බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, September 12, 2015

කෙටි කතාව අංක 03






හදවත කඩාගෙන වැටෙන්නාක් මෙන් මට දැනුනි. පපුව වේදනාවෙන් බරව ලබ් ඩබ් හඬ නංවනවා මගේ දෙසවන් වලටත් ඇසුනි. මගේ නික්ම යාමට පෙර පාසල් සිසුවියක් විසින් කරන ලද කතාව මා තුළ වූ වේදනාව තව තවත් වැඩි කල බව මට දැනුනි. සියළුම සිසු සිසුවියන් හැඬුම්බර දෙනෙතින් මා දෙස බලා සිටියේ “යන්න එපා සර්“ කියන්නට මෙනි. අද ලොකු සර් හිටියනම් කොච්චර දුක් වෙයිද? මට සිතුනි.

හරියටම මීට වසර හතර හමාරකට පෙර මා පත්වීම ලබා පැමිණියේ වැල්ලවාය ප්‍රදේශයේ දුෂ්කර පාසලකටය.පත්වීම ලද දිනයේ අම්මා සතුටට මෙන්ම දුකටද පත් වූවාය. සතුට මට ගුරුපත්වීම ලැබීම ගැනය. දුක එම පත්වීම දුෂ්කර පාසලකට ලැබීම ගැනය. “කමක් නෑ අම්මේ ටික කාලයයිනේ තව වැඩිම වුනොත් මාස 6කින් මම අම්මා ලඟ“

එහෙම කියා ගෙදරින් පිට වූ මම අම්මා ඔත්පලව ඇඳට වැටෙනතුරු වැල්ලවායේ පාසලක බින්න බැස්සා යැයි මට හැඟෙයි. වසර හතරහමාරක් ගෙවීගියාදැයි මට හරියටම නිනව්වක් නැත.

“මේ වගේම මහත්තුරු ගොඩක් මෙහෙට ආවා. මාසයයි දෙකයි. සමහරු මාරු හදාගෙන ගියා. සමහරුන්ට එපා වෙලා ගියා. මේ මහත්තයා ගැනත් මම එහෙම හිතාගන්නද? හැබැයි මහත්තයෝ මම මළොත් මැරෙන්නේ මේ ඉස්කෝලේ පොලොවේ.“

මම පත්වීම බාරගනිද්දී ඉස්කෝලේ ලොකුමහත්තයා මා සමඟ දොඩමළු වුනේ එසේය. වයස අවුරුදු 50ක් ඉක්මවා ඇති උඩු රැවුල වැවූ තැන් තැන්වල පමණක් කළු හිසකෙස් දකින්නට හැකි තේජස් පෙනුමකින් හා සුදු වතින් සැරසුනු මුල් ගුරුතුමා හා කුඩාකල මා කියවූ කතාවල සිටින මුල් ගුරුතුමාගේ සැබෑ පෙනුමට බෙහෙවින් සමාන විය.

පාසලක් යැයි හැඳින්වූවාට මා දැක තිබූ පාසල් සහ මේ පාසල අතර අහස පොලොව මෙන් වෙනසක් දුටුවෙමි.සමහරක් ලී බරාඳයන්ට වන ලැහැබේ ඇති ලී කණු ආධාරකයන් වී ඇත්තේ බිඳී යාමට ඔන්න මෙන්න කියා තිබියදීය.වහල උඩ සමහර උළු කැට තුළින් අහස පැහැදිළිව බලාගන්න පුළුවන.ඩෙස් බංකු සිහිගන්වන්නේ පරණ තාලේ ලී බඩුවල සිරියාවය.පොලොවේ තැන්තැන් වල විශාල වලවල්ය. සමහරක් ඩෙස්වල කකුල් තුනක් පමණක් ඇති නිසා ඩෙස් පේලි එකට ඈඳා ඇත. පාසලේ පංති ඇත්තේ 8 වසරට පමණි. ළමයින් හැට හැත්තෑවකට වඩා මම නොදිටිමි.

