බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස
බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම
Saturday, December 5, 2015
Monday, November 9, 2015
වත්ත ....................
තාත්තා
නැති වුනාට පස්සේ අපි අඳුරු ළිඳක් පතුලට වැටුනා. ඔක්සිජන් නැතුං හුස්ම ගන්න අමාරුවෙන්
ඉන්නෙකාට අඳුරු ළිඳට හීන් දීප්තිමත් නළයකින් ඔක්සිජන් ජුන්ඩක් ලැබුණා. අපි යාන්තන්
හුස්ම ගත්තා... ඒ ඔක්සිජන් නළය තමයි තේ වත්ත. තේ වත්ත කියන්නේ අපේ තේ වත්ත නෙවෙයි.
සුද්දගේ වත්ත. ආණ්ඩුවේ වත්ත. සැන්ජේමිස් වත්ත.
අම්මා
කූඩයක් කරේ එල්ලගෙන වත්තේ වැඩට ගියා. අපි වැටිච්ච ළිඳට ආලෝකයක් දෙන්න. උදේම්ම
නැගිටලා රොටී උයාගෙන අපිට අලුත් බත් දීලා උන්දෑ හීල් බත් දංකුඩ කාලා අපිව ඉස්කෝලේ
යවලා සීතලේ ගැහි ගැහී වැඩට ගියා. කමලනීලා .. සරෝජනීලා ... සරස්වතීලත් එක්ක හරි
හරියට උන්දැත් දළු කඩනවා. ඉතිං ඔය තේ වත්ත අපේ ජීවිත එළිය කලේ ඔහොම.
වත්තේ
මිනිස්සු ඉන්නේ ලැයිම් වල.එහෙම නැත්තන් කෝටස් එකේ. අපේ ආච්චි ඒ දවස්වල වැඩ කලේ
පුල්ලේ කාමරේ. ඒ කියන්නේ වත්තේ ගෑණු දරුවෝ වදන කාමරේ තමයි පුල්ලේ කාමරේ කියන්නේ. ඒ
කියන්නේ අපේ ආච්චි පරණ මිඩ්-වයිෆ් නෝනා කෙනෙක්. ඔය කඳුකරේ ගම්මානවල ගෑණු දරුවෝ වදන
කාලේ ලං වුනාම අපේ ආච්චිව ඒ මිනිස්සුන්ගේ ගෙවල්වල දවස් ගනන් එක්කරං ගිහිං
තියාගන්නවා. ආච්චි එන්නේ දරුවා ලැබිලත් දවස් තුන-හතර ගියාම. ඉතිං ආච්චිත් එක්ක
වගේම ගල්වත්තේ ආච්චිත් එක්කත් අපි වත්තේ යන හින්දා අපි වත්ත ගැන ගොඩාක් දේවල්
දන්නවා.
වත්තේ
මිනිස්සු කාට නැතත් දෙවියන්ට දක්වන්නේ මහා ගෞරවයක් වගේම බයක්. ඔය සැන්ජේමිස් වත්තේ
තැන තැන ඉදිවෙච්ච ගණදෙවි රූප ඕනිතරම් තියෙනවා. ඒ වගේම වත්තේ කෝවිලෙන් වාර්ෂිකව
පවත්වනවා උත්සවයක්. ඒකට කියන්නේ රදන් කියලා. ඒ ගැන විස්තරයක් ඉදිරියේදි තියන්නම්.
ඉතිං
අම්මා හවස ගෙදර ඇවිල්ලා කකුල් කෙඩෙත්තුව හැදිලා කෙඳිරි ගාද්දි සිද්ධාර්ත තෛලය
උන්දැගේ කකුල් වල ඇතිල්ලුවේ අපි. සමහර දවස්වලට ලාම්පුතෙල් දාලාත් උන්දැගේ කකුල්
අතුල්ලන්නේ වේදනාව වැඩි වුනාම. උන්දැගේ ඇඟිලි පුරුක් කළු පැහැ ගැන්විලා තිබ්බා තේ
දළු වල කහටට. ඇඟිලි තුඩු අග පුපුරලා තිබ්බා තේ දළු සැරට. පස්සේ කාලෙක කූඩේ බර හේතුකොටගෙන
කොන්දේ කැක්කුමකුත් දායාද වුනා උන්දැට.ඒ තමයි අපේ අම්මා. ඉතිං අපේ අම්මා වැඩට
යද්දි පරණ තර්මෝස් උණුවතුර බෝතලේකට තේ කහට එකකුත් පුරවගෙන යන්නේ. වත්තෙ ගොඩක්
කට්ටිය තේ ගේන්නේ අරක්කු බෝතල් වල. ඉතින් ඔය බෝතල් වලට තේ දැම්මම පේන්නේ අරක්කු
වගේ තමයි. ඉතින් ඔය කහට අරක්කු බෝතල් ගෙනල්ලා නැවුම් තේ දල්ලක් කඩලා ඒකට
දාලා ගලක් උඩ තියල තියනවා.අව්ව වැටෙනකොට ගල රත්වෙනවා. ඉර එළියේ රස්නෙයි ගලේ
විස්තාපනය වෙන තාපෙයි එකතු වෙලා අර කහට බෝතල් උණුසුමෙන්ම තියනවා. නැවුම් තේ දල්ල
තේ කහටත් එක්ක ප්‍රතික්‍රියා කරලා අලුත් රහකුත් අර තේ එකට ලැබෙනවා. කට්ටිය සතුටින්
නැවුම් උණුසුම් තේ කෝප්පෙක රහ බලන්නේ ඔහොමයි.
අපි තියා
අපේ අහල ගම් හතකවත් මිනිස්සු කවදාවත් තේකොල සල්ලි දීලා කඩෙන් ගෙනාවෙ නෑ.. වත්තේ
ඉස්ටෝරුවෙන් තේකොල හම්බුවෙනවා. ඒවා ඉතිං සහයෝගයෙන් ඔහේ ගම්මානේ සංචරණය වෙනවා.
හදිසියේවත් නොදැනුවත්ව තේ කොල බෝතලේ හිස් වෙලා තිබ්බොත් ගෙදරදීම තේකොල හදාගන්න ක්‍රමයක්
ගමේ මිනිස්සු දන්නවා. ඒක පරිස්සමින් කරන්න ඕනි. ඔය කොයි තේ කොලේටත් වඩා රහයි.
ගුණයි. විශ්වාසයි. ඔය අපේ පැතිවල ට්‍රිප් එහෙම යන අය ඔය පාර අයිනේ තියෙන තියෙන තේ
වතු වලින් සිලි-සිලි මල්ලකට තේ දලු ටිකක් කඩලා පුරෝගෙන එන්න . කවුරුත් මොකුත්
කියන්නේ නෑ.
මෙන්න
මෙහෙමයි හදන්නේ. ලපටි තේ දලු ගෙන (බී.ඕ.පී) වංගෙඩියකට දමා කුඩුවනතුරු හොඳින්
කොටාගන්න. ඉන්පසුව කපු රෙදි කැබැල්ලක් ගෙන පොට්ටනියක් බැඳ පැය කිහිපයක් තබන්න.
එවිට කහට ගතියක් ඇතිවේ. පසුව තැටියක් ගෙන ලිප තබා මද ලා ගිනි රස්නයේ පදම දැනෙනකන් බැදගන්න. දැන් ඔබට
100% විශ්වාස සුමිහිරි තේ පානය කරන්න ලැබෙයි. කිරි සමඟ අගෙයි.. ඉතිං අත්හදා බලලා
කියන්ටකෝ. අපි අර අඳුරු ළිඳට වැටුන නිසා තමයි මේ වගේ කතා ලියවෙන්නේ. නැත්තම්
ලියන්න වෙන්නේ “අපේ තාත්තා ප්‍රාඩෝ එක හෝද හෝද ඉන්නකොට තඩි ගැරඬියෙක් එතනින්
ගියානේ“ වගේ කතා තමයි. ගිහිං
එන්නම්..............................................
