බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Monday, May 1, 2017

බෝතල් අවුරුද්ද ........



“ඇයි උඹ බොග් ලියන්නේ නැත්තේ...?”

“මේකත් ලිව්වේ තටමලා .. තටමලා ...”

සුරංගයා ආණ්ඩුවේ සේවකයාය. ඌට නිවාඩුය..නිදහසය...ඌ ලියන්නේය. ඌ ලියන්නැයි මාවද දිරිමත් කරන්නේය. ඌ හිත හොඳ එකාය. ඌ සම්මාන ගද්දි බයික්කෙකෙන් පතබෑවී සිටි මා ඌටත් වඩා සතුටු වූයෙමි.

**********************************************
ඔය නෙලුදණ්ඩේ කෝරළේ මාමා ඉන්නවා නේද?  මීහරක් බාන් පහලොවක් විස්සක් ආම්බාම් කරපු මනුස්සයා. වයසට ගියත් කොල්ලොත් එක්ක හරි හරියට වැඩ කරලා කප් එක ගහපු මනුස්සයෙක්. ඉස්සර මෙගොඩ යාය කැපෙන කාලෙට මිනිස්සු පෝලිමේ නෙලුදණ්ඩේ යන්නේ. මීහරක් බානක් අරං එන්න. ඒත් මොන..

“ලබන මාසේ 25 වෙනකන් මී හරක් වෙන්කරගෙන ඉන්නේ බං මොකුත් කරන්න බෑ .. ඔය දීගල්ල පැත්තේ ඉන්නවා කියලා ආරංචියි. පොඩ්ඩක් විපරං කරලා බැලුවොත් නරකද? “

මිනිහගෙන් මී හරක් ගන්නවා කියන්නේ ගලකින් පට්ටයක් ගන්නවා වගේ තමයි. ඒ වගේ තමයි කෙටිල්ලට. කෙටිල්ලටත් මිනිහගෙන් දින ගන්නවා බොරු. ඒ කියන්නේ ලබන කන්නෙට කොටන්න මේ කන්නෙවත් දිනයක් දාගෙන ඇඩ්ඩාන්ස්සෙකක් දෙන්න ඕනි. හොර බොරු නෑ .. වැඩ නීට්..

“ කමක් නෑ එහෙනං කෝරලේ අයියේ. වී ටික වැටිලා යයි. අපි ගලේවත් ගහගන්නංකෝ එහෙනං”

“හා..හා .. උඹලගේ කැමැත්තක්... පරක්කු වැඩියි”

දවසක් ඔය කෝරලේ මාමා පල්ලැහැ සොහොනට පල්ලැහින් පාරටත් පල්ලැහින් තියෙන ගලගහ අරාව කොටනවලු. ඉතිං බදුල්ලේ ඉඳලා නුවරඑළි යන සුද්දෙකුයි සුද්දියෙකුයි පාර අයිනට ඇවිත් පල්ලැහැ කුඹුරු යාය සහ කුඹුරු කොටන කෝරලේ මාමා උන්දැගේ වටේ තනි රකින කිරි කොක්කු රෑන් වටේට තියෙන කඳු වලල්ලේ සිරි විඳලා අහක්වෙලා පොටෝ අල්ලන්න පටන්ගත්තලු. ඉතිං ඔය වටේ තියෙන කඳු වැටි .. හුජ්ජ ගස්වල මල් වගේ ඒවගේ පොටෝ අල්ලලා අන්තිමේ කෝරලේ මාමගේ පොටෝ එකක් අල්ලන්න කැමරාවේ බොත්තම ඔබනකොටම කෝරලේ මාමා එක පාරටම අඹුඩේ උස්සලා පෙන්නුවලු. ඔය කතාව උන්දැ යන මගුලක් මල ගෙයක් පාසා තවම කියවනවා.

