බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Thursday, December 24, 2015

සල්පිල - 02 කොටහ .............


ලොකු හාන්දුරුවෝ ආවාස ගෙට ගිහිං වහාම ක්‍රියාත්මක වන පරිදි පොඩි හාන්දුරු නමක් සල්පිල් කාර්යාලයේ සහායට එවන්නේ සල්පිලේ තදබදය අවම කරන්න වගේම මූල්‍ය පාලනයේදී සිදුවිය හැකි අක්‍රමිකතාවයන් අයින් කරන්ඩත් එක්කයි.ඔය ඔක්කොම අස්සේ සල්පිලට ඇවිත් ඒකට සහභාගි වුනා කියලා නම දාගන්න එන අයත් ඉන්නවා. ඒ අය ආටෝපෙට ඇවිල්ලා ලොකු හාන්දුරුවන්ට පෙනී ඉඳලා තම ගෙවල් වලට ඉක්මනට යන අය. සමහරක් අය ඉන්නවා පැය දෙකක් තුනක් ඉඳලා යන අය. සමහරු ඉන්නවා එද්දි පොඩි එක්කුත් වඩාගෙන ඇවිල්ලා බොරුවට පොඩි එකා අඬනවා කියලා පෙන්නලා යන අය.  තව සමහරු ඉන්නවා ඔත්පල වෙලා ඉන්න තම මව්පියන් දිහා ජීවිතේටවත් බලන්නැති අය
“මේ තාත්තත් අසනීපෙන්නේ ඉන්නේ උන්දැව බලන්නත් තියෙනවා . මම යනවා උඹලා ඉඳලා වරෙල්ලා “කියලා මාරුවෙන අය. සමහරු පවුල විතරයි ගෙදර කියලා යනවා.සමහරු ඉන්නවා බීලා වෙරි වෙලා ඇවිල්ලා වෙරි හිඳුනම
“යකෝ මම පංසලකද ඉන්නේ“
කියලා බලලා දඩි බිඩි ගාලා මාරු වෙලා යන අය. සමහරු ඉන්නවා සල්පිල ඉවරවෙලා දාන චිත්‍රපටියත් බලලා නිදි කිර කිර කබ කඩ කඩ සීතලේ නලිය නලිය පහුවදාට කුකුළා අඬන නැකතේ ගෙදර යන අය. මේන් මේ අන්තිම කාණ්ඩෙ තමයි අපි ඉන්නේ.
එකා දෙන්නා යන්න පටන් ගත්තම ටී.ඩී . සුමනා යකඩ කටින් කියනවා
“ඔක්කොමලා ඉන්න අද ලස්සන චිත්‍රපටියකුත් පෙන්නනවා. තව ටික වෙලාවකින් සල්පිලත් පටන් ගන්නවා“ කියලා.
“මෙන්න තවත් රුපියල් පනහක ආධාරයක් කරනවා නිලිඅතුගොඩ සිට පැමිණි මාරසිංහ මහත්තයා ............................“
ඔන්න දැන් අපේ ආච්චිගේ රුපියල් විස්සේ ආධාරය දෙන්න හොඳ නැකත කියලා හිතන ආච්චිත් ආධාර පෝලිමට වෙලා දිලිසි දිලිසි ඉන්නවා.ඔය අතරේ ටී.ඩී සුමනා තවත් ආධාරයක් කියවනවා ... ඔය ටී.ඩී. සුමනා අපේ ගමේ නෙවෙයිනේ ගොඩාක් දුර .. පංසලේ පින්කම් දවස්වලට තමයි එන්නේ.. කවි කියන්න.. ජෝඩුවම කවි කියනවා. මුළු පළාතෙම පංසල් වල සල්පිල් වගේ එවුවට නැතුම්ම බැරි දෙන්නෙක්.
