බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Thursday, April 19, 2018

කොටහුල 04

අවුරුද්දට ගමේ ගියා.
අවුරුද්ද වැස්සට හේදිලා ගියා.ඔව්. මට බෝතල් අවුරුද්දේදි ලියන්ඩ අමතක  වෙච්චි කාරණා වගයක් තියෙනවා කියන්ඩ. දැන් ඔය නොනගතේ ලබනවා නේද?? නොනගතේ කියන්නේ සියලු වැඩ වලින් මිදිලා තම තමන්ගේ ආගමට ධර්මයට අනුකූලව පිං දහම් වැඩ වල යෙදෙන එකට. ආච්චිනම් ඕකට කියන්නේ සංගරාන්දි ලබනවා කියලා. සංක්‍රාන්තිය නැත්තං නොනැකත තමයි නොනගතේ කියන්නේ. ඉතිං මිනිස්සුන්‍ට පංසල මතක් වෙන්නේ ඔය වෙලාවට. ඉතිං අවුරුද්දට හදපු කැවුං..කොකිස්..මුං අලුවා.. දොදොල්..සිල්ලර..කෙසෙල් ගෙඩි වගේ ඒවත් ඔතාගෙන මිනිස්සු පංසල් යනවා. ගෙදර ඉඳං පංසලට දුර මීටර් සීයේ එකාත් පංසීයේ එකාත්..කිලෝ මීටරේ එකාත්.. දෙකේ එකාත් ඔක්කම තමන්ට තියෙන වාහනේ බර කරත්තයක් හරි කමන්නෑ ඒකේ නැගලා මේන් යකෝ පංසල් යනවා. ත්‍රී වීල් තියෙන එකා ත්‍රීවීල්ලෙකේද.. ඩෙලිකා වෑන් තියෙන එකා ඒකෙද.. ඇල්ටොද.. මරුටිද.. හොන්ඩද.. ටොයෝටද..   ගෙම්බා 🚗 කාර්ද.. මොටෝ බයික්ද..ටිපර්ද.. ඩෝසර්ද..ටුවෙල් ටෙන් 🚚 ලොරිද එකී මෙකී නොකී හැම වාහනයක්ම අර හුංඩුවක් වගේ තියෙන පංසලේ ගිහිං හිර කරනවා. ඒවගෙන් බැහැලා මේන් මෙහෙම පපුව ඉස්සරහට දාගෙන පවුල පිටින් බැහැලා උජාරුවෙන් පංසලට යනවා. ඒක නොනගතේට පිං දහම් කරන්න පංසල් යාම නෙවෙයි තම තමන්ගේ වාහනය පෙන්නීමට පංසල් යාම.
ඇයි යකෝ ඔය මීටර් සීය දෙසීය පන්සීය පයින් යන්ඩ හෙණදඕකෙන් ඉතිං ගම්මු මහා ලොකු මානසික තෘප්තියක් ලබනවා. ඕක ඉතිං අපේ ගමට ඉතරක් පොදු නෑ.. සිදාදියේ ඈයෝ තමන්ගේ වාහනේ එක්ක ගහපු පොටෝ එකක් ෆේස්බුක් දාල ගන්නෙත් ඒ ආතල් එකම තමයි ඉතිං..  චූටප්පයියටනං ඔව්වා ඇහේ ඉඳිකටු අනිනවා වගේ. පොර ඉතිං දෙකක් දාගත්තම ඔය කොයි කාටත් ඇහෙන්න මහා හයියෙන්      
      
"පඩඅ අ අ අ ෂෝ"  කියන්නේ ඒකයි.

"මේ ගමේ ආය පත්තිනි අම්මලා නෑ. ඉන්නේ ආය හොඳ හොඳ බඩු තමයි. දැක්කනේ පාර හදද්දි ඒකේ වැඩට ආපු කොල්ලොයි බල්ලොයි ඔක්කොම එක්ක බුදියව්වා. හිතං ඉන්නෙනම් පත්තිනි අම්මලා කියලා. ඩෝසර් කාරයෝ කෑවා. පඩ........ ෂෝ "  

