බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Friday, September 25, 2015

අපේ බලාපොරොත්තු සහ දේව දානය ...



ඔන්න අපේ ගෙදර තිබ්බා යුනික් රේඩියෝ කබලක්. ගමේම ටී.වී එකක් තිබ්බේ පීරිස් බාස්ලගේ ගෙදර විතරයි. පීරිස් බාස් ටීවී බලන්න යන මිනිස්සුන්ගෙන් රුපියලක්ද කොහේද ගත්තා මයේ හිතේ.

“අනේ ඕකගේ ටීවී එක.. අපිට හොඳයි අපේ රේඩියෝ කබල“

ඕකට ලොකු බැට්ටි හතරක් දාලා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ දවස්වල තිබ්බේ කෙටි තරංගයි. මධ්‍යම තරංගයි . අපි ඇහැව්වේ මහනුවර සේවය. පැහැදිලි නෑ.. හිටපු ගමන් කතාව හෝස් ගාලා හුලඟේ යනවා.. තරංග දුරුවලයි.

“මේ ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ මහනුවර සේවයයි. හුන්නස්ගිරියෙන් මෙගහර්ට්ස් ...................... මහනුවර සේවය..ශ්‍රී පුෂ්පදාන මාවත.. මහනුවර “ ඔව්වා අපිට තාම මතකයි ... මේ එෆ් එම් (Funeral of media) එකක් ඇවිල්ලනේ මිනිස්සුන්ට ගුවන්විදුලිය එපා කෙරෙව්වේ.. අපි ඉතිං බැට්ටි දාලා රේඩියෙක අහනවා .. බැට්ටි බහින නිසා ඉක්මන්ට අහලා වහලා තියනවා . තියෙන කරදර මදිවට තව බැට්ටි වලටත් සල්ලි හොයපල්ලකෝ . අම්මා කියනවා.

මතකයිද අපි ඉස්කෝලේ ගිය හැටි. මං දෙවතාවක්ම මතක් කරලා ඇති. ඉතිං අපිට ඉස්කෝලේ යන්න පැය කාලක් ගත වුනාට එද්දි පැයක් එකහමාරක් ගතවෙනවා . නාකි බල්ලෝ කොළඹ ගියා වගේ . ඇයි ගොස්සැල්ලේ ගෙදර ගල් පරුවතේ කොක්කු ගෙඩි කඩන්න තියෙනවා. පංසල ගාව කැකුණ ගහට ගල් ගහන්න තියෙනවා . රිළවු දැක්කොත් උන්ට ගල් ගහන්න තියෙනවා. කැටේ ගෙදරට උඩින් තියෙන තෙල් මොට්ටු වැලෙයි බූටා වැල් වලයි ගෙඩි හොයන්න තියෙනවා. හේල්ලන්දේ නෙල්ලි ගහේ ගෙඩි කඩන්න තියෙනවා. පේරවත්තේ පේර කඩන්න තියෙනවා. ඊට උඩින් තියෙන පැණි තෝර ගස්වල ඉදුනු කරල් හොයන්න තියෙනවා. ඉස්කෝලේ මහත්තයගේ කඩෙන් බන්ටි ටොපී අරං ඒවගේ කොලේ අදින්න තියෙනවා. ඉස්කෝලේ මහත්තයගේ පිහිල්ලෙන් වතුර බොන්න තියෙනවා. විජේ අයියගේ මඩුවේ කියතට කැපෙන ලී දිහා බලන් ඉන්න තියෙනවා. සේපාලිකා අක්කගේ ටේලර් සාප්පුවේ මැෂිමේ රෝද කැරකෙනවා බලන්නත් මැහෙන එක එක රටා බලන්නත් කැපිච්ච රෙදි කෑලි සාක්කුවේ ඔබාගන්නත් තියෙනවා. අපේ ජීවිතත් හරියට සේපාලිකා අක්කගේ මැස්මක් වගේ. නූලක දැවටීගෙන... මැසීගෙන .... මැසීගෙන.. මැසීගෙන....

“අයෑම් ටාරෝ..අයෑම් ෆ්‍රොම් ජපෑන් ... අයෑම් මුරු .. අයෑම් ෆ්‍රොම් නයිජීරියා...අයෑම් ගීතා ..අයෑම් ෆ්‍රොම් ඉන්දියා..අයෑම් සමන් ..අයෑම් ෆ්‍රොම් ... ශ්‍රිලංකා...“

අපේ අ-ප්පිරියම පාඩම ඉංගිරිසී.. ඉංග්‍රීසි පීරියඩ් එක එද්දි අපිට අර අසාත්මිකතාව වගේ...

