බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, December 5, 2015

වෙනත් නම් (අන්වර්ත නම්).......................

කඳු ඉහත්තාවට පතිත වෙන අව් රැල්ල හැමදාමත් මළානිකයි. උණුසුමත් නැති සිසිල දනවන සෞම්‍ය දේශගුණයක් අපේ ගමේ තිබුනත් තවම මිනිස්සුන්ගේ ජීවිත සෞම්‍ය වෙලා නෑ  කියලයි මටනම් පේන්නේ.ගමේ මිනිස්සු එකිනෙකා හඳුනගන්න ඔවුන්ගේ නමට අමතරව වැටෙන අන්වර්ත නාමයන්නම් බොහෝමයි. ඒ අන්වර්ත නාමයන් වැටෙන්නත් විවිධ ප්‍රස්තූතයන් බලපාලා තියෙනවා.එගොඩ බංඩේ අයියා කාගෙත් ඉඩකඩම් වලට අයිතිවාසිකම් කියමින් නඩු දාන්න රුසියා. ආණ්ඩුවේ රිසිවේසන් ඉඩම් පවා නඩු දමමින් අත්පත් කරගැනීම ඔහුගේ විනෝදාංශය බවට පත් වෙලා තිබ්බා.නඩු 50-60ක් තියාගෙන ජීවිත කාලෙම උසාවි වල ලැග ලැග හිටියා. පතන් ඇල්ලීමට ප්‍රිය නිසා  ඔන්න බංඩෙට නමක් වැටුනා “පතන් බංඩේ“ කියලා. එගොඩ සු-රංජි අයියා. මෙගොඩින් එගොඩට දීග ගිය සු-රංජි අයියා බොරු කීමේ මහා දක්ෂතාවයන්ගෙන් හෙබි අයෙක්. පළාතේ දේශපාලන ඇමැත්තාගේ පිහිටෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවක් ලබා ගත් ඔහුද බොරු කීමේ නිපුණයෙක් බටට පත් උනා.“සිංහලයාගේ එක් භයානක නපුරක්නම් බොරු කීමයි. එයද අසුවන ලෙසින්ම කීමයි“ යැයි ලංකාව ගැන විස්තර ලියා තැබූ රොබට් නොක්ස් පවා ලියා තබා ඇත.දිනෙක ගමේ මලගෙදරකදී තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන වලින් විනාඩි දහයෙන් බදුල්ල සිට මහියංගනයට යන බවට පුරසාරමක් දෙඩීමෙන් පසු සු-රංජි අයියාට වැටුණු අන්වර්ත නම “පචයා“ ය.තවත් පචයෙක් සිටී. ඔහුද සෞඛ්‍ය අමාත්‍යාංශයේම සේවය කරන සිසිල් අයියාය. ඔහුද අසුවන ලෙස බොරු කීමේ නිපුණයෙකි.අපේ බාප්පා කළුබංඩේ අපේ ආච්චි මැරෙනකන් උන්දැට වතුර ටිකක් පොවන්නවත් ගමට ආවේ නෑ. ඒත් ආච්චි මළාට පස්සේ ගෑණිගේ බහට මහගෙදරට රූටන්න පටන්ගත්තේ ඉඩම් තණ්හාවට. අන්තිමේ මහ ගෙදර ඉඩමෙන් කෑල්ලකුත් අල්ලාගත්තා. අල්ලගෙන ගෙයක් ගැහුවා. පංපෝරි ගැසීමේද ප්‍රමුඛයෙකු වන අපේ බාප්පා එක්තරා මැතිවරණයකදී දේශපාලකයකුට අයත් උදළු වගයක් බෙදීම සඳහා නිවසේ තබා ගැනීම නිසා මැතිවරණ නීති කඩ කිරීම යටතේ පොලීසියේ අත්අඩංගුවට පත්වී ඇප පිට නිදහස ලබා පැමිනෙද්දී ඔහුටද නමක් පටබැඳී තිබුණි. ඒ “උදළු බංඩේ“ය.ඔය උඩහා ගලබඩ ඇල්ල දිහාට අලුතෙන් ආපු ඉස්කෝලේ මහත්තයා ගව පාලනය අමතර ආදායමක් විදියට සරුවටම කරගෙන ගියා. ඉතිං මිනිහට හිටියේ හොඳ ප්‍රීසියන් හරක්. ඔවුන්ව ගවගාල් ඇතුලේ තියලම තමයි හදන්න ඕනි. ඉතිං ඉස්කෝලේ මහත්තයට දැන් ඇතිවෙන ගැටළුව තමයි වල් ප්‍රශ්ණය. වල්නම් ඔය ගම්තුලානේ ඕනි තරම් තියෙන්නේ. ඒත් කූඩැල්ලොත් කව්වගෙන ඕවා කපන්ඩත් එපැයි. කුලියට කප්පන්නත් බර වියදමක් යන නිසා ඉස්කොලේ මහත්තයා දිග කලිසමත් ඇඳගෙන තමාම වල් කපන්න ගියා. ඉතිං දිග කලිසමයි අත් දිග කමිසෙයි ඇඳන් වල් කපන ඉස්කෝලේ මහත්තයටත් නමක් වැටුනා “වල් මහත්තයා“.ගමේ මිනිස්සු තමන්ගේ හිතට අමාරුවක්... ආදරයේ විරහවක්....විභාගයේ අමිහිරි බවක් ඇති වුනොත් වහ බීලා දිවි තොරකරගන්න හිතනවා. එළවළු වගාව නිසා වහ ඔය ගමේ ගොඩේ හැමතැනම බහුලව තියෙනවා. ආය පුතේ වහ බීලා බේරුණොත්නම් වහ බීලා මැරෙනවා ඊට හොඳයි කියලා හිතෙයි. මොකද ඒ තරමට නින්ගිරා අපහාස. ඉතිං වහ බීලා බේරිලා ආපු අයට ගොඩක් වෙලාවට නම් වැටෙන්නේ වහ බොතලේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ. ටැමරෝන් සුමනේ.. හාක්‍රෝස් බංඩේ.. ඇනට්‍රකෝල් සුද්දා... වගේ නම් එක එකාට වැටුනේ වහ බී බේරීම කියන වරදට දඬුවමක් විදියට. ඉතිං ඔය අය මැරෙනකම් ඔය නම් රෙජිස්ටර් වෙනවා. හරි නම කියලා ඇහුවොත් ඔය කවුරුවත් කාවවත් අඳුරන්නේ නෑ. අන්වර්ත නම කිව්වොත් සුටුස් ගාලා අඳුරනවා.කරුණක්කා බැන්දේ බදුල්ලටත් එහා සුදු සරමයි ෂර්ට් එකයි අඳින මනුස්සයෙක්. මනුස්සයා කලේ බදුල්ල සේනානායක පිට්ටනියේ එළවළු කඩේක වැඩකරන එක. ඉතිං ගමේ කෙනෙක් දවසක් මළ ගෙදරකදි අහලා තියෙනවා දවසට පඩිය කීයක් දෙනවද කියලා. රුපියල් පන්දාහක් කියලා ගත් කටටම තඩි නයෙක් ඇදබෑමේ වරදට අදාල පුද්ගලයාව ගමේ මිනිස්සු තවමත් හඳුන්වන්නේ “පන්දාහ“ කියලා.උඩහා ගුණේ අයියට කාලගුණේ කියන නම වැටුනේ කොහොමද කියලා දන්නේ නෑ . රාජා අයියට සීටීබී රස්සාවක් ලැබුණ නිසා සීටීබී රාජා කියන්න පටන්ගත්තා. උඩහා හේල්ලන්දේ ගෙදර ලොකු නෙල්ලි ගහක් තිබුණා. ඒ ගෙදර පොඩි කෙල්ලට නෙල්ලි බබා කියලා නමක් පටබැඳුනා. ගල්වත්තේ ආච්චිගේ මිණිබිරීට බබික්කි කියලා නමක් පටබැඳිලා තිබ්බා. ඔය නම කියනවා ගල්ලත්තේ ආච්චිට ඇහුණොත් හොඳ සුද්ද සිංහලෙන් අහගන්න පුලුවන්. උදළු වත්තේ කතා කරන්න බැරි අක්කට ඇබැයියා කියලා කිව්වා. මාළු මුදලාලි කෙනෙක් බැන්ද නිසා පවුලට මාළු ඇන්ටි කියලා නමක් වැටිලා තිබ්බා. උදේ ඉඳන් ඉතා වේගයෙන් කුඹුරු තඩිගහන සුනිල් අයියාට හනුමා කියලා නමක් ගමේ තුඩ තුඩ රැව්දුන්නා.තවත් නොකී මතකයෙන් ගිළිහුණු අන්වර්ත නාමයන් බොහෝමයි. මතක් වූ කලක ඉදිරියේ ඒවා ග්‍රන්ථාරූඪ කිරීමට බලාපොරොත්තු වෙමි.

