බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, August 17, 2016

දන්සිරියාගේ කිතුල - 01 කොටහ

අර සෙන්ජේමිස් තේ වත්ත පාමුල තමයි අපේ දුප්පත් ඉස්කෝලේ තිබ්බේ. පැත්තකින් ඇල. පැත්තකින් සුබරත්න අයියා අයිතිය කියන ඉස්කෝලේ කුඹුර. පැත්තකින් සම්පකාරය.. මහ පාර.. ඔය ඉස්කෝලේ තමයි අපි අයන්න ආයන්න පුරුදු වුනේ. මේන් හෝල් එක උඩහ. තව හෝල්ලෙකක් පල්ලැහැ. සිමෙන්තියෙන් කරපු ලෝක සිතියම අඩංගු පොකුණක් පැත්තක තිබ්බා. ඉස්කෝලෙටම ළමයි 85-90 ක් ඉන්ඩ ඇති. ඉස්කෝලේ ඉස්සරහ ලොකු බෝ ගහ. බෝගහ යට මළකඩ කාපු තහඩුවෙන් කරපු බුදු මැදුර. එතනම ජම්බෝල ගහයි කොස් ගහයි අතරින් පල්ලැහැ හෝල්ලෙකට බහින පඩිපෙල. ඔය පඩිපෙල දිගේ තියෙන බැම්මේ බුරුස් පැදලා තමයි ප්‍රේමදාස මහත්තයා අපිට දුන්න නිල් කලිසම් වල පස්ස පැත්ත ඉරාගත්තේ. 
ඊට පහලින් කෙල්ලන්ගේ ලැට්ටෙක. ඊට එහායින් කොල්ලන්ගේ වහලක් නැති ලැට්ටෙක. අරක වැසිකිලිය. මේක කැසිකිලිය. කොල්ලන්ගේ ලැට්ටෙක උඩ තියෙන බෝගහ ලඟට ගියාම හොඳට පේනවා. කවුද ඉන්නේ.. මොනාද කරන්නේ..කොච්චර වෙලාද .. කියලා ඔක්කොම බලන්න පුලුවන්. වැහි කාලෙට කොල්ලන්ගේ ලැට්ටෙකට කිට්ටු වෙන්ඩවත් බෑ. වතුර උතුරල ගලනවා . ඒ කාලෙට ලැට්ටෙකට එහායින් තියෙන බූටා කැලේට අල්ලනවා.කෙල්ලන්ගේ ලැට්ටෙක ගාව තියෙනවා ලොකු දන් පාට ගෙඩි හැදෙන අලිපේර ගහක්. ඕකේ ගෙඩි වාරෙට ඇට හෙල්ලෙන ගෙඩි කඩලා හංගලා තියලා ඉදුනම කොල්ලෝ කනවා. සමහරුන්ට හංගපු තැන් අමතක වෙනවා. සමහරක් සත්තු කාලා තියෙනවා. සමහරක් හංගන තැන බලන් ඉඳලා වෙන කොල්ලෝ හොරෙන් කනවා.

ඔය ඉස්කෝලෙට ඉංගිරිසි උගන්නන්න ඉංගිරිස් සර් කෙනෙක් ආවා ඔය ජයවර්ධනපුරේ පැත්තෙන්. ඒ සර් එනකොට අපිට ඉංගිරිසි වලටම කියලා වෙනම සර් කෙනෙක් හිටියේ නෑ. වෙන ටීචලා ඉංගිරිසි පීරියඩ් එකට ඇවිල්ලා ගිරවුට වගේ කටපාඩම් තියලා නිදි කිරලා යනවා.

“අයෑම් සමන් අයෑම් ෆ්‍රොරොම් ශ්‍රී ලංකා.. අයෑම් ගීතා අයෑම් ෆ්‍රොම් ඉන්දියා. අයෑම් ටාරෝ අයෑම් ෆ්‍රොම් ජපෑන්. අයෑම් මුරු අයෑම් ෆ්‍රොම් නයිජීරියා.“

ඔව්වා තමයි ඒ සර් එනකොට කටපාඩන් කරලා තිබ්බේ.
ඉතිං ඔය සර් ඇවිල්ලා අපේ පංතියටත් ඇවිල්ලා ආයුබෝවන් කියලා

“ළමයි .. මම ජයරත්න. අද ඉඳන් ඔයාලගේ ඉංග්‍රීසි සර්. මම ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලෙන් තමයි මෙහෙට්ට ආවේ. දැන් ඔයාලා දන්න බාසාවකින් ඉංගිරිසිම වෙන්න ඕනි නෑ.. ඔයාලා ගැන හැඳින්වීමක් කරන්න එක්කෙනා ගානේ. මෙහෙන් පටන්ගමු.“

ගාමිණියා නැගිටිනවා.

“මම ගාමිණී. ගම සෙන්ජේමිස් උඩ කෑල්ල. අයියයි නංගියි ඉන්නවා. අම්මා වත්තේ වැඩ. තාත්තත් වත්තේ වැඩ.“
ඊට පස්සේ චිත්‍රා නැගිටිනවා.
“මම චිත්‍රා. ගම දිබ්බැද්ද. අම්මා වත්තේ වැඩ. තාත්තා එළවළු හිටවනවා. නංගි කෙනෙක් ඉන්නවා.

ඊට පස්සේ මම

“මම මේනක. තාත්තා මැරිලා. අයියයි අක්කයි මල්ලියි ඉන්නවා. අම්මා දළු කඩනවා.“

ඊට පස්සේ ඉන්දුසිරියා

“මම ඉන්දුසිරි. සෙන්ජේමිස් පල්ලැහැ කෑල්ලේ ඉන්නේ. නංගි කෙනෙක් ඉන්නවා. අම්මා දලු කඩනවා. තාත්තා කෑ ගහනවා“

“කෑ ගහනවා..“

සර් නලලේ ප්‍රශ්ණාර්ථයක් මවාගෙන අහනවා.

“ඔව් සර් කෑ ගහනවා“

“ඒ කියන්නේ මට තේරෙන්නෑ“

“කෑගහනවා සර්“

සර්ට තාමත් නොතේරුන නිසාත් ඉන්දුසිරියා තේරුම් නොකරන නිසාත් ගාමිණියා නැගිටලා තේරුන් කරලා දෙනවා.

“සර් එයාලගේ තාත්තා බදුල්ලේ පැයිවට් බස් ස්ටෑන් එකේ කෑ ගහලා බස්වලට සෙනඟ පටවලා කීයක් හරි හොයාගන්නවා.“

සර්ගේ ඇස් වලින් කඳුලු කැට දෙකක් පනිනවා. සර් කඳුලු හංගන්න බිම බලාගන්නවා.
ඔන්න ඕකයි මහත්තයෝ බදුල්ලේ මිනිස්සුන්ගේ ඇත්ත සිටුවේසන් එක.
========================================
“දන්සිරී.... දන්සිරිඊඊඊඊ... දන්සිරිඊඊඊ“

දන්සිරි අයියව එයාගේ යාලුවෝ පාරට ඇවිල්ලා කැඳවන්නේ අන්න එහෙම.