තවත් ටිකක් වැඩි වුනාම මුලු ගමේම ගෑණුන්ට චූටප්පයියා දෙස්ස කපන්නේ එහෙම. චූටප්පයියාගේ වචන ශ්‍රවණයේ මිහිරිය. ලගන්නා සුලුය. කුඩා වචනයේත් ගැඹුරු අරුත්‍ ය. හීන් වචනයෙන් ගමේ ගෑණුන්ගේ සායම අරින්නේය. ගමේ මාගේ ප්‍රියතම චරිතය ඔහුය. ඔහුගේ ජීවිතයට ජය වේවා.
***************************************************
මගේ ඔලුවේ මාස්ටර් ප්ලෑන් එකක් වැඩ කරනවා. ඊගාව අවුරුද්දෙ බ්ලොග් සම්මානේ ගොඩේ කතාවට ගන්ඩ. මාසෙට කොටස් වශයෙන් ලියන කතා ඔට්ටුද දන්නෑ නේද බං. මාත් ඉතිං පෘතග්ජන මනුස්සයෙක්නේ.

***************************************************
අපේ ඉඩන් වලට ඔප්පු නැති නිසා ගමටම ලැයිට් තිබ්බත් උංගිලගෙ ගෙදෙට්ටයි අපේ ගෙදෙට්ටයි ලැයිට් තිබ්බේ නෑ. අනික වත්තේ දලු කඩලා අපේ බඩගින්න නිවන අම්මා ඔප්පු තිබ්බත් ලැයිට් ගන්නේ කොහොමද? අපිට ඉතිං දවල්ට සන්ලැයිටුත් පෝය දවස්වල රෑට මූන් ලැයිටුත් තමයි තිබ්බේ. හවසට චිමිනි ලාම්පුවේ තෙල් පිරවීමත් චිමිනිය පිහ දැමීමත් කුප්පි ලාම්පුවට තෙල් පිරවීමත් එවුවායේ තිර උඩට ඇදීමත් අපේ දිනචරියාවේ පුරුදු බවට පත් වුනේ ඒකයි. මේක ලියනකොටත් ඒ කාලේ දැනිච්ච ලාම්පුතෙල් සුවඳ නාස්පුඩු අග දැනෙන්න පටන්ගත්තේ ඒකයි.

රෑට කුප්පි ලාම්පුව අයිති කුස්සියටය. චිමිනි ලාම්පුව අයිති අවුරුද්දට විතරක් කෑම සඳහා ඇරෙන ඒත් අපේ පොත්පත් තියෙන පාඩම් කරන කෑම මේසෙට. අනික් කාමර අඳුරේ. ඒ කාමර වල කවර හෝ කාර්‍යක් කරගැනීමට සිදුවුවහොත් පාඩම් මේසය අඳුරේ හෙලා චිමිනි ලාම්පුව ජංගම මුර සංචාරයේය.

ඉස්සරහ සාලේ තිබ්බ වේවැල් කැඩීම නිසා ලෑලි කෑලි වලින් හැඩ වෙච්චි පුටු කබල් තුන හතරත් .. තාත්තා පරලොව යන්ඩ කලින් ගෙනාපු යුනික් 📻 රේඩුවෙකත් තමයි අපේ ගෙදර තිබිච්චි ලොකුම ධනය.

ඉස්සර ජන හා නිවාස සංගනනෙට ගිරාමසේවක මහත්තයා ගෙදෙට්ට එනකොට අම්මා දූවගෙන දුවගෙන ඇවිත් රේඩුවෙක අරං රෙදි ගොඩක් අස්සේ හංගනවා. රේඩුවෙකට රෙඩියෝ ලයිසන් නැති වීමත් ගෙයි රේඩුවෙකක් තිබීම කියන කාරණය මුල් කරගෙන  අපිට ලැබෙන දිළිඳු සහන කපයි කියන අනියත බියත් තමයි ඒකට හේතුව.

***************************************************
දන්සිරි අයියත් අපිත් ගිහිං පැල්ලැහැ මරණ සමිතියේ හට්ටෙක උස්සන් ආවා. ඔය හට්ටෙක තමයි.. මරණෙටත්.. මගුලටත්.. කොටහුලටත් හැම එක්කටම කැරකෙන්නේ.

"දන්සිරිට බැරිද ටවුන් ගිහිල්ලා මේ බඩු ටික ගේන්ඩ. බස්සෙකේනම් බැරි වෙයි. පාරිස්ගේ කාර්රෙකේ තමයි ගේන්ඩ වෙන්නේ."
උංගිලාගේ අම්මා ලිස්ට්ටෙකක් දෙනවා.

