බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Monday, August 8, 2016

අමුතු ගම --- අන්තිම කොටහ

අර ඉර චැනල්ලෙකෙන් බදුල්ලේ මුතියංගනේ ධාතු පෙන්නුවානේ. ඒක සම්පූර්ණයෙන් රෙ()වෝ සිල්වාව ප්‍රමෝට් කරපු ධාතු පෙන්නිල්ලක්.පෙරහැරටත් බර සෙනඟක් ආවා. ඉතිං ඔය මිනිස්සු ඇවිල්ලා පෙරහැර බලන්න පාර දෙපැත්තේ වාඩි වෙද්දි ප්‍රශ්ණයකට මූණ පෑවා. ඒ තමයි තෙත පොලොවේ වාඩි වීමේ ප්‍රශ්ණය. ඔය ප්‍රශ්ණය හඳුනගත්ත බදුල්ලේ පොරක් ඔතනින් බිස්නස් එක්කට බැස්සා. SLIM/CIMA නොකලට මාකට් එකට අවශ්‍ය භාණ්ඩේ අවශ්‍ය මොහොතේ දැම්මා. පොර ලඟ කඩේකට දුවලා ඉටිරෙදි රෝලක් අරං ඇවිල්ලා මීටරේ කෑලි කපලා ඒක පලලා ඒ භාණ්ඩෙට හිත් ඇදගන්නා නමකුත් දැම්මා.. 
වාඩි කොලේ පනහයි... වාඩි කොලේ පනහයි

පොරගේ භාණ්ඩේ උණු කැවුම් වගේ විකුණුනා. වෙළඳ පොල හඳුනගෙන... පාරිභෝගික අවශ්‍යතාව හඳුනගෙන..භාණ්ඩයක් හරි වෙලාවට හරි තැනට දාන්න බදුල්ලේ මිනිස්සුන්ට SLIM/CIMA ඕනි නෑ මහත්තයෝ.

PRODUCT- ඉටිරෙදි
PRICE- රුපියල් 50
PLACE- පෙරහැර බලන ජනතාව සිටි පාර දෙපස
PROMOTION-වාඩි කොලේ...වාඩි කොලේ
බදුල්ලේ මරු මාකටිං ඈ ........................................
---------------------------------------------------------------
අර නෙලුදණ්ඩෙ මුතුබංඩෙගේ පුවක් ටික හොරු කඩලා උන්දැ කාලි කෝවිල් ගිහිල්ලා හරියට සතියෙන් පුවක් හොරා මකබෑවිලා ගියාළු නේද බං
ගල්ලත්තෙ ආච්චිත් අපේ ආච්චිව දිරිමත් කරන්නෙ එහෙම.

නැතුං නැතුං බං. ඔය කෝවිල් කොයිකත් මහා හාස්කන් තියෙන තැන් නේ. මට මේ දන්සිරියගේ බීම නැති කරන්න කෝවිල පැත්තෙ ගිහින් එන්න ඕනි.“

ඒක නවත්තන්ඩ අපි මැරිලා ඉපදෙන්ඩ වෙයි. මුලු ගමම බේබද්දෝ වෙලා. ඒ මදිවට පහේ ටොපි කිය කිය අර මදනෙ මෝදකේද මොකද්ද ගුලියකුත් ඇවිල්ලා තියෙන්නේ. මුන් ඒවත් කාලා ඇස් උඩ තියාගෙන ඉන්නේ

ඒකනේ බං අපේ කන්වලට අහපුවාද බං ඔව්වා

ඒක නෙවෙයි බං. මං මේ තේකොල ඩිංගක් තියෙනවනන් ඉල්ලන් යන්නත් එක්ක ආවේ. කතාවෙන් කතාවෙන් ඒකත් අමතක වුනා

