බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, May 3, 2016

අමුතු ගම ....

ඔන්න මම උඩහ රත්නායක බාප්පලගේ කඩේට ගිහින් පල්ලැහැට එද්දි අපේ ගෙවල් වලට උඩින් පාරේ කලුබංඩෙ බාප්පයි .. දන්සිරි අයියයි.. සුමනේ අයියයි.. මංතිරි අයියයි.. ටී.ඩී. සුමනයි..නීටා අක්කයි..නිලානීයි..වල් මහත්තයයි..පතන් බංඩෙයි කට්ටියම පාර අහුරගෙන හිටියා.


“ඈ බොල චූටියෝ තෝ නේද අපිව පාවා දීලා ඒ මදිවට ගමත් පාවලා දීලා ඉන්ටනේට්ටෙකට එක එක විකාර දාන්නේ... තෝ කාගෙන් අහලද ඔව්වා කරන්නේ.. හිටපිය තෝ එනකන් තමයි හිටියේ අල්ලගන්න “


කියපි. කලුබංඩෙ බාප්පගේ අතේ පොල්ලක්.. දන්සිරි අයියගේ අතේ ගලක්. අනිත් ගෑණූ අතේත් කොහු ඉදල් හට්ටි..මුට්ටි.. එනපොට හොඳ නෑ කියලා දැනගත්තු මං ආයෙත් හැරිලා පාරේ උඩහට පන කඩන් දුවද්දි කට්ටියම මාව පන්නගෙන ආවා. දන්සිරි අයියා අතේ තිබ්බ ගලක් අත ඇරපි. ගල ඇවිල්ලා තරු ගොඩාක් විසි කරලා මගේ ඔළුවට පත බෑ වුනා.


“බුදු අම්මෝ“


මං විලාප දීගෙන ඇහැරුණා. යකෝ ඒක හීනයක්ද?...


මේ කමියා කොහේ ගියාද? අපේ ඉස්කෝලේ පැත්තේ යන්න එනවා කිව්වා. එනකන් බලන් ඉන්නවා. මම පින්සිබොල්ට ඔත්තුව දීලා පණිවිඩ පිට පණිවිඩ එවනවා. ආ. එගොඩ ගුන්තිලක මාමලගේ කුඹුරේ ටවර්රෙකක් ගහනවා . ගමේ එවුන්නම් කියන්නේ සෙල්ටෙල් කනුවක් ගහනවා කියලා.සෙල්ටෙල් මැරිලා කොච්චර කල්ද? මොබිටෙල්ලෙකෙන් තමයි කණුව ගහන්නේ. එතකොට අවුලක් නෑ. ගෙදර හිටන්ම වැඩේ කරතෑකි. ඒ කියන්නේ ලියන වැඩේ කරතෑකි.(නැත්තං වෙන මොකක්කත් හිතයි) අනික් එවුන්ගේ බොග් බලන්නත් කොමෙන්ට් කොටන්ඩත් එතකොට පුලුවන්.


ඒක මහා විකාර ගමක්. අවුරුදු දහයක් පහලවක් සියනෑ කෝරළේ කරක්ගහපු මට ගම මහා විකාරයක් වෙලා. ගමේ ගැමිකම සිරියාව බල්ලට ගිහිල්ලා. තැන තැන පොෂ් වෙන්න මාන බලන මිනිස්සුත් අසීමිතව කොටු පයින ගෑණුත් තම තමන්ගේ තත්තේ ගැන පම්පෝරි ගහන මිනිස්සුත් තමයි දැන් ඔය ගමේ ඉතුරු වෙලා ඉන්නේ. ආණ්ඩුවේ රස්සා කරන එවුන් හරියට බිල් ගේට්ස් උන්නැහේ ලඟ වැඩ කොරනවා වගේ උඩින් යන්නේ. ආණ්ඩුවේ රස්සා කරන එවුන් ගැන මං මුලින්ම ඉගෙනගත්තේ අපේ ඉස්කෝලෙන්. ඒ දවස්වල පංතියේ අපිට මොකක්හරි වැඩක් දීලා කොට්ට උර මැහීම තේ බීම කයිවාරු ගැහීම වගේ වැඩ කරපු අපේ ගුරුවරුන්ගෙන් තමයි ආණ්ඩුවේ රස්සා වල දිග පලල උස මහත මන් ඉගෙනගත්තේ. දැන් ඔය ගොවි නියාමක පට්ටම ලැබිච්ච කෘෂිකර්මේ ගැන මෙලොව දැනීමක් නැති උඩහා නිලානී ගමේ කුඹුරු වගා කොරලද කියලා බලන්නේ එගොඩහ ගොඩේ තමන්ගේ ගෙදර ඉඳන්. ආය බස්සෙකේ එහෙම යන්නේ මහ ඒජන්ත නෝනා වගේ තමයි. පහුගිය කාලේ පොහොර හුටපටේකටත් නම ඈඳිලා තිබ්බා කියලා කතාවක් එහේ මෙහේ ගියා.