“ඇයි බං මං කනවා“

සුමනෙ අයියා.. මංතිරි අයියා.. විජේ අයියා.. සාන්තයියා..අප්පයියා..චූටප්පයියා .... ඔය තමයි දන්සිරි අයියගේ යාලුවෝ සෙට්ටෙක.

“කාලා වරෙන් පොඩි ගමනක් යන්න “

දන්සිරි අයියා එනකන් කට්ටිය උඩහ පාරට වෙලා ඉන්නවා.

“කොහේ යන්නද ඉතිං රා කටහලේ බොන්ඩ වෙන්ඩ ඇති. දන්සිරියෝ යන්නෑ. ගෙදර හිටු.“

ආච්චි දන්සිරි අයියට දෙහි කපනවා.

“උඹ පුරන් කොටන්න කියල ජයවද්දනයගෙන් රුපියල් එකසිය පනහක් විතර නයට අරන් තියෙනවලු. ඒ මිනිහා හැමදාම හොයාගෙන එනවා. උඹ මොකද බං කරන්න බැරිනම් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ.?“

“ආච්චි ඉන්ඩකෝ ඒක මම බලාගන්නන්. එවුවගෙත් කන්ඩ බොන්ඩ තමයි ගෙදෙට්ට ගෙනාවේ“

“අනේ ඔව් කන්ඩ කෙසේ වෙතත් බොන්ඩනම් ගන්ඩ ඇති.“

ආච්චිගේ වචන සතේකට ගනන් ගන්නැති දන්සිරි අයියා ඇඳුමක් පටලවගෙන උඩ පාරට යනවා.

ඔය අපේ ගෙදෙට්ට පල්ලැහින් අපේ ගමේ පරම්පරාවකත් නොවෙන පිටින් ඇවිල්ලා ගෙවල් අරන් මාලු බිස්නස් කරන පවුලක් හිටියා. ගමේ මිනිස්සු කියන්නේ මාලු ගෙදර. මාලු අංකල්.. මාලු ඇන්ටි.. මාලු ගෑණි කියලත් කියනවා. ඒ ගෙදර කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. උන් ඉතිං මාලු කෙල්ලෝ. මාලු මුදලාලිට පරන වොක්ස්වැගන් වෑන්නෙකක් තිබ්බා. ඒකේ තමයි මාලු බිස්නස් යන්නේ. හවසට ඉතුරු වෙන මාලු ගමේ මිනිස්සුන්ට කුණු කොල්ලෙට විකුණනවා. එකපාරක් ඔය මාලු කාලා මුලු ගමම ලෙඩ වුනා.

“ආයෙනන් කන්නෑ ඔය බල්ලන්ගේ කුණු මාලු“

දවස් දෙක තුනක් බඩේ අජීර්ණයෙන් හිටපු අපේ ආච්චිත් හැම වෙලේම මාලු අංකල්ගේ අම්මා තාත්තව සිහි කෙරුවා.
ඉතිං ඔය ගෙදර හිටිය ලොකු කෙල්ලට ඒ කියන්නේ ලොකු මාලු කෙල්ලට දන්සිරි අයියා මල්සරාගේ හීයක් විද්දා. හීය හරියට වැදුණද කියලනන් දන්නෑ. දන්සිරි අයියා ව්‍යාජ ප්‍රේමයක පැටලුනා.

දන්සිරි අයියා හිර වෙන්න පටන්ගත්තේ ඔතනින්.

“ඕකගේ මුලු සේසතම ඕකි හූරන් කාලා වෙන එකෙක් එක්ක යනවා. ඔන්න මම හූනා කිව්වා වගේ කියන්නේ“

ආච්චි කිව්ව වචන ඇත්ත වුනා. දන්සිරි අයියගේ සේසතම හූරන් කාලා ලොකු මාලු කෙල්ල වෙන එකෙක් එක්ක පැටලුනා. දන්සිරි අයියා නොකා නොබී දවස් ගානක් හූල්ල හූල්ල ඔහේ බලාගෙන හිටියා.

ඩිංගිරිබංඩෙ අයියගේ රා ටික නොතියෙන්න දන්සිරි අයියා ටැමරෝන් බීලා අඩි හයක් පොලොවෙ යට.
ඩිංගිරිබංඩේ අයියගේ මලේ රා වරාගෙන එනකොට දන්සිරි අයියත් මලක් බෙහෙත් තියන්න කල්පනා කරනවා.

“චූටි වරෙන් පල්ලැහැ කුඹුර පැත්තේ යන්න“

ගෙට පහලින් තියෙන වෙල් යාය පාමුල තියෙනවා කිතුල් මණ්ඩියක්. ඔය කිතුල් මණ්ඩියට ගිහින් එක එක ගහ පරිස්සා කරනවා. බොහොම සාරෙට වැඩිච්ච නාඹර ගහක් ඉරාගෙන එන කිතුල් මල් පොඩියට දන්සිරි අයියගේ හිත වැටෙනවා.

“තව සතියක්කත් යයි. ඔය මල හොඳයි වගේ. කීයක්කත් හොයාගන්නත් පුලුවන්නේ“

දන්සිරි අයියා තනියම කියවනවා.

“උඹ වැඩේ හරියනකන් කාටවක්කත් කියනවා නෙවෙයි. කටවහ වැදිලා මල කුණු වෙනවා.“

දවස් දෙක තුනකින් දන්සිරි අයියයි මායි පල්ලැහැ කුඹුරටත් පල්ලැහැ තියෙන ගඟෙන් ගොඩ වෙලා හොබරැල්ල කන්ද පාමුල කඳුරේ තියෙන උණ පඳුරට කිට්ටු කලා. ලඟ ලඟ පුරුක් තියෙන කෙලින් ගිය මෝරපු උණ ගහක් බිම දාලා ඒක සුද්ද කරලා කිතුල් ගස් මණ්ඩිය ගාවට ගෙනැල්ලා අතෑරලා ගෙදර ගියා.

“ඈ බං චූටියෝ. උඹලා මොකද අර කිතුල් මණ්ඩිය ගාව දවස් ගානක් තිස්සේ කරන්නේ. මං බලාගෙන. මට මේ ඇස් පේන්නෑ කිව්වට හොඳට පේනවා. දන්සිරියා මලක් කපන්න නේද යන්නේ.“

ආච්චි දිහා නොබලා බිම බලාගෙන මම කකුලේ විලුඹට බර දීලා ඇඟිලි ටික උඩට අරං ගොම පොලොවේ අර්ධ කවාකාර රේඛාවක් අඳිනවා. ඒ කියන්නේ “ඔව්“ කියන එක නොකියා කියනවා.

