බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, September 13, 2015

අපි ගොයම් හදනවෝ .... එනවදෝ ....


අපි අර සයිලන්සර් දුම් වද්දගෙන පයින් ඉස්කෝලේ ගිය කතාව මතක ඇති නේද? ඉතිං අපේ ගමේ ඉස්කෝලේ තියෙන්නේ කිලෝමීටරයක් විතර උඩහට වෙන්න. පුංචි දුප්පත් ඉස්කෝලේ තියෙන්නේ සෙන්ජේම්ස් වත්ත පාමුල තියෙන කරපන්ටයින් (ටර්පන්ටයින්) කෑල්ල ගාව. ඉස්කෝලෙටම ගුරුවරු අට දෙනෙක් ඉන්න ඇති. විශේෂත්වය තමයි සිංහල දෙමළ දෙගොල්ලම සිංහලෙන් ඉගෙනගන්න එක. ගාමිණීලා...චිත්‍රලා ...සෙල්වම්ලා..පියසිරිලා ඔක්කොගේම ඉස්කෝලේ ... අරූ දෙමළාය.. ඌ කොටියාය... අනේ අපේ තුන් හිතකවත් එහෙම දේවල් තිබ්බේ නෑ. සෙල්වම් යාළු වෙලා හිටියේ සිංහල කෙල්ලෙක් එක්ක. සරස්වතී සිංහල කොල්ලෙක් එක්ක.. මම ගම්පහට ආවට පස්සේ තමයි මේ ජාතිවාදයක් කියලා එකක් ගැන දැනගත්තේ..අපේ පැත්තේ එහෙම නෑ...සෙල්වම් ගේන ඉටලි ..වඩේ අපි එක්ක බෙදන් කනවා.. අපි ගෙනියන මුංඇට කඩල සෙල්වම්ලා එක්ක බෙදන් කනවා..

වත්තේ සැලූන් එකේ සදන් අයියා මූණ බලන ලොකු කණ්නාඩියක් කිහිල්ලේ ගහගෙන කොණ්ඩේ කපන කලමනාත් උස්සන් හැම මාසෙම දහය දොලහ අතර අපේ ගමට එනවා.. ජංගම සැලූන් එක..අපි ගිහින් එයාගෙන් කොණ්ඩේ කපා ගන්නවා.. පොංගල් දවසට.. ශිව රාත්‍රියට .. දෙමළ සිංහල අවුරුද්දට අපිත් වත්තේ යනවා ... අපේ පංසලේ පෙරහැරට කාවඩි කණ්ඩායම එවන්නේ කෝවිලෙන්... කෝවිලේ රදන් අදිනකොට ගිනි පාගනකොට අපි සෙන්ජේමිස් යනවා ...

ඉතිං ඔය අපේ ඉස්කෝලෙට එන ගොඩාක් දෙමළ අයට අඩු දැනුමක් තමයි තියෙන්නේ ... ගෙදර වැඩ දුන්නම උදේම ඇවිල්ලා මගේ පොත ඉල්ලගෙන ඒවා පිටපත් කරන එක තමයි කරන්නේ .. ඒ වෙනුවට මට සන්තෝෂම් එහෙමත් හම්බවෙනවා ඒ දවස් වල...

එක පාරක් අපේ ඉස්කෝලේ උත්සවේකට සරඹ සන්දර්ශනයක් පුරුදු කලා .. අපි කිව්වේ “මාච් පාස්“ එක කියලා. අර වම-දකුණ-වම --වම --වම .......... ආන්න ඒක ...

දවස් දෙක තුනක් පුරුදු කරලත් සෙල්වම් වම කියනකොට තියන්නෙම දකුණ ...දකුණ කියනකොට තියන්නෙම වම .. සර්ටත් තිත්ත වෙලා ... යකා නැගලා ..

“ ඈ ඕයි ඕකවත් හරියට කරන්න බැරිද .. ඉගෙන ගන්න බැරි එකනම් හරි කියමුකෝ .. අද වැරැද්දුවොත් තමුසෙව අයින් කරනවා...

