හාලිඇල්ලේ වජිරා මල් ශාලාවේ මුදලාලි හිනා වුනා.
අම්මගේ අතක් තදින් අල්ලගෙන හිටියා. අනික් පැත්තෙන් බදුල්ලෙ තිසර මල් ශාලාවේ මුදලාලි. දෙන්නා දෙපැත්තට අම්මව ඇද්දා.
ඒක හීනයක් නෙවෙයි.
"ඔය බලලා බාල පෙට්ටියක් ගන්ඩ"
ඒ අපේ මාමා.
"අපිට ඕනි හොඳ පෙට්ටියක්"
මිනී කාක්කෝ දෙවර්ගයක් ඉන්නවා. කට්ටියක් ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ලා. කට්ටියක් ගම්වල. කවුරු හරි මැරෙන්න පණ අදිනවනම් ඉන්නේ අන්තිම අඩියේනම් මල් ශාලාවට නිව්ස් එක දෙන්නේ ඇටෙන්ඩන්ලා. මල් ශාලාවෙන් උන්දලට ගතමනාවක් දෙනවා. මැරුණට පස්සේ මෝචරියට යනකන් උන්දලා අවධානයෙන් ඉන්නේ. ඒ ඒ මල් ශාලාවට මිනිය පංගරාත්තු කරලා කීයක් හරි සාක්කුවේ දාගන්නවා. ඕවගේම සෙට් එකක් ගම්වල ඉන්නවා. අහවල් මල් ශාලාව ප්‍රමෝට් කරන. උන්ට නිකන්ම මල් ශාලාවෙන් ගතමනාව සෙට් කරන්නේ නෑ. පෙට්ටිය පන්ස්දාහයිනම් දහදාහක් ඇඩ් කරලා හැටදාහකට විකුණලා ගමේ මිනී කාක්කට ඒ දහදාහ දෙනවා.
ඒත් වජිරාට මිනිය දෙන්නෙ නෑ. අපි තිසර මල් ශාලාවෙ තියනවා.
වජිරා මල් ශාලාවේ මිනිස්සු මිනියක් අරං ගෙදරට ආපු වෙලේ ඉඳං එහෙන් මෙහෙන් ඇඹරි ඇඹරි දුක කියනවා.
"මුදලාලි සලකන්නෑ. දවසට දාහයි දෙන්නේ. ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දුර ගියත් තේ එකක් බොන්නවත් කීයක්කත් දෙන්නෑ"
" ඇත්තට ඕකට හෙණ ගහන්ඩ එපැයි. මහ ලොකු කෝටිපතියෝ."
මළ ගෙදර ඉන්න උනුත් මල් ශාලාවේ මුදලාලියයගෙ අම්මා මෝ නැතුව දෙස් දෙවොල් තියලා මිනිය තියලා යද්දි අරුන්ගේ සාක්කුවේ අනුකම්පාවට රුපියල් දෙතුන් දාහක් ඔබනවා.
මොනා උනත් ගමේ සොහොනට මිනිය ගෙනියන්න ඕනි.අවුරුදු හැටක් ජීවත් වෙච්ච ගෙදර.
ඕකේ පල්ලැහැට බහින්නේ කොහොමද?
අපේ අම්මා.මැරුණා. ඇස් දෙක පියාගත්තා. අපිව දාලා ගියා.
අත් දෙක කැඩුනා. දැන්.මං කන්නෙ මොනාද? කවුද උයලා දෙන්නේ.
ඒත් මට උයන්න පුළුවන්.
මට උයන්ඩ කම්මැලියි.
ගෑණියෙක් ගෙනෙන්.
ඇයි උඹ බැන්දෙ නැත්තේ.
බැඳපු උනුත් ඇවිදින මල මිනී.
චූටියා ඇයි බඳින්නැත්තේ.
ගමේ උන්ට උභතෝකෝටික ප්‍රශ්ණ.
"මම දැන් ලියනවා. "
"ඒත් ලිව්වට සල්ලි හම්බෙන්නෑ."
"කොන්ටෙන්ට් මොනටයිසේෂන්."
"අප්පගෙ රෙද්ද."
මිනිස්සු මැරෙනවා කිව්වට මට එච්චර බරක් පතලක් දැනෙන්න දුකක් දැනිලා නෑ.මෙච්චර වේදනාවක් දැනුනු මරණයක් මගේ ජීවිතේටවත් විඳලා නෑ.
හිටිය විදියට මම හිතුවේ අම්මා 100ක් ඉඳියි කියලා.