"ඇයි මේ මැන්ටල් ලියලා තියෙන්නේ?"
"පැට්‍රෝල් මැක්ස් එකවත් පත්තු කරන්ඩ"
"පැට්‍රෝල් මැක්ස් මොකටද උලු ගෙදරින් වෑර්රෙකක් දාලා කරන්ටෙක ගමු. කොටහුලට බපල්ලෙකක් දාලා සිංදුවකුත් අහන්ඩ එපැයි.. චූටි උඹත් ලෑස්තිවෙයං හාලිඇල්ලේ යන්ඩ."
"විදුලිබල මණ්ඩලෙන් පනියිද?"
"කවුද ආය ඕව කියන්නේ. හැමදාම ගන්නෑනේ. ඌරො මරන්ඩ කුඹුරු වලට කරන්ට් දාලා තියෙන්නේ. එව්වත් අල්ලන්ඩ එපැයි එහෙනං"
මාත් ඉතිං ටකුස් බුකුස් ගාලා ඉස්කෝලෙට අඳින නිල් පාට කලිසන් කොටෙත් ඇඳගෙන සී සර්ට් කෑල්ලකුත් දවටගෙන දන්සිරි අයියගේ පස්සෙන් පාරට 🏃 දුවනවා.

හාලිඇල්ලේ හාල් කඩෙන් තමයි ලිස්ට් එක කිරන්නේ.

" මුදලාලි හාල් 30ක් ලියලා ඇත්තේ 25ක් කිරන්ඩ. සීනි 10ට අටක් කිරන්ඩ. ඉතුරු ඒවා ලිස්ට්ටෙකේ විදියටම කිරන්න. චුටි ඔතන හිටහන් මන් පොඩ්ඩක් උඩහට ගිහිං එන්නම්"
කියලා දන්සිරි අයියා පොද වැස්සේ තෙමීගෙන යනවා.

උඩහට කොහෙද ආය බණ්ඩාරවෙල පාරෙ ප්‍රියන්තයගේ බාර් එකට තමයි ඉතිං ඔය යන්නේ. ඒකනෙ ලිස්ට්ටෙකේ බඩු වල කොන්ටිටිය අඩු කරලා ගාන හදාගත්තේ ලස්සනට.

අපිනොදන්න මොණරතැන්න. මටත් මොනා හරි අරං නුදුන්නොත් ගිනි තියනවා ගෙදර ගිහිං හතර වටේම.
දන්සිරියා දන්නෑ මේ චූටියගෙ හැටි.

කට පිහද පිහද ආපු දන්සිරි අයියා මාවත් එක්කන් ගිහිං ගංගාදීසියෙන් බඩ පැලෙන්ඩ කන්ඩ අරං දීලා තේත් අරං දෙනවා.  දැන් ඉතිං චූටියා කට හොල්ලයිද ආය...

අපි ඉතිං පාරිස් අයියගේ කාර් එකෙන් උජාරුවෙන් හොරට කිරාගත්තු බඩු ටික ගෙනල්ලා බානවා. දන්සිරි අයියා ගාව අරක්කු ගඳ.. ගඳ නෙවෙයි සුවඳ....

කොටහුල අනිද්දා...

