බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, May 6, 2018

මල්වරවීම හෙවත් කොටහුල (අන්තිම කොටස)

(මම ලියපු කතා ගොඩක කැරකුනේ ගමේ පිරිමින්ගේ බේබදුකමයි ගෑණුන්ගේ සල්ලාලකමයි තමයි.. ඉතිං ඇත්තත් ඒකම තමයි.)

අපේ ආච්චිටත් අපේ අම්මට වගේ හොඳට උයන්ඩ පිහන්ඩ කැවිලි හදන්න පුලුවන්. ඔය බඩ වෙච්චි ගෑණුන්ට දොලදුක හැදුනම ඒ ගෑණුන්ගේ මිනිහලා හරි උන්දලාගේ අම්මලා හරි අපේ ආච්චිව හොයාගෙන එනවා.

"
අපේ එක්කෙනාට පොලොස් ඇඹුලක් කන්ඩ ආසාවක් ඉපදිලා උඹේ අතින්ම හදලා ඕනි කියන්නේ.. මං මේ කලමනා ටිකත් අරං ආවා"

ඕවගේ වෙලාවට ආච්චිගේ ආඩම්බරේ බලන්ඩ එපැයි. ආච්චි කොස් තෙල්දානකොට මුලු ගමම සුවඳයි. දොලදුක හැදිච්ච ගෑණුන්ට තම්බලා දෙනවා විතරක් නෙවෙයි ඒ ගෑණුන්ගේ වින්නඹුකම් කලෙත් ආච්චි. අපේ ආච්චි තමයි වත්තේ පුල්ලේ කාමරේ වින්නඹු අම්මා.. ඒ කියන්නේ අද කාලේ මිඩ් වයිෆ්.. ඔය ගොඩාක් වත්තේ දෙමල්ලු අපේ ආච්චිගේ අතේ තමයි මෙලොව එළිය දැකලා තියෙන්නේ.. ඒකනේ වත්තේ එවුන් තාමත් ආච්චිට ගරු කරන්නේ.
ඉතිං ගමේ නෙවෙයි අහල ගම් හතක උත්සවයක් තිබ්බත් අපේ ආච්චිව හොයාගෙන එනවා. කැවිලි හදන්න. සමහර ඒවට දෙන්න දින ආච්චි ගාව නෑ. ඉතිං උත්සව ගෙවල් වලින් කෑම බීම කැවිලි පෙවිලි පාර්සලේකුත් ආච්චි පස්සෙන් වඩින නිසා අපිටත් ගොඩාක් දවස්වලට රජ මඟුල් තමයි.
ආච්චිත් බොරු ආඩම්බරයක් මවාගෙන උංගිලාගේ ගෙදර කැවිලි හදන්න යන්නේ නෑ කිව්වට උංගිලාගේ තාත්තයි අම්මයි ඇවිත් පිංසෙංඩු උනාට පස්සේ ගිහිං යමරෙට වැඩ.

මේ.. ඒයි... උංගි ලොකු වෙන්ඩත් කලින් කොල්ලෝ දෙන්නෙක් රන් කලානේ. දැන් මගෙත් දැලි රැවුළ ඇවිල්ලා කටහඬත් ගොරෝසු වෙලා. මට කෑල්ලක් තියා ලෑල්ලක්කත් නෑනේ බං.. එකම ගමක්..ඉරණම් දෙකක්..
අපිත් ගහකට නැග්ගොත් ඒකෙ දෙබලක්.. නෙලුම් සම්මානේ නැල්ලු නේද? දැන් කෝමද මං සම්මාන ගන්නේ.. කමන්නෑ.. අපි සම්මාන බලාගෙන ලියන්නේ නෑ... ලැප්පෙකේ..පෝන්නෙකේ ඩිස්ප්ලේ එක බලාගෙනනේ ලියන්නේ.
ආච්චියි උංගිලාගේ අම්මයි කොටහුල කියන්ඩ යනවා. කොටහුල කියනවා කියන්නේ කොටහුලට ආරාධනා කරන්න යනවා. නැත්තං බුලත් දෙන්ඩ යනවා. ඔතෙන්දි උංගිලගේ තරහකාරයෝ ඇර අනික් අහල පහල සේරටෝම කොටහුල කියනවා.
අපේ ආච්චිගේ තරහාකාරයොන්ගේ ගෙවල් වලට කොටහුල කියන්ඩ ආච්චි යන්නේ නෑ. උංගිලාගේ අම්මා යනවා.