“මෙන්න තවත් ආධාරයක් කරනවා නැසීගිය .............. රත්වත්ත නිවසේ විසූ එච්.ඇන් . බංඩාරමැණිකා උපාසිකාවට පිං පිණිස............“
ඒ අපේ ආච්චිගේ නම. ආච්චිව අවුස්සගන්න කවුරු හරි කොල්ලෙක් ඔලොක්කුවට දීපු ආධාරයක්... ඔන්න උන්දෑ ඇයිස්සෙනවා
“මොන වේ## බල්ලාද බොලව් අම්මට ####### මේ පරත්තු වැඩේ කෙරුවේ... මාව මරාගන්න .. මාව මරාගන්න හිතුවා මදි ... වරත්තු බල්ලෝ ... බල්ලන්ට ජාතක වෙච්චි ###############################“
පංසල එකම පරුෂා වාචා... හිස් වාචා වලින් ගිගුම් දෙනවා .... ටීඩී සුමනා ගොළු වෙනවා ... ඉස්පීකරේ ඇණ හිටිනවා... ආච්චී යකා නටනවා...
ලොකු හාන්දුරුවෝ වඩිනවා.. ආච්චී ගල් ගැහෙනවා....මුළු පංසල් භූමියම මීයට පිම්බාක් මෙන් නිශ්චල වෙනවා. අල්පෙනිත්තක් වැටුනත් හඬ ඇහෙන තරමට...
“මොකද උපාසක අම්මේ....“
“නෑ හාන්දුරුවනේ බලන්නකෝ මේ වරත්තු කොල්ලෝ.................“
ලොකු හාන්දුරුවෝ තට්ටේ අතගාන ගමන් කාර්යාලයට ගිහින් දෙන ආධාර ඉස්පීකරේ කියන්න කලින් අදාල ගමේ නියෝජිතයාගේ අනුමැතියට යොමුකරන්න කියලා උපදෙස් දීලා යනවා.
ආච්චී ආයෙත් ආධාර පෝලිමට යන්නේ තරහින් පිපිරි පිපිරී.ඉස්සර ටීවී බලද්දි එක පාරම සෝස් ගාලා විනාඩි ගානක් බුබුළු ගිහිං “විදුලිබලය ඇණහිටීම නිසා සිදු වූ ප්‍රමාද දෝෂය පිළිබඳ අපගේ බලවත් කණගාටුව“ කියලා තිරයේ වැටිලා ආයෙත් වැඩසටහන පටන් ගත්තම ඇතිවෙන වර්ගයේ හැඟීමක් අපට ඇතිවෙනවා. ටීඩී සුමනා ආයෙත් යකඩ කටින් කවි කියනවා.
ඔය පංසලට නගින පාර දෙපැත්තේ තාවකාලිකව ජංගම කඩත් බිහිවෙනවා. ජයසූරිය...රංබංඩා .... පේමේ මාමා වගේ කට්ටිය මේ කඩවල්වල තාවකාලික මුදලාලිලා බවට පත්වෙනවා. අඹ පෙති ගහලා ලුණු මිරිස් දාලා විකුණන කඩ .. එක එක තොරම්බෝල් එල්ලගත්ත කඩ ... කඩල කඩ ... උණු උණූ වඩේ කඩ .. පංසල් පාර දෙපැත්තේ හතු පිපෙන්නා වගේ බිහි වෙනවා. හාන්දුරුවෝ මේකට අකමැත්ත ප්‍රකාශ කලත් මිනිස්සු (මුදලාලිලා) බලෙන් පංසල ආක්‍රමණය කරනවා.