උංගිව නාවන්ඩ රෙදි නැන්දා එක්ක එන්න යන්නේ අපේ ආච්චි. ඔය බදුල්ලෙමුත් එහා කන්දෙඅරාවේ තමයි ඩෝබි මිනිස්සු ඉන්නේ. ඩෝබි කියන්නේ රෙදි අපුල්ලන මිනිස්සුන්ට.කුල හීනයෝ. අනුන්ගේ කුණු හෝදන එක තමයි රාජකාරිය. උංගිගෙත් සෑහෙන්ඩ කුණු ඇති. ඇයි සති ගානක් නාලා නෑනේ. දැන් ඉතිං හොඳට නාගනියි.ඩෝබි ගෑණියෙක්ම ඕනි වෙනවා ආච්චිට අනුවනම් උංගිව නාවන්න. ආච්චි ලස්සන සාරියක් ඇඳලා පබලු මාලයක් දාලා.. හවරියක් බැඳලා.. කොණ්ඩ කූරක් ඔලුවේ ගහගෙන්.. බලන්ඩ එපැයි ලස්සන. මුලු ගමේම මිනිස්සු බුලත් විට කෑවත් අපේ ආච්චිනං විටක් දිහා හැරිලවත් බැලුවේ නෑ.. සුදු කොණ්ඩේ මැදින් කලු හවරිය යවලා අමුතු කලු සුදු ලස්සනක් කොණ්ඩෙට ගන්න උන්දෑ හරි දස්සයි. දැන් ඉතිං ඩෝබි ගෑණු ඇවිල්ලා අපේ ගෙවල් වල ඉඳගන්නේ බිම. උන් ඉස්සරහා අපේ ආච්චි ලොකු නෝනා වෙනවා. අපේ අම්මා උංගිගේ අම්මා පොඩි නෝනලා වෙනවා. දන්සිරි අයියා පොඩි මහත්තයලා වෙනවා. ඊට පස්සේ උංගි පුංචි නෝනා වෙනවා. මේ චූටියා පුංචි මහත්තයා වෙනවා. විළිලැජ්ජාවේ සංතෝසෙ බැරුවා. ආච්චිව ගිලගත්තු සී.ටී.බී බස්සෙක දුම්‍ රොටු නගාගෙන බදුල්ල දිහාට දුවනවා.

ඩිංගිරිබණ්ඩේ අයියා.. චූටප්පයියා.. පුංචිබණ්ඩේ අයීයා.. සුමනේ අයියා.. දන්සිරි අයියා ලහි ලහියේ හට්ටෙක ගහනවා. ඕවා නිකං කෙරෙන රාජකාරි නෙවෙයි.. සල්ලි වලට කෙරෙන රාජකාරිත් නෙවෙයි... තනිකර ගිනිවතුරට.. කැහි කූරට යටවෙච්චි රාජකාරි.. ඒ කිව්වේ අරක්කු බෝතලේට සිකරට්ටෙකට යටවිච්චි රාජකාරි. පිස්සු ආරියා බීඩියක් ගහගෙන ඕක දිහා බලාගෙන ඉන්නවා. ආය ලී කෑල්ලක්වත් අල්ලන්නෑ.. අපේ අම්මා ඇතුලු ගමේ ගෑණු නඩේ සක්කිලි පඩි ගත්තා වගේ කියව කියව කුස්සියේ ලහි ලහියේ කැවුං ...කොකිස්..මුං අලුවා... හදනවා.

"මීගොමුවේ කට්ටියත් හෙට එනවලු.. මාලු තම්බගෙන එයි.. පොල් එහෙමත් ගෙනෙයි.."

"හොඳ කරවලත් ඇති. මීගමුවේ බල කරවල හොඳයිලු"

"එව්වත් ඇරං එයි"

උංගිගේ තාත්තගේ කාණ්ඩේ තමයි මීගොමුවේ ඉන්නේ. ඕකුං උංගිගේ ආච්චිගේ මරණෙට ඇවිත් රඟපෑව රඟපෑවිල්ල. ලිප්ටික් කිව්ටෙක්ස් උලලා සෙන් පව්ඩර් දාලා ගෑණු ආවේ. පිරිමිත් එහෙම තමයි. ටයි විතරයි නොදා ආවේ. කොලඹ හතේ මිනිස්සු වගේ. ඉතිං නොදන්න මිනිස්සුන්ට උංගිලාගේ කට්ටිය අඳුන්වලා දුන්නෙත් කොලඹ කට්ටිය කියලා. කොලඹින් ඈත ඔය ගම්පහ කිරිඳිවැල හද්ද පිටිසර පැතිවල උනුත් මේ පැතිවල මඟුල් ගෙවල්.. මල ගෙවල් වල ආවම කියන්නෙත් කොලඹ කියලා. ගිහිල්ලම බලන්න ඕනි.. කොලඹට බස් එකේම පැය හතර පහක් යන්ඩ ඕනි.


ඉතිං උංගිලගේ මීගොමුවේ කට්ටියත් කොලඹ පාට් ඇට් කරලා මල ගෙදර ඇවිල්ලා ගියා. අපිත් හිතාගෙන හිටියේ මේ මිනිස්සු කොලඹ රම්‍ය..සුරම්‍ය..සුභ වගේ සත් මහල් සත් ප්‍රාසාදවල ඉන්නවා ඇති කියලා.