හා.. හා .. වරෙන් .. වරෙන්..“

ආච්චි ගෙට ගිහිං ගල්ලත්තේ ආච්චිට තේ  කොල ටිකක් බෝතලෙන් කඩදාසියකට හලලා ඔතලා දෙනවා.
ඔය ගං ගොඩවල් වල කුස්සියේ හදිසි අඩුපාඩු සිද්ද වුනොත් කඩේට යන්නැතුං අහල පහල ගෙදරකින් ණයට ඉල්ලා ගැනීමේ පුරුද්දක් තියෙනවා. මේ ණය දෙන්නේ කිරුම් මිනුම් වලින්. හාල් නං හුණ්ඩු වශයෙන්. කිරිපිටිනම් හැඳි වශයෙන්. පොල් තෙල් නං ඇඟිල්ලේ පුරුක් ගානට බෝතලේට දාලා දෙනවා. මිරිස් තුනපහ වගේ එවුවත් මේස හැඳි වශයෙන්. සමහරු ඔය ගෙනියන ණය ගෙනැල්ලා දුන්නත් සමහරු ඕක අමතක කරලා දානවා. අමතක කරපු එවුන් ආය ණය ගෙනියන්න ආ‍වොත් ආච්චිනන් හොඳට කියල දීලා යවනවා.

ගිය මාසේ අරං ගිය හාල් හුණ්ඩු දෙක අමතක වුනාද? අදත් හාල් ඉල්ලන්න එන්නේ. මෙහේ ඇති හාලක් නෑ

ඉතිං දැන් ඔය ඇලට උඩින් වේල්ල දිගට ආච්චි හිටවලා තිබ්බ පුවක් ගස්වල ගොලෑ ගෙඩි පැහිලා පාට ගැහීගෙන එනවා. ගල්ලත්තේ ආච්චිගේ තැඹිලි වලුත් ගෙඩි පිරීගෙන රන්වන් පාට වීගෙන එනවා.

මේ පාර පුවක් විකුනලා මයියංගනේ පංසලටවත් ගිහින් එන්න ඕනි පෝයට.වැලිමොඩින් පොළොන්නරු යන බස්සෙකේ පාන්දර යතෑකි.

යමං .. යමං.. මමත් තැඹිලි ටිකයි පුවක් වගේකුයි තියෙනවා ඒක විකුණලා කීයක්කත් එකතු කරගන්නම්.
“පුවක් ගනන් යයි වගේ මේ පාර...නියඟෙත් එක්ක.“

දැන් ඉතිං ඔය කාලේ වෙද්දි දන්සිරි අයියා කුලී වැඩක්කත් නැතුව හත වැදිලා හිටිය කාලයක්. බීඩියක් බොන්න ඔය කවුරු කවුරු හරි අල්ලගෙන ගානක් කපාගෙන වැඩ හම්බුනාම දෙන්නං කියලා උඩහා ඩිංගිරි බංඩෙ අයියගෙන් රා ටිකක් බිබී හිටිය කාලයක්. අපිටත් ඉතිං පල්ලැහැ කඩෙන් බුල්ටෝ..මුරුකු.. පුස්නාම්බු කෝටාව අහිමි වෙච්ච කාලයක්.

අපේ ආච්චිත් ඉතිං ඔලුවේ තඩි අහුලන්න කතා කරන්නේ මට. උන්දැගේ සුදු ඉසඟෙ ගස් අස්සේ හැංගිච්ච සුදු පාට උකුණෝ ඇදලා උන්දැගේ අල්ල උඩින් තියන්න ඕනි. ලේඬිත් ඇදලා උන්දැගේ අතේ තියන්න ඕනි. එතකොට ආච්චි ඒවා ගනන් කර කර මාපටඟිල්ලේ නියපොතු අතරේ තියලා “චිටිස්“ ගාලා උන්ව බිඳලා දානවා. (ඕකට මරණවා කියන්නේ නෑනේ)

අන්තිමේට මගේ සේවය ඉවර වුනාම සේවා ගාස්තු විදියට තම්බපු බුස්සන්දා අල .. තම්බපු චව් චව්(චොචොල්).. තම්බපු කොස් ඇට.. කොස් ඇට අග්ගලා වගේ කෑම හම්බුවෙනවා.

“චූටි මෙහෙ වරෙන් බඩ්ඩක් කියන්න“

එක දවසක් මට අඬගහපු දන්සිරි අයියා මාව ඇල අයිනට එක්කන් ගිහිල්ලා පොඩි සැලසුමක් ගැන කිව්වා.