“අයි වෝන්ටුබී අ ඩොක්ටර්...ඉංජිනියර්...ටීචර්...කන්ට්‍රැක්ටර්..බිස්නස්මන්...ලෙක්චරර්...අකවුන්ටන්“

ෆාමර්ලා..ඩැයිවර්ලා...ලේබරර්ලා.... එක්කෙනෙක්වත් හිටියේ නෑ.. ඒත් ඔය කියපු එක්කෙනෙක්වත් කියපු එක්කෙනෙක්වත් වුනේ නෑ..

ඉස්කෝලෙට ආපු අලුත් සිංහල සර් ඔක්කොගේන්ම අනාගතේ වෙන්න කැමති කවුද කියලා ඇහැව්වා.. ඔක්කොම ලොකු ලොකු කතා කියාගෙන ගියා. මාත් ටීච කෙනෙක්ද කොහෙද වුනා .. ඉන්දුසිරියා නැගිට්ටා..

“මම ලොකු වුනාම කෑගහනවා සර්“

“කෑගහනවා....??? මට තේරුන්නෑ“

“කෑගහනවා සර්“

“මොකක්ද ළමයි මෙයා කියන්නේ“

“නෑ සර් එයාලගේ තාත්තා කෑගහනවනේ බදුල්ලේ ස්ටෑන් එකේ“

“මට තේරුන්නෑ ළමයි“

“සර් කෑ ගහලා බස්වලට සෙනඟ පටවලා කීයක් හරි හොයාගන්නවා.. ලොකු වුනාම ඒ රස්සාව කරනවා කියලා කියන්නේ“

ඒත් ඉන්දුසිරි විතරක් තමා කිව්වාට වඩා ලොකු රස්සාවකට ගියා ... මිනිහා දැන් හමුදාවේ....

මම අද කියන්න යන්නේ කමතේ අවසානයට පෙර ලිපිය.. දේවදානය (මුලුතැන් බත) ගැන.. ඔය තිලකේ මාමා පුරන් පෙරලන්න ඉස්සෙල්ලා කතරගම දෙයියන්ට භාරයක් වෙලා පඬුරක් අහක් කරනවා.. කෙත බත සරු වෙන්න.. වන සත්තුන්ගෙන් රෝග පළිබෝධ වලින් වෙන හානිය අඩු කරන්න කියලා.. ඉතිං ගොයම කපලා බැත ගෙට ගත්තහම ඔය බාරේ ඉෂ්ඨ කරන්න ඕනි.

ඉස්සෙල්ලම තිලකේ මාමා යන්නේ බුලත්ගෙදර සීයා හම්බුවෙන්න. එයා තමයි කපු මහත්තයා. එයා දෙන දිනයක් තමයි. තවත් දාන තියෙනවනේ බාරගත්තු. සෙනසුරාදා දවසක් තමයි ගොඩාක් වෙලාවට වැටෙන්නේ. ඉතිං ඔය දේවදානෙට යන්නේ පිරිමි උදවිය විතරයි. මල්වර වෙච්ච නැති පොඩි කෙල්ලන්ට යන්න අවසර තිබ්බත් කොල්ලෝ ඇනුම්පද කියන නිසා පිරිමි තමයි යන්නේ. ඉතිං ඕකටත් බලෙන් යන්නේ නෑ කවුරුත්. ආරාධනා කරන්න ඕනි. අපිටනම් ඉතිං කොහොමත් ආරාධනා කරනවා. අපිනේ තිලකේ මාමාගේ කුඹුරු වැඩ වලින් ගොඩ හරියක් සුවෙච්චාවෙන් කරලා දෙන්නේ. දේව දානේ දෙන්නේ කමතේ.

මම ගමේ ගිය වෙලාවේ කරුණේ මාමා හම්බුවෙලා දේවදානේ ගැන විස්තර ටිකක් අහන්න ගත්තේ මගේ මතකෙනුත් ඔය ගැන විස්තර ගිලිහිලා ගිහිල්ලා හිංදා. මිනිහා අදි මදි කරද්දි මම පත්තරේට මේක දානවා කියලා විස්තරේ අහගත්තේ.

අපේ නමත් එහෙනම් දාපං කියලා කිව්වා.