ගොවි සමිතියේ සබාපති අපේ කලු බංඩේ බාප්පා දික්කලිසමකුත් ගහන් ෆයිල් එක්කුත් කිහිල්ලේ ගහගෙන ගමේ උඩහ පහල කරක් ගහන්නේ බොහෝම උජාරුවෙන්. ග්‍රාමසේවක මහත්තයටවත් නැතුව ඇති උන්දැට තියෙන වැඩ. පහුගිය කාලේ රස්සා අරං දෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගත්තා කියලා කතාවකුත් ගම වටේ ඉගිල්ලුනා.


මහාමාර්ගේ වැඩ කොරන පල්ලැහැ නීටා අක්කට ගමේ මිනිස්සු කියන්නේ මහාමාර්ග ඇමතිතුමිය කියලා. ඒ තරම් බලපරාක්‍රමයක් තියෙනවා වගේ තමයි ඉන්නේ. ගමේ දුප්පත් මිනිහෙක් පාර අයිනේ තියාගෙන බඩ ඉරිඟු කරලක් වික්කත් රෙද්ද උස්සගෙන එන නීටක්කාට එයාගේ අයියා පාර අයිනේ සුදු ඉර උඩ ගහලා තියෙන අට්ටාලෙනම් තාම පෙනිලා නෑ වගේ. අර ඇල්ල පැත්තේ හෝටල්කාරයෝ පාර මැදත් හෝටල්  ගහලා තියෙනවා එවුවා පේන්නෙත් නෑ.


ගිය පාර ප්‍රාදේශිය සබා දිනලා මන්තිරිකමක් ගත්ත එගොඩ සජිත් ඇති තරන් හොරකන් කරා කියලා තමයි ගමේ මිනිස්සු කියන්නේ.නිධන් දෙකතුනකුත් ගොඩදාගත්තළු. දැන් ඔය වාහනයක් දෙකක් තියන් හිටියත් ඊගාව ඡන්දෙට ඡන්දෙ හිඟාගෙන ආවොත් කොස්සෙන් ගහනව කියල කියනවා මට ඇහිලා තියෙනවා.


ඉතිං ඔය ගමේ ඇටෙන්ඩන් පට්ටමක් අරගත්තු එවුන් ඉන්නේ මහ ඉස්පිරිතාලේ මිසීලා වගේ. මිසී පට්ටමක් ගත්තු එවුන් ඉන්නේ මහ ඉස්පිරිතාලේ දොස්තරලා වගේ. හොඳ වෙලාවට දොස්තර පට්ටමක් ගත්ත එකෙක් ගමේ නෑ. හිටියනම් ඉඳියි මහ රජ්ජුරුවන් වහන්සේ වගේ.එක දවසක් බදුල්ලේ ඉස්පිරිතාලෙ කිලිනික් එකට ගිහින් ඇවිත් අපේ ආච්චි ඇටෙන්ඩන් පට්ටමක් දරන ........ අක්කාට බැනවදිනවා මට ඇහිලා තියෙනවා.


“නොදකින් අර ඉස්පිරිතාලේ අතුගාන නල්ලමලේ බඩ්ඩ. මම තුංඩුවක් ගන්ඩ පොලිමේ ඉද්දි මාව දැකලත් නොදැක්කා වගේ අහක බලාගෙන ගියානේ. තුංඩුවක් අරං දෙන්න වෙයි කියලා වෙන්ඩ ඇති. නොදකින් ඕකි හිතං ඇති ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා ඒකී කියලා. යකෝ අපිත් වත්තේ පුල්ලේ කාමරේ වැඩ කරපු ගෑණු. ආවදෙන්කො ඕකිගේ මහ එකී.. පට්ටන්තර කියවන්න. කියලා දෙන්නං මම ලුණු ඇඹුල් ඇතුව“


ඉතිං ඔය අමුතු ගමේ මිනිස්සුන්ට අමුතු ලෙඩක් තියෙනවා. ඒ තමයි අනුන් කරන දේ කිරීම. කවුරු හරි සැටලයිට් ඇන්ටනාවක් ගෙනැල්ලා වහලක හයි කරලා තියෙනවා දැක්කොත් මුළු ගමේම එවුන් සැටලයිට් ඇන්ටනා ගේනවා. ගෙදර ටීවී එකක් නැතත් සැටලයිට් ඇන්ටනාවක් ගෙනල්ලා හයි කොරගන්නවා. ටෙලිකොම් ලයින් තියෙන ගෙවල් වලට පියෝ ටී.වී ගන්න පුලුවන් උනත් ඒක ගමට නොපෙනෙන නිසා එවුමුත් සැටලයිට් ඇන්ටනා ගෙනල්ලා ගමට පේන්න හයි කරගන්නවා.


