපියල්
විස්සකින් ආධාරයක් කරනවා ... මිය පරලොව ගිය ඥාතීන්ටත් එතුමියටත් මේ පින් අත්
වේවා... ඒවගේම ඉස්සෙල්ලා අපි අතින් වෙච්ච වැරැද්දටත් කණගාටු වෙනවා... ඒ වගේම අනේ
මේ මල්ලිලාට බොහෝම කරුණාවෙන් කියන්නේ ඕවගේ විහිළු තියාගන්න එපා .. මොකද මේක
පංසලක්නේ.......“
“ රත්වත්...තේ ඉඳන් ආ බංඩර-මැණිකා
මල් මල් චීත්තෙට උඹනම් හරි අගනා
ඒ හැටි වයසකුත් කොහොමත් නොපෙනෙන්නා
දුන් ආ...ධාරයට බෝ පින් අත් වෙන්නා ............“
අපේ ආච්චි දත් නැති කටින් හිනාවෙවී වළාකුළු බැම්මේ මූණ
හංගගන්නවා .....
දැන් ඔය ගම්මාන අතර තරඟයක් පටන්ගන්නවා ... ඒක සල්පිලේ
අවසාන භාගයේදී තමයි සිද්ද වෙන්නේ... ඒ තමයි මල්වට්ටිය වෙන්දේසිය. ඕක ගම් මට්ටමින්
තමයි වෙන්දේසි වෙන්නේ... එක එක ගම් වල කණ්ඩායම් එක්කහු වෙලා මල් වට්ටිය තමන්ගේ ගමට
ගන්න ගොඩාක් වෙහෙසෙනවා... සමහර කාල වල ඕක ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ඔය මල්
වට්ටිය කොහොමත් රුපියල් දාහ පන්නලා ලංසුවකට තමයි අයිති කරගන්නේ.... ඔය වෙලාවට ලොකු
හාන්දුරුවෝ හය හත් වතාවක්වත් සල්පිල ටටේ කැරකිලා යන්න එනවා.....ඔය අතරේ පල්ලැහැ කඩ පේලිය අතරින් මහා හඬක් එනවා ...
කවුරු හරි කෑ ගහන හඬක්... ඒ අස්සේ රංබංඩා
මාමගේ පවුල ලතෝනි තියාගෙන සල්පිල දිහාට දුවන් එනවා...
“ අයියෝ මගේ මිනිහා ඉවරයි .. පේමේයා මගේ මිනිහගේ බඩ
කැපුවා මල කපන පිහියෙන්....“
ඔළුව බදාගෙන රංබංඩේ මාමගේ පවුල සල්පිල දෙවනත් කරනවා ...
ඔය මල කපන පිහිය කියන්නේ මේ ගම්වල තියෙන භයානක ආයුධයක්. කිතුල් මල් කපන්න ගන්න
බ්ලේඩ් එක වගේ පිහිය තමයි මල් කපන පිහිය කියන්නේ...මල් වට්ටි වෙන්දේසිය එතැනම නවතිනවා..සල්පිල
ඇනහිටිනවා..යකඩ කට ගොළු වෙනවා. සල්පිලේ අයයි සල්පිල බලන්න ආපු අයයි එක පොදියට
පල්ලැහැ කඩ පේලිය දිහාවට දුවගෙන යනවා. රංබංඩේ මාමා ලේ විලක් මැද වැටිලා ඉන්නවා.. චිත්‍රපටි
සංස්ථාවේ වෑන්නෙක ඇවිල්ලා රංබංඩේ මාමාව දාගෙන විදුලි වේගයෙන් බදුල්ල දිහාට ඉගිල්ලෙනවා..මිනිස්සු සිද්ධිය වෙච්ච තැනට වෙලා පරීක්ෂණ පවත්වනවා. කඩ
කෙරුවාව නිසා ඇතිවෙච්ච බහින්බස් වීමක් දුරදිග යාමක් කියල නිගමනේට එනවා.ආරක්ෂාවට
ඇවිත් හිටපු පොලිස් මහත්තුරු දෙන්නත් කොහේදෝ ඉඳන් එනවා. සමහර උදවිය නිකටට අත
තියාගෙන කල්පනා කරනවා.
“සූටියෝ මෙහ වරෙන් යන්න“
ආච්චි මාව අතෙන් අල්ලගෙන ඇදගෙන යනවා.
“නොදකින් බයිස්කෝප්පෙකක් බලන්න හිටියා මදැයි ...
