බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, September 12, 2015

කෙටි කතාව අංක 02


වෙනදා වගේම මීදුම කපාගෙන මලානික හිරු කඳු මුදුන දිගේ පහලට බැහැගෙන බැහැගෙන ආවා.. වියලී ගිය පතන් ශාකයක් උඩ පොල්කිච්චෙක් විකාර සිංදුවක් කිව්වා..හෙට දවස ගැන නිනව්වක් නැතිව මුතුබංඩේ ආයෙත් අහස දිහා බලලා දිග සුසුමක් පිට කලා. 

“අදත් අල ටික ගෙනියන්න නාවොත්....? ”

තම සැමියාගේ විස්සෝපයන් එදා සිටම එකට හිඳ බෙදාගත් බිසෝත් ඒ සුසුමට නොදෙවෙනි සුසුමකින් ප්‍රතිචාර දැක්වූවාය.

“බොරුකාරයෝ.ඡන්දෙ කිට්ටුවනම් ආවා වැඳ වැඳ...මම ඕකනේ කිව්වේ යන්න එපා කියලා...ඒ මදිවට කටවුට් එකකුත් ගැස්සෙව්වා උඩ පාරේ..ඡන්දෙ දින්නා..කෝ දැං..?බොරුවට ඡන්දෙ කිට්ටු කරල සමූපකාරෙන් අල ගත්තා..ඒ දවස්වලනම් උන්දැලාගේ හත්මුතු පරම්පරාවම මෙහේ...කෝ දැං”

කඳු එක්ක හැප්පි හැප්පී..සීතලේ ගැහි ගැහී..කූඩෑල්ලන්ගේ අනේකවිධ ප්‍රහාරයන්ට ගොදුරු වෙවී දුක් විඳින බදුළු මිටියාවතේ හැම අල ගොයියගෙම පොදු ගැටළුව ඕක...රජරට වී ගොවියට තියෙන්නෙත් ඔය ප්‍රශ්ණේ..දඹුල්ලේ ලොකු ළූණු ගොවියට තියෙන්නෙත් ඔය ප්‍රශ්ණේ...කාටද විකුණන්නේ...? කීයටද විකුණන්නේ...?

හුරිහෙල කඳු මැද්දේ ඉන්දපු අර්තාපල් වල සුදු මල් පිපෙද්දී මුතුබංඩෙ නෙවෙයි අඳුරු වැටෙනකල් ගෙදර ආවේ.. ඇයි ආසාවට මල් දිහා බල බලා ඉන්නවා...මල් වල පරාග.. පැණි අරං යන්න එන මීමැසි බඹර සමූහයා ගුමු ගුමු නදින් මුමුණන කවි මුතු බංඩේ ආසාවෙන් අසාගෙන හිටියා..

බිසෝයි මුතුබංඩයි විවාහපත්වෙලා අවුරුදු දෙක තුනක් යනකල් දරුපැටියෙක් පිළිසිඳ නොගන්නකොට බිසෝවත් එක්කං බදුල්ලේ ඉස්පිරිතාලෙට යන්න වුනේ මිඩ්වයිෆ් නෝනගේ බලවත් ඉල්ලීමට.. දොස්තර ගාවට මුතුබංඩා ගියේ මරන්න ගෙනියන හරකෙක් වගේ..බයේ ගැහි ගැහී.. වෛද්‍ය පරීක්ෂණ මහ ගොඩයි...වැරැද්ද මුතුබංඩගේ.. නිගමනය ඒකයි...බෙහෙත් අහුරු මහ ගොඩක් අරං මුතුබංඩයි බිසොයි ආපහු ගෙදර ආවා...පස්සෙ නොගිය පංසලක්..පල්ලියක්..දේවාලයක්නෑ...ඒත් මොන......

“ඕවා පරාගනය වුනාට ඇට හැදෙයි කියලා ඇයි? ” අල පාත්තිවල මල් මත ගුමුදෙන මීමැසි බමර සමූහයා දෙස බලමින් මුතුබංඩේ තමන්ටම කියාගත්තා.

