මේ ගණයේ ඇති
දෙවැනි ගසනම් කිතුල්ය. එයද තල් ගස තරම් ඝෘජුව වැඩෙතත් පොල් ගස තරම් උස නොයයි. මෙම
ගසේ මලින් තෙලිජ්ජ නම් ඉතා රසවත් සුමධුර පානයක් ලබාගනු ලැබේ. මේ තෙලිදිය ජල මඳක්
ආටෝපවත්ය. ශරීරයට ගුණදායකය. දිනකට ගසකින් වරක් හෝ දෙවරක් තෙලිදිය ලබා ගනිති.
සවිමත් ගසකින්නම් තුන් වරක් වුවද ලබා ගත හැක.ඉතා සශ්‍රීක ලෙස වැඩුණු ගසකින් දවසට
තෙලිදිය ගැලූන් තුනක් හෝ සතරක් ලබාගත හැක. මෙම පානය උණු කිරීමෙන් “හකුරු“ නමින් ප්‍රකට
වූ සීනි බඳු රස ඇති දුඹුරු පාට ද්‍රව්‍යයක් ලබා ගනිති. වෙහෙස මහන්සි වී නිෂ්පාදනය
කරතොත් දෙවැනි තරමේ සීනි වලට සම කළ හැකි සුදු හකුරු මෙයින් ලබාගත හැකි වන්නේය.
කිතුලෙන් තෙලිදිය ගන්නේ මෙසේය.
කිතුල් ගස
මුහුකුරා ගිය කල්හි ගසෙහි මල් කැනක් හට ගනී. මල මනා සේ මෝරා ගියහොත් එයින් වටකුරු
ඵල හටගනී. එම ගෙඩි වලින් පැලකිරීමට වැඩිමනක් කිසිම ප්‍රයෝජනයක් නැත්තේය. එසේ වුවද
පිටතට ඇදුනු මල විහිදෙන්නට පෙර එයින් තෙලිදිය ලබාගත හැකිය.පළමු කොටම එම මල මුල
හාරා ගම්මිරිස් දෙහි සුදුලූණු දමළු ආදිය එකට ගෙන සාදන ලද ඔසුවක් තබා බැඳ කීප දිනක්
ගිය ඉකිබිති මලෙහි මුහුනත කපා බඳුන් එල්ලා තබති. මේ මුට්ටි වලට තෙලිදිය බිංදුවෙන්
බිංදුව වෑස්සෙයි.
මෙහි කොලපතද
නොයෙක් අතින් ප්‍රයෝජනවත් වෙයි. මේ ගසෙහි කම්බි වැනි ශක්තිමත් කෙඳි විශේෂයක් වෙයි.
මෙම කෙඳි වලින් කඹ අඹරාගනු ලැබේ. මෙම ගස නැසෙන වකවානුවේදී පිති ඉහිලී හැලෙයි.
එහෙත් පිති හැලුනු පසු යළිත් අලුත් පිති නොනැගෙයි. අට වසකට වඩා ගස ජීවත් නොවෙයි.
එදා හෙළදිව
රොබට් නොක්ස්
1696
__________________________________________
ඉතිං ඔන්න
දැන් දන්සිරි අයියාට ඉවසුම් නෑ. දවස් දෙක තුනක් ඔහේ එහාට මෙහාට වෙවී කාගෙන් හරි
බීඩියක් බොන්න කීයක් හරි ඉල්ලගනිමින් ඔහේ කාලේ ගෙවලා දානවා. ඉතිං ඔය දවස් හතර පහ
ගෙවෙනකන් මාත් ඉවසුන් නැතුව තමයි ඉන්නේ.කොහෙන් කොහෙන් හරි දන්සිරි අයියාගේ මල ගැන
කතා ගමේ උඩහ පහල ඉගිල්ලිලා යනවා.