කාළකණ්ණි යක්කු.... හැම පාරම මොකක් හරි විජ්ජුම්බරයක් කරනවා.....මේ.... උඹලා යන්
නැද්ද ... මං යනවා ...“
ආච්චි මාවත් ඇදගෙන සීතලේ ගැහි ගැහී ආපහු ගෙදර එනවා..
Saturday, December 19, 2015
සල් පිල ------------------ නිවාඩු දවසට නිවී කියවන්නට......
“ඔබෙරා
......... ගී...ඊඊඊඊඊඊ......................ඊඊඊඊඊ...............මන කැලඹේදෝ
......................“පංසලට
ඉස්පීකර් ජෝඩුවක් ගෙනැල්ලා ඝණ්ඨාර කණුව මුදුනේ ගැටගහලා ඔය සිංදුව දාද්දි අපි වෙන්
වෙන් වසයෙන් දැනගන්නවා .... පංසල මේ මොකටද එන්න හදන්නේ කියලා. ආධාර පත්‍රයයි.........................
විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන්ගේ ................................මුල්ගල
තැබීමේ සිට කොත පලන්දා සුදු පිරියම් කොට විවෘත කරන දා දක්වා උත්සව 25කි....30කි...කඨින
පිංකම....මිහිදු මහා පෙරහැර...වළාකුලු බැම්ම.... මකර තොරණ....දහම් පාසල් උත්සව ...
මෙකී නොකී උත්සව සිය ගණනක් සඳහා වසරකට ආධාර පත්‍ර සිය ගණනක් හැම ගෙදරකටම ලැබෙනවා. “යකෝ
හාල් ඇටයක් ගන්න ගේ සත පහක් නෑ.... ආධාර පත්තරනම් එනවා... ඔව්වා කොහොම ගෙවන්නද? “ගමෙන්
පත් කරපු ආධාර එකතු කරන ### අක්කා විසි තිස් පාරක් අපේ ගෙදරට ආවත් ලැබෙන ආධාරයක්නම්
නැති තැන ආයෙත් නොඑන්නට වගබලාගන්නවා.සම්පකාරෙන් අපිට ලැබෙන දිළිඳු සහන... ඉස්කෝලෙන් අපිට
ලැබෙන දිවා ආහාර මුද්දරේ...තාත්තා නැති නිසා අම්මාට ලැබෙන පිංපඩිය....නිකං
හම්බුවෙන පාසල් පොත් සහ නිලඇඳුම් සහ අම්මාට දලු කඩලා හම්බුවෙන සොච්චම් පඩියත් අපිට
අමාරුවෙන් කිරි බෝතලයක් දෙකක් දෙන බටු වැස්සීත් නැත්තං අපි පොළොවට පස් වෙලා හිටපු
තැන්වල දැන් ගසුත් පැලවෙලා.දහම් පාසල් ගියාම අපි ඉන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් හොඳටම
වසන් වෙලා. ඇයි ඔය පංසල් ආධාර නොගෙවන එකම පවුල අපි කියලා අපිට හිතෙන නිසා. ලොකු
හාමුදුරුවොත් අපිව ගනන් නොගෙන ඉන්නේ ඒ නිසා යැයි හැඟීමක් අපේ හිත්වල මෝදු වෙලා
තිබ්බා.මිහිඳු මහා පෙරහැරට සතියකට විතර කලින් තමයි සල්පිල
පටන්ගන්නේ.. සල්පිලටත් බඩු ගමේ මිනිස්සුම තමයි දෙන්න ඕනි. ඒක වෙනමම යන ආධාරයක්.
ඩී.ටී. සුමනයි එයාගේ මහත්තයයි තමයි කවි කියන්නේ.සල්පිල ඉවරවුනාම චිත්‍රපටියකුත්
පෙන්නනවා කියලා යකඩ කටින් (ඉස්පීකරෙන්) නිතරම කියවන්නේ ඒක මාකටින් සිස්ටම් එකක්
නිසා. සල්පිල පටනගන්නකොට රෑ හත අට විතර වෙනවා.අම්මා සල්පිලට නොගියත් ආච්චී අනිවාර්යයෙන් යන නිසා අපිත්
දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා.“සූටියෝ“ඒ සූටියා කියන්නේ මට.... ආච්චි සූටියා කිව්වත් ගමේ එවුන්
කියන්නේ චූටියා ... උක්කුං සහ..සමීර..මට කියන්නේ චූටි....“උඹ යනවානම් ඔය පන්දමක් හදලා ගනිං““මේ හදනවා ආච්චී“ඉතිං උන්දැ හැඩවෙනවා. බ්ලැක්නයිට් පවුඩර් ටින් එක
අරං ඒකෙන් තලියක් අරං මූණේ අතුල්ලගන්නවා. කොන්ඩේ ඩිංග දිග ඇරලා දිග හවරියක් ඒකට
තියලා ඔළුවේ උඩට කරලා ලොකුවට ගැටගහනවා. උන්දැගේ ට්‍රංකා පෙට්ටිය ඇරලා ඒකේ තියෙන
ඉස්තරම්ම රෙද්දයි හැට්ටෙයි අරං ඇඟේ පටලවාගන්නවා.අපි පිරිස රැස්කරනවා.“ලොක්කා පලයං සමීරට කියලා වරෙන්“ ලොක්කා කියන්නේ අපේ
අයියා.“නන්දික පලයං උක්කුවාව එක්කන් වරෙන්“ නන්දික කියන්නේ අපේ
මල්ලී.මං ඉතිං පන්දම හදනවා. මං කලින් කතාවක පන්දම හදන හැටි
විස්තර කරලා ඇති. ඉතිං ඒ පන්දම් පංසල් යන්න මදි. මේකට විශේෂ පන්දමක් තියෙන්න ඕනි.
