බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, September 12, 2015

අපි මඩවනවා ... එනවද ?


අදත් කතාවක් ලියන්න ප්‍රස්තූතයක් හොයලා අංජනමක් යවද්දී තමයි ධනසිරි අයියව මතක් වුනේ. කේක් එකක් වුනත් ලස්සන අයිසිං ටිකක් දැම්මමනේ. ධනසිරි අයියා අපේ කලුමැණිකේ නැන්දාගේ පුතා. ඔය මැණිකෙලා බණ්ඩලා නේ මෙහේ ඉන්න තරමක් ඉන්නේ. අපේ තාත්තගේ පවුලේ පිරිමි 8 දෙනාම බණ්ඩලා. අපේ තාත්තත් කිරිබණ්ඩා. බාප්පා කලුබණඩා. ලොකු තාත්තා සුදු බණඩා...උක්කු බණඩා..හිං බණ්ඩා ... බණ්ඩා...බණ්ඩා..බණ්ඩා ...මැණිකා...මැණිකා.. මැණිකා...ගමම එහෙමයි.. 

ඉතිං නැන්දාගෙන් පොඩි කාලෙම ඉල්ලගෙන ඇවිත් ධනසිරි අයියව හදාගත්තේ අපේ තාත්තා.. ඉගෙනගෙන නම් නෑ.. කැලෑ පැනලා.. කැලෑ පනින එක ඉස්සරහ කතාවකදි ලියන්නම්.. ඉතිං කරදඬු උස් මහත වුනාම ධනසිරි අයියා එක එක කුලී රස්සා වලට යනවා. මිනිහා හොඳ වැඩ කාරයා. ඉතිං කුඹුරු වලට වතුර බැඳෙන කාලේ ඉඳං ගමේ ගොවියෝ ධනසිරි අයියව හොයාගෙන එනවා. ඇඩ්වාන්ස් දෙන්න.. තමන්ගේ කුඹුර කොටවගන්න. ඉතිං ධනසිරි අයියත් අර එන හැම ගොවියගෙන්ම ඇඩ්වාන්ස් ගන්නවා.. ඒ දවස්වල සුද්දා වගේ.. කනවා .. බොනවා..චිත්‍රපටි බලන්න යනවා..බදුල්ලේ රෙක්ස් ..කිංග්ස්..මොඩර්න්..හෝල් වල විතරක් නෙවෙයි බණ්ඩාරවෙල එත්විල්..සීගිරි හෝල් වලත් පැල් බැඳගෙන මිනිහා... ඒත් කුඹුරු කොටන කාලේ උදේට ගොවියන්ට මිනිහව හොයන්නනම් අංජනම් යවන්න වෙනවා...

“පුතේ ධනසිරි ඉන්නවද?“

“නෑනේ මාමේ කුඹුරක් කොටන්න ගියා“

“අද මගේ කොටන්නනේ එනවා කිව්වේ“

ඒ වෙද්දිත් ධනසිරි අයියා ගෙයි මේසේ යට හැංගිලා..

තව දවසක් උදේක පුංචිබණ්ඩෙ මාමාගේ අතටම මිනිහා අහු වුණා.

“ආ මාමා අද ෂුවර් එකටම එනවා.. මේ උදැල්ලත් අරන් කුඹුරට යන්කෝ .. මම එන්නම්“

ඉතිං පුංචිබණ්ඩෙ මාමාගේ හිතේ විශ්වාසයේ වස්තුබීජය පැල කරගන්න උදැල්ලත් අතට දුන්නට කුඹුරට ගිහිල්ලා වරුවක් බලන් හිටියත් ඒ බලාපොරොත්තුව මායාවක් වෙනවා..

ධනසිරි අයියා ජැන්ඩියට ඇඳන් පිචර් එකක් බලන්න ගියා..

ඒත් ඊගාව කන්නෙත් ගොවියෝ මිනිහවම හොයං එනවා...අනේ මංදා ...


ඔන්න අද මම කියන්න යන්නේ ගොයම් මැඩවුම.. කෝපත්ත (කොලපත)..පැට්‍රෝල් මැක්ස්...ගොම්-පස් ගැන...

ඔය කුඹුරින් කපාගන්න ගොයම් වලින් වී වෙන්කරගන්න ක්‍රම දෙකක් මෙහේ පාවිච්චි කරනවා..කමත මැද්දේ ලොකු ගල්ගෙඩි දෙක තුනක් තියාගෙන ගොයම් ගහන එක එකක් ... අනිත් එක මී හරක් බානක් දාලා මඩවන එක... ඔය එක එක මැෂින් තාම මෙහේට ඇවිත් නැත්තේ භූ විෂමතාව නිසා .. මැෂින් දාන්න බෑ .. අනේ ඒක හොඳයි...