“සාමියාලු
තිබ්බේ“
“සාමියා
තිබ්බනම් අහන්න දෙයක් නෑ. දවසට තුන් ගමනක් කපන්න වෙයි“
“ඔය කිතුල්
මණ්ඩිය වාසනාවන්තයි. දැක්කේ නැද්ද අප්පා එක පාරක් බෙහෙත් තියලා“
“මේ රිළා
හැතිකරේනේ. නැත්තන් ඔය අපේ කිතුල් පඳුරත් හොඳා.“
“පැණි හදයිද
රා හදයිද දන්නෑ. සාමියා තිබ්බනම් රා තමයි“
“ඕක ටික
කාලයක් නැතුන් තිබ්බා. ඒ කාලේ ගඩා ගෙඩියක් හරි ඉතුරු වුණා. ඕකෙන් වෙන්නේ රා කටහලේ
බොන්න සල්ලි නැතිවුනාම කොල්ලෝ පුවක් ගැටයක්කත් ඉතුරු කරන්නේ නැති වෙයි.“
ඔන්න ඉතින්
දවස් තුන විතර යද්දි මන්තිරි අයියලා සුමනේ අයියලා විජේ අයියලා අපේ ගෙදර පිරෙනවා.
“දන්සිරි තාම
නැද්ද බං“
“මොනාද බං. “
“ඇයි උඹ
කිතුලක් තිබ්බා කියන්නේ“
“පිස්සුද බං“
“අනේ අපිට
බොරු නොකියා ඉඳිං. ගනින් ගනින් නිකන් නෙවෙයි සල්ලි දෙනවා.“
“තාම කැපුවේ
නෑ බං කපන්නේ හෙට. කඳුල වැටිලා බඩු එන්න තව දවස් හතර පහක්කත් යයි.“
ඒ වෙනකොටත්
දන්සිරි අයියා මල කපලා කඳුල වැටෙන්න පටන්ගෙන තිබ්බේ. එදා හවසත් අපි ගිහිං මල කපලා
මුට්ටියත් එල්ලලා ආවේ.
“ඔන්න හැත්ත
වරිගේ බුරුතු පිටින් ගෙදෙට්ට එන්න පටන්ගෙන. දන්සිරියෝ උඹ මෙතන ඕවා කරන්න
පටන්ගත්තොත් මමයි ඉස්සෙල්ලා පොලිසියට ඔත්තුව දෙන්නේ. එහා පැත්තේ කැලේ උඹ ඕන මගුලක්
නටාගනින්.“
ආච්චි ගෝරණාඩු කරේ එහෙම.
දැන් ඔන්න ඊලඟ
දවසේ ඉඳන් ඇල් මුට්ටිය දවසට බාගයක් විතර පිරෙන්න ගත්තා. දන්සිරි අයියා ඒ ඇල්
ගෙනල්ලා රා වෙන්ඩ තිබ්බේ එහා පැත්තේ කැලෑවේ ගුහාවක් වගේ තියෙන ගලක් යට.
ඇල් පැහෙන්න
ගත්තම තමයි රා වෙන්නේ.
ඔන්න පහුවදා
පලවෙනි රා වඩිය බෝතලේකට දාගෙන මායි දන්සිරි අයියයි සාමි ලොකුතාත්තලගේ ගෙදර යනවා.
“ආ
දන්සිරියෝ... වැඩේ හරි නේද?“
“ඔව්
ලොකුතාත්තා. තව දවස් දෙක තුනකින් දෙපාර කපන්න පුලුවන්“
ළූණු ගෙඩියක්
හප හප පලවෙනි රා අස්වැන්න මං කෙල ගිල ගිල බලන් ඉද්දි දන්සිරි අයියයි සාමි ලොකු
තාත්තයි ඉවර කරලා දැම්මා.
