බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, December 29, 2015

පැන්සොන් - 01


ඔය අපේ තාත්තගේ අම්මා ඒ කියන්නේ අපේ පලවෙනි ආච්චි ගැන තමයි මම කලින් කතාවක කිව්වේ. ඒත් අපිට තවත් ආච්චියෙකුයි සීයෙකුයි ඉන්නවනේ. ඒ අම්මගේ අම්මයි තාත්තයි ... අම්මනම් සීයට කියන්නේ පප්පා කියලා. අපි කියන්නේ පප්පා සීයා කියලා. සීයා ඔය ගල්කිස්ස පැත්තේ ඉංග්‍රීසි ඌරුවට හැදිච්ච මනුස්සයෙක්.


ඉතිං අපේ B ආච්චි  හිටියේ බදුල්ලට ගිහින් වේවැල්හින්න හරි රිල්පොල හරි බස්සෙක්ක නැගලා වැලිකේමුල්ලෙන් බැහැලා උඩහකට නැග්ගම හම්බුවෙන ගමක. A ආච්චියි B ආච්චියි අතර වෙනසකට මම දැක්කේ B ආච්චි ලිප් බොක්කට වෙලා කලු සුරුට්ටු බීමට ඇබ්බැහි වී සිටීම... සීයාගේ පැන්ෂන් දවසට ගේන හතරැස් බෝතලෙන් වීදුරු දෙක තුනකට වගකීම සහ කිසිම දවසක පන්සල් යනවා මා දැක නොතිබීම. ඉස්කෝල කීපයක ඉගෙනගත්තු මට අපේ තාත්තා නැතිවෙලා අගහිඟ වැඩිවෙනකොට ගෙදර බර පොඩ්ඩක් හරි අඩුකරන්න ඔය වැලිකේමුල්ල ඉස්කෝලෙත් අවුරුදු තුනක් විතර යන්න සිද්දවුනා ආච්චිලගේ ගෙදර නැවතිලා.


අපේ සීයා පොලීසියේ සාජන් කෙනෙක් විදියට වැඩකල්ලා පැන්ෂන් ගිය හයේ හතරේ කෙනෙක්. සීයා අගමේ..ආච්චි බුද්ධාගමේ.ගමේ කවුරුත් පැන්ෂන් ගිය සීයට කිව්වේ රාළහාමි කියලා. පැන්ෂන් ගියත් බදුල්ලේ ටවුමේ වෙළෙන්දෝ කිව්වේ සාජන් මහත්තයා කියලා. ආච්චිනම් ඔය මොකවත් කරේ නෑ. සීයගේ පැන්ෂන් පඩිය කළමණාකරනය කලේ උන්දෑ. ඉතිං ආච්චිලගේ ගෙදර තවම කසාද නොබැඳපු ශ්‍රීකාන්ත මාමත් හිටියා. අනිත් මාමලා මේ ගමේම වෙන වෙනම ජීවත් වුනා. ලොකු අම්මා ආච්චිලගේ ගෙදෙට්ට පල්ලැහින් ගෙයක් හදාගෙන හිටියේ. අපේ අනිත් ආච්චි මට සූටියා කියල කිව්වත් මේ ආච්චිනම් කියන්නේ මේලකයෝ කියලා. සීයානම් ගොඩාක් කට්ටියට අයිසේ කියලා කතා කරන්නේ. ඉතිං මටත් කියන්නේ අයිසේ තමයි.


සීයගේ කොණ්ඩේ සුදුම සුදුයි. සුදුයි කියන්නේ කිරි සුදුයි. මාසයේ වැඩි කාලයක් හරක් මස්  ආහාරයට ගැනීමත් ඔහු කල රාජකාරියත් හේතුවෙන් ඉතා ශක්තිමත් බාහු වලින් පිරුණු දේහයක් ලැබිලා තිබුණා. සීයගේ හොඳම මිතුරා බවට පත්වෙලා තිබුනේ අල්ලපු ගෙදර වෙද මහත්තයා. ඔහු දන්නා වෙදකමක් නැතිවුනත් බොහෝ පළාත්වල සෙනඟ ගැවසෙන තැන්වලට ගොස් බෙහෙත් තෙල් කුප්පි විකිණීම නිසා ඔහුට මේ නම ලැබිලා තිබ්බා.හැන්දෑවට ගෙදර ඇවිල්ලා නාලා වෙද මහත්තයත් එනවා අපේ ආච්චිලගේ ගෙදෙට්ට. ඇවිල්ලා ඉතිං සීයත්තෙක්ක ආගිය කතා මහ ගොඩයි.


