බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, January 19, 2016

මරණ ගෙදර 01

“ඒයි..........

“ඒයි.............“

“ඒයි.....................“

උඩවෙල පුංචි උදේ පාන්දර පාරට ඇවිල්ලා කෑ ගහනවා.

“ඇයි උඩවෙල?????“

“බාරොන් අයියා මැරිලලු බන්“

“නැහ්.... මොකද බං මේ පෝලිමේ මැරෙන්නේ. දැන් ඉතිං මරණ සමිතියට තවත් එකසිය පනහක් හොයපල්ලකෝ“

“ඒක තමයි බං.. පව් නේද බාරොන් අයියා“

“වරෙන් කහට එකක්කත් බීලා යන්න“

“බෑ බං වැඩ. තව උදේට ඉව්වෙවත් නෑ“

කිය කිය උඩවෙල පුංචි හෙමින් හෙමින් පඩිපෙල බැහැගෙන එනවා.

දැන් ඉතිං බාරොන් මාමගේ අල ගිය මුල ගිය තැන් උන්දැගේ කවදාවත් නොතිබිච්ච ගුණධර්ම අපේ කුස්සියේ කතිකා වෙනවා. නිවාඩු මාසේ ගෙදෙට්ට වෙලා ඉන්න අපිත් ඉතිං මළගෙදර රාත්‍රීන් ගතකිරීමේ කුහුලෙන් පහු වෙනවා.උඩවෙල පුංචිට කහට කෝප්පයක් වක්කරල දීලා අම්මා මිදුලට බැහැලා උළු ගෙදර දිහා බලාගෙන

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“ 

කියලා කෑගහනවා.

“ඇයි නැන්දා“

“බාරොන් මල්ලි මැරිලලු“

“නෑ.....?“

ඉතිං ඔහොම මරණෙ ගැන ආරංචිය ගමේ උඩහටයි පහලටයි තටු ඇවිල්ලා ඉගිලෙනවා. පැයක් දෙකක් යද්දි මරණෙ ගැන ගමම දැනගන්නවා.

“නෑ මිනිය ගෙනල්ලලුද?““කොහෙද .. අද හවසවත් වෙයි මිනිය කපලා ගේනකුට“

ඉතිං මිනිය ගෙනාවත් නැතත් මිනිස්සු එකා දෙන්නා බාරොන් මාමලාගේ ගෙදර දිහාවට හිමීට හිමීට ඇදෙනවා. අපේ අම්මයි උඩවෙල පුංචියිත් පඩිපෙල නැගං නැගං බාරොන් මාමලා ගෙදර යන්න පිටත් වෙද්දි අපිත් එකා දෙන්නා වසයෙන් අම්මලගේ පස්සෙන් වැටෙනවා.

“පලයල්ලා ගෙදර යන්න. උඹලට කවුද එන්න කිව්වේ. ගෙදර බල්ලෙක්වත් නෑ.මම කියලා තියෙනවා මගේ පස්සෙන් රෝන්දෙ යන්න එන්ඩ එපා කියලා“ 

අම්මා අපිව එළවගන්නවා.

“ගෙදර ගිහිං ආච්චිට කියපං. උන්දට කියන්න අමතක වුනා.“

අපේ ගමන එතනම ලොප් කරගෙන අපි ආපහු ගෙදෙට්ට එනවා.ආච්චි සීතලේ වකුටු වෙලා තාම මර නින්දේ පහු වෙනවා.


“ආච්චී....ආච්චී...ආච්චී...“

“මොකද බොලව් ඩිංගක් ඇහැ පියාගන්ඩ දියල්ලකෝ. “

“ආච්චි බාරොන් මාමා මැරිලලු“

“මොනා.... ගහක් ගලක් වගේ හිටිය මිනිහා. මට ගිය සතියෙත් කොන්දෙ කැක්කුමට ගාන්න තෙල් ටිකක් ගෙනත් දුන්නා. උඹලට විකාර“

“නෑ අම්මා කියන්ඩ කියව්වා . අර මිනිස්සු ඔක්කොම යන්නේ මරණ ගෙදර“

ආච්චි ඇඳෙන් බැහැලා ඇඟ පුරාම පොරවගෙන එළියට බැහැලා පාර දිහා බලාගෙන ඉන්නවා. මිනිස්සු එකා දෙන්නා පහලට ඇදෙද්දි තමයි උන්දැ සැක හැරලා දැනගන්නේ බාරොන් මාමා මැරිලා කියලා. ඒත් උන්දැට තවත් හැකයි.

