බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, May 13, 2017

අතුල සහ සෙල්වම් ...




“නිවාඩු ගත්තානම් මේ ඉරිදා හිලවුවට වැඩ කල යුතුය”

ප්‍රයිවට් කොම්පැනිවල තියරිය එයය. ඒ හේතු කොටගෙන බෝතල් අවුරුද්ද අන්තිම කොටහ ලබන ඉරිදාට කල් යන්නේය.
සුරංගයයි උගේ ප්‍රිය බිරින්දෑයි අපේ දිහා පැමිණියෝය. උඩහ පංසල හරියට ගීං ආපහු හරෝගෙන එන සුරංගයා පිළිගත්තේ මා විසිනි. අපේ දුප්පත් ගෙදෙට්ට එක්කන් ගොස් අම්මාට මූ හඳුන්වා දුන් පසු මූ මගෙන් ප්‍රශ්ණ දෙකක් ඇසුවේය.

“කෝ බොලාගේ ආච්චි”

“කෝ බොලාගේ දන්සිරි අයියා?”

ආච්චි අවුරුදු එකසිය තුනක් පරමායුෂ විඳ පොලොවට පස් වූවාය.
දන්සිරි අයියා ගම ගැන කළකිරී දියතලාව කෑම්ප්පෙකේ අරක්කැමියෙක් ලෙස සේවය කරන්නේය.
මං ඌට උත්තර බැන්දේය.
සුරංගයයි උගේ ප්‍රිය බිරින්දෑයි සැහැල්ලුවෙන් හිනාවෙන් විහිළුවෙන් ගෙවන ජීවිතය අම්මා අගය කලාය.

මම ගමේ ගියාම කවදත් වගේ ගම්මුන්ට ඇති ප්‍රශ්ණ මෙවරත් වැමෑරුවෝය. ඒවානම් ...

“තාම බැන්දෙ නෑ?”

“චූටියා බඳින්නැද්ද?”

“ඇයි දන්නෑ චූටියා බඳින්නැත්තේ කොළඹ බැඳපු ගෑණියෙට්ටවත් අහු වෙලාද දන්නෑ??”

ගමේ උන්ට තියෙන උභතෝකොටික ප්‍රශ්ණ ඔවුවාය.

ඇලේ දොලේ ඇවිද .. එවුවායේ සිරි විඳ ... දන්සිරියාගේ කිතුලද දැක බලාගෙන සුරංගයා ආපහු ගියේය. 

අපේ අක්කාද ඔවුන්ගේ විනෝදකාමී ජීවිතය අගය කළාය. ඔවුන්ගේ ජීවිතයට ජයෙන් ජයම වේවා!


සුරංගයා රදන් අලලා සංහිඳියාව ගැන බුකියේ දැමූ පෝස්ටුවක් නිසා මා කලෙකට පෙර ලියූ එහෙත් බොගයට එක් නොවූ මේ කතාව දිගහරින්නෙමි.
බෝතල් අවුරුද්ද එන ඉරිදා දිග හරින්නෙමි.

අතුල සහ සෙල්වම් ...

අපේ ගම තිබ්බෙ  නුවරඑළිය පාරේ..ඇටම්පිටිය කිට්ටුව..ගමේ තියෙන හීතලටයි මීදුමටයි ආදරය කලේ සිංහල අපි විතරක් නෙවෙයි...දෙමළ මිනිස්සුත් අපි වගේම හීතලටයි මීදුමටයි ආලය කලේ කිසිම බේදයක් නැතුව.
අපේ ගමට උතුරින් තිබ්බෙ රොකතැන්න වතුයාය. දකුණින් සෙන්ට් ජේම්ස් වතුයාය. බටහිරින් කිංග් රෝස් වතුයය. කිංග් රෝස් වතු යායේ ලැයිම් කාමර අපේ ගමට අපූරුවට පේනවා.

අපි කොණ්ඩෙ කපාගන්න ඕනි වුනොත් යන්නේ සෙන්ට් ජේම්ස් වත්තෙ සදන් අයියගෙ බාබර් සාප්පුවට. සමහරදාට සදන් අයියා දිග මූණ බලන කණ්නාඩියත් කිහිල්ලෙ ගහගෙන ගමට එනවා අපේ කොණ්ඩ කපන්න. වත්තෙ වැඩ අඩු කාලෙට වත්තෙ මිනිස්සු අපේ ගමට ඇවිල්ල බොහෝම සහයෝගයෙන් වැඩක් පොලක් කරල කීයක් හරි හොයාගන්නව. දෙමළ මිනිස්සු වැඩට කම්මැළි නෑ.