හෝන් ගහගෙන වාහනයක් උඩැහැ පාරේ කොස්ගහ යට නැවැත්තුවා. මීගමුවේ කූටාලි ටික ඇවිල්ලා වගේ.
උංගිගේ මීගමු වාහේ මෙලෝ රහක් නෑ. ඒ අතින් පාලයා සීයෙට දෙසීයක් හොඳයි. මූ නිකං මුවන්පැලැස්සේ පිනා වගේනේ. උංගි මොකට කැමති වුනාද දන්නෑ. සල්ලි හැදෙන්නේ ගස් වලනම් කෙල්ලෝ බඳින්නේ 🐵 වඳුරන්ව කිව්වලු.. ඒත් ඌට ඇති සුල්ලියකුත් නෑනේ.
මීගමුවේ බේබදු සංගමේ කට්ටිය ඇවිත් දන්සිරි අයියාව සිප වැලඳගන්නවා.

"මාර සීතලක්නේ තියෙන්නේ"

උරහිස් අකුලගෙන උන් උන් කතා වෙනවා. ඒ කියන්නේ ආපු ගමන් රත්වෙන්ඩ ඕනි කියලා ව්‍යංගයෙන් කියනවා.ගහට ගහක් මොරටුවේදි හම්බුවෙනවලුනේ. දැන් ඉතිං අර සංග්‍රහයට ප්‍රතිසංග්‍රහය හම්බු වෙයි. දන්සිරි අයියලා උංගිගේ තාත්තගේ පූර්ණ අනුග්‍රහයෙන් ඔයේ පළතුරු වඩියක් දැම්මා කියලා ආරංචියකුත් ආවා.

කොටහුල හෙට...

දැන් ඉතිං මන්තිරි අයියයි.. නිමල් අයියයි.. දන්සිරි අයියයි.. චූටප්පයියයි.. මීගොමුවේ බොන සෙට්ටෙක එක්කරගෙන අපේ ගෙදෙට්ට සේන්දු වෙනවා. උලු ගෙදරින් වෑර් ඇදලා හොරෙන් ගත්ත විදුලියෙන් අපේ ගෙදරයි උංගිලගේ ගෙදරයි ඒකාලෝක වෙනවා. අපි පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩී යනවා. කෝකටත් කියලා පුංචිබණ්ඩේ අයියා පැට්‍රෝල් මැක්ස් එකට මැන්ටලයක් හයි කරලා හුලං ගහනවා. කියන්ඩ බෑනේ.කරුමෙටවත් ලයිට් ගියොත්.  දැන් ඉතිං අපේ අම්මා.. ආච්චි ඇතුලු පිරිස හෙට හවස් වෙනකන් උංගිලාගේ ගෙදර නිසා මීගමුවේ සහ අපේ ගමේ බේබදු සෙට්ටෙකේ තාවකාලික නවාතැන බවට අපේ ගේ පත්වෙනවා. පුංචිබංඩේ අයියත් පැට්‍රෝල් මැක්ස් එක හදලා අපේ ගෙදෙට්ට ඇවිල්ලා බේබදු සංගමේ සාමාජිකත්වය ලබාගන්නවා. දැන් පිරිමි පාර්ශ්වයට අයිති සියලුම වැඩ අවසන්. ඉතිරි වැඩ හෙට හවස දක්වා ගැහැණුන් විසින් පාලනය කෙරෙනවා.

"
අද කෙල්ලට ඇස්වහ කටවහ ටිකක් පුච්චන්ඩ වෙයි."
"
හැබෑ නේන්නම් කතාවෙන් කතාවෙන් තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා"

උංගිට ඇස්වහ වදින්නේ හෙට ඉඳංය. වැඩියෙන්ම හෙට මීගොමුවේ හෝතඹුවාගෙන් ඇස්වහ වදින්ඩ නියමිතය. කටවහනම් දැනටමත් වැදිලාය . ඒ ගමේ කොටහුල් නොවූ නෑම්බියන්ගෙන්‍ ය.