“වෙද මහත්තයට මතකද මම මොණරාගල පොලීසියේ වැඩ කොන්න කාලේ“

සීයා පරණ මතකයන් ඇදලා ගන්නවා

“නැතුන් නැතුන් රාළහමිගේ පවුලට ඔය ශ්‍රීකාන්තයා ලැබෙන්න ඉන්න කාලෙනේ“

“ඔය කාලේ අපේ පොලීසියට ආවා ගියා ඔය පොලීසිය ගාව ගෑණු කෙනෙක්. බොහොම ලස්සන හීන්දෑරි ගෑණි.“

“හැහ් හැහ් හැහ් හෑ .... ඉතින් රාළහාමිට හිත ගියා... හැක් ... හැක් ..හැක් “

ආච්චිට නෑහෙන්න ඇදිලා ගිය කතාව මුලු ගමටම පැතිරෙන්නේ ඔන්න ඔය වෙද මහත්තයාගේ කට හින්දා.ආච්චිත් කොහෙට්ට හරි වෙලා ඔය කතාවට කන්දීගෙන ඇවිල්ලා සීයට බැණවදිනවා.

“නොදකින් නාකි විසේ ගෙටත් උසේ කියලා කතාවකුත් තියෙනවනේ. මම මොකද බොල නොදන්නේ උඹ මොණරාගලට වෙලා ඒ දවස්වල ගෙදර එන්නෙත් නැතුන් නටපු නාඩගං. මම තමයි ඔය ගැන ලියලා පෙස්සමකුත් ගැස්සෙව්වේ ඒ දවස්වල. වල්කන් කොරලා තව කියවන්නත් එනවා. තුක් නොදකින්“

ඔන්න වලිය අවුලලා තියලා වෙද මහත්තයා හෙමීට මාරු වෙනවා. සීයා රාළහාමි වුනත් ආච්චිට ඔළුව නමලා ගෙට ගියත් ආච්චි රෑ දෙගොඩහරියක් වෙනකන් එකම දේ කියමින් සීයාට බැණවදිනවා. සීයා රෑ එළි වෙනකන් කිසි කතාවක් නැතුන් බ්‍රිස්ටල් සිගරැට් හය හතක දුම් වලලු ඉහල යවමින් ඉන්නවා.ඔන්න ඉතිං පහුවදාට ඕක නිවිලා ගියත් ආයෙත් ඕක මතුවෙන දවසක් එනවා. ඒ තමයි පැන්ෂන් දවස.අපේ ආච්චි අකුරු සාත්තරේ දන්න එකක්යැ. කුස්සියේ අග හිඟ එක එක මතුවෙනකොට

“මේලකයෝ අර කැලැන්ඩරේ අද දිනේ කීයද කියලා බලපංකෝ“ 

කියලා ආච්චි මගෙන් අහනවා.

“අද විසි නමයයි“

“ඕකේ බලපං පැන්සොන් කවද්ද කියලා“

මුලු අවුරුද්දෙම පැන්ෂන් දෙන දවස් කැලැන්ඩරේ කතිරයකින් කපලා තියෙන්නේ.
“ලබන අට“

“ඒ කියන්නේ තව දවස් කීයද?“

ඔන්න මගේ ඇඟිලි වැඩ කරන්න පටන්ගන්නවා.
“විසිනමය....තිහ...තිස් එක...තිස් දෙක.... ආ.... තිස් දෙකක් නෑනේ..එක ඇඟිල්ලක් ආයේ දිග ඇරෙනවා. එක...දෙක...............................................“

තව දවස් එකොලහක් තියෙනවා“

“අප්පද බොල... මම අර මිනිහට ගියපාර කිව්වා තව හාල් ටිකක් වැඩිපුර ගමු කියලා. කෝ ඇහුවද? මස්...මස්...මස්....“

“උඹ රාණිලැහැ අහට ගිහිං හාල් ටික්කුයි තේ කොල ටික්කුයි ඉල්ලං වරෙන්“

ඒ කියන්නේ අපේ ලොකු අම්මලා දිහාට... ඕන් මං පල්ලැහැට දුවගෙන දුවගෙන යනවා.