.............................. කනිෂ්ඨ විද්යාලය

අපිනම් කිව්වෙ බොහොම උජාරුවෙන්. ඒත් ඉතාමත් අඩු පහසුකම් සහිත බොහෝම දුෂ්කර දුප්පත් පාසලක් තමයි අපේ ගමේ පාසල. ගමේ දුප්පත් මිනිස්සුන්ගෙ දුප්පත් දරුවන්ගෙ දුප්පත් පාසල.

ඔය ඉස්කෝලෙ තමයි අතුලයි සෙල්වමුයි හිටියෙ. අතුල සිංහල. සෙල්වම් දෙමළ. දෙන්නා ගජ යාළුවෝ . යාළුකම කොච්චරද කිව්වොත් අපි දෙන්නට කිව්වෙ ගෑණියි මිනිහයි කියල. සෙල්වම් හදාගෙන එන ඉටලි වඩේ මුරුක්කු අතුල විතරක් නෙවෙයි අපිත් රහ බැළුවා. අපි කවදාවත් ඔය දෙමළගෙ කෑම කියලා ප්රතික්ෂේප කලේ නෑ.
වත්තෙ කාමන් කුත්තු කාලෙට- රදන් අදින කාලෙට-කෝවිලේ එළුවො කපන දවසට සෙල්වමුත් එක්ක අතුල අනිවාර්යෙන් එතැන හිටියා. සෙල්වම් රදන් කරත්තෙ කටු වලින් එල්ලිලා යද්දි රදන් පෙරහැර ඉවරවෙනකල් අතුල සෙල්වම්ට දිරියදුන්නා. 

රදන් පෙරහැර අපේ ගම මැද්දෙනුත් යනවා. අපි රදන් පෙරහැර පිළිගන්න කෙසෙල් ගස් හිටවලා ගොක්කොල සැරසිලි කරනවා. ඕක දෙමළුන්ගෙ පෙරහැරක් කියල කිසිම හැගීමක් අපිට කවදාකවත් ඇතිවෙලා නෑ. අපි රදන් පෙරහැර -ගිනි පෑගීම බලන්න අනිවාර්යෙන් කෝවිලට යන්නෙ පංසලකට යන හැගීමෙන්මයි.

................ විහාරස්ථානය

අපේ පංසල.. පොඩි හුදෙකලා කදු ගැට්ටක තමයි අපේ ලස්සන පංසල තියෙන්නෙ. අවුරුද්දකට වතාවක් අපේ පංසලේ පොසොන් පෙරහැරක් පැවැත්වෙනව මහ ඉහලින්ම. ලොකු හාමුදුරුවො කියන්නත් කලින් කෝවිලේ පූසාරි කාවඩි නැටුම් කණ්ඩායම සූදානම් කරනවා. අපේ පංසලේ පෙරහැරට. පෙරහැරේ අන්තිමට යන්නෙ කාවඩි කණ්ඩායම. මේක දෙමළුන්ගෙ නැටුමක් කියල කිසිම හැගීමක් අපිට ඇතිවෙලා නෑ. කාවඩි කණ්ඩායමේ දෙමළ අයත් එක්ක සිංහල අයත් හරි හරියට නටනවා.

අතුලගෙයි සෙල්වම්ගෙයි පාසල් ගමන හමාර වෙන්නේ සාමාන් පෙලින්. සෙල්වම්ට වත්තෙ ඉස්ටෝරුවේ රස්සාවක් ලැබෙනවා. අතුල පල්ලැහැ කුඹුරෙ එළවළු හිටවනවා.

සෙල්වම් නිවාඩු ඉරිදට හතරැස් බෝතලයක් අරං අතුල බලන්න එනවා. අර මිතුදම තාමත් එහෙමමයි. බෝතලේ කඩල කට්ටිය හෙමීට සප්පායම් වෙන්නේ අතුලගෙ එළවළු කොටුවෙ පැල් කොටේදි. අපිත් හිමීට පැල් කොටේට කිට්ටුවෙන්නෙ ගෙනාපු බයිට් ටිකට වග කියන්න. ටිකක් රත් වුනාම සිංදු මතක් වෙනව. ඩොලැක්කිය අතුලගෙ අතට එනවා. සෙල්වම් සිංදු පටන් ගන්නවා. 

කාදලන්
චිත්රපටියෙ සිංදු තමයි සෙල්වම් කියන්නෙ. ගමේ කාගෙත් කන් අතුලගෙ පැල්කොටේ සෙල්වම්ගෙ ගී හඩ දිහාට යොමුවෙනවා.