ඒ දවස්වල ඒ කියන්නේ දැං අවුරුදු විස්සකට විසිපහකට උඩ වැලිමඩ සානුවේ..බදුළු මිටියාවතේ.. නුවරඑළිය දිස්තිරික්කේ අල ගොවියෝ තමයි රජ්ජුරුවෝ. වැලිමඩ- බදුල්ල දුවන බස් ඔක්කොම වැලිමඩ අල ගොවියන්ගේ බස්. හොන්ඩර් වලින් තමයි අල වවන්නේ...සමහරු එකට දහය එකට පහලව එකට විස්ස අල ගැලෙව්වා.ඒකියන්නේ එක හොන්ඩරේකින් ලැබෙන අස්වැන්න...ඒ කාලේ තෙල් බෙහෙත් එච්චර ගනන් තිබුනෙත් නෑ.රටින් අල ගෙනාවෙත් නෑ.පහු පහු වෙනකොට තමයි අල ගොයියෝ අල වලට ගහන්න ගෙනාපු තෙල් බෙහෙත් කටේ හලාගෙන මැරුණේ..ගොවියො ණයකාරයෝ වුනා...වී ගොවියෝ ණය ගෙවලා ඇඟිටි ටික ගෙට ගත්තා වගේ අල ගොයියන්ට ඉතුරු වුනේ උදළු මුල්ලු වලට කැපිලා ගිය කෑලි අල.....

පහුගිය ඡන්ද කාලේ ගමට ආපු දේශපාලකතුමා මුතුබංඩෙව අල්ලගත්තා...නිල බලලා හරියටම ගහපු කොක්කේ මුතුබංඩා දැවටුනා...බිසෝනම් දැනගත්තා මේ ඇමක් කියලා..බිසෝගේ කීම හැඳිමිටේ නුවනත් එක්ක ගලපපු මුතුබංඩෙ ඇම ගිල්ලා...

“ගමේ ගොවි සමිතියේ සභාපති ගරු මුතුබංඩා” කියලා ලව්ස්පීකරේ නම කියවෙද්දි මුතුබංඩෙගෙ ඇඟ ආඩම්බරෙන් රත්වෙලා ගියා...

“මම උඹලව රජවරු කරන්නම්” දේශපාලකතුමා මහ හඬින් දිවුරුවා.

“ඔබතුමා අපිව රජකවන්නනම් අපි ඔබ තුමාව රජ කරන්න එපැයි..මෙදා ගොවි සමිතිය වෙනුවෙන් මම ඒ වැඩේ බාරගන්නවා”මුතුබංඩා ඊට දෙවෙනි වෙන්න ගියේ නෑ.... අළුත් බලාපොරොත්තුවක් මුතුබංඩෙව මල්මල් ගමනක් අරං ගියා.

කළුවර කාමරේ තිබ්බ බීජ අර්තාපල් අළුතින් බිම් සකසපු බිමේ ඉන්දුවේ බිසෝයි මුතුබංඩයි. එදා රෑ අඳුරු වැටෙනකන් ඉන්දලත් බැරිවුනා ඉන්දගන්න...පහුවදාත් උදේ හිටං....දැං ඉතිං ආයේ සතියකින් විතර ආවොත් ඇති බලන්න....

එදා හැන්දෑවේ දේශපාලකතුමා මුතුබංඩෙගේ ගෙදරටම ආවා ජීප් එහෙකින් .........

“මහත්තයා අල ටිකනම් ඉන්දුවා”

“හා හා මුතුබංඩේ මම දින්නම මුතුබංඩෙ ඕවා කරන්න ඕනි නෑ..ආණ්ඩුවේ ජොබ් එකක් දෙනවා. අම්මාපල්ලා.. අද රෑට මේ පලාතම පෝස්ටර්වලින් වනසන්න ඕනි. ”

රුපියල් දාහකුත් මුතුබංඩෙගේ සාක්කුවේ ඔබමින් දේශපාලකතුමා කිව්වේ බිසෝ දිහා ඇස් ඇස් කරක කරක.බිසොත් ඇහැට කනට පෙනෙන එකී..