එක දවසක් උංගිගේ කොලඹ(මීගමුවේ) ආච්චි ඒ කියන්නේ උංගිගේ තාත්තගේ අම්මා කාලක් ක්‍රියා කලා. (ඒ කියන්නේ තුන්කාලක් ඉතුරු වුනා නෙවෙයි මැරුණා) මුලු ගමම වගේ යන්ඩ ලෑස්ති වුනත් වෑන්නෙකේ ඉඩ තිබ්බේ නෑ. මගේ අතිජාත මිත්‍ර තැන්පත් දන්සිරි අයියා කොහොම හරි මාව වෑන්නෙකට ඔබාගත්තා. ආච්චි නඩේ ගුරා වගේ ඉස්සරහා සැප පහසුවට..

දැන් ඉතිං මං කවදාවත් නොදැකපු කොලඹ ගෝල්පේස්සෙක බලන්ඩත් පුලුවන් එන ගමන්.

ඉතිං වෑන්නෙක නුවරඑළිය.. නුවර... මාවනැල්ල.. නිට්ටඹුව.. වේයන්ගොඩ.. මිනුවන්ගොඩ පහු කරන් මීගොමුවට එනවා. මීගොමු ලෙල්ලම  ගාවින් උඩට දාන්කොට යකෝ ආපු ගඳ... මාලු ගඳයි..කුණු ගඳයි පලාතම.ඈක්.. ඔක්කාරෙට එනවා. මේකද යකෝ මීගමුව... අපේ ගමේ හුලඟත් සැපයි. ඊට පස්සෙ අපි මුහුද පේන මානයේ මුඩුක්කු පේලි ගෙවල් දිගේ ගියා.

"මේවගේ කොහොමද බොලව් මිනිස්සු ඉන්නේ . හුණ්ඩු වගේ ගෙවල්.. අපේ සැන්ජේමිස් වත්තේ ලැයිං මීට වඩා හොඳයිනේ"
ආච්චි තමන්ටම කියාගන්නවා.

තාර සීට්.. පොල් අතු වලින් වහලා වහල හුලඟේ යනවට වැලි පුරෝපු ටයර් දාලා ... ඒ ගෙවල් මැද්දෙන් අපි අරගත්තු වෑන්නෙක ඇදීගෙන යනවා.

"කෝ බං කොඩියක්කත් දාලා නෑනේ"
"ආච්චි ආං සුදු කොඩියක්..."
"යකෝ මුනුත් මේ මුඩුක්කුවේද ඉන්නේ":

වෑන් එක බරාස් ගාලා බ්‍රේක් ගැහුවා. ඔක්කොම කට්ටිය වෑන්නෙකෙන් බැස්සා. උංගිලාගේ  
ආච්චිලාගේ ගෙදරත් මුඩුක්කුවක් තමයි. මම හිතිං මවාගෙන ආපු සත්මහල් ප්‍රාසාද හීනය බිම වැටිලා සුනු විසුනු වෙලා ගියා. උංගිලාගේ තාත්තයි අම්මයි අපිට වැඳලා අඬන්න පටන්ගත්තා. ආච්චිත්  ගැටයක් ගහපු ලේන්සු කෙරවලක්  අරං කබ පිහින්නා වගේ බොරු අඬන පාට්ටෙකක් ඇට් කරා.උංගිලාගේ අම්මයි තාත්තයි ටිකක් යද්දි ආයේ සංසුන්වෙලා 

"උදේද එහෙන් ආවේ?"
"ඔව් පාන්දරින්ම ආවා."
"යං තේ බොන්ඩ. ඉඩ නැති නිසා එහා වත්තේ තේ ලේස්ති කරා"

ඉස්සරහා ඉඩ නැති ලෑලි කාමරේ උංගිලාගෙ ආච්චිගේ මිනිය තියලා තිබ්බා.කෝ යකෝ එහේ ගිහිං කොලඹ පාට් ඇට් කොරපු උංගිගේ නෑයෝ. අපිට මූණ දෙන්න බැරුං හැංගිලාවද්ද?

උංගිලාගේ බාප්පා කෙනෙක් ඇවිල්ලා දන්සිරි අයියගේ කනට කොඳුරනවා.