“නොදකින් ඕකා තව නොකලේ ඕක විතරයි. ගඟේ ඇපල පඳුරු අතරේ ගංජා හිටවලා පොලිසියෙන් බේරුනේ අනූ නමයෙන්. දැන් ඕකේ තෙලිජ්ජ වැටෙන්න ගත්තම නඩේම මේ ගෙදර ඉඳියි. දුන් ගහලවත් එලවන්න බැරි වෙනවා ඕකුන්ව.“

දන්සිරි අයියයි මායි කුඹුරු වල ඉපනැල්ලේ ඇවිදිනවා. මල බෙහෙත් තියන්න ඕනි කලමනා හොයන්න. වෙල් ඉපනැල්ලේ හැදෙන හුලංතලා මලට සමාන පුංචි කහ පාට මල් පිපෙන ගහේ මල් කඩන්න ඕනි. ඔය මල කටේ තියාගෙන හපනකොට සැරම සැරයි. මිරිස් වගේ. ඊට පස්සේ කුඩු මිරිස් හොයන්න ගඟේ කැලෑ කොලේ ඇවිදිනවා. යකි නාරන් ගෙඩි.. යකි නාරන් කටු... ගැට දොඩන්.. එකී මෙකී නොකී සියළු කලමනා ටික හොයාගෙන ගෙදර ඇවිල්ලා තියනවා.

කලින් ගෙනාපු ලණු ටිකත් අරන් වෙල පාමුල තියෙන කිතුල් මණ්ඩිය දිහාට ගාටනවා.

“ඔය කිතුල් මණ්ඩියේදි තමයි සියාතුවාට යකා ගහලා මලේ. රා මුට්ටියත් යක්කු බීලා තිබ්බා“

ආච්චි දන්සිරි අයියවයි මාවයි බය කරන්නේ එහෙම.

“යක්කු කොහෙද දැන්.. යක්කු හිටියේ ඉස්සර“

“ හා එහෙනන් පලයන්.. උඹ මං කියන දේවල් සතේකට ගනන් ගන්නවද? යක්කු නැත්තන් ඔය වෙලේදි ලඟදි තිලකෙ මල්ලි ආවේස වුනේ. උඹට මතක නැද්ද.. සාමියා ඇවිල්ලා තෙල් මතුරලා ගොඩ දැම්මේ“

“රා පෙරන්ඩ නෙවෙයි මල කපන්නේ. පැණි හදන්න“

“අනේ මම දන්නැතැයි උඹ හදන පැණිය දන්සිරියෝ“

ඉස්සෙල්ලම කිතුල් ගහට තියලා අර උණ ගහ ලණු වලින් බැඳගෙන බැඳගෙන දන්සිරි අයියා උඩට නගිනවා. මට තියෙන්නේ ගහේ වට ප්‍රමාණෙට හරියන්න ලණු කෑලි කප කප දන්සිරි අයියට දෙන්න.

දන්සිරි අයියා මල කිට්ටුවට කිට්ටු වෙනකොට මට එක එක මනෝ විකාරයන් මැවිලා පේනවා. මලේ මුට්ටියක් එල්ලලා.. ඒකෙන් ටැප්පෙක්කින් වතුර වැටෙනවා වගේ තෙලිජ්ජ මුට්ටියට වැටෙනවා. දන්සිරි අයියා පැයෙන් පැය මුට්ටිය මාරු කරනවා. ගෙදර හැම භාජනේකම තෙලිජ්ජ රා වෙනවා. විජේ අයියලා මන්තිරි අයියලා සුමනේ අයියලා හැමෝම අපේ ගෙදර පිරිලා ඉන්නවා..ආච්චි එවුවා (රා) දීලා සල්ලි අරන් චීත්තේ කෙරවලේ ගැටේක තදේට ගැටගහලා චීත්තේ පටලවගන්න හැටිත් මට මැවිලා පේනවා.

“චූටි උඹ නිදිද..ඔය පිහිය ලණුවේ ගැටගහපං“

මං ආය පියවි සිහියට එනවා.

(ඉප්පන්ටම ඊලඟ කෑල්ල)

Monday, August 8, 2016

අමුතු ගම --- අන්තිම කොටහ

අර ඉර චැනල්ලෙකෙන් බදුල්ලේ මුතියංගනේ ධාතු පෙන්නුවානේ. ඒක සම්පූර්ණයෙන් රෙ()වෝ සිල්වාව ප්‍රමෝට් කරපු ධාතු පෙන්නිල්ලක්.පෙරහැරටත් බර සෙනඟක් ආවා. ඉතිං ඔය මිනිස්සු ඇවිල්ලා පෙරහැර බලන්න පාර දෙපැත්තේ වාඩි වෙද්දි ප්‍රශ්ණයකට මූණ පෑවා. ඒ තමයි තෙත පොලොවේ වාඩි වීමේ ප්‍රශ්ණය. ඔය ප්‍රශ්ණය හඳුනගත්ත බදුල්ලේ පොරක් ඔතනින් බිස්නස් එක්කට බැස්සා. SLIM/CIMA නොකලට මාකට් එකට අවශ්‍ය භාණ්ඩේ අවශ්‍ය මොහොතේ දැම්මා. පොර ලඟ කඩේකට දුවලා ඉටිරෙදි රෝලක් අරං ඇවිල්ලා මීටරේ කෑලි කපලා ඒක පලලා ඒ භාණ්ඩෙට හිත් ඇදගන්නා නමකුත් දැම්මා.. 
වාඩි කොලේ පනහයි... වාඩි කොලේ පනහයි

පොරගේ භාණ්ඩේ උණු කැවුම් වගේ විකුණුනා. වෙළඳ පොල හඳුනගෙන... පාරිභෝගික අවශ්‍යතාව හඳුනගෙන..භාණ්ඩයක් හරි වෙලාවට හරි තැනට දාන්න බදුල්ලේ මිනිස්සුන්ට SLIM/CIMA ඕනි නෑ මහත්තයෝ.

PRODUCT- ඉටිරෙදි
PRICE- රුපියල් 50
PLACE- පෙරහැර බලන ජනතාව සිටි පාර දෙපස
PROMOTION-වාඩි කොලේ...වාඩි කොලේ
බදුල්ලේ මරු මාකටිං ඈ ........................................
---------------------------------------------------------------
අර නෙලුදණ්ඩෙ මුතුබංඩෙගේ පුවක් ටික හොරු කඩලා උන්දැ කාලි කෝවිල් ගිහිල්ලා හරියට සතියෙන් පුවක් හොරා මකබෑවිලා ගියාළු නේද බං
ගල්ලත්තෙ ආච්චිත් අපේ ආච්චිව දිරිමත් කරන්නෙ එහෙම.

