බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, September 22, 2015

බැත සහ බුලත ..............


ගෙදර ගිහිං ඉක්මනටම එන්න වුනා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ඇරයුමක් ලැබුණ නිසා. ඔය පොත් ප්‍රදර්ශනයට යන අය ඉන්නවනම් දයාවංශ ජයකොඩි මහත්තයගේ පොත් මැදුරට ගොඩවුනොත් “වීමංසා-කෙටිකතා 2කොටස “ කියලා පොතක් ඇති ... ආං ඒක පෙරලද්දි මාව මුණගැහෙයි ... පොත් ප්‍රදර්ශනයත් මහා විච්චූරණ ගොඩයි... සෙල්ෆි උන්මාදය ... පොත් පොටෝ ගහලා ෆේස්බුක් අප්ලෝඩ් කිරීම වගේ විකාර ... මිනිස්සු මෙහෙම හරි පොත් ගන්න එක ලොකු දෙයක් ... ඒත් මම සක්සුදක් සේ දන්නවා ඔය ගොඩාක් අය ඔය ගෙනියන පොත් කියවන්නේ නෑ.....


එක එක අය ආවා

දෙක තුන පොත් ගත්තා 

ගෙදර ගිහිං තිබ්බා

කියෙව්වාද මන්දා......... (මම ලියපු කවියක්)

මම ගමේ ගියා .. අනේකවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් ජීවිතය කියන නදිය තරණය කරන්න තවමත් අප්‍රමාණ සටනක ගම්මු නියැලිලා ඉන්නවා ... උඩින් නොපෙන්නුවාට බුලත් කහට රැඳිච්ච දත් අගිසි වලින් හිනා වෙවී හදවතින් සුසුම් හෙලන මිනිස්සු තමයි මේ ගම් නියම්ගම් වල ඉන්නේ. 

බුලත් කිව්වම මතක් වුනේ .. මම බුලත් ගැන කිව්වේ නෑනේ... හොඳයි ගමේ ලොකු උත්සවේකදි ...මඟුලකදි..කොටහුලකදි(ඇස්ට්‍රෝන් මඟුල කිව්වම ටිකක් නම්බුයි)...දානෙකදි ...අකුරු කියවිල්ලකදි ... ඔය බුලත් කොලේ තමයි පෙරමුණේම ඉන්නේ. ඉතිං ඔය ආරාධනාවක් අරං එනවට කියන්නේ බුලත් දෙනවා කියලා ... ඉතිං ආරාධනාව අරං එන කෙනා ඉස්සෙල්ලාම කාරණේ කියන්නේ නෑ ..

“ආ නැන්දා“

“ආ පුතා වාඩිවෙන්න“

ආපු ගමන් කාරණේ මොකක්ද කියලා අහන්නෙත් නෑ ... ඊට පස්සේ ඉලත්තට්ටුව දෙනවා ...බත බුලතින් සංග්‍රහ කිරීම කියන්නේ ඕං ඕකට... ඉතිං අර විටක් එහෙම අඹරලා තව විටක් සාක්කුවෙත් ඔබාගෙන තමයි කාරණේ කියන්නේ... ඔහොම ඉතිං ගෙවල් දහයකට විතර ගියොත් විට දහයකුත් සාක්කුවේ ඔබාගෙන තමයි ඉන්නේ...

ඉතිං ගමේ 80%ක් විතර බුලත් විට කනවා..කොල්ලෝ කුරුට්ටෝ පවා ... ඒ තරම් බුලත් විට ගැමි ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ.. එදා මම ඇටම්පිටියට ගිහිං ආපහු එන්න බස් එකේ ඉන්න වෙලාවේ පොඩි සමීක්ෂණයක් කෙරුවා .. ඒ බස් ස්ටෑන් එකේ හිටිය දහ පාලොස් දෙනාගෙන් 90% කටේ විඩක් ඔබාගෙන හිටියේ .. ඔය බුලත් කහට යවන්න බුරුසුවටයි දත් බෙහෙතටයි බෑ ... අඟුරු හරි පිලිස්සූ දහයියා කුඩු හරි පාවිච්චි කරනවා ... මේක ලියන කෙනත් ඉතිං ගමේ ගියාම බුලත් විඩ බර ගානකට වග කියලයි එන්නේ. 

ඉතිං අපිට ඉස්සර ලෙඩක් දුකක් හැදුනම ඉස්සෙල්ලාම ගොඩ වෙදකම් තමයි කරන්නේ. පස් පංගුව හැලියක් තම්බලා බොනවා ඔය උණක් හෙම්බිරිස්සාවක් නම් .. බඩේ කැක්කුමක්නම් ජීවක ගුලිය දිය කරලා බොනවා... කැපුම් තුවාලයක්නම් කැලේ තියෙනවා හුලංතලා/කඩුපහර වගේ ගස් තලලා බඳිනවා ... කැළය ජනතාවගේ බෙහෙත් ගබඩාවය ... මේවගෙන් ඉතිං ලෙඩ සනීප වෙනවා ..ඔය වල් ඌරු මස් වගේ ඒවා කාපුවාම සමහරුන්ට කරප්පන් දානවා (ආසාත්මිකතාවය/ allergic) ඉතිං කරප්පන් දැම්මම පොල් කොලයි දෙහි කොලයි දාලා ගිනිමැලයක් ගහලා ඒකේ දුම් වද්දනවා... කරප්පන් කම්මුතුයි ... ලෙඩට ගොඩ වෙදකම් අහන්නැත්තන් තෙල් ටිකක් මතුරවගන්නවා .. යකඩ ඇණයක් කහ කෑල්ලක් පොල්තෙල් එක්ක බෝතලේකට දාලා යනවා බුලත් ගෙදර සීයා හම්බුවෙන්න.. එයා තෙල් මතුරලා දුන්නත් ලෙඩ අහවර වෙනවා ...ඒත් බැරි වුනොත් සෙන්ජේම්ස් ඉස්පිරිතාලෙට ගාටනවා ... දැන් තමයි ඉතිං ඉස්පෙෂලිස්ට්... .චැනලින් සර්විස්... ප්‍රයිවට් හොස්පිටල් ... ඔය ලෙඩත් මොඩිෆයි වෙලානේ ... පපුවේ අමාරුව කියනවට වඩා නම්බුයි හාට් ඇටෑක් කිව්වම ... සීනි කියනවට වඩා නම්බුයි ඩයිබටික් කිව්වම ... පිළිකාව අපෝ ඊට වඩා නම්බුයි කැන්සර් කිව්වම ...ඇයි බයිපාස් එකක් කරා කිව්වම කොච්චර නම්බුකාරයිද ?

ඉතිං පයින් සීතලේ ගැහි ගැහී සෙන්ජේමිස් කන්ද නගිනවා... ඉහිං කනින් පොරවගෙන ... ඔය බදුල්ලේ ඉස්පිරිතාලෙට වඩා ගම්මු ආස වත්තේ ඉස්පිරිතාලෙට යන්න ... ඇයි ඒකේ ඉන්න දොස්තර මහත්තයා මිනිස්සුන්ට හරී කරුණාවයි ... යාපනේ දෙමළ මහත්තයා ..

“උදේට කාලද ආවේ?“

“තාත්තා මොකද කරන්නේ?“ 

“ඉස්කෝලේ කීයෙද ඉන්නේ?“

“පෙපර්මින්ට් එකක් දෙන්නද කන්න?“

ඔය වගේ කතා කැඩිච්ච සිංහලෙන් අහ අහ තමයි ලෙඩ බලන්නේ ... 

බදුල්ලේ එහෙමයැ ... හරකෙක් වගේ ඇදලා අරගෙන අපිව බයෙන් ත්‍රස්ත කරලා තමයි ලෙඩ බලන්නේ...

වත්තේ දෙමළ දොස්තර මහත්තයා වත්තට වගේම අපේ ගමටත් සම්පතක් වුනේ ඔන්න ඔය නිසා ...

ඔය ධනසිරි අයියලා... සිරිමල් අයියලා ... සුමනේ අයියලා සෙට් එකම හැමදාම හවසට සෙන්ජේම්ස් යනවා ..

“කොහේද යන්නේ“ කියලා කවුරු හරි ඇහුවොත් කියන්නේ

“යාළුවෙක් හම්බවෙන්න යනවා“ කියලා.

යාළුවා හම්බවෙන්න ගිය කට්ටියම දවසක් මතු වුනේ පොලීසියේ කූඩුවෙන් ...

ඔව් යාළුවෙක් හම්බුවෙන්න තමයි ගියේ ...

“කටුකම්බි එහෙම දාලා පෙරන බිව්වම කැරකිල්ල හැදෙන සුදුවා කියන යාළුවා“

(ඕවට මම අහලා තියෙන හැටියට කියන්නේ rot-gut කියලා. ශබ්ද කෝෂයේ නෑ.. මම වැරදිනම් කවුරු හරි නිවැරදි කරත්වා ...)

කට්ටිය රිමාන්ඩ් ඉඳලා ඇවිල්ලත් තාම හවසට සෙන්ජේමිස් යනවා ... යාළුවෙක් හම්බුවෙන්න....

හැමෝටම කෝකටත් තෛලය තමයි සෙන්ජේමිස් වත්ත....

ඔය මඩවලා ගොයමෙන් වෙන්කරගෙන ලොකු පොඩි කාටුව යවාගත්තු වී වලට දැන් කියන්නේ බැත කියලා. ඉතිං බැත කමතෙම දාලා වේලෙන්න අරිනවා. කමතේ බැත වනලා ඉඩ මදි වුනොත් පැදුරු හරි.. යූරියා බෑග් හරි.. ගෝනි හරි ලියැදි වලත් එලලා එව්වයේ දාලා බැත වේලනවා .. ඉතිං පදමට දවස් දෙක තුනක් වේලෙන ගමන් කුල්ලෙන් කමතේ බැතට හයියෙන් පවන් ගහමින් තව තවත් කාටුව ඉවත් කරනවා ... දැන් ඉතිං බැත පවන් දෙන්න ඕනි.. ඒ කියන්නේ බොල් වී අයින් කරන්න ඕනි .. ඕකට ඕනි වෙන්නේ කුල්ලක් දෙකක් සහ කතිරය කියන උපකරණය. කතිරය කියන්නේ හොඳ හයිය ලී කෝටු හතරක් කතිර දෙකක් ආකාරයට බැඳගෙන හිටවලා තියන්න පුලුවන් විදියට එකිනෙකින් යවලා හදාගන්න උපකරණයක්. කතිරය කමතෙන් තියලා යටට ඉටිරෙදි එළලා දැන් තිලකේ මාමා නගිනවා කතිරෙ උඩට.

තිලකේ මාමලෑ නැන්දා අර වේලෙන්න දාලා තියෙන බැත කුල්ලකට අරං දෙන්න ඕනි. තිලකේ මාමා බැත කුල්ලත් තියාගෙන කතිරේ උඩට වෙලා ඉන්නවා සමහර විට විනාඩි 10ක් 15ක් හුලං අල්ලනකන්.. හුලන් ආවම අර බැත කුල්ල සොලවන ගමන් හිමීන් සීරුවේ බිමට අතඅරිනවා. බොල් වී පැත්තකට වෙලා පිරුණු වී බේරගන්නේ ඔය ක්‍රමයෙන්. මේ වීම ආයේ පාරක් පවන් දීලා ඇඟිටි වී වෙන්කරගන්නවා. ඔය අහේනි කාලෙට පොල් එහෙම දාලා ඇඟිටි හාල් බත් කනවා.. ඒක ටිකක් තිත්තයි...

දැන් ඉතිං ඔහොම වෙන් කරගත්ත බැත උඩහා තියෙන ගෙදරට අදින්න ඕනි. කර තියාගෙන තමයි අදින්නේ. උදේ හිටං හවස් වෙනකන් හති ඇර ඇර වී බරවල් අදිනවාට තමයි “බැත අදිනවා“ කියලා කියන්නේ .... කුඹුරේ අයිතිකාරයා ඔය දුරකනම් පාරට ඇදලා ටැට්ටරේක පටවලා ගෙනියනවා ...

ආයුබෝවන් එහෙනම් ..කමත ලිපි මාලාව අවසානයට කෙමෙන් කෙමෙන් ලං වෙනවා.... ගිහුං එන්නම් ... කෝ කවුරුත් ඇහුවේ නෑනේ විටක් කමුද කියලා ...


1 comment:

  1. බොහොම ලස්සනට හිතේ ඇඳෙන විදිහට විස්තර කරලා තියනව, ඒ උනාට මොකෝ මේ කවුරුවත් කොමෙට්ටුවක් වත් තවම දාල නැත්තෙ ?

    අනේ තරහ වෙන්න එපා මචෝ විට කන්න නම් බැහැ තියෙනව නම් කහට කෝප්පයක් හොඳා ... :)

    ReplyDelete