බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Thursday, September 10, 2015

ගොඩේ කෑම අන්තර්ජාලයට...කලූ අල කොල ...



මේ සාරභූමියේ හැම දළු කොලයක්ම රසවත් අහර නෙවෙයිද? අල කොල මාළුව උයමු පුංචි ජනකතාවක් රහ බලලම..............

ඔන්න එක ගමක හිටියා රන්හාමි කියලා මනුස්සයෙක්. එයාගෙ අඹු සිඟිත්ත බොහොම හැඩ වැඩයි. ලමයි දෙන්නෙක් හිටියත් තාම තරුණයි. (යකෝ මේකි දණගාන කාලෙද කොයිද ගස් බැඳල තියෙන්නෙ, හැක් හැක්) අසල්වාසියේ හිටියා කළු මැණිකා කියල මැදිවියේ ගෑණු කෙනෙක්. කළු මැණිකා නමට ගැලපෙන විදිහටම කළුයි. වගේම කිසි හැඩ වැඩක් ඇති ගෑණුකෙනෙක් නෙමේ. ඒත් මේ රන්හාමි ඔය කියන කළු මැණිකෙ එක්ක හාද කමක් පැවැත්වුව..

ටික කාලයක් යනකොට මේ දෙන්නාගේ සම්බන්ධය ගමේම ප්රසිද්ධ රහසක් වුනා. ඒත් මේ පවුල් දෙක අතර අඬ දබරයක් නම් ඇති වුනේ නෑ. වගේම රන්හාමිගේ භාර්ය්යාවත් කළු මැණිකෙත් හිටියේ බොහොම කුළුපගවයි.

දවසක් මේ දෙන්නා දර බිඳින්ට ගිහින් එනකොට වෙල් අල කොළ නෙළා ගෙන ආව... එදා රෑට මේ ගෙවල් දෙකේම වෙල් අලකොල ඇඹුල හැදුවා.

රෑ 8 විතර වෙනකොට රන්හාමි රා ටිකක් හෙම බී ගෙන ගෙදර ආව. (ඕං ආදර්සෙට ගන්ට ඕනෙ චරිතයක්. සුද්දගෙ මෙව්ව බොන්නෙ නැතුව අපේ රටේ දේ බොන්නෙ. සීයට කීයක්ද මන්ද ඔව්වත් ලාංකිකයි) ඉදිලා තියෙනවනම් ගනින්කො කන්ට කියලා බිරියට කීව. බත් බෙදල අල කොල ඇඹුලයි අනික් මාළුපිණියි එක්ක ගෙනත් දුන්න. මොනවද යකෝ මේ උයල තියෙන්නෙ ? අලකොල ඇඹුලක්ද ? හබරල කොල ඇඹුලක්ද ? බලපං මේව කටකින් කන්ට පුළුවන්ද ? ලුණු ටිකක් නෑ ඇඹුල් ටිකක් නෑ. කිය කියා බත් පිඟානත් පැත්තකින් තියල බිරියට බයින්න පටං ගත්තා.

බේරෙන්ට බැරි තැන කීව කෑ නොගහ ඔහොම හිටපල්ල. මම කළු මැණිකෙලෑ ගෙදර ගිහිං එහෙං අල කොල ඇඹුල් ටිකක් ගෙනත් දෙන්නම්. කලු මැණිකත් අල කොල ඇඹුල හදනවා කිව්ව කියල.

කතාවට රන්හාමි එකඟතාවයක් දැක්වුවා. එයාගේ බිරිය පීරිසියකුත් අරගෙන අල කොල ඇඹුල් ගෙනෙන්ට යන්න පිටත් වුනා. වටපිට බැළුවා. කවුරුත් පේන්ට නෑ. හෙමින් සැරේ ලඟ තිබුණු හරක් ගාලට රිංගුවා. වෙලාවෙම දමාපු ගොම ටිකක් පීරිසියට දමා ගෙන ඇවිත් රන්හාමිට දුන්නා. (බෝම ගුණ යහපත් බිරිඳක් නොවැ ) ඕන් මේවා කාලා බලපල්ලාකො කියලා.

රන්හාමි කළු මැණිකා උයාපු අල කොල ඇඹුල කියලා හිතාගෙන අර පීරිසියේ තිබුණ ගොම ටික බත් පතට හලාගෙන ඒවත් එක්ක බත් කන ගමන් ඕං උඹත් ඉගෙන ගනින් මෙහෙම අල කොල ඇඹුල් හදන්ට. ලුනු මිරිස් ඇඹුල් පදමට දාල. අනික මේ අලකොල ඇඹුල උණු උණුවේ තියෙනව. උඹ උයපු එක අයිස් දමලා වගේ සීතල. මෙහෙම උයලා තියෙනවා නම් බත් පිඟන් දෙකක් කන්ට බැරියෑ. කිය කියා කළු මැණිකෙගෙ අල කොල ඇඹුලත් එක්ක කෑදර කමට බත් පිඟානම කෑව...

