බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, January 23, 2016

මරණ ගෙදර - 02

දැන් මරණෙ එහෙමත් නැත්තන් මිනී පෙට්ටිය සාලේ කලින් හදාගත්තු ආධාරක උඩින් හිමින් සීරුවේ තියනවා. ඒකොල්ලා හිමීන් හිමින් පෙට්ටියේ පියන විවෘත කරනවා. බාරොන් මාමගේ මූණ දැකපු ගමන් බාරොන් මාමලෑ නැන්දා දුවලා පුතාල පවුලේ උදවිය විතරක් නෙවෙයි ගමේ ගෑණු උදවියත් එක්කහු වෙලා මර ලතෝනි දෙනවා. ඕක විනාඩි දහයක් විතර ඇදි ඇදී යනවා. සේසත් ටික බිත්තියට හේත්තු වෙනවා. බාරොන් මාමගේ ඉහට උඩින් පිත්තල පහන් දෙක දැල්වෙන්ඩ පටන්ගන්නවා. දැන් ඔක්කොමලා යතා තත්වෙට පත් වෙනවා.
දැන් මරණෙ ගෙනාපු ආරංචිය කටින් කට තුඩින් තුඩ ගමේ උඩහ පහල ඊයක වේගෙන් ගමන් කරනවා. මේක දැනගත්තු ගමේ උදවිය එකා දෙන්නා ආයෙත් මරණ ගෙදරට ඇදෙනවා. ඒ ගමනට කියන්නෙ “මේ මරණෙ බලන්න යනවා“ කියලා.
මේ පලාතේ ඒ කියන්නේ ගම්පහදි මරණ ගෙදර කන්ඩ දෙන්ඩ ඕනි බත් මාළු පිණි අහල පහල ගෙවල්වලින් ගෙන ඒමේ චාරිත්‍රයක් මම දැක්කත් එහේ එහෙම නෑ. උයන්නේ මරණ ගෙදරම තමයි. කුස්සියේ ඉඩපාඩු මදි වුනොත් එළියට කරලා හට්ටෙකක් ගහනවා.
අර බාරොන් මාමලා නැන්දා ටවුන් යවපු කෙනා බඩුත් ඩෙලිකා වෑන්නෙක්ක පටවගෙන එනවා. අපි ගිහිල්ලා ඒ බඩු ගෙදෙට්ට අදින්න උදව් වෙනවා. ඉතිං ඊට පස්සෙ අපිට පැවරෙන රාජකාරිය තමයි ඉලත්තට්ටුව හදන්න පුවක් කපන එක. පුවක් කපන්න හොඳ ගිරයක් දෙකක් තියෙන්න ඕනි. නැත්තන් අහල පහල ගෙවල්වලින් ගිරයක් ඉල්ලගෙන එන්න ඕනි. පරිස්සමින් ආපහු ගෙනත් දීමේ පොරොන්දුව පිට අදාල ගෙවල් වලින් ගිර නිකුත් කරනවා. මේ සතියම මළගෙදරින් විට සපයා ගන්න පුළුවන් නිසා ඔය ගෙවල් වලට ගිර වල උවමනාව දැනෙන්නෙ නෑ. දැන් දැන් ගොඩාක් මළගෙවල් වල පුවක් නොකපා ගිරය සමඟ ලෙලි පිටින් පුවක් තියන ක්‍රමයක් අනුගමනය කරන්නේ ඔය අසීමිතව විට හපන එකෙන් ජනතාව මුදවගන්ඩ වෙන්ඩ ඇති. ඒත් ඉස්සර මිනිස්සු එහෙම නෑ.