මරු සිංදු ටික 

තේරුම දැන නොගත්තත් සෙල්වම්ගෙ සිංදු අහන ගම්මු කියන්නෙ එහෙම. දෙමළුන්ගෙ සිංදු කියල කවදාවත් අපි සෙල්වම්ගෙ සිංදු ප්රතික්ෂේප කරලනම් නෑ. 

එළවළු කොටුවෙන් පාඩු වුනාට පස්සෙ අතුල හමුදාවට යන්න තීරණය කරනවා. මෙතනදි අතුලගෙ ගෙදර අයටත් වඩා දුක් වෙන්නෙ සෙල්වම්. අතුල උතුරට ගිහින් තමන්ගෙම ජාතියට වෙඩි තියයි කියල ඇතිවෙන දුකක් නෙවෙයි අතුල උතුරෙදි වෙඩි කෑවොත් තමන්ට හොදම යාළුවෙක් නැතිවීම නිසා ඇතිවන දුකක්. 

ඒත් අතුලට හමුදාවට යන්න වෙනවා. රට වෙනුවෙන්නම් නෙවෙයි. දරිද්රතාවය හා විරැකියාව හේතුවෙන්. 

අතුලගේ හමුදා ගමනට ඕනි අඩුම කුඩුම ඔක්කෝම සෙල්වම් ගානේ . සෙල්වම් ගෙනාපු සපත්තු දෙක දාගෙන තමයි අතුල දෙමළුන්ට වෙඩි තියන්න ගියේ. ඒත් හිත් දෙකේම එහෙම අදහසක් නම් මෝදු වෙලා තිබ්බෙ නෑ.
අතුල නිවාඩුවට ගමේ එද්දි ඉස්සෙල්ලාම බව දැනගන්නෙ සෙල්වම්. අතුල ගමේ ආවාම ලොකු ලොකු සාද.. හතරැස් බෝතල් වෙනුවට අමුතු අමුතු නම් තියෙන බෝතල්.

රත් වෙනකොට යුද්දෙ ගැන. වෙඩි තියපුවා ගැන. අපේ අය වෙඩිකාපුවා ගැන. කොටි අපේ කෑම්ප් වලට ගහපුවා ගැන. කන්න නැතුව කැලේ හිටපුවා ගැන අතුල කියන කතා සෙල්වමුත් කුතුහලයෙන් අහං හිටියා. අපිට ත්රස්තවාදීන් වෙච්ච කොටි සෙල්වම්ටත් ත්රස්තවාදීන් .. අන්තිමට සෙල්වම්ගෙ දෙමළ සිංදු...... 

අතුල බැන්දා. අතුලගෙ දෙවෙනි මනමාලයා වුනේ සෙල්වම්. ටික කාලෙකින් සෙල්වමුත් බැන්දා. ඒත් දෙන්නගෙ මිතුදම තාමත් එදා වගේමයි.
වෙල්ලමුල්ලි වයික්කාලෙදි ප්රභාකරන් මැරුණා. යුද්දෙ ඉවරවුනා. යුද්දෙ ඉවර බව දැනගත්තු අපේ ගමේ අය කිරිබත් දන්සලක් දුන්නා. දන්සලේ හැම වැඩකටම උදව්වුනේ සෙල්වම්.. දෙමළෙක්ගෙ මරණයට සතුටුවන දෙමළෙක්.
අතුලගෙයි සෙල්වම්ගෙයි යාළුකම තාමත් එදා වගේමයි. අතුලගෙ නිවාඩුවෙන් වැඩි කොටසක් සෙල්වම් එක්ක.

අපේ රටේ ජාතිවාදයක් තිබුනේ නැත. තිබුනේ ත්රස්තවාදයකි. සිංහල-දෙමළ-මුස්ලිම් ජාතිවාදයෙන් හිස උදුම්මවාගත් මිනිස්සුන්ට අතුල-සෙල්වම් චරිතද්වය කනේ පහරක් වනු ඇත.