ඔන්න ඉතිං
දවස් දෙක තුන යද්දි දවසට දෙපාරක් මුට්ටිය පිරෙන්න ඇල් වැටෙන්න පටන්ගන්නවා. ඒවා ගල්
ගුහාව ඇතුලෙදි රා වෙනවා. සල්ලි එනවා රා අරං යනවා. සල්ලි එනවා රා අරං යනවා. ඉල්ලුම
වැඩි වෙනවා. සැපයුම අඩු වෙනවා. සැපයුම වැඩි කරගන්න ක්‍රමයක් සාමි ලොකු තාත්තගෙන්
ලැබෙනවා. හරිම සරළයි.
“සීනි“
හරිම ලේසියි.
අර වගේම තව මුට්ටියකට සීනි දාලා වතුර පුරවලා ඒක කලවම් කරලා රා මුට්ටියත් එක්ක සීනි
මුට්ටිය මිස්ර කරලා ලොකු මුට්ටියකට දාලා ඒක පැහෙන්න අරිනවා. නිෂ්පාදනය දෙගුණ
වෙනවා. ඉල්ලුමට සැපයුම ලැබෙනවා.
ඕක සීනි
වලිම්ම විතරක් හදනවා ඔය වත්තේ දෙමළ මිනිස්සු. එවුවට කියන්නේ සීනි කරිඥ්ඥං කියලා.
කිතුල් රා වලට
සීනි කලවං කරාට ඕක හොයන්නනම් අමාරුයි.
ඉතිං දැන් ඔය
දන්සිරි අයියාගේ කිතුල ගැන අහල පහල ගම්මාන වලටත් ආරංචි වෙනවා. මලට බමරු ඇදෙන්නේ
යම් සේද ඒ විදියට දන්සිරි අයියාගේ කිතුලට මිනිස්සු ඇදෙනවා.
පිට මිනිස්සුන්ටත්
රා වික්කාම ගමේ මිනිස්සුන්ට රා මදි වෙනවා. එහෙම රා ඉවරවිච්ච දවස්වලට ගමේ එවුන්
හාලිඇල්ලට ගිහින් සීල් අරක්කු බීගෙන හතයි හතලිස්පහේ බස් එකේ ඇවිත් උඩ පාරට වෙලා මහ
හයියෙන් දන්සිරි අයියට බනිනවා.
“අඩෝව්
දන්සිරි උඹට එහෙනන් පිටගං කාරයෝ ලොකු වුනා ඈ. මම අරක්කු බීලා යකෝ ආවේ . තොගේ හුජ්ජ
රා බොන්න මම එන්නෑ යකෝ ආය. මම හෙට යනවා පොලීසි. එතකොට උඹ රා විකුණපියකෝ“
“දන්සිරියෝ මම
තොට කිව්වා නේද සර්පයෝ වගේ ගමේ එවුන් එක්ක ඔය මඟුල් කරන්න බෑ කියලා. උඹට ඇහුනද ?
අප්පා නේද ඔය බීගෙන ඇවිත් කෑ ගහන්නේ. අපිට නිදහසේ බුදියගන්නවත් තියෙනවද?“
“ආච්චි
නිදාගන්ඩකෝ මම ඒක උදේට බලාගන්නම්“
පහුවදා උදේම
ඇහැරිච්ච දන්සිරි අයියා කුඹුරේ පල්ලැහැ කිතුල දිහාට ගෑටුවා. දන්සිරි අයියා ඈත යන
එක කිතුලට නගින එක ආපහු එන එක මම බලාගෙන හිටියා.
පල්ලැහැ ඇලට
උඩින් කොස් ගහ යට දඩාං ගාලා රා මුට්ටිය පොලේ ගැහුවා.
මම දන්සිරි අයියා
ගාවට දුවගෙන ගියා.
“ඇයි?“
“මම මල
මුලින්ම කපලා දැම්මා චූටි. ගමේ එවුන්ට බොන්න කියනවා හුජ්ජ“
පහුවදා උදේ
දන්සිරි අයියා ලෑස්ති වෙලා ඇවිල්ලා ආච්චිට වැන්දා.
