බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, September 8, 2015

කෙටි කතාව අංක 01 ............



සීයා........

එකපාරම මහ හඬින් අම්මා බෙරිහන් දුන්නා.

“අනේ ගහක් ගලක් වගේ උන්න මිනිහා.. බුදු තාත්තේ.....“

මුළු ගමම දෙවනත් වෙන්න...උඩ හුරිහෙල කන්දේ ගැටුනු කටහඬ අනෙක් පැත්තේ ‍හොබරැල්ල කන්දේ වැදිලා දෝංකා‍ර දුන්නා.


ගමේ මිනිස්සු පෙරහැරකින් වගේ අපේ ගෙදර පඩිපෙල දිගේ පහලට දොක්කන්න පටන්ගත්තා. ඉස්සෙල්ලම සීලවති නැන්දා..බංඩෙ සීයලෑ ආච්චි...කළුබංඩෙ මාමා...ඒ එක එක අය එන පිළිවෙලට අම්මා ආයෙත් හයියෙන් ඇඬුවා....පපුවට ගහගත්තා...මූණ දෑතින් බදාගත්තා...කොන්ඩේ දෑතින් ඇද්දා....බිම වැටුනා....කලන්තෙ දාලා....

“සීයා මැරුණා“...සදහටම අපෙන් වෙන්වෙලා ගියා... නොඑන ගමන් ගියා.....

“මරණ සමිති‍යේ පොත හොයපං පුතේ“

හොයනව හොයනව හදිසියට කිසිම දෙයක් බෑ හොයාගන්න...ඕකෙනේ සේරම වස්තුව...මරණ සමිතියෙන් දහදාහයි....තාත්තගේ යූනියන් එකෙන් හයදාහයි.....තව තව..සීයගේ විශ්‍රාම අරමුදලෙන්.. කලන්තෙ දාපු අම්ම ඇවිත් ගනන් හදනවා...

සීයාගේ සීතල සිරුර තාම ඇඳ උඩ...ඉහෙන් බහින ලෙඩක්වත් නොතිබුන මනුස්සයා...අන්තිමට දැනගද්දි පිළිකාව මුළු සර්වාංගෙම දුවලා....බදුල්ලෙන් බෑ කිව්වා...මහරගම යැව්වා...මහරගමිනුත් ආයුෂ කාලේ අහවරයි කියලා ආයෙත් ගෙදර එවුවා...දොස්තරල කියපු දින වකවානුවේම උන්දැ දෑස් පියාගත්තා..

“ටෙලිග්‍රෑම්“ ගහන්න ඇටම්පිටියේ තැපැල් කන්තෝරුවට යන්න වුනේ මට...ඉස්කෝලේ සිංහල පාඩමේ අපේ සිංහල සර් ටෙලිග්‍රෑම් ගහන්න උගන්නපු පාඩම අකුරක් නෑර මතකයි මට..ඒක අද ප්‍රායෝගික ක්‍රියාකාරකමේ යොදවන්න වෙන්නේ මට...පෑනකුයි පොතකුයි තියාගෙන නලල රැළි කරගෙන අම්මා ඇඩ්‍රස් ලියනවා...පොත මගේ අතට දුන්නම මමත් පරීක්ෂා කලා...එක නමක් අඩුයි..අම්පිටියේ පුංචි....?

“ඕකි මතක් කරන්න එපා. අපේ මූනෙ දැලි ගෑවා මදිවට...පලයං පණ්ඩිතකම් නැතුව....ඔය ටික ගහලා වරෙන්“

සීයගේ බාල දුව පොඩි පුංචි සීයාට යන්තරේ දාපු අම්පිටියේ කපුවා එක්ක පැනල ගියා...ගම්මු කිව්වෙ ඉනාවක් දීල කියලා...නූලක් පන්නලාලු..එක එක කතා ගමේ එහා මෙහා ගියා...දන්නැද්ද ගම්වල හැටි.....

“බෑ....බෑ“ කිය කියා කැප්පෙටිපොල බස් එක කන්ද නැගගෙන නැගගෙන ඇටම්පිටියට ආවා....අනේ අපිට ආයේ සීයල ආච්චිලා නෑ නේද? අන්තිම පුරුකත් ඉවරයි.

