බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, March 4, 2018

මල්වරවීම හෙවත් කොටහුල 03

මං ඡන්දෙට ගමේ ගියා.ගම එහෙම්ම ඇන තියාගෙන ඉන්නවා. නැගෙනහිරින් හුරියෙල කන්දය. බටහිරින් හොබරැල්ල කන්දය. උතුරින් නාරංගල කඳු කොමලියය.දකුණින් සෙන්ජේමිස් කන්දය. ඔය ගමේ වෙන විපිරියාස සීසීටීවී කැමරා වගේ ගෑණු විමසිල්ලෙන් බලන් ඉන්නවා.

පාරඔව් පාරත් හොඳට තියෙනවා. පාරෙ වැඩට ආපු ඩෝසර් කාරයෝ එක්ක බුදියගෙන උන්ගෙන් සිමින්ති කොට්ටය කම්බි කූර යකඩ ඇණේ පවා ඩැහැගෙනකියෑන්නෑම්කොම්පැණිය බංකොලොත් කරවා ආපසු තම මව් රටට යැවූ ගැහැණුත් ආය පාර කැඩෙනකන් බලන් ඉන්නවා. කන්දට පැල්ලැහින් කුඩා තේවතු. ඊට පහලින් ගම. ගමට පහලින් වෙල. වෙලට පහලින් ඔය. මේ හැම සම්පතක්ම තියෙන ගමේ වෙල් යාය පුරන් වෙලා වල් වැදිලා ගිහිල්ලා. වැඩක් නැති ගෑණු දවසම ඕපදූප හොය හොය ඉන්නවා. කොටපල්ලකො කුඹුරු.හදපල්ලකෝ එළවලු. එව්වා නෑ.

චුටියා කවදා ආවේ?”
තාම බැන්දේ නෑ. ඇයි බඳින්නැත්තේ?”
ගේ වැඩ ඉවර නෑ තාම?”
කොම්පැණියෙන් කාර්රෙකක්කත් හම්බුන්නෑ?”
කාට ඡන්දෙ දුන්නේ?”
ගමේ උන්ට තියෙන ප්‍රශ්ණ ඔව්වා.

චූටියාට ඉස්කෝලේ ඇරියම එන්ඩ කිව්වා
කවුද?”
පාල. උඩැහැ කරපන්ටයින් කෑල්ලට එනවා කිව්වා
උංගි ලොකු වෙලානේ ඌ මොකටද බං එන්නේ?”
දන්නෑ. මගේ පණිවිඩේ කියව්වා ඕං

අපේ ඉස්කෝලේ තියෙන්නේ සැන්ජේමිස් වත්ත පාමුල වලක. තේ වත්ත ඉවර වෙන්නේ කරපන්ටයින් වත්තෙන්. බදන්ඩ බැරි මෙන්න මේ සයිස් කරපන්ටයින් ගස් අඩි ගානක් තනි කෙලින් උඩට වැඩිච්චා. අපි ඉස්සර ඔය කරපන්ටයින් ගහේ වේලිච්ච පොතු වලින් හුලන්නෝ හදනවා. ඔය කරපන්ටයින් වත්ත මැද්දෙන් තමයි මෙන්න මෙහෙම දරුණු වැලමිටි වංගු තියෙන නෙලුව බණ්ඩාරවෙල පාර දුවන්නේ. සැන්ජේමිස් නැග්ම. සුද්දන්ගේ කාලේ අස්ප රේස් පතයක්. ආච්ච්නම් කියන්නේ රේස් එක්කදි සුද්දෙක් හෙලට පතබෑවිලා අස්පයයි සුද්දයි එතනමලු.ඒ පාරෙදි තමයි මගෙයි පාලයගෙයි සතර කන් මන්ත්‍රණ දිගහැරෙන්නේ.
අපි ඉස්සර පාලයාට
රයි පාලෝ කියලා දුවනවා.


