බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, August 23, 2016

දන්සිරියාගේ කිතුළ - 02 කොටහ

(ඉරිදාව බදාදාට ගෙන ආ මට පාඨකයන්ගේ සමාව භජනය වේවා..)

ඔය මොන මොන දේත් කෙල පැමිණි මිනිස්සු ඉන්නවනේ. ගුරු හරුකම් අණවිණ කොඩිවිණ හූනියම් නම් ඉතිං සාමි ලොකු තාත්තා තමයි. බූරු ගැහිල්ලනම් ඉතිං සුදුහාමි මාමා තමයි. කොල පනස් දෙකම මිනිහත් එක්ක ගජ මිතුරුයි. අනික් පැත්ත හරවලා මේන් කලාබර හේරා කියලා පෙන්නනවා. ආයේ ඉතිං වරදින්නෑ. පංපෝරි ගැහිල්ලෙන් කප් ගහලා තියෙන්නේ ඉතින් අපේ කලුබංඩේ බාප්පා තමයි. කුඹුරු කෙටිල්ලනම් ඉතිං එගොඩ කෝරලේ මාමා තමයි. මිනිහත්තෙක්ක අවුරුදු අනූවක් විතර වෙනකන් තරඟෙට කුඹුරු කොටන්න ජගතෙක් හිටියේ නෑ. කෝරලේ මාමා මැරුනේ අවුරුදු එකසිය පහලවෙන්. ඒත් නීරෝගීව හිටියා. මල් කැපිල්ලෙන්නන් කෙල පැමිණිලා ඉන්නේ උඩහ ඩිංගිරි බංඩෙ අයියා තමයි. ඔය අත් ගුණෙත් තියෙන්න ඕනිලු ඕකට.

“අනේ රෙද්ද.. උඹ මල කපන්න කිට්ටුව මට ඇවිත් කියපං. මම ඇවිල්ලා ගහට මතුරලා යන්නන්. හැබැයි පුතේ හැමදාම හවහට රා බෝතලේනන් වරද්දන්න බෑ මට“

සාමි ලොකුතාත්තා දන්සිරි අයියා මලක් බෙහෙත් තියනවා කියලා දැනගෙන එහෙම කිව්වා.

දැන් මල බෙහෙත් තියවිල්ලේ දන්සිරි අයියා ආධුනිකයි. උපදෙස් ඔක්කොම සපයන්නේ සාමි ලොකුතාත්තා තමයි.


ඔන්න ලණුවේ එල්ලිලා බාප්පගේ කෝප් පිහිය කිතුල දිගේ හෙමීට හෙමීට නගිනවා.

ඔය පිහියේ අල ගිය මුල ගිය වැල ගිය තැන් අපේ බාප්පා නිතරම කියවනවා. ඕක සීයෙට සීයක් සංශුද්ධ වානේලු. නියපොත්තෙන් තට්ටුවක් දැම්මම 
“ටංංංංංං“ 
ගාලා සද්දයක් එන්නේ ඒකලු. ඕක සුද්දෙක් වත්තේ දෙමළෙක්ගේ මුත්තට දීලා ඒක පරම්පරාවෙන් ඇවිල්ලා අන්තිමට අපේ බාප්පට විකුණලා තියෙන්නේ. ඔය පිහියේ මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ් කියලා උඩ ගහලා තිබ්බලු. ඒත් ඒක දැන් මැකිලලු. බාප්පා ඉතිං යන යන තැන ඔය පිහියත් ඉනේ ගහං යන්නේ. බාප්පා කරන්නේ හරක් රස්සාව. හරක් දිගේලි කරන්න ගියත් පිහිය අරං යන්නේ. ආය අම්ම මුත්ත කිව්වත් කාටවත් ඔය පිහියනම් දෙන්නෑ. දවල් නිදාගත්තු වෙලාවේ තමයි ඔය පිහිය බාප්පට හොරෙන් දන්සිරි අයියා උස්සගෙන ආවේ.

දැන් ඉතිං කිතුල් ගහේ වේලිච්ච අතු .. පරණ කිතුල් රෑන්.. කිතුල් හනසු.. මලට අවහිර වෙන අතු ඔක්කම කපලා බිමට දානවා. එළියට පැනලා බොහෝම ගාම්භීරව බලන් ඉන්න කිතුල් මලේ උඩ තියෙන පොතු දෙක තුනකුත් අහක් කරලා දානවා. දැන් මල කපාගෙන යනකොට මල පිපිරීමේ අවදානමෙන් බේරෙන්න මල වටේට කිටි කිටියේ ලණු එතීමත් සිද්ද කරනවා.