වෑන්නෙකේ ආපු පිරිමි කාණ්ඩේ උංගිලාගේ බාප්පගේ පස්සේ වැටිලා වෙරළ දිගේ ගාටනවා. මාත් උන් පස්සේ ඇදෙනවා. ගමන කෙළවර වුනේ පොල් රා තිප්පොලකින්. උංගිලාගේ බාප්පා අපේ ගමේ ආපු වෙලේ දන්සිරි අයියගෙ කිතුල් රා සංග්‍රහයට ප්‍රති සංග්‍රහය. උංගිට සෙවල පෙරන එකාත් අපි පස්සෙන් ඇවිත් රා තිප්පොලේ කැරකෙනවා. දන්සිරි අයියලා..සුමනේ අයියලා..චූටප්පයියලා.. රා බොනවා.. මම මයියොක්කා කනවා .. ඌරු මස් කනවා... රා සුවඳ විඳිනවා. ගෙදර වගේනම් මාත් ගහනවා. ආච්චිත්තෙක්ක බෑනේ.ඉතිං අපි සා බීලා (අපි කිව්වට මං බිව්වේ නෑනේ) වැනි වැනී ආපහු මල ගෙදෙට්ට සේන්දු වෙනකොට ආච්චි නඩේ ලෑස්ති කරගෙන ආපහු පිටත් වෙන්ඩ. 

" ආ ගමන්ම යනවද?"
"ආ ගමන් කොහෙද උඹලා ගිහිං දැන් පැය කීයද? අප්පා ගඳ.. රා ගුබ්බෑයමකට රිංගලා වගේ. අනික මේවා ලගින්ඩ තැන්ද බං. අපේ ගෙවල් දාහෙන් සම්පතයි. ගිහිං ජාසුන්දරයට කියලා වරෙල්ලා "
ජාසුන්දර කියන්නේ උංගිගේ තාත්තට.

"එතකොට කොලඹ යන්නේ නැද්ද?"
"උඹටත් පිස්සුද චූටියෝ. කොලඹ කොහෙද? මීගොමුව කොහෙද?"

ඉතිං කට්ටියම වෑන්නෙකට ගොඩ වුනා ආපහු හැරෙන්න.

ආච්චි මල ගෙදරින් පටන්ගත්තු කන්දොස්කිරියාව නුවරට ඇවිල්ලා නතර කලේ.

"ඔය මීගොමුවේ එවුන් එහේ ඇවිල්ලා හිටියේ වලව් කාරයෝ වගේ. බලහල්ලකෝ දොට්ට පිලට යන්ඩවත් තැනක් නෑ. කන්ඩ කිව්වට මන්නං වතුර පොදක්කත් බිව්වේ නෑ. අප්පරසන්නයි. ජාසුන්දරයගෙයි ගෑණිගෙයි පුරාජේරුවනං"

ආච්චි ගමේ ඇවිල්ලා ජාසුන්දර මාමාගේ සායම ඇරලා තිබ්බා. ආච්චි බට කැලෑ වලට ගිනි තියන්ඩ කොහොමත් දස්සයිනේ. අන්තිමේ මගේ ගෝල්පේස් හීනෙත් බිඳ වැටුනා. පිට ඔපේට මිනිස්සු මනින්ඩ හොඳ නෑ.

කට්ටිය හට්ටෙක ගහලා ඉවර වෙලා යුධ ජයග්‍රහණයකින් ඔද වැටුණු සෙබලුන් සේ සොම්නසින් හට් කණු වලට බර දීගෙන කැහි කූරු පත්තුකරගෙන දුම්‍ රොටු වලා තීරයට මුසුකරමින් බෝතලයේ පතුලේ ඉතිරි වී ඇති අවසන් 🔥 ගිනිවතුර පොදත් අශෝක ග්ලාස් පහ හයකට පුරවනවා. බොන්ඩ ගියාම ප්‍රෙන්ඩ්ශිප් එක ඔප් නැංවෙන්නේ ඔතනින්.