“මොන මලවදයක්ද බං............ගේන ඒවා පරිස්සම් කරන් උයන්න කියහං... මාසේ අන්තිමේට අපිට කරදරේ“

ලොකු අම්මා ආඩපාලි කියනවා. හැම පැත්තෙන්ම තැලෙන්නේ මං. ඒත් පැන්ෂන් දවසට ආච්චිගෙන් නොමසුරුව ලොකු අම්මගේ ණය කොටහට අමතරව නොමිලේ කොටහකුත් ලැබෙනවා. ඉතිං මාසේ අන්තිමේට බැන බැන හරි ලොකු අම්මා ආච්චිලගේ අඩුපාඩු ඉටුකරන්නේ ඒකයි... අනාගතේට ආයෝජනයක්...
ඉතිං අද හාලුයි තේකොලයි වුනාට හෙට ..අනිද්දා...ඉන් අනිද්දා වෙනකොට ....සීනි ... ගිණිපෙට්ටි...පොල්තෙල්...පොල් වගේ ඒවත් ලොකු අම්මලාගේ ගෙදරින් ආනයනය කරනවා. ලොකු අම්මත් තරහෙන් පිපිරි පිපිරි ඒ හැම දෙයක්ම දෙන්නේ පැන්ෂන් දවසට ඕයිට වඩා දෙයක් හිලව්වට ගන්න පුලුවන් නිසා.
ඔන්න සීයගෙත් මස් ඝෘතුව නිමා වෙනවා. කොස්...කොස් ඇට...මඤ්ඤොක්කා කොල... ලුණු මිරිස් වගේ කෑම වලින් මේ කාලය ගෙවිලා යනවා. පැන්ෂන් එකට දවස් දෙකක් තුනක් තියලා සීයා ලෑස්ති වෙන්න පටන් ගන්නවා. සපත්තු දෙක පොලිෂ් කරනවා. අව්වට ගෙනිහින් දිස්නෙ බලලා අපහු ගිහින් තියනවා. ඒ සපත්තු දෙකම ආයෙත් හෙටත් දෙපාරක්වත් පොලිෂ් කරනවා. කලිසම.. කමිසය හය හත් වතාවක්වත් මදිනවා.... කණ්නාඩියෙන් මූණ බලනවා.. ආයේ කණ්නාඩිය ගිහිං එල්ලනවා. එකම විකාරයයි.“ ඇති ඔය පැන්සොන් ගන්න එන ගෑණියෙක්වත්... ඔය මිනිහගේ ඒ දවස්වල ඉඳන් මනමාලකම ඉහේ ඉඳං“ආච්චි කුස්සියේ ඉඳන් මාත් එක්ක කියවනවා. ඒත් මම දන්න දා ඉඳන් සීයා මැරෙනකම්ම පැන්ෂන් එකට ලෑස්ති වුනේ ඔය විදියට තමයි.
ඔය පැන්ෂන් දවස එනකන් ආච්චී..සීයා .. මම වගේම ලොකු අම්මත් ඇඟිලි ගැන ගැන ඉන්නේ. අපි හතරදෙනාම ඔය පැන්ෂන් දවසට සීයත්තෙක්ක බදුල්ලේ යනවා.
පැන්ෂන් දවසට මගේ ඉස්කෝල ගමන අත්හිටුවනවා. උදේ පාන්දර නැගිටින්න ඕනි. තැපැල් කන්තෝරුව අරින්නේ උදේ අටහමාරට වුනත් අපි උදේ පහහමාරට එන බස්සෙකට ලෑස්ති වෙන්න ඕනි. ඔන්න උදේ හතරේ ඉඳලා ආච්චි අපිව ඇහැරවනවා.
“රාළහාමි....රාළහාමි“ ඒ සීයව ඇහැරෝන විදිය.

“මේලකයෝ....මේලකයෝ...උඹ යන්නැද්ද?“ 

ඒ මාව ඇහැරෝන විදිය.

“ශ්‍රී කාන්තයෝ... තේ ටිකක් හදහන් නැගිටලා“ 

ඒ අපේ මාමාව ඇහැරෝන විදිය.