ලේ එකක් විෂ වෙලා. ඇලජික්.
ඉස්පිරිතාලේ වැරැද්ද. විවෘත තීන්දුවක්.
ආයේ අම්මා අපිට ලැබෙන්නේ නෑ.
ඒ වගේ පොලොස් ඇඹුලක් ආයේ කවදා කන්නද?
ඇයි මඤ්ඤොක්කා කොල මැල්ලුම, කොල්ලු හොද්ද. වෙන උන් උයන ඒවා මට රස නෑ.ඩ්
"අම්මා නැති වුනාලු නේද?. අපි දන්නෙවත් නෑ."
දැනගන්ඩ අපි කිව්ව එකක් යැ.
කොරෝනා වලින් පස්සෙ මිනී ගෙදර තියං බූරු ගහන්නෙ නෑ.
මල ගෙවල් වලට වාත වෙන පිස්සු ආරිත් නෑනේ.පිස්සු ආරි හිටියනම් බීඩි අහුරු සාක්කුවේ ඔබාගෙන යයි.
අපේ පැත්තේ විකිණෙන්නේ විජිත බීඩි. ලංකාවේ බීඩි එක එක පැති අනුව වෙනස් වෙනවා. ගම්පහ පැත්තේ තෝරා, සකුරා. හපුතලේ සැන්ඩෝ. බලංගොඩ නයිල්. බණ්ඩාරවෙල රන් රුහුණු.
මල් ශාලාවේ බුලත්, බීඩි නැ. තියෙන්නේ නෙස් කැෆේ, මාරි බිස්කට්.
පුදුම විට කෑමක්නේ මෙහේ එවුන් කන්නේ.බස්සෙක්කට නැග්ගත් සීයට හැට හැත්තෑවකගේ කටවල් වැඩ කරනවා. හපනවා. හපනවා. ඉවරයක් නෑ. විට කඩවල්වලත් එහෙමයි ඔතනවා . ඔතනවා . ඉවරයක් නෑ.
මල් ශාලාවේ තැන් තැන්වල සජිත් , අනුර, රනිල්, කතා, පොන්සේකා, යුද්ධ කතා, රට බේරාගත් මහින්ද කතා කුටු කුටුවේ හරි ඇහෙනවා. මල් ශාලාවේ මරණෙ ගත්තු එකට මල පැන්න බූරු නඩේ ඇනුම්පදත් තැන් තැන්වලින් මතුවෙනවා. ඒ පිරිමි. ගෑණු තැන තැන ඕප දූප පම්පෝරිය. ගොඩාක් බදුල්ල දිස්ත්රික්කෙම බවලත් උදවිය තමන්ගේ පවුල් ගැන පම්පෝරි කියවීමට තමයි කැමති. කෙලින් නැතත් ව්‍යංගයෙන් හරි කියනවා. ඒත් ඒ බවලත් උදවිය දන්නෙ නෑ තමන්ගේ දරුවෝ තමන්ව මෙහෙකාර සේවයේ යොදවනවා කියලා. දරුවන්ගෙ දරුවො බලන එකයි ගෙදර දහසුමේ කරන එකයි ඇත්තටම මෙහෙකාර සේවයක්. නීතියක් ගේන්න ඕනි වියපත් මව්පියන් මෙහෙකාර සේවයේ යෙදවීම වරදක් කරලා.
මල් ශාලාවට එන අයට කතා කරන්න මට බෑ. මට ඕනි මුල්ලකට ගිහිං අඬන්න.
"චූටියාව බලාගනින්." අම්මා අන්තිමට අක්කට කියලා තිබුණා.
යකාමුල්ලේ උලමා කෑගහලා තිබ්බා.
යකාමුල්ල කියන්නෙ නෙළුදණ්ඩේ දෙබොක්කාවේ තියෙන මහ කැලේ. ඔය කැලේටත් එගොඩ බණ්ඩෙ අයියා ඔප්පු හැදුවළු. උන්දෑ කලින්ම මලා. ඔය කැලේ මැද අසේල මංතිරියයි ගලබොඩැල්ලෙ එකෙකුයි අලයක් ගොඩ දැම්මා කියලා ඕපදූපයක් ඉගිල්ලුනා ඒ දවස්සල, අලයක් කියන්නේ නිධානයක්. ඊට පහලින් ගලක් උඩ නයි පෙනයක් තියෙනවා කියලා මායි උක්කුනුයි දවසක් හොයන්න ගියා. ඔව් නයි පෙනයක් තිබ්බා. තව පොඩ්ඩෙන් දෙන්නටම කෙලලා අරිනවා රියල් නයා. අපි ආය හැරිලා ආවා.