“අතේ සල්ලිත් නෑ බං. ආච්චි ගාව සල්ලි තියෙනවා. ඉල්ලන්නත් බෑ. ඉල්ලුවාට දෙන්නෙත් නෑ. අපි ආච්චිගේ පුවක් ටික කඩමු. මං උඹටත් ගානක් දෙන්නන්.“

ගානක් දෙනවා කිව්වම ඉතින් ගොඩාක් අකමැත්තෙන් හරි මාත් පැලෑනට එකඟ වුනා. පැලෑනේ හැටියට අද හවස මම ආච්චිගේ තඩි බලන්න අල්ලගන්නවා. ඒ අතරේ දන්සිරි අයියා ඇල ඉවුරේ තියෙන පුවක් වළු දහය දොලහෙන් හය හතක් කඩනවා.

සුපුරුදු විදියට ආච්චි එදත් හැන්දෑ කොරේ මාව තඩි අහුලන්න කැඳවනවා. හොබරැල්ල කන්දට පිට දීගෙන ඉන්න විදියට මම වේවැල් කැඩිච්ච පුටුව ගෙනිහින් තියනවා. ඒ කියන්නේ ඇල ඉවුරේ තියෙන පුවක් මංඩියට පිට දීගෙන ඉන්න විදියට. මම උස මදි හිංදා බංකු කොටේකුත් තියාගෙන ආච්චිගේ තඩි අහුලනවා. සැලසුමේ හැටියට දැන් දැන් දන්සිරි අයියා පුවක් ගස් ටික සුද්ද කරලා දාන්න ඕනි. පාවලලක්කත් නැතුන් සුරුස් ගාලා පුවක් ගහට නගින්නත් ආපිට වල්ල බරු ගහගෙන සුරුස් ගාලා පුවක් ගහෙන් බහින්නත් දන්සිරි අයියට තියෙන්නේ පුදුම හැකියාවක්. ආච්චි ඉතිං පරණ කතා කිය කිය මාව දිරිමත් කර කර ප්‍රාණ ගාතය කියන සිල් පදේ තිස් හතලිස් පාර නියපොතු අතර තියලා කඩලා දානවා.

“මුන් බිමට දැම්මොත් ආයේ මැස්සො ඔළුවට ගෙනැත් දානවළු“

ප්‍රාණගාතය ආච්චි විසින් සාධාරණිකරණය කරන්නේ එහෙම.

ඉතිං බිං කළුවර වැටෙනකොට තඩි බැලිල්ල අහවර වෙනවා. දන්සිරි අයියත් මිදුලට ඇවිල්ලා හොරගල් අහුලනවා.

“ආච්චි තියෙනවනං රුපියල් පහක් දෙන්ඩකෝ ණයට. හෙට ජයවද්දන මාමගේ බෝංචි කෑල්ලේ වල් ගලවන්න තියෙනවා. හෙට හවසට දෙන්නන්.“

“කොහේ තියෙන සල්ලියක්ද දන්සිරියෝ. දැන් උඹ හෙට දෙන්නන් කියලා කීයක් ඉල්ලන් තියෙනවද? මගේ ලඟ ඇති සුල්ලියක් නෑ. උඹට සිකරට් කටහලේ බොන්න මා ගාව කොහෙන්ද බං සල්ලි“

නෑ.. නෑ කිය කියා ආච්චි ලිප් බොක්ක අත ගාලා දන්සිරි අයියට රුපියල් පහක් හොයලා දෙනවා.

රුපියල් පහ ගන්න දන්සිරි අයියා රටක් රාජ්ජයක් ගත්තා වගේ රූං ගාලා රේන්දපොලේ කඩේට දුවනවා.
රෑ පහන් වෙලා පහුවෙනිදට එළිය වැටෙනවා. ආච්චි නිදි ගැට කඩලා පුරුදු විදියට එළියට බැහැලා පුවක් ගස් වැටියට ඇස් යොමනවා.

“අම්මට හැ####. මොන වේ## පුතාද බොලව් මගේ පුවක් වලු ටික බරු ගහගෙන ගිහිං තියෙන්නේ. බලපියව් පුවක් විකුනලා මයියංගනේ යන්න හිටියා. තොපිටනන් හෙණ හතම වදිනවා. මම යනවා හෙටම කාලි කෝවිලේ“

ආච්චි ආවේස වෙලා ගම දෙවනත් වෙන්න දෙස් දෙවොල් තියනවා. ටික වෙලාවකින් අඬා වැලපෙනවා.

