බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, June 12, 2019

ඡන්දේ - 02 කොටස

වෙසක්කෙකටත් ගමේ ගියා. කහ පැහැති සපු මල් පිපී සුවඳ විහිදුවමින් තිබිණ.
බල්බ් වැල්.. වෙසක් කූඩු.. ගමේ ඉහල පහල.. සීතල...
“බියර්රෙකක්කත් ගහන්ඩ නෑ බාර් වහලනේ..”
“මං ආසයි ගමේ ගිහිං එළවලුවක් වවාගෙන ඉන්න”
ගමේ ඉන්න උන්ගේ අවසන් කෙඳිරිය කොළඹ යෑම. කොළඹ ඉන්න උන්ගේ අවසන් කෙඳිරිය ගමේ යෑම.
බෝම්බ පිපුරුණේය. බෝම්බ පිපුරුමෙන් යූ.එම්.පී ආණ්ඩුව අනාත නාථ වෙලාය. “අවුරුදු විසි අටකින් ගත්ත ආණ්ඩුව කොරන් යන්න ඕකාට පින නෑ. එක්කෝ අර සජිත්ට හරි දීලා රනිලා තොලොංජි වෙලා යන්න ඕනි. තිබ්බත් වැඩක් තියෙන එකක්යැ. අපිට මොනාද කරේ. අම්මපල් මේ පාරනම් මගේ ඡන්දේ කටුගානවා.”
අම්මා මට ටැලිපෝං කෝල් එකක් ගත්ත වෙලාවක ආවේගය පිට කලේ එහෙමය.
හාලිඇල ටවුම දෙකට දෙබෑ කරමින් බදුලු ඔයේ අනුශාඛාවක් ටවුම මැද්දෙන් නිසොල්මනේ ගමන් කරයි. ඉස්සර ඔය පාලම ඉහත්තාවේ ලොකු හාල් මෝලක් තිබ්බා. දැන්නම් ඒක අභාවයට ගිහිල්ලා. බණ්ඩාරවෙල පාරේ මීටර් හත් අටසීයක් ගියාම කෝවිල. ඇටම්පිටිය පාරේ මීටර් හත් අටසීයක් ගියාම මුස්ලිම් පල්ලිය. බණ්ඩාරවෙල පාරේ නුග ගහ යටින් පැල්ලැහැට බැහැලා ඇවිදගෙන ගියාම හාලි ඇල්ල කෝච්චි ඉස්ටේසම.ඊගාවට උඩුවර.ඊගාවට දෙමෝදර. ඊගාවට ඇල්ල. ඊගාවට බණ්ඩාරවෙල. ඔය ටවුම බේසමක් වගේ. වටේ කඳු. මැද ටවුම. සීතල මැද්දේ මීදුමෙන් කඳු වසාගත්තාම හරිම මූසල පාටයි. කන්දෙගෙදර පාරනම් කොයි වෙලාවෙත් පාලු පාටයි. හැම වෙලේම සෙනඟ අඩු නැත්තේ සදන් අයියගේ සැලූන් එකෙයි ප්‍රියන්තයගේ බාර් එකෙයි තමයි. මොකා මොන බෝම්බ ගැහුවත් මෙහේ දෙමළ..සිංහල..මුස්ලිම් මිනිස්සු සමඟියෙන් සංතෝසෙන් ඉන්නවා. අවුලන්ඩ හැදුවට ඇවිලෙන්නේ නෑ.
“යෙපි සංතෝෂෙන් යින්නේ...දුක ශෝකය නේ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී.. යෙක හෙලියේ බත් කන්නේ යෙක පැදුරේ බුදියන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී....”
අපි ඉස්සර පුකට අව්ව වැටෙනකන් නිදාගන්න එක තමයි කරේ. සමහර දවස්වලට අම්මා ඇවිත් ඉස්කෝලෙ යන්න දෙතුන් පාර කතා කරත්
“ම්හු”
හතරවෙනි පාර සීතල වතුර ප්‍රහාරයක් බව දන්නා අපි දඩ බඩ ගාලා නැගිටිනවා.
“අම්මට හුඩු හතයි”
දඩ බඩ ගාලා ලිප්බොක්කට ගිහිං ගිනිපෙල්ලක් අරං චොරෝස් ගාලා වතුර එක්ක ඔබලා අඟුරු කැටේකුත් අරං සල්ලයිට් කෑල්ලත් උස්සන් ඇලට දුවනවා.
සීතල වතුර කටට ගත්තම දත කට පූට්ටු වෙලා යනවා දැනෙනවා. රෙදි හෝදන්ඩයි නාන්ඩයි දෙකටම සල්ලයිට් තමයි.
“මෘදු සබන් ඒ කියන්නේ බේබි සබන් වල තියෙන්නේ පොටෑසියම්. හමට අගුණ නෑ. රෙදි හෝදන සබන් ඒ කියන්නේ සල්ලයිට් වල තියෙන්නේ සෝඩියම්.”
“ඌරන්ට මොන සෞඛ්‍යයද මහත්තයෝ.”