**********************************************
අවුරුද්ද ගැන ලියන්න හිතුවාට මේ අවුරුද්ද ගැන ලියනවාද නැත්තන් පහුගිය අවුරුදු හය හතකට එහා අවුරුද්දක් ගැන ලියනවාද ... නැත්තන් මං පොඩි කාලේ ගෙවිච්ච අවුරුද්දක් ගැන ලියනවාද කියා මම සහ මගේ හිත සමඟ ඇති වූ සංවාද විසංවාද තර්ක විතර්ක අවසානයේ මුලින් පහුගිය අවුරුදු හය හතකට එහා අවුරුද්දක් ගැන අකුරු කරන්නටත් ඉන් පසුව වෙනම මං පොඩි කාලේ ගෙවිච්ච අවුරුද්දක් ගැන අකුරු කරන්නටත් තීරණය කෙළෙමි.
අප්‍රේල් මාසේ පලවෙනිදා දෙවෙනිදා වෙනකොට ඉතිං ඔය ගෙවල් දොරවල් වල තියෙන මකුලු දැල් එහෙම කැඩිලා ඩිස්ටැම්පර් පිරියම් වෙන්න පටන් ගන්නවා. මකුලු දැල් කඩන්න දැන් දැන් ඔය ප්ලාස්ටික් උපකරණ තිබ්බත් ඉස්සර අපේ අම්මා ආච්චි පාවිච්චි කලේ වස නංචි ලීයක අග ගැට ගහපු බොර ඉපල්ලක් නැත්තං මානං මිටියක්. ඩිස්ටැම්පර් ගාන්නේ ඉස්රහ බිත්ති වලට ... ගොඩාක් වෙලාවට ඇතුල් බිත්ති වලට ඉතිං සුදුපාට හුණු තමයි පිරියම් වෙන්නේ. ඔය හැම තීන්ත එකක් එක්කම මිශ්‍ර වෙන ගසක සාරුවකුත් මේ පැත්තේ තියෙනවා. ඒකට කියන්නේ කුඩුදවුලා. සමහර පැති වල ඕකට දවුල් කුරුදු කියලත් කියනවලු. ඉතිං කුඩුදවුලා කොල අරං ඒක වංගෙඩියේ දාලා කොටලා ඒකේ සාරුව හුණු සහ ඩිස්ටැම්පර් වල මිශ්‍ර වෙනවා. ඕකම තමයි ආස්මී හැදිල්ලට ගොඩාක් පැති වල යොදාගන්නා සාරුව. ඒත් ඉතිං ආස්මි හදන්න සාමාර්තයෙක් මේ ගංතුලාන හත අටේවත් නැතුං ඇති. මුලු ගමේම ගෙවල් දොරවල් අලුත් තීන්ත වලින් හැඩවෙන්න ගන්නකොට ගහ කොලත් තමන්ගේ පරණ ඇදුම් උනා දමා අලුත් ඇදුම් අදින්න පටන්ගන්නවා.

“ඩීං ඩීං ජිජීජීජීජීජීං ඩීං ඩීං....
බූම ඉස්දූදියි..
සඦ ඥාවච් කමක් ඥැතී රත්තරං පුචී
හිරු ඥාවච් කමක් ඥැතී රත්තරං පුචී
ඌඥි ජෙයක් ඊලිය හැකි මාලූ ජීවිචේ
ඒච් පුචී නුඹ ඥාවොච් ජුක වැජියි හිචේ.......
ඩීං ඩීං ජිජීජීජීජීජීං ඩීං ඩීං....
ඩීං ඩීං ජිජීජීජීජීජීං ඩීං ඩීං....”

උදේම්ම කන්ද උඩින් කන් අඩි පලාගෙන යන මියුසිකල් සෝ එකක් දාපු සෙටප්පෙක්ක සද්දේ

“අතුලයා ඇවිල්ලා වගේ. ත්‍රීවීල්ලෙක්ක සද්දෙත් ඇහුණා”

දන්සිරි අයියා තමන්ටම කියාගන්නවා. අප්‍රේල් හය හත වෙද්දි ගමේ එකා දෙන්නා ගමට සම්ප්‍රාප්ත වෙනවා.

ගමේ රස්සා කරන අය කාණ්ඩ කීපයකට බෙදෙනවා. කට්ටියක් ලොරි රස්සාව. ඕක කරන එවුන් දවස් තුනෙන් හතරෙන් ගෙදර එනවා. වතු වල තේ අරං කොලඹ යාම සහ එන ගමන් කෑලි පටවන් ඒම සහ ඒවායෙන් ගානක් හෙවීම තමයි ඔය කාණ්ඩේ රස්සාව. අතිරේක ආදායම් මාර්ග බොහෝමයි. රුපියල් අටදාහක තෙල් ගහලා දහ දාහක එකොලොස්දාහක බිලක් මුදලාලිට ගෙනත් දෙනවා. ලොරි ඩැයිවර්කම වගේම ලොරි ගෝලයාටත් රස්සා නිර්මාණය වෙලා තියෙනවා. මොවුන් සොයන ආදායම අසීමිතයි. ඒත් වැඩක් නෑ. සල්ලි ටික ඔක්කොම හාලි ඇල්ලේ ප්‍රියන්තයගේ බාර්රෙකේ.

තවත් පිරිසක් ඉන්නවා ජොබ්බෙක එම්. බී .බී එස්. ඒ කියන්නේ මේසෙන් බාස්ට බදාම සප්ලයි. ඇඟ මහන්සි වෙලා කරන රස්සාවක්. හැන්දෑවට අමාරුයි. ඉතිං චුට්ට චුට්ට ගන්නවා .ඒවට කොළඹ යන අය එන්නේ ඉතිං මාස දෙක තුනකට සැරයක්. එනකොට අරං එන ඉතුරු සල්ලි ටිකෙමුත් බිබී ගමේ ඇවිදිනවා.

