බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස
බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම
Tuesday, October 6, 2015
ඕප-දූප ....
ඔන්න පඩිපෙළ බැහැගෙන උඩවෙල පුංචි අපේ ගෙදෙට්ට එනවා. වෙන මොනාටද ඉතිං ඕප දූප කියවන්න තමයි. ඉතිං උඩවෙල පුංචි ඇවිල්ලා කහට එකක් හෙම බීලා බුලත් විටක් හෙම කාලා ඕප දූප දෙකතුනක් වමාර වමාර ඉන්නකොට තව කවුරු හරිත් ඇවිත් ඒ ඕපදූප වලටම එකතු වෙනවා. දැන් අලුත් ඕප දූපත් ඉතිං ඔය මාතෘකාවලට එකතු වෙලා සමහර වෙලාවට පැය ගණන් ඇදි ඇදී යනවා. අපිත් ඉතිං හිමීට හිමීට ඔය ඕපදූප අහන්න කුස්සියට සේන්දු වෙනවා.“පලයල්ලා යන්න. මම කියලා තියෙනවා නේද? ලොකු මිනිස්සුන්ගේ කතා වලට හොට දාන්න එපා කියලා.“අම්මා අපිව එළවගන්නවා. ඒත් අපිට ඔය කතා අහන්නම ඕනි නිසා පිළිකන්න පැත්තෙන් ගිහිං බිත්ති වලට කන තියාගෙන අපැහැදිලි කතා අහගෙන ඉන්නවා.“නෑ““ඔව්““කොළඹ ගිහිල්ලා එකෙක්ව අල්ලගෙන බඩත් හෝදගෙනලු ඇවිත් ඉන්නේ““නෑ...උඹට කවුද කිව්වේ““කියපු කෙනා කියන්න බෑ.. උඹ කියයි““උඹටත් විකාර.. මම යනවද ඕව කියන්න““ආ එහෙනම් දිව්රපං““ඕන්න දිවුරුවා““..............................“ඉතිං එක ඕපයක් ඉවර වුනාම තව ඕපයක්. සමහර වෙලාවට රෑ අඳුර වැටෙනකම් අපේ ගෙදර ඕපදූප මධ්‍යස්ථානය වෙනවා. මුලු ගමටම ලයිට් තිබ්බත් මහ ගෙදරට බාප්පත් එක්ක තිබ්බ ප්‍රශ්ණයක් නිසා ඔප්පු සම්බන්ධ ගැටලුවක් නිසාත් තාත්තා නැතිකම නිසා ඇතිවෙච්ච අහස උසට වූ අගහිඟ නිසාත් අපිට ලයිට් තිබ්බේ නෑ. අඳුර වැටෙනකොට කුස්සියට කුප්පි ලාම්පුවත් ගෙට චිමිනි ලාම්පුවත් පත්තු කිරීමේ වගකීම පැටවිලා තියෙන්නේ අපිට. ලාම්පු තෙල් කාඩ් එකට සමූපකාරෙන් දෙනවා. ආහාර මුද්දරෙත් එක්ක ලාම්පුතෙල් කාඩ් එකකුත් ලැබෙනවා. ආහාර මුද්දරේ රෝස පාටයි. ලාම්පුතෙල් කාඩ් එක ලා නිල් පාටයි. ඉතිං මාසේ පළවෙනිදා අපි ඔය කාඩ් දෙක අරං ගිහිං හාල් පොල් බඩුයි ලාම්පු තෙලුයි උස්සගෙන එනවා. “දිළිඳු සහන දෙපාර්තමේන්තුව“ කියලා ඔය කාඩ් එකේ ගහලා තිබ්බත් මතකයි.