“මම කොලඹ
යනවා“
රස්සා නැති
ගමේ තරුණයන්ගේ අවසාන කෙඳිරිය.
“ආරි අයියත්
එක්ක අත්වැඩ දෙන්න යනවා“
දන්සිරි අයියා
මගේ ඔළුව අතගාලා
“මම ගිහිං
එන්නන් චූටි“
කියලා පඩිපෙල
නගිද්දි ආච්චිගේ ඇහෙන් වැටිච්ච කඳුළු දෙකක් චීත්තේ කෙලවරකින් පිහදාගන්නවා මම බලන්
හිටියා.
// මමයි ඉස්සෙල්ලා පොලිසියට ඔත්තුව දෙන්නේ. //
ReplyDeleteමහින්ද මහත්තයා කිතුල් රා සෑදීමට බලපත්‍ර ගැනීම ඉවත් කලා නේද හිටන්?
රොබට් නොක්ස්ටත් ඉතින් රා ගැන තමා හොයන්න පුළුවන් නේද බං.... අගේ ඇති විස්තරය ඈ..........
ReplyDeleteනොක්ස් කිව්වට කිතුලක් අවුරුදු අටට වැඩිය කල් ඉන්නව බං. අපරාදෙ කිතුල් මල. මේ ඔය ගැම්මටම ලියං පලෙයං. අතාරින්න එපා. ලියපං ලියපං ලියාපං. ඌව පළාතේ ගං ගොඩවල්වල විත්ති එළියට ගෙනියන්න උඹ විතරයි ඉන්නෙ.
ReplyDeleteඅප්ප හිකුව නේද මලට.
ReplyDeleteඌ මහ මෝඩයෙක්නේ...
ReplyDeleteගමේ උන්ට නොදී රා ටිකකුත් බීල සැනසිල්ලේ ඉන්න තිබ්බ එකනේ ඌ විනාස කර ගත්තේ, පොලිසියෙන් ආවම පෙන්නන්න තෙලිජ්ජ පොඩ්ඩක් හැඳි ගගා හිටියම අහවරනේ...
මේක දේශීය කර්මාන්තයක්. මේ වගේ දේවල් දියුණු කරන්න උදව් කරන එක අපේ යුතුකම සහ වගකීම. දැක්කනේ රා බීලා පාඩුවේ හිටපු එකාට අරක්කු බීලා වෙච්ච දේ.
ReplyDeleteලස්සනයි .
ReplyDelete//උන්ට දැන් බොන්න කියපන් හුජ්ජ // ඉස්සර අපේ පැත්තේ බිලා සල්ලි විනාශ කරනවට අපේ නැන්දා කෙනෙක් ඒ මාමට බනින්නේ " මේ මිනිහා සල්ලි බිලා හුජ්ජ කරනවා " කියලා ./
ReplyDeleteඋඹත් මේනක කියවන්න ආස විදිහට ලියන එකෙක්. කෝ දිගටම ලියන්නේ නැහැනෙ. මම එහෙම නෙමේ අවුරුදු දෙකකට පස්සෙ වුනත් දිගටම ලියනවා. පුහ්..
ReplyDeleteමදැයි කොළා..
ReplyDeleteරා කට්ටට කෙල උනාට මේක නවත්තන්නෙ නැතුව ලියාගෙන යන එකයි ඇත්තෙ.
හපොයි වෙච්ච විනාසෙ.. ගමේ උන්ට වත් නොලැබෙන ඔරිජිනල් කිතුල් රා ආය නම් හොයන්නෙ නෑ.
ReplyDeleteජයවේවා..!!
ඕං බලපංකොරා කට්ටක් බොන්න කියලා ආවෙ ඒකටත් කෙළ උනා.
ReplyDeleteකිතුල් මල් කපන්න බැරි ද බෙහෙත් බඳින්නෙ නැතිව?