තව කට්ටියක් ඉන්නවා හමුදාවල වැඩ කරන අය. මේ අය එන්නේ මාස තුන හතරකට සැරයක්. බැඳලනම් ඉතිං පවුලට දෙයියන්ගේ පිහිට තමයි. ඇයි ඉතිං පෑල දොරින් දස්කොන්ලා රිංගනවා අඩුවක් නැතුං. ඩෝසර්කාරයෝ .. අර මං කලින් කතාවක ලිව්වේ ... ගෑණු හිතං ඉන්නවද කවුද්දා ඩෝසරේ වගේම උන්ගේ අංගජාතෙත් ඇති කියලා..

තව කට්ටියක් ඉන්නවා ගොයියෝ... ඒ නම් සුළු පිරිසක්...
ඉස්සර ඉස්කෝලෙදි කවුරු වෙන්නද කැමති කියලා ඇහුවම

“අයි වෝන්ටු බී අ ඩොක්ටර්”

“අයි වෝන්ටු බී ඇන් ඉංජිනියර්”

“අයි වෝන්ටු බී අ ටීචර්”

කිව්වට 

“අයි වෝන්ටු බී අ ෆාමර්”
 
කියපු එකෙක්කත් හිටියේ නෑ.

ඒ වුනාට මම ආස ඔය ගොයියොන්ට. ගොයියෝ තමයි රටකට ඉන්න ඕනි. ඉතිං ගොවිතැන කරන ඈයොනම් මුලු මාසෙම ගමේ තමයි. ගමේ පුවක් වල්ලක් ගඩා ගෙඩියක් තියාගන්න නොදෙන්නේ මේ අය තමයි. හැබැයි හදිසියකට ගහකට යවාගන්න ඉන්නෙත් මේ අයම තමයි.

කොහොම උනත් එම් බී බී එස් වලට කොළඹ යන එවුන්ටත්.. හමුදාවට යන එවුන්ටත් හීනයක් තියෙනවා. ඒ තමයි ලොකූ බෆල් දෙකක්. ඈම්ප්පෙකක් ... සෙටප්පෙකක්...

තමන්ගේ පලවෙනි දෙවෙනි පඩියෙන් මේ හීනය සම්පූර්ණ කරගෙන ආපහු කොලඹ යනවා... ඉතිං ආය එන්නේ මාස තුන හතරකින්.. ගෙදර ඈයොත් ඔව්වා පාවිච්චි කරන්න යන්නේ නෑ.. රෙද්දකින් වහලා තියනවා. ආය ඉතිං ගෙදර ආවම මුලු ගමම දැනගන්නවා මේ ගෙදර මෙන්න මේ පුද්ගලයා නිවාඩු ඇවිල්ලා ඉන්නවා කියලා. ඇයි ඉතිං ගෙදෙට්ට ගොඩ වෙච්ච ගමන් අර සෙටප්පෙක මුලු ගමටම ඇහෙන්න දානවා. අවුරුදු කාලෙට ඕක තරඟයක් වගේ යනවා. දුර බැහැර ඉන්න ඔක්කොම ගමට ඇවිල්ලා මහ හයියෙන් තම තමන්ගේ සෙටප් ක්‍රියාත්මක කරනවා. දවසේ පැය විසිහතර පුරාම මුලු ගමම මඟුල් සක්වලක් බවට පත්වෙනවා. සමහරු සෙටප්පෙක ගේ ඇතුලේ තියෙද්දි බෆල් දෙක එළියට දාලා අනෙකා පරයා ශබ්ද පූජා පවත්තනවා.


කොලඹ ඉඳං එන ගොඩාක් දෙනෙක් ගමට සේන්දු වෙන්නේ පාන්දර.. හාලිඇල්ලෙන් බැහැලා තුන් රෝදයක් අරං එනවා. 

“ඕං නිමලුත් ඇවිල්ලා”

“ඕං මංතිරියත් ඇවිල්ලා”

“ඕං සුමනෙයත් ඇවිල්ලා”

“ඕං උක්කුවත් ඇවිල්ලා”

වෙන් වෙන් වශයෙන් බෆල් හඬ යොමුවෙන දිසාවන්ට කන් යොමලා අම්මා කියනවා.

දැන් ඉතිං ගමේ ගොවිතැනක් කරගෙන ගඩා ගෙඩියක් කඩාගෙන නිකම් ඉන්න නිකම්මුන්ගේ රජ මඟුල් කාලේ.

“අතුලයා ඇවිල්ලලු... අද හවස බෝතලයක් ගතෑකි. යමන්ද උන්ගේ දිහා.”