නැතුං නැතුං බං. ඔය කෝවිල් කොයිකත් මහා හාස්කන් තියෙන තැන් නේ. මට මේ දන්සිරියගේ බීම නැති කරන්න කෝවිල පැත්තෙ ගිහින් එන්න ඕනි.“

ඒක නවත්තන්ඩ අපි මැරිලා ඉපදෙන්ඩ වෙයි. මුලු ගමම බේබද්දෝ වෙලා. ඒ මදිවට පහේ ටොපි කිය කිය අර මදනෙ මෝදකේද මොකද්ද ගුලියකුත් ඇවිල්ලා තියෙන්නේ. මුන් ඒවත් කාලා ඇස් උඩ තියාගෙන ඉන්නේ

ඒකනේ බං අපේ කන්වලට අහපුවාද බං ඔව්වා

ඒක නෙවෙයි බං. මං මේ තේකොල ඩිංගක් තියෙනවනන් ඉල්ලන් යන්නත් එක්ක ආවේ. කතාවෙන් කතාවෙන් ඒකත් අමතක වුනා

හා.. හා .. වරෙන් .. වරෙන්..“

ආච්චි ගෙට ගිහිං ගල්ලත්තේ ආච්චිට තේ  කොල ටිකක් බෝතලෙන් කඩදාසියකට හලලා ඔතලා දෙනවා.
ඔය ගං ගොඩවල් වල කුස්සියේ හදිසි අඩුපාඩු සිද්ද වුනොත් කඩේට යන්නැතුං අහල පහල ගෙදරකින් ණයට ඉල්ලා ගැනීමේ පුරුද්දක් තියෙනවා. මේ ණය දෙන්නේ කිරුම් මිනුම් වලින්. හාල් නං හුණ්ඩු වශයෙන්. කිරිපිටිනම් හැඳි වශයෙන්. පොල් තෙල් නං ඇඟිල්ලේ පුරුක් ගානට බෝතලේට දාලා දෙනවා. මිරිස් තුනපහ වගේ එවුවත් මේස හැඳි වශයෙන්. සමහරු ඔය ගෙනියන ණය ගෙනැල්ලා දුන්නත් සමහරු ඕක අමතක කරලා දානවා. අමතක කරපු එවුන් ආය ණය ගෙනියන්න ආ‍වොත් ආච්චිනන් හොඳට කියල දීලා යවනවා.

ගිය මාසේ අරං ගිය හාල් හුණ්ඩු දෙක අමතක වුනාද? අදත් හාල් ඉල්ලන්න එන්නේ. මෙහේ ඇති හාලක් නෑ

ඉතිං දැන් ඔය ඇලට උඩින් වේල්ල දිගට ආච්චි හිටවලා තිබ්බ පුවක් ගස්වල ගොලෑ ගෙඩි පැහිලා පාට ගැහීගෙන එනවා. ගල්ලත්තේ ආච්චිගේ තැඹිලි වලුත් ගෙඩි පිරීගෙන රන්වන් පාට වීගෙන එනවා.

මේ පාර පුවක් විකුනලා මයියංගනේ පංසලටවත් ගිහින් එන්න ඕනි පෝයට.වැලිමොඩින් පොළොන්නරු යන බස්සෙකේ පාන්දර යතෑකි.

යමං .. යමං.. මමත් තැඹිලි ටිකයි පුවක් වගේකුයි තියෙනවා ඒක විකුණලා කීයක්කත් එකතු කරගන්නම්.
“පුවක් ගනන් යයි වගේ මේ පාර...නියඟෙත් එක්ක.“

දැන් ඉතිං ඔය කාලේ වෙද්දි දන්සිරි අයියා කුලී වැඩක්කත් නැතුව හත වැදිලා හිටිය කාලයක්. බීඩියක් බොන්න ඔය කවුරු කවුරු හරි අල්ලගෙන ගානක් කපාගෙන වැඩ හම්බුනාම දෙන්නං කියලා උඩහා ඩිංගිරි බංඩෙ අයියගෙන් රා ටිකක් බිබී හිටිය කාලයක්. අපිටත් ඉතිං පල්ලැහැ කඩෙන් බුල්ටෝ..මුරුකු.. පුස්නාම්බු කෝටාව අහිමි වෙච්ච කාලයක්.

අපේ ආච්චිත් ඉතිං ඔලුවේ තඩි අහුලන්න කතා කරන්නේ මට. උන්දැගේ සුදු ඉසඟෙ ගස් අස්සේ හැංගිච්ච සුදු පාට උකුණෝ ඇදලා උන්දැගේ අල්ල උඩින් තියන්න ඕනි. ලේඬිත් ඇදලා උන්දැගේ අතේ තියන්න ඕනි. එතකොට ආච්චි ඒවා ගනන් කර කර මාපටඟිල්ලේ නියපොතු අතරේ තියලා “චිටිස්“ ගාලා උන්ව බිඳලා දානවා. (ඕකට මරණවා කියන්නේ නෑනේ)

අන්තිමේට මගේ සේවය ඉවර වුනාම සේවා ගාස්තු විදියට තම්බපු බුස්සන්දා අල .. තම්බපු චව් චව්(චොචොල්).. තම්බපු කොස් ඇට.. කොස් ඇට අග්ගලා වගේ කෑම හම්බුවෙනවා.

“චූටි මෙහෙ වරෙන් බඩ්ඩක් කියන්න“

එක දවසක් මට අඬගහපු දන්සිරි අයියා මාව ඇල අයිනට එක්කන් ගිහිල්ලා පොඩි සැලසුමක් ගැන කිව්වා.

“අතේ සල්ලිත් නෑ බං. ආච්චි ගාව සල්ලි තියෙනවා. ඉල්ලන්නත් බෑ. ඉල්ලුවාට දෙන්නෙත් නෑ. අපි ආච්චිගේ පුවක් ටික කඩමු. මං උඹටත් ගානක් දෙන්නන්.“

ගානක් දෙනවා කිව්වම ඉතින් ගොඩාක් අකමැත්තෙන් හරි මාත් පැලෑනට එකඟ වුනා. පැලෑනේ හැටියට අද හවස මම ආච්චිගේ තඩි බලන්න අල්ලගන්නවා. ඒ අතරේ දන්සිරි අයියා ඇල ඉවුරේ තියෙන පුවක් වළු දහය දොලහෙන් හය හතක් කඩනවා.

