බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, September 9, 2015

සිංහල උදැල්ල...පුරන් පෙරලීම හා කණ කොකා.....

ඔන්න තිලකේ මාමා කුඹුර කොටන්න පටන්ගත්තා... අපි නටපු ඉපනැල්ල අපිට ආයෙත් කාලයකට අහිමි වෙනවා ... වතුර බැඳලා තෙත් වෙච්ච පුරන් කුඹුර පෙරලන්න කලින් ගොයියන්ට කරන්න වැඩක් තියෙනවා ... ඒ තමයි ඇල පොල්ල (වෙන්කර දී ඇති ඇල කොටස ) සුද්ද බුද්ද කරලා කක්කුට්ටෝ හාරපුවා වහලා ප්‍රධාන වක්කඩේ හදාගන්න එක.. ඊට පස්සේ සිංහල උදලූ වලින් පුරන් කොටන එක තමයි කරන්නේ.. පුරන් කොටනවා කියන්නේ ඉපනැල්ල අනිත් පැත්ත පෙරලන එක... ඊට පස්සේ තමයි මඩිය කොටන්නේ. මඩිය කොටනවා කියන්නේ අර පුරන් පෙරළපු බිම තව ටිකක් මෘදුවට සකස් කරන එක. පුරන් පෙරලද්දි තිලකේ මාමාගේ තනියට අමුත්තෝ වගයක් එනවා. ඒ තමයි කණ කොක්කු. උදැල්ලට කැපෙන පණුවො ඩැහැගන්න තම උකුසු ඇස් උදැල්ල දිහා රඳවගෙන තිලකෙ මාමාගේ වටේ දැවටෙමින් දවසම ඉන්නවා. තිලකේ මාමා වැඩ ඉවර වෙනකොට මෙයාලත් වැඩ ඉවරයි. කණ කොකා කියන්නේ උඩ යද්දි සුදුයි. ඒත් ලෑන්ඩ් කලාම අලූ දුඹුරු පාටයි.. කණ කොක් සුද කියන්නේ ඔන්න ඕකට. අර වර්තමාන සමාෙජ් තියෙන්නේ දුරට ඇපල් ලගට පැපොල් කියල කතාවක්... ආන් ඒ වගේ. තිලකේ මාමා වැඩ නවත්වන්නේ විට කන්නයි තේ බොන්නයි බත් කන්නයි විතරයි. වැඩ වැඩ වැඩ.. අල්ලපු කුඹුර වැඩ කලේ පිට ගමකින් ආපු කෙනෙක්.. නම මතක නෑ..ගමේ අය කිව්වේ හනුමා කියලා. මොකද තිලකේ මාමා එක ලියද්දක් පෙරලද්දි මේ යෝධයා ලියදි තුනක් පෙරලලා.. තරගෙට වැඩ. ඒ වුනාට තිලකේ මාමාගේ වැඩ පිළිවෙලයි. දැත්ත බැඳලා දැත්ත ගාලා පොඩි වක්කඩයකුත් තියලා ඒකේ හැඩ බලනවා...හෙල්මලූ වලට හද වැටුනම බලන්න බෑ ලස්සන... ඕං අද සිංහල උදැල්ල..කණ කොකා ... පුරන් පෙරලීම..මඩිය කෙටීම ඉගෙනගත්තා... ගිහිං එන්නම්...ආයේ හම්බවෙමු.... .