“මටනම් ඇල්ලුවේ නෑ උගේ බැල්ම.. ”

“අනේ බිසෝ උන්දැ එහෙම කෙනෙක් නෙවී. ”

එදා රෑ ගොවි සමිතියේ සාමාජිකයෝ යමරෙට වැඩ. පාප්ප ගානවා..අලවනවා..තීන්ත වලින් පාරේ අකුරු ඉලක්කම් ලියනවා..බෝක්කු ගල් කළු ගල් මාර ගස් පෝස්ටර්වලින් වැනසෙනවා...රෑ මැද දේශපාලකතුමා ආවෙ නිකම්ම නෙවෙයි. හතරැස් බෝතල් තුන හතරකුත් අරං...ඇඟ රත්කරගන්න...

පහුවදා උදේම බලද්දි කොල්ලන්ගේ පාටියේ එවුන් අර පෝස්ටර් උඩම පෝසටර් ගහලා. දේශපාලකතුමාගේ එක පෝස්ටරයක් නෑ...පාන්දර තමයි උන් ගහලා තියෙන්නේ. වැඩේ ගඟට කපපු ඉනි බවට පත් වුනා.

“පර බල්ලෝ ඔවුන් මට අහුවුනානම් ඔවුන්ගේ අතපය බෝංචි කඩනව වගේ කඩන්නේ” දේශපාලකතුමා ගිගිරුවා..

මුතුබංඩෙගේ අල කොටුවේ පැත්තකට ඌරෝ ගහලා තිබ්බා. ඌරෝ බීජ අල ගෙඩි පිටින් ගිලලා දාලා තිබ්බා. අනෙක් ඒවටත් ඌරෝ පනින නොපනින එක කියන්න බෑ...දැං රෑට අල කොටුව රකින්න යන්න වෙයි.

“උඹ යන්න ඕනි නෑ රෑ කොටුවට..මගේ වැඩ ඔක්කොම බ්ලොක් වෙනවා.පාරේ ලයින් එකෙන් අරං දාපං කරන්ටෙක..මොනාහරි වුනොත් මම බලාගන්නම්. ” දේශපාලකතුමා මුතුබංඩෙට කිව්වා..මුළු යායම කොටු කරලා ගොවියෝ කම්බි ගැහැව්වා..කරන්ටෙක දාන්න.

අනේ පහුවදා ඌරෝ ඊරියෝ පැටවු කම්බි වල ඇමිනිලා පොලොවේ පස් කාගෙන වැටිලා හිටියා.

“තියෙන පවු මදිවටද තව පවු ගොඩගහන්නේ” බිසෝ කෝපයෙන් ගිගිරුවා. ඌරු මස් විකුණලා ලැබිච්ච ආදයම් ගොවි සමිතියට බැරවුනා.

අල පාත්ති වල පස් පසාරුකරගෙන මොටෙයියන් දෙක තුන ඉලිප්පෙන්න ගත්තා. මේ පාරනම් අස්වනු සරු වෙයි. මුතුබං‍ඩෙට හිතුනා.

“හෙට ඉඳං කැන්වසින් යන්න කණ්ඩායම් හතර පහක් සූදානම් කරගන්න වෙයි..කැන්වසින් ගිහිල්ලා කියන්න තියෙන ප්‍රධාන කාරණේ තමයි අර්තාපල් අස්වනු නෙලන්න ලංවෙද්දි ආණ්ඩුව එක අලයක්වත් රටින් ගේන්නේ නෑ.සහතික මිලට සමූපකාර හරහා ඕනිතරම් අල ගන්නවා. ඒ වගේම මේ පත්‍රිකා ටිකත් බෙදලා දාන්න ඕනි. ” දේශපාලකතුමා මුතුබංඩෙගේ පිටට තට්ටුවක් දැම්මා.