“මේ මාටින්ගේ දුවේ. ඇත්තද බං බාරොන් මැරිලා කියන්නේ“

“ඔව් ආච්චම්මේ. අපිත් එහේ යන්නේ. එනවද?“

“ඉඳහං මං රෙද්දක් පටලන් එනකන්“ආච්චි ගෙට ගිහින් ඇඟේ චීත්තෙකුත් පටලන් කබ කඩ කඩ විටකුත් කටේ ඔබාගෙන පඩිපෙල නගිනවා.ඉතිං අපේ පැත්තේ ඔය මළ ගෙදෙට්ට කියන්නේ මරණ ගෙදර කියලා.


“මේ මරණ ගෙදර යනවා.“කියලා තමයි කියන්නේ.


ඉතිං අපිට ඔය මරණ ගෙදර යන්න අවස්ථාව හම්බුවෙන්නේ අපේ අම්මලා මරණ ගෙදර ගිහිං ආවට පස්සෙ තමයි. ඉතිං ඕකට අම්මගෙන් අවසරය ලැබෙන්න අම්මා ගාව තුන් හතර පාරක් වැඳ වැටෙන්න ඕනි. පස්සේ උක්කුවයි සමීරයයි තව ඔය මඟ හම්බුවෙන කවුරු කවුරුත් අහුලගෙන මළ ගෙදර යන්න ඕනි.
මරණ ගෙදෙට්ට ඔහොම්ම පාර දිගේ කිලෝමීටරයක් විතර පල්ලැහැට ගිහින් පඩිපෙල දිගේ උඩහට නගින්න ඕනි. ගමේ ලොකු උදවිය එද්දි මහ හයියෙන් කෑගහලා අඬන බාරොන් මාමලගේ නැන්දා පොඩි පොඩි අපි වගේ උදවිය එද්දි ගානක්වත් නැතුන් ඉන්නවා. ඔය පවුලේ කට්ටියත් ලොකු උදවියට වැඳලා ගෙට ගත්තත් අපි දිහා බලන්නෙවත් නැත්තේ මාරි බිස්කට් ටිකට කෙලින්ඩ එනවා කියලා දන්න හින්දද නැත්තන් අපි වගේ උදවියගෙන් ඇති වගතුවක් නැති හින්දද කියලනම් දන්නෙ නෑ.ඉතිං තාම මරණෙ ගෙනැල්ල නැති නිසා ගමේ මිනිස්සු එකා දෙන්නා ඇවිල්ලා බාරොන් මාමලෑ නැන්දව අස්වස්සලා යනවා. අස්වස්සනවා කිව්වට ගමේ මිනිස්සු එන එකෙන් වෙන්නේ උන්දැව ඇයිස්සෙන එක. ඇයි ඉතිං ඔය එන එන වාරයක් ගානේ අර කන්දට ඇහෙන්න තරම් හයියෙන් උන්දැ මොර දෙන්නත් එපැයි. මරණෙ ගේන්න කලින් ඇවිල්ලා යනවට කියන්නේ “කතාකරලා එන්ඩ යනවා“ කියලා. ඕකට “අවුස්සලා එන්ඩ යනවා“ කියලා දැම්මනම් පංකාදුයි.