දැන් රිළවුන්ගෙන් මල බේරගන්න ගල්ලත්තේ ආච්චිගේ වැටෙන් හොරෙන් කපාගෙන ආපු කටුකම්බි.. වැල් නිදිකුම්බා වැල් වගේ එවුවගෙන් මල වටේ තියෙන අවකාශ‍යේ  ආරක්ෂක වැටක් හදනවා. මේ වැඩට ඕනි කරන කලමනා ඔක්කොම දන්සිරි අයියා ඉල්ලන ඇසිල්ලෙන් ලණුවේ ගැටගහලා උඩට යවන්න මම බැඳිලා ඉන්නවා.
ඔය රිළවු ඉන්නවා නේද? මේ ලෝකේ මගුලක් තියාගන්න දෙන්නෑ. රංචු පිටින් ඇවිල්ලා විනාසෙමයි කරන්නේ. ගෙවල් වලට පැනලා බත් මුට්ටි පවා උස්සන් යනවා. මඤ්ඤොක්කා ගහක කොලයක්කත් ඉතුරු කරන් නෑ. කනවා. පැපොල් ගස් පිටින් උදුරන් ගිහින් කනවා. ඔය මල බෙහෙත් තිබ්බත් ඒකටම ඇස් ගහගෙන ඉන්න වෙනවා. නැත්තන් රා ටිකත් බීලා මලත් කාලා දානවා.

ඩිංගිරි බංඩේ අයියගේ රා මුට්ටියක් බීලා වෙරි වෙලා දපනේ දාගෙන හිටපු රිළවු හය හත් දෙනෙක් ඩිංගිරි බංඩේ අයියා එලොව යවලා තිබ්බා කියලා අපේ ආච්චිට කවුද කියලා ආච්චි දෙස් දෙවොල් තිය තියා හිටියා.

“අනේ පව් බං.. අපිට කොච්චර වින කෙටුවත් අහිංසක සත්තුනේ. ඔව්වා ඉතිං උන්දැට මේ ආත්මෙම විපාක දෙයි බලපංකෝ.“

දැන් ඉතිං රිළවුන්ටත් මිනිස් ආස්සරේ නැතුව බෑ. ඇයි ඉතිං උන්ට තියෙන කැලෑව එළි කර කර මිනිස්සු තේ හිටවනවනේ. උන්ට යන්න තැනක් නැතුන් අපේ රෙද්ද අස්සටම එනවා. අර අලින්ට වෙච්ච වැඩේ තමයි රිළවුටත් වෙලා තියෙන්නේ.

මලට බෙහෙත් තියන නැකත් දවස සාමි ලොකුතාත්තාට අනුවනම් හෙට තමයි තියෙන්නේ. ඉතිං හැන්දෑ වෙලා රේන්ද පොලේ කඩෙන් සුරුට්ටු මිටියකුයි පුස්නාම්බු දෙක්කුයි අරන් මායි දන්සිරි අයියයි සාමි ලොකු තාත්තලා දිහා යනවා.

පාරේ හැතැප්මක් විතර පල්ලැහැට ගිහින් ගල් පඩිපේලියක් දිගේ හුරියල කන්දේ උඩට නැග්ගම තමයි සාමි ලොකුතාත්තලගේ ගේ තියෙන්නේ. ආය ඉතිං සිරීපාදේ නගිනවා වගේ තමයි.

“ආ..උඹලා ආවද? වරෙන් වරෙන් ඉඳගනින්“

පවුලත් නැති වෙලා ළමයි සීසී කඩ ගිහින් සාමි ලොකුතාත්තා තනියම තමයි ජීවිතේ ගෙවන්නේ. ගුරුකමක් වැරදිලා ආපිට කැරකිලා ඇවිල්ලා ඔහොම වුනා කියලයි ගමේ එක එක කතා හොරෙන් හොරෙන් දුවන්නේ. ඒත් එළිපිට ඔවුවා කියන්න මිනිස්සු කැමති නෑ. මොකද ඔය සාමි ලොකු තාත්ගේ යන්ත්‍ර මන්ත්‍ර සාත්තරේට මිනිස්සු බයයි.

