බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, April 2, 2016

මරණ ගෙදර - අන්තිම කොටහ

04
මේ මරණ ගෙදරක් ලියන්න ගිහිල්ලා මගේ බ්ලොග් රස්සාවත් තව පොඩ්ඩෙන් මරණයට පත්වෙනවා. අසුබ දේවල් ලියන්න ගියාම වස් වදිනවා කියලා බ්ලොග් මිත්තරයෙක් කිව්වා. මම ගොඩාක් කල් ලිව්වේ නැති හේතුව ගොඩාක් එවුවෝ අහලා එවලා තිබ්බා.
මම අහසේ ඇවිද ඇවිද හිටියා. ඔව් අහස හරි සුන්දරයි. අවුරුදු ගානක් ඇවිද ඇවිද හිටපු අහසෙන් මම පොලොවට පත බෑ වුනා. ජීවිතයේ වෙන්න ඕනි හැම අකරතැබ්බයක්ම වෙච්ච මට අඩු වුනේ අකුණක් වදින්න විතරයි. සුරංගයයි.. කමියයි දන්නවා මගේ ජීවිතේ. ඉතිං අන්තිමට හෙරළිය ඉදෙනකොට පතබෑවෙන වැලය වගේ මමත් ගමට පතබෑ වුනා. අපේ ගමේ කඳු වලල්ල මැද්දේ සිග්නල් ජුංඩක්කත් නෑ.. ඉතිං මං ලිව්වේ නෑ. මේ පෝස්ට් එකත් දාන්නේ හාලි ඇල්ලේ පීකස් කඩේ ෂෝකේස් එකක් උඩ ලැප්පෙක තියාගෙන.
දැන් ඉතිං ඔය ඊයේ රෑ බූරු ගහලා හත වැදිලා නන්නත්තාර වෙච්ච දංසිරි අයියලා...සුමනේ අයියලා....චූටප්පයියලා ...මන්තිරි අයියලා ඉව කර කර මරණ ගෙදෙට්ට ඇදෙනවා. එයාලා දැනගන්නවා මහතුන් අයියා ඇති තැන මොකක්හරි වාසියක් තියෙනවා කියලා... ඇවිල්ලා ඉඳගෙන

“මහතුන් ආවළු නේද?“

“කෝ මහතුන්“

“කොහේ ගියාද“ 
කිය කියා විපරන් කරනවා.
“මොකුත් නැද්ද දන්නෑ...........?“

මහතුන් අයියත් ඇස් රතු කරගෙන කාමරෙන් එළියට ඇවිල්ලා ඇස්වලිමුයි ඔළුවෙමුයි සංඥා කරනවා 

“අර කාමරේට පලයල්ලා“ 
කියලා තමයි සංඥාවෙන් කියවෙන්නේ.
කට්ටියම ඉතිං මිනිය ගාව කවුරුත් නැති අල්ල පනල්ලේ කාමරේට රිංගනවා. මහතුන් අයියා කුස්සියට ගිහිං පපඩන් ටිකක් උරේකට දාගෙන කාමරේට වැදෙනවා.
අද දවසත් බේබද්දෝ ගැන ලියාගෙන ගියොත් කතාව දිග්ගැහිලා පාඨක ජනතාවගේ උදහසට ලක්වීමෙන් බේරෙන්න අද දවස ඉවර කල්ලා හෙටට පයිනවා. ඊයේ දවසේ වෙච්ච සිද්දි වලට ටිකක් වැඩියෙන් එකතු කරගත්තම හරි.
බ්ලා .....බ්ලා...බ්ලා...
(එම)....(එම).....(එම)...