දන්සිරි අයියයි විජේ අයියයි කතිකා වෙනවා. අද අතුලගෙන් හෙට නිමල්ගෙන් අනිද්දා මංතිරියගෙන් ඉන් අනිද්දා සුමනයගෙන් ආදී වශයෙන් ගමේ නිකම්මු සෙට් එක එක එකාගෙන් පූර්ණ හෝ අර්ධ පරපෝෂිතව ජීවත් වෙනවා.

දැන් ඉතිං ගමේ එක එක ගෙවල්වල තරඟෙට වගේ කැවිලි පෙවිලි හදන්ඩ පටන්ගන්නවා. දොදොල්..කැවුම්..කොකිස්..සිල්ලර..අලුවා.. කිරි ටොපි ... පොල් ටොපි .. ඕවගේ කැවිලි හදනවා. ඉතිං අපේ ගෙදරෙ කැවිලි හදන්න තව ගෙවල් දෙක තුනකින් උදව්වට එනවා. ඒ ගෙවල්වල උදව්වටත් අපේ ගෙදරින් යන්න ඕනි. ඉතිං බැරි වෙලාවත් යන්න බැරි වුනොත් හොඳ හොඳ පද අහගන්න පුලුවන්.

“ඕකිගේ ගෙදර ගිහිං හැම එක්කටම උදව් වුනා. කියලවත් ඕකි ආවද මේ පැත්ත පලාතේ. යන්නෑ ආය ඕකුන්ගේ කිසිම දෙයකට පස් පාගන්නවත්”

ඔය කැවිලි හැදිල්ලෙන් අමාරුම රස්සාව තමයි දොදොල් හැදිල්ල. ඕක හැඳිගාන්න හතර පස් දෙනෙක්වත් ඉන්න ඕනි. අනික පැය පහ හයක් යනවා. දොදොල් හැඳිගාන දාට ගේ මඟහැරලා ඉඳීම තමයි ඉතිං මගේ පුරුද්ද.
පොඩි එවුන්ට ඔන්චිල්ලා බැඳ දීම උන්ගේ පංචි පොලවල් වලට ගිහිං උන්ව දිරිමත් කිරීමත් තමයි මගේ රස්සාව වුනේ.

ඉතිං ඔය හවුලේ හැදෙන කැවිලි සුවඳින් මුලු ගමම පිරිලා ඉතිරිලා යනවා.
දැන් ඉතිං දහ වෙනිදා විතර වෙද්දි තමයි රෙදි ගන්ඩ ටවුන් යන්නේ. ගමේ ඔක්කොම වගේ මාරුවෙන් මාරුවට බදුල්ල ටවුමට ඇදෙනවා. රෙදි පිලි.. හාල් පොල් ..සැමැන් ටින් ..මස් මාලු ..වගේ අඩුම කුඩුම ගේන්න තමයි ඉතිං පවුල් පිටිං බදුල්ලේ ටවුමට යන්නේ.

අපේ අම්මත්තෙක්ක ටවුන් යනවා කියන්නේ කකුල් කෙඩෙත්තුව හැදෙන රස්සාවක්. ලොක්කයි මායි අක්කයි චන්දිකයයි අම්මයි බදුල්ලේ බස්සෙකට ගොඩ වෙනවා. බස්සෙක බදුල්ල ටවුමෙන් අපිව හලනවා. ඉස්සෙල්ලම ජාන්ස්සෙකට...සියානාස්සෙනට...මොහිදීන් එකට..

“යේක හොඳයි නෝනා ගන්ඩ..අඩු කොරල තමයි දෙනවා.”

“එපා.. අපි තව බලලා එන්නම්..”

පහල වීදියෙන් පහල රජ වීදියෙන් බසාර් වීදියෙන් කිංස් වීදියෙන් ආය පහල වීදියට... කඩ තිහක් හතලිහක් පහු කරලා හති වැටිලා වැටිලා ආයෙත් පහල වීදියේ ජාන්ස්සෙකටම එනවා.

“මුදලාලි ඉස්සෙල්ලා බලලා ගිය එක”

“අයියෝ නෝනා..යේක ඉවර වුනානේ”

“අපරාදේ..”

අම්මා අපිවත් ඇදගෙන ආයෙත්
පහල වීදියෙන් පහල රජ වීදියෙන් බසාර් වීදියෙන් කිංස් වීදියෙන් ආය පහල වීදියට... කඩ තිහක් හතලිහක් පහු කරලා හති වැටිලා වැටිලා ආයෙත් පහල වීදියට..

“චූටි කොහෙද තෝ ඔය උඩ බලාගෙන යන්නේ ... වාහනෙකට හැප්පිලා ඇඹරිලා යන්නද?”