ඔන්න දැන් පුක කැඩිච්ච කඩි වගේ අපි දුවනවා. නවතිනවා.. දුවනවා .. නවතිනවා.. ඉස්කෝලෙට කිලෝමීටර් එකයි කාලයි. A5 මාර්ගය. පේරාදෙණිය බදුල්ල චෙන්කල්අඩි හයිවේ. එක කිලෝමීටර් කණුවක් සොහොන ගාව. අනික පංසල ගාව. ඊට ටිකක් එහායින් ඉස්කෝලේ. කිලෝමීටර් එකයි කාලයි.
“පී.ටී..සිංහල..ඉංග්‍රිසි..ආගම..විද්‍යාව..ගණිතය..චිත්‍ර.. සමාජ අධ්‍යයනය”
“ඇයි ඉන්ටවල්”
“මෙවර මධුරිගේ පාසල් නිවාඩුවෙන් වැඩි කොටසක් ගෙවී ගියේ අලුත් අන්දමේ වැඩක් සඳහාය”
“ඉකෙයා බාල වියේ සිටම රාත්‍රී අහස දෙස බලන්නට පුරුදුව සිටියේය.”
“හතර රියන් සහ දෙරියන් එකම ගමේ යාලුවෝය. මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි.”
“මීටර් සියය..නූල් කෑල්ල..සාර භූමි..”
“තිසර සරුයි අංජුලා ටීචයි යාලුයි”
“අංජුලා ටීච බැඳලනේ.මහත්තයා රට”
“ආදරේට එවුවා බාධාවක් නෙවෙයි”
වෙඩි වගේ විනාඩි දහයෙන් උදේ ඉස්කෝලේ ගිය අපි හවස එද්දි පැයක් විතර යනවා. නාකි බල්ලෝ කොළඹ ගියා වගේ.
පිට්ටනිය අයිනේ කොට්ටම්බා ගහට පොලු ගසා කොට්ටම්බා තලා කෑම. ඉස්කෝල කැලේ කැහැලියා..කුඩු මිරිස් කැඩීම..මිනී මහත්තයලගේ ගහෙන් හොරෙන් චෙරිස් කැඩීම. ඉස්කෝලේ අරින වෙලාවට මිනී මහත්තයා පොල්ලකුත් තියාගෙන චෙරිස් ගහ යට ඉන්නවා.පංසලට පැල්ලැහැ ගල් රැන්දේ මොර ගස්වල අතු කඩා ගෙඩි කෑම.. කැකුණ ගහේ ගෙඩි තලා මද කෑම.. වැඩිය කෑවොත් කලන්තේ වගේ.. පකඩෙ මාමලාගේ ගල්රැන්දේ කොක්කු ගෙඩි කැඩීම.. කැටේ ගෙදර වත්තේ තෙල් මොට්ටු කෑම.. බූටා ගෙඩි කෑම බූටා කොල කෑම..ඉස්කෝලේ මහත්තයලගේ පිහිල්ලට කට අල්ලා වතුර බීම.. අතේ සත පනහක් ඇතොත් බංටි ටොපි කා කොලය ඇදීම .. පේරවත්තේ වත්ත අයිනේ පේර ඇතොත් පේර කැඩීම.. පැණි තෝර කෑම.. ගෙදර ගිහිං බත් කෑම..
“උඹලගේ බඩේ එච්චර ඉඩ තියෙනවද? කොන්ක්‍රීට් ටිකක් කාලා යකඩ ඇණ ටිකක් ගිලලා වතුර බීපල්ලා.”
ගෙදරට යන්ඩ ඉස්සෙල්ලා අපි යන තව තැනක් තියෙනවා. ඒ විජේ අයියගේ මඩුව. ලී වැඩනම් ඉතිං විජේ අයියා තමයි. හයි රේට්. කොලිටි වර්ක්ස්. අපි ගෙදරට යන්න කලින් විජේ අයියගේ මඩුවට ගිහිං ලී කැපෙන .. යතු ගෑවෙන.. නියන් ..යතු මුවහත් කෙරෙන දිහා බලා හිඳීම සහ ඔය වුවමනාවක් නැතත් යතු රොඩු හරි ලී කුඩු ටිකක් හරි සාක්කුවේ ඔබාගෙන යන එක සිරිතක්. විජේ අයියා ප්‍රියන්තයගේ බාර් එකේ නිත්‍ය සාමාජිකයෙක්.
අපේ බංඩෙ බාප්පත් වඩුවෙක් තමයි. ඒත් එයා දන්නේ ටවල් රැක් හදන්ඩ විතරයි. ඇඳන් හැදුවොත් ඉතිං
“චිරිස්..බිරිස්..චිරිස්..බිරිස්..ජරස් ..බරස්..ජරස් ..බරස්..”
අලුත බැඳපු ජෝඩුවක් ඇඳක් හදවගෙන ගිහිං මල විජ්ජුම්බරයක් වුනා. ආය ඇඳ හදපු ගාස්තුව දෙන්ඩ වුනාද කොහෙද.. කොඳු නොකැඩී බේරිලා තියෙන්නේ අනූ නමයෙන්.. නිකං බාස්.. බංඩෙ බාස්..