"
උංගි ඉක්කන්ට ලොකු වුනා. අනේ අපි තාම ලොකු උන්නෑනේ"


උන්ගේ තුඩ තුඩ කියැවෙන වචන පේලිය එයය.
උංගිට කටවහ වැදිලා තියෙන්නේ උන්ගෙන්‍ ය. ඉතිං උන්ගේ ඇස්වහ කටවහ දූරිම්භූත වෙලා යන්න ඇස් වහ කටවහ පිච්චිය යුතුය. එය කරන්නේ මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍යය...
බදාදා හෝ සෙනසුරාදා දවසක්.
ගිනි කබලක්
පොල්කටු අඟුරු සෑහෙන පමණ
වියලි මිරිස් කරල් හත අටක්
අබ මිටක්
ලුණු කැට මිටක්

ක්‍රමය....
ගිනි අඟුරු කබලට දමා එයට මිරිස් කරල් ටිකද කඩා දමා ලුණු කැට සහ අබ ටිකින් ටික එකතු කරන්න.  අබ සහ ලුණු නිසා පිපිරීම නිසා නැඟෙන චට..පට.. හඬත් එයින් මිරිස් නිසා වෑහෙන සැර දුම ගෙයි අහුමුලු වලට සහ ගේ වටේට අල්ලා තුන් මන් හන්දියකට ගෙන ගොස් දමන්න. සියලු ඇස්වහ-කටවහ දෝෂ නිවාරණයි..අදටත් අපේ මධ්‍යම කඳුකරයේ සහ කන්ද උඩරට ඔය ඇස්වහ කටවහ නිවාරණය ක්‍රියාත්මකයි .

"
කැහ්..කැහ්..කැහ්..කැහ්"

මිරිස් සැරට කැස්ස අනිවාර්‍යයි. ඒක තමයි ඕකේ අතුරු ආබාධේ.
මම සාමාන්‍ය පෙල පාස් වෙච්චිදා අපේ අම්මා මටත් ඕවා පිච්චුවා මතකයි.

ගෑණුන්ගේ.. කතාවෙන්.. ඕපදූපයෙන් උංගිලාගේ ගේ පිරී ඉතිරී යනවා.
බේබදු නඩේ කතාවෙන් .. හිනාවෙන්... ගීතයෙන් අපේ ගේ පිරී ඉතිරී යනවා. බේබදු සංගමේ ගහණ ඝනත්වය පැයෙන් පැයට ඉහල යනවා. මීගොමුවේ එවුන් මීගොමුවෙ ගුණ සහ එහේ ආගිය විත්ති ගැන ගජබින්න අත අරිනවා. අපේ සෙට්ටෙකත් සෙකන්ඩ් වෙන්නෑ ආය. අපේ එවුමුත් ඊට වඩා ලොකු ගජබින්න අතාරිනවා.

"
ඔක්කම හොඳයි මෙහේ සීතලයි කූඩැලු ප්‍රශ්නෙයි නැත්තං"

"
සීතලටනම් මෙහෙට්ටම හදපු ඌව ග්ලේන් තියෙනවනේ. රත් වෙන්ඩ. කූඩැල්ලොනම් ඉතිං සබන්..අලු..ලුණු දැක්කද පන කඩාගෙන දුවන්නේ.."

"
අපිනම් ඉතිං ලේ බේරෙන මේ මාලු කාලා තමයි මේ ඇඟවල් හදාගත්තේ.."

බයිට් එකට වෙනම උයාගෙන ආපු මාලු කෑල්ලක් කන ගමන් මීගොමුවේ එකෙක් කියනවා.

"
අපිනම් ඇඟ හදාගත්තේ මෙව්වයෙන්.."
ත්‍රෛයිලෝක පත්‍ර ටිකක් ඔතන ගමන් චූටප්පයියා කියනවා.
කට්ටියම කොක් හඬ ලාලා හිනාවෙනවා.

කට්ටියටම වෙරි උනාට පස්සෙ ගිහිං අස්පස් කරන මුවාවෙන් ඉතුරු කොට ටික ගහන එක තමයි මගේ ප්ලෑන. කොහොමත් තව ටිකකින් කට්ටියගේ කන් සාක්කුවේ තියෙයි.