ඒත් මොන ....... වම කිව්වම තියන්නෙම දකුණ ... අයින් වෙන්නත් කැමති නෑ ... සර්ට වඳිනවා ... සර් දහ අතේ කල්පනා කලා ..

සර්ට උපක්‍රමයක් සිහියට ආවා ...

“හරි ගන්නවා තමුසෙගේ ලේන්සුව .. අරන් බැඳගන්නවා එක කකුලක ...“

බයේ ගැහි ගැහී මිනිහා ලේන්සුව කකුලේ බැඳගත්තා ...

“හා දැන් කරනවා“

“ලේන්සු කකුල නිකන් කකුල ... ලේන්සු කකුල නිකන් කකුල ... වම දකුණ වම ....“

ඔය තියන්නේ යසට............................................................................

වී තවානක දැම්මා අපි ඉගෙන ගත්තා නේද? ඉතිං වී තවාන් කරපු ගමන් පුරන් පෙරලනවා .. පස්සේ පුරන් කුණු වෙනකන් ඉඳලා මඩිය කොටනවා .. පස්සේ දැත්ත බැඳලා වක්කඩ හදනවා .. මම හිතන්නේ මාසයක් විතර යද්දි ගොයම් හදන (හදනවා කියන්නේ හිටවනවට) කාලේ ලං වෙනවා ... ඉතිං ගොවියොන්ට කාන්තා පාර්ශ්වය ඕනි වෙන්නේ මේ අවස්තාවෙදි ...

“නැන්දා මේ අපේ ගොයම් හදනවා අනිද්දා ... පොඩ්ඩක් ඇවිල්ලා උදව් කරන්න පුලුවන්ද කියලා බලන්න ආවේ “

ඉතිං අම්මා බෑ කියන්නේ නෑනේ ... මරණෙකටවත් මිනිස්සු ඉන්න එපැයි ..

ඉතිං කට්ටියක් ගොයම් ගලවනවා ...ගලවලා මිටි බඳිනවා .. මිටිය බඳින්නෙත් අර ගොයම් පැල වලින්මයි .. අපිටනම් බෑ ඔය ගැටේ දාන්න .. ගැට දාන්න ඉතිං දන්නේ ගෑණු උදවියනේ ... ඊට පස්සේ මිටි පල්ලෙහා ලියද්දකට විසි කරනවා .. අපි ඒ මිටි අරන් එදා ආයෙත් අලුත් කරපු ලියැදි වලට ලියැද්දේ තරම බලලා විසි කර කර පල්ලෙහාට යනවා .. ගොයම් ගලවන්න කලින් ආයෙත් තිලකේ මාමා ලියැදි ගාලා මඩ පෙරලලා ලියැදි ලස්සනට හදනවා .. ඉතිං ගොයම් හිටවන්නෙත් ගෑණු උදවිය .. ඒක කලාවකට කරන්න ඕනි .. අඩිරූලක් නැතත් හිටවලා ඉවර වුනාම හැම ලියැද්දම සංතතිකව තියෙනවා .. ගොයම සංතතිකයි .. අපේ ජීවිත අසංතතිකයි .. මෙහේ ගොඩාක් කුඹුරු වැඩ වෙන්නේ අත්තම් ක්‍රමේට ...ඒ ගැනයි ඇඹුල ගැනයි හෙට කියලම විරාමයක් තියන්නම් ... ගිහින් එන්නම් ..මාව දිරිමත් කරමින් කැමැත්ත ප්‍රකාශ කල අදහස් පල කල පණිවිඩ එවූ හැමෝටම ස්තුතියි ... ඔබ නිසා මම පන්නරය ලබමි.....

1 comment:

  1. හෙක් . හෙක් .. ලේන්සු කකුල නිකන් කකුල ... හෙක් ... හෙක් ... මාරු වැඩේ !

    ReplyDelete