සුපුරුදු විදියට ආච්චි එදත් හැන්දෑ කොරේ මාව තඩි අහුලන්න කැඳවනවා. හොබරැල්ල කන්දට පිට දීගෙන ඉන්න විදියට මම වේවැල් කැඩිච්ච පුටුව ගෙනිහින් තියනවා. ඒ කියන්නේ ඇල ඉවුරේ තියෙන පුවක් මංඩියට පිට දීගෙන ඉන්න විදියට. මම උස මදි හිංදා බංකු කොටේකුත් තියාගෙන ආච්චිගේ තඩි අහුලනවා. සැලසුමේ හැටියට දැන් දැන් දන්සිරි අයියා පුවක් ගස් ටික සුද්ද කරලා දාන්න ඕනි. පාවලලක්කත් නැතුන් සුරුස් ගාලා පුවක් ගහට නගින්නත් ආපිට වල්ල බරු ගහගෙන සුරුස් ගාලා පුවක් ගහෙන් බහින්නත් දන්සිරි අයියට තියෙන්නේ පුදුම හැකියාවක්. ආච්චි ඉතිං පරණ කතා කිය කිය මාව දිරිමත් කර කර ප්‍රාණ ගාතය කියන සිල් පදේ තිස් හතලිස් පාර නියපොතු අතර තියලා කඩලා දානවා.

“මුන් බිමට දැම්මොත් ආයේ මැස්සො ඔළුවට ගෙනැත් දානවළු“

ප්‍රාණගාතය ආච්චි විසින් සාධාරණිකරණය කරන්නේ එහෙම.

ඉතිං බිං කළුවර වැටෙනකොට තඩි බැලිල්ල අහවර වෙනවා. දන්සිරි අයියත් මිදුලට ඇවිල්ලා හොරගල් අහුලනවා.

“ආච්චි තියෙනවනං රුපියල් පහක් දෙන්ඩකෝ ණයට. හෙට ජයවද්දන මාමගේ බෝංචි කෑල්ලේ වල් ගලවන්න තියෙනවා. හෙට හවසට දෙන්නන්.“

“කොහේ තියෙන සල්ලියක්ද දන්සිරියෝ. දැන් උඹ හෙට දෙන්නන් කියලා කීයක් ඉල්ලන් තියෙනවද? මගේ ලඟ ඇති සුල්ලියක් නෑ. උඹට සිකරට් කටහලේ බොන්න මා ගාව කොහෙන්ද බං සල්ලි“

නෑ.. නෑ කිය කියා ආච්චි ලිප් බොක්ක අත ගාලා දන්සිරි අයියට රුපියල් පහක් හොයලා දෙනවා.

රුපියල් පහ ගන්න දන්සිරි අයියා රටක් රාජ්ජයක් ගත්තා වගේ රූං ගාලා රේන්දපොලේ කඩේට දුවනවා.
රෑ පහන් වෙලා පහුවෙනිදට එළිය වැටෙනවා. ආච්චි නිදි ගැට කඩලා පුරුදු විදියට එළියට බැහැලා පුවක් ගස් වැටියට ඇස් යොමනවා.

“අම්මට හැ####. මොන වේ## පුතාද බොලව් මගේ පුවක් වලු ටික බරු ගහගෙන ගිහිං තියෙන්නේ. බලපියව් පුවක් විකුනලා මයියංගනේ යන්න හිටියා. තොපිටනන් හෙණ හතම වදිනවා. මම යනවා හෙටම කාලි කෝවිලේ“

ආච්චි ආවේස වෙලා ගම දෙවනත් වෙන්න දෙස් දෙවොල් තියනවා. ටික වෙලාවකින් අඬා වැලපෙනවා.

ඒ අතරේ පාරෙන් උඩ ගල්ලත්තේ ආච්චිත් ආවේස වෙනවා.

“බලපං මගේ තැඹිලි ටිකත් කඩලා පාරේ තියාගෙන බීලා තැඹිලි කොම්බ බෝක්කු ගල් උඩ තියලා ගිහිල්ලා. අම්මට හැ####. වේ# බල්ලෝ. යමං හෙට වෙනකන් ඉන්න ඕනි නෑ. අදම යමං පඬුරු කපන්ඩ.“

ගල්ලත්තේ ආච්චි අපේ ආච්චිට යෝජනා කරනවා. දැන් දෙන්නම දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා. ඒ අතරේ දන්සිරි අයියා ඇවිල්ලා පුවක් ගස් යටට ගිහින් විපරං කරලා බලනවා.

“ඔක්කොම කඩලා නෑ. වලු හතර පහක් ඉතුරු කරලා. මේ ගස් පොඩි වෙලා තියෙන හැටියට පාන්දර තමයි කඩන්න ඇත්තේ“

“ඈ දන්සිරියො උඹට සද්ද බද්ද ඇහුන්නැද්ද.. චූටියෝ ලෑස්ති වෙයන් කෝවිලේ යන්න“

මාත් අඟුරු කෑල්ලකුයි සන්ලයිට් කැටෙයි අරන් ඇලට ගිහිං මූණ හෝදන් ඇවිල්ලා ඉස්කෝලේ සුදු සේට් එකයි නිල් කලිසමයි දාගෙන ලෑස්ති වෙනවා. කෝවිල තියෙන්නේ සෙන් ජේමිස් වත්තේ. අපේ ගමේ ඉඳන් කිලෝ මිටර් තුන හතරක් මහා කන්දක් නැගගෙන නැගගෙන ගිහිං කෝවිලට යන්න ඕනි. නෙළුව හරහා බංඩාරවෙල බස්සෙකේ නැගලත් යන්න පුලුවන් උනත් ආච්චිලා යන්නේ පයින් නිසා මට යන්න වෙන්නෙත් පයිං තමයි. ඕක නැගලා ආපහු බැහැලා ආවම කකුල් කෙඩෙත්තුව අනිවාර්යයි.

දැන් ඉතිං කරපන්ටයින් වත්ත මැදින් අපි හෙමින් හෙමින් සැන් ජේමිස් කන්ද නගිනවා. ෂොට් කට් එහෙම නැත්තන් කුරුක්කු පාවිච්චි කරමින් ගමන කෙටි කරගන්නවා. තාර පාරට වඩා ෂෝට් කට් වලින් යද්දි කූඩැලු ප්‍රහාරයට ලක් වීම අනිවාර්යයි.

“පඬුරු කපලා දවස් හත යද්දි ප්‍රතිපලේ හම්බුවෙයි. ඔය වැඩේ කරපු එවුමුයි උදවු කරපු එවුමුයි හැඳි ගෑවිලා යයි“

ආච්චි ගල්ලත්තේ ආච්චි එක්ක කියෝ කියෝ යනවා.
හුටා.. ඒ කියන්නේ දන්සිරි අයියටයි මටයි දෙන්නටම ටිකට් එක ඇදෙනවා කියන එක.මේක කරේ දන්සිරි අයියයි මායි කියලා ආච්චිට කියලා පඬුරු කැපිල්ල නවත්තගන්න මට හිතිච්ච වාර අනන්තයි. ඒත් ඕක දැනගත්තම අම්මගෙන් හම්බුවෙන කෝටු පාර ඊට වැඩිය සැර නිසා මම බුම්මගෙන සෙන්ජේමිස් කන්ද නගිනවා.