----------------------------------------------------------------------------------------------

ඔය වෙල් අයින්වල බඩවැටි නියරවල් උඩ ඇල දොල ගං කොන් වල ඕනි තරම් කළු අලකොල. වැරදිල කෑවොත් සුදු එක...උගුර කහනවා හොඳටම...මමත් ගෙදර සිටි දිනවල...ඉව්වා තනියෙන් අලකොල..මෙහෙමයි උයන්නේ සුමිතුර.................

ඕනි දේවල්

1. කළු අල කොල මිටියක් (අලකොල ගොබ හා අළුතම දිගහැරෙමින් ඇති දළු දණ්ඩ සහිතව ගන්න)

2. ගොරකා බික් හතරක්

3. අමු මිරිස් කරල් තුනක්

4. රතු ළූණු ගෙඩි හතරක්

5. දිය ලුණු අවශ් පමණ

6. වියලි මිරිස් කරල් හතරක්

7. පොල්තෙල් අවශ් පමණ

හදන හැටි

අල කොල කපා ගෙනැවිත් දින දෙකක් කිරි බැස හං වෙන්නට ඉඩ හරින්න..අල කොල හොඳින් සෝදා වතුර බේරාගෙන කැබලි වලට දඬුද සමගින් කපාගන්න. එයට ගොරකා අමුමිරිස් රතුළූණු සහ ලුණු පදමට දමා වතුර ස්වල්පයක් දමා ලිප තබන්න. තැම්බීගෙන එන විට හැන්දකින් හොඳට හැඳිගාන්න.(අළුත හෙලූ ගොම තලියක් වගේ) දැන් ලුණූ ඇඹුල් බලන්න...ඇඹුල් මදිනම් ගැටදොඩම් (ඇඹූල් දොඩම්) ඉස්මත් එක්කරන්න. දැං තෙල් ලිප තබා මිරිස්කරල් කඩා එයට දමා පදම දැනෙද්දී තෙම්පරාදු කරගන්න.

(රජ සමයේ රාජ භෝජන වලටත් කළු අල කොල ඇඹුල අනිවාර්යයෙන් අඩංගු විය)


අපි ඔක්කොම එක යායක...........


ඇයි කොළඹ යන්නේ? 

මෙහේ ඉඳලා වගතුවක් වෙන් නෑ...ගෝවා කොටුවෙමුත් පාඩුයි...බාස් කෙනෙක් ගාව අත් වැඩ දෙනවා ඊට හොඳයි... 

අනේ උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ....

ඔය අපේ ගමෙන් දිගටම පුනරුච්චාරණය වන වචන පේලියක්.. 

ගමේ මිනිස්සු අහිංසකයි....දුප්පත්...පෝසත් අයට පෝසත් කියලා අභිමානයෙන් කියන්න පුලූවන් වගේම දුප්පත් අපිට දුප්පත් කියලත් අභිමානයෙන් කියන්න පුලූවන්...හා හා වැඩේ පටන් ගමු .. ඉතිං අද මං කියන්න යන්නේ බිත්තර වී ගැන... වී කියන්නේ බීජයක්.. උද්භිද විද්යාවෙදි ඔරයිසා සැටයිවා කියන්නේ.. බීජ කියන්නේ කාලතරණ ඒකකයක්නේ.. බිත්තර වී කියන්නේ ගොයම් පැල ලබා ගන්න ලබා ගන්නා බීජ.. විශේෂයෙන්ම අපේ ගම් වලනම් බිත්තර වී තමාම හදාගන්න එක තමයි කරන්නේ.. තිලකේ මාමා කරන්නේ රන් වන් වෙච්ච තම යායේ හොඳම ලියදි කීපය තෝරලා බිත්තර වී සකසාගන්න එක.. වී තැවුනොත් බිත්තර වී වලට ගන්න බෑ... ඒ නිසා කැපූ සැනින් ගොයම් ටික ගසාගෙන වියලලා වෙනම උරයක දාලා පරිස්සමින් අරං තියනවා... පස්සෙන් පහු වී පැල කරන කාලේ ලණු ගෝනියකට :ඉස්සර පී්‍රමා පිටි ආපු ගෝනි - වී ටික දාලා කට බැඳලා ඇලේ දවසක් විතර ගිල්වලා තියලා කලූවර කාමරේක තිබ්බම වී ටික පැලවෙනවා...මුල් ඇදෙනවා මොටියොත් යන්තන් ඇදෙනවා... ඉර එලිය නැති නිසා ප්‍රභාසංස්ලේෂණය කරන්නේ නෑ.. ඉතිං මේවා තමයි තවානට ඉහන්නේ.. මෙහේ වපුරන්නේ නෑ .. වී තවානක් දාලා ගලවලා තමයි හිටවන්නේ.. හෙල් මලූ වල කොහොමද වපුරන්නේ..? ගිහුන් එන්නන් .. මාව දිරිමත් කරලා පණිවිඩ එවපු හැමෝටම ස්තුතියි...