ඔන්න දැන් තමයි ධනසිරි අයියලා පංසල් එන්නේ.. ආච්චී කිව්වා වගේ වැනි වැනී ... සිගරට් පුසුඹ හම හම ධනසිරි අයියලා යාළුවෝ කාණ්ඩෙත් එක්ක පංසල් එනවා. විශේෂයෙන්ම ඔය කට්ටිය පංසල් එන්නේ සල්පිල බලන්නවත් ... ඒවට උදව් කරන්නවත් නෙවෙයි .. මාළු ඇන්ටිට ඉන්නවනේ දුවලා හතර පස් දෙනෙක්... ආන් එවුන් පස්සේ වැටිලා වැඳ වැඳ යන්න .... ඒත් එවුන්නම් ඔය ගමේ එවුන්ව කොහොමවත් ගනන් ගන්නේ නෑ සත පහකට....
ඔන්න අපේ ආච්චිත් ආධාරේ දීලා ඇවිල්ලා වළාකුළු බැම්මට හේත්තු වෙලා උන්දැටත් කවියක් කියනකන් බලාගෙන ඉන්නවා. අනිත් ආච්චිලා සෙට් එකත් එක්ක අනුන්ගේ ඇදකුද හොයන එකත් උන්දැගේ සිරිත
“ අර බලපල්ලකෝ මාළු ගෑණිගේ දෝණියන්දැලා ටික ඇඟේ පටලවගෙන ඇවිත් තියෙන සුකුරුත්තන්... නොදකින් ඔවුවෝ එන්නේ ඔය පංසලේ ඉන්න කොල්ලො ටික අවුස්සලා යන්න ... සෝබනේට...“
“නැතුව ...නැතුව ...අර බලපංකෝ එකියෙක්ගේ කොන්ඩෙ ඩිස්කො කපාගෙන ... හිරට හිරේ කයිසමකුත් ඇඳගෙන ... අනේ කාලේ වනේ වාසේ කිව්වළු“බංඩේ සීයලෑ ආච්චිත් අපේ ආච්චිගේ කතාවට පොහොර දානවා.චිත්‍රපටි සංස්ථාවේ වෑන්නෙක ලයිට් දාගෙන සද්දේ දාගෙන ඇවිල්ලා පල්ලැහැ මළුවේ නවත්තනවා. ඒකෙන් බැහැගත්ත කට්ටියක් පල්ලැහැ මළුවේ ප්‍රොජෙට්ටරේ හයි කරනවා ... උඩ මළුවේ සල්පිලට පේන දුරින් හිටෝලා තියන එල් අයිරින් කණු දෙකේ තිරේ හයි කරනවා... දැන්නන් චිත්‍රපටිය අනිවාර්යෙන් පෙන්නනවා කියලා උත්තේජනයක් මිනිස්සුන්ට දීලා තියෙන නිසා මිනිස්සු ගෙවල් වලට යන්න ඉක්මන් කරන්නෑ.. දැන් ආධාර අස්සේ සල්පිල් වෙන්දේසියත් පටන්ගන්නවා...
“මෙන්න තියෙනවා ලස්සන ගුරුලේත්තුවක්... මේක එවලා තියෙන්නේ නෙලුදණ්ඩේ කෝරලේ මාමා ... තියන්ඩ බලන්න මේකට ලංසුවක්“
“රුපියල් දහයයි“
“ආනේ සිරිල් මල්ලි මේක දහයද“
“පහලොවයි“
තව කෙනෙක් කෑ ගහනවා...
“විස්සයි“
“විස්සයි ... ඈවරයි ...විස්සයි දෑවරයි....
“තිහයි.....“
ඔය විදියට සල්පිල ඇදි ඇදී යනවා.
දැන් අපේ ආච්චිගේ කවියත් ඔය අස්සෙන් කියවනවා..
“රත්වත්ත නිවසේ එච් ඇන් බණ්ඩාරමැණිකා මහත්මිය රුපියල් විස්සකින් ආධාරයක් කරනවා ... මිය පරලොව ගිය ඥාතීන්ටත් එතුමියටත් මේ පින් අත් වේවා... ඒවගේම ඉස්සෙල්ලා අපි අතින් වෙච්ච වැරැද්දටත් කණගාටු වෙනවා... ඒ වගේම අනේ මේ මල්ලිලාට බොහෝම කරුණාවෙන් කියන්නේ ඕවගේ විහිළු තියාගන්න එපා .. මොකද මේක පංසලක්නේ.......“