“නෑ මේ බෝඩ් කියව කියව යනවා”

“බිම බලාගෙන යමන් පණ්ඩිත කම නැතුව”

අපි ඉතිං හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.
අන්තිමට අර මුලින් බලපුවාට වඩා බාල ඇඳුමක් වැඩි මිලක් දීලා ගන්න වෙනවා.
දැන් ඉතිං අපි හාමත් වෙලා වගේ ඉන්නවා.

“චූටි මොකද උඹට පාණ්ඩුවද?”

“තිබහයි”

අම්මා අපිව එක්කරගෙන අපි මෙතෙක් වෙලා පුල පුලා බලන් හිටිය තැනට එක්කරගෙන යනවා.

“සල්ගාදු හෝටලය සහ බේකරිය”

අපි දන්නවා තැන...අපි හැමදාම යන්නේ එතනට...

ඕක බදුල්ලේ පරණම හෝටලේ. සුද්දන්ගේ කාලෙත් තිබ්බා කියලයි ආච්චි ඒ දවස්වල කිව්වේ.

දුන් දාන මාලු පාන් කිඹුලා බනිස් වලින් අපි ලහි ලහියේ බඩ කට පුරවගන්නවා. අන්තිමට පෙන දාන කිරි තේ යාරෙත් බීලා එළියට බහින්නේ දැන්වත් ගෙදර යන්න පුලුවන් වෙයිද කියලා බලන්න.

ඒත් මොන........

ඊට පස්සේ සේනානායක පිට්ටනියට.. එළවළු කඩ වලට... මාලු කඩ වලට ...
අපිනම් දැන් බාගෙට මැරිලා..

“අඩු කරන්නේ නැද්ද?”

"බර අඩු කරලා දෙන්ඩද නෝනා”

“අනේ මුදලාලි එහෙම කරන්ඩ එපා. හැමදාම මාලු ගන්නේ මෙතනින්නේ”

අම්මා ඉතිං හැම දෙයක්ම ගන්නේ හොඳටම හෙට්ටු කරලා.

අන්තිමට හොඳටම හවස් වෙලා හොඳටම හෙම්බත් වෙලා වැනි වැනී ගිහිං අපි කැප්පෙටිපොල බස්සෙකට නඟිනවා. බස් එක අපිව ගේ උඩ පාරෙන් හලලා දුම් රොටු නගාගෙන නුවරඑළියට යනවා.

පාරේ ගල ගාව බේබදු නඩේ රංචු ගැහිලා හවසට බොන විදියක් ගැන කතිකා කරමින් ඉන්නවා. දන්සිරි අයියත් ඔතන.

“බලපංකෝ ආවා කිව්වට මේ මංතිරියා තාම පාරට ආවේ නෑනේ. ඔවුන්ගේ ගෙදර යන්නත් බෑනේ. ඒ නැන්දත් එක විදියක්. පාරට ආවනම් බෝතලයක් කඩාගන්ඩ තිබ්බා.”

කාට හරි දඩයක් ගහලා අරක්කු බෝතලයක් බොන එක තමයි ඔය නඩේ හිත් වල හැම තිස්සෙම දුවන්නේ.

“මංතිරියා එන පාටක් නෑ. උගෙන් හෙට ගමු. අතුල මොකද කියන්නේ සැංටිං පාරක් දාලා බෝතලයක් ගේමුද?”

“ඉඳා දෙසීයක් තිනෙවා..”

“ඉඳා සීයක්”

“සීයක් මොනා කරන්නද බං”

“ඔක්කොම පන්සීයයි. තව දෙසීයක්කත් ඕනි මෙන්ඩිස් බෝතලයක් ගන්න”

“මෙන්ඩිස් හරියන්නෑ ගල් ගේමු”

“ගල් ගේන්ඩ බණ්ඩාරවෙල කාගිලිස් යන්න එපැයි”

“මේ ඌව ග්ලේන් ඒම ගේන්ඩ එපා ඔලුව රිදෙනවා”

“මංතිරියා සීයක් දියන්”

ඔය නිකම්මු සෙට් එක මූල්‍ය ආධාර නොකලට උන් තමයි බඩු ගේන්න හාලිඇල හරි බණ්ඩාරවෙල හරි යන්නේ.. ඒකටත් බස් කුලිය දීලා පිටත් කරන්න ඕනි.
ඔන්න සල්ලි එකතු කරගෙන දන්සිරි අයියා බණ්ඩාරවෙල යනවා.  හොඳ ගල් බෝතලයක් ගේන්න බණ්ඩාරවෙල කාගිලිස්ම යන්න ඕනි. 