අපි කොහොමත් පුවක් ගෙඩි විස්සක් තිහක් කපලා දැම්මත් විනාඩියෙන් දෙකෙන් ඔය පුවක් ටික අතුරුදහන් වෙනවා. එතකොට අපේ ගමේ මිනිස්සු විට කෑමේ සම්බාවිතාව ගැන දල අදහසක් ගන්ට පුළුවන්. අපි රෑ එක දෙක වෙනකන් පුවක් යූරියා බෑක් බාගයක් විතර කපනවා. සමහරු ගෙදර යන ගමන් විට දෙක තුනක් උන්ඩි කරගෙන යන එකත් වලක්කන්ඩ බෑ. මළ ගෙදෙට්ට අවශ්‍ය පුවක් ගමේ වතු පිටි වලින් නිකන් ලැබුනත් දුංකොල බුලත් නිතරම හාලිඇල්ලෙන් ගෙන්න ගන්න ඕනි. මොනා නැතත් ගමේ මිනිස්සුන්ට ඔය විට ඉලත්තට්ටුව තියෙන්න ඕනි. නැත්තන් නෝක්කඩු සීයයි.


“නොදකින් ඕක මරණ ගෙදරක්ද. බුලත් විටක්කත් නෑ“

අපේ ආච්චි සමහර මළ ගෙවල්වල ගිහින් ඇවිත් කියනවා මට ඇහිල තියෙනවා.ඉතිං පහුවදා උදේ බාරොන් මාමලගේ නැන්දා ඇතුලු පවුලේ උදවිය කලින්දා රෑ විට කාපු එවුන්ගේ පරම්පරා ගානක් මතක් කරමින් උදළු වලින් මිදුල හූරනවා. පහුවෙන්දා මිදුල ඉතිං බතික් කරලා වගේ තමයි. විට කාලා “චොරෝස්“ ගාලා මිදුලටම කෙල ගහන එක සිරිතක් වෙලා. කොච්චර පඩික්කම් හිටෙව්වත් ඒක පුරුද්ද. මල් පාත්ති වල මල් ගස් ටිකත් බතික් කරලා.


රෑ අඳුරු වැටෙනකොට ගමේ බේබදු සංගමේ හාලිඇල්ලේ බාර්රෙකට ගිහිල්ලා බීලා අන්තිම බස්සෙකේ ඒ කියන්නේ හතයි හතලිස්පහේ එනවා. ඔය හතයි හතලිස්පහේ බස්සෙකට ගමේ මිනිස්සු කියන්නේ බේබදු බස්සෙක කියලා. ඒ කියන්නේ අපේ ගමේ විතරක් නෙවෙයි උඩහ ගම්වලත් වතුවල දෙමල මිනිස්සුත් හාලි ඇල්ලට ගිහිල්ලා පදම් වෙලා ගෙදර එන්න නගින්නේ ඔය බස්සෙකට. ඔය බස්සෙක වලි බලි වලට එහෙමත් හරි ප්‍රසිද්ධයි.
බීලා ඇවිල්ලා කට්ටියම ඔය උළු ගෙදෙට්ට උඩින් තියෙන ගල ගාව බැහැලා සිංදු කියනවා.ඒ කියන ගමන්


“අඩෝ කවුද ඩෝ මේ ගමේ වලිකාරයෝ . වරෙල්ලා ඩෝ“ 

කියලා ගමේ මිනිස්සුන්ට අභියෝග කරනවා.. ඒත් කවදාවත් ඔය වලි කාරයන්ට අඬගැහුවට වලිකාරයෙක්නම් අභියෝගේ බාර ගන්න ගිහිං නෑ. ඕක හැමදාම ඔය ගල ගාව වෙන දෙයක්. අප්පයියා හැමදාම

“සැඳෑ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ...“ 

කියන සිංදුවෙන් සංගීත සාජ්ජේ ඉවර කරනවා. වෙරි හිඳුනම කට්ටියම ගෙවල් වලට යනවා.