“ රත්වත්...තේ ඉඳන් ආ බංඩර-මැණිකා
මල් මල් චීත්තෙට උඹනම් හරි අගනා
ඒ හැටි වයසකුත් කොහොමත් නොපෙනෙන්නා
දුන් ආ...ධාරයට බෝ පින් අත් වෙන්නා ............“
අපේ ආච්චි දත් නැති කටින් හිනාවෙවී වළාකුළු බැම්මේ මූණ හංගගන්නවා .....
දැන් ඔය ගම්මාන අතර තරඟයක් පටන්ගන්නවා ... ඒක සල්පිලේ අවසාන භාගයේදී තමයි සිද්ද වෙන්නේ... ඒ තමයි මල්වට්ටිය වෙන්දේසිය. ඕක ගම් මට්ටමින් තමයි වෙන්දේසි වෙන්නේ... එක එක ගම් වල කණ්ඩායම් එක්කහු වෙලා මල් වට්ටිය තමන්ගේ ගමට ගන්න ගොඩාක් වෙහෙසෙනවා... සමහර කාල වල ඕක ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ඔය මල් වට්ටිය කොහොමත් රුපියල් දාහ පන්නලා ලංසුවකට තමයි අයිති කරගන්නේ.... ඔය වෙලාවට ලොකු හාන්දුරුවෝ හය හත් වතාවක්වත් සල්පිල ටටේ කැරකිලා යන්න එනවා.....ඔය අතරේ පල්ලැහැ කඩ පේලිය අතරින් මහා හඬක් එනවා ... කවුරු හරි කෑ ගහන හඬක්... ඒ අස්සේ  රංබංඩා මාමගේ පවුල ලතෝනි තියාගෙන සල්පිල දිහාට දුවන් එනවා...
“ අයියෝ මගේ මිනිහා ඉවරයි .. පේමේයා මගේ මිනිහගේ බඩ කැපුවා මල කපන පිහියෙන්....“
ඔළුව බදාගෙන රංබංඩේ මාමගේ පවුල සල්පිල දෙවනත් කරනවා ... ඔය මල කපන පිහිය කියන්නේ මේ ගම්වල තියෙන භයානක ආයුධයක්. කිතුල් මල් කපන්න ගන්න බ්ලේඩ් එක වගේ පිහිය තමයි මල් කපන පිහිය කියන්නේ...මල් වට්ටි වෙන්දේසිය එතැනම නවතිනවා..සල්පිල ඇනහිටිනවා..යකඩ කට ගොළු වෙනවා. සල්පිලේ අයයි සල්පිල බලන්න ආපු අයයි එක පොදියට පල්ලැහැ කඩ පේලිය දිහාවට දුවගෙන යනවා.
රංබංඩේ මාමා ලේ විලක් මැද වැටිලා ඉන්නවා.. චිත්‍රපටි සංස්ථාවේ වෑන්නෙක ඇවිල්ලා රංබංඩේ මාමාව දාගෙන විදුලි වේගයෙන් බදුල්ල දිහාට ඉගිල්ලෙනවා..මිනිස්සු සිද්ධිය වෙච්ච තැනට වෙලා පරීක්ෂණ පවත්වනවා. කඩ කෙරුවාව නිසා ඇතිවෙච්ච බහින්බස් වීමක් දුරදිග යාමක් කියල නිගමනේට එනවා.ආරක්ෂාවට ඇවිත් හිටපු පොලිස් මහත්තුරු දෙන්නත් කොහේදෝ ඉඳන් එනවා. සමහර උදවිය නිකටට අත තියාගෙන කල්පනා කරනවා.
“සූටියෝ මෙහ වරෙන් යන්න“
ආච්චි මාව අතෙන් අල්ලගෙන ඇදගෙන යනවා.