ඕකා අපේ පස්සෙන් පන්නගෙන එනවා. අහුවුනොත් ආය කනෙන් අදිනවා තරු විසිවෙන්න. අන්තිමේ උංගි නිසා පාලයාට මගේ දෙපාමුල දණගහන්ඩ වුනා. මොන සතාත් චීත්තෙට යටයි.

ඕකුන්ගේ බේකිරියේ කෑම හරියන්නේ ඉතිං වත්තේ දෙමලුන්ටම තමයි. මාත් අර බඩගින්නට කෑවට හාලිඇල්ලේ ගංගාදීසියේ.. බදුල්ලේ සල්ගාදුවේ කෑම අහලකින්වත් තියන්න පුලුවන්ද උන්ගේ කෑම. බල්ලෙක්කත් කන්නෑ මං කෑවට. අදනම් උගේ ජෑම්පාස් ගෙඩියට යටවෙන්නෑ. කෑෂ් ඔන්ලි  . වානම් වා..පෝනම් පෝ.. කම් ඕගෝ..චිකාගෝ

කරපන්ටයින් වත්ත නැගලා හැති. ආච්චිගේ ලෙඩේ මටත් බෝ වෙලාද කොහෙද?
දලුමඩුවේ බිච්චියේ ඇනතියාගෙන හිටපු පාලයා මාව දැක්ක ගමන් රා කල සොලොසක් බී නන්නත්තාර වූ නාලාගිරි ඇත් රාජයා සේ වලවල් පිරුණු සෙන්ජේමිස් පාරේ දූවිලි අවුලවමින් දුවගෙන දුවගෙන එනවා.

ඇයි මට එන්ඩ කිව්වේ. උංගි ලොකු වෙලා. පණිවිඩ දෙන්ඩ බෑ
මං දන්නවා. බැරිද ලිවුම් කඩදාසිය දීගන්ඩ
උඹේ ලිවුම් කඩදාසි දීලා මං හතරහංදි කඩාගන්නද? අම්මා තහනං කරලා තියෙන්නේ
ඉඳා
මොනාද
මාලු බනිස්
එපා
ඇයි
බඩේ කැක්කුම
ඒ කියන්නේ මේක දෙන්ඩ බෑ?”
දෙන්ඩ පුලුවන්  සමන්මලිට කියලා ඒත් රුපියල් පනහක්වත් දෙන්ඩ වෙනවා
රුපියල් පනහක්
ඔව් ඒක මහලොකු ගානක් නෙවෙයිනේ
හ්ම් දෙන්නම් මටත් ලිවුමක් අරං වරෙන්
යකෝ වටේටෙම මුර දාලා ඉන්න කෙල්ලෙක් කොහොමද ලිවුම් ලියන්නේ. මම යනවා මට පරක්කු වෙනවා
ඉඳපං. මෙන්න පනහ. මෙන්න ලිවුම
ඔය මාලුපාං බෑක්කෙකත් දියං. පාර අයිනේ බල්ලෙක් හිටියා ඌට දෙතෑකි. උංගිට සෙවල හලපු මීගමුවේ අරූත් එයි කොටහුලට. උඹට කෙලවෙයිද දන්නෑ
අනේ මේ මූසල කතා නොකිය ඉඳිං. මං යනවා. වැඩේ කරපං. ඔන්න උඹේ කලිසමේ හිලක්
ඔව් අපේ ජීවිතේත් හිල්.දුප්පත්කමේ හංගන්න දෙයක් නෑ

මලුපාන් බඩට.. රුපියල් පනහා සාක්කුවට. පාලයාගෙ ලිවුම??
ලිවුම පල්ලම බැහැගෙන යනකොට හම්බෙන හුඹස් කටට දානවා.
රුපියල් පනහෙන් දවස් පහක් බීම පහක් බොතෑකි ඉස්කෝලේ මහත්තයගේ කඩෙන්.

