බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Thursday, December 17, 2015

අපේ නෑම.......................

ඊයේ පෙරේදා මම ගමේ ගිය වෙලාවක උළු ගෙදෙට්ට පහලින් ඇල වේල්ලේ එල්ලිලා තවමත් විරාජමානව ඉන්න ලොකු සියඹලා ගහ දිහා බලන් ඉන්නකොට හිත ඈත අතීතයට දුවන් ගියා.

සමහර කාල වලට සෙල්සියස් පහලවක් විතර උෂ්ණත්වයක් තියෙන අපේ ගමේ අඩුවෙන්ම සිද්ධ වෙන දෙය තමයි දිය නෑම. අපිනම් ඒ දවස්වල නාන්න ගොඩාක් හොරයි. සමහර වෙලාවට ඇඟපත සීතලෙන් හෙල්ලුම්කාලා යන කාලෙට නාන්නේ සෙනසුරාදා දවසට තමයි. අව්වත් නැති නිසා සතියකට දවසක් නෑවම හොඳටම ඇති කියලා අපිම න්‍යායක් ගොඩනගාගෙන තිබ්බා. ඉතිං සෙනසුරාදත් නාන්න අදිමදි කලොත් ඕක ඇහැගහගෙන ඉන්න අම්මා තේ දර ඉපල්ලකුත් අතට අරගෙන “සන්ලයිට්“ කෑල්ලයි බේසමයි අතට දීලා

“පලයල්ලා නාගෙන වරෙල්ලා“ කියලා අපිව ඇලට එලවනවා. 

ඇලේ නාන්න මිනිස්සු හදාගත්තු තැන් තියෙනවා. හොඳම තැන තමයි ඔය සියඹලා ගහයට ඇල. ඔතන තියනවා සිමෙන්තියෙන් බැඳපු බැම්මක්. එතන ලොකු බටයක් දාලා ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි ජලය ඉවත්කරනවා. අපි කරන්නේ ඇල වේල්ලෙන් කිරිවැල් වගේ ඒවා කඩාගෙන ඇල බ්ලොක් කරලා බටේ දිගේ වතුර  යන ප්‍රමාණය හා වේගය වැඩි කරලා හිතේ හැටියට ඔලුව අල්ලන් නාගන්න එක. ඉතිං ටික වෙලාවක් යනකොට ඇලේ පල්ලැහැට වතුර යන්නැති එක බලන්න ගොවියෝ එකිනෙකා උඩහට ඇවිත් අපිට බැන වදිමින් අර කිරිවැල් බැම්ම කඩලා දානවා.ටිකක් වෙලා යනකොට අපේ අම්මත් එනවා. අපි හොරට නානවද බලන්න සහ කුණු අතුල්ලන්න. අපි ඉතිං ඒ  දවස්වල රෙදි හේදුවෙත්...වලං පිඟන් හේදුවෙත්... නානකොට ඇඟේ ගෑවෙත් සන්ලයිට් තමයි. ඔය පුසුඹ සබන් සහ සන්ලයිට් අතර ඇත්තේ සුවඳේ වෙනසක් පමණක් බවත් මේ සබන් දෙවර්ගයේම සෝඩියම් අඩංගු බවත් මෘදු සබන් හෙවත් බේබි සබන් වල පමණක් පොටෑසියම් අඩංගු බවත් අපි දැනගත්තේ උසස් පෙළ කරද්දී. ඒ කාලේ නොදැනුවත්ව හරි අපි නියම මල්ටි සෝප් විදියට සන්ලයිට් තෝරගෙන තිබ්බා. අගහිඟකමත් මේකට බලපාන්න ඇති කියලා හිතෙනවා. ඒත් නාන්න වඩාත් සුදුසු මෘදු සබන් බවත් සිහියේ තියාගන්ටකෝ.