ඔන්න අපි රතු පාට කහ පාට අනේකවිධ මල් අරගෙන හිරමනේකුත් කරේ තියාගෙන උදෙම්ම තිලකේ මාමලගේ කමතට ඇදෙනවා. ගිහිල්ලා ඉතිං පොල් ගානවා. කෙසෙල් ගස් කපාගෙන එනවා. පතුරු ගලවනවා. කෙහෙල් කොල කපනවා. එවුවා හෝදනවා. පොල් කෑලි කපනවා. හකුරු කෑලි කපනවා. කෙසෙල් ගෙඩි වල අගිසි මුල් කපනවා. ඔය වගේ වැඩ තමයි අපිට බාර. දේව පූජාව තියන තට්ටුව හෙවත් මල් ආසනය හැදීම සහ දානය සකස් කිරීම ඔය කරුණෙ මාමලා තිලකේ මාමලා වගේ වයසක උදවියට බාරයි. ඉතිං මේ දානෙට ඉස්සෙල්ලාම කුඹුරෙන් කපලා අයින් කරලා තිබ්බ වී ටික හාල් කරලා ගන්නවා .. මුල් අස්වැනු බත ... මුල්තැන් බත...දේව දානය ඔය එක එක පලාත් වල එක එක විදියට කියනවා. ඉතිං ඕකට ඕනි හාල් (මුල් සහල් සමඟ කළවම් කල සහල්) සීනි.. පොල්...හකුරු.. කෙසෙල් සහ පළතුරු .. කහ..ලුණු.. මුං ඇට.. කඩල.. කරද මුංගු..හඳුන්කූරු..කපුරු..පොල්තෙල්..පහන්තිර..කෙහෙල් කොල ...කළමනා ටික..

ඉස්සෙල්ලාම මුං ඇට ලිප තියනවා. පස්සෙ මුං ඇට තැම්බීගෙන එනකොට හාල් ලිප තියනවා.. දැන් මුං ඇට තැම්බුනාට පස්සේ බත් එකට කලවං කරනවා..මුද්දරප්පලං වගේ ඒවත් .. කරදමුංගුත් මේ වෙලාවෙම මිශ්‍ර කරනවා..දැන් පොල් මිරිකගන්නවා.. සීනි දිය කරගන්නවා..මේවා ලඟ ලඟ කීප දෙනෙක් බෙදාගෙන කරනවා..දැන් අර මිටිකිරියි සීනියි දාලා අර බත ලිප තියලා හොඳට කූරෙන් කලවම් කරමින් පදමට ආවට පස්සේ බිමට බාගන්නවා.

දැන් තට්ටුව හෙවත් මල් ආසනයත් හදලා ඉවරයි.. ඒකේ ගහපු කෙහෙල් පතුරු වල මල් ගහන්නේ අපි. ඉස්සෙල්ලා බුද්ධ පූජාව තියනවා.. පස්සේ කතරගම දෙයියන්ට දේව පූජාව.. මෙතැනදි මල් වර්ග හතක් පූජාවට යොදාගන්නවා.. බුලත් ගෙදර සීයා තමයි ඔය රාජකාරිය කරන්නේ. ඉතිං අපිත් කරබාගෙන වැඳගෙන ඉන්න ඕනි.

බුද්ධ පූජාවයි දේව පූජාවයි ඉවරවෙච්ච ගමන් අපි කෙහෙල් කොල අරං වාඩි වෙනවා.. එක්කෙනෙක් දේව දානේ බෙදාගෙන එනවා. තව කෙනෙක් පලතුරු..තව කෙනෙක් හකුරු.. තව කෙනෙක් පොල්කෑලි බෙදාගෙන එනවා .. අපි දානේ අනුභව කරලා ගෙදෙට්ටත් පාර්සලයක් ඔතාන යනවා ... දානෙට නොආවත් මුළු ගමටම දානේ බෙදා හරින එක සිරිතක් ... අපූරුයි නේද? ගිහුං එන්නම් ... කමත අවසන් ලිපියෙන් හමුවෙමු....

1 comment:

  1. // ඉතිං අපිට ඉස්කෝලේ යන්න පැය කාලක් ගත වුනාට එද්දි පැයක් එකහමාරක් ගතවෙනවා //
    මේක කියවද්දි මත මතක් උනා එක සිද්දියක්. මම ඒ දවස් වල හිටියෙ අපේ ආච්චිලා ගෙදර. ඒ ලගම තමයි මම මේ කියන නංගිලා ගෙදර තිබුනෙ. එදා දාරානිපාතෙට වැස්ස. ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ගෙදර ඉන්න පාළු නිසා ගියා ඔය කියන නන්ගි ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත්ද බලන්න. යනකොට ගෙදර හිතියෙ නෑ කියහොන්කො. කීප වතාවක්ම ගියා නැ. පස්සෙ හොදටම හවස් වෙලා යද්දි මෙන්න් ඉන්නව. බසෙකෙන් බැහැල රේල් පාර දිගේ ගෙදර එන්න යන්නෙ පැය කාලයි. මේ කෙල්ල පැය දෙකක් තිස්සෙ ගෙදර ඇවිල්ල. වැස්ස නිසා ඇළ පිටාර ගලල, රේල් පාරත් යට වෙලා. ඉතින් මේ හරකා (හරකා යනු අපි ඇයට ආදරේට අමතන ආකාරයයි) කඩදාසි ඔරුවල් හදාගෙන ඒක පා කර කර ඒකත් එක්ක තමයි ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete