බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, September 15, 2015

වහ කෑම සහ ඇඹුල කෑම ..............


ඔන්න හොබරැල්ල කන්දෙන් ඉර බැහැගෙන බැහැගෙන එනවා ... ඒ කියන්නේ අපිට ඉර පායනවා ... තේරුන් නෑ වගේ ... පිටිපස්සේ තියෙන(නැගෙනහිර) හුරිහෙල කන්දෙන්නේ ඉර එබෙන්නේ ... ඉතිංඑයාගේ ආලෝකය ඉස්සල්ලාම පතිත වෙන්නේ ඉස්සරහා හොබරැල්ල (බටහිර) කන්ද මුදුනට ...දැන් ඉර හුරිහෙල කන්දෙන් නැග නැග එනකොට ඉර එලිය හොබරැල්ල කන්ද දිගේ පහලට බැහැගෙන බැහැගෙන ඇවිල්ලා අපේ ගම් පියස්සට පතබෑවෙනකොට උදේ 10 පහු වෙලා .. හවසට ඉස්සෙල්ලාම ඉර එළිය අහිමිවෙන්නේ හොබරැල්ල කඳු මුදුනට.... හුරිහෙල කන්ද මුදුනේ රාස්සයෝ වී වේලනවා හැන්දෑ වෙනකන් ... ඕකට කියන්නේ රාස්සිගේ අව්ව කියලා ... එයාට මෙයා කැපුනම උත්තරේ බිංදුවයි ... කාටවත් අසාධාරණයක් වෙලා නෑ ... තේරුණා නේද ? නැත්නම් ආයේ පාරක් කියවමු ...


ඉතිං සුන්දරයි කියලා හිතෙන ගමේ අසුන්දර දේවලුත් වෙනවා .. ප්‍රධාන වරදකරු කෘෂි රසායන ... මතකයිද මංදා ඒ දවස්වල රේඩියෝ එකේ .....ටැමරෝන් ... පොලිඩෝල් ... ඇන්ටර්කෝල් ...ග්‍රැමොක්සෝන්..... හාක්‍රෝස් පටාස් ... ඇඩ්මයර් ... සිපෙට්කෝ කෘෂි රසායන ... ලංකෙම් ගොවියාගේ හිත මිතුරා ... හේකෙම් ...ඒ බවර් සහ සමාගම.. වගේ වෙළඳ දැන්වීම් නිතරම යනවා ...සිපෙට්කෝ මහත්තයා කියලා ගුවන්විදුලි නාට්‍යකුත් ගියේ.... ඉතිං අපේ ගමේ වහ බෝතලයක් නැති ගෙයක් හොයාගන්න බෑ ... සියල්ල නසන වල් නාශක ... තෝරා නසන වල් නාශක .. දිලීර නාශක .. කෘමිනාශක .. ඔය හැම එකක්ම මේ ගොවියෝ ගාව තියෙනවා .... ඉතිං පවුලේ අඩ-දබරයක් ... ආදරයේ වේදනාවක් ... විභාගයේ අමිහිරිතාවක් ඇති වුනොත් ලොකු කුඩා හැමෝම විශ්වාසයෙන් මේ වහ බෝතලේ මිහිරියාව විඳගන්නවා ...

ජයසුන්දර අයියගෙයි කුසුමා අක්කගෙයි ආදරය ගලාගෙන ගියේ ගහට පොත්ත වගේ දැඩි බැඳීමකින් ... දෙන්නගෙම රුධිර කේශනාලිකා වල රුධිරාණු ආදරය කියන අකුරු අරගෙන සංචරණය වුණා. ඒත් අවුරුදු දෙක තුනක් ගියාම කුසුමක්කාට රස්සාවක් හම්බුනා ... ඔන්න ටික කලක් යනකොට කුසුමක්කගේ රුධිරාණු වල ජයසුන්දර කියන අකුරු වියැකිලා වෙන වෙන අකුරු වගයක් මෝදුවෙන්න ගත්තා ...අන්තිමට ජයසුන්දර කියන අකුරු ටික බොඳවෙලාම ගියා..ජයසුන්දර අයියා බැළුවා ගොඩගන්න පුලුවන්ද කියලා.... ඒත් මොන......අන්තිමට ජයසුන්දර අයියා තෝරගත්තා සියල්ල නසන වල් නාශකයක මිහිර විඳින්න ... බදුල්ලේ ඉස්පිරිතාලේ මුල්ලක දාපු ඇඳක වැතිරිලා හිටිය ජයසුන්දර අයියා බලන්න අපිත් ගියා ... ඔය වල්බෙහෙත් බිව්වම මැරෙන්නේ වල් ගහ මැරෙනවා වගේ ටික ටික .. බේරගන්න බෑ ... මගේ ඔලුවත් අතගගා බොහෝම ආදරෙන් කතා කර කර හිටපු ජයසුන්දර අයියගේ හදවත සති දෙකකින් විතර සදහටම නැවතුනා ...

වෙන වෙන කෘමිනාශක බීලා බේරුනොත් අනිවාර්යෙන්ම ගමේ කාඩ් එකක් වදිනවා .. ඒ කියන්නේ අන්වර්ථ නාමයක් (Nickname) පටබැඳෙනවා ...ඔය නෙලුදණ්ඩේ හීන්බංඩේ මාමා ඒ නැන්දත් එක්ක ආරෝවකට හාක්‍රෝස් බීලා බේරුණා .. බේරුණාම ලේසි නෑ ..ආණ්ඩුවට දඩේකුත් ගෙවන්න ඕනි .. ඉතිං දඩෙත් ගෙවලා කොට්ට පැදුරු අරං ඉස්පිරිතාලෙන් ගෙදර එද්දි නමක් වැටිලා “හාක්‍රෝස් - බණ්ඩා“ කියලා .. ආයේ මැරෙනකන් ඔය නම තමයි ගමේ තුඩ තුඩ තියෙන්නේ ...

ගුණේ අයියට ගම්මු කිව්වේ කාල ගුණේ කියලා .. ගුණේ අයියා මොකද්ද එහෙකට බිව්වේ ටැමරෝන් .. මිනිහත් බේරුණා ... එදා ඉඳං මිනිහට ගම්මු කිව්වේ ටැමරෝන් ගුණේ කියලා ... අපේ පංතියේ හිටිය කේ.එච්. ඉන්දික වහ බිව්වේ වාර විභාගේ ප්‍රතිඵල ලේඛණය වෙනස් කරලා ගෙදර ගිහිං පෙන්නලා ගෙදරින් බැන්න කියලා .. මිනිහත් පොලොවට පස් වුණා .. ඉතිං ඔය වගේ වහ බීපු අය ගැන ලිව්වොත් මේ පිටුවල ඉඩ මදි වෙනවා ... ඔය වහ ආශ්‍රයෙන් අපේ ශබ්ද කෝෂයට වචනත් ලැබිලා තියෙනවනේ ..... වහ කෑවා වගේ ... මටනම් ඕකව වහ ... වහ තමයි කන්න වෙන්නේ ...වස කම්මැලියි...වස ලැජ්ජාව (වහ බීලා බේරුණාම ඇතිවන ලැජ්ජාව) වගේ වචනත් ඕවගෙන් කැඩිලා තමයි ඇවිල්ලා තියෙන්නේ ... ඉතිං පළිබෝධනාශක අනතුරු සහිතයි .. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ... සාරභූමියේ කට්ටියම හොඳේද??

අද මම කියන්න යන්නේ අත්තම සහ ඇඹුල ගැන .. අත්තම කියන්නේ අපේ ගම්වල ගොවිතැනේදි ගොවීන්ගේ බැඳියාව සහ සාමුහිකත්වය පෙන්වීමට හැකි ක්‍රමයක්.. ඒ කියන්නේ System එකක් .. දැන් අපේ අම්මා යනවා කියලා හිතමුකෝ තිලකේ මාමලගේ කුඹුරේ ගොයම් හදන්න (හිටවන්න) ඉතිං අපේ අම්මා ඒ වෙනුවෙන් කුළියක් ගන්නේ නෑ... අපේ කුඹුරේ ගොයම් හදද්දි තිලකේ මාමලාගේ නැන්දා ඒ හා සමාන කාලයක් අපේ කුඹුරෙත් ගොයම් හදලා දෙන්න ඕනි ... අපේ තාත්තා (ජීවතුන් අතර නැත..අපිට ඇති කුඹුරකුත් නැත) තිලකේ මාමලාගේ කුඹුර කොටන්න ගියා කියලා හිතමුකෝ ... එතකොට අපේ කුඹුර කොටන දවසට ඒ හා සමාන කාලයක් තිලකේ මාමා අපේ කුඹුර කොටා දිය යුතුය ... මෙහිදී කෑම බීම බුලත් පුවක් බීඩි දුංකල අදාල ගොවියා විසින් සැපයිය යුතුය ... හරි සරළයි.. වැඩේ ඉක්මන් ... ශ්‍රමයට ශ්‍රමය සමානයි අත්තම කියලා ඔළුවට දාගන්නකෝ ..