පඬුරු කැපිල්ල හා තැලිල්ල අතර වෙනස මේක කියවන පාඨකයන්ගේ දැන ගැනීමට ලියන්න හිතුනා. පඬුර කියන්නේ කාසියකට. ගොඩක් වෙලාවට රුපියලේ හරි දෙකේ හරි කාසියක් කහ වතුරෙන් හෝදලා සුදු පාට රෙදි කඩක ගැට ගහලා කෝවිලට ගෙනිහිල්ලා දෙස් දෙවොල් තියමින් ගිරයකින් ඒ පඬුර කපා දැමීම තමයි පඬුරු කපනවා කියන්නේ. පඬුරු තලන්නේ ගෙදරදි. පඬුර සිමෙන්ති පොලොවේ තියලා දිග යකඩ පොල්ලකින් තලමින් දෙස් දෙවොල් තියමින් හොඳින් පඬුර තැලුනට පස්සේ කෝවිලට ගෙනිහින් දෙවියන්ට බාර කිරීම තමයි පඬුරු තැලිල්ල කියන්නේ.

කරපන්ටයින් වත්තට පස්සේ තේ වත්ත. තේ වත්තේ තැනින් තැන තියෙන ගණ දෙයියන්ගේ ප්‍රතිමා වලටත් ආච්චිලා දෙන්නා වැඳ වැඳ හොරුන්ට දෙස් දෙවොල් තියමින් යනවා. තේ වත්තට පස්සේ ලැයිම. පුංචි මහත්තයගේ බංගලාව. ලොකු මහත්තයගේ බංගලාව. කෝටස්. ඉස්ටෝරුව. ඉස්පිරිතාලේ. පුල්ලේ කාමරේ. ඊට ටිකක් ඈතින් කෝවිල. කෝවිලේ ඉස්සරහම මහා භයංකාර  දෙවිවරුන්ගේ රූප. ඇතුලෙත් එහෙමයි. දිව එළියට දාගෙන බඩ මහත ත්‍රිශූලය සහ විවිධ අවි අතින් ගත් එක එක පාටින් භයංකාර දෙවිවරු. කපුරු හඳුන්කූරු සුවඳ... ඒවගෙන් ගලන දුම. නොනවත්වා නාද වන සීනු හඬ..තුන්නුරු ගාගන්න පොරකන වතු කම්කරුවෝ.

ආච්චි කෝවිල ඇතුලට ගිහිං පූසාරිට විස්තරේ කියනවා. පූසාරි අපි නොදන්න බාසාවකින් සීනුව ගගහ ආවේසයෙන් වගේ කන්නලවු කරනවා. පස්සේ ගල්ලත්තේ ආච්චිගෙයි අපේ ආච්චිගෙයි පඬුරු දෙක දෙවියන්ට භාර කරනවා. ආච්චියි ගල්ලතතේ ආච්චියි පූසාරියාට තුටු පඬුරුත් අත මිට මොලවනවා. පස්සේ අපි ආයෙත් පල්ලම් බහිනවා.

“දවස් හතෙන් හොරු මකබෑවිලා යයි“

ආච්චි ආපහු එන ගමනේදි කියවනවා. මගේ සරුවාංගෙම වෙව්ලලා යනවා. එක එක කතා කිය කිය කිය අපි ආයෙත් ෂෝට් කට් දිගේ ගෙදෙට්ට සම්ප්‍රාප්ත වෙනවා. දන්සිරි අයියා හොරෙන් ඇවිත් මගේ සාක්කුවේ රුපියල් දහයක් ඔබනවා.

“උඹ අද වැඩට යනවා කිව්වේ ගියෙ නෑ“

ආච්චි දන්සිරි අයියගෙන් අහනවා.

“හෙටනේ යන්නේ“

දවස් හත ගෙවෙනකන් මම බයෙන් ඇඟිලි ගැන ගැන ඉන්නවා. දවස් හත නෙවෙයි අවුරුදු ගානක් ගිහිල්ලත් දන්සිරි අයියයි මායි තාම යහතින් ඉන්නවා. ගල්ලත්තේ ආච්චියි අපේ ආච්චියි දැන් ජීවතුන් අතර නෑ.

Sunday, May 15, 2016

අමුතු ගම - 2 කොටහ

මගේ බ්ලොග් කළාවේ බ්ලොග් ෆාදර් වන සුරංගයා කිව්වා සේ ගමේ ටැලිපෝන් කණුව ජනගත වූ පසු මගේ කතා අහල පහල එවුන්ගේ නෙත ගැටීමෙන් සිදුවන ව්‍යවසනයෙන් ගැලවීමට සියළුම නම් අන්වර්ත කිරීමට සිතුවෙමි. තැන්කිව් සුරං... බෝ ඉතිං දුරදිග බලනවා නොවැ.
ඔය අනියං සම්බන්ධකන් පටන්ගන්න ගෑණු ගොඩක් උස්සහ කරන්නේ පිටගං කාරයොත්තෙක්ක ඕවා පටන්ගන්න. ඒ මොකද ගමේ ඕවා පටන්ගත්තම ඕවා පද වෙලා ඒවට තටු ඇවිල්ලා එහා මෙහා ඉගිලිලා යන හින්දා. ඒත් පිට එවුන් එක්ක පටන්ගන්න අනියන් සම්බන්ධකන් ඊට වඩා වේගෙන් ප්‍රචාරය වෙනවා. පහුගිය කාලේ පාර හැදෙනකොට පාරේ සුළු සේවකයගේ ඉඳන් ඩෝසර් කාරයන් ඕවර්සියර්ලා දක්වා හැම මිනිහෙක්ම ගමෙන් වැඩක් කොරගත්තා. ඔය කාරයෝ ඉන්නවා නේද ඒ කියන්නේ ත්‍රීවීල් කාරයෝ..ලොරි කාරයෝ .. බස් කාරයෝ..ඩෝසර් කාරයෝ... ඔය වගේ කාරයෝ තදින් බීමට ඇබ්බැහි වෙලානෙ ඉන්නේ.බොනවනම් කමක් නෑ. ගංජා සුරුට්ටුත් උරනවනේ. ඉතිං පාර හදන කාලේ උන් ගමේ පිරිමිත් එක්ක එකතු වෙලා රෑට උන් එක්ක බොන ගමන් අර ඔක්කොම රස කර කර ගමේ එවුන් එක්ක කියවනවා. පහුවදා අර කතා වේගෙන් ගමේ ඉහල පහල යනවා. සමහරු ගෑණු එක්ක බුදියගත්ත කියලා අරක්කු ගෙනල්ලා පාටි පවා දාලා තිබ්බා. අර කවුද මන්තිරි කෙනෙක් සීයක්ද කොහෙද පැන්නුවා කියලා පාටියක් දැම්මා වගේ.ඉතිං ඔය විදියට බලනකොට ඒ දවස්වල ගමේ පාටි දෙසීයක් තුන්සීයක්කත් තියෙන්න ඇති. ඔය පාර හැදෙන කාලේ මම ගමේ හිටියේ නෑ. මම නිවාඩු ආවම එක එකාගෙන් අහන්න ලැබිචිච කතා අවශෝෂණය කරගෙන තමයි මේක ලිව්වේ. ඩෝසර් කාරයෝ ඕක අතිමුත් දාලනේ ගමේ එවුන්ට කියන්නේ. ගමේ එවුමුත් අතිමුත් දාලනේ ඕක මට කියන්නේ. මාත් අතිමුත් දාලනේ ඕක ලියන්නෙ. ඉතිං ඔය කතා වල අතිශෝක්තියකුත් ඇති.ඉතිං ඩෝසර් කාරයෝ ගමෙන් ගියා. ගෑණුන්ගේ මූණු වල ගෑවිච්ච දැළි තාම එහෙම්මයි. ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ කියන්නේ ඕකනේ.
ඕක ඒ කියන්නේ අනියන් සම්බන්ධකම් අපේ ගමේ අපේ පලාතට විතරක් නෙවෙයි මුලු ලංකාවටම විතරක් නෙවෙයි මුලු ලෝකෙම වසාගත්ත ව්‍යවසනයක්. ඕක ගැන අපූරු බණක් දඹර අමිල හාන්දුරුවෝ දවසක් පුංචි තිරේ දේශනා කලා. ලංකාවේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් ඕක 75% තියෙනවළු.
ඕක සිංහල රජ සමය දක්වාත් යනවා. ඕක ගැන රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ නියමෙට ලියලා තිබ්බා. රජ කාලේ ගැහැණුන් සිය සොර වල්ලභයා හමුවන්න තෝරගත්තේ කැලෑවළු. ගොඩාක් වෙලාවට කලින් කතිකා කොරගත්තු වෙලාවක දර කඩන්න කැලේට යන මුවාවෙන් කැලයට ගොස් තම සොර සැමියා සමඟ රිසි සේ හැසිරී ආපසු එන ගැහැණුන් ගැන ලියලා තිබ්බා. ඒ වගේම තම සැමියා හේන් රකින්නට රාත්‍රියට නිවසින් පිටවූ පසු සොර සැමියන් නිවසට ගෙන්වා ගන්නා ගැහැණුත් සොර සැමියා නිවසට පැමිණීමට පෙර තමා පැමිණි බව දර කෝටුවක් කැඩීමෙන් හෝ බුලත් කොලයක් ඉහලින් ගෙට දැමීමෙනුත් දන්වන ආකාරයත් සටහන් කොරලා තියෙනවා.ඒ කාලේ පෝන් තිබ්බ එකක්යැ. ආය ඒ කාලේ නීතියක් තිබ්බළු බිරියක් සොර සැමියා සමඟ සිට සැමියාට අහුවුනොත් ඉතිං සැමියා සොර සැමියාව ඇස්වලට දැක්කොත් ඔහුව එතැනම මරා දැමීමට සැමියාට පුලුවන් කියලා. ඉතිං මේකට උපක්‍රමයක් විදියට සොර සැමියා නිවසට ඇතුලු වූ පසු දොර අසල අළු කුල්ලක් තබාගැනීමට ගැහැණුන් පුරුදු වෙලා හිටියළු. හදිසියේවත් සිය සැමියා ආවොත් ඔහුට අළු කුල්ලෙන් දමා ගසා සොර සැමියා නිවසින් පිටත් කරන්නට කාන්තාවන් සූක්ෂම වෙලා හිටියළු. “අළු කුල්ලෙන් ගැසීම“ කියන්නේ ආන්න ඒකටළු. අළු කුල්ලෙන් මුහුණට ගැසීම නිසා සොර සැමියා හඳුනාගන්නට සැමියාට හැකි වෙන්නේ නැතිලු. ගැහැණුන් තම සැමියාට වඩා සොර වල්ලභයන්ට එක සිතින් ආදරය දැක්වුවාළු. ඔව්වා ගැන ලියවෙච්ච ජනකවිත් බොහෝමයි...ඒ රජකාලෙලු. මේ අබුද්දස්ස කාලෙලු.
 “අඩෝ ගමේ වැල ගමේ කපුටන්ට ... හරී...“
කොහොම වුනත් මාත් තීරණේකට බැස්සා.
“මාත් ලොකු වුනාම ඩෝසර් කාරයෙක් වෙනවා...“__________________________________________“කවුද බොලව් ඊයේ හවස මෙතන තිබ්බ පුවක් වල්ල කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. අම්මට හැ####. මම යනවා කාලි කෝවිලේ. කපනවා ඔවුන්ට පඬුරු. හැඳිගෑවිලාම යන්න.“
පුවක් ඉදෙන කාලෙට අපේ ආච්චි ආරූඪ වෙන්නේ ඔන්න ඔහොම.
