බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Monday, November 5, 2018

පෙරහැර - අන්තිම කොටස


(පෙරහැර එන්ඩ සෑහෙන්ඩ කල් ගියා..)

හවස ඇලට් පාරක් දාලා නැගිටිද්දි ආණ්ඩුව පෙල්ලිලා කියහන්කෝ.
දැන් අපේ ගමේ නැම්බර් මාමා.. අප්පුහාමි මාමා මහේශාක්‍ය ලීලාවෙන් ගමේ එහා මෙහා යනවා ඇති. ඡන්න ඇමතියයි පකඩේ මාමායි කොහේට්ට හරි වෙලා මුලු ගැන්නිලා සතර කම්මන්ත්‍රණ පවත්තනවා ඇති
“අපිට මොකද වුණේ? කියලා.

අපේ ගමේ යූ එන් පී .. ශ්‍රී ලංකා බෙදිලා සොම්නස දොම්නස සමරන්නේ එහෙම. කොහොම වුනත් සුද්දා එලවන්ඩ එකට එක්වුණු ලංකාවේ සිංහල මිනිස්සු දෙකට බෙදුවේ බණ්ඩාරණායක කියලයි මේ චුටියගේ මතය. බණ්ඩාරනායක සිංහල මිනිස්සු නොබෙදුවනම් අපේ රට දැන් සිංගප්පූරුවක්... ඡන්දේ ගැනත් කතාවක් ලියන්ඩෝනි.

අවුරුදු පහලොවක් මේ ගෙන්දගම් පොලොවේ කරක් ගහලා හොඳට පත්තියම් වෙලා රට කාලා වතුර බීලා ආපු එකෙක් මේ චූටියා. මෙහෙට්ට එද්දි සරම ගහපු චූටියා දැන් ගහන්නේ ෂෝට්. දැන් අවුරුදු ගානක් ගමේ ගෙයක් හදනවා.
ගමේ ගියාම

“චූටියා ගේ වැඩ ඉවරයි?”

කියලා අහන්ඩ ඕනි තරම් මිනිස්සු හිටියත්

“ඉඳා මෙතන රුපියල් ලස්සයක් තියෙනවා. ගේ වැඩ ඉවර කරගනින්”
කියන්න එකෙක්කත් නෑ.
බේබදු සංගමේනම් මාව දැක්ක ගමන්

“ආ චූටියත් ඇවිල්ලා ඉන්නේ අද මොනා හරි කරතෑකි.”

උඹට කොහොමද? සනීපෙන් ඉන්නවද? එහේ වැඩ අමාරුද? කියලා අහන්න එකෙක්කත් නෑ.

“චූටියා ඇයි බඳින්නැත්තේ?”

ගමේ උන්ට තියෙන ජාතික ප්‍රශ්ණේ ඕක. ඇත්තටම ඇයි මං බැන්දේ නැත්තේ?
“මට බඳින්න මතක නැති වුනා.”
*******************************

මං ගෙදර ගියා. වැස්ස හින්දා ගම මහා මුස්පේන්තු පාටකින් හා පාලුවකින් වෙලී ගිහිං.
බදුල්ලේ ටවුමට ගිහිං ගෙදර එන්න අල්ලාමීන් බස්සෙකට ‍ගොඩවුණා.
ඒ දවස්සල උංගිට ලයින්නෙක දාපු අල්ලාමීන් බස්සෙකේ කොන්දා හොඳටම වයසට ගිහිං.
ඉස්සර බොරුවට උංගිගෙ ලව්වෙකට සප්පෙක දෙනවා කියලා ෆ්‍රී ටිකට් වලට තමයි අල්ලමීන් බස්සෙකේ ගියේ. අපිව දැක්ක තැන ඉස්සර සැලුට් ගහපු කොන්දොස්තරමද මේ කියලා හිතෙනවා.
සංසාරේ............................................... බීලා වෙන්ඩැති.........
කොන්දාට මාව අඳුරගන්න බැරි වුනා. මාත් ඉතිං බජනෙට ගියෙ නෑ. ඒ දවස්සල කොටපු කොනකපාලයෝ තමයි ඔය.
චූටියටත් කවදහරි ඔය ආනිශංසෙ තමයි. අනිත්‍ය මෙනෙහි කරගෙන මම බස්සෙකෙන් බැස්සා.