ඉතිං දැන් ගමේ ඔය පිරිමි කාණ්ඩෙ එකතු වෙලා වත්ත පිටිය සුද්ද කිරීම හට්ටෙක ගහන්ඩ තැනක් පිළියෙල කිරීම පඩිපෙල එළිය කරන්න ලයිට් වයර් ඇදීම මරණ සමිතියේ හට්ටෙක සහ පුටු ගෙන ඒම වගේ විවිධ වැඩ සුවෙච්චාවෙන්ම කරනවා. අපිත් ඔය කාගේ හරි පස්සේ වැටිලා ඒ උදවියගේ අත් උදව් කාරයන් විදියට බලහත්කාරයෙන්ම පත් වෙනවා.

“චූටි ගිහිං හෝල්ඩර්රෙකක් ඉල්ලන් වරෙන්“

“චූටි ගිහිං ඉලත්තට්ටුව අරං වරෙන්“

“චූටි ගිහිං මල් ඉස්කුරුප්පැනියක් හොයං වරෙන්“

ඔය වගේ වචන පේලි අපේ දෙසවන්වල දෝංකාර දෙනවා. ඔය අතරේ පාරට ඇහැ තියාගෙන ඉන්නවා මරණෙ ගේනකන්.මරණයක් වෙච්ච ගමන් ගෙදර උදවියටත් කලින් දැනගන්නේ හාලිඇල්ලෙ වජිර මල් ශාලාවෙ මුදලාලි. ලෙඩා ඉස්පිරිතාලෙට ගියදා පටන් අමාරු වෙලා මෝචරියට යනකන් එයාව දැනුවත් කරන සන්නිවේදන බලකායක් ඉස්පිරිතාලේ පිහිටවලා ඉන්නවා. ඒ තමයි ආණ්ඩුවෙමුත් පඩි ගන්න ඇටෙන්ඩන්ලා. මිනී ගානට කොමිසන් එකක් එයාලයි සාක්කුවට වැටෙන බවයි මන්නන් අහලා තියෙන්නේ. 

ඇහිල්ලක් බැලිල්ලක් නැතුව බලහත්කාරෙන් වගේ සුටුස් ගාලා මල් ශාලාවෙ වෑන්නෙකේ පටවලා සේසත්...පිත්තල පහන් ...දෙන වගේ බඩු මුට්ටු ඔක්කොම ගෙදෙට්ට එවනවා. ඒ කියන්නේ අවමංගල අධ්‍යක්ෂධූරය බලහත්කාරෙන් පවරගන්නවා. ගනන් හිලව් මොකවත් කතා කරන්නෑ. හරියට නිකන් කරල දෙනවා වගේ. ගනන් හිලව් කතා කරන්නේ මිනිය වැලලුවටත් පස්සෙ තමයි. අවමංගල අධ්‍යක්ෂවරුන්ගේ සේවය ඒ තරම් කඩිනම්. අර සිකුරාදා හවසට වෙළඳපොලට එන ඉරිදා පත්තර වගේ.

ඉතිං මරණ සමිතියේ භාණ්ඩාගාරික තැම්පත් ආරි අයියා මරණ සමිතියේ අරමුදලත් අරං ඇවිල්ලා බාරොන් මාමලගේ නැන්දාගේ අතේ ගුලිකරනවා. බාරොන් මාමලා නැන්දා දිග ලිස්ට්ටෙකක් ලියලා සල්ලිත් දීලා කාව හරි පිටත් කරල අරිනවා ටවුමට. එන එවුන්ට කන්න බොන්න දෙන්නත් එපැයි. හාල්, පොල්, පරිප්පු, සීනි, තේකොල, බුලත්, පුවක්, බීඩි ,දුංකල, වට්ටක්කා, කරවල වගේ ඒවා තමයි ඔය ලිස්ටෙකේ තියෙන්නේ.