Tuesday, October 6, 2015
ඕප-දූප ....
ඔන්න පඩිපෙළ බැහැගෙන උඩවෙල පුංචි අපේ ගෙදෙට්ට එනවා. වෙන
මොනාටද ඉතිං ඕප දූප කියවන්න තමයි. ඉතිං උඩවෙල පුංචි ඇවිල්ලා කහට එකක් හෙම බීලා
බුලත් විටක් හෙම කාලා ඕප දූප දෙකතුනක් වමාර වමාර ඉන්නකොට තව කවුරු හරිත් ඇවිත් ඒ
ඕපදූප වලටම එකතු වෙනවා. දැන් අලුත් ඕප දූපත් ඉතිං ඔය මාතෘකාවලට එකතු වෙලා සමහර
වෙලාවට පැය ගණන් ඇදි ඇදී යනවා. අපිත් ඉතිං හිමීට හිමීට ඔය ඕපදූප අහන්න කුස්සියට
සේන්දු වෙනවා.“පලයල්ලා යන්න. මම කියලා තියෙනවා නේද? ලොකු මිනිස්සුන්ගේ
කතා වලට හොට දාන්න එපා කියලා.“අම්මා අපිව එළවගන්නවා. ඒත් අපිට ඔය කතා අහන්නම ඕනි නිසා
පිළිකන්න පැත්තෙන් ගිහිං බිත්ති වලට කන තියාගෙන අපැහැදිලි කතා අහගෙන ඉන්නවා.“නෑ““ඔව්““කොළඹ ගිහිල්ලා එකෙක්ව අල්ලගෙන බඩත් හෝදගෙනලු ඇවිත්
ඉන්නේ““නෑ...උඹට කවුද කිව්වේ““කියපු කෙනා කියන්න බෑ.. උඹ කියයි““උඹටත් විකාර.. මම යනවද ඕව කියන්න““ආ එහෙනම් දිව්රපං““ඕන්න දිවුරුවා““..............................“ඉතිං එක
ඕපයක් ඉවර වුනාම තව ඕපයක්. සමහර වෙලාවට රෑ අඳුර වැටෙනකම් අපේ ගෙදර ඕපදූප මධ්‍යස්ථානය
වෙනවා. මුලු ගමටම ලයිට් තිබ්බත් මහ ගෙදරට බාප්පත් එක්ක තිබ්බ ප්‍රශ්ණයක් නිසා
ඔප්පු සම්බන්ධ ගැටලුවක් නිසාත් තාත්තා නැතිකම නිසා ඇතිවෙච්ච අහස උසට වූ අගහිඟ
නිසාත් අපිට ලයිට් තිබ්බේ නෑ. අඳුර වැටෙනකොට කුස්සියට කුප්පි ලාම්පුවත් ගෙට චිමිනි
ලාම්පුවත් පත්තු කිරීමේ වගකීම පැටවිලා තියෙන්නේ අපිට. ලාම්පු තෙල් කාඩ් එකට
සමූපකාරෙන් දෙනවා. ආහාර මුද්දරෙත් එක්ක ලාම්පුතෙල් කාඩ් එකකුත් ලැබෙනවා. ආහාර
මුද්දරේ රෝස පාටයි. ලාම්පුතෙල් කාඩ් එක ලා නිල් පාටයි. ඉතිං මාසේ පළවෙනිදා අපි ඔය
කාඩ් දෙක අරං ගිහිං හාල් පොල් බඩුයි ලාම්පු තෙලුයි උස්සගෙන එනවා. “දිළිඳු සහන
දෙපාර්තමේන්තුව“ කියලා ඔය කාඩ් එකේ ගහලා තිබ්බත් මතකයි.ඉතිං
කුප්පි ලාම්පුව හදන්න කියලා තියෙන්නේ මාමයිට් බෝතලෙන්. අපිට කොයින්ද මාමයිට්
බෝතල්. අපිට පහසුවෙන් සපයාගන්න පුලුවන් බෝතල් තමයි වහ බෝතලේ. වහ බෝතලේ ගැන මතක්
කරාම මතක් වෙන ඇමැත්තෙක් ඉන්නවා නේද? ආං එයත් අපේ පැත්තේ. වහ බෝතලේ අරං මූඩිය
ඇණයකින් විදලා තව්වක් හදා ගන්නවා. ඒකල්ලා කපු රෙද්දක් අරං කෑල්ලක් කපාගෙන කකුලේ
තට්ටමේ තියලා රෝල් කරගන්නවා. පංසල් යන්න පහන් තිර රෝල් කරන්නෙත් ඔය ක්‍රමේටම තමයි.
ඉතිං ඔය රොල අර තව්ව අතරින් ටිකක් උඩට යවලා තිරේ වහ කුප්පිය ඇතුලට දාලා ලාම්පුතෙල්
වලින් කුප්පිය පුරෝලා හොඳට වහලා ගින්දර පත්තු කරනවා. චිමිනි ලාම්පුව පරිස්සමට අරං
චිමිනිය පිහදලා තෙල් පුරවලා තිරේ උඩට අරං පත්තු කරලා චිමිනිය දාන්න ඕනි.
වැරදිලාවත් චිමිනිය බින්දොත් අම්මගෙන්“වේවැල්
කෝටු නාරන් සියඹලා අතු ...“ පහරවල්වල මිහිරියාව විඳගන්න පුලුවන්.ඉතිං ඔය
ඕප දූප කියවෙන තව තැන් කීපයක්ම තියෙනවා අපේ ගමේ. එකක් පිහිල්ල.. පිහිල්ල කියන්නේ
අපි වතුර සපයාගන්න තැනක්. පිහිලි ගොඩාක් තියෙනවා ගමේ . පිහිල්ල අයිති ගෙදරට අනුව
තමයි නම වැටිලා තියෙන්නේ. බුලත්ගෙදර පිහිල්ල... හේල්ලන්දේ පිහිල්ල.. ඉස්කෝලේ
මහත්තයලගේ පිහිල්ල.. පිහිල්ල කියන්නේ කන්දේ පාෂාණ වල විපරීතනයන් නිසා ඒ තැන් වලින්
මතුවෙන භූගත ජලය කඳුරක් දිගේ ආවාම එතැනට ඔය උණ බටයක් හරි කිතුල් කඳක අඩක් හරි ගහලා
වතුර කඳක් ලබාගන්න තැන. පිහිල්ලට ඔළුව අල්ලා නෑවාම දැනෙන සනීපෙනම් නිමක් නෑ.ඉතිං
ඔය පිහිල්ලට කලගෙඩි අරං වතුර අරං යන්න එන ගෑණු ඕපදූප කියවනවා. අපේ පැත්තේ ලිං නැති
නිසා “පිහිල්ල ලඟ සංගමය“ කියලා දැම්මා ඕන්.
අනික්
තැන ඇල. ඇලට යන්නෙත් නාන්න. රෙදි සෝදන්න .. වළං සෝදන්න තමයි. ඔය තැන්වලත් ඕපදූප ප්‍රරෝහණය
වෙලා විසල් ගස් දක්වා වැඩිලා ගමේ එහා මෙහා වේගයෙන් ගමන් කරනවා. අනික් තැන ගඟ. ගඟට
යන්නෙනම් ගොඩාක් අය නාන්න තමයි. ඉතිං නානතොටේ ඕපදූප ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕනි
නෑනේ.
ඉතිං ඕප
දූප කිය කිය ඉඳලා රෑ වුන නිසා අපේ පඩිපෙල නැගගන්නත් අපහසු නිසා කට්ටියට දැන්
පන්දම් හදලා දෙන්න වෙනවා. වෙන පැති වල ඔය හුලු අතු තිබ්බට අපේ පැති වල පොල් ගස්
නැති නිසා පන්දම් තමයි පාවිච්චි කරන්නේ.