උළමා කෑගැහුවම ගමේ මරණයක් වෙනවා.
සත්තුන්ට කෑ ගහන්න බැරිද? මොණරා කෑ ගහනකොට මොනාද වෙන්නේ."
"මොණරා කතරගම දෙයියන්ගේ වාහනේ"
"මොණර මාළු උඩහල්ලේ නොවෙද තියෙන්නේ.. අපට මාළු අල කොලදෝ අදත් කුඩම්මේ"
පාන්දර දෙකයි අම්මා නැතිවෙද්දි. මම බදුල්ලෙ ඉස්පිරිතාලෙට පාන්දර බයික් එකේ ඉගිල්ලුනේ කොහොමද කියලා මට මතක නෑ.
පහුවදා මරණ පරීක්ෂණ. ඇදි ඇදී පැය ගණන් ගතවුනා. මැරෙන එකත් මහ කරුමයක්.
දැන් ඉස්පිරිතාලේ සුළු සේවකයො නෑ. උන් මිසීලටත් එහා. බලන්නෙවත් නැ ලෙඩෙක් දිහා. හරියට අපි උන්ට මහා කරදරකාරයෝ සෙට් එකක් වගේ.
සුළු සේවකයො, මයින ස්ටාෆ්, ඇටෙන්ඩන්, කංකානම් මේ නම් වලින් අඳුන්නපු උන් එකෙක්වත් දැන් නෑ. ඉන්නවා. උන් සුළු නෙවෙයි. ඔළුව උදුම්මගෙන ඉන්නේ. ආණ්ඩුව කොම්පැණි දාලා ඒවටත් ගෙවලා ඉස්පිරිතාල සුද්ද කරන්නේ.
"එතකොට කංකානම්ලා මොකද කරන්නේ."
"පිං පඩි ගන්නවා ඇති"
ගම්පෙරළියේ ජිනදාස මැලේරියාව හැදිලා මැරිලා තිබ්බෙත් බදුල්ලේ ඉස්පිරිතාලේ.
ජිනදාස ඉස්පිරිතාලේ හිටිය කාලේ හිටිය කම්කානම්ලා දැන් මැරිලා ගසුත් පැල වෙලා ඇති.
ඉස්සර කම්කානම්ලා ඇන්දෙ සුදු සරම. සුදු අත් දිග ෂර්ට් එක. දැන් දික්කලිසම.
අපේ ශ්‍රී කාන්ත මාමා එක්ක බදල්ලේ ඉස්පිරිතාලෙට ගියාම ශ්‍රී කාන්ත මාමා ඉස්සෙල්ලම කරන්නේ කංකානම්ගේ සාක්කුවේ රුපියල් විස්සක් ඔබන එක. අපි පෝලිමේ ඉන්න ඕනි නෑ. නොම්බරේ එක්ක තුංඩුව ශ්‍රී කාන්ත මාමාගේ සාක්කුවට එනවා. අපි ඉතිං සුටුස් ගාලා දොස්තර මහත්තයා ගාවට ගිහිං බෙහෙත් අරං චුත වෙනවා.
මල් ශාලාවට ඇවිත් බොන්න ඕනි එවුන් වෙලේ කඩේට යන්න ඕනි බොන්න. ඒත් ගිහිල්ලා බීලා එනවා.
"ඇම්බැස්ටර්"
මෙහේ මිනිස්සු ගොඩාක් බොන්නේ ගල් නෙවෙයි. ගල් බොන්න කොහෙන්ද සල්ලි. බෝතල් රා. බෝතලේ එක්ක 350/-යි. බෝතලේ නැතුං 300/- . ඔය හලාවත, දංකොටුව පැත්තේ බෝතල් රා ලොරි ගණන් බාන්නේ බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවලට. එකක් තියෙනවා ඇම්බැස්ටර්, අනික රා පීප්ප ලකුණක් තියෙන අජිත් පුතා. අනික සිංහ මාක් සිංහයා. මෙහේ බාර් වලට දංකොටුවෙ ලොරි එනවා බානවා යනවා. එනවා බානවා යනවා. බොනවා. බොනවා. බොනවා. බිව්වම තණකොළ ගලවගෙන යන්නේ. පරහකට තියෙන්නෙ ගඳ. ඒකට රතුළූණු අලයක් කෑවම හරි කිව්වට ඒකෙන් අමුතු ගඳක් එන්නේ. සීල් කරපු බෝතලේ ඇතුලේ රා දවස් ගානක් පැහි පැහී තියෙනවා. බිව්වම පිස්සු. පිස්සු රා කියන්නේ ඕවට. ඒවා බීලා සමහර උන් අනුර කුමාරට බැන බැන හතයි හතලිස්පහේ බස්සෙකේ නැගලා ඇවිත් බැහැලා ගමේ උන්ටත් බනිනවා. බැනලා බැනලා ගෙදර යනවා. පහුවදාට කිසි දෙයක් මතක නෑ.