Sunday, May 7, 2017

බෝතල් අවුරුද්ද -02 කොටහ




ඉතිං ඔය හැබෑ අවුරුද්ද තියෙන්නේ ගමේ කියලා කවුරු හරි නාගරිකයෙක් කිව්වොත් උගේ කනින් ඇදලා එකක් ගහලා මේ ලිපිය කියවන්නට දීම සුදුසුයි ඕං

**********************************************

දැන් ඉතිං මායම් හැට හතරෙන් එකක් හෝ කීපයක් යොදාගෙන නගරයට යන බිරිය තම සොර වල්ලභයා සමඟ රිසි සේ හැසිරී ආපසු ගෙදර එනවා. සමහර විට මාරු කරන්නැයි ප්‍රලාප පවසා රැගෙන ගිය ඇඳුමම ආපසු රැගෙන එනවා. ඒ එනවිට තම සැමියා ප්‍රකෘති සිහියට පැමිණ සිටිනවා.

“මොකද ඕයි ටවුමෙ ගිහිං ආපු වෙලේ ඉඳං බුදි”

“නෑ අනේ ඇඟපත රිදෙනවා. ඒ මදිවට ඔළුවත්..”

“ආ දැන් තමුසේ මම ඔළුව රිදෙනවා කිව්වම ගිනිවතුර කටේ හලාගෙන කිව්වා. දැන් තමුසෙත් ටවුන් ගිහිං එවුවා බීලා වෙන්ඩ ඇති ආවේ.”

බිරිඳ ඉතිං තනියෙන් හිනා වෙවී ඔළුවේ ඉඳං පොරෝගෙන චිත්තප්‍රීතියෙන් ඔද වැඩෙමින් ඇස් පියාගන්නවා.
ඔව්වා ඉතිං සිරා සිද්දි.

**********************************************

අවුරුදු කාලෙට උදේ කාලේ උෂ්ණත්වය සෙල්සියස් දොලහක් විතර ඇති.
ඉතිං ශරීර කෘත්‍යය කරලා පස්ස හෝදා ගැනීමේදී උභතෝකෝටික ප්‍රශ්ණ. ඇයි ඉතිං අයිස් වතුරෙන් පස්ස හේදිල්ල ලෙස වැඩක්ද?
අවුරුදු කාලෙට උදේට මෙන්න මෙව්වත් ඕනි තරං. යකඩ කටක් හාලි ඇල්ල පැත්තෙන් එනවා.

“ඔව් මේ මහා බයිසිකල් ධාවන තරඟයයි. මේ මහා බයිසිකල් ධාවන තරඟයයි. බදුල්ල දිස්දික් පාර්ලිමේන්තු මන්ත්‍රී .............................. තුමාගේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වෙන බයිසිකල් ධාවන තරඟයයි. කරුණාකර මාර්ගය ඉඩ දෙන්න... මාර්ගය ඉඩ දෙන්න. වතුර ගහන්න එපා... වතුර ගහන්න එපා.”

ඔය මොන බයිසිකල් රේස්සෙක තිබ්බත් මේ පාරෙන් යන්න ඕනිමයි. කඳු හෙල් මිටියාවත් ඕනි තරං මේ පාරේ. බදුල්ලේ රේස්සෙකක් තිබ්බත් හාලිඇලින් අපේ ගම හරහා ඇටම්පිටියෙන් බණ්ඩාරවෙලට ඇවිල්ලා බණ්ඩාරවෙලින් ආයේ බදුල්ලට යන්න ඕනි. බණ්ඩාරවෙල රේස්සෙකක් තිබ්බත් දෙමෝදර හාලිඇල පැත්තෙන් ඇටම්පිටියට ගිහිං බණ්ඩාරවෙලට යන්න ඕනි. ඇල්ලේ තිබ්බත් එහෙමයි. ඉතිං ඔය කොයි රේස්සෙක තිබ්බත් අපේ ගම හරහා යන්න ඕනි.
දැන් ඉතිං පාරෙන් පැලැලැහැ ඉන්න අපි ඔක්කොම එක පෙලට පඩිපෙල නැගගෙන නැගගෙන පාරට එනවා. ආච්චිත් හැරමිටිය ගහගෙන පඩිපෙල් අල්ලගෙන හිමින් හිමින් පාරට ගොඩ වෙනවා.

“ඈ බං චූටියෝ.. ලවුස්පීකරේ උඩ කන්දෙමුත් යනවා. කෝ තාම ගියේ නෑනේ”

“ඇයි ආච්චි පලවෙනියා මේ දැන් ගියේ”

“නෑ... එහෙනන් මං එන්ඩ කලින් යන්ඩ ඇති”

“නෑ ආච්චි ආවට පස්සේ ගියේ”

“එහෙ වෙද.. කෝ බං මේ ඇස් දෙක කොහොමටවත් පේන්නෑනේ..”