දැන් ඉතිං පෙරහැරට දවසින් දවස දින ලං වෙනවා. මුලු ගමම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ඔද වැඩී යනවා. පංසලටත් දවසින් දවස එන අමුත්තන් සහ ලැබෙන ආධාර ඉහළ යමින් පවතිනවා.
අද සල්පිලේ අන්තිම දවස. ඒ කියන්නේ හෙට මහ පෙරහැර. අද තමයි අපි බළාපොරොත්තුවෙන් ඉන්න අලි ඇත්තු ඉස්කෝලේ පිට්ටනියට ඇරං එන දවස.

“අලින්ට කන්න කිතුල් ගස් ටිකක් දෙනවා කිව්වා සෙම්බු මුදලාලි. කට්ටියම ගිහිං ලොරියෙ පටවගෙන එන්න වෙයි.”
“අලි කීයද හාන්දුරුවනේ”
“එක අලියයි”
“මලා අපි ආධාර එකතු කරද්දි මිනිස්සුන්ට කිව්වේ අලි දහයක් කියලා”

අපි ලොකු හාන්දුරුවන්ට සල්ලි එකතු කරලා දුන්නේ අලි දහයකට. දැන් එක අලියෙක් ගෙනැල්ලා ලොකු හාන්දුරුවෝ අපිට කියාදෙන්නේ අල්පේච්ඡතාවයද අරපිරිමැස්මද? ඒ කාලේ එෆ්.සී.අයි.ඩී. තිබ්බනම් ඉස්සෙල්ලාම මම යන්නේ ඕකට.

අපි ඉතිං ලොරියේ පිටිපස්සෙ නැගලා අලින්ට වැරදුනා අලියට කිතුල් කොට ගේන්න සැන්ජේමිස් වත්තේ යනවා. ලොරියේ පිටිපස්සෙ යද්දි කෙල්ලන්ට මුලිච්චි වෙයි කියලා මේන් මෙහෙම මූණු හංගගෙන යන්නේ.

සෙම්බු මුදලාලිගේ වත්තේ පල්ලැහැ කපලා දාපු කිතුල් කොට ලණු දාලා අදින්න ඕනි. පේමෙලා ගුණේලා ලණු දාලා අදිද්දි අපි තල්ලු කරනවා.
පණ යනවා ඉතිං. අන්තිමේට නම යන්නේ සෙම්බු මුදලාලිගේ.
දැන් ඉතිං කිතුල් කොටයි අතුයි සේරම පටෝගෙන එව්වයේ උඩ නැගලා අපි ලොරියෙන් සැන්ජේමිස් පල්ලම හිමීට හිමීට බහිනවා.

“හයියෙන් අල්ලගනිල්ලා...”

ඉතිං අපි ඇවිල්ලා පිට්ටනියේ කෙලවරක කිතුල් කොට ටික බාන්නත් ඕනි. කිතුල් බූවට මුලු ඇඟම කසන්ඩ ගන්නවා. හාන්දුරුවන්ටනම් මොකෝ. අපිනෙ නැහෙන්නේ.

