බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස
බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම
Thursday, December 24, 2015
සල්පිල - 02 කොටහ .............
ලොකු හාන්දුරුවෝ ආවාස ගෙට ගිහිං වහාම ක්රියාත්මක වන
පරිදි පොඩි හාන්දුරු නමක් සල්පිල් කාර්යාලයේ සහායට එවන්නේ සල්පිලේ තදබදය අවම කරන්න
වගේම මූල්ය පාලනයේදී සිදුවිය හැකි අක්රමිකතාවයන් අයින් කරන්ඩත් එක්කයි.ඔය ඔක්කොම අස්සේ සල්පිලට ඇවිත් ඒකට සහභාගි වුනා කියලා නම
දාගන්න එන අයත් ඉන්නවා. ඒ අය ආටෝපෙට ඇවිල්ලා ලොකු හාන්දුරුවන්ට පෙනී ඉඳලා තම
ගෙවල් වලට ඉක්මනට යන අය. සමහරක් අය ඉන්නවා පැය දෙකක් තුනක් ඉඳලා යන අය. සමහරු
ඉන්නවා එද්දි පොඩි එක්කුත් වඩාගෙන ඇවිල්ලා බොරුවට පොඩි එකා අඬනවා කියලා පෙන්නලා යන
අය. තව සමහරු ඉන්නවා ඔත්පල වෙලා ඉන්න තම
මව්පියන් දිහා ජීවිතේටවත් බලන්නැති අය
Saturday, December 19, 2015
සල් පිල ------------------ නිවාඩු දවසට නිවී කියවන්නට......
“ඔබෙරා
......... ගී...ඊඊඊඊඊඊ......................ඊඊඊඊඊ...............මන කැලඹේදෝ
......................“පංසලට
ඉස්පීකර් ජෝඩුවක් ගෙනැල්ලා ඝණ්ඨාර කණුව මුදුනේ ගැටගහලා ඔය සිංදුව දාද්දි අපි වෙන්
වෙන් වසයෙන් දැනගන්නවා .... පංසල මේ මොකටද එන්න හදන්නේ කියලා. ආධාර පත්රයයි.........................
විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්ය රාජයාණන්ගේ ................................මුල්ගල
තැබීමේ සිට කොත පලන්දා සුදු පිරියම් කොට විවෘත කරන දා දක්වා උත්සව 25කි....30කි...කඨින
පිංකම....මිහිදු මහා පෙරහැර...වළාකුලු බැම්ම.... මකර තොරණ....දහම් පාසල් උත්සව ...
මෙකී නොකී උත්සව සිය ගණනක් සඳහා වසරකට ආධාර පත්ර සිය ගණනක් හැම ගෙදරකටම ලැබෙනවා. “යකෝ
හාල් ඇටයක් ගන්න ගේ සත පහක් නෑ.... ආධාර පත්තරනම් එනවා... ඔව්වා කොහොම ගෙවන්නද? “ගමෙන්
පත් කරපු ආධාර එකතු කරන ### අක්කා විසි තිස් පාරක් අපේ ගෙදරට ආවත් ලැබෙන ආධාරයක්නම්
නැති තැන ආයෙත් නොඑන්නට වගබලාගන්නවා.සම්පකාරෙන් අපිට ලැබෙන දිළිඳු සහන... ඉස්කෝලෙන් අපිට
ලැබෙන දිවා ආහාර මුද්දරේ...තාත්තා නැති නිසා අම්මාට ලැබෙන පිංපඩිය....නිකං
හම්බුවෙන පාසල් පොත් සහ නිලඇඳුම් සහ අම්මාට දලු කඩලා හම්බුවෙන සොච්චම් පඩියත් අපිට
අමාරුවෙන් කිරි බෝතලයක් දෙකක් දෙන බටු වැස්සීත් නැත්තං අපි පොළොවට පස් වෙලා හිටපු
තැන්වල දැන් ගසුත් පැලවෙලා.දහම් පාසල් ගියාම අපි ඉන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් හොඳටම
වසන් වෙලා. ඇයි ඔය පංසල් ආධාර නොගෙවන එකම පවුල අපි කියලා අපිට හිතෙන නිසා. ලොකු
හාමුදුරුවොත් අපිව ගනන් නොගෙන ඉන්නේ ඒ නිසා යැයි හැඟීමක් අපේ හිත්වල මෝදු වෙලා
තිබ්බා.මිහිඳු මහා පෙරහැරට සතියකට විතර කලින් තමයි සල්පිල
පටන්ගන්නේ.. සල්පිලටත් බඩු ගමේ මිනිස්සුම තමයි දෙන්න ඕනි. ඒක වෙනමම යන ආධාරයක්.