රාස්සියෝ හුරිහෙල කන්දේ වී වේලන වෙලාවට ඒ කියන්නේ බිං කලුවර මිදුලට පතබෑවෙන වෙලාවට ලයිට් දාගෙන හෝන් ගහගෙන වජිර මල් ශාලාවේ වෑන්නෙක ඇවිත් පල්ලැහැ පාරේ නවත්තනවා. ඒ කියන්නේ මිනිය ගෙනැල්ලා. මිදුලේ හිටපු අයයි එක එක වැඩ කර කර හිටපු අයයි එක එකාව පෙල්ලගෙන පඩිපෙල දිගේ පල්ලැහැට දුවනවා. බාරොන් මාමලාගේ නැන්දා ආයෙත් මරලතෝනි දිදී කෑ ගහනවා.මිනී පෙට්ටිය ඉලන්දාරි ටික එකතුවෙලා වෑන්නෙකෙන් පරිස්සමට බාගන්නවා. පස්සේ හය හත්දෙනෙක් එකතුවෙලා මිනී පෙට්ටිය කරේ තියාගෙන හෙමින් හෙමින් පඩිපෙල දිගේ උඩහට ඇදෙනවා. පෙට්ටිය ගෙදෙට්ට ලං වෙන්න වෙන්න බාරොන් මාමාලගේ නැන්දගේ විලාපය දෙගුණ තෙගුණ වෙලා ඉස්සරහා හුරිහෙල කන්දේ වැදිලා දෝංකාර දෙනවා.

ඉතුරු කොටහ ජුංඩකින් ............................

24 comments:

  1. මරණ ගෙවල්වල යන්න බය නැද්ද බොල. කොයි වෙලාවෙ මරයිද දන්නෑනෙ. :D

    මෙහේනං පෙට්ටිය ඇතුලු සකලමනාවලට අමතරව මල් ශාලාව ගානෙ පෝස්ටර් ටිකත් ගහල දෙනව.
    බලමුකො පෙට්ටිය ගෙනාවට පස්සෙ වෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. අනිද්දා යන්ඩ තියෙනවා නයිටකට

      Delete
  2. බොලගෙ පැත්තෙ තියෙන්නෙ මරණ ගෙවල් නෙ. අපේ පැත්තෙ තියෙනවා මරණ සමිති. මං නං පැත්ත පළාතෙ යන්නෑ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙනං තියෙන්නෙ මැරෙන්න ආධාර දෙන 'මරණ ආධාර' සමිති.

      Delete
    2. මරණාධාර සමිතිය මට කියවෙන්නෙම, "මරලාදාන සමිතිය" කියලනෙ... :-)

      Delete
  3. කඩවත කුමාරි මල් ශාලාව මතක් උනා. උං නං කලිං ගාණ කතා වෙනව. මෝචෙරියෙ උන්ටයි පොලිස් කාරයට යි පගාවත් උං ගානෙම දෙනව. වැඩේ අහවර උනාට පස්සෙ බොහොම මනුස්සකමිං කතා කරල සල්ලි අරං යනව. තියෙනවනං එවෙලෙම දෙනව, නැත්තං සතියකිං දෙහෙකිං දෙන්ඩත් පුළුවං.

    ReplyDelete
  4. අපේ තාත්තගෙ මරණෙ කළේ, මං අලුතෙං හැදුව ගෙදර. එතකොට ඒකෙ කිරි උතුරුවලත් නෑ. තාත්තව ගෙනාවෙ අඟහරුවාදා. දවසයි තියාගත්තෙ. එක කතාවයි (ඒකත් මරණ සමිතියෙ උංට ඕනෙ කිව්ව හිංදා - බෑ කිව්වොත් මරයි කියල හිතුණා.) මතකවස්ත්‍ර කෙරුවාවෙං පස්සෙ කනත්තට ගෙනිහිං භූමදාන කළා. ඒ ඔක්කොම තාත්තගෙ විශ්වාස, ආකල්ප අනුව කෙරුණෙ...

    ReplyDelete
  5. මරණ ගෙවල් කියන්නේ අයුතු ජනරාශි බං............