සරළ
පන්දමක් හදන්නේ මෙහෙමයි. කොටු කෑල්ලක් අරං රෙදි කඩක් කෙලවරක ඔතලා ගැටගහලා ඒක
ලාම්පුතෙල් ගැලුමේ ඔබලා තෙල් කවලා පත්තු කරලා දෙනවා. උඩවෙල පුංචිට ඕකෙන් ගෙදෙට්ට
යන්න පුලුවන්. තෙල් කවපු ටික පිච්චිලා ඉවර වුනාම පන්දම මැරෙනවා.
ඉතිං ඔය
කාටවත් කියන්න එපා... උඹට විතරයි කියන්නේ... ඔන්න මම දිවුරුවා ... කියන ඕප දූප තව
දවස් දෙක තුනකින් ගමේ නොදන්නා පිරිසක් වෙත්නම් ඒ බල්ලන් සහ බළලුන් පමණි. ඒ තරමට ඕප
දූප හරිම මිහිරියාවයි.-මතු
සබඳී-
Friday, September 25, 2015
අපේ බලාපොරොත්තු සහ දේව දානය ...

ඔන්න අපේ ගෙදර තිබ්බා යුනික් රේඩියෝ කබලක්. ගමේම ටී.වී එකක් තිබ්බේ පීරිස් බාස්ලගේ ගෙදර විතරයි. පීරිස් බාස් ටීවී බලන්න යන මිනිස්සුන්ගෙන් රුපියලක්ද කොහේද ගත්තා මයේ හිතේ.
“අනේ ඕකගේ ටීවී එක.. අපිට හොඳයි අපේ රේඩියෝ කබල“
ඕකට ලොකු බැට්ටි හතරක් දාලා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ දවස්වල තිබ්බේ කෙටි තරංගයි. මධ්‍යම තරංගයි . අපි ඇහැව්වේ මහනුවර සේවය. පැහැදිලි නෑ.. හිටපු ගමන් කතාව හෝස් ගාලා හුලඟේ යනවා.. තරංග දුරුවලයි.
“මේ ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ මහනුවර සේවයයි. හුන්නස්ගිරියෙන් මෙගහර්ට්ස් ...................... මහනුවර සේවය..ශ්‍රී පුෂ්පදාන මාවත.. මහනුවර “ ඔව්වා අපිට තාම මතකයි ... මේ එෆ් එම් (Funeral of media) එකක් ඇවිල්ලනේ මිනිස්සුන්ට ගුවන්විදුලිය එපා කෙරෙව්වේ.. අපි ඉතිං බැට්ටි දාලා රේඩියෙක අහනවා .. බැට්ටි බහින නිසා ඉක්මන්ට අහලා වහලා තියනවා . තියෙන කරදර මදිවට තව බැට්ටි වලටත් සල්ලි හොයපල්ලකෝ . අම්මා කියනවා.
මතකයිද අපි ඉස්කෝලේ ගිය හැටි. මං දෙවතාවක්ම මතක් කරලා ඇති. ඉතිං අපිට ඉස්කෝලේ යන්න පැය කාලක් ගත වුනාට එද්දි පැයක් එකහමාරක් ගතවෙනවා . නාකි බල්ලෝ කොළඹ ගියා වගේ . ඇයි ගොස්සැල්ලේ ගෙදර ගල් පරුවතේ කොක්කු ගෙඩි කඩන්න තියෙනවා. පංසල ගාව කැකුණ ගහට ගල් ගහන්න තියෙනවා . රිළවු දැක්කොත් උන්ට ගල් ගහන්න තියෙනවා. කැටේ ගෙදරට උඩින් තියෙන තෙල් මොට්ටු වැලෙයි බූටා වැල් වලයි ගෙඩි හොයන්න තියෙනවා. හේල්ලන්දේ නෙල්ලි ගහේ ගෙඩි කඩන්න තියෙනවා. පේරවත්තේ පේර කඩන්න තියෙනවා. ඊට උඩින් තියෙන පැණි තෝර ගස්වල ඉදුනු කරල් හොයන්න තියෙනවා. ඉස්කෝලේ මහත්තයගේ කඩෙන් බන්ටි ටොපී අරං ඒවගේ කොලේ අදින්න තියෙනවා. ඉස්කෝලේ මහත්තයගේ පිහිල්ලෙන් වතුර බොන්න තියෙනවා. විජේ අයියගේ මඩුවේ කියතට කැපෙන ලී දිහා බලන් ඉන්න තියෙනවා. සේපාලිකා අක්කගේ ටේලර් සාප්පුවේ මැෂිමේ රෝද කැරකෙනවා බලන්නත් මැහෙන එක එක රටා බලන්නත් කැපිච්ච රෙදි කෑලි සාක්කුවේ ඔබාගන්නත් තියෙනවා. අපේ ජීවිතත් හරියට සේපාලිකා අක්කගේ මැස්මක් වගේ. නූලක දැවටීගෙන... මැසීගෙන .... මැසීගෙන.. මැසීගෙන....
“අයෑම් ටාරෝ..අයෑම් ෆ්‍රොම් ජපෑන් ... අයෑම් මුරු .. අයෑම් ෆ්‍රොම් නයිජීරියා...අයෑම් ගීතා ..අයෑම් ෆ්‍රොම් ඉන්දියා..අයෑම් සමන් ..අයෑම් ෆ්‍රොම් ... ශ්‍රිලංකා...“
අපේ අ-ප්පිරියම පාඩම ඉංගිරිසී.. ඉංග්‍රීසි පීරියඩ් එක එද්දි අපිට අර අසාත්මිකතාව වගේ...
“අයි වෝන්ටුබී අ ඩොක්ටර්...ඉංජිනියර්...ටීචර්...කන්ට්‍රැක්ටර්..බිස්නස්මන්...ලෙක්චරර්...අකවුන්ටන්“
ෆාමර්ලා..ඩැයිවර්ලා...ලේබරර්ලා.... එක්කෙනෙක්වත් හිටියේ නෑ.. ඒත් ඔය කියපු එක්කෙනෙක්වත් කියපු එක්කෙනෙක්වත් වුනේ නෑ..
ඉස්කෝලෙට ආපු අලුත් සිංහල සර් ඔක්කොගේන්ම අනාගතේ වෙන්න කැමති කවුද කියලා ඇහැව්වා.. ඔක්කොම ලොකු ලොකු කතා කියාගෙන ගියා. මාත් ටීච කෙනෙක්ද කොහෙද වුනා .. ඉන්දුසිරියා නැගිට්ටා..
“මම ලොකු වුනාම කෑගහනවා සර්“
“කෑගහනවා....??? මට තේරුන්නෑ“
“කෑගහනවා සර්“
“මොකක්ද ළමයි මෙයා කියන්නේ“
“නෑ සර් එයාලගේ තාත්තා කෑගහනවනේ බදුල්ලේ ස්ටෑන් එකේ“
“මට තේරුන්නෑ ළමයි“
“සර් කෑ ගහලා බස්වලට සෙනඟ පටවලා කීයක් හරි හොයාගන්නවා.. ලොකු වුනාම ඒ රස්සාව කරනවා කියලා කියන්නේ“
ඒත් ඉන්දුසිරි විතරක් තමා කිව්වාට වඩා ලොකු රස්සාවකට ගියා ... මිනිහා දැන් හමුදාවේ....