“පේමදාස මහත්තයා එනවළු බදුල්ලට විසි නමය ... සුයං රැකියා ආධාරයි වියළි ආධාරයි බෙදනවා කියලයි ආරංචි. මං ඔහේගේ නමත් දැම්මා”
මාලු ඇන්ටි කඩිමුඩියේ ඇවිත් අම්මත්තෙක්ක කියෝනවා. මාලු ඇන්ටි තමයි අපේ ගමේ එසසච් ජාචික පස්සේ සම්බන්ධීකරණ නිලධාරී. චී ලංකා නිදහස් පස්සේ සම්බන්ධීකරණ නිලධාරී නෙවෙයි ඇමති වගේ ඉන්නේ නැම්බර් මාමා. ඔය නැම්බර් කියන්නේ ඉස්සර ගංසබා වල තිබ්බ ලොකු පට්ටමක්ලු. හරියට ප්‍රාදේශීය සභා මංත්‍රී කෙනෙක් වගේ. ඉතිං දැන් ගම්සබා නැතත් අදාල පට්ටම නැතත් නැම්බර් මාමා ඉන්නේ අඩි ගානක් උඩින්.පාරේ යන්නේ මෙන්න මෙහෙම. දන්නැද්ද ඉතිං මේ පැතිවල උන්ගේ සද්දෙයි පඩ ගඳයි විතරයිනේ. ඔය නෙලුදණ්ඩෙත් ඉන්නවා නැම්බර් කෙනෙක්. මිනිහට තියෙන්නේ කතා පවත්තන මේනියාවක්. මං හිතන්නේ නෙලුදණ්ඩෙ මරණ සමිතියේ ලොකු කාලයක් මොකක් හරි තනතුරක හිටියා. ඉතිං මිනිහා කරන්නේ එහේ විතරක් නෙවෙයි අහල ගම් හතකම මල ගෙවල් උනාම ගිහිල්ලා අනාරාධිතවම කතා පවත්තන එක. ඒවා හරි ආවේගශීලී කතා. හරියට දේශපාලන කතා වගේ. කතා කරන ගමන් හොරෙන් හොරෙන් වට පිට බලනවා. තමන්ගේ කතාවෙන් මිනිස්සු මුසපත් වෙලාද කියලා. කතා කරන ගමන් අර පේමදාස මහත්තයා වගේ කකුලේ ඇඟිලි වලින් ඉස්සෙනවා. කතාව ඉවරවෙලා බොහෝම උජාරුවෙන් සතුරු බල සේනා දිග්විජය කල කුමාරයෙක් වගේ තුවායත් කර වටේ ඔතාගෙන පැත්තකට වෙලා මිනිස්සු තමන් ගැන අවධානයෙන්ද කිය කිය හොරෙන් හොරෙන් බලනවා. මටනම් මිනිහගේ කතා නිකං පුස්සක් වගේ. ඒත් ගොඩාක් ගම්මුන්ට ඒ කතා මරු.
දැන් ගම්වල තැන තැන පොකට් මීටින් පවත්තන්න හෙන තරඟකාරිත්වයක් තියෙන්නේ.නිදහස් පස්සේ එවුන් එස්සච්ජාතික පස්සෙට වඩා මිනිස්සු තම තමන්ගේ මීටිමට ගේන්ඩ උස්සහ කරනවා. නිදහස් පස්සේ මීටින් නැම්බර් මාමලාගේ ගෙදරද එස්සච්ජාතික පස්සේ මීටින් මාලු ඇන්ටිලාගේ ගෙදරද පැවැත්තෙනවා. ඔය පොකට් මීටින් වලට වි..මු එනවා කියලා පණිවිඩ යැව්වත් එන්නේ වි..මුගේ මල්ලියි ර.මු රත්නායකයි වගේ ලපයි සිපයි තමයි. නැම්බර් මාමානම් පයින්ඩ යවන්නේ බණ්ඩාරනායක නෝනා එනවා වගේ. ඒත් එන්නේ ඔය කටුගහ රත්නායක වගේ ලපයි සිපයි. අපිත් ඉතිං ඡන්ද හිමිකමක් අහල හත් ගවුවක නැති වුනත් ඔය රැස්සීම් වලට යන්ඩ ඕනි. සෙනඟ පෙන්නන්ඩත් එපැයි.
“අයියට එන්ඩ වෙලාවක් නෑ. පේමදාස මහත්තයගෙ මීටින් ඒ නිසා මම ආවේ”
වි..මු ගේ මල්ලී අයියා ලියපු කතාව කියවනවා. අලියා ඉස්සරා කතිරෙ ගහලා ඔයාලගේ ආසනේ ර.මු මහත්තයගේ හය ඉස්සරහ කතිරෙ ගහලා අපේ අයියා ඒ කියන්නේ ඔයාලගේ දිස්ත්‍රික් නායක වි..මු. මහත්තයගේ අංක නමය ඉස්සරහත් කතිරයක් ගහන්ඩ.