එක කාලයක් ගමට තිබ්බා ටුවෙල් ටෙන් ලොරි උණක්. උක්කුවා පිනෑන්ස් කරලා ටුවෙල් ටෙන් ලොරියක් ගෙනාවේ මේකෙන් කරන්නේ මොනාද..දුවන්න හයර් තියෙයිද කියලා පූර්ව නිගමනේකින් තොරව.. ඉතිං කීයද්දෝ හොයාගෙන අතිමුත් සල්ලි දීලා පිනෑන්ස් කරලා ලොරිය ගෙනල්ලා ගෙට උඩින් පාරේ නවත්තලා තිබ්බා. වැඩක් නෑ. ගඩොල් අදිනවා.. එළවළු අදිනවා... දළු අදිනවා ... තේ පෙට්ටි අදිනවා... බජාර් බඩු පටවනවා... එක එක මනෝ විකාරයන් උක්කුවගේ හිතේ ඇඳිල තිබ්බත් එක වැඩක්කත් හම්බුන්නෑ. දැන් උක්කුවා ලොරියක් ගෙනාව ගමන් ගමේ උන්ට ඉන්ඩ බෑ. අපේ ආච්චිනන් කියන්නේ උන්ට දැවිල්ල හැදෙනවා කියලා. ගමේ එවුන් හය හත්දෙනෙකුත් ලොරි ගෙනාවා. පිනෑන්ස් කරලා තමයි. උන්ටත් ඉතිං කරන කර්මාන්තයක් ගැන මෙලොව සැලසුමක් නෑ. උක්කුවාට පුලුවන්නම් අපිට බැරි මොකද? ඉතිං උමුත් ලොරි ගෙනල්ලා පාරේ උඩ නවත්තලා තිබ්බා. මාස දෙක තුනක් ගියාම උක්කුවගේ පිනෑන්ස් ඇරියස් වෙලා ලොරිය පිනෑන්ස්සෙකෙන් ඉස්සුවා... ඊගාව මාසේ.. ඊගාව මාසේ වශයෙන් අනිත් ලොරිත් පිනෑන්සෙකෙන් ඉස්සුවා. දැන්නන් ගමේ එක ලොරියක්කත් නෑ.


ත්‍රීවීල් කෙරුවාවත් ඔය වගේම තමයි. ගමේ සැලකිය යුතු ත්‍රීවීල් ප්‍රමාණයක් පිනෑන්සෙකෙන් ඉස්සුවා. දැන් තියෙන්නේ ගෙවල් හැදිල්ලේ පිස්සුවක්. ගමේ එකෙක් ගෙයක් හදන්න පටන්ගත්තම මුලු ගමම ගෙවල් හදන්න පටන් ගන්නවා.


ඉතිං කවුරු හරි ලොරියක් ගත්තොත් මුලු ගමම ලොරි ගන්නවා. කවුරු හරි සැටලයිට් ඇන්ටනාවක් ගත්තොත් මුලු ගමම ඇන්ටනා ගන්නවා. කවුරු හරි ත්‍රීවීල්ලෙකක් ගත්තම මුලු ගමම ත්‍රීවීල් ගන්නවා. කවුරු හරි ගෙයක් හැදුවම මුලු ගමම ගෙවල් හදනවා. කවුරු හරි ගෑණියෙක් ගෙනාවම මුලු ගමම....................... ආ...නෑනේ..


තව ඔය දැන් ඉන්න පොඩි එවුමුත් අමුතු වෙලානේ. අවුරුදු දොලහ දහතුන වෙද්දි උන් බියර් ටින් එක කටේ හලාගන්න පුරුදු වෙනවා. තව ඔය කෙල්ලෙක්ට පැණි හලන්න වගේ ඒවටත් යොමු වෙනවා. අවුරුදු දාසයේ දහ අටේ කොල්ලෝ ගංජා සුරුට්ටුව ගහන්න සොහොන් කන්දේ පඩිපෙල දිගේ නගිනවා. උන්ට ඔය ඔන්චිල්ලා හැදිල්ල අවුරුදු උස්සව පැවැත්වීම චක් ගුඩු පැනීම පංචා ගැහිල්ල වගේ අපි පුංචි කාලේ ලබපු අත්දැකීම් ලැබෙන්නේ නෑ. කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඕවගෙන් මිදිලා උසස් අධ්‍යාපනයේ පල නෙලාගෙන සරසවියට යනවා. ඒක වෙන්නේ ගොඩාක් කලාතුරකින්.කෙල්ලෝ ඉතිං බස් කොන්දොස්සරලාගේ ත්‍රීවිල් කාරයන්ගේ වගේ එවුන්ගේ බැල්මට වසඟ වෙලා කලින්ම විවාහ දිවියේ මිහිරියාව විඳගන්නවා. සඳ පහන් රැයේ තමන්ගේ සහකරුවා සමඟ ගෙයින් හොර රහසේ නික්මෙනවා. උන් දන්න ලොකුම රස්සාව තමයි බස් කෙරුවාව..ත්‍රීවීල් කෙරුවාව..ඩෝසර් කෙරුවාව.. අවුරුදු දහඅට දහ නවය වෙනකොට පොඩි එක්කුත් වඩාගෙන එහෙට්ට මෙහෙට්ට දුවනවා. හරියට අපි බන්දලා දුන්නා වගේ. තවත් සමහර කෙල්ලෝ බස් ඩැයිවර්ලගේ කොන්දොස්සරලගේ ත්‍රීවීල් කරයන්ගේ ඩෝසර් කාරයන්ගේ හාලි ඇල්ලේ මුස්ලිම් කොල්ලන්ගේ ඇමට අහුවෙලා රැවටිලා ජීවිතේම කාලක්න්නි කරගන්නවා. ත්‍රීවීල් කාරයෝ .. ඩෝසර් කාරයෝ.. බස් කාරයෝ.. අඩියක් ගැහුවම ඉතිං තමන්ගේ කෙරුවාව පුරසාරම් විදියට අතිමුත් බොරු ගොඩක් දාලා තැන තැන කියවනවා.

