බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, April 20, 2019

ඡන්දේ 01 කොටස

අවුරුද්දට ගමේ ගියා.

“ආ චූටියත් ඇවිත් ඉන්නේ. අදනම් මොනා හරි කරතෑකි.”

“චූටියා ගෙනාපුවා නෑ ගෙදර?”

ඔහොම තමයි ගමේ එවුන් අපිව පිළිගන්නේ.

ගමේ ඇට්ටිම්බෙන් ජංගි කෑලි ඇඳගෙන හිටිය පොඩි කෙල්ලන්ගේ සයිස් යකෝ. සමහර උන් ලොකු ලොකු ජොබ්ස් වල. සමහර උන් කොළඹ.

“ගමන බිමන කතාව දැන් හරි අමුතු වෙලා. ගමන බිමන කතාව දැන් හරි අමුතු වෙලා.”

“උයා අදද ආවේ?”

“අනී අරි ෂෝයි”

“කාල් එකක් ගන්ඩ තියෙනවා. චූට්ටක් සොරි”

“උයාට ලාෂ්සන මල් ගවුමක් ගෙනාවා”

“අලි..අලි..අලි..අලි....”

“කාර්රෙකක් ගන්ඩ ඉන්නේ හස්බන් රට ඉඳං ආවම”

“අම්මලා එහේ ගිහිං ඉන්නෑ අනේ. බාත්රූම් එහෙම එයාලට පුරුදු නෑනේ”

“අපේ ඔෆිස්සෙක කලම්බු වල වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් වල තියෙන්නේ චූටි අයියා තර්ටි ෆයිව් ෆ්ලෝ ”

හාලිඇල්ල ටවුම තාම එහෙම්මයි. නුවරඑළිය බස් ස්ටෑන්නෙක ගාව සුම්රා මුදලාලි මැරුණට පස්සේ කඩේ අබාවෙටම ගිහිං. දැන් ඒක වෙන කවුදෝ කරන්නේ. එතනට එහා පැත්තේ පාරිස්ගේ මස් කඩේ. බිත්තර වරපු කුකුල්ලු පණ පිටින් ගෙනල්ලා කූඩුවල දාලා ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා කුකුලා දිහාට ඔහෙක් කරලා බෙල්ල දික් කරලා පෙන්නුවාම පාරිස් කුකුලෙක් අරං පිටිපස්සට යනවා. කුකුලා කෑ ගහන සද්දෙ ඇහෙනවා. විනාඩි විස්සකින් විතර මස් බෑක්කෙකක් උස්සන් ඇවිත් දීලා සල්ලි ගන්නවා. මේ ගැන හාන්කවිසියක්වත් නොදන්න අනික් කුකුල්ලු සතුටින් තමන්ගේ ජීවිතේ අන්තිම හෝරා කීපය ගත කරනවා . ඉර අවරට යන්න කලින් සේරම කුකුල්ලු ටික තමන්ට අයිති ලෝක වලට නික්මෙනවා.
මොන ලෝකද? අපේ සිංහල මුනියගේ බඩට තමයි.
හරක් මස් කඩේ තියෙන්නේ හාලිඇල්ලෙන් නුවර එළිය පාරේ මීටර් 500ක් ගියාම පාරෙන් පැල්ලැහැ.

“යෙපිලා අරකා මරනවා තමයි මල්ලී. යෙපිට අරකා ගෙනත් දෙන්නෙත් යපිලගෙන් මෂ් ගොඩ ගොඩ ගෙනියන්නෙත් ෂිංගල මුනියා තමයි.”

ඒ මස් කඩේ මුදලාලි..