දහම් පාසලේ ටීචලාගේ නැටුම් කණ්ඩායම්.. බක්කි ගීත කණ්ඩායම් ලහි ලහියේ තම අවසන් පුහුණුවීම්වල යෙදෙනවා.
උංගි පොලු නැටුම් කණ්ඩායමේ ඉන්නේ. ඔව් ඉතිං පොලු නැටුම් නටලා පුරුදුයිනේ ඇටෙන් පොත්තෙන් එළියට එන්ඩත් ඉස්සර.
දැන් ඉතිං ඔය පිට දහම් පාසල් වලින් එන එක එක නැටුම් කණ්ඩායම් හිමීට හිමීට පංසලට සේන්දු වෙනවා. මුතියංගනෙන් බෙරවා සෙට්ටෙක එනවා. ඔය ගිනි බෝල... කස .. පෙරදිග නැටුම් කණ්ඩායම් තමයි ඔය රාගම පැත්තෙන් එන්නේ. ඒ එන එක එක නඩ වලට සංග්‍රහ කිරීම ගමේ එක එක කණ්ඩායම් වලට පවරලා තියෙනවා. ගිය පාර පෙරහැරේදි ඔය සංග්‍රහයකට ගිහිං ආගන්තුක සත්කාර වැඩි වෙලා තමයි සෙම්බු මුදලාලිගේ පොඩි කෙල්ල බෙරවායෙක් එක්ක පැනලා ගියේ. ඕක ගිය අවුරුද්දේ ගමේ ඕප-නායකලට මාස ගානක කටගැස්මක් වුනා. ඇයි අපේ ආච්චිට? මෙදා පාර බෙරවායෙක්කෙක්ක උංගි පැනලා යයිද මංදා. ඒ තරමට විසෑදිය.

කාවඩි කණ්ඩායම එන්නේ සැන්ජේමිස්සෙකෙන්. දන්සිරි අයියලයි.. නිමල් අයියලයි .. කාවඩි නටන්ඩ ලෑස්ති වෙලා ඉන්නවා. දෙමලුත් එක්ක මොන කාවඩිද? උන් එක්ක හැරෙන්ඩවත් බෑ අපේ එවුන්ට.

“අලියා ගෙනල්ලලු..”

අපි සෙනඟ අතරින් දූදූවගෙන යනවා ඉස්කෝලේ දිහාට. අලි බැලිල්ල එපා වෙන්නෑනේ කවදාවත්.
අපි ඔක්කොම වට වෙලා අලියා දිහා බලන් ඉද්දි අලියා ඇඟ පද්ද පද්ද කිතුල් අතු ගිලිනවා. ඇත් ගොව්වා මහේශාක්‍ය ලීලාවෙන් බලාගෙන ඉන්නවා.

“ඒ අලියට කකුල් පහයි”

දයානන්දයා තමයි ඉතිං ඔව්වගේ කට කැඩිච්ච කතා කියන්නේ.

“දන්සිරි අයියට මාලු ඇන්ටිගේ දුව හා කියලලු”
පෙරහැරේ අතුරු කතා කරළියට එන්නේ එහෙම.
“නෑ..”
“ඔව්..”
“ආච්චිනං ඕකට කොහෙත්ම කැමති වෙන්නෑ. එදත් කියෝ කියෝ හිටියේ බෙන්තර ගඟෙන් එහා එවුන් කියලා.”
ආච්චි විතරක් නෙවෙයි අපිත් කැමති නෑ. ඒකෙමුත් කෙලවෙන්නේ අපේ බඩට. ඇයි ඉතිං අපේ පුස්නාම්බු.. බුල්ටෝ .. කෝටා එක නැතිවෙයි. දන්සිරියා ඔක්කම මාලු ඇනටිලාගේ ගෙදෙට්ට අදියි.
“මංගලිකා රාගම නැටුං කණ්ඩායමේ කොල්ලෙක්කෙක්ක යාලු වෙලාලු”
විනාඩියෙන් දෙකෙන් සෙට් වෙන සෙනික ලව් එෆෙයාර්.
“නෑහ්”
උන් කොහේද? නම මොකද්ද? වයස කීයද? උන් බැඳලා ළමයි ඉන්න එවුන්ද? බෙර ගහලා නටලා ජීවත්වෙන්ඩ පුලුවන්ද?
ගමේ කෙල්ලෝ ඔව්වා බලන්නෑ. ඌ පිටගංකාරයෙක්නං ඇහුවද?
“හා”
ගෑණුත් එහෙම්ම තමයි ආය.
අපිත් පිටගමකට ගිහිං අමුතුවෙන් එන්ඩ ඕනි.
මහ එවුන් විතරක් නෙවෙයි පොඩි එවුමුත් චීත්ත තමයි ආය. චූටියා ඇර.