මම අද කියන්න යන්නේ කමතේ අවසානයට පෙර ලිපිය.. දේවදානය (මුලුතැන් බත) ගැන.. ඔය තිලකේ මාමා පුරන් පෙරලන්න ඉස්සෙල්ලා කතරගම දෙයියන්ට භාරයක් වෙලා පඬුරක් අහක් කරනවා.. කෙත බත සරු වෙන්න.. වන සත්තුන්ගෙන් රෝග පළිබෝධ වලින් වෙන හානිය අඩු කරන්න කියලා.. ඉතිං ගොයම කපලා බැත ගෙට ගත්තහම ඔය බාරේ ඉෂ්ඨ කරන්න ඕනි.
ඉස්සෙල්ලම තිලකේ මාමා යන්නේ බුලත්ගෙදර සීයා හම්බුවෙන්න. එයා තමයි කපු මහත්තයා. එයා දෙන දිනයක් තමයි. තවත් දාන තියෙනවනේ බාරගත්තු. සෙනසුරාදා දවසක් තමයි ගොඩාක් වෙලාවට වැටෙන්නේ. ඉතිං ඔය දේවදානෙට යන්නේ පිරිමි උදවිය විතරයි. මල්වර වෙච්ච නැති පොඩි කෙල්ලන්ට යන්න අවසර තිබ්බත් කොල්ලෝ ඇනුම්පද කියන නිසා පිරිමි තමයි යන්නේ. ඉතිං ඕකටත් බලෙන් යන්නේ නෑ කවුරුත්. ආරාධනා කරන්න ඕනි. අපිටනම් ඉතිං කොහොමත් ආරාධනා කරනවා. අපිනේ තිලකේ මාමාගේ කුඹුරු වැඩ වලින් ගොඩ හරියක් සුවෙච්චාවෙන් කරලා දෙන්නේ. දේව දානේ දෙන්නේ කමතේ.
මම ගමේ ගිය වෙලාවේ කරුණේ මාමා හම්බුවෙලා දේවදානේ ගැන විස්තර ටිකක් අහන්න ගත්තේ මගේ මතකෙනුත් ඔය ගැන විස්තර ගිලිහිලා ගිහිල්ලා හිංදා. මිනිහා අදි මදි කරද්දි මම පත්තරේට මේක දානවා කියලා විස්තරේ අහගත්තේ.
අපේ නමත් එහෙනම් දාපං කියලා කිව්වා.
ඔන්න අපි රතු පාට කහ පාට අනේකවිධ මල් අරගෙන හිරමනේකුත් කරේ තියාගෙන උදෙම්ම තිලකේ මාමලගේ කමතට ඇදෙනවා. ගිහිල්ලා ඉතිං පොල් ගානවා. කෙසෙල් ගස් කපාගෙන එනවා. පතුරු ගලවනවා. කෙහෙල් කොල කපනවා. එවුවා හෝදනවා. පොල් කෑලි කපනවා. හකුරු කෑලි කපනවා. කෙසෙල් ගෙඩි වල අගිසි මුල් කපනවා. ඔය වගේ වැඩ තමයි අපිට බාර. දේව පූජාව තියන තට්ටුව හෙවත් මල් ආසනය හැදීම සහ දානය සකස් කිරීම ඔය කරුණෙ මාමලා තිලකේ මාමලා වගේ වයසක උදවියට බාරයි. ඉතිං මේ දානෙට ඉස්සෙල්ලාම කුඹුරෙන් කපලා අයින් කරලා තිබ්බ වී ටික හාල් කරලා ගන්නවා .. මුල් අස්වැනු බත ... මුල්තැන් බත...දේව දානය ඔය එක එක පලාත් වල එක එක විදියට කියනවා. ඉතිං ඕකට ඕනි හාල් (මුල් සහල් සමඟ කළවම් කල සහල්) සීනි.. පොල්...හකුරු.. කෙසෙල් සහ පළතුරු .. කහ..ලුණු.. මුං ඇට.. කඩල.. කරද මුංගු..හඳුන්කූරු..කපුරු..පොල්තෙල්..පහන්තිර..කෙහෙල් කොල ...කළමනා ටික..
ඉස්සෙල්ලාම මුං ඇට ලිප තියනවා. පස්සෙ මුං ඇට තැම්බීගෙන එනකොට හාල් ලිප තියනවා.. දැන් මුං ඇට තැම්බුනාට පස්සේ බත් එකට කලවං කරනවා..මුද්දරප්පලං වගේ ඒවත් .. කරදමුංගුත් මේ වෙලාවෙම මිශ්‍ර කරනවා..දැන් පොල් මිරිකගන්නවා.. සීනි දිය කරගන්නවා..මේවා ලඟ ලඟ කීප දෙනෙක් බෙදාගෙන කරනවා..දැන් අර මිටිකිරියි සීනියි දාලා අර බත ලිප තියලා හොඳට කූරෙන් කලවම් කරමින් පදමට ආවට පස්සේ බිමට බාගන්නවා.
දැන් තට්ටුව හෙවත් මල් ආසනයත් හදලා ඉවරයි.. ඒකේ ගහපු කෙහෙල් පතුරු වල මල් ගහන්නේ අපි. ඉස්සෙල්ලා බුද්ධ පූජාව තියනවා.. පස්සේ කතරගම දෙයියන්ට දේව පූජාව.. මෙතැනදි මල් වර්ග හතක් පූජාවට යොදාගන්නවා.. බුලත් ගෙදර සීයා තමයි ඔය රාජකාරිය කරන්නේ. ඉතිං අපිත් කරබාගෙන වැඳගෙන ඉන්න ඕනි.
බුද්ධ පූජාවයි දේව පූජාවයි ඉවරවෙච්ච ගමන් අපි කෙහෙල් කොල අරං වාඩි වෙනවා.. එක්කෙනෙක් දේව දානේ බෙදාගෙන එනවා. තව කෙනෙක් පලතුරු..තව කෙනෙක් හකුරු.. තව කෙනෙක් පොල්කෑලි බෙදාගෙන එනවා .. අපි දානේ අනුභව කරලා ගෙදෙට්ටත් පාර්සලයක් ඔතාන යනවා ... දානෙට නොආවත් මුළු ගමටම දානේ බෙදා හරින එක සිරිතක් ... අපූරුයි නේද? ගිහුං එන්නම් ... කමත අවසන් ලිපියෙන් හමුවෙමු....
Tuesday, September 22, 2015
බැත සහ බුලත ..............
ගෙදර ගිහිං ඉක්මනටම එන්න වුනා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ඇරයුමක් ලැබුණ නිසා. ඔය පොත් ප්‍රදර්ශනයට යන අය ඉන්නවනම් දයාවංශ ජයකොඩි මහත්තයගේ පොත් මැදුරට ගොඩවුනොත් “වීමංසා-කෙටිකතා 2කොටස “ කියලා පොතක් ඇති ... ආං ඒක පෙරලද්දි මාව මුණගැහෙයි ... පොත් ප්‍රදර්ශනයත් මහා විච්චූරණ ගොඩයි... සෙල්ෆි උන්මාදය ... පොත් පොටෝ ගහලා ෆේස්බුක් අප්ලෝඩ් කිරීම වගේ විකාර ... මිනිස්සු මෙහෙම හරි පොත් ගන්න එක ලොකු දෙයක් ... ඒත් මම සක්සුදක් සේ දන්නවා ඔය ගොඩාක් අය ඔය ගෙනියන පොත් කියවන්නේ නෑ.....
එක එක අය ආවා
දෙක තුන පොත් ගත්තා
ගෙදර ගිහිං තිබ්බා
කියෙව්වාද මන්දා......... (මම ලියපු කවියක්)
මම ගමේ ගියා .. අනේකවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් ජීවිතය කියන නදිය තරණය කරන්න තවමත් අප්‍රමාණ සටනක ගම්මු නියැලිලා ඉන්නවා ... උඩින් නොපෙන්නුවාට බුලත් කහට රැඳිච්ච දත් අගිසි වලින් හිනා වෙවී හදවතින් සුසුම් හෙලන මිනිස්සු තමයි මේ ගම් නියම්ගම් වල ඉන්නේ.