ඉතිං මරණ ගෙයක් වෙලා තිබ්බොත් ඔය ඔක්කොම මරණ ගෙදර ගාවින් බැහැගන්නවා. එදාට සංගීත සාජ්ජේ නෑ.එනකොට බූරු කුට්ටම් හතර පහකුත් අරං එන්ඩ මේ අය අමතක කරන්නෑ. ඉතිං කට්ටියම උඩහට ඇවිල්ලා දාඩිය පෙරාගෙන බාරොන් මාමල නැන්දට වැඳලා ඉඳගන්නවා.

“පුතේ තේ ටිකක්...................?“

“එපා නැන්දා අපි බීලා ආවේ“

බාරොන් මාමල නැන්දා දන්නවා මුන් බීලා ආවෙ තේනම් නෙවෙයි කියලා.

දැන් ඉතිං කට්ටිය කෙරෙන්ඩ තියෙන වැඩ හොයනවා.

“පුතේ අර කුස්සියට කල්ලා හට් කෑල්ලක්.................“

“හරි නැන්දා.............ඒයි වරෙල්ලා මේ හට්ටෙක ගහන්න.......“


ඔය වැඩ වලදි පෙරමුණ ගන්නේ දන්සිරි අයියා.

ඔය අතරේ ඩිංගිරිබංඩේ අයියත් එනවා. ඩිංගිරිබංඩේ අයියා ප්‍රසිද්ධ කුස්සියේ උයන ගෑණුන්ට හිනා වෙන්න කතා කියන්න, එක එක ඕපදූප කෑලි කියවන ගමන් ගෑණුන්ට පොල් ගාලා දෙන්න ලූණු සුද්ද කරලා දෙන වගේ වැඩ වලට. ඩිංගිරිබංඩෙ අයියගේ කතා වලට ගෑණු බක බක ගාලා හිනා වුනත් අපිටනම් ඒවයෙ හිනා වෙන්න තරම් දෙයක් නෑ.
ඩිංගිරි බංඩෙ අයියව තියාගන්න ඕනිවට හිනා නොයන කතා වලටත් ගෑණු බොරුවට හරි හිනා වෙනවා.

පිස්සු ආරිත් එනවා. පිස්සු ආරි කියන්නේ ටිකක් ඔළුව අවුල් මනුස්සයෙක්. ගමේ මළ ගෙයක් වුන දවසෙ ඉඳන් හත් දවසෙ දානේ ඉවර වෙනකන් පිස්සු ආරි නෙවෙයි හෙල්ලෙන්නේ. මළ ගෙදර කිසිම වැඩක් පොලක් කරන්නෙත් නෑ. විට කනවා...බීඩි බොනවා...මාරි කනවා..තේ බොනවා...බත් කනවා...විට කනවා...බීඩි බොනවා...බුදියගන්නවා ..... පිස්සු ආරිගේ මළගෙදර ජීවන චක්කරේ ඔහොමයි. කාත් එක්කවත් කතාවක් බහකුත් නෑ.. කවුරුත් මොකවත් කියන්නෙත් නෑ.