04:01 වල කපන දවස හෙවත් වලේ දැමීම
ඔය අන්තිම දවසේ අර තදබදේ තවත් වැඩිවෙනවා. ඒ කියන්නේ ආපු නෑයොයි නෑයොන්ගේ නෑයොයි ගම්මුයි පිටගම්මුයි නිවස ආක්‍රමණය කරනවා. මේ දවසට උයන ගෑණුන්ට අමතරව බොහෝ පිරිමිත් අවශ්‍ය වෙනවා. පිරිමි ඕනි වෙන්නේ වල කපන්ඩ. සරසන්න. තොරණ හදන්න.
ඉතිං බාරොන් මාමලගේ නැන්දටත් ඉස්පාසුවක් නෑ. අඬනවා. කුස්සියට යනවා. ආයෙත් කවුරු හරි පඩිපෙල නැගගෙන එනකොට අපි නිව්ස්සෙක දෙනවා. ආයෙත් බාරොන් මාමලාගේ නැන්දා ඉස්සරහට ඇවිල්ලා ඒ එන අයට වැඳලා අඬනවා. පාංශුකූලේ දෙනකම්ම අඬනවා...කුස්සියට යනවා... ආයේ ඉස්සරහට එනවා ... ආයේ අඬනවා...
මේ දවසට නැතුවම බැරි තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි සෝම්පාල බාප්පා. සෝම්පාල බාප්පා කිව්වම මට මතක් වෙන්නේ මහගම සේකර මහත්තයගේ තුන්මන් හංදියේ එන මාමා.

“අනිච්චාවත සංඛාරා“

“පියාණෙනි ඔබට නිවන් සුව“

“සොයුර ඔබට නිවන් සුව“

ඔය වගේ වචන එක එක රටා වලින් පින්සලෙන් කලු ලැකර් වල ඔබලා සුදු ඉටිරෙදි උඩ රටා අඳින්නේ සෝම්පාල බාප්පා. අන්තිම දවසට කලින් දවසේ මල ගෙදර කවුරු හරි ගිහින් අනිවාර්යෙන් සෝම්පාල බාප්පාට මේක මතක් කරලා එන එක සිරිතක්. අවශ්‍ය කලමනා ටික සෝම්පාල බාප්පා කිව්වම පහුවදා උදේම ඒවා හාලි ඇල්ලෙන් ගෙනත් තියන්න ඕනි. ඉතිං අපිත් බලාගෙන ඉන්නේ සෝම්පාල බාප්පා එන්නේ කීයටද කියලා. මොකද සෝම්පාල බාප්පගේ ආවතේවකරුවා බවට පත්වෙලා ඒ අඳින රටා දිහා බලාගෙන ඉඳලා ගෙදර ගිහිං ඒවා පුරුදු වෙන්න. 

“වරෙල්ලා සොහොනේ යන්න. අර බුලත් පෙට්ටිය එහෙම අරන් වරෙල්ලා. චූටි වරෙන් යන්න“

දන්සිරි අයියා ගොරනාඩු කරනවා. ඉතිං රටා ඇඳිල්ල බැලිල්ල පැත්තක දාලා අපි සොහොනේ යන්න ලක ලෑස්ති වෙනවා.
අපි ඔය උදළු පිකැස් සවල් අලවංගු පිහි වගේ ගන්න පුළුවන් දේවල් කර තියාගෙන තව බුලත් පුවක් බීඩි දුංකල දාපු මාරි පෙට්ටියත් කිහිල්ලේ ගහගෙන දන්සිරි අයියලාගේ කාණ්ඩෙත් එක්ක පාරේ උඩහා තියෙන සොහොන් කන්ද දිහාට ගාටනවා. සොහොන් කන්දේ හුජ්ජ ගස් (මුත්‍ර ගස්/African flowers) පිරෙන්න රතු පාටට මල් පිපිලා බාරොන් මාමගේ මරනෙ පිළිගන්න බලාගෙන ඉන්නවා.

ඔන්න ඉතිං ගොඩාක් කල් සොහොනට මරණයක් ගෙනැල්ලා නැත්තන් පිහියා කැති වලින් සොහොනට නගින පඩිපෙල දෙපැත්තේ වැවිලා තියෙන අලි වල් මානන් වගේ එවුවා කැති ගාලා සොරඩි උදළු වලින් පඩිපෙල් උදළු ගාන්නත් ඕනි. ඔය වැඩේ තමයි අපිට පැවරෙන්නේ.
ඉතිං දන්සිරි අයියලා සුමනේ අයියලා වගේ අය දැන් වල කපන්ඩ හොඳ තැනක් හොයනවා. කලින් වලේ දාපු වලක් හොයා ගත්තම ලේසියි. හොඳ තැනක් හොයාගෙන වල කපන්ඩ පටන්ගන්නවා. ඉතිං දැන් කට්ටිය විට කනවා බීඩි බොනවා බීඩි බොනවා විට කනවා ඕප දූප කියවනවා....