දැන් ඉතිං පැයක් විතර යනකන් දන්සිරි අයියා එනකන් ඔය ගමේ වෙච්ච සිද්දි එක එක ගමේ හිටපු නැති එවුන්ට රස කර කර කියනවා. ඔය උලු ගෙදෙට්ට උඩින් තමයි පාර අයිනේ ඔය ගල තිබ්බේ. ඔය ගලට හේත්තුව දාගෙන තමයි නඩේ කයිවාරු ගහන්නේ. බොන්නේ. බීලා සිංදු කියන්නේ. වැඩි වුනාම මරා ගන්නේ. එක පාරක් රෑ නිදාගන්න දෙන්නෑ කියලා ගල්ලත්තේ ආච්චි ඔය ගල උඩ මලපහ කරලත් තිබ්බා.

ඒත් මොන සතියකින් දෙක්කින් නඩේ ආයෙත් ඔය ගල ලඟට එක්රොක් වෙනවා.
පදම වැඩි වුනාම අප්පයියා කියන සිංදුව 

“සැඳෑ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේඒඒඒඒඒ...”

විජේ අයියගේ සිංදුව

“මුක්කාලා මුකාපලා හෝ ලෙලා...හෝ ලෙලා....”

දැන් ඉතිං අවුරුද්ද කට කිට්ටුවටම ඇවිල්ලා. තමන්ගේ පුරුෂයන් බේබද්දන් වී බිබී ගමේ තැන තැන ඇවිදිද්දි බිරින්දෑවරු තම පර පුරුෂයන් මුණ ගැසීමට අවුරුදු සමය තෝතැන්නක් කරගන්නවා.

“ඒයි...නිදිද?”

“නෑ..කියනවා... ඔලුව රිදෙනවා”

“ගිනිවතුර කටහලේ හලාගත්තම ඔලුව නොරිදී තියෙයියෑ.. මේ පොඩි එකීට ගෙනාපු ගවුම ඒකිට ලොකුයි. මං බදුලු ගිහිං මේක මාරු කරන් එන්නද?”
“හ්ම්”

තම සොර වල්ලභයා හමුවන්නට බිරින්දෑවරු යොදාගන්නා මෙවැනි කූඨ උපක්‍රම වලට බේබදු සැමියන් හසුවෙනවා.
(ඊලඟ කොටහ අරං ඉප්පනට එනවා.. )

Thursday, December 1, 2016

දන්සිරියාගේ කිතුල....ඉවරයි ...

මේ ගණයේ ඇති දෙවැනි ගසනම් කිතුල්ය. එයද තල් ගස තරම් ඝෘජුව වැඩෙතත් පොල් ගස තරම් උස නොයයි. මෙම ගසේ මලින් තෙලිජ්ජ නම් ඉතා රසවත් සුමධුර පානයක් ලබාගනු ලැබේ. මේ තෙලිදිය ජල මඳක් ආටෝපවත්ය. ශරීරයට ගුණදායකය. දිනකට ගසකින් වරක් හෝ දෙවරක් තෙලිදිය ලබා ගනිති. සවිමත් ගසකින්නම් තුන් වරක් වුවද ලබා ගත හැක.ඉතා සශ්‍රීක ලෙස වැඩුණු ගසකින් දවසට තෙලිදිය ගැලූන් තුනක් හෝ සතරක් ලබාගත හැක. මෙම පානය උණු කිරීමෙන් “හකුරු“ නමින් ප්‍රකට වූ සීනි බඳු රස ඇති දුඹුරු පාට ද්‍රව්‍යයක් ලබා ගනිති. වෙහෙස මහන්සි වී නිෂ්පාදනය කරතොත් දෙවැනි තරමේ සීනි වලට සම කළ හැකි සුදු හකුරු මෙයින් ලබාගත හැකි වන්නේය. කිතුලෙන් තෙලිදිය ගන්නේ මෙසේය.

කිතුල් ගස මුහුකුරා ගිය කල්හි ගසෙහි මල් කැනක් හට ගනී. මල මනා සේ මෝරා ගියහොත් එයින් වටකුරු ඵල හටගනී. එම ගෙඩි වලින් පැලකිරීමට වැඩිමනක් කිසිම ප්‍රයෝජනයක් නැත්තේය. එසේ වුවද පිටතට ඇදුනු මල විහිදෙන්නට පෙර එයින් තෙලිදිය ලබාගත හැකිය.පළමු කොටම එම මල මුල හාරා ගම්මිරිස් දෙහි සුදුලූණු දමළු ආදිය එකට ගෙන සාදන ලද ඔසුවක් තබා බැඳ කීප දිනක් ගිය ඉකිබිති මලෙහි මුහුනත කපා බඳුන් එල්ලා තබති. මේ මුට්ටි වලට තෙලිදිය බිංදුවෙන් බිංදුව වෑස්සෙයි.