ආච්චිත් රෙදිනැන්දාව එක්කරගෙන ඇවිත් හැ.න්දෑයාමේ කැප්පෙටිපොළ බස්සෙකෙන් බහිනවා. දැන් රෙදිනැන්දාව උංගි ගාවට පංගරාත්තු කරනවා. මෙතැන් සිට කොටහුල් අවසන් වනතුරු උංගිගේ නිත්‍ය සේවා නියෝජිත ධූරයට ආච්චි විසින් රෙදි නැන්දාව පත් කරනවා.
(ගොඩාක් දිග්ගැහිච්ච කොටහුල අන්තිම කොටහින් ඉප්පන්ට හම්බුවෙමු... ඊගාවට ඡන්දේ........)


15 comments:

  1. ඉස්සර අපේ ගෙදරත් මම තමයි චිමිණි ලාම්පුව පත්තු කරන එක කලේ. චිමිණියේ දැලි වැඩිනම් හොඳට හෝදලා පත්තර කොලේකින් පිහිදානවා...
    එහෙම නැතුව කෙළින්ම පත්තර කොලේකින් පිහිදාල ගන්න වෙලාවලුත් නැතුවම නෙමෙයි...
    චිමිණි ලාම්පුවට ලුණු කැට ටිකක් එහෙමත් දානවා. උඹල එහෙම කරේ නැද්ද...
    අනිත් පොඩි ලාම්පු එක දෙක පවා පත්තු කරන්නේ මම, ඉහිරෙන්නෙ නැතුව ලාම්පුතෙල් දාල ඒවා කරපු හැටි මතක් වෙද්දී මටත් ඒ සුවඳ දැනුනා මචං...

    ඉක්මණට කොටහුලේ ඉතුරු ටිකත් ලියහන්...

    ReplyDelete
    Replies
    1. ලුණු කැට සීන් එකක් අපේ පැත්තේ නෑ. කඩදාසි සීන්නෙක මතක් වුනේ උඹ කිව්වම.

      Delete
  2. මේක තනිකරම අමධ්‍යප පෝස්ට් එකක්නෙ බොල.
    දංසිරියට යසට එකවුන්ටං පට්ටමක් ගන්න තිබ්බ ෂොට් එකක් දාන්න බඩු ලිස්ට් එක බැලන්ස් කරපු එක තව ටිකක් දියුණු කරල ගත්තනං.

    ReplyDelete
    Replies
    1. මේ ගමම බේබදු ගමක්. පංසලේ හාන්දුරුවොයි මායි පට්ට ගේමක් දුන්නා මුදෝගන්ඩ. ඒත් මොන?

      Delete
  3. බ්ලොග් සම්මානෙ ගන්නනං මෙහෙම මාසෙකට එකක් ලියල හරියන්නෑ බොල. තව සෑෑෑහෙන්න මාංසි වෙන්න වෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. ලිව්වට වැඩක් නෑ බං.. එස්.ඇම්.එසුත් ඕනි නේද?

      Delete
    2. සල්ලි දීලත් සීම් ගන්ඩත් වෙනවා

      Delete
  4. මේකට මීගමුවෙ උන් එක්ක ඇරියස් එකක් වත් තියනවද කොහෙද

    ReplyDelete
    Replies
    1. බදුල්ලෙ ඉඳල කිලෝමීටර් ගානක් ඩොටේ බස්එකේ යන උං කියන්නෙත් බදුල්ලෙ කියල තමයි. හැක්..

      Delete
    2. මීගොමුවේ මසාජ් පොට් ගැන කතාවක් ලියන්ඩ ඕනි

      Delete
  5. මල් හතයි

    ReplyDelete
  6. මම දන්නා විදිහට නම් නොනැකත නෙමෙයි නොනගතේ කියන්නෙ.

    නො + අගත

    අගත කියන්නේ පැමිණීම හෝ ලඟා වීම, එතකොට නොනගත කියන්නේ පැමිණියේ නැති, සුර්යා මීන මේශ රාශි වල මාරුවෙන අතරෙ කාලය කියන එක තමයි තේරුම.

    මේ කාලය පුරාවටත් නැකැත් තියනව, එනිසා මේකට නොනැකත කියන එක වැරදියි (දැන් මේ මගුල් කිව්වට කියන් එනවාහෙම නෙමෙයි මේං නැකැත්කාරයෙකුට රිදිලා කියල, මං ඔය බහුබූත තුට්ටුවකට මායින් කරන්නෙ නෑ)

    ReplyDelete