මම දඩි බිඩි ගාලා කුස්සියට ගිහිල්ලා ලිපේ අළු පීරලා අඟුරු කැටයක් හොයාගෙන අඟුර හපලා කන ගමන් ඇඟිල්ලෙන් වමට දකුනට ඉහලට පහලට උඩින් පල්ලෙන් දත් මැදලා  කුස්සිය ගාව තියෙන වතුර බැරල්ලෙකෙන් මූණ කට හෝදගෙන ඉස්කෝලෙට අඳින නිල් කොට කලිසමයි ලොකු අම්මා අරං දීපු ටී සර්ට් කබලයි ඇඳන් සෙරෙප්පු දෙක දාගන්නවා විනාඩි දහයෙන්. ආච්චිත් ඉක්මන්ට ලෑස්ති වෙනවා. ඒත් සීයා..... හතරට ඇහැරුන මනුස්සයා උදේ පහයි කාල විතර වෙනකන් හැඩ වෙනවා. රැවුල කපන්නම බර වෙලාවක් ගන්නවා. ඉතිං සීයා හැඩ වෙලා එනකන් මායි ආච්චියි පල්ලැහැ ලොකු අම්මලගේ ගෙදෙට්ට ගිහින් ඔය යූරියා මළු දෙක තුනකුයි සිරි සිරි මලු ටික්කුයි හොයාගන්නවා. ඒ අස්සේ ලොකු අම්මත් දඩි බිඩි ගාලා ලැහැස්ති වෙනවා. ඔන්න පහමාරේ බස්සෙක රිල්පොලින් එන වෙලාවට අපි හතර දෙනා පාරට බඩගානවා. දුම් දාගෙන ලයිට් දාගෙන එන බස්සෙක අපි හතරදෙනාව ගිලගන්නවා. එහෙට්ට මෙහෙට්ට විසි වෙවී යන අපි බදුල්ලෙන් බැහැගන්නවා.
බදුල්ලේ මයිලගස්තැන්නේ සීටීබි බස් සටෑන් එකේ ඉඳන් සියඹලා ගහ ලඟට යනකන් අපි පයින් ගාටනවා. සියඹලා ගහට උඩින් තමයි තැපැල් කන්තෝරුව තියෙන්නේ. අපි යන වෙලාව වෙනකොටත් වයසක උදවිය විස්සක් තිහක් පෝලිං ගැහිලා ඉන්නවා. සීයත් පනාව අරං කොණ්ඩේ පීරන ගමන් ගිහිල්ලා පෝලිමට එකතු වෙනවා. ආච්චියි.. මායි ..ලොකු අම්මයි පෝලිම අනිත් පැත්තේ තියෙන සිමෙන්ති බැම්මේ ඇනතියාගන්නවා.
බුලත් මඩිය අතට ගන්න ආච්චී පැණි දුංකල පතුරකුත් කඩාගෙන විටක් කටේ ඔබාගන්න ගමන් පෝලිමට පිටින් පනින අය ගැන හොයා බලනවා.

අටහමාරට තැපැල් කන්තෝරුව ඇරියත් සීයා පැන්සන් එක අතට ගද්දි එකොලහ විතර වෙනවා. එතකන් ඉතිං අපි අර බැම්ම උඩ නලිය නලිය ඈනුම් ඇර ඇර ඉන්නවා. ආච්චිනං අධෝ වාතයත් පිට කරමින් තැපැල් කන්තෝරු නිළධාරින්ගේ අම්මා තාත්තවත් මතක් කරමින් නොයිවසිල්ලෙන් ඉන්නවා.පැන්සොන් පඩියත් අරං තැපැල් කන්තෝරුවෙන් එළියට බහින සීයා ගාවට ගිහිං ආච්චී අර මුලු පඩිපතම අත්අඩංගුවට ගන්නවා. දැන් අපි කෙළින්ම ගිහිං නවතින්නේ බසාර් වීදියේ පල්ලැහැ තියෙන සල්ගාදු හෝටලේ.
“ආ.....සාජන් මහත්තයා එන්ඩ...පැන්ෂන් ගන්න ඇවිල්ලා වගේ ...“

සල්ගාදු මුදලාලි සීයාට පුටුවක් ඇදලා දෙනවා. මාත් ඉතිං සීයගේ පවර්රෙක අරන් පුටුවක් ඇදන් වාඩිවෙනවා.