බුලත් කිව්වම මතක් වුනේ .. මම බුලත් ගැන කිව්වේ නෑනේ... හොඳයි ගමේ ලොකු උත්සවේකදි ...මඟුලකදි..කොටහුලකදි(ඇස්ට්‍රෝන් මඟුල කිව්වම ටිකක් නම්බුයි)...දානෙකදි ...අකුරු කියවිල්ලකදි ... ඔය බුලත් කොලේ තමයි පෙරමුණේම ඉන්නේ. ඉතිං ඔය ආරාධනාවක් අරං එනවට කියන්නේ බුලත් දෙනවා කියලා ... ඉතිං ආරාධනාව අරං එන කෙනා ඉස්සෙල්ලාම කාරණේ කියන්නේ නෑ ..
“ආ නැන්දා“
“ආ පුතා වාඩිවෙන්න“
ආපු ගමන් කාරණේ මොකක්ද කියලා අහන්නෙත් නෑ ... ඊට පස්සේ ඉලත්තට්ටුව දෙනවා ...බත බුලතින් සංග්‍රහ කිරීම කියන්නේ ඕං ඕකට... ඉතිං අර විටක් එහෙම අඹරලා තව විටක් සාක්කුවෙත් ඔබාගෙන තමයි කාරණේ කියන්නේ... ඔහොම ඉතිං ගෙවල් දහයකට විතර ගියොත් විට දහයකුත් සාක්කුවේ ඔබාගෙන තමයි ඉන්නේ...
ඉතිං ගමේ 80%ක් විතර බුලත් විට කනවා..කොල්ලෝ කුරුට්ටෝ පවා ... ඒ තරම් බුලත් විට ගැමි ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ.. එදා මම ඇටම්පිටියට ගිහිං ආපහු එන්න බස් එකේ ඉන්න වෙලාවේ පොඩි සමීක්ෂණයක් කෙරුවා .. ඒ බස් ස්ටෑන් එකේ හිටිය දහ පාලොස් දෙනාගෙන් 90% කටේ විඩක් ඔබාගෙන හිටියේ .. ඔය බුලත් කහට යවන්න බුරුසුවටයි දත් බෙහෙතටයි බෑ ... අඟුරු හරි පිලිස්සූ දහයියා කුඩු හරි පාවිච්චි කරනවා ... මේක ලියන කෙනත් ඉතිං ගමේ ගියාම බුලත් විඩ බර ගානකට වග කියලයි එන්නේ.
ඉතිං අපිට ඉස්සර ලෙඩක් දුකක් හැදුනම ඉස්සෙල්ලාම ගොඩ වෙදකම් තමයි කරන්නේ. පස් පංගුව හැලියක් තම්බලා බොනවා ඔය උණක් හෙම්බිරිස්සාවක් නම් .. බඩේ කැක්කුමක්නම් ජීවක ගුලිය දිය කරලා බොනවා... කැපුම් තුවාලයක්නම් කැලේ තියෙනවා හුලංතලා/කඩුපහර වගේ ගස් තලලා බඳිනවා ... කැළය ජනතාවගේ බෙහෙත් ගබඩාවය ... මේවගෙන් ඉතිං ලෙඩ සනීප වෙනවා ..ඔය වල් ඌරු මස් වගේ ඒවා කාපුවාම සමහරුන්ට කරප්පන් දානවා (ආසාත්මිකතාවය/ allergic) ඉතිං කරප්පන් දැම්මම පොල් කොලයි දෙහි කොලයි දාලා ගිනිමැලයක් ගහලා ඒකේ දුම් වද්දනවා... කරප්පන් කම්මුතුයි ... ලෙඩට ගොඩ වෙදකම් අහන්නැත්තන් තෙල් ටිකක් මතුරවගන්නවා .. යකඩ ඇණයක් කහ කෑල්ලක් පොල්තෙල් එක්ක බෝතලේකට දාලා යනවා බුලත් ගෙදර සීයා හම්බුවෙන්න.. එයා තෙල් මතුරලා දුන්නත් ලෙඩ අහවර වෙනවා ...ඒත් බැරි වුනොත් සෙන්ජේම්ස් ඉස්පිරිතාලෙට ගාටනවා ... දැන් තමයි ඉතිං ඉස්පෙෂලිස්ට්... .චැනලින් සර්විස්... ප්‍රයිවට් හොස්පිටල් ... ඔය ලෙඩත් මොඩිෆයි වෙලානේ ... පපුවේ අමාරුව කියනවට වඩා නම්බුයි හාට් ඇටෑක් කිව්වම ... සීනි කියනවට වඩා නම්බුයි ඩයිබටික් කිව්වම ... පිළිකාව අපෝ ඊට වඩා නම්බුයි කැන්සර් කිව්වම ...ඇයි බයිපාස් එකක් කරා කිව්වම කොච්චර නම්බුකාරයිද ?
ඉතිං පයින් සීතලේ ගැහි ගැහී සෙන්ජේමිස් කන්ද නගිනවා... ඉහිං කනින් පොරවගෙන ... ඔය බදුල්ලේ ඉස්පිරිතාලෙට වඩා ගම්මු ආස වත්තේ ඉස්පිරිතාලෙට යන්න ... ඇයි ඒකේ ඉන්න දොස්තර මහත්තයා මිනිස්සුන්ට හරී කරුණාවයි ... යාපනේ දෙමළ මහත්තයා ..
“උදේට කාලද ආවේ?“
“තාත්තා මොකද කරන්නේ?“
“ඉස්කෝලේ කීයෙද ඉන්නේ?“
“පෙපර්මින්ට් එකක් දෙන්නද කන්න?“
ඔය වගේ කතා කැඩිච්ච සිංහලෙන් අහ අහ තමයි ලෙඩ බලන්නේ ...
බදුල්ලේ එහෙමයැ ... හරකෙක් වගේ ඇදලා අරගෙන අපිව බයෙන් ත්‍රස්ත කරලා තමයි ලෙඩ බලන්නේ...
වත්තේ දෙමළ දොස්තර මහත්තයා වත්තට වගේම අපේ ගමටත් සම්පතක් වුනේ ඔන්න ඔය නිසා ...
ඔය ධනසිරි අයියලා... සිරිමල් අයියලා ... සුමනේ අයියලා සෙට් එකම හැමදාම හවසට සෙන්ජේම්ස් යනවා ..
“කොහේද යන්නේ“ කියලා කවුරු හරි ඇහුවොත් කියන්නේ
“යාළුවෙක් හම්බවෙන්න යනවා“ කියලා.
යාළුවා හම්බවෙන්න ගිය කට්ටියම දවසක් මතු වුනේ පොලීසියේ කූඩුවෙන් ...
ඔව් යාළුවෙක් හම්බුවෙන්න තමයි ගියේ ...
“කටුකම්බි එහෙම දාලා පෙරන බිව්වම කැරකිල්ල හැදෙන සුදුවා කියන යාළුවා“
(ඕවට මම අහලා තියෙන හැටියට කියන්නේ rot-gut කියලා. ශබ්ද කෝෂයේ නෑ.. මම වැරදිනම් කවුරු හරි නිවැරදි කරත්වා ...)
කට්ටිය රිමාන්ඩ් ඉඳලා ඇවිල්ලත් තාම හවසට සෙන්ජේමිස් යනවා ... යාළුවෙක් හම්බුවෙන්න....
හැමෝටම කෝකටත් තෛලය තමයි සෙන්ජේමිස් වත්ත....