“මහත්තයා දැකල තියෙන ඉස්කෝල වගේ නෙවෙයි මේ ඉස්කෝලේ. ලොකු ලොකු ඉස්කෝල වලට යන්න වත්කමක් නැති එවුන්ගේ දරුවෝ තමයි මෙහේ ඉන්නේ.හේනක් වවාගෙන ගොඩාක් දුක්විඳින අයගේ දරුවෝ. ගුරුවරු අපි දෙන්නා විතරයි. අපි දෙන්නට හැකි විදියට මුන්ගේ ඇස් පාදමු. අපිට කරන්න පුළුවන් එච්චරයි. මහත්තයට ගුරු නිවාසෙ පැත්තක කාමරයක් වෙන් කරල තියෙනවා. ළිඳ ලඟට ගිහින් වතුර ටිකක් සප්පායම් වෙලා ඉන්නකෝ.අපි හෙට ඉඳං වැඩ පටන්ගමු.

පසුදා පොඩි එවුන් මා වටා වටවෙමින් මගේ මූණ දෙසම බලා සිටියේ අමුතු සතෙක් දෙස බලා සිටින්නාක් මෙනි. 

“දුවපියව් පංතියට. මොකද බයිස්කෝප් පෙන්නනවද?“ 

ලොකු සර්ගේ ගෝරණාඩුවට පොඩි උන් රොත්තම පංති වෙත දුවන්නට වූහ.

සඳ කිරණ ඈත පේන වැව් දිය මත නේක රටා වියන හැටි ගුරු නිවාසයේ කවුළුවක් තුලින් මට පෙනෙයි.පාසල් ඉඩම කෙළවරින් ඇරඹෙන්නේ වෙල් යායයි. පාසල සතුවද වෙලක් ඇති අතර එය වැපිරෙන්නේ ලොකු සර් අතිනි. වෙල් එළිය සිපගෙන එන සුළං රැළි නිසා අතිශය ග්‍රීෂ්මය මා හට දැනෙන්නේ නැත. විවිධ සතුන්ගේ හඬ රාත්‍රියේ නිශ්චලතාවය බිඳ දැම්මත් ඒ හඬ නගන්නේ කවර සතාදැයි මම නොදනිමි. 

“ ආ ඔය උලමා. හරිම මූසල සතෙක්. “ එවන් අවස්ථා වල ලොකු සර් මාව දැනුවත් කරයි. 

උදයට මෙන්ම රාත්‍රියටද කෑම පිළියෙල වන්නේ ලොකු සර් අතිනි. ඒ හැම වේලටම වැව් කරවලයෙක් වැව් මාළුවෙක් එක් කරන්නට ලොකු සර් අමතක කරන්නේ නැත. වැව් මාළු වලට බෙහෙවින් ලොබ බඳින්නෙක් බවට මම පත් වූයෙමි. ලොකු සර්ගේ හා අම්මාගේ කෑම අතර වැඩි ‍වෙනසක් මට නොදැණුනි.

ලොකු සර්ගේ වරදක් දකිනවානම් මා දුටුයේ ඔහුගේ අධික දුම්පානය පමණකි. රාත්‍රියට එළියේ ඇති බංකුව උඩට වී දුම් ගුලි ඉහල යවමින් කල්පනා කිරීම ලොකු සර්ගේ පුරුද්ද විය.

“ඇයි ලොකු සර් විවාහ වුනේ නැත්තේ?“

දිනක් රාත්‍රියේ මම විමසද්දී එය නෑසුන ගානට දුම්රොටු ඉහල යවමින් බංකුවට වී සිටි නිසා ඒ කාරණය ගැන යළිත් නොවිමසීමට මා තීරණය කලෙමි.

ඉස්කෝලේ මිදුලේ ඇති විශාල කෝන් ගහේ ගෙඩි කෑමට විවිධ සත්තු පැමිණෙති. රිළවුන්ද ඉඳ හිට පැමිණ කෝන් ගස දෙවනත් කරති. පාසල් බිමේ දෙහි දොඩම් බෙලි දිවුල් වැනි පළතුරු එමට තිබේ. පාසල් එන විට පොඩි උන්ද විවිධ වු පළතුරු මට ගෙනැවිත් දෙයි.මටද නුපුරුදු සමහර පළතුරු රස බලනු දුටු ලොකු සර් 

“මහත්තයෝ මහත්තයට ඕවා නුපුරුදුයි. ඊටත් හරි ඌෂ්ණයි. වැඩිය කන්න එපා“ යැයි උපදෙස් දෙයි.

මා මෙහි පැමිණ දෙවසරක් ඉක්ම ගිය බවක් මට නොදැණින. මා ඉල්ලුම් කර තිබු මාරුවද තවමත් නොලැබුණ අතර ඒ ගැන වැඩි උනන්දුවක් මා තුල දැන් නැත. අම්මා ලඟ අක්කා සිටින නිසා ඒ පිළිබඳ ව වැඩි බරක් මගේ හිසට නොදැනේ. හවසට දැනෙන පාළුව මකා ගැන්මට අතිරේක පංතියක් ආරම්භ කිරීමට මම සිතාගතිමි.