ඉතිං කුප්පි ලාම්පුව හදන්න කියලා තියෙන්නේ මාමයිට් බෝතලෙන්. අපිට කොයින්ද මාමයිට් බෝතල්. අපිට පහසුවෙන් සපයාගන්න පුලුවන් බෝතල් තමයි වහ බෝතලේ. වහ බෝතලේ ගැන මතක් කරාම මතක් වෙන ඇමැත්තෙක් ඉන්නවා නේද? ආං එයත් අපේ පැත්තේ. වහ බෝතලේ අරං මූඩිය ඇණයකින් විදලා තව්වක් හදා ගන්නවා. ඒකල්ලා කපු රෙද්දක් අරං කෑල්ලක් කපාගෙන කකුලේ තට්ටමේ තියලා රෝල් කරගන්නවා. පංසල් යන්න පහන් තිර රෝල් කරන්නෙත් ඔය ක්‍රමේටම තමයි. ඉතිං ඔය රොල අර තව්ව අතරින් ටිකක් උඩට යවලා තිරේ වහ කුප්පිය ඇතුලට දාලා ලාම්පුතෙල් වලින් කුප්පිය පුරෝලා හොඳට වහලා ගින්දර පත්තු කරනවා. චිමිනි ලාම්පුව පරිස්සමට අරං චිමිනිය පිහදලා තෙල් පුරවලා තිරේ උඩට අරං පත්තු කරලා චිමිනිය දාන්න ඕනි. වැරදිලාවත් චිමිනිය බින්දොත් අම්මගෙන්“වේවැල් කෝටු නාරන් සියඹලා අතු ...“ පහරවල්වල මිහිරියාව විඳගන්න පුලුවන්.ඉතිං ඔය ඕප දූප කියවෙන තව තැන් කීපයක්ම තියෙනවා අපේ ගමේ. එකක් පිහිල්ල.. පිහිල්ල කියන්නේ අපි වතුර සපයාගන්න තැනක්. පිහිලි ගොඩාක් තියෙනවා ගමේ . පිහිල්ල අයිති ගෙදරට අනුව තමයි නම වැටිලා තියෙන්නේ. බුලත්ගෙදර පිහිල්ල... හේල්ලන්දේ පිහිල්ල.. ඉස්කෝලේ මහත්තයලගේ පිහිල්ල.. පිහිල්ල කියන්නේ කන්දේ පාෂාණ වල විපරීතනයන් නිසා ඒ තැන් වලින් මතුවෙන භූගත ජලය කඳුරක් දිගේ ආවාම එතැනට ඔය උණ බටයක් හරි කිතුල් කඳක අඩක් හරි ගහලා වතුර කඳක් ලබාගන්න තැන. පිහිල්ලට ඔළුව අල්ලා නෑවාම දැනෙන සනීපෙනම් නිමක් නෑ.ඉතිං ඔය පිහිල්ලට කලගෙඩි අරං වතුර අරං යන්න එන ගෑණු ඕපදූප කියවනවා. අපේ පැත්තේ ලිං නැති නිසා “පිහිල්ල ලඟ සංගමය“ කියලා දැම්මා ඕන්.
Subscribe to:
Post Comments (Atom)
එළ. නියමයි. බොට හොඳට ලියැහැකි. මාත් ආසයි මේ ඌව පලාතෙ වග විස්තර හරියාකාරව දැනගන්න. ඔය දිළිඳු සහන දෙපාර්තමේන්තුව නෙමෙයි ‘දිළිඳු සහන කොමසාරිස්‘ කියල නේද තිවුනෙ. අර වගේම පංදමක් හැදියැකි බටලියෙං. බට කුඹලට ලාම්පුතෙල් පුරෝල. බොලයි ගම කොහෙ තියෙන්නේ?
ReplyDeleteමතක ඇතුව පලෝවර් ගැජට්ටුවක් මේකෙ දාහං.
super
ReplyDeleteGood
ReplyDeleteඅපි මෙව්වා පොඩ්ඩක් මොඩ් කරලා අරගෙන ඕ.පී.ඩී.පී. (O.P.D.P.) කියක හැඳින්නුවා :)
ReplyDelete