“චූටියෝ අර ලීලගේ කෙල්ල නේද කලිසං කොටේකුත් ගහන් ඉන්නේ”

“ඔව්..ඔව් .. ආච්චි ඊයේ එන්ඩ ඇත්තේ”

“නෙදකින් බලාපංකෝ දාලා ඉන්න සුකුරුත්තන්”

“අම්මටත් ගිය බයිසිකලේ පේන්නෑ.. ඒවනම් යසට පේනවා”

අම්මයි ආච්චියි පැටලෙනවා.

ඔය ගමෙන් පිට රස්සා කරන කෙල්ලොත් මේ දවස්වල ගමට එනවා. උන් යන්නේ නම් ඔය කටුනායක බියගම පැත්තේ පැක්ටේරි වල රස්සාවලට. ඒත් ගමේ ඇවිල්ලා කියන්නේ වෙන වෙන එවුවා.

“කොලඹ රෙදි කඩේක මැනිජර්”

“ලොකු මහත්තෙක් ගාව ලිපිකරු”

“ලෝයර් කෙනෙක් ගාව ටයිපිස්”

“හාඩි එකේ කෝස්සෙකක් කරනවා” 

ඕ ලෙවල්වත් බලන්නැතුන් හාඩි වල තියෙන කෝස් මම තාම හොයනවා. හම්බුන්නෑ.

ඔය ගමෙන් කොළඹ යන කෙල්ලෝ ගමට එන කාලෙට එක එක කොල්ලොත් එක්කරන් එනවා. මේ පාර එකා නෙවෙයි ඊගාව පාර.
බැඳීම් එහෙම තමයි. ලිහෙන්නත් පුලුවන්. ආයේ බැඳෙන්නත් පුලුවන්.
දැන් ඉතිං බයිසිකල් රේස් එකේ දෙවෙනියා තුන් වෙනියත් හති ඇර ඇර කන්ද නගිනවා.

“උන්ට මහන්සි වගේ”

මන්තිරි අයියයි දන්සිරි අයියයි කඳුරේ පිහිල්ලෙන් සීතල වතුර බාල්දියක් පුරෝගෙන එනවා.

“දන්සිරියෝ.. වතුර ගහන්ඩ එපා කියලා ඉස්පීකරෙන් කියෝගෙන ගියා නේද?”
“ආච්චි පාඩුවේ ඉන්ඩකෝ”

“අන්න හතර වෙනියා එනවා ...කමෝන් අයියා ..කමෝන්”

දන්සිරි අයියා වතුර බාල්දිය අතේ තියාගෙන ඉන්නවා.
හතරවෙනියා දත් මිටි කාගෙන උඩහට පැදගෙන එනවා. අනතුරක් අත ලඟ.. 

“සීතල වතුර”

“ගහන්ඩ එපා අයියේ ගහන්ඩ එපා”

වතුර ගහන්න එපා කියලා ඉල්ලීමකුත් එක්ක තමයි හතරවෙනියා පදින්නේ.
ඒත් මොන

“චොරෝස්”

“අම්මට හු$#@## හු#### පුතාලා”

බයිසිකල්කාරයා වතුර පාර කාගෙන සීතලේ ගල් වෙලා බැන බැන තව හයියෙන් කන්ද පදිනවා.

එතනින් පස්සේ එන හැමෝටම වතුර සංග්‍රහය ලැබෙනවා. රේස් එක ඉවර වුනාම අපි පඩිපෙල බැහැගෙන ගෙදර යනවා. දන්සිරි අයියලා ගලට හේත්තු වෙලා සිගරට් උරනවා.
**********************************************
විජේ අයියා මැරුණා..
ඒ දවස මැයි 03 උදේ පාන්දර මට පණිවිඩය එද්දි මම ඇඳ උඩ. විජේ අයියා බිව්වා. සමහර වෙලේට උදේ ඉඳං රෑ වෙනකන් බිව්වා. හැමදාම හවසට ප්‍රියන්තයගේ බාර් එකේ. අන්තිමේට දැනගද්දි පරක්කු වැඩියි. අක්මාව ලෙඩ වෙලා. දොස්තරලා බෑ කිව්වා. මේ අවුරුද්දටත් මම ගිහින් මනුස්සයව බලලා ආවේ. ඒ වෙද්දිත් මූණ කළු වෙලා තිබ්බේ.

“චූටි සෙන්ට් එකක් ගෙනාවෙ නැද්ද?”

හැම පාරම ගෙදර එද්දි මිනිහට ගෙනත් දෙන සෙන්ට් එක මේ පාර මට අමතක වුනා.