“මෙහේ වරෙල්ලා සබන් ගාන්න“

“අපි සබන් ගෑවා“

“උඹලා සබන් ගාන හැටි මම දන්නැතැයි. මෙහෙ වරෙල්ලා“

ඉතිං අම්මට අවනත වෙලා අපි යනවා සබන් ගාගන්න. ඇස් වල සබන් දැවටුනාම ඇතිවෙන දැවිල්ල අපි බොහෝම අමාරුවෙන් ඉවසගෙන ඉන්නේ දැඟළුවොත් කෝටුපාර හම්බුවෙන බව දන්න නිසා.ඊට පස්සේ අපිට තරු විසිවෙන්නේ අම්මා ගලත් අරගෙන පිටේ කුණු අතුල්ලන්න ගත්තම. ගලේ විපරීත වූ පාෂාණ කැබලි වලින් පිටේ දරුණු සීරීම් ඇතිවෙලා දැවෙන්න පටන්ගද්දි අපිට උන් හිටි තැන් අමතක වෙලා ඇස්වලින් කඳුළු පනිද්දී අපි එහෙට මෙහෙට ඇඹරෙනවා.

“නලියන්නැතුන් හිටපියකෝ“

“ඩස්“ ගාලා කුණු අතුල්ලන ගලෙන්ම අපේ පිට හරහා පහරක් වදිනවා.අපි කෑගහලා අඬනවා.

“බලපල්ලකෝ කුණු හත්තට්ටුවයි“

“ඔය කුණු නෙවෙයි අම්මේ අපිච්ඡද පටක“

“පණ්ඩිතකම නැතුන් හිටු. තෝ එනවද මට උගන්නන්න. “

“ඩස්“

තවත් ගල් පාරක් පිට හරහා වදිනවා.ඉතිං නාලා ඉවරවුනාම අපි අවුරුදු ගානක් හිරේ ඉඳලා නිදහස් වෙලා ආවා වගේ හැඟීමක් දැනෙනවා.සියඹලා ගහෙන් වැටෙන සියඹලා මල් ඇල දිගේ පහලට ඇදි ඇදී යනවා. අපි ඒ මල් පස්සේ දුවන් ගිහිං ඒවා අල්ලාගෙන කටේ ඔබාගෙන ඇඹුල් රස විඳිනවා.අපේ අම්මා ඔය සියඹලා මල් එකතු කරලා රසවත් ඇඹුලක් හදාගන්නවා. ඕකත් එක්ක බත් කන්න පුලුවන් බඩ පැලෙන්න. ඒකට අපි ඇල හරහා දැලක් බැඳලා තියනවා. ඇලට වැටෙන සියඹලා මල් අර දැලේ දැවටෙනවා. පහුවදා අපි සියඹලා මල් එකතු කරගන්නවා. ඔහොම දවස් දෙක තුනක් එකතු කරලා අම්මට ගිහිං දුන්නම උන්දෑ ඔය ඇඹුල හදනවා.