මරණෙ අද හවස ගන්නවා. බදුල්ලේ සොහොනට ගෙනියන්නේ. ආදාහනය කරන්න බැ. භූමිදානේ පමණයි. මරණෙට හේතුව දාලා නෑ.
"මරණෙ ගමේ සොහොනටවත් ගෙනියන්නැද්ද?"
"නෑ බදුල්ලෙ සොහොනේ දාන්නේ."
" කෑම කන කට්ටියට පල්ලැහැ පංසලේ කෑම ලෑස්ති කරලා තියෙන්නේ."
තිසර මල් ශාලාවයි ඌව මල් ශාලාවයි අතර පංසලක් තියෙනවා. ඒ පංසලේ හෝල් හදලා තියෙනවා මල් ශාලාවල මරණ තැන්පත් කරලා තියෙන අයට කෑම කන්න. සේවා ගාස්තුව පන්දාහයි. දවසට මරණ දෙකක් දවස් 20ක් තිබ්බොත් පංසලට ලක්ෂ දෙකයි..මරු බිස්නස්.
"හාමුදුරුවන්ට කෑම පාර්සල් හතරක් ඉල්ලුවා"
හාමුදුරුවන්ට කෑම පාර්සල් හතර අරං පංසල ඇතුලට මම යනකොට හාමුදුරුවෝ වටේ ගෑණු තුන්දෙනෙක් කැකිරි පලනවා. ගෑණු තුනටයි හාමුදුරුවන්ටයි කෑම පාර්සල් හතර දීලා.ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි මම ආවා. ලැජ්ජයි කියන්නෙ විළි ලැජ්ජයි. වාසි කොතනද ගැනුන්ට සිවුරක් හරි කමක් නෑ. හුඟාක් පංසල්වල හැබෑව ඕක.
ඔතන කෑම දෙනකොට පාරෙ යන උනුයි අහල පහල උනුයි ඔක්කොම ඇවිල්ලා කාලා යනවා. ඇත්තටම මළ ගෙදර ආපු උන්ට අන්තිමේට හුළං තමයි.
අම්මගේ හිසට උඩින් පහනක් දැල්වුනා. තෙල් ඌණතාවයෙන් පහන චිරි චිරි ගෑවා. මම ගිහිං පහනට තෙල් ටිකක් වක්කෙරුවා.
වත්තේ දළු කඩපු අම්මගේ දළු කහට මෑතක් වෙනකම් මහපටැඟිල්ලේ තැවරිලා තිබ්බා. නොමැකෙන පච්චයක් වගේ.
හාමුදුරුවෝ වැඩියා. ගුණ කතන කලා. කෙටි කතා වාර දෙක තුනයි. පාංසකූලේ දුන්නා.
මරණෙ ගෙදර තිබ්බනම් ඇදි ඇදී යන කතා ගොඩයි. මම කලින් කතාවකත් කියපු නෙළුදණ්ඩේ නැම්බර් මාමා බලෙන් මල ගෙවල්වලට රිංගලා බලෙන් උන්දැට කතාවක් දාගෙන පැය ගණන් ඇදෙන කතා කියෝ කියෝ ඉඳලා අන්තිමේ මිනිස්සුන්ගෙන් බැනුමුත් අහගන්නවා. නැම්බර් මාමා මලාට පස්සේ ඒ අඩුව පුරවන්න කවුරුත් දැන් නෑ. එක අතකට ඒක හොඳයි.
අපි හැමෝගෙම ඇස් කඳුළු වලින් පුරවලා, පපු කැවුතුවල වේදනාව රඳවලා අම්මා යන්නම ගියා.
සොහොනට ගිහිං අන්තිම පස් පිඩත් පෙට්ටිය උඩට දාලා හිතින් අඬ අඬා ගෙදර ආපු මම තාම අඬනවා.



No comments:
Post a Comment