“මම ඕකිව අරං අරෙහේ ගියානේ..මෙහේ අරං ගියානේ“

 වගේ මෙතන ලියන්න බැරි ඒවත් කියෝනවා. එතකොට ඉතිං ඕවා ගම්වල ප්‍රසිද්ධ රහස් බවට ග්‍රන්ථාරූඪ වෙනවා.ගෑණුනම් ඉතිං තමන්ගේ මිනිහට අමතරව තවත් අතිරේක මනුස්සයෙක් හරි දෙන්නෙක් හරි හොයාගෙන ඌව ගොනාට අන්දගෙන පූර්ණ පරපෝෂිතයෙක් විදියට ජීවත් වෙනවා. අර මිනිහගේ මුලු සේසතම අවශෝෂණය කරගන්නවා. ඒ මිනිස්සුත් ඉතිං පුංචි ආස්වාදෙකට තමන් හම්බු කරගත්ත සේසතම දන් දීලා කන්ද දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්නවා. ඔය මිනිස්සුත් බිව්වම තැන තැන ඔව්වා කියව කියව ඇවිදිනවා. ගෑණු වගේ.


ඉතිං තමන්ගේ මිනිහගෙයි අනියම් බිරියගෙයි පයිරු පාසානම නියම බිරිඳගේ කනේ ගැටෙන්නේ තමන්ගේ මිනිහා නට්ටං උනාට පස්සේ. පස්සේ ඉතිං ඔය ගෑණු දෙන්නා නයයි මුගටියයි වගේ තමයි.


“ඈ බොල තෝ අපේ මිනිහව රවට්ටගෙන උගේ සේසතම ඩැහැගත්තා නේද පරට්ටී.. පාර හදනකන් පාරේ වැඩට ආපු ඔක්කොම එක්ක බුදියෑවා. දැන් ගමේ එවුන් එක්ක බුදියනවා“


එකෙක් එක් ඇඟිල්ලක් තවෙකකුට දිගු කරද්දී අනෙකා ඇඟිලි කීපයක් දික් කිරීම හෙවත් සියළු ගැහැණුන් එකම බෝට්ටුවක...................


“කවුද බොල තොගේ මිනිහ රැවැට්ටුවේ. රවට්ටන්න පොඩි බබානේ. ඌනේ බොල අපේ ගෙවල් පැත්තේ රූටන්න ගත්තේ. මම ආවයැ තොපේ දිහා. තෝත් බුදියෑවෙ බොල ඩෝසර් කාරයෙක් එක්ක.“


“මොනාද බොල කිව්වේ වේ$ වේ$කම් කරලා තව කියවන්නත් එනවා“


“ඩිෂුම්..ඩිෂූම්..බුෂා.. බුෂා..බුෂා..බුෂා“


දැන් ඉතිං අර සුද්ද සිංහල කුණුහර්ප කිය කිය හිංගල චිත්‍රපටිවල සටන් ජවනිකා එහෙමත් රඟදැක්වෙනවා.


(තව කෑල්ලක් ලියන්ඩත් හිතයි. බලමු...)