බාර්නම් හතරක් තියෙනවා. හතරෙම සෙනඟ පිරිලා. දෙකක් බණ්ඩාරවෙල පාරේ. එකක් මහජන බැංකුව ගාව. අනික බදුල්ල පාරේ.බාර් ඇතුලේ බොන්ඩ තහනම් වුනාට හැම බාර්රෙකකම සෙනඟ පිරිලා බෝතල් කඩාගෙන බොනවා. දෙමලු බෝතල් රා තමයි බොන්නේ.ඇම්බැස්ටර් කියන්නේ ඒවට. බීලා කචල්. සක්කිලි පඩි ගත්තා වගේ චක චකේ. හාලිඇල්ලේ පොලීසියේ අයත් මේවා නොදැක්කා වගේ යන්නේ බාර් හතරෙන් හවසට බෝතල් හතරක් පොලීසියට වඩින නිසා තමයි. මේ බාර් වලින් ජනප්‍රියම බාර්රෙක බණ්ඩාරවෙල පාරේ ප්‍රියන්තයගේ බාර් එක. ඒක ප්‍රියන්තයගේ නෙවෙයි ආය. ප්‍රියන්තයා ඒකේ වැඩ. ගමේ එවුන්ගේ කටේ ප්‍රියන්තයා. ප්‍රියන්තයා කරන්නෙත් ගමේ එවුන් සල්ලි දීලා ගන්න බෝතලෙන් වීදුරුවක් කටේ හලාගන්න එක.
මහා හුලඟක් ආවා. ගස්වල කොල බිමට පතනය වුනා. අහස අඳුරු වුනා. මහා වැස්සක් ඇද වැටුණා. දූවිලි වලට වැහි ගෙඩි වැටිලා ඒ සුවඳින් ගම පිරිලා ගියා. වැස්සට අවුරුද්ද සේදිලා ගියා.
මම ලියපු බෝතල් අවුරුද්ද  බලහල්ලා..

...............................................................................................

“ඊයේ රෑ පාල්ලිමේන්තුව විසුරොලාලු”

ආච්චි තමයි ඔය පණිවිඩේ අරං එන්නේ. අපේ ගෙදර රේඩුවෙක කැඩිලා කන්දෙගෙදර අයියට හදන්ඩ දීලත් සෑහෙන්ඩ කල්. කන්දෙගෙදර අයියා ඒක කන්දෙගෙදරට ගෙනියලාලු. මොකද්දෝ කෑල්ලක් පිච්චිලාලු. ඇයි ඉතිං ඕක ගෙනාපු දවසෙ ඉඳං ලොක්කයියගේ වැඩේ අම්මා නැති වෙලාවට මැකෑනික් වැඩේ. රේඩුවෙක කෑලි කෑලි වලට මස් කරනවා. අන්තිමට කෑලි දෙක තුනක් තිබිච්ච තැන් අමතකයි. ආය හොය හොය හයි කරනවා. ඒත් කෑලි ඉතුරුයි. මමනම් කරන්නේ රේඩුවෙකේ ඒරියල්ලෙකේ වයර්රෙකක් බෑඳලා වහලෙන් එලියට දාලා එතනිමුත් අඹ ගහට දාලා අලුත් රේඩියෝ චැනල්ලෙකක් හොයාගන්න එක.

“සමස්ත ඉන්දීය ගුවන්විදුලියේ සිංහල සේවය”

“වෙරිටාස්”
ඔය මං හොයාගත්ත රේඩියෝ චැනල් තමයි.

“එතකොට බල්බ්බෙක ටෙලිපෝන්නෙක හොයාගත්තේ කවුද? “

“එඩිසන්”

“එතකොට වෙරිටාස් හොයාගත්තේ කවුද?”

“චූටියා”

චොරෝස්...සොරෝස්.. චොර..චොරෝස්..

මිඩ්ල් වේව්ස්.. සෝට් වේව්ස්.. පැහැදිලි නෑ.. ඒ කාලේ එෆ්.එම් තිබ්බ එකක්යැ.

“මෙලෝ දෙයක් අහගන්ඩ නෑනේ මුන් එකතු වෙලා රේඩුවෙක කාලා. දැන් ඡන්ද කාලේ රේඩුවෙක නැතුං පුලුවන්ද? මං අර මිනිහට වැඳලා හරි රේඩුවෙක ගේනවා. එකෙක්කත් අල්ලලා තිබ්බොත් තලනවා ඇඟිලි..”

“මැම්බරයත් ඇට දෙක හොල්ල හොල්ල උඩහට පල්ලැහැට යන්නේ. මෙදා පාර දිනන්ඩ වෙන්ඩ ඇති. දිනයි රෙද්ද? කර උඩ තියාගෙන දේසපාලනේ කරන්නේ. පුක කහගන්ඩ නියපොත්ත නෑ”

දැන් තමයි ගම දෙකට බෙදෙන්නේ. ශ්‍රී ලංකා..යූ ඇම් පී..

එතකොට ජේවීපී.

එහෙම එවුන් එකෙක්කත් මේ ගමේ නෑ. ඔය අකුරු තුන කියනකොට සමහර මිනිස්සු වෙව්ලනවා.
ඔන්න මාලු ඇන්ටිත් කහ කහ අපේ ගෙදර පඩිපෙල දිගේ පැල්ලැහැට දොක්කනවා.
ඔය ගෑණි මොනාට ඔච්චර කහනවද මංදා.