“නේද බං පාර හදන්ඩ ආපු ඩෝසර් ඩැයිවරයා ලීලාත් එක්ක බුදියගත්තා කියලා උන්ගේ කට්ටියට පාටියකුත් දුන්නලු“

“නෑ..... හැක් .. හැක් ... පාර හින්දා ගමේ ගෑණුනම් මූණු වල නොසෑහෙන්න දැලි ගාගත්තා“

පිරිමි කියවන්නේ ඕ වගේ ඕපදූප තමයි.

කිසි වැඩක් නොකර ඕප දූප කියව කියව ඔන්න ඔතනින් රවුමට කපලා ගනින් කිය කිය උපදෙස් දෙන උපදේශකයොත් සොහොන් කන්දේ හරි හරියට ඉන්නවා.
ඉතිං වල කපාගෙන කපාගෙන යනකොට කවුරු හරි දෙතුන් දෙනෙක් තේ පෝච්චි පාන් පරිප්පු පොල් සම්බෝල බෙලෙක් කෝප්ප සීනි උස්සගෙන එනවා.

දැන් කට්ටිය වැඩ නවත්තලා..පාන් කනවා .... පරිප්පු වල ඔබාගෙන පාන් කනවා. පොල් සම්බෝලත් කනවා... අන්තිමේට පොච්චි වලින් බෙලෙක් කෝප්පෙට තේ වක්කරලා අල්ලට සීනි අහුරක් දාගෙන සීනි කකා තේ බොනවා. වැඩක් නොකර කයිය ගගහ හිටපු එවුමුත් පාන් කනවා. තේ බොනවා. පස්සෙ විට කනවා. බීඩි බොනවා. පිස්සු ආරි වල කපලා ඉවර වෙනකම්ම පාන් කනවා. තේ බොනවා. බීඩි බොනවා.

දැන් ඉතිං වල කපලා ඉවර වෙලා අරගෙන ආපු පුවක් කොට එක සමානව කපලා අරං ඒවයේ සුදු ඉටිරෙදි ඔතලා වල වටේට හිටවනවා. හිටවලා ඉවර වෙලා සුදු පිරියම් කරපු මැටි මුට්ටි මූණින් නමලා අර පුවක් කණු වල මුදුනින් බස්සනවා. වල උඩ ලී කෑලි දෙකක් හරස් අතට තියලා උදළු කීපයක් පස් ගොඩ උඩ දාලා අනික් කලමනා අරගෙන කට්ටිය පාරට බහිනවා. කලින්දා රෑ තන්ගුස් නූල් වල දවටපු හීන් කොඩි වැල් පාර දෙපැත්තේ කෝටු හිටව හිටව ඒවත් ඇදගෙන ආයෙත් කට්ටිය මල ගෙදරට යනවා.
සෝම්පාල බාප්පා ඇඳපු තොරණ පස්සේ ගෙනැල්ලා හිටවනවා. ඒක හිටවන්නේ සොහොනේ වල ගාව. සොහොන් කන්දට නගින තැන ගොක් කොල වලින් හදපු තොරණක් හිටවන එකත් කරනවා.

දැන් ඉතිං හවස දෙක තුන වෙනකොට මළ ගෙදර ඉඩ අරවන්න බැරි තරමට සෙනඟ පිරෙන්න පටන් ගන්නවා. වෑන්නෙකක් ගිහිං හාන්දුරුවෝ වඩම්මගෙන එන්ඩ ඕනි. ඉස්සර ඔය අඩි සීය දෙසීය නෙවෙයි කිලෝ මීටර් ගනන් පාංශුකූලේ දෙන්ඩ වැඩම කරපු හාන්දුරුවන්ට දැන්නන් අඩි සීය දෙසීය වඩින්නත් වාහනයක් නැතුන් බෑ. හාන්දුරුවෝ වඩින්න කලින් මළ බෙරේ වැයෙන්න ගන්නවා. ඒකෙන් පණිවිඩයක් යවනවා මරණෙ උස්සන්න ළඟයි කියලා. බෙරකාරයොත් ඔය මුතියංගනේට ගිහිල්ලා වෑන්නෙකක එක්කරගෙන එන්න ඕනි.
ඉතිං පලවෙනි මලබෙරේ වැයුනට පස්සෙ මල ගෙදර තවත් සෙනඟින් පිරෙනවා. දැන් ඉතිං හාන්දුරුවොත් මල ගෙදර පඩිපෙල දිගේ උඩට වඩිනවා. දැන් බාරොන් මාමලගේ නැන්දා නොනවත්වා මොරදෙන්න පටන් ගන්නවා.