ඉතිං අපි නාන්න ඇල දිගේ උඩහට යද්දිත් නාලා ඇල දිගේ පහලට එද්දිත් අපේ ජීවිත කාලය පුරාම අපි ලඟින් ඉඳන් අපේ ශරීරය ස්පර්ශ කරමින් සහයෝගයෙන් ජීවත් වෙච්ච ජීවී කොට්ඨාශයක් ගැනත් මතක් නොකරම බෑ. ඒ තමයි කූඩැල්ලෝ. දැකලත් ඇති. කූඩැල්ලා කියන්නේ නිකන් රබර් කෑල්ලක් වගේ සතෙක්. සීතල පලාත් වල ඇල දොල අයිනේ සීතල තණ පඳුරු අස්සේ හරි කෙලින් හිටගෙන ඉන්නවා ගොදුර තම සමීපයට එනකන්. ගොදුර ආපු ගමන් ක්ෂණිකව ඇඟේ එල්ලිලා සම තුවාල කරලා ලේ උරාබොන පරපෝෂිතයෙක් තමයි කූඩැල්ලා කියන්නේ. අපි ඇල දිගේ උඩහට යද්දි කොහොමත් කූඩැල්ලෝ 30-40ක් අපේ ඇඟේ එල්ලෙනවා. ආය පහලට එද්දිත් ඒ වගේ තමයි. ඉතිං මෙයා ඇඟෙන් ගලවලා අයින් කරන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කඩලා ඉවත් කිරීම. කූඩැල්ලා ලිස්සන නිසා මේක ටිකක් අමාරු වැඩක්. අනික තමයි සන්ලයිට්. සන්ලයිට් ගාපු ගමන් කූඩැල්ලෝ පිස්සු හැදිලා වගේ සල සල ගාලා හැලෙනවා. අනික දුන්කොල. දුන්කොල ගෑවම කූඩැල්ලා මිය යනවා. අනික හුණු . හුණු වලටත් එහෙම්ම තමයි. ගොඩක් අය ඇලේ ගඟේ යද්දි හොඳට දුන්කොල කාලා විටක් හප හප යන්නේ. අඩි තිහ හතලිහක් ගිහින් බුලත් කෙල වඩි දෙකක්  “චොරෝස්“ ගාලා කකුල් දෙකට ගැහුවම කූඩැල්ලෝ මර්ධනය වෙනවා.

අපි නාලා ගෙදර එද්දී මඟ දිගට රණ්ඩු කරද්දි එහෙම අම්මගෙන් ආයෙත් තේ දර ඉපල් පාර වදිනවා පිට හරහා. ඉතිං අපි අඬ අඬා එද්දි ඕක දකින ආච්චි අපේ අම්මට බැණ වදිනවා.

“අනේ බං ඔය අප්පත් නැති දරුවන්ට තඩිබාන්න එපා කියලා කොච්චර කියලා තියෙනවද? බලපං උන් ගුටිකාලා තියෙන හැටි“

කියද්දි අපේ හැඬුම් වල වේගය දෙගුණ තෙගුණ වෙලා අහල කඳු වල හැප්පිලා දෝංකාර දෙනවා. වෙලාවකට අපි අඬලා ඉවරවුනාම අම්මත් තනියෙන් අඬනවා. මේ ලෝකේ කාගෙවත් අම්මා හරි තාත්තා හරි කරදඬු උස්මහත් වෙන්න කලියෙන් මියැදෙන්න එපා කියලයි මගේනම් ප්‍රාර්ථනාව.

7 comments:

  1. අන්තිම ටික කදුලු ගෙනාවා. මගෙත් තාත්තා මට අවුරුදු 9 දි නැති උනා. එනිසා වෙන්න ඕන මට ඒ දුක තේරෙන්නෙ.
    Auntie K from USA

    ReplyDelete
  2. අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ... කියවන්න ඕනෑ

    ReplyDelete
  3. මාත් ඔය විදිහටම ගුටිකෑව.මගේනං මහ ජෝඩුවම ඉන්නව. ඒ උනාට නෑ වගේ තමයි .

    ReplyDelete
  4. අපේ කුණු ඇතිල්ලුවේ පොල්මුඩු වලින්. ඇඟ සිරුණේ නම් නෑ, ඒත් රිදෙනවා.

    ReplyDelete
  5. //ගලේ විපරීත වූ පාෂාණ කැබලි වලින් පිටේ දරුණු සීරීම් ඇතිවෙලා දැවෙන්න පටන්ගද්දි අපිට උන් හිටි තැන් අමතක වෙලා ඇස්වලින් කඳුළු පනිද්දී අපි එහෙට මෙහෙට ඇඹරෙනවා.//
    අපේ අම්මත්හ් ඔය වගේම තමයි, මතක් වෙන කොට තාමත් පිට දැවිල්ලයි වගේ

    ReplyDelete