ඉතුරු කොටහ ලබන අවුරුද්දට .................................

15 comments:

  1. ලියැවිල්ල අගෙයි..............

    මේ කහ පාට කොටස අයින් කරන්න ඩිසයින්, පෝස්ට්, අදාල පෝස්ටුවේ ඒඩිට් ගිහිල්ලා, හයිලයිට් පාට වෙනස් කරගන්න......

    පුංචි තාක්ෂණික උපදේශයක් විතරයි.....

    ජය

    ReplyDelete
  2. එල එල. හැබැයි පින්තූරෙ ඇඳපු බුවා නං කතාව කියවලා ඇඳලා නෑ වගේ. මං හිතන්නෙ මේක පත්තරේ ගිය වෙලාවෙ පත්තරේ ආටිස්ට් බුවා ඇඳපු එකක්ද කොහෙද? සීයා හයිරං කාර ඇඟපත තියෙන පොරක් විදිහට අඳින්න එපායැ.

    ReplyDelete
  3. එලය! වයසට යනකොට මිනිස්සු මාර වොරිඩ් පුංචි දේවල් ගැනත්. අපේ වයිෆ් ලගේ තාත්ත ක්ලිනික් එහෙකට යනවා. ඊයේ පෙරේදා දවසක් බලනකොට පාන්දර 3.30 ට ලෑස්ති වෙනවා බුස්සේ ඉඳන් කරාපිටියේ තියෙන ක්ලිනික් එකට යන්න.

    අපේ අම්මලාගේ මහා ගෙවල් ඔය ගගෙන් එහා පැත්තේ හිඟුරුගමුවේ. :)

    ReplyDelete
  4. ඊළඟ කොටහ ලබන අවුරුද්දේ උනාට කමක් නැහැ, ලබන අවුරුද්දේ මුලදීම දාහන්...

    ReplyDelete
  5. ඒකටත් අව්රුද්දක්ම බලං ඉන්නෙපායැ. කමක් නෑ. රහ නිසා කියවන්න ඉන්නවා.

    ReplyDelete
  6. ලියැවිල්ල නියමයි... කියවන්න ආස හිතෙනවා. සුරංග අයිය තමයි පාර කිව්වේ. කථා ටික ඔක්කොම මුල ඉඳන් කියවන් එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. සුභ අළුත් අවුරුද්දක්, ජය වේවා !!!

      Delete
  7. ඉතිරි ටිකත් ඉක්මණින් දාන්න. රහයි. සුභ නව වසරක් වේවා..!!!

    ReplyDelete
    Replies
    1. රහයි? සැක් ඉතරක්...

      Delete
  8. සාජං උනත් හාමිනේ ගාව පීසීගෙ පවර් එකවත් නෑ වගෙයි.
    අගෙයි කතාව. දැං ලබන අවුරුද්ද තමයි. ඊගාව කොටහත් දාහං.

    මේනකටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ 2016 ක් වේවා !

    ReplyDelete
  9. බොලාගෙ ආච්චම්ම අපෙ ආච්චම්මගෙ බට් කරපු එක. ආච්චි තාම ඉන්නවනම් දවසක පාටියක් දාමු.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    මම කියවපු මේනකයගෙ පළවෙනි ගොඩේ කථාව. ආසයි කියවන්න. ගමේ සුන්දරත්වය, සිරියාව, අපේ මින්ස්සුන්ගෙ ජීවිත ආදී මේ හැම දෙයක්ම මැවිල පේනව කථාව කියවගෙන යද්දි. මේට අවුරුදු ගනනාවකට කලින් ගෙවුනු මගේ ජීවිතේ මතක් වෙනව. ඒ කාලෙ සිදුවූ අමතක නොවෙන, හාස්‍යය ජිනක සිදුවීම් අලලා මටත් ලියන්න හිතෙනවා බ්ලොග් එකක්.

    මේනකගෙ අනිත් කථා ටිකත් එකින් එක කියවන්න හිතං ඉන්නෙ...

    ReplyDelete
  12. අඩොඃ... ඉතුරු කොටහ දාන්නෙ අප්‍රේල් ද? විගහට දාහං.

    ReplyDelete