    ReplyDelete
    Replies
    1. ගල් බෝතල් දෙකක් ලේස්ති කොරල තියාගන්ටෝන.. නැහ්නං තව මරනයක්

      Delete
  6. අපේ පැත්තෙනම් කලින්ම ගිහින් ගාන කතා කරගන්නව. ඊට පස්සෙ තමා ඔක්කොම. අර ප්‍රසාගෙ පැත්තෙ වගේ අපේ පැත්තෙත් තියෙන්නෙ මරනාදාර සමිතියි, මල ගෙවලුයි.
    මරන ගෙදර යන්න වෙන්නෙ මොන බයකින් ද මේනකයො? ඇති බොලා ඉතුරු වෙලා ඉන්නව.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මරණ ගෙදර කියනකොට හරියට මස් කඩේ වගේ.අපි කියන්නේ මළ ගෙදර කියලා. කොහෙත් රජ වෙන්නේ අලුතින් උපදින්නේ මල් ශාලා ඇත්තොයි. කේටරින් සර්විසස් දෙන එව්වොයි තමා. මගුලක් ගත්තට හපන් මළ ගෙයක් වුණහම. ජීවත් වෙලා ඉන්න වුන් මරාගෙන කන්න බලාගෙන ඉන්න පිරිස වැඩී. අනේ සංසාරේ.....

    ReplyDelete
  9. අපේ ගෙවල් ළඟ මලගෙයක් මතක් වුණා...

    ReplyDelete
  10. 2002 සුනාමියට අහුවෙලා අපේ ගමේ 10 වසරේ කොල්ලෙක් මලා. උගෙ පෙට්ටිය බදාගෙන අඬන්න අවට පාසල් හැම එකකින්ම යටත් පිරිසෙන් එක කෙල්ලෙක්වත් හිටියා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. zranga, Lankawata sunamiya awe 2004 12 26 wenida.

      Delete
  11. හපොයි හපොයි..දැන් කාලේ මගුල් මරණ 2ම අපි මැරෙන දේවල් තමයි..
    “ඕ යේස්...අයුතු ජන රාශියක්“

    ReplyDelete
  12. Menaka apiwa live geniyala thiyanawa elaw gedarakata.
    marana gedarata ape paththe elaw gedara kiyalath kiyanawa.

    ReplyDelete
  13. කොහෙ කොහෙත් මළ ගෙදර පැටිකිරිය එක වගෙයි හැක්

    ReplyDelete
  14. මටත් පරණ පුරුද්දට ඉස්සර කියවෙන්නෙම 'මරණ ගෙදර' කියලා. කාඩ් කෝටියයි ඒ කාලේ.. දැන් 'මරණ ගෙදර' කියන කොට මටම අප්සෙට්. පරක්කු වෙලා ආව නිසා මිනියත් (දෙවෙනි කොටස) බලලම යන්න පුළුවන් එක ගමනින්..

    ReplyDelete
  15. මේනක ලියන්නෙත් සුරංගගේ ෙෙශලිය‍‌ට. ඒත් රත්නපුරේ සමහර ගම්පලාත් වල කතා කරන විලාශයත් බදුල්ලේ කතා විලාශයත් සමානද මන්ද? ඒත් රත්නපුරේ කොස්ගල කියන ගමේ මිනිස්සු කතා කරන්නේ නම් සුරංගගේ ගමේ විදියට....

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ කතා කරන විදියයි, බදුල්ලෙ විදියක් ටිකක් සමානයි වගේ පෙනුනට, වෙනස්කමුත් ගොඩක් තියෙනව. බදුලු බාසාවෙන් ප්‍රශ්න අහද්දි අන්තිමට 'ද' යන්න යොදනව හොරයි. උදාහරණයක් විදියට,
      " ගෙදර ගියද? " කියල අහන්නෙ
      " ගෙදර ගියා.ආ.?" කියල. කතා කරන ස්වරයෙන් තමයි දැන ගන්නේ ප්‍රශ්නයක්ද ඇහුවෙ, නැත්තං කරපු/කරන දෙයක්ද කියුවෙ කියල.

      Delete
  16. ලියවිල්ල හොඳයි. රස වින්දා .මටත් සුරංග මතක් වුනා . මේනකගේ ගමේ විත්ති මගේ අත්දැකීම්වලටත් සෑහෙන දුරට සමානයි . එක වගේ පරිසරය නිසා වෙන්න ඇති . ජය !

    ReplyDelete