ඉතිං බිං කලුවර කඳු වලල්ල දිගේ ඇවිදලා ගමට පතබෑවෙනවා. පංසලේ ඉස්පීකරේ උදේ හිටං බෙග් මාස්ටර්ගෙ සිංදු එපා කරවලා එක පාර නිහඬ වෙනවා.
ලොකු හාංදුරුවෝ හෝස් හෝස් ගාලා මයික්කෙකට පිඹිනවා. මංගලිකයි නැට්ටුක්කාරයයි පංසලේ පිළිකන්නේ පෙම් කෙළිනවා.
“වාසනාවන්ත පිංවතුනි .. පිංවතියනි.. ඔබගේ සහයෝගයෙන් ඒ වර්ෂයක් පාසා පැවැත්තෙන පෙරහර මංගල්‍යයට පෙර අද සල්පිලේ අවසාන දවස. ඉතිං පිංකැමති ඔබ සැවොම පංසල කරා පැමිණ ඒ සල්පිලටත් මල්වට්ටි වෙන්දේසියටත් අවසානයේ පැවැත්තෙන චිත්‍රපටියටත් සහභාගි වන මෙන් ඉල්ලා සිටිනවා. අද සල්පිල තව පැයකින් පමණ විවෘත වන්නේ සත්ගුණවත් හාලිඇල සුමිතුරු ව්‍යාපාරයේ අධිපති සුමිතුරු මහතාගේ අතින්. තෙරුවන් සරණයි..”

සුමිතුරු මුදලාලි එනකන් ආය බෙග් මාස්ටර්ව මරණවා.
අපි නොදන්න සත්ගුණවත් සුමිතුරු මුදලාලි. ජාතියාල කාලේ බදුල්ලේ දෙමල මිනිස්සුන්ගේ දේපොල වස්තුව කොල්ලකාලා හැදිච්චි එවුන්. ලොකු හාන්දුරුවොත් කුට්ටියට යටයි. කුට්ටියක් දුන්නොත් හොරෙක් වුනත් සත්ගුණවත්.
දැන් ඉතිං සල්පිල ඇදි ඇදී යනවා.
(කලින් ලියපු සල්පිල බලන්න ඕන්නම් මෙතන කොටහන්  http://godekatha.blogspot.com/2015/12/blog-post_19.html)

යපිලා පුන පුනා බලා ෂිටි යේ ෂොඳුරු දවෂ යෙලඹෙනවා.

මුලු පරිසරයම අමුතු උද්යෝගයකින් පිරිලා. වෙනදාට වඩා හාත්පස අමුතු දිස්නයකින් ලෙලෙනවා . අම්මේ..සීතල.. කුරුලු පංතින්ගේ නින්නාදයෙන් පරිසරය හැඩකාරී වෙලා.
පෙරහැර අද... අපේ සිතේ සතුට දෝරේ ගල ගලා ගල ගලා යනවා.
මංගලිකා නැට්ටුවා එක්ක පැනලා ගිහිංද? පේමෙයයි අනුලක්කගෙයි අනියං සම්බන්දෙට මොකද වුනේ? උංගි පොලු නැටුම නැටුවද? දන්සිරි අයියා මාලු ඇන්ටිගෙ දුව බඳියිද?

මෙච්චර වැදගත් දවසෙත් අපිට හිතෙන්නේ ඔව්වා.