“ඔහේ දන්නවැයි? ඔහේ දන්නවැයි. ඊයේ රෑ විසුරොලාලු”

“ඔවු දැන් පැල්ලැහැ ගෙදර උන්දෑ කිව්වේ”

මාලු ඇන්ටි බෙන්තර ගඟෙන් එහා. වාග් විලාශය හරි අමුතුයි. ඔහේ..කෑවැයි.. ගියැයි..

“ඇන්ටි මේ සතියේ සිත්තර සත්සිරි ගෙනාවද? ටෝගට මොනා වෙලාද දන්නෑ”

“පලයව් යන්න මං කියලා තියෙනවා නේද මහ මිනිස්සුන්ගේ කතා මැදට පනින්න කුස්සියට එන්න එපා කියලා.”

අපි ඉතිං පිලිකන්නට ගිහිං මාලු ඇන්ටිගෙයි අම්මගෙයි දේශපාලන කතාවට කන් දීගෙන ඉන්නවා.

“රෝහන මහත්තයවයි වි.ජ.මුයි ගෙනල්ලා මීටිමක් තියමු. අපේ ගෙදර තියන්ඩ බැරියැ ගියපාර වගේ. “ මාලු ඇන්ටි මේ පාරත් ජයටම වැඩ කරන්ඩ වගේ හදන්නේ.

අපි යූ.ඇම්.පී.
ඇති ඡන්දෙකුත් නෑ. තොපිට මොන දේසපාලනේද?
කැපුවත් කොල.
ඉතිං පොඩි කාලේ ඉදං ඇහිලා තියෙන්නේ..
අලියා..කොල පාට.. ජේ ආර්.. පේමදාස..ඩඩ්ලි.. ඩී.ඇස්.. ලලිත්..ගාමිණී ..වි.ජ.මු....
විජ්ජාවෙන් ජනතාව මුලා කරන්නා. සංස්කෘතික..බුද්ධශාසන..අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති.. සුදුස්සාට සුදුසු තැන..
අපේ ගෙදෙට්ට අවුරුද්දට ලිතක්.. ජාතක කතා පොත්.. සාහිත්‍ය පොත් තැපෑලෙන් එවන්නේ වි.ජ.මු.

ආච්චි මහ ඉහලින් කතා කරන්නේ වි.ජ.මු  ගැන.

පර්සි සමරවීර.. අබේකොන් මහත්තයා.. රෝහණ මහත්තයා.. සමරවීර වීරවන්නි. බිංදු මහත්තයා..
උක්කුං..සමීර.. සමන්ත උමුත් යූ ඇම් පී.. සිසිර සර්..ප්‍රින්සිපල්..ලලිතා ටීච යූ ඇම් පී..
ධම්මිකා ටීච.. ගිත්මා ටීචනම් ශ්‍රිලංකා වගේ.. ගුණසේකර සර් චේගුවේරා කාරයෙක් වගේ..

මැම්බර් මාමා ..පැල්ලැහැ අප්පුහාමි මාමා..කුඹුරෙගෙදර මාමා..ගුණතිලක මාමා ශ්‍රී ලංකා..ඇයි අපේ කලුබංඩේ බාප්පා ශ්‍රි ලංකා.. ඒ මිනිහා කොහොමත් ලවක් දෙවක් නැති එකානේ.. අපේ පරම්පරාවේ අනිත් ඔක්කොම යූ.ඇම්.පී.

“අම්මා ඉස්සෙල්ලාම අලියා ඉස්සරහ කතිරේ ගහන්ඩ. පස්සේ නමය ඉස්සරහා කතිරේ ගහන්ඩ. නමය වි.ජ.මු” බාප්පා ආච්චිට කියා දෙනවා.

“මූද හත්ගව්වක් තියාගෙන අමුඩේ ගහනවා. වි.ජ.මුගේ අංකේ නමය කියලා කොහොමද දන්නේ. තාම ඡන්ද කොල ඇවිල්ලවත් නෑනේ”

“ඒ මිනිහා හැමදාම නමය තමයි. බදුල්ලේ වැඩිම මනාප”

“ආයුබෝවන් මේ ඔබ අමතන්නේ එස්සච් ජාචික පස්සයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රචාරක අංශයයි”