“නොදකින් බයිස්කෝප්පෙකක් බලන්න හිටියා මදැයි ... කාළකණ්ණි යක්කු.... හැම පාරම මොකක් හරි විජ්ජුම්බරයක් කරනවා.....මේ.... උඹලා යන් නැද්ද ... මං යනවා ...“
ආච්චි මාවත් ඇදගෙන සීතලේ ගැහි ගැහී ආපහු ගෙදර එනවා..


22 comments:

  1. මල් පිහිය, කුරුදු කැත්ත, දෑලි පිහිය,මාලු පිහිය ආදී කෝකත් හොඳ ආවුද

    ReplyDelete
    Replies
    1. එතකොට කවාතු පිහිය, ඒකත් හොඳ ආයුදයක් තමයි

      Delete
  2. මල් පිහිය, කුරුදු කැත්ත, දෑලි පිහිය,මාලු පිහිය ආදී කෝකත් හොඳ ආවුද

    ReplyDelete
  3. Replies
    1. අපූරුයි තවත් සුරන් ගොයියෙක් පහළ වෙලා තියෙන්නේ.. පත්තරේට ලියනවා නම් උඹට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ නේ...

      Delete
  4. ඔන්න කළ්‍යාණ මිත්‍රයෙක් හින්ද මාත් මේ පැත්තට ගොඩ උනා.
    වැඩේ අතරමග නවත්තන්නෙ නැතුව දිගටම ඇදගෙන යමු.

    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් ෆලෝවර් කෑල්ල දාගත්තොත් අපිට මේ පැත්තෙ එන්න ලේසි වෙයි.

      Layout > Add a Gadget > More Gadgets > Followers

      Delete
    2. මේ අයිය කියන විදියටම කොරන්න. ඇත්තටම එතුමා වගේ ජ්‍යේෂ්ඨ පරිණත කොංක්‍රීට් බ්ලොග්කරුවෙකුගෙන් උපදෙස් ලබන්න ඉතිං පින් කරල තියෙන්න ඕන.

      Delete
    3. ඔවු අපි කොංක්‍රීට් දාන එක ඇර අනික් හැම එකක්ම උගන්නනව.

      Delete
  5. පට්ටයි ඉස්ටැයිල් එක. හැක්.. සිරා ගමේ ගතිය.
    කළණෙට පිංසිද්ද වෙන්න අපිත් මෙහෙ කඩං වැටුන ඔන්න. පුලුවං නං පලෝවර් ගැජට්ටුව දාගන්ටකො..

    ReplyDelete
  6. චඃ... පංකාදු පහයි... කොලිටි මල් පාරක් ගැහුවා වගේ ආතල්... ගැජට්ටු එල්ලං ලියහං සික් එක හැදෙන්නම...
    ජයවේවා..!!

    ReplyDelete
  7. ලස්සනයි. දිගටම ලියන්න. ජයවේවා!!!

    ReplyDelete
  8. තාම බ්ලොග් අතගාන අළුත් එකෙක්ට නොමසුරුව දුන් අදහස්වලට ගොඩක් පිං .... දිගටෝම ලියන්නෙමි...................

    ReplyDelete
  9. අදයි මේ පැත්තේ ආවේ. දිගටම ලියන්න සුබ පැතුම්.

    ReplyDelete
  10. ලිවිල්ල අපූරුයි..ඔන්න මලේ මුළු බ්ලොග් එකම කියෙව්වා.. අපි වහේ හතලිහ ලං වෙච්චි එවුන්ට බලන්න ලේසි වෙන්න අකුරු ඩිංගක් ලොකු කරහන්..

    ReplyDelete
  11. සුපිරි ලිවිල්ල.

    ReplyDelete
  12. නියමයි! මේ කතා/මේ රටාව ඇදගෙන යාමයි වටින්නෙ. පටං ගන්නකොට තියෙන රසවත් බව/අලංකරණ වැඩි දියුණු කරගන්න. කළ්‍යාණ මිත්තරයා තමා පාර කිව්වෙ.

    ReplyDelete
  13. ඉස්සර ගම්වල ගොඩක් උත්සව කෙළවර වෙන්නේ මොකක්හරි ගිනි විජ්ජුම්බරයකින් තමා...
    නමුත් ඒ කාලේ ගමේ එකමුතුකම තිබ්බා, අද කචල් ච්දුයි, නමුත් එකාට එකා නැහැ...

    ReplyDelete
  14. අපේ ගෙවල් පැත්තෙ සංගිතයක් තිබ්බමත් ඔය වගේ එකක් වෙලා තමයි නවතින්නෙ.. එකෙක් දෙන්නක් ඉස්පිරිතාලෙ යන එක නං වෙනවමයි... අපි කියන්නෙ මාමයිට් ඩප්පි සංගීත කියල ඕවට...

    ReplyDelete