9 comments:

  1. ගමේ කෙල්ලො නාන හැටි හැංගිලා බලං හිටපු මේනකයාට 'හැංගිහොරා' කියලා නම වැටුණා

    ReplyDelete
  2. ලස්සනට ලියලා සුබපතනවා

    ReplyDelete
  3. ලස්සනට ලියලා සුබපතනවා

    ReplyDelete
  4. ලස්සනට ලියලා සුබපතනවා

    ReplyDelete
  5. ලස්සනට ලියලා සුබපතනවා

    ReplyDelete
  6. අතිශයෝක්තියක් ටිකක් විතර වැඩ්යෙන් තියෙනවා. ඒ මොනවා වුනත් මල් හතයි. කොටින්ම මීට වඩා අර සුරන්ග වගේ ගමේ කම තව ටිකක් ඔපමට්ටම් කරලා ගත්තානම් මේක මීට වඩා තවත් රහ වෙයි. මගේ අදහස විතරයි.
    මෙවන් ගැමි රටාවන් තවදුරටත් අපේ ගම්වල තියෙනවා කියලාත් හිතෙන්න ලියන්න ඔබට පුළුවන්.!
    සුභ පැතුම්...

    ReplyDelete
  7. මසුරං ලිවිල්ල, කොල්ලෝ අකුරු ටිකක් ලොකුකරපන්, වයසක අපිට ඇස් දෙක රිදෙනවා.

    ReplyDelete
  8. ගමේ කතා මාරම රහයි. එත් ගමේ ජීවිතය ටිකක් විසයි වගේ දැනෙනවා නේද. මාත් ඉන්නේ බාගෙට ගමක නිසා ගමේ කෙරුවාවල් හොඳින් දන්නවා. හනේ නුවරඑළි බදුලු බණ්ඩාරවෙල කඳු, මීදුම් අතරෙ දෝංකාර දෙන්නෙ පාවෙන්නෙ මෙහෙව් ජීවිතවල සැබෑව තමා.කොහෙත් මිනිස්සු එකයි අප්පා. ඔයාගේ ලියවිල්ල ලස්සනයි.ආයෙත් කියන්නේ පුළුවන් තාක් කල් ලියන්න. ජය වේවා.!!!

    ReplyDelete