Saturday, April 2, 2016

මරණ ගෙදර - අන්තිම කොටහ

04
මේ මරණ ගෙදරක් ලියන්න ගිහිල්ලා මගේ බ්ලොග් රස්සාවත් තව පොඩ්ඩෙන් මරණයට පත්වෙනවා. අසුබ දේවල් ලියන්න ගියාම වස් වදිනවා කියලා බ්ලොග් මිත්තරයෙක් කිව්වා. මම ගොඩාක් කල් ලිව්වේ නැති හේතුව ගොඩාක් එවුවෝ අහලා එවලා තිබ්බා.
මම අහසේ ඇවිද ඇවිද හිටියා. ඔව් අහස හරි සුන්දරයි. අවුරුදු ගානක් ඇවිද ඇවිද හිටපු අහසෙන් මම පොලොවට පත බෑ වුනා. ජීවිතයේ වෙන්න ඕනි හැම අකරතැබ්බයක්ම වෙච්ච මට අඩු වුනේ අකුණක් වදින්න විතරයි. සුරංගයයි.. කමියයි දන්නවා මගේ ජීවිතේ. ඉතිං අන්තිමට හෙරළිය ඉදෙනකොට පතබෑවෙන වැලය වගේ මමත් ගමට පතබෑ වුනා. අපේ ගමේ කඳු වලල්ල මැද්දේ සිග්නල් ජුංඩක්කත් නෑ.. ඉතිං මං ලිව්වේ නෑ. මේ පෝස්ට් එකත් දාන්නේ හාලි ඇල්ලේ පීකස් කඩේ ෂෝකේස් එකක් උඩ ලැප්පෙක තියාගෙන.
දැන් ඉතිං ඔය ඊයේ රෑ බූරු ගහලා හත වැදිලා නන්නත්තාර වෙච්ච දංසිරි අයියලා...සුමනේ අයියලා....චූටප්පයියලා ...මන්තිරි අයියලා ඉව කර කර මරණ ගෙදෙට්ට ඇදෙනවා. එයාලා දැනගන්නවා මහතුන් අයියා ඇති තැන මොකක්හරි වාසියක් තියෙනවා කියලා... ඇවිල්ලා ඉඳගෙන

“මහතුන් ආවළු නේද?“

“කෝ මහතුන්“

“කොහේ ගියාද“ 
කිය කියා විපරන් කරනවා.
“මොකුත් නැද්ද දන්නෑ...........?“

මහතුන් අයියත් ඇස් රතු කරගෙන කාමරෙන් එළියට ඇවිල්ලා ඇස්වලිමුයි ඔළුවෙමුයි සංඥා කරනවා 

“අර කාමරේට පලයල්ලා“ 
කියලා තමයි සංඥාවෙන් කියවෙන්නේ.
කට්ටියම ඉතිං මිනිය ගාව කවුරුත් නැති අල්ල පනල්ලේ කාමරේට රිංගනවා. මහතුන් අයියා කුස්සියට ගිහිං පපඩන් ටිකක් උරේකට දාගෙන කාමරේට වැදෙනවා.
අද දවසත් බේබද්දෝ ගැන ලියාගෙන ගියොත් කතාව දිග්ගැහිලා පාඨක ජනතාවගේ උදහසට ලක්වීමෙන් බේරෙන්න අද දවස ඉවර කල්ලා හෙටට පයිනවා. ඊයේ දවසේ වෙච්ච සිද්දි වලට ටිකක් වැඩියෙන් එකතු කරගත්තම හරි.
බ්ලා .....බ්ලා...බ්ලා...
(එම)....(එම).....(එම)...

04:01 වල කපන දවස හෙවත් වලේ දැමීම
ඔය අන්තිම දවසේ අර තදබදේ තවත් වැඩිවෙනවා. ඒ කියන්නේ ආපු නෑයොයි නෑයොන්ගේ නෑයොයි ගම්මුයි පිටගම්මුයි නිවස ආක්‍රමණය කරනවා. මේ දවසට උයන ගෑණුන්ට අමතරව බොහෝ පිරිමිත් අවශ්‍ය වෙනවා. පිරිමි ඕනි වෙන්නේ වල කපන්ඩ. සරසන්න. තොරණ හදන්න.
ඉතිං බාරොන් මාමලගේ නැන්දටත් ඉස්පාසුවක් නෑ. අඬනවා. කුස්සියට යනවා. ආයෙත් කවුරු හරි පඩිපෙල නැගගෙන එනකොට අපි නිව්ස්සෙක දෙනවා. ආයෙත් බාරොන් මාමලාගේ නැන්දා ඉස්සරහට ඇවිල්ලා ඒ එන අයට වැඳලා අඬනවා. පාංශුකූලේ දෙනකම්ම අඬනවා...කුස්සියට යනවා... ආයේ ඉස්සරහට එනවා ... ආයේ අඬනවා...
මේ දවසට නැතුවම බැරි තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි සෝම්පාල බාප්පා. සෝම්පාල බාප්පා කිව්වම මට මතක් වෙන්නේ මහගම සේකර මහත්තයගේ තුන්මන් හංදියේ එන මාමා.

“අනිච්චාවත සංඛාරා“

“පියාණෙනි ඔබට නිවන් සුව“

“සොයුර ඔබට නිවන් සුව“

ඔය වගේ වචන එක එක රටා වලින් පින්සලෙන් කලු ලැකර් වල ඔබලා සුදු ඉටිරෙදි උඩ රටා අඳින්නේ සෝම්පාල බාප්පා. අන්තිම දවසට කලින් දවසේ මල ගෙදර කවුරු හරි ගිහින් අනිවාර්යෙන් සෝම්පාල බාප්පාට මේක මතක් කරලා එන එක සිරිතක්. අවශ්‍ය කලමනා ටික සෝම්පාල බාප්පා කිව්වම පහුවදා උදේම ඒවා හාලි ඇල්ලෙන් ගෙනත් තියන්න ඕනි. ඉතිං අපිත් බලාගෙන ඉන්නේ සෝම්පාල බාප්පා එන්නේ කීයටද කියලා. මොකද සෝම්පාල බාප්පගේ ආවතේවකරුවා බවට පත්වෙලා ඒ අඳින රටා දිහා බලාගෙන ඉඳලා ගෙදර ගිහිං ඒවා පුරුදු වෙන්න. 