“හා..හා .. නංගියේ හාන්දුරුවො වඩිනවා. සන්සුන් වෙන්න.. සන්සුන් වෙන්න...“ 
ගමේ ගෑණියෙක් බාරොන් මාමලගෙ නැන්දව අස්වස්සනවා.

දැන් තමයි මරණෙ අවසන් කටයුතු මරණ සමිතියේ නිලධාරී මහත්තුරු කරට ගන්නේ. හාන්දුරුවෝ පිරිස පන්චසීලයේ පිහිටුවලා මතක පැන් වත් කරලා ඉතිං මැරිච්ච කෙනා මොන දාමරිකයෙක් වුනත් මිනිහගේ නැති ගුණත් හොය හොය වර්ණනා කරමින් පොඩි ගුණ කතනයකුත් කරනවා. මම ගම්පහ ඉන්න කාලේ එහේ මැරිච්ච පාතාල සාමාජිකයෙක්ගේ මල ගෙදෙට්ට සහභාගි වුනා. ඒ මලගෙදර විනාඩි විස්සක් තිහක් හාන්දුරුවෝ අර මනුස්සයා පංසලට කරපු සේවය ගැන වර්ණනා කෙරුවා. ඉතිං ඔය මැරුන මනුස්සයා ජීවිතේට පංසලට පය ගහපු නැති මනුස්සයෙක් වුනත් හාන්දුරුවෝ බොරුවට ඒ මනුස්සයා ගැන ගුණ වය වය පංසීලයේ තුන්වෙනි සිල් පදය බිඳිනවා.

ඉතිං හාන්දුරුවෝ ගියාට පස්සේ මරණ සමිතියේ නිලධාරීන් පිට ගම්වල මරණ සමිති වල නිලධාරීන් පිට ගම්වලින් ආපු නෑයන්ගේ කතා ස්තුති කතා ආදී වශයෙන් නොයෙක් නොයෙක් කතා කියමින් මළ ගෙදර කතා ගෙදරක් බවට පත් කරමින් තව තවත් රෑ බෝ වෙනකන් කතා ඇද ඇද බොරු කිය කිය කල් මරණවා.
හදිස්සියෙන්වත් ඔය අස්සේ වැස්සක්වත් ඇද වැටුනොත් අර කතා පවත්තපු එවුන්ගේ අම්මා මෝ නැතිවෙනකන් ගම්මු තැන තැන උන්ට බැන වදිනවා.

“අරුන් කතා නවකතා කර කර ලොකු කමට කියව කියව හිටියා අපි එපැයි වැස්සේ මිනිය උස්සන්න. නොදකින් ඔවුන්ගේ කයිවාරු“

කිය කිය කතා පවත්තපු හැමෝටම දන්සිරි අයියලත් බැණ වදිනවා.
දැන් ඉතින් පෙට්ටිය වහලා මිනිය කාමරෙන් එළියට ගන්න ඕනි. ඕකට පිරිමි හතර පස් දෙනෙක් ඒ කාමරේට ගිය ගමන් බාරොන් මාමලා නැන්දා ඇතුලු කාන්තා පාර්ශ්වය මුලු ගමම දෙවනත් වෙන්න කෑ ගහනවා.

“අනේ වහන්ඩ දෙන්න එපා“

“අපිව දාලා යන්ඩ එපා“
“ගෙනියන්ඩ එපා තියපල්ලා“

පිරිමින්ට පෙට්ටිය වහගන්නම යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. 