ඕං උදේ අට වෙද්දි පංසලේ ඉස්පීකරේ ආය බෙග් මාස්ටර්ව මරන්න පටන්ගන්නවා. සිරසේ බ්‍රේකිං නිව්ස් වගේ විටිං විට ලොකු හාන්දුරුවෝ නිවේදන නිකුත් කරනවා.
පිටිං ඇවිල්ලා ඉන්න නැටුම් කණ්ඩායං වලට අදාල නිවාස වලින් කන්ඩ ඇරං එන්න වගේ විශේෂ බ්‍රේකිං නිව්ස්.
ඉතිං අපිත් උදේ නමය දහය වෙද්දි බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ඔද වැඩී පංසල දිහාට ගාටනවා. පංසලට යන්න කලින් ඉස්කෝලෙට ගිහිං අරුම පුදුම කකුල් පහේ අලියවත් බලලා තමයි එන්නේ. සෙරෙප්පු ගලවලා පංසලට ඇතුල් වෙන්ඩත් කලින් ලොකු හාන්දුරුවෝ මොකක් හරි වැඩක් පවරනවා. අපේ නම නොගියට පෙරහැරට ගොඩාක් කල් ඉඳං අපේ හම තමයි ගියේ ඉතිං.
පංසලේ කුස්සියට වැදිලා අපිත් දානේ පාර බඩට දාගන්නවා. එතකොට දානේ කන්ඩත් හොඳ නෑ නේද? දානෙත් සාංඝිකයිනේ.

“මෙන්න විශේෂ නිවේදනයක්. පෙරහැර සංවිධායක මණ්ඩලය ලෙස පේමරත්න මහතා. සුබරත්න මහතා.. ඩිංගිරි බංඩේ මහතා.. අප්පුහාමි මහතා..ගුණරත්න මහතා.. එච්.ඇම් ඉන්දසිරි මහතා.. අනුලා මහත්මිය.. සීලා මහත්මිය.. කලු අප්පා මහතා .. සුදුබණ්ඩේ මහතා පත්කර ඇත. කරුණාකර ඒ මහත්වරු කාර්යාලයට පැමිණ ලාංඡන පැලඳගන්න”

දැන් ඔය සෙට්ටෙක කැබිනට් ඇමති කමක් ගන්ඩ යනවා වගේ මෙහෙක් කරගෙන පපුව පුම්බගෙන මෙන්න මෙහෙම ඔෆිස්සෙකට යනවා.
සිංහාසනයෙන් බැස රාජසභාවට යන රජ නිරිඳෙක් සේ මෙන්න මෙහෙම උජාරුවෙන් ලාංඡන හෙවත් බැජ් සාක්කු වල ගහගෙන ඔපීසියෙන් එළියට බසින ප්‍රේමේ අපිටත් රැස්පොට් දානවා. මහා ලොකු තානාන්තරයක් ලැබිලා වගේ.

“ඒයි මෙහෙ වරෙන්. අර තීන්ත බෝතලෙත් අරං පාරේ ඉරි අඳින්න යන්න”

පේමෙයා අපිට නියෝග නිකුත් කරන්නේ එහෙම.

පැල්ලැහැ මහ පාරේ ඉඳං පංසල වෙනකන් ඉරි ගහලා .. කස..මල් බයික්.. සේසත්.. කොඩි.. පොලු නැටුම්.. කිය කිය පෙරහැරේ එක එක කණ්ඩායම් ස්ථානගත කරන තැන් මාක් කරන්ඩ ඕනි.

ඉර අවරට යනවා. දැන් කට්ටිය යුහුසුලුව වැඩ කරනවා.  කලබල වැඩියි. එක එක ගම්වලින්..  පිට පංසල් වලින්.. ඉස්කෝල වලින්.. කට්ටිය ඇවිල්ලා පංසලේ පිරෙනවා. පෙරහැර හාලිඇල ටවුමට යනකන් යනවා. ලොකු හාන්දුරුවොත් කාර්යාලෙට වෙලා එන ආරාධිත අමුත්තන්ව පිළිගන්නවා. හම්බෙන ලිවුම් කවර අඳනේ ඇස්සේ ගහගන්නවා. අල්පේච්ඡතාවය.