මොකද පංසල තියෙන්නේ කිලෝමීටරයක් දුර. ආයේ එන්ඩත් එපැයි.ඉතිං අරක්කු බාගේ බෝතලේක කටට කිරිමැටි තියනවා. එතකොට කර
පුපුරන්නෑ. කිරිමැට්ටත් බෝතලේට හොඳට බද්ධ වෙනවා. ඊට පස්සේ බෝතලේට ලාම්පුතෙල්
පුරවනවා. පුරවනවා කිව්වට හොඳටම පුරවන්නෑ. ඊට පස්සේ කපු රෙද්දක් අරං අර කිරල ඇබයක්
සයිස් එකට උරුට්ටු වෙන්න ඔතලා බෝතලේ කටට බස්සනවා. දැන් බෝතලේ පල්ලැහැට හරවලා තෙල්
කවලා පැත්තකින් තියනවා. ආච්චී හැඩවෙලා ඉවරවෙනකන්. දැන් ඉතිං යවපු පයින්ඩකාරයෝ දෙන්නා යාළුවෝ ටිකත් ඇහිඳගෙන
අපේ ගෙදෙට්ට එනවා. “ආ...උඹලත් ආවද? යමල්ලා... යමල්ලා....සූටියෝ පන්දමයි
ගිනිපෙට්ටියයි ගනින්““ධනසිරියෝ උඹ යන්නැද්ද?““ආ... යං අපි එන්නම්“ධනසිරි අයියගේ කාණ්ඩේ වෙනස්. සුමනේ අයියා... විජේ
අයියා..මන්තිරි අයියා...චූටප්පයියා....අප්පයියා.“ඔවුන් ඉතිං කට ගොන්නක් බීගෙන ගංජ සුරුට්ටුවකුත් ගහලනේ
පංසල් එන්නේ... නොදකින් පවු කාරයෝ“ආච්චී තමන්ටම කියාගන්නවා.ඉතිං පඩිපෙල දිගේ අපි උඩහට නගිනවා. මම තමයි පන්දම
අල්ලන්නේ. පන්දම්කාරයා තමයි ඉස්සල්ලා යන්නේ. ඉතිං කූඩැල්ලොත් කොයි වෙලේත් කකුලේ
එල්ලෙන්න බලන් ඉන්න නිසා ඒවත් බල බල තමයි අපි පඩිපෙල නගින්නේ.දැන් ඉතිං ආච්චී පාරට ගිහිල්ලා එයාගේ කාණ්ඩේ රැස්
කරනවා. බංඩේ සීයලාගේ ආච්චී... එතනින් ගියාම හීම්මැණිකේ නැන්දා...උඩහකඩේ ආච්චී...