“වරෙල්ලා සොහොනේ යන්න. අර බුලත් පෙට්ටිය එහෙම අරන් වරෙල්ලා. චූටි වරෙන් යන්න“

දන්සිරි අයියා ගොරනාඩු කරනවා. ඉතිං රටා ඇඳිල්ල බැලිල්ල පැත්තක දාලා අපි සොහොනේ යන්න ලක ලෑස්ති වෙනවා.
අපි ඔය උදළු පිකැස් සවල් අලවංගු පිහි වගේ ගන්න පුළුවන් දේවල් කර තියාගෙන තව බුලත් පුවක් බීඩි දුංකල දාපු මාරි පෙට්ටියත් කිහිල්ලේ ගහගෙන දන්සිරි අයියලාගේ කාණ්ඩෙත් එක්ක පාරේ උඩහා තියෙන සොහොන් කන්ද දිහාට ගාටනවා. සොහොන් කන්දේ හුජ්ජ ගස් (මුත්‍ර ගස්/African flowers) පිරෙන්න රතු පාටට මල් පිපිලා බාරොන් මාමගේ මරනෙ පිළිගන්න බලාගෙන ඉන්නවා.

ඔන්න ඉතිං ගොඩාක් කල් සොහොනට මරණයක් ගෙනැල්ලා නැත්තන් පිහියා කැති වලින් සොහොනට නගින පඩිපෙල දෙපැත්තේ වැවිලා තියෙන අලි වල් මානන් වගේ එවුවා කැති ගාලා සොරඩි උදළු වලින් පඩිපෙල් උදළු ගාන්නත් ඕනි. ඔය වැඩේ තමයි අපිට පැවරෙන්නේ.
ඉතිං දන්සිරි අයියලා සුමනේ අයියලා වගේ අය දැන් වල කපන්ඩ හොඳ තැනක් හොයනවා. කලින් වලේ දාපු වලක් හොයා ගත්තම ලේසියි. හොඳ තැනක් හොයාගෙන වල කපන්ඩ පටන්ගන්නවා. ඉතිං දැන් කට්ටිය විට කනවා බීඩි බොනවා බීඩි බොනවා විට කනවා ඕප දූප කියවනවා....

“නේද බං පාර හදන්ඩ ආපු ඩෝසර් ඩැයිවරයා ලීලාත් එක්ක බුදියගත්තා කියලා උන්ගේ කට්ටියට පාටියකුත් දුන්නලු“

“නෑ..... හැක් .. හැක් ... පාර හින්දා ගමේ ගෑණුනම් මූණු වල නොසෑහෙන්න දැලි ගාගත්තා“

පිරිමි කියවන්නේ ඕ වගේ ඕපදූප තමයි.

කිසි වැඩක් නොකර ඕප දූප කියව කියව ඔන්න ඔතනින් රවුමට කපලා ගනින් කිය කිය උපදෙස් දෙන උපදේශකයොත් සොහොන් කන්දේ හරි හරියට ඉන්නවා.
ඉතිං වල කපාගෙන කපාගෙන යනකොට කවුරු හරි දෙතුන් දෙනෙක් තේ පෝච්චි පාන් පරිප්පු පොල් සම්බෝල බෙලෙක් කෝප්ප සීනි උස්සගෙන එනවා.

දැන් කට්ටිය වැඩ නවත්තලා..පාන් කනවා .... පරිප්පු වල ඔබාගෙන පාන් කනවා. පොල් සම්බෝලත් කනවා... අන්තිමේට පොච්චි වලින් බෙලෙක් කෝප්පෙට තේ වක්කරලා අල්ලට සීනි අහුරක් දාගෙන සීනි කකා තේ බොනවා. වැඩක් නොකර කයිය ගගහ හිටපු එවුමුත් පාන් කනවා. තේ බොනවා. පස්සෙ විට කනවා. බීඩි බොනවා. පිස්සු ආරි වල කපලා ඉවර වෙනකම්ම පාන් කනවා. තේ බොනවා. බීඩි බොනවා.

දැන් ඉතිං වල කපලා ඉවර වෙලා අරගෙන ආපු පුවක් කොට එක සමානව කපලා අරං ඒවයේ සුදු ඉටිරෙදි ඔතලා වල වටේට හිටවනවා. හිටවලා ඉවර වෙලා සුදු පිරියම් කරපු මැටි මුට්ටි මූණින් නමලා අර පුවක් කණු වල මුදුනින් බස්සනවා. වල උඩ ලී කෑලි දෙකක් හරස් අතට තියලා උදළු කීපයක් පස් ගොඩ උඩ දාලා අනික් කලමනා අරගෙන කට්ටිය පාරට බහිනවා. කලින්දා රෑ තන්ගුස් නූල් වල දවටපු හීන් කොඩි වැල් පාර දෙපැත්තේ කෝටු හිටව හිටව ඒවත් ඇදගෙන ආයෙත් කට්ටිය මල ගෙදරට යනවා.
සෝම්පාල බාප්පා ඇඳපු තොරණ පස්සේ ගෙනැල්ලා හිටවනවා. ඒක හිටවන්නේ සොහොනේ වල ගාව. සොහොන් කන්දට නගින තැන ගොක් කොල වලින් හදපු තොරණක් හිටවන එකත් කරනවා.