මෙහි කොලපතද නොයෙක් අතින් ප්‍රයෝජනවත් වෙයි. මේ ගසෙහි කම්බි වැනි ශක්තිමත් කෙඳි විශේෂයක් වෙයි. මෙම කෙඳි වලින් කඹ අඹරාගනු ලැබේ. මෙම ගස නැසෙන වකවානුවේදී පිති ඉහිලී හැලෙයි. එහෙත් පිති හැලුනු පසු යළිත් අලුත් පිති නොනැගෙයි. අට වසකට වඩා ගස ජීවත් නොවෙයි.

එදා හෙළදිව
රොබට් නොක්ස්
1696
__________________________________________
ඉතිං ඔන්න දැන් දන්සිරි අයියාට ඉවසුම් නෑ. දවස් දෙක තුනක් ඔහේ එහාට මෙහාට වෙවී කාගෙන් හරි බීඩියක් බොන්න කීයක් හරි ඉල්ලගනිමින් ඔහේ කාලේ ගෙවලා දානවා. ඉතිං ඔය දවස් හතර පහ ගෙවෙනකන් මාත් ඉවසුන් නැතුව තමයි ඉන්නේ.කොහෙන් කොහෙන් හරි දන්සිරි අයියාගේ මල ගැන කතා ගමේ උඩහ පහල ඉගිල්ලිලා යනවා.

“සාමියාලු තිබ්බේ“

“සාමියා තිබ්බනම් අහන්න දෙයක් නෑ. දවසට තුන් ගමනක් කපන්න වෙයි“

“ඔය කිතුල් මණ්ඩිය වාසනාවන්තයි. දැක්කේ නැද්ද අප්පා එක පාරක් බෙහෙත් තියලා“

“මේ රිළා හැතිකරේනේ. නැත්තන් ඔය අපේ කිතුල් පඳුරත් හොඳා.“

“පැණි හදයිද රා හදයිද දන්නෑ. සාමියා තිබ්බනම් රා තමයි“

“ඕක ටික කාලයක් නැතුන් තිබ්බා. ඒ කාලේ ගඩා ගෙඩියක් හරි ඉතුරු වුණා. ඕකෙන් වෙන්නේ රා කටහලේ බොන්න සල්ලි නැතිවුනාම කොල්ලෝ පුවක් ගැටයක්කත් ඉතුරු කරන්නේ නැති වෙයි.“

ඔන්න ඉතින් දවස් තුන විතර යද්දි මන්තිරි අයියලා සුමනේ අයියලා විජේ අයියලා අපේ ගෙදර පිරෙනවා.

“දන්සිරි තාම නැද්ද බං“

“මොනාද බං. “

“ඇයි උඹ කිතුලක් තිබ්බා කියන්නේ“

“පිස්සුද බං“

“අනේ අපිට බොරු නොකියා ඉඳිං. ගනින් ගනින් නිකන් නෙවෙයි සල්ලි දෙනවා.“

“තාම කැපුවේ නෑ බං කපන්නේ හෙට. කඳුල වැටිලා බඩු එන්න තව දවස් හතර පහක්කත් යයි.“

ඒ වෙනකොටත් දන්සිරි අයියා මල කපලා කඳුල වැටෙන්න පටන්ගෙන තිබ්බේ. එදා හවසත් අපි ගිහිං මල කපලා මුට්ටියත් එල්ලලා ආවේ.

“ඔන්න හැත්ත වරිගේ බුරුතු පිටින් ගෙදෙට්ට එන්න පටන්ගෙන. දන්සිරියෝ උඹ මෙතන ඕවා කරන්න පටන්ගත්තොත් මමයි ඉස්සෙල්ලා පොලිසියට ඔත්තුව දෙන්නේ. එහා පැත්තේ කැලේ උඹ ඕන මගුලක් නටාගනින්.“ 
ආච්චි ගෝරණාඩු කරේ එහෙම.

දැන් ඔන්න ඊලඟ දවසේ ඉඳන් ඇල් මුට්ටිය දවසට බාගයක් විතර පිරෙන්න ගත්තා. දන්සිරි අයියා ඒ ඇල් ගෙනල්ලා රා වෙන්ඩ තිබ්බේ එහා පැත්තේ කැලෑවේ ගුහාවක් වගේ තියෙන ගලක් යට.

ඇල් පැහෙන්න ගත්තම තමයි රා වෙන්නේ.
ඔන්න පහුවදා පලවෙනි රා වඩිය බෝතලේකට දාගෙන මායි දන්සිරි අයියයි සාමි ලොකුතාත්තලගේ ගෙදර යනවා.

“ආ දන්සිරියෝ... වැඩේ හරි නේද?“

“ඔව් ලොකුතාත්තා. තව දවස් දෙක තුනකින් දෙපාර කපන්න පුලුවන්“

ළූණු ගෙඩියක් හප හප පලවෙනි රා අස්වැන්න මං කෙල ගිල ගිල බලන් ඉද්දි දන්සිරි අයියයි සාමි ලොකු තාත්තයි ඉවර කරලා දැම්මා.