තවත් සමහරු ඉන්නවා අපේ ගමේ ඔය ඊයේ පෙරේදා පිනෑන්ස් කරලා ගත්ත වෑන්නෙකේ හරි කාර් කබලක හරි නැගලා ඔය අඩි දහය පහලවක් ඇවිල්ලා මරණ ගෙදර ගාව පාරේ වාහනේ නවත්තලා උජාරුවට ඇවිත් වාඩිවෙලා පංපෝරි ගහන අය. ලංකාවේ වැඩියෙන්ම පංපෝරි ගහන මිනිස්සු ඉන්නේ බදුල්ල දිස්තිරික්කේ වෙන්න ඇති. ඒකෙමුත් වැඩිම අපේ ගමේ වෙන්ඩ ඇති. පංපෝරි ගැන වෙනම කතාවක් ලියන්ඩ පුළුවන්. ඔය මිනිස්සු මළගෙවල් වලට සත පහක වැඩක් නැති මිනිස්සු. නිකන් අර පෙනීහිටලා යන්න එන අය. මළ ගෙදෙට්ටත් ඇවිල්ලා තමාගේ වාහනේ තමාගේ දුව.. පුතා ...කරන රස්සාවල්...ඉගෙනගෙකන තියෙන ප්‍රමාණය.. තමන්ගේ සහෝදරයෝ ඉන්න තත්වෙ ගැන කවුරු හරි අල්ලගෙන පංපෝරි ගගහ ඉන්නවා. විඩින් විඩේ හැරි හැරී බලනවා තමන්ගේ පංපෝරිය අනුන්ටත් ඇහෙනවද කියලා. නැත්තන් තව ටිකක් සද්දෙ වැඩි කරලා පංපොරිය කියෝගෙන යනවා.
“නෙදකින් අරූ ඊයේ රෑ උගේ මහලොකු දෝණියන්ද ගැන පංපෝරි ගගහ උන්නෙ. මං ගිය මාසෙ පිංපඩි ගන්ඩ ගිහින් බස්සෙකේ එද්දි ඕකි කොල්ලෙක්ගෙ කරේ ආවේ බස්සෙකේ. අනික ඕකගේ ගෑණි හරිහමන් ගෑණියෙක්ද? ගඟේ ඇපල පඳුරු වලට කතා කරන්න පුළුවන්නම් ඕකගේ ගෑණියි අර සේකරයයි නටපු නැටිලි ගැන හොඳට කියයි. මගේ කට නලියෑවා. මළ ගෙදර හින්දා ඉවසුවා“

පහුවදා අපේ ආච්චි උන්ගේ සායම යවන්නේ ඔය විදියට.


දැන් ඉතිං හට්ටෙකේ වැඩේ ඉවරවෙද්දි රෑ දහය විතර වෙනවා. ඒ වෙනකොට අහල පහල ගම් වලත් බූරුවා ගහන්ඩ නම් දරාපු උදවිය ඇවිත් දතකට මැදගෙන ජර්සි ඇඳගෙන රෙදි පොරවගෙන බලාගෙන ඉන්නවා බූරු කෙළිය පටන්ගන්නකන්. මේ උදවියට මරණෙ ගැන වගක්කත් නෑ. මැරිල ඉන්නෙ කවුද කියල අදාලත් නෑ. ඕනි වෙන්නේ මරණ ගෙදරක් විතරයි. සමහරු ඉන්නවා ඈත ගම් පළාත් වල ඉඳල බූරු ගහන්නම ආපු උදවිය. මරණ ගෙයක් ඇති තැන හතර පස් දවසක් නොකඩවා රෑට මේ උදවිය ඇවිත් ආපහු යන්නේ උදේ පාන්දර. ඒ අයට කියන්නේ මිනිය මුර කරන කට්ටිය කියලා. බූරුවා නඩේ කියනවනම් මං කවදාවත් අහලා නෑ.

ලඟදි දවසක් සුවර්ණවාහිනියේ බණක් බලද්දි ඒ හාන්දුරුවෝ කිව්වා


“මම ලඟදි බදුල්ල පැත්තෙ මළ ගෙදරක ගියා. අපි යද්දි රෑ එකොලහ දොලහ වුනා. කන්දක් බැහැගෙන ගියේ. යද්දි මළ ගෙදර මිනී පෙට්ටිය යටත් මිනිස්සු බුරු ගහනවා. හාන්දුරුවො කෙනෙක් ආවා කියලා ගානක්වත් නෑ. ඔහේ බූරු ගහනවා"


මේ බණ කියද්දිත් මට මතක් වුනේ අපේ ගම. හාන්දුරුවො වැඩියේ අපේ ගමේ මළ ගෙදට්ටකද මන්දා.