දැන් අවමගුල් පෙරහැර සූදානම් වෙනවා. ඉස්සෙල්ලම බෙර ගහන කාණ්ඩෙ. පස්සේ සේසත් කාන්ඩෙ. මල් වඩමක් තියෙනවනම් ඒකත් අරං පෙට්ටිය ඉස්සරහින් යනවා. අනිත් පලාත් වල අඩුවෙන් දැකපු රතිඥ්ඥා පත්තු කරන කෙනාත් බෙර කාණ්ඩෙටත් ගොඩක් ඉස්සරහින් යනවා. තත්පර තිහකට සැරයක් විතර සොහොනට යනකන් රතිඥ්ඥය ගානේ දැල්වීම තමයි මිනිහගේ රාජකාරිය. ඒක පලපුරුදු කාරයෙකුට තමයි ලැබෙන්නේ.

“වලට ඩෙන් ඩෙන් උඩට යන් යන්..............“

ඔය ආකාරයට බෙරවායෝ බෙර වායනා කරනවා. 

පෙට්ටිය කරේ තියාගෙන දන්සිරි අයියලා ඇතුලු පිරිස ගමන පටන් ගන්නවා. බාරොන් මාමලා නැන්දා කලන්තෙ දාලා වැටෙනවා. පෙට්ටියට වී පොරි සත පහේ දහයේ කාසි ඉහ ඉහ එකෙක් යනවා. අපි යන්නේ උගේ පස්සෙන්. අපි අර ඉහන කාසි ටික එකතු කරගෙන සාක්කු වල ඔබා ගන්නවා. රේන්දපොලේ කඩෙන් බුල්ටෝ කන්න. මඟ යද්දි කට්ටිය පෙට්ටිය මාරු කරගන්නවා. එක දිගටම එකම කාණ්ඩයක් පෙට්ටියට කර ගහන්නේ නෑ.
දැන් බොහොම අමාරුවෙන් සොහොන් කන්ද උඩහට පරිස්සමට පෙට්ටිය උස්සන් ඇවිත් වල වටේ තුන් පාරක් කැරකිලා හිමීට පෙට්ටිය වල උඩ තියනවා.

“කව්රුවත් ඉන්නවද මිනිය නොබලපු ඔය දැන් ආපු අය එහෙම“ 
එකෙක් මහ හඬින් කෑ ගහලා ඇඟිල්ල දික් කරලා අහනවා. හදිස්සියේවත් කවුරුත් හිටියොත් පෙට්ටිය ඇරලා මිනිය පෙන්නනවා. නැත්තන් ලණූ ආධාරෙන් පෙට්ටිය වලට බස්සනවා.
දැන් වටේ ඉන්න අය පස් අහුර අහුර අරන් පෙට්ටිය උඩට හිමීට අත අරිනවා. පස්සේ තුන් හතර දෙනෙක් දඩ බඩ ගාලා උදළු වලින් පස් දදා වල වහනවා. වල පිරුණම උඩට පස් ගොඩ ගහලා ඒ උඩ වහලයක හැඩයට පස් වලින්ම සකස් කරනවා. ගෙනාපු කුරුම්බා ගෙඩි දෙකක් හිල් කරලා ඒකට මානන් බට දෙකක් දාලා වලේ දෙපැත්තෙන් තියනවා. මල් වඩමත් හිටවලා හුජ්ජ ගහෙන් කඩාගත්තු අතු දෙක තුනකුත් වල උඩින් තියලා ඉටි පන්දම් දෙකක් පත්තු කරලා කට්ටිය පාරට බහිනවා. 

පාරේ උඩහට යන අයව හරවලා ආපහු මල ගෙදෙට්ට යවන්න මහතුන් අයියා පාරේ මැද හිටගෙන ඉන්නවා.

“කට්ටියම ගෙවල් වලට යන්න එපා. ගෙදෙට්ට ගිහිල්ලා තේ එකක් බීලා එමු. මල්ලිලත් යන්න“

මහතුන් අයියා මැතිරිල්ලක් වගේ දිගටම කියාගෙන යනවා.

“තේ නම් බොන්න බෑ මහතුන් නැද්ද මොකුත්.......?“

බේබදු කාණ්ඩේ සාමාජිකයෙක් අහනවා.

“යමල්ලා යමල්ලා... දෙන්නන් .. දෙන්නන්“

දැන් ඉතිං කට්ටියම මරණ ගෙදර දිහාට ගාටනවා.