ඇඹුල කිව්වම මතක් වෙනවනේ බෙග් මහත්තයගේ සිංදුවක් .. ටිකිරි මැණිකේ ඇඹුල ගෙනැල්ලා .. ගොවිරාළ ගොඩට ඇවිල්ලා ... පුරන් කොටනකොට ... මඩිය කොටනකොට ...ගොයම් හදනකොට ... වල් ගලවනකොට ... ගොයම් කපනකොට .. මඩවනකොට .. බැත අදිනකොට තිලකේ මාමාලාගේ නැන්දා අපිට කෑම ගේනවනේ ... ආන්න ඒකට තමයි ඇඹුල කියන්නේ .. තේ බොනකොට ගේන පාන් ඇඹුලට අයිති නෑ ... බත සහ මාළු පිනි තමයි ඇඹුලට අයිති වෙන්නේ .. ඉතිං අපි මඩවනවනම් ඇඹුල ගන්නේ කමත් වේල්ලේ ඉඳන්... කුඹුර කොටනවනම් බඩලේදි තමයි ඇඹුල ගන්නේ .. පැලට ගිහිං ඇඹුල ගන්නවට වඩා එළිමහනේ තමයි ඇඹුල රස විඳින්නේ.. ගොඩාක් පැතිවල නෙළුම් කොලේ ඇඹුල රස වින්දත් අපිට නෙළුම් කොල නැති නිසා කෙහෙල් කොල වල නැත්නම් ප්ලාස්ටික් පිඟන් වල තමයි ඇඹුල රස විඳින්නේ ... වතුර බොන්න බෙලෙක් කෝප්පේ කියලා එකක් තියල තියෙනවා කල ගෙඩියත් එක්ක .. පොල් කට්ටක් සැහැලත් තියනවා සමහර විට .. ඉතිං ඔය ඇඹුලට මෙහෙනම් කොල්ලු හොද්ද සහ මඤ්ඤොක්කා කොල මැල්ලුම වරදින්නේ නෑ ... අපිත් පුදුම ආසාවෙන් තමයි ඔය ඇඹුල රස විඳින්නේ...ඔය.. ඔය... කෙළ ටික පිහදගන්න ...

එහෙනම් මට ගෙදර යන්නත් තියෙනවා.. සතියක් විතර සාරභූමියට එන්න වෙන්නෑ ... අද රෑ 8.30ට ගම්පහින් බදුලු කෝච්චියට ගොඩ වෙනවා ... හෙට උදේ අට වෙනකම් ටකස්...ටකස්..ටකස්...ටකස් ... අපි ගමේ ඉඳන් කොළඹ ආවේ හීන ඇහිඳින්න ... ඒ හීන තාම ඇහිඳිනවා .. ඒත් අපි දකින හීන අපි ඉස්සරහ හැබෑ වෙන්නේ නෑ ... ගමේ සිග්නල් නෑ .. ෆේස්බුක් එන්නත් බෑ ... ගිහිල්ලා එන්නම්.. ගමේ හුලං පොදක මිහිර විඳලා පිහිල්ලෙන් නාගෙන.. උල්පතකින් වතුර ටිකක් බී ගෙන ... මඤ්ඤොක්කා කොල මැල්ලුම අම්මා හදලා ඇති ... ආ... මේවා ඉන්ටනේට් ලියලා ගමේ එවුන් පාවලා දෙනවා කියලා ගම්මු දැනගත්තොත් මාව උල තියයි ... හිටුවා පස් ගහයි ..එහෙම වුනොත් බේරගන්නත් එන්න වෙයි....ආයුබෝවන් එහෙනම්.....

1 comment:

  1. ගම් වල තිබුන එකතු වෙලා ගොවිතැන් බත් කරන සිස්ටම් එක නම් තවමත් අඩු වැඩි වශයෙන් තරමක් ඉතිරි වෙලා තියනවා. නමුත් ගොඩ දෙනා ගොවිතැන් බත් අත ඇරල හීන හොයමින් නගර වලට ඇදෙන වේගෙ බොහොම වැඩියි. එතකොට ඔය කියන වැඩට උදව් පදව් කර ගන්න අය හිඟයි නොවැ.

    ඒ හිඩැස වහන්න තමයි වැඩි වැඩියෙන් වස-විස, කෘත්‍රිම පොහොර, අත් ට්‍රැක්ටර්, කොළ මඩින, හුලං කරන යන්ත්‍ර සුත්‍ර භාවිත වෙන්නෙ !

    ReplyDelete