සීයගේ පැන්ෂන් දවසට අපේ ගෙදර ඉතිං මඟුල් ගෙදරක සිරියාවයි. හැම මාසෙම පැන්ෂන් දවස තියෙන ලිස්ට් එකනම් මට කට පාඩම්. එදාට මොන සක්කරයා කිව්වත් මමනම් නෙවෙයි ඉස්කෝලෙ යන්නේ. පැන්ෂන් දවස් කිට්ටු වෙද්දි බලන්න එපැයි අපේ අම්මගෙ කරුණාව...

“තාත්තේ කෑවද?“

“තේ බිව්වද?“

“තාත්තේ බෙලිමල් වගයක් ඇති තම්බලා දෙන්නද?“

“තාත්තේ බෙහෙත් බිව්වද?“

මේ වගේ කතා පැන්ෂන් කිට්ටුව අපේ ගෙදර ඕනිතරම්.

දවසක් ලොකු අම්මා ඇවිල්ලා සීයව එක්කරගෙන යන්න හැදුවා එයාලගේ දිහා..මොන...අපේ අම්මා නෙවෙයි යන්න දුන්නේ..

“මේකි තාත්තගේ පැන්ෂන් තුට්ටුවට වහ වැටිලා “ කියල ලොකු අම්මට කියවිලා අන්තිමට දෙන්නා කෙහෙවළු පටලවාගත්තා... එදා ඉඳං අම්මයි ලොකු අම්මයි නයයි මුගටියයි ව‍‍ගෙයි.

මමයි අම්මයි සීයයි තමයි පැන්ෂන් ගන්න යන්‍නේ. හාලි ඇල තැපැල් කන්තෝරුවට. බලන්න එපැයි සෙනඟ..එදාට ඉතිං එක එක දානපතියන්ගේ පොඩි පොඩි දන්සැල් එහෙමත් හම්බවෙනවා. පැන්ෂන් ගත්ත සැනිං අපි දුවන්නේ ගංගාදීසි හෝටලේට. සීයනම් කිව්වේ සීයලගේ තාත්තලගේ කාලෙටත් වඩා පරණ හෝටලේ කියලා. ඒකේ දෙන පෙන දාන කිරි යාරෙයි...ලොකු උළුඳු වඩෙයි..දුම් දාන මාළු පාන් ගෙඩියයි.... අප්පේ මුළු මාසෙම කටට කෙල උනනවා. පැන්ෂන් පඩිය අම්මගේ අතේ. අම්මට ඕනි විදියට තමයි වියදම. සීයට බෙහෙත් කිරිපිටි ඇයි වයින් ස්ටෝර්ස් එකෙන් බෝතලයක්..මට සෙල්ලම් බඩු..ඉස්කෝල පොත්...තව...තව...තව.....

අන්තිමට මස් කඩේ...බාබත්..කිරිබොකු ..ලිවර්...සුප් කටු...කුකුල් මස්..එළු මස්....මේ හැම දේම...මස් කඩේ ඈයොත් අපිට දෙන්නේ හොඳම මස්...සීයාට තියෙන ගරුත්වයට..එයාල සීයාට කියන්නේ රාළහාමි කියලා.මාත් මස් කඩේදි පපුව ඉස්සරහට දාගෙන ඉන්නේ උජාරුවෙන්....සීයා පොලිසියේ වැඩ කරල තියෙන්නේ...ඉතිං ඔය හැම මසක්ම කනවා... අන්තිමට ත්‍රීවිල් එකක බඩු පුරවං අපි ගෙදර....

අබරං මාමයි බංඩෙ සීයයි අපේ සීයගේ ලඟම යාළුවෝ කියලයි මට හිතුනේ..මේ දෙන්නා පැන්ෂන් දා රෑ එකොලහ දොලහ වෙනකන් අපේ ගෙදර..ඇයි අර බෝතලේටයි මස් ටිකටයි වග කියන්නත් අපේ සීයගේ පුරාජේරු කතා අහන්ඩත් එපැයි. සීයා පොලිසියේ ඉන්න කාලේ කරපු වික්‍රමයන් අර දෙන්නා කට ඇරං අහගෙන ඉන්නවා...දුම් ගුලි වලින් සීයගේ කාමරේ උතුරලා යනවා... අම්මගෙනම් රැවුම් ගෙරවුම් එමටයි..