දැන් ඉතිං හවස දෙක තුන වෙනකොට මළ ගෙදර ඉඩ අරවන්න බැරි තරමට සෙනඟ පිරෙන්න පටන් ගන්නවා. වෑන්නෙකක් ගිහිං හාන්දුරුවෝ වඩම්මගෙන එන්ඩ ඕනි. ඉස්සර ඔය අඩි සීය දෙසීය නෙවෙයි කිලෝ මීටර් ගනන් පාංශුකූලේ දෙන්ඩ වැඩම කරපු හාන්දුරුවන්ට දැන්නන් අඩි සීය දෙසීය වඩින්නත් වාහනයක් නැතුන් බෑ. හාන්දුරුවෝ වඩින්න කලින් මළ බෙරේ වැයෙන්න ගන්නවා. ඒකෙන් පණිවිඩයක් යවනවා මරණෙ උස්සන්න ළඟයි කියලා. බෙරකාරයොත් ඔය මුතියංගනේට ගිහිල්ලා වෑන්නෙකක එක්කරගෙන එන්න ඕනි.
ඉතිං පලවෙනි මලබෙරේ වැයුනට පස්සෙ මල ගෙදර තවත් සෙනඟින් පිරෙනවා. දැන් ඉතිං හාන්දුරුවොත් මල ගෙදර පඩිපෙල දිගේ උඩට වඩිනවා. දැන් බාරොන් මාමලගේ නැන්දා නොනවත්වා මොරදෙන්න පටන් ගන්නවා.

“හා..හා .. නංගියේ හාන්දුරුවො වඩිනවා. සන්සුන් වෙන්න.. සන්සුන් වෙන්න...“ 
ගමේ ගෑණියෙක් බාරොන් මාමලගෙ නැන්දව අස්වස්සනවා.

දැන් තමයි මරණෙ අවසන් කටයුතු මරණ සමිතියේ නිලධාරී මහත්තුරු කරට ගන්නේ. හාන්දුරුවෝ පිරිස පන්චසීලයේ පිහිටුවලා මතක පැන් වත් කරලා ඉතිං මැරිච්ච කෙනා මොන දාමරිකයෙක් වුනත් මිනිහගේ නැති ගුණත් හොය හොය වර්ණනා කරමින් පොඩි ගුණ කතනයකුත් කරනවා. මම ගම්පහ ඉන්න කාලේ එහේ මැරිච්ච පාතාල සාමාජිකයෙක්ගේ මල ගෙදෙට්ට සහභාගි වුනා. ඒ මලගෙදර විනාඩි විස්සක් තිහක් හාන්දුරුවෝ අර මනුස්සයා පංසලට කරපු සේවය ගැන වර්ණනා කෙරුවා. ඉතිං ඔය මැරුන මනුස්සයා ජීවිතේට පංසලට පය ගහපු නැති මනුස්සයෙක් වුනත් හාන්දුරුවෝ බොරුවට ඒ මනුස්සයා ගැන ගුණ වය වය පංසීලයේ තුන්වෙනි සිල් පදය බිඳිනවා.

ඉතිං හාන්දුරුවෝ ගියාට පස්සේ මරණ සමිතියේ නිලධාරීන් පිට ගම්වල මරණ සමිති වල නිලධාරීන් පිට ගම්වලින් ආපු නෑයන්ගේ කතා ස්තුති කතා ආදී වශයෙන් නොයෙක් නොයෙක් කතා කියමින් මළ ගෙදර කතා ගෙදරක් බවට පත් කරමින් තව තවත් රෑ බෝ වෙනකන් කතා ඇද ඇද බොරු කිය කිය කල් මරණවා.
හදිස්සියෙන්වත් ඔය අස්සේ වැස්සක්වත් ඇද වැටුනොත් අර කතා පවත්තපු එවුන්ගේ අම්මා මෝ නැතිවෙනකන් ගම්මු තැන තැන උන්ට බැන වදිනවා.

“අරුන් කතා නවකතා කර කර ලොකු කමට කියව කියව හිටියා අපි එපැයි වැස්සේ මිනිය උස්සන්න. නොදකින් ඔවුන්ගේ කයිවාරු“

කිය කිය කතා පවත්තපු හැමෝටම දන්සිරි අයියලත් බැණ වදිනවා.
දැන් ඉතින් පෙට්ටිය වහලා මිනිය කාමරෙන් එළියට ගන්න ඕනි. ඕකට පිරිමි හතර පස් දෙනෙක් ඒ කාමරේට ගිය ගමන් බාරොන් මාමලා නැන්දා ඇතුලු කාන්තා පාර්ශ්වය මුලු ගමම දෙවනත් වෙන්න කෑ ගහනවා.