"
දන්සිරී...දන්සිරීඊඊඊ... මේ හට්ටෙක ගහන්නැද්ද බං. "

"
අරි...අරී... ආච්චි අවෂ් වෙලා ගාමු"

"
ගහයි..ගහයි.. ගිනිවතුර කටහලේ පැලිලා පැලිලා වචනත් පැටලෙනවා.. හට්ටෙක නැතුං කෙල්ලට කොහොමද වතුර වක්කරන්නේ"

හට්ටෙක කියන්නේ හෙට උදේට උංගිව නාවන්න ආවරණය කරලා හදන මඩුවට. එතන තමයි වතුර වක්කරන්නේ..
පුංචිබණ්ඩේ අයියා හට්ටෙක ගහන්ඩ දුවනවා. දන්සිරි අයියටනම් කෙලින් කටින් ඉන්ඩ බැරුවා.

"
චූටියෝ...චූටියෝ..මෙහෙ වරෙන්.. ගිහිං අර පේරවත්තෙ වැලෙන් සමන්පිච්ච ටිකක් කඩාගෙන වරෙන්. යකෝ කිසිම සූජානමක් නෑනේ මෙවුන්ගේ"

ආච්චි බර කරට ඇරං වැඩ. වැඩ කරනවට වඩා එයා තමයි එතන හෙඩ් කියලා අනික් කට්ටියට අඟවන්ඩ කටින් වැඩ.. ඒ කියන්නේ කටින් බතල හිටෝනවා. කැවිලි බදිද්දි වුනත් මික්ස් එක අනන්නේ වෙනම තැනකට ගිහිං. ඇයි පදම ගන්න දන්නේ එයා විතරයි. ආච්චිගෙත් ආය ගුරු මුෂ්ඨිය. කැවුන් හදන ක්‍රමේ එයා හොයාගත්ත කියලා තමයි හිතාගෙන ඉන්නේ. කොහොමට හිටියිද අර තෝමස් අල්වා එඩිසන් වගේ විද්‍යාත්මක හොයාගැනීමක්කත් කරානම්. අපිට විසුමක් වෙන්නෑ මේකේ. කැවිලි බදින අස්සේ මාර ඕපදූප ගොඩක් රන් වෙන්නේ. අර ගෑණි අර මිනිහත් එක්ක බුදියගත්තුවා. අර ගෑණි අර මිනිහගෙන් දික්කසාද වෙච්ච ඒවා. අර කොල්ලා අර තාත්තට අම්මට නොසලකා හරින ඒවා. අර යේලියි අර නැන්දම්මයි කෙහෙවලු පටලගන්න ඒවා. අර මිනිහා බීලා මැරෙන්ඩ වැටිලා ඉන්න ඒවා. අර මිනිහගේ 🚚 ලොරිය පිනෑන්සෙකෙන් උස්සපු ඒවා. අරකද... මේකද....මෙතන මාතෘකාවට බඳුන් වෙන්නේ මෙතන නැති උන්ගේ ඕපදූප. මෙතන ඉන්න එවුන් ඔක්කොම පත්තිනි අම්මලානේ.

"මේ සුමනෝ ඇත්තද බං මාටියාගේ රා අල්ලන්ඩ පොලීසිය සිවිලිං පිටිං ආවා කියන්නේ"

"
සිවිලිං පිටිං...?"

"
ඔව් සිවිලිං පිටිං.."

"
සිවිලිං පිටිං නෙවෙයි නැන්දේ සිවිල් පිට"

"
ආ..ඔය මොකක් හරි කමන්නෑ බං"

ඔය වගේ ඉංගිරීසි වල දැමීමුත් සිද්ද වෙනවා.

"
අපේ පැල්ලැහැ පුතා එදා රෑ අපිට ලන්ච්චෙකක් දුන්නනේ.."

"
අන්න පුතේ කැට්.."

ඕවා අපේ ගමේ...                                                                                                      මේවා කොලඹ..

"හෙලෝ මං කොටුවේ කෝච්චියට නැගලා ඉන්නේ??"

"
කොහේද ඉන්නේ"

"
පිටිපස්සෙම ඉඳලා තුන්වෙනි බොක්ස් එකේ.."

"
ඒයි අර බලපං අර කෙරවලේ පංජාරියක් ගහලා යන කෙල්ල"

"
මොකක්..පංජාරියක්..? පංජාරියක් නෙවෙයි. ඒ බං පන්ජාබ් එකක්නේ"

"
අපේ ගෙදෙට්ට 🐕 බල්ලෙක් ගෙනාවා"
"මොකද්ද වර්ගේ?"