ඒත් හුඹස් කටට ලිව්ම ඔබන්ඩ ගිහිං ඒක ඇතුලේ දඟර ගහගෙන ඉන්නවා කියලා අපි විශ්වාස කරන ඒත් අපි කවදාවත් දැකලා නැති අර පංසලේ පිළිමේ වෙලාගෙන ඉන්න සිමෙන්ති මුචලින්ද 🐍 නාගරාජයා වගේ පත නයෙක් හුඹස් කටින් විෂ දුමාරයක් එවලා මගේ ඇස් අන්ධ කලොත්
ලිව්ම කියවලාම පොඩි චූන්නෙක්කුත් අරං කීතු කීතු වලට ඉරලා ඉලුක් කැලේට විසි කරනවා.

නවසේදිය.
දයබර උංගි වේත.
ඔය නතුව මට දනන පලුව කයාගන්ඩ බා.
මේච්චර මගේ හතේ අදරය අති බව දනුනෙ අද තම.
මව අමතක කරාන්ඩ එප. ඔය ආයි ඉස්කොල අනකම් මග බලගෙන් ඉන්නව. කොටහුලට පටිං එන කොල්ලා දිහ ඔය බලන්ඩ අපා.
මට එක එක වකාර පෙනවා. මම ඉක්කන්ට ඔය මග කරගන්නව. අපි බකරිය දයුනු කරගන ඉමු.
මට ටකක්වත් අදරය තයනවනම් මෙකට පලතුරක් එවාන්ට.
ඔයාට දළ සමිඳු පිටයි.
මං ඔයගෙ නවනස් පල.

චරාස්...චරාස්...චරාස්..චරාස්…”

ලිව්ම ඉලුක්කැලේට ඌසික්කා කරලා මං දුවගෙනදුවගෙන...දුවගෙන ...දුවගෙන.. ඉස්කෝලේ මහත්තයගේ කඩේට..

මම දන්නවා තැන. මම හැමදාම යන්නේ එතන්ට
සුයිප් එකක් වැටිලා වගේ
ඔව්.. මාමා දුන්නා.ඔරේන්ජ් බාර්ලි එකක්!
ගුඩුස්...ගුඩුස්..ගුඩුස්...ගුඩුස්
යෞවනයේ පොපියන චමත්කාරය

මේ කොන්ත්‍රාත් එක කවදා වෙනකන් කරන්නද? උංගි ලොකු වෙච්ච  එකේ මීගමුවේ හාල්පාරුවාටවත් සෙට් වුනොත්. මට වෙන්නේ වහ කන්ඩ. ඇයි යකෝ පාලයගෙන් ලැබෙන පැසිලිටි ඔක්කොම හබක්නේ.

ඉස්කෝලේ මහත්තයාගේ කඩේ තියෙන්නේ අපේ ගෙදර ඉඳං කිලෝමීටර් බාගයක් විතර උඩැහින් පිහිල්ල ගාව පාරෙන් උඩ. ඉස්කෝලේ මහත්තයා කියන්නේ අපේම ඉස්කෝලේ පැන්ෂන් ගිය ප්‍රින්සිපල්. ඉස්කෝලේ නෝනත් මැරිලා. කඩයක් දාගෙන ගමේ ගෑණු දෙතුන්දෙනෙකුට පිනට බඩු දෙමින් කඩේ පවත්තාගෙන යනවා.

අපි හුලං ඉස්කෝතු එහෙම ගේන්න කඩේට ගියාම

“හුලංනම් නෑ. ඉස්කෝතු දෙන්නම්. යනගමන් හුලං ටිකක් ගහගෙන යන්ඩ”
කියලා විහිලුවක් දෙක්කුත් කරනවා.