කරඬුව තැම්පත් කරන්න එන්නේ ඌව මහ ඇමති පර්සි සමරවීර. ඇයි සමරවීර වීරවන්නිත් එනවලු. උන් එන්නේ පැජරෝ එකේ. අපි ඉතිං උන්දලා එනකන් පංසලේ ඉතුරුවෙලා තියෙන තව සුලු සුලු වැඩ ටික කරනවා. දැන්නම් හැරෙන්ඩවත් ඉඩ නෑ.

“චූටියාට පන්දම් අල්ලන්ඩ හරි පන්දම් වලට කලු තෙල් වක්කරන්න හරි යන්ඩ වෙයි”

ඔව් ඉතිං පන්දම් අල්ලලා නැති එකෙද්ද මේ චූටියා. උංගිගේ ලව් සීන් වලටම ලන්තෑරුම් අල්ලලා කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද?

“කලු තෙල්නම් වක්කරන්ඩ බෑ.ඕන්නම් පන්දම් අල්ලන්නම්.”

“නැට්ටුක්කාරයා චෛත්‍යය පිටිපස්සේ මංගලිකාව ඉම්බලු”

“නෑහ්”

ඔව්වගේ බ්‍රේකිං නිව්ස් වලට තමයි ඉතිං ඉහලම ඉල්ලුම තියෙන්නේ.

“නෙද්දකිං ඔවුන් පංසලත් මඟුල් මඩුවක් කොරගෙනද? ඔව්වා වෙනකං ලොකු හාන්දුරුවෝ බුදිද බං”

ඒ අපේ ආච්චි.
බොරු කකුල් කාරයෝ උඩ අහසට වෙලා පුරුදු වීම් වල යෙදෙනවා. ඔය අස්සෙත් මිනිස්සු එහේ මෙහේ රිංගනවා. දැන්නම් පංසලයි පාරයි එකම හිස් ගොඩක්.
ලයිට් දාගෙන පිඹගෙන හෝන් ගහගෙන මහ ඇමති පංසලට සම්ප්‍රාප්ත වෙනවා.

“අයින් වෙයල්ලා මහ ඇමතිතුමා එනවා” 
පේමේ ඇතුලු සංවිධායක මණ්ඩලය මිනිස්සු එහා මෙහා කරලා ඉඩ හදලා දෙනවා.
ලොකු හාංදුරුවෝ මහ ඇමතිතුමා පිළිගන්න ඉදිරියට එනවා.

ඉස්කෝලේ දිගේලි කරලා තිබ්බ අලියාත් පංසලට එක්කරගෙන එනවා. යකෝ අලියට වඩා අලි ගොව්වගේ ලොකුකං බලන්ඩ උනානේ.
දැන් ඉතිං මහ ඇමති පිළිගැනීමේ කතාව නැම්බර් මාමාගෙන්.. මහ ඇමතිගේ කතාව.. ලොකු හාන්දුරුවන්ගේ ස්තුති කතාව.. ඔව්වා ඔක්කම ඉවර වෙනකං පැල්ලැහැ පාරේ පෙරහැර සංවිධාන කටයුතුත් වෙනවා.

“ඔහොම නෙවෙයි මෙහෙම”
“එතන නෙවෙයි මෙතන”
“ඔයා නෙවෙයි අරයා”
“මෙතන නෙවෙයි ඔයාලා අතන්ට යන්න”
“ඔන්න කොඩිය ඇකිලිලා”

සංවිධායකකම් ලැබිච්චි එවුන් උන් උන්ගේ බලය තහවුරු කරගනිමින් ලොකු හාන්දුරුවන්ගෙන් ලකුණු දෙක තුනක් ලබා ගැනීමේ අරගලයක නිරත වෙනවා.
හැම පැත්තෙන්ම තැලෙන්නේ අපි තමයි.