උදළුවත්තේ ආච්චී... එනකන් අපි තැන් තැන්වල ටැක් ගැහී ගැහී හීතලේ අත්දෙක ඉස්කෝල කොට
කලිසමේ සාක්කුවේ පතුලටම බස්සගෙන ඉන්නවා... සුදු ඇඳුම් ඇඳගෙන ආච්චිගේ යාළු කාණ්ඩේ
ආවත් අපේ ආච්චී උන්දැගේ ඉස්තරම්ම මල් මල් චීත්තෙයි හැට්ටෙයි ඇඳන් ඉන්නේ.“ඇයි බං පංසල් යද්දි ඔව්වා ඇඳන් යනවද?“බංඩෙ සීයලාගේ ආච්චි පලවෙනි වෙඩිය තියාගෙනම පඩිපෙල දිගේ
පහලට දොක්කනවා.“අනේ කට වහං ඉඳින් බං සල් පිලටනේ යන්නේ“ආච්චී වෙඩිල්ල නිෂ්ක්‍රීය කරලා දානවා. දැන් ඉතිං මම පන්දම ඔය කවුරු හරි ආච්චි කෙනෙකුට දීලා
නිදහස් වෙලා පිටිපස්සෙන් එන අපේ යාළු කාණ්ඩෙට එකතු වෙනවා. දැන් කාණ්ඩ දෙක මීටර්
දහය...පහලව...විස්ස ..තිහ ...හතලිහ පනහා .. පංසල කිට්ටුවෙනකොට මීටර් දෙසීය තුන්සීය
විතර දුරස් වෙනවා. දැන්නම් ආච්චිට අපි ගැන ගානක්වත් නෑ... ආච්චිගේ එක එක විච්චූරණ
කතා අහ අහ අනිත් ආච්චිලා කාණ්ඩේ තම පිරිවර වැඩි කරගනිමින් පංසල් යනවා ... අපිත්
අපේ කාණ්ඩෙ වැඩි කරගනිමින් සල්පිල් යනවා...යකඩ කටේ සැර එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ අපි පංසලට
ලංවෙනවා කියන එක. පංසල තියෙන්නේ අපේ ඉස්කෝලෙට පල්ලැහින් වංගුවටත් පල්ලැහින් වමට
හැරිලා ගියාම පොඩි කඳු ගැට්ටක් මුදුනේ. ඉතිං ඔය කන්දත් නැගලා පංසලට ලංවෙනකොට කේ.ඩී
සුමනගේ කවි වලින් අපේ කන් බීරි වෙලා යනවා..“ඔව් මෙන්න තවත් ආධාරයක් කරනවා ඇටම්පිටිය සිට පැමිණි
දයානන්ද මුදලාලි තම මවට පිං පිණිස රුපියල් දෙසීය පනහක ආධාරයක් කරනවා... මුදලාලිටත්
මේ පින් බලය අත්වේවා...““දයානන්ද මුදලාලිගේ නම කියවෙනවාඅද දිනයේ පලවෙනි ආධාරය දෙනවාමවට පින් ලැබෙන්නයි ඔහු කියා පතනවාමෙපින් බලෙන් මව් ඔබ නිවනටම වඩිනවා....“දයානන්ද මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ වත්තේ මාටින් මුදලාලි..
මිනිහා දෙනවා 300ක් . මාටින් මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ විජේ මුදලාලි මිනිහත් තව
රුපියල් දහයක් පහලවක් වැඩි කරලා ආධාර දෙනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න එක කවි
පංතිය කවි පංති දෙකක් වෙනවා. ඒ වෙලාවට දෙන ඔය රුපියල් දහයේ විස්සේ ආධාර ගණන්
ගන්නෙවත් නෑ.. ආච්චිත් රුපියල් විස්සක් අතේ මිට මොලවගෙන ඉන්නවා. තරඟෙ ඉවර වුනාම
දෙන්න. ඉතිං සල්පිලට කලින් ආධාර පෝලිම නැගලම යනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න
විටෙන් විටේ ලොකු හාමුදුරුවොත් සල්පිල පැත්තේ ඇවිත් කැරකිලා පස්වනක් ප්‍රීතියෙන්
ඔද වැඩි වැඩී යනවා. මළුවේ නට නටා ඉන්න අපි ලොකු හාමුදුරුවෝ දැක්ක ගමන් ගල්
ගැහෙනවා....ඉතිරි කොටස ලඟදීම....
(ප.ලි. ෆේස්බුක් එකේ සහ ලංකාදීප පිටු අතර ලිය ලියා හිටපු
මට බ්ලොග් එකක් ලියන්න උත්තේජනයක්ආවේ සුරංගයා (සුංගියා) ලියන “යාංහෑල්ල“ බ්ලොග් එක
නිසා කියලා නිහතමානීව කියනවා. යාංහෑල්ල ලියවෙන්නේ රත්නපුර පැත්තේ ගමක සිදු වෙච්ච
සිදුවීම්. මම ලියන්නේ කඳුකරේ බදුල්ලෙනුත්
ඈත නුවරඑළිය පැත්තට කිට්ටුවෙච්ච ගමක් ගැන විස්තර... ඉතිං අපි වගේ තවත් අය ලිව්වනම්
සයිබර් අවකාශය තවත් ලස්සන වෙයි.. යාංහෑල්ලට මෙතැනින් යන්න)
Subscribe to:
Posts (Atom)