“සර් මම අතිරේක පංතියක් පටන් ගන්නද?“ දිනක් හැන්දෑවක මම ලොකු සර්ගෙන් විමසුවෙමි. 

“හ්ම්“ ලොකු සර් පිළිතුරු දුන්නේ එසේය.

සතියකට පමණ පසු මම අතිරේක පංතියක් ආරම්භ කළෙමි. පළමු දිනයේ මහත් උද්යෝගයෙන් සියළුම සිසුන් පංතියට සහභාගී විය. එහෙත් ඊලඟ දිනයේ.. ඊලඟ දිනයේ.. ඊලඟ සතියේ ..ඊලඟ සතියේ.. ඊලඟ මාසයේ

“මොකද පංති නොඑන්නේ?“

“සර් හානවා“

“සර් පෝරු ගහනවා“

“සර් වපුරනවා“

“සර් වල් නෙළනවා“

“සර් ගොයම් කපනවා“

“සර් ගොයම් පාගනවා“

“සර් බැත හුලං කරනවා“

“සර් බැත අදිනවා“

කෙටි කලකින්ම පංතියේ මා පමණක් ඉතිරිවෙන්නට පෙර මා පංතිය නවතා දැමුවෙමි.

“මහත්තයෝ කූඩැල්ලො මෙට්ටෙ උඩින් තියන්න බෑනේ.“ මා දෙස දයාවෙන් බැලූ ලොකු සර් කියන්නට විය.

ප්‍රෙද්ශයේ දේශපාලකයෙකුගෙන් උදව් ලබාගෙන මම මා පැමිණ තෙවන වසරේදී පාසලට නව ගොඩනැගිල්ලක් හා අලුත් ඩෙස් බංකු ලබා ගැනීමට සමත් වීමි. රාජ්‍ය නොවන සංවිධානයක උදව්වෙන් පාසලට ජලයද ලබා ගැනීමට හැකිවිය. මේ සෑම කාර්යයකටම මා සමග ගොස් අවශ්‍ය ධෛර්යය ලබා දීමට ලොකු සර් අමතක කලේ නැත.

එම වසරේම පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අප පාසලේ සිසුන් දෙදෙනෙක් සමත්ව ඉහල කොලීජියකට යාමට පසුබිම සකසාගත්තේය. ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් දෙදෙනෙක් සමත් වීමත් සමඟ අප පාසල කෙරෙහි ගම්මුන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විය.

“ටවුමෙ ඉස්කෝලෙට යවලත් අපේ උන්ට බැරි වුනානේ“ 

ඒ දිනවල කඩමංඩියේ මෙවැනි වචන බහුල විය.නගරයේ පාසලෙන් ළමුන් ඉවත් කරගෙන අපේ පාසලට ඇතුල් කිරීමටද සමහරු පෙළඹුනහ.අලුතින් ගුරුවරුන් තිදෙනෙක්ද අපේ විදුහලට අනුයුක්ත වු අතර 8 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති ඉහල දැමීමටද හැකිවිය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලද දිනයේ කොයි කාටත් වඩා සතුටට පත්ව සිටියේ ලොකු සර්ය. එදා උදේ පාසල් සිසුන් අමතා ලොකු සර් කල කතාව අද මෙන් මට මතකය. 

“මේ ජයග්‍රහණය සඳ හා සියළුම කැප කිරීම් කළේ අපේ අළුත් මහත්තයා. ඉතිං දරුවනේ අපි හැමෝම අපේ අළුත් මහත්තයාට ණය ගැතියි.“ කියා කියද්දී නැගුණ අත්පොලසම් හඬ මැදින් මගේ සිරුර ආඩම්බරයෙන් රත් වී යන්නාක් මෙන් දැණුනි.

දැන් අප පාසලේ ළමයින් 200 ඉක්මවා සිටියි. අලුතින් ඉදිවූ ගොඩනැගිල්ලට එහායින් තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුදල් වෙන්වී ඇත. දැන් ලොකු සර්ද ඇතුළුව පාසලේ ගුරුවරුන් හත් දෙනෙකි. දැං අපේ පාසලද ප්‍රෙද්ශයේ ජනප්‍රිය පාසලකි. 