“ඔය කියපු වචන පේලියම එක එක පැතිවලදි වෙනස් කර ගන්නවා. පොලොන්නරුවෙදි වී කියලා දානවා. දඹුල්ලෙදි ලොකු ළූණු කියල දානවා. මේ වාහෙට ඕක තේරෙන්නෑ.” බිසෝ කිව්ව හැම වචනයක්ම ඇත්ත කියලා මුතුබංඩෙට තේරෙන්නේ දැන්.

කැන්වසින් යන එක ලේසි නෑ. කඳු උඩ ඇවිදින්න ඕනි. කකුල් වෙව්ලනකල්..කූඩැල්ලන්ගෙන් පීඩා විඳින්න ඕනි. බෑවුම්.. ප්‍රපාත..කටු අකුල්..වන බූටෑව පහු කරමින් තමයි ගම් නියම්ගම් වල කරක්ගහන්න වෙන්නේ.. කොහොම හරි ඒ වැඩෙත් කරන්න එපැයි..මේ අඳුරු ජීවිතෙන් ගොඩ යන්නත් එපැයි..

අල පාත්තිවල උඩට ඇදුන මොටෙයියන්ගේ ලපටි පත්‍ර දෙක තුන දිග ඇරිලා ඉර එළියත් එක්ක හිනා වෙවී හරිතප්‍රද නිපදවන්න පටන් අරං තිබුණා. පාත්තිවල තැනින් තැනට ගිහිං මුතුබං‍ඩේ ලා කොල පාට අර්තාපල් පත්‍ර ස්පර්ශ කලේ බොහෝම දයාවෙන්.

විරුද්ධ පක්ෂෙ අපේක්ෂකතුමාත් ආවා මුතුබංඩෙව හම්බුවෙන්න.

“මුතුබංඩෙලාගේ අප්පච්චිලාගේ කාලේ ඉඳන් මුතුබංඩෙලා අපේ පක්ෂේ. මමනම් කවදාවත් හිතුවෙ නෑ ඕවගේ තීරණයකට එයි කියලා මුතුබංඩේ. ”

“මහත්තයෝ මහත්තලෑ පමාවුනා වැඩියි. මම අරුන්දැට වචනයක් දීලා අහවරයි”

පහුවදා දේශපාලකතුමා ලහි ලහියේ ආවේ ඔය ආරංචිය කනේ වැටිලා වෙන්ටෑ.

“අරුං වැඩ පටන් අරං අද ඉඳං ඕකුන්ට එක පෝස්ටරයක් ගහන්න දෙන්න එපා. කොනක ඉඳං ඔක්කොම ගලවන්න ඕනි. ”

හැම හංදියකම හැම තාප්පයකම හැම බෝක්කු ගලකම තියෙන ප්‍රතිවිරුද්ධ පෝස්ටර් ගලවන එක ලේසි වැඩක් නෙවෙයි. අහුවුනොත් වෙන්නේ කොන්දත් කඩාගන්න.

“අන්න අල කොටුව වල් වහගෙන.නිදිකුම්බා..හුලංතලා..මොණරකුඩුම්බිය විමානයක් වෙලා. ඔහේ මේ දේශපාලනයක් බදාගෙන...” 

බිසෝගේ ගෝරනාඩුවට මුතුබංඩෙ කොටුවට යනකොට කතාව ඇත්ත. කොලපාට අල යාය වහගෙන නිදිකුම්බා පැල.

“කොනක හිටං උගුල්ලන්න වෙයි.ලේසිපාසු වැඩක් නෙවෙයි. ” 

“මරු...කොනක ඉඳං උගුල්ලලා තිබ්බා උඹලා උන්ගේ පෝස්ටර්.මම මඟ එද්දි බලාගෙන ආවේ. බොහොම සන්තෝසයි.බොහොම සන්තෝසයි.“ දේශපාලකතුමා කිව්වේ නලලෙන් හිනා වෙවී. 

“ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. ඡන්දෙත් කටලඟ. මේන් මේක තියාගනින්කෝ.” දේශපාලතුමා මොණර කොල දෙකතුනක් මුතුබංඩෙගේ සාක්කුවේ ඔබමින් කිව්වා.