ලබන මාසෙ පැන්ෂන් 08 වෙනිදා. එදාට අබරං මාමටයි බණ්ඩෙ සීයටයි හුලං තමයි..ඇයි අපිට....?

ඔන්න ටෙලිග්‍රෑම් වැඩේ ඉවර වෙලා මම ගෙදර ආවා...මම යද්දි හිටිය සෙනඟ දෙතුන් ගුණයක් වෙලා..අම්මනම් කියන්නේ අපි ගමේ ඉන්න විදිය දැනගන්න පුළුවන් මරණෙකින් කියලා...ඒක ඇත්ත කියල මට හිතුනෙ අද? ගෙදර ඉඩ අරවන්න බෑ.

ඔන්න ඉතිං මෙහෙ මරණයක් වුනාම අපිට පැවරෙන රාජකාරී...පුවක් කැපීම..ඉලත්තට්ටුව හැදීම...ඒවා අඩු පාඩු පිරවිම..කෝඩියල් ඇල්ලීම...මාරි බිස්කට් ඇල්ලීම..වගේ පොඩි පොඩි වැඩ...මාරි බිස්කට් අල්ලන්න කලින් ඒවා අහුරු තුන හතරක් සාක්කුවල පුරවා ගැනීම අපේ පුරුද්දක්....

“අප්පේ කාලා තියෙන බුලත් ගොඩ.....බතික් කරල වගෙයි මිදුල“

මිනිස්සු පඩික්කම් තිබ්බට බුලත් කෙල ගහන්නෙම මල් පාත්තියටයි මිදුලටයි...උණ පුරුකේ පුළුවන්ද බළු වලිගේ ඇද අරින්න..අපේ අතපය පතුරු යනවා පුවක් කපලම...ඒ තරම් බුලත් කනවා...අත්වල කරගැට...ඇයි බොන බීඩි ගොඩ..සීතලටද මන්දා....යන ගමන් බුලත්විඩ 3-4 ක් ඔතාගෙන බීඩි දහයක් විතර සාක්කුවෙත් ඔබාගෙනනේ යන්නේ....අපේ මළමගුල් ගමට රජමගුල්.

“අනේ මෙතන තිබ්බ හොඳම මල් පැල දෙක උගුල්ලන් ගිහිං“ අම්මා ඇවිත් නිකටට අත තියාගෙන කියවනවා.ඔය හොරෙන් ගලවගෙන යන මල්පැල හොඳට හැදෙනව කියල මතයකුත් තියෙනවා. අනික මිනිස්සු මරණයක් වෙනකන් බලන් ඉන්නේ මල්පැල උගුල්ලන්න.

සීයාට රට අඹ ලීයෙන් පෙට්ටිය හැදුවේ බාප්පා. එයා හොඳ වඩුවෙක්. පෙට්ටගමක වගේ..තමයි පෙට්ටියේ පියන..හතරට කඩන පියන හදන්න අමාරුයි. මැදට පිදුරු ඔබලා සුදු රෙද්දක් ගහලා පොලිෂ් වාර්නිෂ් ගාලා පෙට්ටිය හැදුවා. ග්‍රාමසේවක මහත්තයා ආවට පස්සේ සීයගේ දේහය එම්බාම් කරා. එම්බාම් කරන්න බදුල්ලේ මල්ශාලාවක කෙනෙක් එක්කන් ආවෙත් බාප්පා.එම්බාම් කරන්න කලියෙන් අරක්කු පාටිය. නැත්නම් ඔය වැඩේ කරන්න බැරිළු. එහෙමයි බාප්පා කිව්වේ..අපිට එම්බාම් එක බලන්න තහනම්..අපි තව ලොකු වුනාම පුළුවන්ළු.