“අනේ වහන්ඩ දෙන්න එපා“

“අපිව දාලා යන්ඩ එපා“
“ගෙනියන්ඩ එපා තියපල්ලා“

පිරිමින්ට පෙට්ටිය වහගන්නම යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. 

දැන් අවමගුල් පෙරහැර සූදානම් වෙනවා. ඉස්සෙල්ලම බෙර ගහන කාණ්ඩෙ. පස්සේ සේසත් කාන්ඩෙ. මල් වඩමක් තියෙනවනම් ඒකත් අරං පෙට්ටිය ඉස්සරහින් යනවා. අනිත් පලාත් වල අඩුවෙන් දැකපු රතිඥ්ඥා පත්තු කරන කෙනාත් බෙර කාණ්ඩෙටත් ගොඩක් ඉස්සරහින් යනවා. තත්පර තිහකට සැරයක් විතර සොහොනට යනකන් රතිඥ්ඥය ගානේ දැල්වීම තමයි මිනිහගේ රාජකාරිය. ඒක පලපුරුදු කාරයෙකුට තමයි ලැබෙන්නේ.

“වලට ඩෙන් ඩෙන් උඩට යන් යන්..............“

ඔය ආකාරයට බෙරවායෝ බෙර වායනා කරනවා. 

පෙට්ටිය කරේ තියාගෙන දන්සිරි අයියලා ඇතුලු පිරිස ගමන පටන් ගන්නවා. බාරොන් මාමලා නැන්දා කලන්තෙ දාලා වැටෙනවා. පෙට්ටියට වී පොරි සත පහේ දහයේ කාසි ඉහ ඉහ එකෙක් යනවා. අපි යන්නේ උගේ පස්සෙන්. අපි අර ඉහන කාසි ටික එකතු කරගෙන සාක්කු වල ඔබා ගන්නවා. රේන්දපොලේ කඩෙන් බුල්ටෝ කන්න. මඟ යද්දි කට්ටිය පෙට්ටිය මාරු කරගන්නවා. එක දිගටම එකම කාණ්ඩයක් පෙට්ටියට කර ගහන්නේ නෑ.
දැන් බොහොම අමාරුවෙන් සොහොන් කන්ද උඩහට පරිස්සමට පෙට්ටිය උස්සන් ඇවිත් වල වටේ තුන් පාරක් කැරකිලා හිමීට පෙට්ටිය වල උඩ තියනවා.

“කව්රුවත් ඉන්නවද මිනිය නොබලපු ඔය දැන් ආපු අය එහෙම“ 
එකෙක් මහ හඬින් කෑ ගහලා ඇඟිල්ල දික් කරලා අහනවා. හදිස්සියේවත් කවුරුත් හිටියොත් පෙට්ටිය ඇරලා මිනිය පෙන්නනවා. නැත්තන් ලණූ ආධාරෙන් පෙට්ටිය වලට බස්සනවා.
දැන් වටේ ඉන්න අය පස් අහුර අහුර අරන් පෙට්ටිය උඩට හිමීට අත අරිනවා. පස්සේ තුන් හතර දෙනෙක් දඩ බඩ ගාලා උදළු වලින් පස් දදා වල වහනවා. වල පිරුණම උඩට පස් ගොඩ ගහලා ඒ උඩ වහලයක හැඩයට පස් වලින්ම සකස් කරනවා. ගෙනාපු කුරුම්බා ගෙඩි දෙකක් හිල් කරලා ඒකට මානන් බට දෙකක් දාලා වලේ දෙපැත්තෙන් තියනවා. මල් වඩමත් හිටවලා හුජ්ජ ගහෙන් කඩාගත්තු අතු දෙක තුනකුත් වල උඩින් තියලා ඉටි පන්දම් දෙකක් පත්තු කරලා කට්ටිය පාරට බහිනවා. 

පාරේ උඩහට යන අයව හරවලා ආපහු මල ගෙදෙට්ට යවන්න මහතුන් අයියා පාරේ මැද හිටගෙන ඉන්නවා.

“කට්ටියම ගෙවල් වලට යන්න එපා. ගෙදෙට්ට ගිහිල්ලා තේ එකක් බීලා එමු. මල්ලිලත් යන්න“

මහතුන් අයියා මැතිරිල්ලක් වගේ දිගටම කියාගෙන යනවා.

“තේ නම් බොන්න බෑ මහතුන් නැද්ද මොකුත්.......?“

බේබදු කාණ්ඩේ සාමාජිකයෙක් අහනවා.

“යමල්ලා යමල්ලා... දෙන්නන් .. දෙන්නන්“

දැන් ඉතිං කට්ටියම මරණ ගෙදර දිහාට ගාටනවා.