කාලය වේගයෙන් තටු ලබමින් ඉගිල්ලෙමින් තිබුණා. බදුල්ලේ ටවුමේ ලොකු රැස්වීමක් සංවිධානය කරල තිබ්බා. ගමේ මිනිස්සුයි ගොවිසමිති නියෝජිතයොයි එක්කන් යන්න සී.ටී.බී බස් දෙකක් එවල තිබ්බා.උදේට කන්න මාළු පාන්.. කිරි පැකට්.. දවල්ට කෑම පැකට්.. බොන අයට බොන්න..හවස යද්දි හැමෝටම සන්තෝසමක් විදියට රුපියල් පන්සීය ගානේ හම්බුනා....

“රැස්වීම් හැමදාම තියෙනවනම් මරු........ ” බීගත්ත ගමේ එකෙක් කිව්වා. දේශපාලකතුමා අනිවාර්යයෙන් දිනයි.රැස්වීමට ආපු සෙනඟ කන්දරාව දැක්කම මුතුබංඩෙට හිතුණා.

අල පාත්ති තද කොලපාටට හැරිලා සුළඟේ එහා මෙහා වැනි වැනී තිබුණා. තද කොලපාට අර්තාපල් පත්‍ර දිහා බලාගෙන උන්නු මුතුබංඩෙගේ දෙනෙත් බොඳ වෙලා ඒ ඇස් සුන්දර හීනයකින් පිරිලා ගියා. අර්තාපල් වගාවේ පොලොවේ යට දර්ශනයක්. මුළු අල යායෙම මුල් කෙලවර පස් අතර මහා විශාල අර්තාපල් අල බැහැලා තිබුණා. අනිවාර්යයෙන් ඒ එකක් ග්රෑම් පන්සීයකට එහා. අම්මේ බලන්න එපැයි රෝසපාට අලගෙඩි වල ලස්සන.

“මොකද භාවනා කරනවද? ” බිසෝගේ කටහඬින් මුතුබංඩේ සිහිනයෙන් එළියට ආවා.

දින සති වෙලා ඉක්මනින් ඉගිල්ලෙමින් තිබුණා. අල ගස් හොඳට මෝරලා හරිතප්‍රද නිපදවීම අතහැරල තිබුණා. ඒ කියන්නේ අස්වනු නෙලන්න කල් යල් ලං වෙනවා. දැං අල ගස් කහපාට ගැන්වීගෙන එනවා. අලගස් මැරීගෙන එනකොට තමයි අස්වනු නෙලන්නේ.

ඡන්දෙ දවසේ පෝලිම් බූත් එකේ හිටියේ මුතුබංඩේ. දේශපාලකතුමාගේ පක්ෂේ නියෝජනය කරමින්. විපක්ෂ පක්ෂවලත් දෙතුන් දෙනෙක් හිටියා. මොකුත් නෑ. ලිස්ට් එක හරිද කියල ඡන්ද පොල නියෝජිතයන්ට සහය වෙන එක තමයි කරන්න තිබ්බේ. 

පහුවදා උදේ වෙද්දී අවසන් ප්‍රතිඵලෙත් නිකුත් කරල තිබ්බා. දේශපාලකතුමා උඩින්ම දිනලා තිබ්බා. ගෙට උඩින් පාරේ හයි කරපු කටවුට් එක ලඟ මුතුබංඩාත් ගොවිසමිතියේ අයත් දිග රතිඥ්ඥා වැලක් පත්තු කරා. 

“යායෙම අල ගලවන්න යන්නේ. දැන් දවස් හරි“

අත්තම් ක්‍රමයට තමයි ගොවිතැන. ඔය අත්තම් ක්‍රමය පාරම්පරිකව එන ක්‍රමයක්. තාම මේ පලාත් වල ක්‍රියාත්මකයි. මුතුබංඩෙගේ කොටුවේ අල ගලවන්න මුළු යායෙම ගොවියෝ එනවා. හිලව්වට මුතුබංඩෙත් තමන්ගේ කොටුවේ අල ගලවන්න ආපු ගොයියන්ගේ කොටුවල අල ගලවන්න යන්න ඕනි. එදාට තේ කෑම බුලත් පුවක් බීඩි දුංකල ඔක්කොම කොටුව අයිති ගොවියා සපයන්න ඕනි.