මේ මිනිහගේ අන්තිම ඉල්ලීම වෙන්න ඇති. මට ආය පණ පිටින් දකින්න ලැබෙයිද කවුද්දා.
මම ගගා හිටපු සෙන්ට් බෝතලේ මම මිනිහට ගෙනිහින් දුන්නා. මට මළ ගෙදර යන්න බැරි වුනා.
ඔය පලාතේ හිටිය නොම්බර එකේ වඩු බාස්. ආය විජේ අයියගේ මඩුව ඇරෙන්නේ නෑ. ඒ මඩුවේ ආය ගමේ කොල්ලෝ පාටි දාන් නෑ. මඩුවේ වුඩ් වර්කින් මැෂින් එකේ හඬ ආය ඇහෙන්නේ නෑ.

“මුක්කාලා” සිංදුවයි “ඇයි බඹරෝ” සිංදුවයි ආයේ ගමේ ඇහෙන්නේ නැති වෙයි. මට ගොඩේ කතා ලියන්න “අ” යන්නේ සිට අ: දක්වා ගමේ විස්තර සපයන්න ආය කවුරුවත් නෑ. ගෙදර එන වාරයක් පාසා විජේ අයියට බෝතලයක් අරං දුන්න මාත් මේ මරණයට වගකිව යුත්තෙක්.
විජේ අයියට නිවන් සුව පතන්න මේ ඉඩ වෙන් කරගන්නවා.

**********************************************
අවුරුදු කාලෙට තමයි ඔය සපු ගස් වල මල් පිපෙන්න පටන්ගන්නෙත්. ඔය පිපෙන මල් වෙසක් මාසේ ඉවර වෙනකන් ගම සුවඳින් පුරවනවා.
ඒත් ඔය ගම දුගඳින් පුරවන්නේ ඔය බේබදු නඩෙයි නැහැදිච්ච ගෑණුයි. නැත්තන් මේ ගමත් අර පිටිසර සුන්දර ගමක් වගේ තමයි.

“චූටියෝ උඹලා මොනාද ටවුමේ ගිහිල්ලා ගෙනාවේ?”

අපි කරන දේවල්වල විස්තර ඔක්කොම ආච්චි මගෙන් තමයි ගන්නේ.

“සුදු අක්කට ගවුමයි.. අම්මට චීත්තයයි..ලොක්කට සරමයි ටීසර්ට්ටෙක්කුයි ..මට සෝටකුයි සේට්ටෙක්කුයි .. චන්දිකයට සෝටකුයි ටීසර්ට්ටෙක්කුයි .. ආච්චිට චීත්තෙකුයි”

“ආ..මටත් ගෙනාවද? මොකට කරදර වෙනවද බං. අර ට්‍රංකා පෙට්ටිය පුරෝලා චීත්ත. දන්සිරියත් එකක් ගෙනල්ලා තිබ්බේ.”

ආච්චි එහෙම කියන්නේ බොරුවට.
**********************************************
අවුරුද්ද කට ලඟටම ඇවිල්ලා.

“චූටි මේ හෝස්සෙක යූරියා බෑග්ගෙක්ක දාගෙන යමුද ගමනක්”

දන්සිරි අයියා මාවත් එක්කගෙන යනවා. පිටිපස්සෙන් පිලිවෙලින් මන්තිරි අයියා විජේ අයියා සුමනේ අයියා අතුල වගේ එවුන් හොරගල්  අහුල අහුල එනවා. අපි යන්නේ සොහොන් කන්ද දිහාට. ඉස්සෙල්ලා බලන්න ඕනි සොහොන් කන්ද අහල පහල කවුරු හරි ගැවසෙනවද කියලා. ඒක බලන්නේ කලුවා.
ඉතිං ඉදිරිය පැහැදිලිනම් හිඹිලියා ගහ උඩට වෙලා ඉන්න කලුවා අතින් සංඥා කරනවා. දැන් ඉතිං කට්ටිය සේරම සොහොන් කන්ද නගිනවා. ඇටෙන් පොත්තෙන් එලියට ආපු එක්කුට ඉන්නේ මම. අනිත් ඔක්කොම ගමේ තරුණ නඩේ.

“හැලි අරක්කු”

ඕවට කසිප්පු .. කස්තා ... සුදුවා ... කටුකම්බි කියලත් කියනවා. ඉංගිරිසියෙන් රොට් ගට් කියනවා.

“පලතුරු...”