"
ජර්මන් සෙටප්"

ඉතිං මං දූවලා දුවලා යනවා පේරවත්තේ සමන් පිච්ච මල් කඩන්න.
ඒ ඇවිල්ලා බේබදු නඩේ බීපු තැන අස්පස් කරනවා. සමහරක් උන් වැටුණ වැටුණ තැන බුදි. සමහරක් එවුන් අතපත ගගා පැල්ලැහැට ගිහිං කනවා. සමහරක් එවුන් උංගිලාගේ ගේ ඉස්සරහ් හට්ටෙකේ ඔලුවට අත තියාගෙන අයියෝ මොනවද පෙව්වේ කියන්නා වගේ බලාගත් අතේ බලන් ඉන්නවා.
මම කොස්ස ඇරං පාටිය තිබ්බ තැන සුද්ද කරනවා.

"
මුං බීලා නෙවෙයි රීලා. යක්කු නටපු පිට්ටනිය වගේ"

ඉස්සල්ලම මම චෙක් කරන්නේ කොට. ඒ කියන්නේ බෝතල් වල ඉතුරු වෙලා තියෙන එව්වා.

"බිංදුවක්කත් නෑ. බෝතල් මිරිකන් බීලා"

ඊට පස්සෙ මං බලන්නේ ග්ලාස් වල ඉතුරුවෙච්චා. හැම එකෙක්ටම වගේ අන්තිමට දාගත්තු සොට්ටෙක අඩු වැඩි වසයෙන් බොන්න බැරි වෙලා තියෙනවා. එව්වා ඔක්කොම එක බෝතලේකට එකතු කරාම කාලකට වඩා පිරෙනවා.

"
ග්ලබ්...ග්ලබ්..ග්ලබ්...ග්ලබ්.."
බිදුවක් නෑරම ශ්‍රී ලාංකිකයි. මගේ උගුර පිච්චිල යනවා. බිං කලුවර වැටෙනවා. නිදිමත දැනෙන්ඩ ගන්නවා.
*************************************************
"
චට..පටාස්...ඩෝං..පටාස්..චට..පටාස්..චටස්.. චටස් ..ඩෝං"

පහුවදා උදේ පාන්දර මං උඩ ගිහිල්ලා බිම වැටුනේ උංගිගේ නැකතට රතිඤ්ඤා පත්තුවෙන හඬ ඇහිලා.
ඊයේ රෑ කනමදයා වගේ බිව්ව නිසා වෙලාවට ඇහැරෙන්ඩ බැරිවුනා. යකෝ රතිඤ්ඤා පත්තු කරන්ඩ හිටියේ මමනේ. මම ඇඳෙන් පැනලා වතුර බැරල්ලෙකෙන් මූණ පිහදාගෙන ඇඳුම් ඇඳලා උංගිලාගේ ගෙදෙට්ට යනකොට පෙරහැර ගිහිල්ලා.

රාජකාරිය නිමාකොට මෝල් ගහකුයි පැදුරකුයි ඔතාගත්තු රෙදි නැන්දා සල්ලිත් අරං කැවිලි පාර්සලේකුත් ඔතාගෙන යන්ඩ සූදානම.
ගෙට ඇතුල් වෙන තැනම නිවිච්ච පහන්... පහුකරගෙන ගෙට යද්දි යකෝ කැවිලි මේසේ..

කැවිලි මේසේ එක තැනක උංගි අලුත් ඇඳුමක් ඇඳන් විරාජමාන වෙලා ඉන්නවා. දෙපැත්තේ උංගිගේ අම්මයි තාත්තයි.. ඊගාවට අපේ ආච්චි ගමේ ගෑණුන්ගෙන් මේසෙ පිරිලා. මේසේ ඉඳගන්ඩ ඉඩ නැති එවුන් බිත්තියට හේත්තු කරලා වටේට තියලා තියෙන පුටුවල ඉඳගෙන. මාව දැකලා උංගි මෙහෙක් කරලා හිනාවුනා. මීගමුවේ හෝතම්බුවා උංගි දිහා කන්ඩ වගේ බලාගෙන ඉන්නවා. ගොදුරකට ඉව අල්ලන කපටි නරියෙක් වගේ.. සෙටප් එකේ කන් කරච්චලෙන් දෙසවන් බීරි වෙලා යනවා.