උඩ කන්දෙන් ඇටම්පිටිය ගලබොඩැල්ල කින්ග්රෝස් වත්ත හරහා ලව්ස්පීකරේ එනකොට අපි පාරට දුවන්නේ ඔවුවයෙන් විසි කරලා යන කොල අහුලන්න. දින දර්ශන ලිත් එහෙමත් විසි කරලා යනවනේ. ඔවුවා විසි කරාම සමහර විට අහුලගන්න පාර දිගේ හැතැප්ම බාගයක් විතර දුවන්ඩත් සිද්ද වෙනවා. ඇයි ඉතිං හුලංපාරට පාර දිගේ කොලත් ඇදි ඇදි යනවනේ. ශ්‍රී ලංකා එකේ ලව්ස්පීකර් යද්දි අපි පාර පැත්ත පලාතේ යන්නෑ. ශ්‍රී ලංකා එකේ ලිතක් කොලයක් දැක්ක තැන “ජරාස්” ගාලා ඉරලා දාන එක තමයි ඉතිං කරන්නේ.

හදිසියේවත් ලව්ස්පීකරෙන් කොල විසිකරගෙන නොගියොත් ඒකේ යන උන්ගේ අම්මා මුත්තලත් මතක් කරනවා ඉතිං.

“නොදකින්. පාරට දුවන් ආපු එකටත් පාඩුයි.”

ඔය දැන් මහින්ද මහත්තයා එක්ක අපේක්ෂකයෝ පෝස්ටර් ගහනවා වගේ තමයි ඒ කාලෙත්. ලොකුවට ප්‍රේමදාස මහත්තයා. පොඩියට අපේක්ෂකයා. අලියා ප්‍රේමදාස මහත්තයගේ. ඉලක්කම අපේක්ෂකයගේ. අපිට හිතුනේ ඔහොමයි.
ඔය විසිකරලා යන කොල..ලිත්..පොත්..දින දර්ශන ඔක්කොම අපි එකතු කරනවා. තරඟෙට වගේ. හැබැයි කොලපාට වෙන්ඩ ඕනි. නැත්තං අලියා ඉන්ඩ ඕනි. නැත්තම් ඉතිං ජරාස්-බරාස්... ඔව්වයෙන් වෑහෙන තීන්ත සුවඳ.. ෂාහ්..

“ඔන්න රේඩුවෙක ගෙනාවා. එකෙක්කත් අල්ලන්නෑ”

අද ඉඳං ඉතිං අම්මා දාන එවුවා තමයි අහන්ඩ ඕනි. ඒ කාලේ ආණ්ඩුවේ චැනල් විතරයිනේ තිබ්බේ. උන් කියනවා අපි අහනවා. පාලු ගෙයි වළං බිඳිනවා.

“ඇන් ඇම්ට පුලුවන්ද..ඇම්බෙට්ට පෙරලන්න..ඇන් ඇම්ට පුලුවන්ද ඇම්බෙට්ට පෙරලන්න.. ටීක්..ටීක්..ටීක්.. ටූක්..
වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. ප්‍රකාශය චිත්‍රා කුමාරි වාකිෂ්ට. “

ඉතිං පටන්ගත්ත වෙලේ ඉඳං තිබ්බ ආණ්ඩුවේ ගුණ වන්දනාව. මහවැලිය.. විවෘත ආර්තිකේ.. විදුලිය දීපු ඒවා .. දිළිඳු සහන දෙන ඒවා.. ප්‍රේමදාස මහත්තයගේ වේගවත් කතා.. හැත්තෑව හැත්ත හත කාලේ මිනිස්සු දුක් විඳපුවා. ජේ ආර්ගේ කෙටි කතා.. අපේ රේඩුවෙකෙන් තනි අලියෙක් මතු වෙලා ගාම්භීරව හිටගෙන ඉන්නවා වගේ. අම්මා කුස්සියේ ඉඳං ඇවිල්ලා රේඩුවෙක ගාව රේඩුවෙක දිහා බලාගෙන ප්‍රවෘත්ති අහනවා. රේඩුවෙකේ රූප පේන එකක්යැ. ප්‍රේමදාස මහත්තයා කියන විහිලු කතා වලට හිනා වෙනවා. රේඩුවෙකේ සද්දේ අප්පුහාමි මාමලගේ ගෙවල් පැත්තට ඇහෙන්න තරම් වැඩි කරනවා. අප්පුහාමි මාමා තනි ශ්‍රී ලංකා කාරයනේ. ශ්‍රී ලංකා කාරයොන්ට රේඩුවෙකෙන් එක දශමයක වෙලාවක්කත් වෙන් වෙන්නේ නෑ. සමාජ අසාධාරණය.

(ඉතුරු කොටහ ලබන ඉරිදා)