ඒ අතරේ පාරෙන් උඩ ගල්ලත්තේ ආච්චිත් ආවේස වෙනවා.

“බලපං මගේ තැඹිලි ටිකත් කඩලා පාරේ තියාගෙන බීලා තැඹිලි කොම්බ බෝක්කු ගල් උඩ තියලා ගිහිල්ලා. අම්මට හැ####. වේ# බල්ලෝ. යමං හෙට වෙනකන් ඉන්න ඕනි නෑ. අදම යමං පඬුරු කපන්ඩ.“

ගල්ලත්තේ ආච්චි අපේ ආච්චිට යෝජනා කරනවා. දැන් දෙන්නම දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා. ඒ අතරේ දන්සිරි අයියා ඇවිල්ලා පුවක් ගස් යටට ගිහින් විපරං කරලා බලනවා.

“ඔක්කොම කඩලා නෑ. වලු හතර පහක් ඉතුරු කරලා. මේ ගස් පොඩි වෙලා තියෙන හැටියට පාන්දර තමයි කඩන්න ඇත්තේ“

“ඈ දන්සිරියො උඹට සද්ද බද්ද ඇහුන්නැද්ද.. චූටියෝ ලෑස්ති වෙයන් කෝවිලේ යන්න“

මාත් අඟුරු කෑල්ලකුයි සන්ලයිට් කැටෙයි අරන් ඇලට ගිහිං මූණ හෝදන් ඇවිල්ලා ඉස්කෝලේ සුදු සේට් එකයි නිල් කලිසමයි දාගෙන ලෑස්ති වෙනවා. කෝවිල තියෙන්නේ සෙන් ජේමිස් වත්තේ. අපේ ගමේ ඉඳන් කිලෝ මිටර් තුන හතරක් මහා කන්දක් නැගගෙන නැගගෙන ගිහිං කෝවිලට යන්න ඕනි. නෙළුව හරහා බංඩාරවෙල බස්සෙකේ නැගලත් යන්න පුලුවන් උනත් ආච්චිලා යන්නේ පයින් නිසා මට යන්න වෙන්නෙත් පයිං තමයි. ඕක නැගලා ආපහු බැහැලා ආවම කකුල් කෙඩෙත්තුව අනිවාර්යයි.

දැන් ඉතිං කරපන්ටයින් වත්ත මැදින් අපි හෙමින් හෙමින් සැන් ජේමිස් කන්ද නගිනවා. ෂොට් කට් එහෙම නැත්තන් කුරුක්කු පාවිච්චි කරමින් ගමන කෙටි කරගන්නවා. තාර පාරට වඩා ෂෝට් කට් වලින් යද්දි කූඩැලු ප්‍රහාරයට ලක් වීම අනිවාර්යයි.

“පඬුරු කපලා දවස් හත යද්දි ප්‍රතිපලේ හම්බුවෙයි. ඔය වැඩේ කරපු එවුමුයි උදවු කරපු එවුමුයි හැඳි ගෑවිලා යයි“

ආච්චි ගල්ලත්තේ ආච්චි එක්ක කියෝ කියෝ යනවා.
හුටා.. ඒ කියන්නේ දන්සිරි අයියටයි මටයි දෙන්නටම ටිකට් එක ඇදෙනවා කියන එක.මේක කරේ දන්සිරි අයියයි මායි කියලා ආච්චිට කියලා පඬුරු කැපිල්ල නවත්තගන්න මට හිතිච්ච වාර අනන්තයි. ඒත් ඕක දැනගත්තම අම්මගෙන් හම්බුවෙන කෝටු පාර ඊට වැඩිය සැර නිසා මම බුම්මගෙන සෙන්ජේමිස් කන්ද නගිනවා.