ඔය මඩවලා ගොයමෙන් වෙන්කරගෙන ලොකු පොඩි කාටුව යවාගත්තු වී වලට දැන් කියන්නේ බැත කියලා. ඉතිං බැත කමතෙම දාලා වේලෙන්න අරිනවා. කමතේ බැත වනලා ඉඩ මදි වුනොත් පැදුරු හරි.. යූරියා බෑග් හරි.. ගෝනි හරි ලියැදි වලත් එලලා එව්වයේ දාලා බැත වේලනවා .. ඉතිං පදමට දවස් දෙක තුනක් වේලෙන ගමන් කුල්ලෙන් කමතේ බැතට හයියෙන් පවන් ගහමින් තව තවත් කාටුව ඉවත් කරනවා ... දැන් ඉතිං බැත පවන් දෙන්න ඕනි.. ඒ කියන්නේ බොල් වී අයින් කරන්න ඕනි .. ඕකට ඕනි වෙන්නේ කුල්ලක් දෙකක් සහ කතිරය කියන උපකරණය. කතිරය කියන්නේ හොඳ හයිය ලී කෝටු හතරක් කතිර දෙකක් ආකාරයට බැඳගෙන හිටවලා තියන්න පුලුවන් විදියට එකිනෙකින් යවලා හදාගන්න උපකරණයක්. කතිරය කමතෙන් තියලා යටට ඉටිරෙදි එළලා දැන් තිලකේ මාමා නගිනවා කතිරෙ උඩට.
තිලකේ මාමලෑ නැන්දා අර වේලෙන්න දාලා තියෙන බැත කුල්ලකට අරං දෙන්න ඕනි. තිලකේ මාමා බැත කුල්ලත් තියාගෙන කතිරේ උඩට වෙලා ඉන්නවා සමහර විට විනාඩි 10ක් 15ක් හුලං අල්ලනකන්.. හුලන් ආවම අර බැත කුල්ල සොලවන ගමන් හිමීන් සීරුවේ බිමට අතඅරිනවා. බොල් වී පැත්තකට වෙලා පිරුණු වී බේරගන්නේ ඔය ක්‍රමයෙන්. මේ වීම ආයේ පාරක් පවන් දීලා ඇඟිටි වී වෙන්කරගන්නවා. ඔය අහේනි කාලෙට පොල් එහෙම දාලා ඇඟිටි හාල් බත් කනවා.. ඒක ටිකක් තිත්තයි...
දැන් ඉතිං ඔහොම වෙන් කරගත්ත බැත උඩහා තියෙන ගෙදරට අදින්න ඕනි. කර තියාගෙන තමයි අදින්නේ. උදේ හිටං හවස් වෙනකන් හති ඇර ඇර වී බරවල් අදිනවාට තමයි “බැත අදිනවා“ කියලා කියන්නේ .... කුඹුරේ අයිතිකාරයා ඔය දුරකනම් පාරට ඇදලා ටැට්ටරේක පටවලා ගෙනියනවා ...
ආයුබෝවන් එහෙනම් ..කමත ලිපි මාලාව අවසානයට කෙමෙන් කෙමෙන් ලං වෙනවා.... ගිහුං එන්නම් ... කෝ කවුරුත් ඇහුවේ නෑනේ විටක් කමුද කියලා ...
Tuesday, September 15, 2015
වහ කෑම සහ ඇඹුල කෑම ..............
ඔන්න හොබරැල්ල කන්දෙන් ඉර බැහැගෙන බැහැගෙන එනවා ... ඒ කියන්නේ අපිට ඉර පායනවා ... තේරුන් නෑ වගේ ... පිටිපස්සේ තියෙන(නැගෙනහිර) හුරිහෙල කන්දෙන්නේ ඉර එබෙන්නේ ... ඉතිංඑයාගේ ආලෝකය ඉස්සල්ලාම පතිත වෙන්නේ ඉස්සරහා හොබරැල්ල (බටහිර) කන්ද මුදුනට ...දැන් ඉර හුරිහෙල කන්දෙන් නැග නැග එනකොට ඉර එලිය හොබරැල්ල කන්ද දිගේ පහලට බැහැගෙන බැහැගෙන ඇවිල්ලා අපේ ගම් පියස්සට පතබෑවෙනකොට උදේ 10 පහු වෙලා .. හවසට ඉස්සෙල්ලාම ඉර එළිය අහිමිවෙන්නේ හොබරැල්ල කඳු මුදුනට.... හුරිහෙල කන්ද මුදුනේ රාස්සයෝ වී වේලනවා හැන්දෑ වෙනකන් ... ඕකට කියන්නේ රාස්සිගේ අව්ව කියලා ... එයාට මෙයා කැපුනම උත්තරේ බිංදුවයි ... කාටවත් අසාධාරණයක් වෙලා නෑ ... තේරුණා නේද ? නැත්නම් ආයේ පාරක් කියවමු ...
ඉතිං සුන්දරයි කියලා හිතෙන ගමේ අසුන්දර දේවලුත් වෙනවා .. ප්‍රධාන වරදකරු කෘෂි රසායන ... මතකයිද මංදා ඒ දවස්වල රේඩියෝ එකේ .....ටැමරෝන් ... පොලිඩෝල් ... ඇන්ටර්කෝල් ...ග්‍රැමොක්සෝන්..... හාක්‍රෝස් පටාස් ... ඇඩ්මයර් ... සිපෙට්කෝ කෘෂි රසායන ... ලංකෙම් ගොවියාගේ හිත මිතුරා ... හේකෙම් ...ඒ බවර් සහ සමාගම.. වගේ වෙළඳ දැන්වීම් නිතරම යනවා ...සිපෙට්කෝ මහත්තයා කියලා ගුවන්විදුලි නාට්‍යකුත් ගියේ.... ඉතිං අපේ ගමේ වහ බෝතලයක් නැති ගෙයක් හොයාගන්න බෑ ... සියල්ල නසන වල් නාශක ... තෝරා නසන වල් නාශක .. දිලීර නාශක .. කෘමිනාශක .. ඔය හැම එකක්ම මේ ගොවියෝ ගාව තියෙනවා .... ඉතිං පවුලේ අඩ-දබරයක් ... ආදරයේ වේදනාවක් ... විභාගයේ අමිහිරිතාවක් ඇති වුනොත් ලොකු කුඩා හැමෝම විශ්වාසයෙන් මේ වහ බෝතලේ මිහිරියාව විඳගන්නවා ...
ජයසුන්දර අයියගෙයි කුසුමා අක්කගෙයි ආදරය ගලාගෙන ගියේ ගහට පොත්ත වගේ දැඩි බැඳීමකින් ... දෙන්නගෙම රුධිර කේශනාලිකා වල රුධිරාණු ආදරය කියන අකුරු අරගෙන සංචරණය වුණා. ඒත් අවුරුදු දෙක තුනක් ගියාම කුසුමක්කාට රස්සාවක් හම්බුනා ... ඔන්න ටික කලක් යනකොට කුසුමක්කගේ රුධිරාණු වල ජයසුන්දර කියන අකුරු වියැකිලා වෙන වෙන අකුරු වගයක් මෝදුවෙන්න ගත්තා ...අන්තිමට ජයසුන්දර කියන අකුරු ටික බොඳවෙලාම ගියා..ජයසුන්දර අයියා බැළුවා ගොඩගන්න පුලුවන්ද කියලා.... ඒත් මොන......අන්තිමට ජයසුන්දර අයියා තෝරගත්තා සියල්ල නසන වල් නාශකයක මිහිර විඳින්න ... බදුල්ලේ ඉස්පිරිතාලේ මුල්ලක දාපු ඇඳක වැතිරිලා හිටිය ජයසුන්දර අයියා බලන්න අපිත් ගියා ... ඔය වල්බෙහෙත් බිව්වම මැරෙන්නේ වල් ගහ මැරෙනවා වගේ ටික ටික .. බේරගන්න බෑ ... මගේ ඔලුවත් අතගගා බොහෝම ආදරෙන් කතා කර කර හිටපු ජයසුන්දර අයියගේ හදවත සති දෙකකින් විතර සදහටම නැවතුනා ...