වැල ...වරකා ... රට ඉඳි.. පැපොල්..අන්නාසි ..උග්ගස් ...තව ...තව.. තව.. එවුවාට ඊස්ට් දාලා තමයි ඔය ගෝඩා බැරල්ලෙක හදලා තියෙන්නේ.
ඔය අවුරුදු සීසන්නෙකට දාපු වඩිය. පෙරන දිනේ හෙට... ඒකට ඕනි කලමනා සොහොන් කන්දේ තියෙන හුජ්ජ ගහක් යට තියලා ගොඩා බැරල්ලෙක කලවම් කරලා ඒක වත්තන් කරගෙන උඩහින් තියලා කොල අතු වලින් ඒක වහලා ආපහු අපි පල්ලම් බැස්සා.

“දන්සිරි අයියේ පෙරනවා බලන්න මාවත් එක්ක යනවකෝ”

“බලමු...බලමු..”

දන්සිරි අයියගෙ හැම ජාවාරමකටම මාව එක්කරගෙන යන්නේ ආය කට කැපුවත් මගෙන් වචනයක් ගන්නවා බොරු කියලා දන්සිරි අයියා දන්න නිසා.

**********************************************

බණ්ඩෙ සීයලාගේ ආච්චියි ගල්ලත්තේ ආච්චියි අපේ ආච්චියි බර කතාබහක. ගල්ලතේ ආච්චිලගේ තියෙන්නේ අපේ ගේ කෙලින්ම උඩ පාරෙන් උඩ. අපේ ගේයි ගල්ලත්තේ ආච්චිගේ ගේයි හූවක්වත් දුර නෑ. ගොඩාක් වෙලාවට පනිවිඩ සංසරණය වෙන්නේ කටවචනයෙන්.

“චූටි ඔය ගල්ලත්තේ ආච්චිට කතා කරපං”

එතකොට අපි යටිගිරියෙන් 

“ගල්ලත්තේ ආච්චී...ගල්ලත්තේ ආච්චී”

කියනවා..

“හූඌඌඌඌඌඌ”

“අපේ ආච්චි කතා කරනවා”

“ටිකකින් එනවා කියපං”

ගල්ලත්තේ ආච්චිට කතා කරන සද්දේ ඇහුනම බංඩෙ සීයලා ආච්චිටත් ඉන්ඩ බෑ ආය. උන්දත් පඩිපෙල අත ගගා පඩිපෙලේ පල්ලම් බහිනවා.

“ඇස් දෙකම පේන්නෑ”

අපි දැක්කම පොඩි රඟපෑමක් කරනවා.

ඔය ඇස් පේන්නෑ කන් ඇහෙන්නෑ කියන අපේ ආච්චි ගල්ලත්තේ ආච්චි වගේම බණ්ඩෙ සීයලා ආච්චිටත් හොඳට ඇහෙනවා... හොඳට පේනවා...
 
“ඕපදූප”

අම්මා තමයි එහෙම කියන්නේ.

“මේ පාර අවුරුද්දට රබානක් කොහෙන්ද බං”

“අනේ මේ උදළුවත්තේ නෝනගෙන්නන් ඉල්ලන්න යන්න බෑ. ඕකි ගියපාරත් රබාන ඉල්ලන් එන්න ගියාම අරව මේවා කිව්වා. මම මේ වන්දනාවෙ යන හැම තැනකම බලනවා. නෑනේ රබානක් කීයක්කත් දීලා ගන්න. ඕකුන්ගේ රැස්පට් බලන වෙලේ”

“මම එදා සිල් ගනිද්දි උඩාරුමානේ පුංචිසිංඥොගෙන් ඇහුවා. උන්දැ කිව්වා රබන් දෙකක්ම තියෙනවා එකක් ඇවිත් ගෙනියන්න කියලා”

“නෙලුදණ්ඩේ බංඩේ ගාවත් තියෙනවළු”

“බලමු බලමු එහෙනං මායි චූටියයි හෙට උඩාරුමානේ ගිහින් රබාන අරන් එන්නන්කෝ”

“මේ උඹට මොනවැයි අවුරුද්දට හම්බුනේ?”

“දන්සිරියා චීත්තයක් ගෙනාවා... උඹට..?”

“සිරිසෝමයා රොත්ත බුරුත්තම එක්කන් ටවුන් ගියා ගේන්න. ඔය සේනානායක පිට්ටනියෙන් චීත්ත කෑල්ලක් ගෙනල්ලා ඇති. ගියපාර එකත් එක පාරයි හේදුවේ මුලු ඇලම පාට පාට වෙලා චීත්තෙ සුදු පාට උනා. දන්නෙ නැද්ද ගෑණි.. මොකවත් දෙන්ඩ දෙන්නෑ. සිරිසෝමයත් ගෑණිට බයයිනේ..”