දැන් ඉතිං රෑ දහය දහයමාර වෙනකොට මල ගෙදෙට්ට ආපු ගොඩාක් අය ගිහිල්ලා. බාරොන් මාමලා නැන්දටත් උදේ හිටන් මොරදීලා මහන්සියටත්තෙක්ක නින්දට ගිහුං. පවුලේ උදවියත් නිදි. දැන් මළගෙදර පාලන බලය බූරු නඩය අතට පත්වෙනවා.
පැදුරු අරගෙන මිදුලේ තැන් තැන්වල පැදුරු දෙක තුනක් එලනවා. ඒ පැදුරක වටේට හය හත්දෙනෙක් ඉඳගන්නවා. එළිය මදිනම් තව වයර්රෙකක් ඇදලා බල්බ්බෙකක් දාගන්නවා.
දැන් ඔට්ටු අල්ලන කට්ටිය හැම පැදුරකම වටේට හිටගෙන ඉන්නවා. කොලේ කපන කට්ටිය එහෙමත් නැත්තන් බූරුවා ගහන කට්ටිය තමයි ඉඳගෙන ඉන්නේ. තවත් කට්ටියක් ඉන්නවා හිටගෙන. ඒ අපි වගේ බූරුවා ගහන දිහා කට ඇරගෙන බලන් ඉන්න අය. බූරුවා ගැසීම...ඔට්ටු ඇල්ලීම වගේම බලා ඉඳීමත් නීති විරෝධී වුනත් මගේ ජීවිත කාලෙම මළගෙදරක බූරුවා පිටි වලට පොලීසියෙන් පැන්න ප්‍රවෘත්තියක්නං  අහලා නෑ. මළ ගෙදර හින්දා පොලීසිය ඉවසනවා ඇති. ඔය හැම බූරු පැදුරකම බූරු කප්පිත්තෙකුත් ඉඳගන්නවා. මිනිහා කොහෙන් දැම්මත් ඔය කුට්ටමේ කොල පනස් දෙකම හොඳට අඳුරනවා.
අපේ ගමේ බූරු කප්පිත්තා තමයි හුදුහාමි මාමා. බූරු පැදුරට මිනිහා එද්දි බූරු පැදුරේ අනිත් අය තිගැස්සිලා යනවා. ඒ මොන බූරු කප්පිත්තෙක් වුනත් කුට්ටමේ කොල මිනිහටත් එරෙහි වෙන දවස් ඕනි තරම් තියෙනවා. ඉස්සෙල්ලම කාඩ් පැක්කෙක පැදුරට දානවා. පැදුරට කාඩ් පැක්කෙක දාන කෙනාට තමයි නීතියෙන් තෝන් අයිතිය තියෙන්නේ. තෝන් කියන්නේ පිට පිට තුන් වතාවක් කවුරු හරි දිනුවොත් තෝං බෝතලේට කොමිසන් එකක් දාන්න ඕනි. ඒක යන්නේ කාඩ් පැක්කෙක අයිති එක්කෙනාට. දැන් කවුරුත් බූරු කුට්ටමට වැඳලා වැඩේ පටන්ගන්වා. දැන් ප්‍රස්නයක් එනවා කවුද ඉස්සෙල්ලම ගහන්නේ කියලා. ඒකට කුට්ටම අරං වටයක් බෙදාගෙන යනවා. මුලින්ම ලොකුම කොලේ ඒ කියන්නේ ආසියා හම්බුවෙන කෙනා කුට්ටම අනනවා. ඊගාවට ඊගාව ආසියා හම්බුවෙන කෙනා කුට්ටම කපනවා. ඒ කියන්නේ කොලේ ඉල්ලනවා.දැන් ඉතිං වටේ කට්ටිය ඔට්ටු අල්ලනවා.

“මේ පනහ කුට්ටම දිනුම්“

“මේ සීය කුට්ටම දිනුම්“

“ආ කුට්ටම පැරදි“


කුට්ටම කියන්නේ කොලේ බෙදන කෙනා . එහෙම නැත්තන් කුට්ටම අනපු කෙනා. ඉතිං දැන් මළ ගෙදර අර සක්කිලි පඩි ගත්තා වගේ මහා ඝෝෂාවකින් රැව් පිලි රැව් දෙනවා. බූරු පොල නැගලා යනවා කියන්නේ ඔය සද්දේ වැඩි වුනාම තමයි.