"
අඩු කරපල්ලකෝ ඔය මලවදේ. මෙලෝ දෙයක් ඇහෙන්නෑ. පස්සෙ දාගනිල්ලා. දැන් කට්ටිය එන වෙලාව."
ආච්චි කෑගහනවා. සෙටප්පෙක නිහඬ වෙනවා.
උංගි හිටපු විදියමයි. ටිකක් සුදු වෙලා. ලොකු වෙලා නෑ.
මිනිස්සු එනවා. උංගි වඳිනවා. ලිවුම් කවර දෙනවා. ඒවා උංගිලාගේ අම්මා ගන්නවා.
මිනිස්සු එනවා. උංගි වඳිනවා. ලිවුම් කවර දෙනවා. ඒවා උංගිලාගේ අම්මා ගන්නවා.
දැන් කැවිලි පෙවිලි කාලා ගෑණු කුස්සියට සේන්දුවෙනවා දවල් ඩිනර් එක උයන්න.
(
ඇයි යකෝ රෑට ලන්ච්නම් දවල්ට ඩිනර් නේද?)
මීගොමුවේ හෝතම්බුවා උංගිගෙන් ඇස්දෙක මුදෝගන්නෙම නෑ. ආච්චි රවනවා. මීගොමුවේ එකා අපේ ගෙවල් දිහාට ලිස්සලා යනවා. ඒ පස්සෙන් එකා දෙන්නා අපේ ගෙවල් කරා නික්මෙනවා.

"
හිස් බඩටම පැලෙන්ඩ වගේ යන්නේ ලෝදිය"

ආච්චි හින්ට් පාස් කරන්නේ ඔහොම.
උංගිලාගේ කොටහුලට තැබෑරුම වෙලා තියෙන්නේ අපේ ගෙදර. නිල යටිතල පහසුකම් සලසන්නා මං. ඔය බයිට් ගේම.. සිකරට් ගේම වගේ. සිකරට් ගෙනාවම ඉතුරු සල්ලි රාජසන්තක වෙනවා. ඒක තමයි ටිප්පෙක. දැන් පැල්ලැහැට ගිහිං තේ බීලා එන පිරිමි කාණ්ඩේ අපේ ගෙදෙට්ට සම්බන්ධීකරණය කරන්නේ පුංචිබංඩේ අයියා. එහෙන් තේ බීලා ඇවිල්ලා මෙහෙන් ගිනිවතුර බොනවා.
උංගිලාගේ කුස්සියේ ආයේ ගෑණුන්ගේ කොක් හඬලෑම්..ඕපාදූප ... ආගිය කතා වලින් පිරී ඉතිරී යනවා... ලහි ලහියේ දවල් ඩිනර් එක සූදානම් වෙනවා.. ඔය ඩිනර් එකම තමයි රෑ ලන්ච්චෙකටත් කැරකෙන්නේ... ඇයි දවල් කෑම කාලා ගෑණු ඔතාගෙනත් යනවනේ. එවුවටත් එක්ක තමයි උයන්නේ. උංගි අනික් කෙල්ලොත් එක්ක එකතු වෙලා කුටු කුටු ගගා ඉන්නවා. මං හිතන්නේ සති ගානක් ගත කරපු කරුවල ජීවිතය ගැන වෙන්ඩ ඇති. නැත්තං ඉප්පන්ට ලොකුවෙන හැටි ගැන නෑම්බියන්ට දේශනාවක් දෙනවද කොහෙද?
උංගිලාගේ අම්මයි අපේ ආච්චියි කාමරේකට වැදිලා අර හම්බවෙච්ච ලිවුම් කවර කඩ කඩ සල්ලි ගනිනවා.
මීගොමුවේ ගෑණු ආය කුස්සියේ වැඩකටවත් උදව් වෙන්නේ නෑ. මහේශාක්‍ය ලීලාවෙන් පුටු වලට වෙලා පිටි මුට්ට තිබ්බා වගේ ඉන්නවා. ආච්චි ඇවිත් උන්ට එහෙන් රවනවා. මෙහෙන් රවනවා.
"අපි දැක්කනේ ඕකුන්ගේ කැරැට්ටුව"