පඬුරු කැපිල්ල හා තැලිල්ල අතර වෙනස මේක කියවන පාඨකයන්ගේ දැන ගැනීමට ලියන්න හිතුනා. පඬුර කියන්නේ කාසියකට. ගොඩක් වෙලාවට රුපියලේ හරි දෙකේ හරි කාසියක් කහ වතුරෙන් හෝදලා සුදු පාට රෙදි කඩක ගැට ගහලා කෝවිලට ගෙනිහිල්ලා දෙස් දෙවොල් තියමින් ගිරයකින් ඒ පඬුර කපා දැමීම තමයි පඬුරු කපනවා කියන්නේ. පඬුරු තලන්නේ ගෙදරදි. පඬුර සිමෙන්ති පොලොවේ තියලා දිග යකඩ පොල්ලකින් තලමින් දෙස් දෙවොල් තියමින් හොඳින් පඬුර තැලුනට පස්සේ කෝවිලට ගෙනිහින් දෙවියන්ට බාර කිරීම තමයි පඬුරු තැලිල්ල කියන්නේ.

කරපන්ටයින් වත්තට පස්සේ තේ වත්ත. තේ වත්තේ තැනින් තැන තියෙන ගණ දෙයියන්ගේ ප්‍රතිමා වලටත් ආච්චිලා දෙන්නා වැඳ වැඳ හොරුන්ට දෙස් දෙවොල් තියමින් යනවා. තේ වත්තට පස්සේ ලැයිම. පුංචි මහත්තයගේ බංගලාව. ලොකු මහත්තයගේ බංගලාව. කෝටස්. ඉස්ටෝරුව. ඉස්පිරිතාලේ. පුල්ලේ කාමරේ. ඊට ටිකක් ඈතින් කෝවිල. කෝවිලේ ඉස්සරහම මහා භයංකාර  දෙවිවරුන්ගේ රූප. ඇතුලෙත් එහෙමයි. දිව එළියට දාගෙන බඩ මහත ත්‍රිශූලය සහ විවිධ අවි අතින් ගත් එක එක පාටින් භයංකාර දෙවිවරු. කපුරු හඳුන්කූරු සුවඳ... ඒවගෙන් ගලන දුම. නොනවත්වා නාද වන සීනු හඬ..තුන්නුරු ගාගන්න පොරකන වතු කම්කරුවෝ.

ආච්චි කෝවිල ඇතුලට ගිහිං පූසාරිට විස්තරේ කියනවා. පූසාරි අපි නොදන්න බාසාවකින් සීනුව ගගහ ආවේසයෙන් වගේ කන්නලවු කරනවා. පස්සේ ගල්ලත්තේ ආච්චිගෙයි අපේ ආච්චිගෙයි පඬුරු දෙක දෙවියන්ට භාර කරනවා. ආච්චියි ගල්ලතතේ ආච්චියි පූසාරියාට තුටු පඬුරුත් අත මිට මොලවනවා. පස්සේ අපි ආයෙත් පල්ලම් බහිනවා.

“දවස් හතෙන් හොරු මකබෑවිලා යයි“

ආච්චි ආපහු එන ගමනේදි කියවනවා. මගේ සරුවාංගෙම වෙව්ලලා යනවා. එක එක කතා කිය කිය කිය අපි ආයෙත් ෂෝට් කට් දිගේ ගෙදෙට්ට සම්ප්‍රාප්ත වෙනවා. දන්සිරි අයියා හොරෙන් ඇවිත් මගේ සාක්කුවේ රුපියල් දහයක් ඔබනවා.

“උඹ අද වැඩට යනවා කිව්වේ ගියෙ නෑ“

ආච්චි දන්සිරි අයියගෙන් අහනවා.

“හෙටනේ යන්නේ“

දවස් හත ගෙවෙනකන් මම බයෙන් ඇඟිලි ගැන ගැන ඉන්නවා. දවස් හත නෙවෙයි අවුරුදු ගානක් ගිහිල්ලත් දන්සිරි අයියයි මායි තාම යහතින් ඉන්නවා. ගල්ලත්තේ ආච්චියි අපේ ආච්චියි දැන් ජීවතුන් අතර නෑ.

25 comments:

  1. නිසැක දාතු පෙන්නනව වගේම වැඩක් තමයි ඉර ඉටිකොල බුවත් කරල තියෙන්නෙ.