ඔන්න ඉතිං දවස් දෙක තුන යද්දි දවසට දෙපාරක් මුට්ටිය පිරෙන්න ඇල් වැටෙන්න පටන්ගන්නවා. ඒවා ගල් ගුහාව ඇතුලෙදි රා වෙනවා. සල්ලි එනවා රා අරං යනවා. සල්ලි එනවා රා අරං යනවා. ඉල්ලුම වැඩි වෙනවා. සැපයුම අඩු වෙනවා. සැපයුම වැඩි කරගන්න ක්‍රමයක් සාමි ලොකු තාත්තගෙන් ලැබෙනවා. හරිම සරළයි.

“සීනි“

හරිම ලේසියි. අර වගේම තව මුට්ටියකට සීනි දාලා වතුර පුරවලා ඒක කලවම් කරලා රා මුට්ටියත් එක්ක සීනි මුට්ටිය මිස්ර කරලා ලොකු මුට්ටියකට දාලා ඒක පැහෙන්න අරිනවා. නිෂ්පාදනය දෙගුණ වෙනවා. ඉල්ලුමට සැපයුම ලැබෙනවා.

ඕක සීනි වලිම්ම විතරක් හදනවා ඔය වත්තේ දෙමළ මිනිස්සු. එවුවට කියන්නේ සීනි කරිඥ්ඥං කියලා.
කිතුල් රා වලට සීනි කලවං කරාට ඕක හොයන්නනම් අමාරුයි.

ඉතිං දැන් ඔය දන්සිරි අයියාගේ කිතුල ගැන අහල පහල ගම්මාන වලටත් ආරංචි වෙනවා. මලට බමරු ඇදෙන්නේ යම් සේද ඒ විදියට දන්සිරි අයියාගේ කිතුලට මිනිස්සු ඇදෙනවා.

පිට මිනිස්සුන්ටත් රා වික්කාම ගමේ මිනිස්සුන්ට රා මදි වෙනවා. එහෙම රා ඉවරවිච්ච දවස්වලට ගමේ එවුන් හාලිඇල්ලට ගිහින් සීල් අරක්කු බීගෙන හතයි හතලිස්පහේ බස් එකේ ඇවිත් උඩ පාරට වෙලා මහ හයියෙන් දන්සිරි අයියට බනිනවා.

“අඩෝව් දන්සිරි උඹට එහෙනන් පිටගං කාරයෝ ලොකු වුනා ඈ. මම අරක්කු බීලා යකෝ ආවේ . තොගේ හුජ්ජ රා බොන්න මම එන්නෑ යකෝ ආය. මම හෙට යනවා පොලීසි. එතකොට උඹ රා විකුණපියකෝ“

“දන්සිරියෝ මම තොට කිව්වා නේද සර්පයෝ වගේ ගමේ එවුන් එක්ක ඔය මඟුල් කරන්න බෑ කියලා. උඹට ඇහුනද ? අප්පා නේද ඔය බීගෙන ඇවිත් කෑ ගහන්නේ. අපිට නිදහසේ බුදියගන්නවත් තියෙනවද?“

“ආච්චි නිදාගන්ඩකෝ මම ඒක උදේට බලාගන්නම්“

පහුවදා උදේම ඇහැරිච්ච දන්සිරි අයියා කුඹුරේ පල්ලැහැ කිතුල දිහාට ගෑටුවා. දන්සිරි අයියා ඈත යන එක කිතුලට නගින එක ආපහු එන එක මම බලාගෙන හිටියා.
පල්ලැහැ ඇලට උඩින් කොස් ගහ යට දඩාං ගාලා රා මුට්ටිය පොලේ ගැහුවා.

මම දන්සිරි අයියා ගාවට දුවගෙන ගියා.

“ඇයි?“

“මම මල මුලින්ම කපලා දැම්මා චූටි. ගමේ එවුන්ට බොන්න කියනවා හුජ්ජ“

පහුවදා උදේ දන්සිරි අයියා ලෑස්ති වෙලා ඇවිල්ලා ආච්චිට වැන්දා.

“මම කොලඹ යනවා“

රස්සා නැති ගමේ තරුණයන්ගේ අවසාන කෙඳිරිය.

“ආරි අයියත් එක්ක අත්වැඩ දෙන්න යනවා“

දන්සිරි අයියා මගේ ඔළුව අතගාලා

“මම ගිහිං එන්නන් චූටි“


කියලා පඩිපෙල නගිද්දි ආච්චිගේ ඇහෙන් වැටිච්ච කඳුළු දෙකක් චීත්තේ කෙලවරකින් පිහදාගන්නවා මම බලන් හිටියා.