(මරණෙ දවස් තුනක් තියාගන්ඩ තීරණය කරපු නිසා කතාව තවත් දිග්ගැහෙයි. තුන්වෙනි කොටසින් හම්බුවෙමු)

26 comments:

  1. දැං මේක මරණ ගෙදර නෙමෙයි බූරු ගෙදර වෙලා.
    මේ පැත්තෙත් හිටිය ඔය වගේ මල ගෙවල්, දානෙ ගෙවල්වල පදිංචි වෙලා හිටපු බුවෙක්. මිනිහට මෑතකදි පොල්ලකින් ගහල මරල තිබුණ ඩෝප් කාරයෙක්.

    ඔය වෙලාවට හාංදුරුවො නෙමෙයි මිනිය නැගිටල ආවත් ඉන්න උංට ගානක් නෑ. හැක්...

    ReplyDelete
    Replies
    1. යන්ද දවසක මරණ ගෙදරක අපේ දිහා..

      Delete
    2. ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාගත්තට පස්සෙ එඤ්ඤං

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපේ දිහා මල ගෙවල් මේ වගේම තමයි. ඊලග කොටහත් ඉක්මනින් ලියන්න. ජය වේවා !!!

    ReplyDelete
  5. මෑත කාලෙ මගේ හිතට වැදුනු මරණය සෝමා එදිරිසිංහ මැතිණියගෙ. අපිට රටට නෙවි මුළු ලෝකෙටම හොඳ පණිවුඩයක් එතුමියගෙ අවසන් කටයුතු සිදුකල ආකාරය ගෙන දුන්නේ මරණින් පසුව වුණත් ඒ ප්‍රතිපත්තිය තිබුණා.ගකතාව තාත්විකයි. මේක තමා ගම්වල ඇත්ත තත්ත්වය.

    ReplyDelete
    Replies
    1. උඩින් ඔපේ යටින් හපේ

      Delete
  6. මේ සීයත් පරදි


    මේ පනහ දිනුං

    ආං එහෙමයි අපේ ගමේ ඔට්ටු අල්ලන්නෙ. සිංහල අවුරුදු ඔට්ටු වලට අල්ලන්නෙ ත්‍රීවීලර්, බයිසිකල් . එහෙනං

    ReplyDelete
    Replies
    1. මේ පාර බදුල්ලේ ගහමු බූරුවා

      Delete
  7. ape game marana (mala) gewal walanam mudha dhama buuru gahanne naha.
    karam, daam sellamata amatharawa cards pack eken wenath sellannam karanawa.

    haasya (comic) kathaa keema thamai wadipurs kerenne.

    menaka liyala thiyana vidiya agei.

    ReplyDelete
    Replies
    1. යමු ඒ පැත්තේ මරණ ගෙදරක

      Delete
  8. මළගෙදර බූරූ ඝහන්න දෙන්නේ තෝන් පාර හොඳ නිසා... සමහර මළ ගෙවල් තියෙනවා ප්‍රොෆිට් හිටං හොයපු.. අපේ මාමන්ඩිගේ මළ ගෙයිනුත් මස්සිනා සෑහන ගානක් කපා ගත්තා.. නැට්ටට හිර වෙල උන්න අපිට හත් දවසේ දානේ මගුල් හතක් කෑවා වගේ දෙන්න පුළුවන් උනේ ඒකෙන්... ඇයි යකෝ කොළඹින් එන උන්ට බත් ඉතරක් නෙමෙයි නේ.. අරක්කු සිකැරට් බයිට් දෙන්නම කීයක් යනවැයි කියලයි...