වෙන වෙන කෘමිනාශක බීලා බේරුනොත් අනිවාර්යෙන්ම ගමේ කාඩ් එකක් වදිනවා .. ඒ කියන්නේ අන්වර්ථ නාමයක් (Nickname) පටබැඳෙනවා ...ඔය නෙලුදණ්ඩේ හීන්බංඩේ මාමා ඒ නැන්දත් එක්ක ආරෝවකට හාක්‍රෝස් බීලා බේරුණා .. බේරුණාම ලේසි නෑ ..ආණ්ඩුවට දඩේකුත් ගෙවන්න ඕනි .. ඉතිං දඩෙත් ගෙවලා කොට්ට පැදුරු අරං ඉස්පිරිතාලෙන් ගෙදර එද්දි නමක් වැටිලා “හාක්‍රෝස් - බණ්ඩා“ කියලා .. ආයේ මැරෙනකන් ඔය නම තමයි ගමේ තුඩ තුඩ තියෙන්නේ ...
ගුණේ අයියට ගම්මු කිව්වේ කාල ගුණේ කියලා .. ගුණේ අයියා මොකද්ද එහෙකට බිව්වේ ටැමරෝන් .. මිනිහත් බේරුණා ... එදා ඉඳං මිනිහට ගම්මු කිව්වේ ටැමරෝන් ගුණේ කියලා ... අපේ පංතියේ හිටිය කේ.එච්. ඉන්දික වහ බිව්වේ වාර විභාගේ ප්‍රතිඵල ලේඛණය වෙනස් කරලා ගෙදර ගිහිං පෙන්නලා ගෙදරින් බැන්න කියලා .. මිනිහත් පොලොවට පස් වුණා .. ඉතිං ඔය වගේ වහ බීපු අය ගැන ලිව්වොත් මේ පිටුවල ඉඩ මදි වෙනවා ... ඔය වහ ආශ්‍රයෙන් අපේ ශබ්ද කෝෂයට වචනත් ලැබිලා තියෙනවනේ ..... වහ කෑවා වගේ ... මටනම් ඕකව වහ ... වහ තමයි කන්න වෙන්නේ ...වස කම්මැලියි...වස ලැජ්ජාව (වහ බීලා බේරුණාම ඇතිවන ලැජ්ජාව) වගේ වචනත් ඕවගෙන් කැඩිලා තමයි ඇවිල්ලා තියෙන්නේ ... ඉතිං පළිබෝධනාශක අනතුරු සහිතයි .. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ... සාරභූමියේ කට්ටියම හොඳේද??
අද මම කියන්න යන්නේ අත්තම සහ ඇඹුල ගැන .. අත්තම කියන්නේ අපේ ගම්වල ගොවිතැනේදි ගොවීන්ගේ බැඳියාව සහ සාමුහිකත්වය පෙන්වීමට හැකි ක්‍රමයක්.. ඒ කියන්නේ System එකක් .. දැන් අපේ අම්මා යනවා කියලා හිතමුකෝ තිලකේ මාමලගේ කුඹුරේ ගොයම් හදන්න (හිටවන්න) ඉතිං අපේ අම්මා ඒ වෙනුවෙන් කුළියක් ගන්නේ නෑ... අපේ කුඹුරේ ගොයම් හදද්දි තිලකේ මාමලාගේ නැන්දා ඒ හා සමාන කාලයක් අපේ කුඹුරෙත් ගොයම් හදලා දෙන්න ඕනි ... අපේ තාත්තා (ජීවතුන් අතර නැත..අපිට ඇති කුඹුරකුත් නැත) තිලකේ මාමලාගේ කුඹුර කොටන්න ගියා කියලා හිතමුකෝ ... එතකොට අපේ කුඹුර කොටන දවසට ඒ හා සමාන කාලයක් තිලකේ මාමා අපේ කුඹුර කොටා දිය යුතුය ... මෙහිදී කෑම බීම බුලත් පුවක් බීඩි දුංකල අදාල ගොවියා විසින් සැපයිය යුතුය ... හරි සරළයි.. වැඩේ ඉක්මන් ... ශ්‍රමයට ශ්‍රමය සමානයි අත්තම කියලා ඔළුවට දාගන්නකෝ ..
ඇඹුල කිව්වම මතක් වෙනවනේ බෙග් මහත්තයගේ සිංදුවක් .. ටිකිරි මැණිකේ ඇඹුල ගෙනැල්ලා .. ගොවිරාළ ගොඩට ඇවිල්ලා ... පුරන් කොටනකොට ... මඩිය කොටනකොට ...ගොයම් හදනකොට ... වල් ගලවනකොට ... ගොයම් කපනකොට .. මඩවනකොට .. බැත අදිනකොට තිලකේ මාමාලාගේ නැන්දා අපිට කෑම ගේනවනේ ... ආන්න ඒකට තමයි ඇඹුල කියන්නේ .. තේ බොනකොට ගේන පාන් ඇඹුලට අයිති නෑ ... බත සහ මාළු පිනි තමයි ඇඹුලට අයිති වෙන්නේ .. ඉතිං අපි මඩවනවනම් ඇඹුල ගන්නේ කමත් වේල්ලේ ඉඳන්... කුඹුර කොටනවනම් බඩලේදි තමයි ඇඹුල ගන්නේ .. පැලට ගිහිං ඇඹුල ගන්නවට වඩා එළිමහනේ තමයි ඇඹුල රස විඳින්නේ.. ගොඩාක් පැතිවල නෙළුම් කොලේ ඇඹුල රස වින්දත් අපිට නෙළුම් කොල නැති නිසා කෙහෙල් කොල වල නැත්නම් ප්ලාස්ටික් පිඟන් වල තමයි ඇඹුල රස විඳින්නේ ... වතුර බොන්න බෙලෙක් කෝප්පේ කියලා එකක් තියල තියෙනවා කල ගෙඩියත් එක්ක .. පොල් කට්ටක් සැහැලත් තියනවා සමහර විට .. ඉතිං ඔය ඇඹුලට මෙහෙනම් කොල්ලු හොද්ද සහ මඤ්ඤොක්කා කොල මැල්ලුම වරදින්නේ නෑ ... අපිත් පුදුම ආසාවෙන් තමයි ඔය ඇඹුල රස විඳින්නේ...ඔය.. ඔය... කෙළ ටික පිහදගන්න ...
එහෙනම් මට ගෙදර යන්නත් තියෙනවා.. සතියක් විතර සාරභූමියට එන්න වෙන්නෑ ... අද රෑ 8.30ට ගම්පහින් බදුලු කෝච්චියට ගොඩ වෙනවා ... හෙට උදේ අට වෙනකම් ටකස්...ටකස්..ටකස්...ටකස් ... අපි ගමේ ඉඳන් කොළඹ ආවේ හීන ඇහිඳින්න ... ඒ හීන තාම ඇහිඳිනවා .. ඒත් අපි දකින හීන අපි ඉස්සරහ හැබෑ වෙන්නේ නෑ ... ගමේ සිග්නල් නෑ .. ෆේස්බුක් එන්නත් බෑ ... ගිහිල්ලා එන්නම්.. ගමේ හුලං පොදක මිහිර විඳලා පිහිල්ලෙන් නාගෙන.. උල්පතකින් වතුර ටිකක් බී ගෙන ... මඤ්ඤොක්කා කොල මැල්ලුම අම්මා හදලා ඇති ... ආ... මේවා ඉන්ටනේට් ලියලා ගමේ එවුන් පාවලා දෙනවා කියලා ගම්මු දැනගත්තොත් මාව උල තියයි ... හිටුවා පස් ගහයි ..එහෙම වුනොත් බේරගන්නත් එන්න වෙයි....ආයුබෝවන් එහෙනම්.....