ඩී.ටී. සුමනයි එයාගේ මහත්තයයි තමයි කවි කියන්නේ.සල්පිල ඉවරවුනාම චිත්රපටියකුත්
පෙන්නනවා කියලා යකඩ කටින් (ඉස්පීකරෙන්) නිතරම කියවන්නේ ඒක මාකටින් සිස්ටම් එකක්
නිසා. සල්පිල පටනගන්නකොට රෑ හත අට විතර වෙනවා.අම්මා සල්පිලට නොගියත් ආච්චී අනිවාර්යයෙන් යන නිසා අපිත්
දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා.“සූටියෝ“ඒ සූටියා කියන්නේ මට.... ආච්චි සූටියා කිව්වත් ගමේ එවුන්
කියන්නේ චූටියා ... උක්කුං සහ..සමීර..මට කියන්නේ චූටි....“උඹ යනවානම් ඔය පන්දමක් හදලා ගනිං““මේ හදනවා ආච්චී“ඉතිං උන්දැ හැඩවෙනවා. බ්ලැක්නයිට් පවුඩර් ටින් එක
අරං ඒකෙන් තලියක් අරං මූණේ අතුල්ලගන්නවා. කොන්ඩේ ඩිංග දිග ඇරලා දිග හවරියක් ඒකට
තියලා ඔළුවේ උඩට කරලා ලොකුවට ගැටගහනවා. උන්දැගේ ට්රංකා පෙට්ටිය ඇරලා ඒකේ තියෙන
ඉස්තරම්ම රෙද්දයි හැට්ටෙයි අරං ඇඟේ පටලවාගන්නවා.අපි පිරිස රැස්කරනවා.“ලොක්කා පලයං සමීරට කියලා වරෙන්“ ලොක්කා කියන්නේ අපේ
අයියා.“නන්දික පලයං උක්කුවාව එක්කන් වරෙන්“ නන්දික කියන්නේ අපේ
මල්ලී.මං ඉතිං පන්දම හදනවා. මං කලින් කතාවක පන්දම හදන හැටි
විස්තර කරලා ඇති. ඉතිං ඒ පන්දම් පංසල් යන්න මදි. මේකට විශේෂ පන්දමක් තියෙන්න ඕනි.