“ගල්ලත්තේ උන්දැටනම් මයියංගනේ මහින්දයා ඇඳුම් කැඩුම් අරං එයි”

“අනේ ඔව් බං ඌ දරුවෙක් නෙවෙයි දෙයියෙක්..”

**********************************************

ඉතිං තාමත් ගමේ බේබදු සංගමේ පාරේ උඩහටයි පහලටයි බිබී ඇවිදිනවා. රෑ එකොලහ දොලහ වෙනකන් පාරේ ගල ගාව මහ සද්දෙන් කතාව.

“දන්සිරියෝ...දන්සිරියෝ”

ආච්චි මොරදෙනවා.

“ඇයි? කෑ ගහන්නැතුන් ඉන්ඩ”

“මෙහෙ ඇවිත් බුදියගනින්. මට බුදියගන්නත් නෑ”

“ආච්චි බුදියගන්ඩකෝ. මම ඇවිත් බුදියගන්නන්”

ඔය වාද විවාද පැටලිලා ගිහිං කොයි වෙලේ ගැටුමක් බවට පත් වෙයිද දන්නෑනේ.
ඔය බීමතෙන් කෙලගත්තට උන්ට පහුවදා ඕවා මතක නෑ. පහුවදා ආය කට්ටිය එකට බොනවා.

“ඇයි බඹරෝ පෙම් මල අත හැර දා........”

“මුක්කාලා මුකාපලා ලෙලා... හෝ ලෙලා...”

විජේ අයියගේ ප්‍රියතම සිංදු කළුවර අන්ධකාර වාතලයට මුසු වෙනවා. 

“මේ ගමේ ඉන්නවා වලව්වේ හාමුලා වගේ මිනිස්සු. උන්ගේ රෙස්පට් අපිට වැඩක් නෑ. අඩෝ කවුද යකෝ ,,,,,,,,,,,, වලිකාරයෝ .. වරෙල්ලා යකෝ”

ගමේ මිනිස්සුන්වත් සටනට කැඳවන්නේ චූටප්පයියා.

“පඩඅඅඅඅඅඅ....ෂෝ .... රඟඅඅඅපානවා... යකෝ අපේ ගමත් මුවන් පැලැස්ස වගේ වෙලානේ... මගේ කට අවුස්සගන්ඩ එපා”

මන්තිරියා වැඩි වෙලා පිළිවෙලින් මහ හඬින් එක එකාගෙ සායම අරිනවා. අපිත් ඉතිං ඉහේ ඉඳං බැලැන්කට් පොරවගෙන හීතලේ ගැහි ගැහී ඔය කතා අහගෙන ඉන්නවා. අන්තිමට වෙරි බැස්සම කට්ටිය ඔය ගල ගාවින් විසිරිලා යනවා.
හුරිහෙල කන්ද ගම දිහා බලාගෙන ඉන්නවා. හොබරැල්ල කන්දත් ගම දිහා බලාගෙන ඉන්නවා. සෙන්ජේමිස් කන්ද ගම දිහා බලාගෙන ඉන්නවා. ඈත පේන නාරංගල කන්දත් ඔය ගමේ විපිරියාස බලාගෙන ඉන්නවා. 

අරක්කු.....

ඔව් ඕක තමයි ගමේ මිනිස්සුන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කරපු බීම. ගමේ මිනිස්සු ඇවිදින රූකඩ බවට පත් කලේ ඕක. ගමේ මිනිස්සු අකාලයේ මිය පරලොව යැව්වේ ඕක. ගමේ ගෑණු ඩෝසර් කාරයොත්තෙක්ක බුදියනකන් ගමේ මිනිස්සුන්ව ලිංගික බෙලහීනතාවයට පත් කලෙත් ඕක... ඔය අරක්කු ගමෙන් තුරන් වෙච්ච දාක තමයි ඔය ගම හැබෑ දැහැමි ගම්මානයක් බවට පත් වෙන්නේ....

හුරිහෙල කන්දෙන් නැගගෙන එන ඉරේ එළිය ඉස්සරහ හොබරැල්ල කන්දේ වැදිලා පාතට බැහැගෙන බැහැගෙන එනවා... තවත් අලුත් දවසක්.....

අම්මට හුඩු....අවුරුද්ද කට ලඟටම ඇවිල්ලා..

හෙට පරණ අවුරුද්ද..........

(අනික් කොටේ ලබන ඉරිදා)