සීයාගේ නිසල දේහය සාලෙට ගෙනෙද්දි අම්මා ආයෙත් මරලතෝනි දුන්නා. සීයගේ ඔළුවට ඉහලින් පහන් දෙකක් දැල්වෙන්න ගත්තා. මල්වඩම හැදුවේ අපේ ළමා කැල. මල් සයිප්‍රස් අතු හොයාගන්න එක මහවැඩක්ද . මල් වඩමේ ආකෘතිය සොහොන් කන්දට ගිහිල්ලා ලඟදි වලදාපු වලකින් අරං ආවා. සොහොන් කන්දේ රතු මාර ගස් වල මල් පිපිලා බලං හිටියා. සීයාගේ දේහය පිලිගන්න වාගේ.

ඕං පහුවදා නෑයෝ එකා දෙන්නා එන්න පටංගත්තා. ඉස්සෙල්ලම ලොකු අම්මා.

“අනේ අක්කේ උන්දැ අපිව දාලා ගියා“

තරහ මරහ සේරම ඉවරයි..දෙන්නා බදාගෙන තරඟෙට ....කඳුළු..කඳුළු...කඳුළු...කඳුළු........

“කොලඹ මල්ලී තවම නෑ...ඩුබායි මල්ලිට දැනුම් දුන්නද? “

“කොලඹ මල්ලිට කොහෙද ඔය දුක...ලෙඩින් ඉද්දිවත් ආවද?“

“ඒ වුනත් එයි..මැණිකෙ නංගිත් මඟ ඇති...“

කොලඹ මාමා කොලඹම තමයි. අවුරුද්දට දෙතුන් වතාවක් බදුලු-බණ්ඩාරවෙල ආවට සීයව බලන්නනම් පැත්ත පලාතේ ආවෙ නෑ...එයාට උගන්නන්න අස්සැද්දුම කූඹුරත් වික්කා කියලයි සීයා මට කිව්වේ. දැන් ලොකු තානාන්තරයක. ගම්මුනම් කිව්වේ මහ ගුණමකු මිනිහෙක් කියලා. අඩුගානේ සීයා මහරගම ඉද්දිවත් බලන්න ආවේ නෑළු.

කුස්සියේ ඉඩ නැති නිසා කුස්සියටම අල්ලලා හට් එකක් ගැහැව්වා. වට්ටක්කා...පරිප්පු..කරවල ඔය වට්ටෝරුව තමයි ගමේ ඕනිම මල ගෙයක් වුනාම කැරකෙන්නේ..කොස් වාරෙනම් කොස්..දෙල් වාරෙනම් දෙල්...ඔක්කොම කුස්සියේ රොක් වෙලා ඕපදූප කියව කියව ඉන්නවා. සීයා සාලේ තනියම..උඩුබැලි අතට දිගාවෙලා ජීවිතයේ අස්ථීරබව අපට කියාදෙනවා.

කොහොමත් මාසේ විස්සේ ඉඳං තිහ වෙනකන් සීයා තනියෙන් තමයි. ඇයි පැංෂන් එකේ ඌෂ්ණේ ගිහින්නේ. අම්මා අහන්නෙත් නෑ කෑවද බිව්වද කියලා...අර දයාව කරුණාව ආයේ පටන්ගන්නේ පලවෙනිදා විතර තමයි. ඒත් සීයානම් මොකුත් කිව්වෙ නෑ. හැමදෙයක්ම විඳදරන් ඉන්න මානසිකත්වයක් සීයට තිබ්බා. හැම දෙයක්ම සැහැල්ලුවෙන් හිතන මනුස්සයෙක්. ගම්මු කිව්වේ එහෙමයි.

බාප්පා ටවුන් ගිහිල්ලා කාඩ් පැක් හය හතක් උස්සගෙන ආවා. අද රෑට බූරු පොල අරින්න වගේ හදන්නේ.

“බීප් ...බීප්...“ මහ හඬ නගාගෙන කොලඹ මාමගේ කාර් එක ඇවිත් උඩ පාරේ නැවැත්තුවා. අබරං මාමා පෙට්ටි දෙක තුනක් කාර් එකෙන් අරං හිස තියාගෙන ආවා. බංඩෙ සීයා එක පෙට්ටියක් අරං ආවා. කොලඹ මාමා උජාරුවෙන් පඩිපෙල බැහැගෙන ආවා. බංඩෙ සීයගේ කරේ තිබ්බේ රට අරක්කු පෙට්ටියක්...තව ඔය සීනි පිටි තේකොල තමයි අබරං මාමා උස්සගෙන ආවේ.