ඔය දන්සිරි අයියා ඉන්නවා නේද? දන්සිරි අයියා කියන්නේ අපේ තාත්තගේ නංගිගේ එහෙමත් නැත්තං ආච්චිගේ දුවගේ පුතා.  පොඩි කාලේ කරපු දඩබ්බරකන් නිසා පංසලක මහණ කරන්න ගිය වෙලේ
“දියං මට පුලුවන් ඕකව හදන්න“
කියලා ආච්චි දන්සිරි අයියව අරන් ඇවිල්ලා හදලා තියෙන්නේ. දැන් ඉතිං කරදඬු උස් මහත් වෙලා. ඒත් අර දඩබ්බරකන් එහෙම්මයි.
ගමේ පුවක් ඉදෙන කාලෙට ගමේ මිනිස්සු පුවක් ගස් දිහාම ඇහැ ගහගෙන ඉන්නේ. ඒත් මොන... සමහර මිනිස්සු ගෙට ගිහිං ආපහු එළියට එන ඇසිල්ලෙන් සමහර පුවක් වලු අතුරුදහන් වෙනවා. හොරා හරි හොරු කාංඩේ හරි අල්ලන්න ගමේ මිනිස්සු කොච්චර උත්සහ කලත් ඒවා ඉතිං ගඟට කපපු ඉණි වගේ තමයි.
ඇයි ගල්ලත්තේ ආච්චිගේ තැඹිලි ගස් දෙකේ තැඹිලි වළු..රෑ එළි වෙනකන් ඇහැ ගහගෙන හිටියත් මොන පරිස්සම් කිරිල්ලක්ද?
“ගිය පාර මගේ තැඹිලි වළු දෙකම කඩන් ගියා. මට ඔය දන්සිරියා තමයි විශ්වාස නැත්තේ.“
ගල්ලත්තේ ආච්චි කියපු කතාවක් අපේ ආච්චිගේ කණේ වැටිලා අපේ ආච්චි කියල දුන්නලු ගල්ලත්තේ ආච්චිට කන් දෙකේ ඇඟිලි ගහගන්න.
“දන්සිරියා කොහේ හොර පොල් බාන්නද බං. ඕකා ගොම්මන් වෙනකොට මට එහායින් ඇඳේ හැමදාම බුදියගන්නේ. එළි වෙනකන් ගොරෝ ගොරෝ බුදි. උඹේ තැඹිලි බාපු එකෙක් පේනයක්කත් බලල හොයාගනින්. අහිංසක ඌ අල්ලන්නේ නැතුං.“
හතර පෝයටම සිල් ගන්න අපේ ආච්චි මුසාවාදා සික්ෂා පදය සුනු විසුනු කල්ලා දානවා. දන්සිරි අයියා එක රෑකවත් ගෙදර හිටියා මටනන් මතක නෑ. කොහේ හරි බොන්ඩ ගිහින් ගෙදර එනකොට රෑ දොලහ එක වෙනවා.
“ආච්චි...ආච්චී.. දොර අරින්ඩ“
“මොන මල වදයක්ද බං හැමදාම රෑ පාන්දර වෙනකන්.. මට නිවී සැනසිල්ලේ බුදියගන්නවත් දියං“
දන්සිරි අයියට බැන බැන ආච්චි හැමදාම දොර අරින්නේ එහෙම.
දන්සිරි අයියා ඉගෙනගත්තෙ නෑ. කැලෑ පැන්නා කියල තමයි ආච්චි කියන්නේ. ගමේ කුඹුරු කොටන කාලෙට කුඹුරු කොටනවා. ගොයම් කපන කාලෙට ගොයම් කපනවා. අල හදන්න බිඳින කාලෙට බිඳිනවා. ඔය මොකක්කත් නැති කාලෙට එම්.බී.බී.එස් (මේසෙන් බාස්ට බදාම සප්ලයි) කරනවා. (ඕක ඉතිං උසස්පෙල ඉවර වෙලා මාත් කරපු පලවෙනි ජොබ් එකනේ) කොටින්ම කුලී වැඩ කරනවා.එවුවගෙන් හම්බුවෙන සල්ලි වලින් ආච්චිට කීයක් හරි දීලා..ඉතුරුවගේ රා බොනවා..අරක්කු බොනවා...බ්‍රිස්ටල් බොනවා... කඩචෝරු කනවා.. චිත්‍රපටි බලන්න යනවා.. බදුල්ලේ රෙක්ස්..කිංස්..මොඩන්... ඒ මදි වුනොත් බණ්ඩාරවෙල සීගිරි..එත්විල් හෝල් වල පැල් බැඳගෙන පිචර් බලනවා. පැල්ලැහැ රේන්දපොලේ කඩෙන් පුස්නාම්බු..හුලං ඉස්කෝතු.. ඉස්කිරිඤ්ඤා .. කඩචෝරු කනවා.. ඔය මං ඉන්නවා නේද? මාත් ඉස්සෙල්ලම පිචර් එකක් බැලුවේ දන්සිරි අයියට පිංසිද්ද වෙන්න.. “රජ කෙල්ලෝ“ තමයි ඒ පිචර් එක. ඇයි ඉස්සෙල්ලම කිතුල් රා ටිකක් බිව්වෙත් දන්සිරි අයියට පිංසිද්ද වෙන්න. ඉස්සෙල්ලම සිකරට්ටෙකක් බිව්වෙත් දන්සිරි අයියට පිංසිද්ද වෙන්න. ඇයි දන්සිරි අයියා නැත්තන් අපි කොහොමද පුස්නාම්බුයි බුල්ටොයි කන්නේ.. ඇයි දොඩන්බික් සීනිබෝල..මං ඔය දන්සිරි අයියට විරුද්ධව එක වචනයක්කත් කියන්නැත්තේ ඒකයි.“චූටි පැල්ලැහැ කඩේට ගිහිං බිස්ටල් දෙකයි බීඩි රුපියල් දහයකයි අරං ඉතුරු එවුවගේ මොනා හරි කාපං... හැබැයි විජිත බීඩිම ගෙනෙන්“දන්සිරි අයියා මට ප්‍රවාහන ගාස්තු ගෙවන්නේ එහෙම.දැන් ලපටි ගැට මෝරාගෙන එන තැඹිලි ගස් දෙකේ පළදාව මේ පාරත් හොරුන්ගේ ග්‍රහණයෙන් මුදෝගන්න ගල්ලත්තේ ආච්චි උපක්‍රමයක් යොදනවා. කවුදෝ ගලවපු කටු කම්බි ගෙනැල්ලා ඉනිමගක් තියලා තැඹිලි ගහේ බාගයක් විතර උඩට නැගලා කටුකම්බි ගහේ උඩ ඉඳන් පහලට වෙලාගෙන වෙලාගෙන ඇවිල්ලා ගහ මුලට තව වැල් නිදිකුම්බා වැලුත් දානවා. ගස් දෙකටම මෙහෙම කරලා ආඩම්බරෙන් ගස් දෙක දිහා බලාගෙන ඉන්නවා. තව ඉතිං ගමේ ඇවිද ඇවිද තමන්ගේ උපක්‍රමය ගැන පුරසාරම් කියනවා. අපේ ගෙදර ඇවිල්ලා ආච්චිත් එක්කත්  කියවනවා.
“මේ පාරනන් හොර හැතිකරේට යස පාඩමක් ඉගැන්නුවා. ගිහිල්ලා බලපංකො තැඹිලි ගස් දෙකටම කටු කම්බි ගැහුවා. ආය මොන ජගතෙට්ටවත් බෑ හොරෙන් තැඹිලි බාන්න. අර කටුකම්බි ටිකක් ඇති. අරං ඇවිත් උඹේ පුවක් ගස් ටිකෙත් ගහ ගනින් ඕන්නන්“
ගොලෑ වීගෙන එන ආච්චිගේ පුවක් ගස් වල වලු දිහා බල බල ගල්ලත්තේ ආච්චි කියවනවා.
“ගිය පාර හොරු පුවක් කැඩුවට ලෙස වෙන්නෑ මේ පාර කැඩුවොත්... ඇත්තමයි යනවා කාලි කෝවිලේ..අල කොල මියන කොල වගේ හැඳිගාවනවා ඕකුන්ව..“(ඊලඟ කෑල්ලෙන් හම්බුවෙමු...)