“මහත්තයෝ මේ පාර අපි ළමයින් පස් දෙනෙක්වත් ශිෂ්‍යත්වෙන් ගොඩ යවන්න ඕනි. ඒ වැඩකටයුත්ත මහත්තයට බාරයි.“

“ලොකු සර්ගේ ඉල්ලීම මම ඉෂ්ඨ කරන්නම්“

එම වසරේ මගේ වැඩි බර ශිෂ්‍යත්ව පංතියට යොමු විය. ඒ සඳහා යළිත් අතිරේක පංතියත් ආරම්භ කල අතර මොපියන් ගෙන්වා කරුණු පැහැදිළි කොට දිගටම ළමයින් අතිරේක පංතියට යොමුකර ගැනීමට මම සමත් වීමි. මෙවර ශිෂ්‍යත්වය සඳහා ළමයින් 18 දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව තිබුණි.

මෙම වැඩ රාජකාරී මැදින් කාලය ගෙවී යනවා මට නොදැනුනි. හත් දෙනෙක් ඉක්මවූ ඇදුරුමඩුල්ල දෙසීය ඉක්මවූ සිසු කැළ නව පාසල් ගොඩනැගිලි අලුතින් ඉදිවන ක්‍රීඩා පිටිය සත්තකින්ම මට සිහිනයක් මෙනි. ලොකු සර්ටද එසේමය. 

ලොකු සර්ගේ විදුහල්පති තනතුරේ ශ්‍රේණියද ඉහළ නැංවූ බවට ලිපියක් ලැබුණි. 

“මහත්තයා හිංදයි මේ හැම දෙයක්ම“ ලිපිය කියවා මා අත තබමින් ලොකු සර් පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි. ඒ සතුටු කඳුළු බව මට වැටහුණි.

“මහත්තයෝ මට නෑයෝ නෑ. ගෑණියක් නෑ. දරුවෝ නෑ. මට මෙච්චර කාලයකට හම්බ වෙච්ච හොධම නෑයා හොඳම දරුවා මහත්තයා විතරයි.“ කියා ලොකු සර් කියද්දී මගේ දෑසින්ද කඳුළු කැට කීපයක් නැගුණි.

එම වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබෙනතුරු මම නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. තැපැල් කන්තෝරුවට උදෙන්ම ගොස් ගෙනා ප්‍රතිඵල ලේඛණය විවෘත කිරීම ලොකු සර් මට පැවරීය. විභාගයෙන් සිසුන් අට දෙනෙකු සමත් වී තිබුණි. ලොකු සර්ගේ ඉල්ලීම ඉටු කරන්නට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වීමි.

වසර හතරක ඇවෑමෙන් අප විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් විය. අම්මා ඔත්පලව ඇඳට වැටු‍ණේද මේ කාලයේදීමය. එබැවින් මේ කාලයේදී මගේ මාරුවීම හදාගන්නට වෙහෙසුනෙමි. මා යනවාට ලොකු සර් කෙසේවත් අකමැති වු අතර අම්මාගේ අසනීපය නිසා කරබාගෙන සිටින්නට ඇත. එහෙත් මාරුව හදා ගැනීම සිතූ තරම් ලෙහෙසි නොවූ අතර ඒ සඳහා තවත් සය මසක්වත් ගතවනු ඇතැයි මට සිතුණි.

එදින ලොකු සර් බිම් කළුවර වැටෙනකල් පාසල් කුඹුරේ වැඩ කරමින් සිටියේය. ඔහු එදින ගුරු නිවහනට එනවිට රාත්‍රී අටත් පසුවී තිබුණි.

“වැඩේ ඉවරයක් කරලම ආවා. වපුරලා ඉවර කලා. මහත්තයෝ මගේ පුපුව පොඩ්ඩක් රිදුම් දෙනවා.“ ලොක් සර් නොකියා කියන්නේ පපුවේ බාම් අතුල්ලන්නයි දන්නා මම උවටැන සුපුරුදු ලෙස ඉටු කළෙමි.

වෙනදා උදෑසනින්ම අවදි වන ලොකු සර් එදින මා නොදුටිමි. එබැවින් ඔහුගේ කාමරය වෙත මා පිය මැන්නෙමි. 