එයිට පස්සෙ ර.මු. රත්නායක කතා කරනවා. පිලිගැනීමේ කතාව පාලි සර්ගෙන්. ස්තුති කතාව පකඩෙ මාමා හරි ඡන්නා හරි කරනවා. මාලු ඇන්ටි ගානේ තේ පැන් සංග්‍රහය.  ආච්චිත් ඇවිත් මාරි බිස්කට්ටෙකක් කහට එකේ ඔබාගෙන කනවා. ආච්චිත් ආය කැපුවත් කොල. පකඩෙ මාමටයි ඡන්නාටයි පෝස්ටර් මිටි හතරකුයි තීන්ත බකට්ටෙක්කුයි පින්සලකුයි දීලා කීයක්දෝ සාක්කුවෙත් ඔබලා යනවා.
“ඕකුන්ගේ කාලේ චූටියෝ කන්ඩ තිබ්බෙ නෑ. අපි කෙහෙල් අලත් තම්බන් කෑවා. මිරිස් නැතුව හොදි කාපං. . .සීනි නැතුං තේ බීපං. . . කිව්වේ ඒ කාලේ. හැමතැනම හාල් පොලු. . මිරිස් පොලු. .හඳෙන් හාල් ගෙනල්ලා දෙනවා කියලා ආපු ගෑණි. .
ආච්චි මැතිණිට බනින්ඩ පටන්ගන්නේ ඔතනින්.
ඔය පේමදාස මහත්තයා ඉන්නවා නේද? පේමදාස මහත්තයට විරුද්ධව අපි එකෙක්කත් කට ඇරියොත් බලාගන්ඩ පුලුවන් අපේ අම්මයි ආච්චියි අපිට දෙස්ස කපන හැටි.
“තොපි මහ ගුණමකු ජාතියක්. බඩපොත්ත පිටට ඇලිලා ඉන්නකොට ඔය මිනිහා තමයි විලි වහගන්ඩ වස්තරෙත් දුන්නේ. නිල ඇඳුම් කියලා. ඔය මිනිහා තමයි කූපන් කාඩ්ඩෙක දුන්නෙත්. උඹලට ඉස්කෝලෙදි ඉස්කෝතු. . කිරි. . ඉස්කෝලෙ යනවට දවසට රුපියල් තුන ගානේ දුන්නෙත් ඔය මිනිහා තමයි. දැන් ජනසවිය දෙන්ඩත් යන ඔය මිනිහා දෙවියෙක්. තොපි කරාවො වගේනේ . කරාවෝ ගුණේ නෑ. ලබුමල සුවඳ නෑ.
ජනසවිය දෙන්ඩ ඉස්සල්ලා දත්ත රැස්කරන්න ග්‍රාමසේවක මහත්තයා ගෙයක් ගානේ එනවා කියලා ආරංචි වුනාම අම්මා හොඳ වේවැල් පුටුයි රේඩුවෙකයි ගේ ඇතුලේ කාමරේක හංගලා වේවැල් කැඩුණු පුටුවක් දෙකක් ඉස්සරහින් තියෙනවා. චිමිනි ලාම්පුවත් ගෙනල්ලා කැබිනට්ටෙක උඩ තියෙනවා.
“ගෘහ මූලිකයා?”
“නැතිවෙලා”
“පවුලේ ළමයි?”
“හතරයි”
“ලැයිට් තියෙනවද?”
“නෑ”
“රස්සාව?”
“කුලී වැඩ”
“මාසික ආදායම?”
“අනේ මහත්තයෝ එහෙම කියන්ඩ බෑ. වැස්සොත් වගේ වගක් නෑ”
“අටසීයක් දාමු”
“පන්සීයක් දාන්ඩ මහත්තයෝ”
ඡන්නලා පකඩෙ මාමලා වැඩ පටන් ඇරං. පාරවල් මැද අලි ඇඳලා වි..මු..මු කියලා ලියලා එවුන්ගේ අංක ගහලා. ගස් ගල් වල කොලපාට පෝස්ටර් අලවලා.
පහුවෙනිදට අනික් පැත්තේ එවුන් ඕවා විකෘති කරනව..මු ගේ නමේ රයන්නට ඉස්සරහා කොම්බු ඇඳලා. “රෙමු.
වි..මු ගෙ නමේ මුල් අකුරු දෙකට කලු තෙල් හලලා. “මූ”
“මූ කවුද මූ මොනාද කරන්නේ?”
ඡන්නලා පකඩෙ මාමලා පහුවෙනිදා ඇවිල්ලා මේ විකෘතිය කරපු උන් ගැන අපේ අම්මත්තෙක්ක කතා පවත්තනවා.
“අනුමානයක් නෑ ඕක මැම්බරයගේ වැඩක්. ඕකුන්ටත් එකක්වත් ගහන්ඩ දෙන්ඩ එපා. ඇයි යකෝ අපේ ආණ්ඩුවනේ”
“ලොකු හාන්දුරුවෝ මේ පාර මොකාටද දන්නෑ”