    නැන්දම්මගේ එකට නම් ඒ ගොන් වැඩේ කොළේ නෑ.. මිනිස්සු මැරෙණකන් පාඩම් ඉගෙන ගන්නවා ඉතරක් නෙමෙයි.. මළ ගෙවල් වලිනුත් පාඩම් ඉගෙන ගන්නවා...

    ReplyDelete
    Replies
    1. අරක්කු නැහ්නං වල කපන්නෙත් නෑ හිටං

      Delete
  9. ආයෙ මරණයක් වෙච්චි වෙලාවක කියහං බං අපිටත් ඇවිත් යන්න. ඇයි යකෝ අපෙ පැති වල තියෙන්නෙ මොනවැයි මේවා බැලුවාම...

    ReplyDelete
    Replies
    1. ඊයෙ පෙරේදත් වුනා.. ඊගාව එකට සැට් එකම එමු රෑක ...

      Delete
  10. මමත් දවසක් දෙකක් මල ගෙවල් වල බූරු ගහන තැන්වල ඔට්ටු අල්ලලා තියෙනවා. කුට්ටම කපලා නම් නෑ.. :p


    ඔහොම යන් ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. රුපියල් 10ක් 20ක් අල්ලලා තියෙනවා මාත් හිටං

      Delete
  11. නැව ගිලුනත් බෑන් චූන් කියන්නේ ඔ්කයි........... හැක්

    ReplyDelete
    Replies
    1. උන්ගෙ මල ගෙවල් ගමට මහ මගුල්

      Delete
  12. අපේ පැත්තෙත් මල ගෙවල්වල ඔය වගේ බූරු කාරයො දකින්න පුලුවන්. ඒ කියන්නෙ තවත් කොටහක් තියෙනව. ඉීලඟට හත්දොහේ දානෙත් දාහංකො බලන්න.

    ReplyDelete
    Replies
    1. එනවද ඒ පැත්තේ මරණ ගෙදරක

      Delete
  13. අපේ පැත්තෙ ගහද්දි කියන්නෙ, “සීය මුල සීය මුල සීය මුල... පණහ අග පණහ අග“ ආදී වශයෙන්.

    අපේ පැත්තෙ හිටිය අපි පොඩි කාලෙ සිරිමහත්තය කියල කුළි වැඩ කරන පොරක්. ගෙයක් දොරක් නෑ. හම්බ කරන තරමක බොනව. ඌ දවසක් ඔය වගේ බූරු පොළකට ගිහිං. රුපියල් විස්සක් දික් කරනව “විස්ස මුල විස්ස මුල...“ කිය කියා. හැබැයි ඌ විස්ස දාන්නෙ නෑ. නිකං ජෝක් එකට.

    තෝන් හිටපු ලප සාන්ති මාම ඌට බැන්න, “තොගෙ ඔය බිජ්ජ මුල ත් ඇරං පලයං යන්ඩ මෙතනිං“ කියල.

    ඌ හිමිං හිමිං බැණ බැණ අපේ ගෙදර ඇවිල්ල, අපේ පිලේ බංකුව උඩ ඉඳගෙන මහ හයියෙං කෑගහනව, “සාන්තියගෙ අම්මට හු*න්ඩ - කැ* සාන්තියා...“ කියල.

    එච්චරයි කියන්ඩ හම්බුනේ, අපේ තාත්තගෙං වැදුන බුදුරැස් විහිදෙන කණේ පාරක්...

    ReplyDelete
  14. ඒ දවස්වල මරණ ගෙවල්වල ගිහින් කාඩ් සෙල්ලම් කරපුවා මතක් වෙනවා ...

    ReplyDelete
  15. මළ ගෙවල් වලට බයිසිකල්, මෝටර්සයිකල්, ත්‍රීවීල්වලින් ඇවිල්ල පයින් යන එව්වො අනන්ත දැකල තියනව.

    ඔය පැත්තෙ සුදුව බුලි වඩින්නේ නැද්ද මරණ ගෙවල් වලට ?

    ReplyDelete