“ලොකු සර්“

“ලොකු සර්“

පැත්තකට හැරී නිසොල්මනේ සිටින්නේ පෙරදා මහන්සි වූ නිසා යැයි සිතූ මම ඔහුට ලංවී අතක් අල්ලා බැළුවෙමි. වියලී ගිය දර ඉපල්ලක අත වදින්නාක් මෙන් මට දැනුනි. මුළු සිරුරම සීතල වී තිබුණි.

“ලොකු සර්“ 

මම හැකි වෙර යොදා කෑ ගැසුවෙමි. 

ලොකු සර්ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට නිගමනය වු අතර හිස් වූ තනතුර සඳහා නව විදුහල්පතිවරයෙතක් පැමිණියේ දෙමසකට පසුවය. එතෙක් එම තනතුරේ වැඩ බැලීමට මට සිදුවිය. නව විදුහල්පතිවරයා අපේ ලොකු සර් මෙන් නොවේ. ඔහු කමිසය සහ කලිසම අඳින ජේත්තුකාරයෙක් බව මට පෙනී ගියේය. 

තවත් දෙමසක් ඉක්ම යද්දී මා ඉල්ලුම්කර තිබූ සේවා මාරුව මට ලැබී තිබුණි. ළමයින් සහ මාපියන් මගේ ස්ථාන මාරුවට දැඩි විරෝධය පෑ අතර අම්මා දැන් ඉන්නා තත්වය පවසා මම ඔවුන් අස්වසාලීමි. 

නන්නාඳුනන පෙදෙසකදී මට විටෙක ගුරුවරයෙක් වූයේද විටෙක පියෙක් වූයේද තවත් විටෙක සොයුරෙක් වූයේද ලොකු සර්ය. දැන් ඔහුද මා සමග නැත. 

වැව් දිය මත වෙනදා මෙන් විවිධ රටා සඳ කිරණ විසින් ගෙත්තම් කොට තිබුණි. ලොකු සර් අතින් නිමවුන වෙලේ ගොයම් කරල් සුළගේ එහා මෙහා වැනෙනු මම දුටිමි. ලොකු සර් හිටියනම් විටින් විට ගොස් ඒ රනවන් කරල් අතගා බලනු ඇත. 

සියළුම අඩුම කුඩුම දමාගත් බෑගය කරපින්නාගෙන ඈතට ඈතට නොපෙනී යන මා දෙස සිසුහු සහ දෙමාපියෝ කඳුළු පිරි දෙනෙතින් බලා සිටියහ. වැව් බැම්ම පසුකල මම අවසන් වතාවටත් පාසල දෙස බැළුවෙමි. 

“මේ වගේම මහත්තුරු ගොඩක් මෙහෙට ආවා. මාසයයි දෙකයි. සමහරු මාරු හදාගෙන ගියා. සමහරුන්ට එපා වෙලා ගියා. මේ මහත්තයා ගැනත් මම එහෙම හිතාගන්නද? හැබැයි මහත්තයෝ මම මළොත් මැරෙන්නේ මේ ඉස්කෝලේ පොලොවේ.“

ලොකු සර් කියූ වචන මගේ දෙසවන් වල දෝංකාර දෙන්නට විය.

*************************************************************************************

විමසුම

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

ජීවිතයේ අනිස්ථීර බවත් අපගේ පැවැත්මේ තාවකාලික බවත් ද්වනිත වන අයුරෙන් කතාව අවසන් කිරීමට ලේඛකයා නැඹුරු වූ සේය.බස අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමද කෙටිකතාවේ කළාත්මක අගය වැඩිවීමට තුඩු දී ඇත. දක්ෂ කෙටිකතා කරුවකුගේ විවේක බුද්ධිය කළාත්මක ශික්ෂණය ජීවිත පරිඥාණය හදුනාගත හැකි කතාවක් ලෙස අගය කල හැකි නිර්මාණයකි.

2010-01-19 ලංකාදීප වීමංසා අතිරේකයට

4 comments:

  1. written a simple but sensitive way.. I like your blogs. Found only today. Read most of the things.....

    ReplyDelete
  2. තමන්ගේ වාසිය නොතකා මෙහෙම උනන්දුවෙන් වැඩ කරන උදවිය අදත් ඉන්නවා නමුත් තැන යන්නේ වැරදි දේ පස්සේ යන උදවියටම තමයි !

    බොහොම රසවත් කෙටි කතාවක්, නමුත් කතාව ඇදී යන වේගෙ ඩිංගක් වැඩිද මන්ද (ඒ මගේ පුද්ගලික මතය) !

    ReplyDelete