මුතුබංඩෙ එදා දැක්ක හදිසි සිහිනය ඇත්තක් වෙලා තිබ්බා. එකට පහලොවටත් වඩා අස්වනු හැම ගොවියම ගෙට ගත්තා. මුතුබංඩෙ අල තැන්පත්කලේ බීජ අල තැන්පත්කරපු කළුවර කාමරේමයි. ණයතුරුස් ටික ගෙවලා හොඳ ගානක් අතට ගත හැකි. මුතුබංඩේට හිතුණා.

සමූපකාරෙට විසි තිස් වතාවකට වඩා ගිය මුතුබංඩා ඇතුළු ගොවි නියෝජිතයෝ ආපහු ආවේ සුසුම් හෙල හෙල.

“අපි විකුණන්නෙත් රට අල.අපිට අර්තාපල් ගන්න කියලා නෑ. ඡන්දෙට කලින්නම් දැනුම් දීලා තිබ්බා ගන්න කියලා.ඔය වැලිමඩ පැත්තේ අලනම් ගත්තා ඡන්දෙට කලින්. ටී.වී එකේ කිව්වට අපිට දැනුම් දීලත් නෑ. සල්ලි එවලත් නෑ. ”

මුතුබංඩෙගේ ඉහමොළ රත්වුනා. ගොවිසමිතියේ සභාපති හැටියටත් දේශපාලකතුමාගේ හිතවන්තයා හැටියටත් හැම ගොවියගෙම ඇඟිල්ල දික්වුනේ මුතුබංඩෙ දිහාවට. 

අන්තිමට මුතුබංඩෙ දේශපාලකතුමා මුණගැහෙන්න ගියා. 

“ඇමතිතුමා කොලඹ ගිහිල්ලා. එන දවසක් කියන්න බෑ”

ගිය හැමදාකම එකම වචන පේලිය..මුතුබංඩෙගේ ඔළුව මහා විකාර ගොඩකින් පිරිලා ගියා... ගමට මුහුණ දීගන්න බැරුව මුතුබංඩෙ ගෙදරටම වෙලා කාලේ ගෙවලා දැම්මා.

ඔය උඩරට අල ගලවලා වැඩිකල් තියාගන්න බෑ. සතියෙන් දෙකෙන් විකුණලා ඉවරකරන්න ඕනි. නැත්නම් කුණුවෙන්න පටන්ගන්නවා. රටින් ගේන අල එහෙම නෙවෙයි. හං ගැහි ගැහී තියාගන්න පුළුවන්.

දවස් හය හතක් ගියත් සමූපකාරෙන් අල ගත්තේ නෑ. දේශපාලකතුමා ඇමති පදවියක් ගන්නවා ටී.වී එකේ පෙන්නුවා. 

“කාමරෙන් කුණු ගඳක් එනවා. අල කුණු වෙන්න පටන් අරං ” බිසෝ කිව්වා.

කුස්සියට ගිය මුතුබංඩා භූමිතෙල් කාලක් ඉනේ ගහගෙන ගිනිපෙට්ටියක් සාක්කුවේ දාගත්තා. පිළිකන්නේ තියල තිබ්බ වල් බෙහෙත් කුප්පියක් ඉනේ අනික් පැත්තේ ගහගත්තා. විදුලි වේගයෙන් පඩිපෙල නැගගෙන උඩ පාරට ගිහින් දේශපාලකතුමාගේ කටවුට් එකට භූමිතෙල් ගැහුවා. ගිනිකූරක් දල්වද්දි කටවුට් එක හෝස් ගාලා ඇවිලිලා ගියා. ඉනේ අනිත් පැත්තේ තිබ්බ වල්බෙහෙත් බෝතලේ අරං මූඩිය ගලවලා විසිකරලා ඒක කටේ හලාගත්තා.

“අයියෝ මයෙ මිනිහා......... ” බිසෝ විලාප තිබ්බා

No comments:

Post a Comment