13 comments:

  1. හත්දවසේ දානෙටම ඇදහං

    ReplyDelete
  2. ගොඩක් කල් ගියා වලේ දාන්න.

    ReplyDelete
  3. උඹට කරදරයක් උනායැයි නොදනිමි. මොනව උනත් සියල්ල යහපත් අන්දමින් විසඳේ යැයි පතමි.

    කොහොමත් පෙට්ටිය අන්තිමට වලට හෝ චිතකයට හෝ ආදාහනාගාරෙට දාන්න ඉස්සරවෙලා පෙටටිය ඇරල පෙන්නනව නේද?

    අටම කියල තියෙනව වගේ හත්දවස වෙනකල් අදිමු.

    ReplyDelete
  4. දැං මචං අපි දුර ඉඳං නිවාඩු දාගෙන ඇවිල්ල ඉන්නෙ.දානෙටත් ඉඳලා කිරිහොද්දටම බස්සලා තමයි යන්නෙ.. එලවන්න ලෑස්තිවෙන්න එපා ඔන්න..
    පාරවල් හදනකොට නම් ඩෝසර් කාරයින්ට පුදුම ඔල්ලුමක් නෙව තියෙන්නෙ..මීටර් 500න් 500ට ගෑණු.. හරි ලෙංගතුයි අප්පා...
    //ඉතිං ඔය මැරුන මනුස්සයා ජීවිතේට පංසලට පය ගහපු නැති මනුස්සයෙක් වුනත් හාන්දුරුවෝ බොරුවට ඒ මනුස්සයා ගැන ගුණ වය වය පංසීලයේ තුන්වෙනි සිල් පදය බිඳිනවා.//
    බොහොම සැරයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආ...පෝස්ට් එකට නම දාපං මචං

      Delete
    2. ඔවු ඔවු, මහතුං අයියට කියහං තව බෝතල් දෙක තුනක් ලෑස්ති කරන්න කියල. හැක්..

      Delete
  5. මරු ලිවිල්ල....

    ReplyDelete
  6. කෝ බොල මේකේ මාතෘකාව?

    බාරොන් මාමත් ගියා එහෙනම්.. සිග්නල් කොහෙන් හරි හොයන් මේක අප්ඩේට් කරපං. අවුරුදු පහුවෙලා අපි එනවා උඹලා ගමේ ඉස්කෝලේ බලන්න. :)

    ReplyDelete
  7. තව ටිකක් තියෙනවා නේද මළගේ ඉවරවෙන්න.ඒ හරියත් කියලම දාපං.

    ReplyDelete
  8. ඇති යංතං ඒ කොටහවත් ලියොව ගත්ත. අම්මප උඹොව ගල් යුගේටම වැහ්න නේද බොලං?

    ReplyDelete
  9. මරු නේ බං අර වගේ ෆුල් ඕපන් එකේ කහට ඩිංගක් බොද්දි දැනෙන ආතල් එක...?

    උඹලෑ පිස්සු ආරි වගේ පොරක් අපේ ගමෙත් උන්න. කෑම දාස කියල.

    තව පොරක් උන්න කළුව කියල. පොර දවසක් කියනව, "එක්කෝටි හැට පං ලස්සෙයක් ගෑණු ඉන්නව ලංකාවෙ. ඒ උනාට මට සෙල්ලම කොරගන්ඩ එකෙක්කත් නෑ..." කියල.

    ReplyDelete
  10. තව සීන් එකක් තියෙනව, මං එක මළගෙදරකදි දැක්කෙ. සොහොනට යන පාරෙම්ම නෙමෙයි ආපහු එන්නෙ. මළගිය ප්‍රාණකාරෙය ආපහු ගෙදර එයි කියල පාර වරද්දන්න වෙන පාරකිං ආපහු එන්නෙ...

    ReplyDelete
  11. මළ ගෙදර අලියා සිසිල් බීම දීලා නෑ වගේ... හම්මේ අපි නම් මළ ගෙවල් වල යන්නේ නෙක්ටෝ.. ඔරේන්ජ් බාර්ලි බොන්නමයි. කෝ නැද්ද එව්වා.

    ReplyDelete