ඔය ඉස්කෝලේ මහත්තයගේ කඩේට පහලින් පාර අයිනේ මහා ජල කඳක් එන කවදාවත් හිඳෙන්නේ නැති පිහිල්ලක් තියෙනවා. උඩහා පල්ලැහැ යන වාහන වල රේඩියේටර් රත් වුනාම සිසිල් කරගන්නේ ඔය පිහිල්ලෙන්. ලොරිකාරයන්ගේ ප්‍රියතම ගිමන්හල ඉස්කෝල් මහත්තයගේ කඩේ. අපිත් ඉස්කෝලේ ගිහිං එනකොට දෝතට වතුර අරගෙන පිපාසේ නිවාගන්නේ ඔය පිහිල්ලෙන්.
ඔය ලීලේ අයියා බැඳපු අලුත ලීලේ අයියගේ පවුල ඉස්කෝලේ මහත්තයගේ කඩේට යනවා එනවළු බඩු ගන්න. ඉතිං ඉස්කෝලේ මහත්තයා පවත්තගෙන යන රහස් සංගම් වලට අමතරව ලීලේ අයියගේ පවුල ගැනත් ආලයක් පහල වුනාලු. තමන්ට වඩා තුන්ගුණයක් විතර බාල ලීලේ අයියගේ පවුල කොටුකරගන්න විදියක් කල්පනා කරාලු. කොහෙන් පටන්ගන්නද කියලා පොටක් පෑදෙනකන් හිටියත් ලීලේ අයියගේ අක්කගෙන කිසිම ප්‍රතිචාරයක් නැල්ලු. බැරිම තැන දවසක් ලීලේ අයියගේ පවුල කඩේට ආපු වෙලාවක ඉස්කෝලේ මහත්තයා මෙහෙම ඇහුවලු.

“මේ .... ඔයා බ්‍රෙසියර් එකක් ඇඳලද ඉන්නේ?”

තක්කු මුක්කු වෙච්ච ලීලේ අයියගේ අක්කා අඬාගෙන ගෙදර ගියාලු. ලීලේ අයියා ඇවිත් ඉස්කෝලේ මහත්තයට බඩ කට පුරා සැලකුවලු.
ඉතිං ඔය ආරංචිය ඊයක් වගේ ගමේ පැතිරිලා ගියා.

“නෙද්දකින් නාකින්ටනේ ඉන්න බැරි. කොල්ලෝ හොඳා. නාකි විසේ ගෙටත් උසේ”

ආච්චිගේ කනේ ආරංචිය වැටුනම කිව්වේ එහෙම.

පිස්සු ආරි හෙල්ලෙන්නෑ ආය උංගිලගේ ගෙදරින්. කිසිම වැඩක් කරන්නෑ. විට කන්නෑ. කනවා. බීඩි බොනවා. කවුරු හරි අරක්කු දුන්නොත් පිං අඩියක් ගහනවා. එලියේ බුදියගන්නවා. තනියෙන් මොනවදෝ කුටු කුටු ගගා කියවනවා. ගමේ මල ගෙයක් මඟුල් ගෙයක් කොටහුලක් උනොත් අනාරාධිතව පලවෙනියට ඇවිත් පැලපදියං වෙනවා. මරණේ ඉවර වෙලත් හත් දවසේ දානෙටත් පස්සේ දවස් හතර පහක් ඉඳලා තමයි යන්නේ. ඉගෙනගෙන වැඩි වෙලාලු. මිනිස්සු කියන්නේ එහෙම.
දැන් ඉතිං කොටහුල් දවස් එන්න එන්නම ලං වෙනවා. උංගිලගේ ගෙදර ගජරාමෙට වැඩ. කැවිලි හදනවා. තීන්ත ගානවා. හට් ගහනවා. ටවුන් යනවා. බඩු ගේනවා. සෙනඟ එනවා. සෙනඟ යනවා. හිනා වෙනවා. කනවා. බොනවා. කොටහුලක් කියන්නේ අර මරණෙ වගේ ගමට මඟුලක් තමයි. කොටහුලට උදව් කැරන්න කියලා ඇවිල්ලා ඔය ඕපදුප ටිකක් කියවලා වේලක් දෙකක් ෂේප් කරගන්නවා. මරණේ වගේම කොටහුලිමුත් මිනිස්සු ණය කාරයෝ වෙලා ප්‍රපාතෙටම වැටෙන්නේ ගමේ එවුන් පරපෝෂිතයෝ වෙන හින්දා.