“දැන් කලමනා ටික ලෑස්තිද? බෙහෙත් ටික“

“ඔව් ලෑස්ති කරලා තියෙන්නේ අඹරන්න විතරයි තියෙන්නේ“

“කටු ජාති පහ“

“ලෑස්තියි.“

“උදේ අඹරන්න කලින් මං එන්නන්. ලිපේ අලු ටික්කුයි .. දුම් මැස්සේ දුඹුල් ටික්කුයි එකතු කරලා තියපං.. වැඩිය කාටවත් ආරංචි වෙන්න දෙන්න එපා .. කටවහ වැදුනොත් ඔක්කොම ඉවරයි.“

“හා ලොකු තාත්තා.. එහෙනන් අපි ගිහිං එන්නං“

අපි රෑ වෙලා ගෙදෙට්ට එනකොට අම්මත් ආවේශ වෙලා ඉන්නවා.

“චූටි උඹ කොහේද බං මේ දහපද්දුරාවේ ඇවිදින්නේ. දවසම දන්සිරියගෙ පස්සේ. තොට ඉස්කෝලේ වැඩ නැද්ද. ආය දහපද්දුරාවේ ඇවිද්දොත් කඩනවා තොගේ හතර හංදි“

මං හිමීට ගෙට ගිහින් පොතක් පෙල්ලගන්නවා. පොතේ පිටු අතරෙත් මට දන්සිරි අයියගේ පෙන දාන රා මුට්ටිය මැවිලා පේනවා. අම්මේ... මමත් රා බීලා දපනෙ වැටිලා ඉන්නවා පේනවා. ඩබල් රූල් පොතේ මුලු පිටුවකම පැන්සලෙන් ලොකුවට  “රා“ කියන අකුර මගේ අතින් ඇඳෙනවා.

අම්මා පහුවදා වත්තේ වැඩට යන හින්දත් අපිට නිවාඩු හින්දත් දන්සිරි අයියයි සාමි ලොකුතාත්තත් එක්ක මල බෙහෙත් තියනවා බලන්න මට යන්න පුලුවන්.

“චූටියෝ කොහෙද බං දන්සිරියයි උඹයි ඊයේ හවා ගියේ?“

“ සාමි ලොකුතාත්තලගේ ගෙදර ආච්චි“

“අර මොකටද?“

“මොකටද මංදා කටවහ වදින හින්දා කියන්න එපා කිව්වා“

“අනේ බං ඔය සාමියත් එක්ක කවුද හවුල් වැඩ කරන්නේ. නෑයෝ වුනාට ඔවුන් විස මිනිස්සු. මේ ගේ හදනකොටත් මොනාද යට කරල තිබිලා ගාවෙල කපුවෙක් දම්මලා ගොඩ ගත්තේ. “

ඔන්න උදේ නවය දහය වෙද්දි සාමි ලොකුතාත්තා එනවා. දන්සිරි අයියත් මිරිස් ගල හෝදගෙන බෙහෙත් කලමනා ටිකත් තියාගෙන ලෑස්ති වෙලා ඉන්නවා.

නයි මිරිස් ..කොච්චි.. කැලෑ කොච්චි..කුඩු මිරිස්..යකිනාරන් ගෙඩි..ඇඹුල් දොඩන්..ලිපේ අලු...දුම්මැස්සේ එල්ලෙන දුඹුල් ..අර අපි එකතු කරපු සැර මල්..තවත් මොනාදෝ තිබ්බා..
තව යකි නාරන් කටු.. ගැට දොඩන් කටු..දෙහි කටු..උගුරැස්ස කටු..වශයෙන් කටු වර්ග පහක්..

දැන් සාමි ලොකුතාත්තා ඇවිල්ලා මාමයිට් බෝතලේකට පොල්තෙල් දාලා ඒකට යකඩ ඇනේකුයි කහ කෑල්ලකුයි දාලා මතුරන ගමන් දන්සිරි අයියට කියනවා අර කලමනා ටික අඹරන්න කියලා. දන්සිරි අයියා මිරිස් ගලට අර ටික දාලා අඹරන්න පටන්ගන්නවා. දැන් ඔය මල තැම්බිල්ල කරන්න තමයි ඔය බෙහෙත් අඹරන්නේ. ලිප් අලු සහ දුඹුල් වලින් මල තැම්බීම ඉක්මන් කරනවා ඇති කියලයි මට හිතෙන්නේ.

දැන් ඉතින් බාප්පගේ නියනයි .. බෙහෙත් ගුලියයි.. ඉටිරෙදියි .. රෙදි කෑල්ලයි.. අර කටු ටිකයි අරන් අපි කුඹුර දිගේ පහල කිතුල් මණ්ඩිය දිහාට ඇදෙනවා.