Sunday, September 13, 2015
අපි ගොයම් හදනවෝ .... එනවදෝ ....
අපි අර සයිලන්සර් දුම් වද්දගෙන පයින් ඉස්කෝලේ ගිය කතාව මතක ඇති නේද? ඉතිං අපේ ගමේ ඉස්කෝලේ තියෙන්නේ කිලෝමීටරයක් විතර උඩහට වෙන්න. පුංචි දුප්පත් ඉස්කෝලේ තියෙන්නේ සෙන්ජේම්ස් වත්ත පාමුල තියෙන කරපන්ටයින් (ටර්පන්ටයින්) කෑල්ල ගාව. ඉස්කෝලෙටම ගුරුවරු අට දෙනෙක් ඉන්න ඇති. විශේෂත්වය තමයි සිංහල දෙමළ දෙගොල්ලම සිංහලෙන් ඉගෙනගන්න එක. ගාමිණීලා...චිත්‍රලා ...සෙල්වම්ලා..පියසිරිලා ඔක්කොගේම ඉස්කෝලේ ... අරූ දෙමළාය.. ඌ කොටියාය... අනේ අපේ තුන් හිතකවත් එහෙම දේවල් තිබ්බේ නෑ. සෙල්වම් යාළු වෙලා හිටියේ සිංහල කෙල්ලෙක් එක්ක. සරස්වතී සිංහල කොල්ලෙක් එක්ක.. මම ගම්පහට ආවට පස්සේ තමයි මේ ජාතිවාදයක් කියලා එකක් ගැන දැනගත්තේ..අපේ පැත්තේ එහෙම නෑ...සෙල්වම් ගේන ඉටලි ..වඩේ අපි එක්ක බෙදන් කනවා.. අපි ගෙනියන මුංඇට කඩල සෙල්වම්ලා එක්ක බෙදන් කනවා..
වත්තේ සැලූන් එකේ සදන් අයියා මූණ බලන ලොකු කණ්නාඩියක් කිහිල්ලේ ගහගෙන කොණ්ඩේ කපන කලමනාත් උස්සන් හැම මාසෙම දහය දොලහ අතර අපේ ගමට එනවා.. ජංගම සැලූන් එක..අපි ගිහින් එයාගෙන් කොණ්ඩේ කපා ගන්නවා.. පොංගල් දවසට.. ශිව රාත්‍රියට .. දෙමළ සිංහල අවුරුද්දට අපිත් වත්තේ යනවා ... අපේ පංසලේ පෙරහැරට කාවඩි කණ්ඩායම එවන්නේ කෝවිලෙන්... කෝවිලේ රදන් අදිනකොට ගිනි පාගනකොට අපි සෙන්ජේමිස් යනවා ...
ඉතිං ඔය අපේ ඉස්කෝලෙට එන ගොඩාක් දෙමළ අයට අඩු දැනුමක් තමයි තියෙන්නේ ... ගෙදර වැඩ දුන්නම උදේම ඇවිල්ලා මගේ පොත ඉල්ලගෙන ඒවා පිටපත් කරන එක තමයි කරන්නේ .. ඒ වෙනුවට මට සන්තෝෂම් එහෙමත් හම්බවෙනවා ඒ දවස් වල...
එක පාරක් අපේ ඉස්කෝලේ උත්සවේකට සරඹ සන්දර්ශනයක් පුරුදු කලා .. අපි කිව්වේ “මාච් පාස්“ එක කියලා. අර වම-දකුණ-වම --වම --වම .......... ආන්න ඒක ...
දවස් දෙක තුනක් පුරුදු කරලත් සෙල්වම් වම කියනකොට තියන්නෙම දකුණ ...දකුණ කියනකොට තියන්නෙම වම .. සර්ටත් තිත්ත වෙලා ... යකා නැගලා ..
“ ඈ ඕයි ඕකවත් හරියට කරන්න බැරිද .. ඉගෙන ගන්න බැරි එකනම් හරි කියමුකෝ .. අද වැරැද්දුවොත් තමුසෙව අයින් කරනවා...
ඒත් මොන ....... වම කිව්වම තියන්නෙම දකුණ ... අයින් වෙන්නත් කැමති නෑ ... සර්ට වඳිනවා ... සර් දහ අතේ කල්පනා කලා ..
සර්ට උපක්‍රමයක් සිහියට ආවා ...
“හරි ගන්නවා තමුසෙගේ ලේන්සුව .. අරන් බැඳගන්නවා එක කකුලක ...“
බයේ ගැහි ගැහී මිනිහා ලේන්සුව කකුලේ බැඳගත්තා ...
“හා දැන් කරනවා“
“ලේන්සු කකුල නිකන් කකුල ... ලේන්සු කකුල නිකන් කකුල ... වම දකුණ වම ....“
ඔය තියන්නේ යසට............................................................................
වී තවානක දැම්මා අපි ඉගෙන ගත්තා නේද? ඉතිං වී තවාන් කරපු ගමන් පුරන් පෙරලනවා .. පස්සේ පුරන් කුණු වෙනකන් ඉඳලා මඩිය කොටනවා .. පස්සේ දැත්ත බැඳලා වක්කඩ හදනවා .. මම හිතන්නේ මාසයක් විතර යද්දි ගොයම් හදන (හදනවා කියන්නේ හිටවනවට) කාලේ ලං වෙනවා ... ඉතිං ගොවියොන්ට කාන්තා පාර්ශ්වය ඕනි වෙන්නේ මේ අවස්තාවෙදි ...
“නැන්දා මේ අපේ ගොයම් හදනවා අනිද්දා ... පොඩ්ඩක් ඇවිල්ලා උදව් කරන්න පුලුවන්ද කියලා බලන්න ආවේ “
ඉතිං අම්මා බෑ කියන්නේ නෑනේ ... මරණෙකටවත් මිනිස්සු ඉන්න එපැයි ..
ඉතිං කට්ටියක් ගොයම් ගලවනවා ...ගලවලා මිටි බඳිනවා .. මිටිය බඳින්නෙත් අර ගොයම් පැල වලින්මයි .. අපිටනම් බෑ ඔය ගැටේ දාන්න .. ගැට දාන්න ඉතිං දන්නේ ගෑණු උදවියනේ ... ඊට පස්සේ මිටි පල්ලෙහා ලියද්දකට විසි කරනවා .. අපි ඒ මිටි අරන් එදා ආයෙත් අලුත් කරපු ලියැදි වලට ලියැද්දේ තරම බලලා විසි කර කර පල්ලෙහාට යනවා .. ගොයම් ගලවන්න කලින් ආයෙත් තිලකේ මාමා ලියැදි ගාලා මඩ පෙරලලා ලියැදි ලස්සනට හදනවා .. ඉතිං ගොයම් හිටවන්නෙත් ගෑණු උදවිය .. ඒක කලාවකට කරන්න ඕනි .. අඩිරූලක් නැතත් හිටවලා ඉවර වුනාම හැම ලියැද්දම සංතතිකව තියෙනවා .. ගොයම සංතතිකයි .. අපේ ජීවිත අසංතතිකයි .. මෙහේ ගොඩාක් කුඹුරු වැඩ වෙන්නේ අත්තම් ක්‍රමේට ...ඒ ගැනයි ඇඹුල ගැනයි හෙට කියලම විරාමයක් තියන්නම් ... ගිහින් එන්නම් ..මාව දිරිමත් කරමින් කැමැත්ත ප්‍රකාශ කල අදහස් පල කල පණිවිඩ එවූ හැමෝටම ස්තුතියි ... ඔබ නිසා මම පන්නරය ලබමි.....
Subscribe to:
Posts (Atom)