සීයගේ මිනිය දිහාවත් නොබලා කොලඹ මාමා මගේ කාමරේට රිංගුවා. අබරං මාමා ඉදිකට්ට පස්සේ දැවටෙන නූල වගේ කොලඹ මාමා පස්සෙන්මයි. ඇයි බංඩෙ සීයා....? බොන්න තියෙනවනම් වෙන මොනවද?

ඔන්න ඉතිං මළගම්..හැඬුම්..වැලපුම්.. දැන් ඉවරයි වගේ...පාටි...පාටි..පාටි..පාටි.. ඇතුලට යනවා...එළියට එනවා...කට පිහදනවා..ආයෙත් යනවා..බැදපු කුකුලු මස් අරගෙන එනවා...සීයා තනියෙන්...

“මරණෙ ගන්නේ හෙට....“

“හෙට අරං කොහොමද? අනිද්දා ගත්තොත් නරකද?“

ඒ යෝජනාව බාප්පාගෙන්....ඇයි ඉතිං බූරු පොල තව දවසක් හරි අටවගන්න එපැයි. එයා තමයි බූරු ගස්සන්නේ. තෝං එකතු කරගන්නවා. පිට පිට තුන් වතාවක් දිනුවොත් බූරු ගස්සන අපේ බාප්පාට කොමිස් එකක් යනවා..උදේ වෙද්දි නිකං ඉඳලා බාප්පා ගානක් හොයාගෙන.

අබරං මාමා කොහේදෝ ගිහිං කොලඹ මාමාට කිතුල් රා මුට්ටියක් උස්සන් ආවා. රට අරක්කු ඉවරද මංදා..නෑ..නෑ..දොලදුක...අම්මා කිව්වේ ඔලොක්කුවට...

දැන්නම් කොලඹ මාමාට හොඳටම වැඩියි. කෙලින් හිටන් ඉන්නවත් පණ නෑ...ඇයි අබරං මාමට බංඩෙ සීයට ඊටත් එහා...සුරාමේරය තමයි හැම තැනම..මේ මළගමේ නොබීපු එකෙක් හොයාගන්නවත් බෑ...ගම්වල තමයි ඔය විකාර...

“අම්පිටියේ පුංචි ඇවිත්“

“මොනවා ඕකි ඇවිත්ද? ආයෙත් අපේ මූණේ දැලි ගාන්න...“

“කවුද ඕකිට කිව්වේ“

අම්මා... ලොකු අම්මා...මැණිකේ පුංචි..

යුද්ධයක් පටන්ගන්නයි යන්නේ...

කොලඹ මාමා පොල්ලකුත් උස්සගෙන ආවා එළියට..පඩිපෙල බැහැගෙන ආපු අම්පිටියේ පුංචියි කපුවයි ආපහු හැරිලා පඩිපෙල දිගේ දිව්වා. කොලඹ මාමා පඩිපෙල දිගේ උඩට වැටි වැටී බඩගානවා...අපේ අම්මලත් දුවනවා පොඩි පුංචිටයි කපුවටයි පාඩමක් උගන්වන්න..ගෙදර එකම ගාලගෝට්ටියක්...සැර වචන.. පරුෂ වචන.. හිස් වචන.. පාවෙලා ගිහිං හුරිහෙල කන්දෙ වැදිලා ආපහු හොබරැල්ල කන්දෙ ගැටිලා දෝංකාර දෙනවා...

සීයා ගේ ඔළුවට උඩින් තිබ්බ ඔක්කොම පහන් තෙල් ඌණතාවයෙන් නිවිලා ගිහිල්ලා.

“අන්තිමට නිවිච්ච පහනට තෙල් ටිකක් වක්කරන්නවත් එකෙක් නෑ“

.........................................................................................





2015 අප්‍රේල් 21 වැනිදා ලංකාදීපෙට ලිව්වේ.....

1 comment:

  1. අපේ සීයගෙ මරණෙ දවස් වල ළමා කැල වූ අප විසින් කල පුවක් සුද්ද කිරීම්, තේ හැදීම්, බීම බෙදීම් ආදිය මතක් වුනා.

    ReplyDelete