මහ ඇමති සහ නැම්බර් මාමාගෙන් පස්සේ වැදගත්ම කතාව තමයි ලොකු හාන්දුරුවෝ පවත්තන ස්තුති කතාව.ඒකෙන් කෙරෙන්නේ පෙරහැරට උදව් කරපු පාර්ශ්ව වලට ස්තුති කරන එක. අපිත් කට ඇරං බලාගෙන ඉන්නවා පෙරහැරට මාස දෙක තුනක ඉඳං නැහිච්ච අපි ගැනත් ලොකු හාන්දුරුවන්ගේ කටින් වදාරයි කියලා. ඉස්සෙල්ලාම ලොකු මොණර මිටි දීපු අයගෙන් පටන්ගෙන ලොකු හාන්දුරුවන්ගේ ස්තුතිය පල්ලම් බැහැගෙන බැහැගෙන යනවා. රුපියල් පන්දාහෙන් උඩ සල්ලි දීපු එවුන් තමයි මේ පෙරහැර කොරලා තියෙන්නේ මයේ හිතේ. අන්තිමට තෙරුවන් සරණයි කියනවා. මම මාස ගානක් මොනාවත් කරලා නෑ. මගේ නාම මාත්‍රයක්කත් ඒ ස්තුති කතාවෙ නෑ. මගේ පපුව දිගේ අකුණු ගහනවා වගේ වේදනාවක් ඇදීගෙන යනවා.

“මැදැයි ඉස්පීකරෙන් චූටියගේ නම කියනකන් හිටියා. ගෙරි ගණයට අපි මොකුත් කරලා නෑනේ. අපරාදේ සල්ලි එකතු කරන්න යද්දි තව ටිකක් මාටියා ගහන්ඩ තිබ්බා.”

දැන් අපි අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. දැන් ඕනිවට එපාවට වැඩ.

“චූටි පන්දම ගෙනෙන්”

“මං අල්ලන පන්දමක් නෑ. අර ලිස්ට්ටෙකේ උන්ටම කියහං පන්දම අල්ලන්න කියලා”

අලියා කරඬුව තැන්පත් කරගෙන පෝලිමට එකතු වෙනවා. නැටුම් කණ්ඩායම් නැකත එනකන් සීරුවෙන් ඉන්නවා. පේමෙලා (සංවිධායකයෝ) බොරු කලබලයක් මවාගෙන එහෙට මෙහෙට දුවනවා.
මම හැකි උපරිම වේගෙන් ගෙදෙට්ට දූදූවගෙන ගිහිං ඇඳට පැනලා පොරෝගෙන ලොකු හාන්දුරුවන්ට දෙස් තිය තිය බුදියගන්නවා.

“ඉතිං පෙරහැර ඉවරවෙන්න ඇති..මට මොකො..රෙද්ද?”


15 comments:

  1. // “බැඳපු මිනිහවත් මෙහෙම වද දුන්නෑ.මම ආය එන්නෑ තමුසෙත්තෙක්ක ජීවිතේට.”
    “ කෝල් ගන්ඩ එපා. යකා අද ගෙදර”
    “බදුලු-බණ්ඩාරවෙල කිව්වම මම හිතුවේ ගමේ අහිංසක කොල්ලෙක් කියලා. අහිංසකකමක් ගෑවිලාවත් නෑ තමුසෙට?” //

    ඇත්තද බං?

    ReplyDelete
  2. ඔය කොරල තියෙන්නෙ රෙද්ද.
    අලි නවයක් කියන්නෙ කෝටි කීයක්ද බං මේ කාලෙ හැටියට. අම්මප ලොකු බුවානං හොඳ ගානක් ගසා කන්න ඇති.

    ReplyDelete
  3. ඔහොම හිටාං ඔතාන් යන එකී ආපු දාට යසට දම්වැල් වැටෙයි

    ReplyDelete
  4. සෑසනේ චිරස්ථිතිය උදේසා වූටියා මහන කොරමු.

    ReplyDelete
  5. කතාව කියවලා මාත් සාංඝික උනා කියහංකෝ

    ReplyDelete
  6. මේනක මළයලව අර ගණය තනිකරම කඩේ යවල !

    ReplyDelete