ආච්චි කුස්සියට ගිහිං ගමේ ගෑණුත් එක්ක කියනවා.
ආයේ සෙටප් එකේ හඬ වැඩි වෙනවා. උංගිලාගේ ගෙදර මිදුලට ආපු බේබද්දො ටික නටනවා.. සිංදු කියනවා.. ගමේ එවුමුයි මීගොමුවේ එවුමුයි හරි හරියට නටනවා.. නටනවා නෙවෙයි මැටි පාගනවා..ඉතිං රෑ මැද්ද වෙනකන් ඕක ඇදි ඇදී ඇදි ඇදී යනවා..

පසු සටහන :
උංගී පාලයා හෝ මීගොමුවේ හෝතඹුවා සමඟ විවාහ වූයේ නැත.

(
අලුත් කතාවකින් යළි හමුවෙමු)

17 comments:

  1. හැක්.. මැනර්ස් ටික එකතු කළත් කාලයිද තිවුනෙ. අවුලක් නෑ පෘට් ජූස් හින්ද හොඳ සැරට තියෙන්න නැතෑ.

    එහෙනං එහෙමලු කොටහුල ඉවර උනේ.

    ReplyDelete
  2. 'ජර්මන් සෙටප්' ඒකත් මරු බල්ලෙක් තමා.

    ReplyDelete
  3. ඉවරද බං? අපරාදෙ. ඊළඟට ලියන්න තියෙන්නෙ උංගිගෙ මඟුල් ගෙදරද?

    ReplyDelete
  4. ඉහින් කනින් ආතල් පිට විය

    ReplyDelete
  5. පාලයවයි හෝතම්බුවයි අතෑරල උංගි වෙන එකෙක් එක්ක ගියපු එකත් ලියහංකො.

    ReplyDelete
  6. එල, ඔහොමත් සුද්දා මරනවද බං..

    ReplyDelete
  7. බොලා ආච්චිට සොට් එකක් දීල පටංගන්ඩ තිබ්බෙ බේබදුකම... එහෙම උනානං ඔයිට වඩා ආතල් දෙයක් අපට කියවන්ඩ තිබ්බ

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔව් ඩ්‍රැකියා ටෝච් එකෙන් නයාට ගැහැව්ව සීන් එක ආච්චිගෙන් අහගන්න තිබ්බා. අපරාදෙ

      Delete
    2. අනේ ඕකගෙ චෝට් එක. හරිහමං බැටරි කෑලි පහක්වත් දාල තිබ්බෙ නෑ ඒකෙ.

      -னයා-

      Delete
    3. සුජියා, ආච්චිට හෑන්ඩ්බ්‍රේක් ගහන්ඩ වෙන්නෙ... හැක්!

      නයා, ඇයි මං බොට බැටරි කෑලි වලිං වෙන වෙනම ගැහුවෙ? මතක නැද්ද?

      Delete
  8. උංගිගයෙි මේනකයගයෙි සීීී්න් එක ලියන්නෑෑෑෑද?

    ReplyDelete
  9. යාං හෑල්ල නැති අඩුවට නියමයි. ගමේ ගෑනුන්නේ ඕපා දූප අහන්න මං යන්නේ දළු කඩන තැනට.උන් එලොවක් මෙලොවක් නැතිව කියවනවා. අර සිරසෙ ටෙලිකාස්ට් වුණ නයි කතාවෙ එප්සෝඩ් ඔක්කෝම දැනගත්තේ අපේ දළු කඩන අක්කලාගෙන් හා ඇන්ටිලාගෙන්. කොහෙත් එකයි වෙනසක් නෑ.

    ReplyDelete
  10. එහෙනං ජම්බු ගහෙන් වැටිලත් ඉවරයි, ඉක්මනට අලුත් කතාවක් පටන් ගනිං !

    ReplyDelete
  11. සුපිරි ලිවීමක්. සහසුද්දෙන්ම ඇත්ත. මමත් මේ දේවල් අඩුවැඩි වශයෙන් විඳලා තියෙනවා. සන්නස්ගලගෙ අම්මා නවකතාවේ විස්තර කරන ගම ඔයාගෙ විස්තරවලට ගොඩක් කිට්ටුයි. දෙන්නම එක ගමේවත්ද.

    ReplyDelete