“දෙපැත්තටම. දෙපැත්තෙන්ම සල්ලි දුන්නොත් ලොකු හාන්දුරුවෝ මැද. කොයි පැත්තෙද කියලා හිතාගන්ඩ බෑ.
(තව කොටසක් ඇත)

8 comments:

  1. අනෙ අම්මෝ බං. එක හුස්මට කියෙව්වා...

    ReplyDelete
  2. ටිකයි ලියව්වේ හැක්

    ReplyDelete
  3. Yan හෑල්ල mathak unaa

    ReplyDelete
  4. මේකනං නියමයි ඈ. ඉතුරු කොටහත් ඉක්මනට ලියහං.

    කට ඇරගෙන ඡන්ද රැස්සීං අහගෙන ඉන්නවට උඹලට මොකුත් ලැබුනෙ නැතෙයි.

    ReplyDelete
  5. තෙල් මොට්ටු? බූටා? කොක්කු?

    ReplyDelete
  6. අර මල ඉලව් හෑල්ල වගේ.. නිකං හත්මාලුවෙ නැත්තෙ මොනාද හෙව්ව වගේ හැම සෙද්දම තියේ.. හෙහ්.. පටං ගත්තෙ කෙිහෙන්ද ඉවරුණේ කොහෙන්ද.. :-D

    ReplyDelete
  7. හාලි අල ටවුමේ තියෙන විජේදාස කඩේ දන්නවද මචන්?

    ReplyDelete
  8. සුරංගයා යාං හෑල්ල ලියන්නෙත් නැති නිසා මෙක වත් දිගට ලියපං මචං.එල

    ReplyDelete