    අපරාදෙ කාලි කෝවිලේ පූසාරියට දුන්න තුටු පඬුරු වලිං ආච්චිය මහියංගනේ ගිහිල්ල එන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කොටලා සම්මානෙකුත් ගත්තලු නේහ්.. සුබ පැතුම්

      Delete
  2. ඔය පුවක් හොරකං කරපු පවට තමයි උඹට බ්ලොග් ලියන්ඩ උනේ

    ReplyDelete
    Replies
    1. එයිට වැඩිය දේවල් වෙලා දැන් හත වැදිලා ඉන්නේ

      Delete
  3. බුස්සන්දා අල ?

    ReplyDelete
    Replies
    1. බුත්සරණ- අපේ පැත්තේ බුස්සන්දා

      Delete
  4. පුවක් හොරා , තැඹිලි හොරා .. මාරු බන් උඹලගේ ආච්චිත් සුරන්ගය්ගේ ආච්චි වගේමයි

    ReplyDelete
  5. උඹලගෙ ආච්චියි ගල්අත්තෙ ආච්චියි මැරුනෙ එහෙනම් අර කෝවිලේ පඬුරු කැපිල්ලට වෙන්නැති. ඒ කියන්නේ ආච්චිල දෙන්නම තමා හොරකම කරලා තියෙන්නෙ. නැත්නම් උඹල කොහොමද තවම යහතින් ඉන්නෙ. හැක්.

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට මාරු වෙලා

      Delete
  6. පඩුරු කපන , තලන කතන්දරේ මීට කලින් අහල නෑ

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ වැඩේම ඕක

      Delete
    2. අපේ ගෙවල් පැත්තෙත් ඔය පඬුරු තැලිල්ල තිබුනා.. අපේ ඒ තරම් දුරක් නෑනේ මේනක ලා ගමට..

      Delete
  7. උඹට සාපෙ පලදෙන්නේ පහුවෙලා. පේනවද දැනටත් බ්ලොග් ලිවිල්ල පටන් අරං තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සාපේ පල දෙන්නේ දැන් තමයි

      Delete
  8. //ඔය ගං ගොඩවල් වල කුස්සියේ හදිසි අඩුපාඩු සිද්ද වුනොත් කඩේට යන්නැතුං අහල පහල ගෙදරකින් ණයට ඉල්ලා ගැනීමේ පුරුද්දක් තියෙනවා. මේ ණය දෙන්නේ කිරුම් මිනුම් වලින්. හාල් නං හුණ්ඩු වශයෙන්. කිරිපිටිනම් හැඳි වශයෙන්. පොල් තෙල් නං ඇඟිල්ලේ පුරුක් ගානට බෝතලේට දාලා දෙනවා.// අපේ ගම් වලත් ඔහොම තමයි ඒ කාලේ පොල්තෙල් , සීනි , තේ කොළ වගේ දේවල් අල්ලපු ගෙදරින් ණයට ඉල්ලා ගාන්නවා. තේ වත්තේ වැඩ කරන අයගේ ගෙවල් වල තේ කොළ, පාන් පිටි වගේ දේවල් යහමින් තියෙනවා.. මම හිතන්නේ ඒ කාලේ ඔය දෙක වත්තේ වැඩ කරන අයට හම්බවෙනවා මාසේ පඩියෙන් කැපෙන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් තේකොලනං තාමත් ලැබෙනවා

      Delete
  9. මරු බං. බුකියෙ දැකලා ආවේ..

    ReplyDelete
  10. මෙන්න හොරු ඌඋ ...

    ReplyDelete
  11. කුරුම්බයක් දෙකක් කැඩුව නම් උඹට අදටත් බැණුම්.. හොරකම උනත් ලොකුවට කලාම කිසි අවුලක් නෑ... ඔය තියෙන්නෙ උදාහරණ ඇති තරම්..
    ජයවේවා..!!

    ReplyDelete
  12. / ආච්චි ඉතිං පරණ කතා කිය කිය මාව දිරිමත් කර කර ප්‍රාණ ගාතය කියන සිල් පදේ තිස් හතලිස් පාර නියපොතු අතර තියලා කඩලා දානවා.

    “මුන් බිමට දැම්මොත් ආයේ මැස්සො ඔළුවට ගෙනැත් දානවළු“/

    මට අල්ලලාම ගියේ මේ කෑල්ල....හෙහ්,හෙහ්,

    ReplyDelete