මඩවන්න කලින් ගොවියෝ අපිව හොයාගෙන එනවා ... අම්මගෙන් අවසර ගන්න ...අම්මා තමයි ගෘහ මූලිකයා.. මොකද අපේ තාත්තා නෑ.. මට අවුරුදු හයක් වෙද්දි අපේ තාත්තා අඩි හයක් පොලොව යට....

“නැන්දා මේ හෙට රෑට මඩවනවා.. අනිද්දා ඉස්කෝලේ නිවාඩු නිසා මල්ලිලා ටික කමතට .....“

“හා පුතේ ඕක මොකක්ද?“ 

අපේ ඉහේ මල් පිපිලා .... හෙට රෑ වෙනකන් මී හරක් එක්ක බැඳිච්ච එක එක මායාමය හීන හිතේ මැවෙනවා ....

රෑට කමත එළිය කරන්නේ පැට්‍රෝල් මැක්ස් එක ... හුලං ගහලා පීඩනය ඔස්සේ දාහ්‍ය ද්‍රව්‍යයට(මැන්ටලේට) ලාම්පුතෙල් (පැට්‍රෝල් මැක්ස් වුනාට දාන්නේ ලාම්පු තෙල්) විදිමින් දීප්තිමත් එළීයක් ලබා දෙනවා ඔය පැට්‍රෝල් මැක්ස් එක.. ලන්තෑරුම් දෙක තුනකුත් එල්ලනවා කමත වටේට... මී හරක් ඊට කලින් දවසේ ගෙනැල්ලා නාවලා කවලා පොවලා දිගේලි කරලා තියනවා.. ඊගාව දවසේ වැඩ ගන්න එපැයි..මී හරක් ගේන්නේ කුලියට..

ඉතිං මී හරක් හවස පහ විතර වෙද්දි යා කරනවා ... ඒ කියන්නේ ඒ දෙන්නගේ බෙලි දෙකට සෙට් වෙන ලීයෙන් කරපු උපකරණයකින් දෙන්නගෙම බෙලි දෙක යා කරලා ගැට ගහනවා ... දෙන්නව Select කරලා Group කරා කියලා හිතන්නකෝ තේරෙන්නැත්තන්... දැන් දෙන්නවම එකට ආම්බාන් කරන්න පුලුවන්....තුන්බානක් නම් එහෙමයි..හතරබානත් දානවා කුඹුර ලොකු වුනොත් ... මෙහෙනම් බානක් ඇති ...

දැන් කමතට වැඳලා තිලකේ මාමා ගොයම් කොලෙන් ගත්ත ගොයම් (ප්‍රමාණය එයා දන්නවා) කමත මැද්දට දානවා. දැන් මී හරක් බාන මැඩවුමට ගොඩ කරනවා.. අනිච්ඡානුග ක්‍රියාවක් වගේ මී හරක් බාන වටේ කැරකෙනවා...ගොයම පාගනවා..අපිට තියෙන්නේ බොර කෝට්ටෙන් තල තල මඩවන්න..මී හරක් පස්සේ අපිත් කිලෝමීටර් ගානක් ඇවිදිනවා..රෑ දොලහ එක වෙනකන්.. දැන් මී හරක් මඩවන ගමන් ගොම (ගොම්පස්) අරං දාන කාර්යත් අපිට පැවරෙනවා.. ගොම්පස් දාන්න කලින් මී හරකා වලිගේ උස්සනකොට “හෝව් ගොම්පස්“ කියපු ගමන් දෙන්නම නවතිනවා.(Group කරලනේ)... ටක් ගාලා කෝපත්ත (පුවක් ගහෙන් බිම වැටෙන කොලපතෙන් සකසාගත්) අරන් පස්ස පැත්තට අල්ලලා ගොම්පස් ටික අරන් කමත් ගැට්ටෙන් එහාට දානවා... මුත්‍රානම් මඩවන ගමන් මැඩවුමටම දානවා...ඕවත් අරං දාපල්ලකෝ...හිහ්.. 

මැඩවෙන ගොයම් මඩවන ගමන් උකුණු දැත්තෙන් බේරලා කමතෙන් එහාට දාන ගමන් අලුතින් ගොයම් ගොයම් කොලයෙන් මැඩවුමට දානවා. 

රෑ දොලහ වෙද්දි අපේ රාජකාරි හමාරයි. සීතලේ ගැහි ගැහී කලුවරේ අත පත ගගා ගෙදර ඇවිත් බුදියගන්නවා.. අම්මෝ ඇඟ කහනවා ... පහුවදා පස්ස පැත්තට අව්ව වැටෙනකම් අපි නිදි .... ගිහිං එන්නම් ... තවත් රසවත් කතාවක් අරං.......



1 comment:

  1. මඩවනවා කිව්වට බං කොළ මඩින එක ගැන නෙව ලියල තියෙන්නෙ ?

    ReplyDelete