දැන් දන්සිරි අයියා කිතුලේ දිගේ උඩට නැගලා කිතුල් මලේ මුලයි කඳයි එක්වෙන තැනින් යට පැත්තෙන් නියනෙන් සිදුරක් විදිනවා. ඕක බොහොම පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්.

දැන් සාමි ලොකුතාත්තා ගහ මුල මතුර මතුර

“දැන් බැඳපන්“  
කියලා නියෝග දෙනවා.

එතකොට අර මිශ්‍රණ තලිය හෙවත් බෙහෙත අර සිදුර අස්සට අතෙන් කොටනවා. කොටලා ඉවර වෙලා අර කටු වර්ග පහත් මල බෙහෙත් තියපු තැන වටේට ගහලා  රෙදි කඩකින් වෙලලා බෙහෙත් තියපු තැනට වතුර කාන්දු නොවෙන විදියට ඉටිරෙදි වලිමුත් ඔතලා මලට වැඳලා දන්සිරි අයියා පහලට බහිනවා.

දැන් මල කපන්න මල හොඳට තැම්බෙන්න ඕනි. ඕකට ඉතින් තව දවස් හතර පහක් යනවා.


(දවස් හතර පහකින් එන්නන්කෝ)

18 comments:

  1. //දැන් සාමි ලොකුතාත්තා ඇවිල්ලා මාමයිට් බෝතලේකට පොල්තෙල් දාලා ඒකට යකඩ ඇනේකුයි කහ කෑල්ලකුයි දාලා මතුරන ගමන් දන්සිරි අයියට කියනවා අර කලමනා ටික අඹරන්න කියලා// අපේ ගමෙත් හිටියා මේ විදිහටම මතුරන කෙනෙක් එයාගේ නම පාගල් සුදු බණ්ඩා. පගල් මාමගේ ළමයින්ගේ නම් වල ඉස්සරහට පගල් කියන කෑල්ල දාලා තමයි ගමේ අය කතා කරේ පගල් සුසන්ත, පගල් නිලන්ත වගේ.. මේ නම හැදුනේ සුදු බන් ඩේ මාමා වත්තේ "දහවල් මුරකරු හෙවත් කාවල් පගල්" රස්සාව කරපු නිසයි. මෙයාගේ පුතෙකුට තමයි අපේ "අපේ ගමේ පශු සම්පත් " වැඩ සටහෙනෙන් හරකෙක් දුන්නේ.. අහිංසක කොල්ලෙක් නිසා එයා ඒක තාමත් හොඳින් කරගෙන යනවා.. http://helmalu.blogspot.com.au/2016/06/blog-post.html මෙන්න කතාව..

    ReplyDelete
    Replies
    1. සාමි මලා සාත්තරෙත් මලා

      Delete
  2. පරණ ඒවත් කියවගෙනම ආවා... ආ ඊලඟට රා බොන්න කස්ටිය සෙට් වෙයි නේද..

    ReplyDelete
    Replies
    1. රොනට බමරු ඇදෙනවා වගේ තමයි

      Delete
  3. අපේ පැත්තේ කිතුල් නම් තිබුනේ නෑ. හැබැයි පොල් රා නම් නාන්න උනත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. කිතුල් තමා සුපිරි

      Delete
  4. හරි එහෙනම් රා බීල ආච්චම්මගෙන් ඉලපත් පාර කාපු හැටි ඊලඟ කොටහෙන් කියහංකො.

    ReplyDelete
  5. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. ඊගාව කොටහෙ බ්ලොග් එක පුරාම ලොකුවට 'රා' යන්නක් තියෙය්ද දන්නෑ.
    අපිත් එඤ්ඤංකො රා බොන්න.

    ReplyDelete
    Replies
    1. එන්ඩ එන්ඩ බෝතලේ අසූවයි

      Delete
  7. වල් ඌරෙකුටත් පණිවිඩේ කියාගෙනම යමන් තව දවස් තුන හතරකින් රා බොන්න වරෙන් කියලා.. හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දෙන්නන් දෙන්නන්

      Delete
  8. දැන් ඉතිං බඩු එන්න ඔන්න මෙන්න. මල කපද්දී කට්ටක් ගහල යන්න එන්නං.

    ReplyDelete
    Replies
    1. බදුල්ලට එන්ට වෙයි

      Delete
  9. එල එල නියමෙට ලියනව සේරම පෝස්ට් කියවල ඉවරයි‍. සුබ පතනව

    ReplyDelete
  10. සාමි ලොක්ක දන්සිරි අයියගෙ රා මුට්ටියටත් කෙළින්න වගේ හදන්නෙ ;)

    ReplyDelete