“අනුලා ඇවිල්ලා උපදේසක වෙලා. අරකිත් ඒකිව ඔලුව උඩ තියාගෙන. හාල්මැස්සෝ ඉව්වට කමක් නෑ කිව්වලු. මමනම් යන්නෑ ආය ඔතනින් පල්ලැහැට. හාල්මැස්සෝ කියන්නෙත් පුලුටු”

අපේ ආච්චිගේ උපදේශක පට්ටම අනුලා නැන්දා ඩැහැගෙන. ආච්චිට ඩෝං ගිහිං.

“අනේ මේ විකාර නොකර ගිහිං උදව් වෙන්ඩ අම්මේ. අම්මලත් වයසට යන්ඩ යන්ඩ පොඩි ළමයි වගේ වෙනවනේ”

අම්මා ආච්චිට ආඩපාලි කියනවා.

“චූටි වරෙන් යන්ඩ හට්ටෙක ගේන්ඩ යන්ඩ”
“කොහේ”
“පැල්ලැහැ. මරණ සමිතියේ හට්ටෙක තමයි ගේන්ඩ වෙන්නේ”
ඔන්න දන්සිරි අයියයි. පුංචිබණ්ඩේ අයියයි..ඩිංගිරි බණ්ඩේ අයියයි.මායි .. පඩිපෙල නැගගෙන නැගගෙන හට්ටෙක ගේන්ඩ පාරට යනවා.
පිස්සු ආරි බීඩියක් ගගහ බලන් ඉන්නවා.
“පිං බතා”
දන්සිරි අයියා තමන්ටම කියාගන්නවා.


(ඉතිරිය ඉරිදා)

17 comments:

  1. අර ලයුමට කරුප දෙ හර නා නේද මනේක මලි?

    ReplyDelete
  2. හරෙ හුරෙ!!! මං අක වලෝ...!

    ReplyDelete
    Replies
    1. උඹ වලා කියල ආයෙ කෑගහල කියන්න ඕනැයි.

      Delete
  3. හුඃ...!! කෝ ඔය නයා...?

    ReplyDelete
    Replies
    1. නය ඉනනව. උඹව කෙට උල් කරල තමය නවතනනෙ.

      Delete
  4. බල්ලට දෙන්ඩ බනිස්.............

    ReplyDelete
  5. ඔය ලියුං ඩිලිවරි හරියට කරපු නැති එවුන්ට ලබන ආත්මේ ගෑණු ළමයි සෙට් වෙන්නේ නැලු

    ReplyDelete
  6. Lium valata una de danui metar venne.

    ReplyDelete
  7. විසි කරනව කිවුවට ජෑම් පාස් එක විසි උනේම නෑ නේ.

    දැන් දවස් දෙකකට තුනකට කලින් අපේ අල්ලපු ගෙදරත් කොටහුලක් තිබුණ. හප්පේ... වෙඩිං පරාදයි.

    ReplyDelete
  8. මේ ලඟදි කොටහුලකට ගියා. මගෙ සන්තේ සෙනග ගොඩ. රෑට කන්න පැයකට වඩා පෝලිමේ හිටියා.

    ReplyDelete
  9. කොටහුල කියන වචනේ ඇහුවෙත් අදයි. මේ රචනා විලාසය මරු...

    ReplyDelete
  10. ඉතින් උංගිගෙ මගුල කෙරුණද? මට මතක් වුණේ සමනළ සංධ්වනියෙ ලියුම් සීන් එක පවු අෆ්ෆා විසි කරපු එක වැරදියි.

    ReplyDelete
  11. බොරු කියන්න එපා බං “යෞවනයේ පොපියන චමත්කාරය” ක්‍රීම් සෝඩා !!!

    පව් බං ඉස්කෝලෙ මහත්තය, හුලං විස්කෝතු විතරයි නේද දුන්නෙ ?

    අර වව්ලා ගැන ඇහුවෙත් සත්ව කරුණාව නිසා එකක් ගෙනහල්ල දෙන්ට වෙන්න ඇති. කොහෙද බෝලාගෙ ගමේ උන්ගේ කතා හිත නෙව :-D

    ReplyDelete
  12. ලස්සන කතාවක්

    ReplyDelete