මොකද පංසල තියෙන්නේ කිලෝමීටරයක් දුර. ආයේ එන්ඩත් එපැයි.ඉතිං අරක්කු බාගේ බෝතලේක කටට කිරිමැටි තියනවා. එතකොට කර
පුපුරන්නෑ. කිරිමැට්ටත් බෝතලේට හොඳට බද්ධ වෙනවා. ඊට පස්සේ බෝතලේට ලාම්පුතෙල්
පුරවනවා. පුරවනවා කිව්වට හොඳටම පුරවන්නෑ. ඊට පස්සේ කපු රෙද්දක් අරං අර කිරල ඇබයක්
සයිස් එකට උරුට්ටු වෙන්න ඔතලා බෝතලේ කටට බස්සනවා. දැන් බෝතලේ පල්ලැහැට හරවලා තෙල්
කවලා පැත්තකින් තියනවා. ආච්චී හැඩවෙලා ඉවරවෙනකන්. දැන් ඉතිං යවපු පයින්ඩකාරයෝ දෙන්නා යාළුවෝ ටිකත් ඇහිඳගෙන
අපේ ගෙදෙට්ට එනවා. “ආ...උඹලත් ආවද? යමල්ලා... යමල්ලා....සූටියෝ පන්දමයි
ගිනිපෙට්ටියයි ගනින්““ධනසිරියෝ උඹ යන්නැද්ද?““ආ... යං අපි එන්නම්“ධනසිරි අයියගේ කාණ්ඩේ වෙනස්. සුමනේ අයියා... විජේ
අයියා..මන්තිරි අයියා...චූටප්පයියා....අප්පයියා.“ඔවුන් ඉතිං කට ගොන්නක් බීගෙන ගංජ සුරුට්ටුවකුත් ගහලනේ
පංසල් එන්නේ... නොදකින් පවු කාරයෝ“ආච්චී තමන්ටම කියාගන්නවා.ඉතිං පඩිපෙල දිගේ අපි උඩහට නගිනවා. මම තමයි පන්දම
අල්ලන්නේ. පන්දම්කාරයා තමයි ඉස්සල්ලා යන්නේ. ඉතිං කූඩැල්ලොත් කොයි වෙලේත් කකුලේ
එල්ලෙන්න බලන් ඉන්න නිසා ඒවත් බල බල තමයි අපි පඩිපෙල නගින්නේ.දැන් ඉතිං ආච්චී පාරට ගිහිල්ලා එයාගේ කාණ්ඩේ රැස්
කරනවා. බංඩේ සීයලාගේ ආච්චී... එතනින් ගියාම හීම්මැණිකේ නැන්දා...උඩහකඩේ ආච්චී...
උදළුවත්තේ ආච්චී... එනකන් අපි තැන් තැන්වල ටැක් ගැහී ගැහී හීතලේ අත්දෙක ඉස්කෝල කොට
කලිසමේ සාක්කුවේ පතුලටම බස්සගෙන ඉන්නවා... සුදු ඇඳුම් ඇඳගෙන ආච්චිගේ යාළු කාණ්ඩේ
ආවත් අපේ ආච්චී උන්දැගේ ඉස්තරම්ම මල් මල් චීත්තෙයි හැට්ටෙයි ඇඳන් ඉන්නේ.“ඇයි බං පංසල් යද්දි ඔව්වා ඇඳන් යනවද?“බංඩෙ සීයලාගේ ආච්චි පලවෙනි වෙඩිය තියාගෙනම පඩිපෙල දිගේ
පහලට දොක්කනවා.“අනේ කට වහං ඉඳින් බං සල් පිලටනේ යන්නේ“ආච්චී වෙඩිල්ල නිෂ්ක්රීය කරලා දානවා. දැන් ඉතිං මම පන්දම ඔය කවුරු හරි ආච්චි කෙනෙකුට දීලා
නිදහස් වෙලා පිටිපස්සෙන් එන අපේ යාළු කාණ්ඩෙට එකතු වෙනවා. දැන් කාණ්ඩ දෙක මීටර්
දහය...පහලව...විස්ස ..තිහ ...හතලිහ පනහා .. පංසල කිට්ටුවෙනකොට මීටර් දෙසීය තුන්සීය
විතර දුරස් වෙනවා. දැන්නම් ආච්චිට අපි ගැන ගානක්වත් නෑ... ආච්චිගේ එක එක විච්චූරණ
කතා අහ අහ අනිත් ආච්චිලා කාණ්ඩේ තම පිරිවර වැඩි කරගනිමින් පංසල් යනවා ... අපිත්
අපේ කාණ්ඩෙ වැඩි කරගනිමින් සල්පිල් යනවා...යකඩ කටේ සැර එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ අපි පංසලට
ලංවෙනවා කියන එක. පංසල තියෙන්නේ අපේ ඉස්කෝලෙට පල්ලැහින් වංගුවටත් පල්ලැහින් වමට
හැරිලා ගියාම පොඩි කඳු ගැට්ටක් මුදුනේ. ඉතිං ඔය කන්දත් නැගලා පංසලට ලංවෙනකොට කේ.ඩී
සුමනගේ කවි වලින් අපේ කන් බීරි වෙලා යනවා..“ඔව් මෙන්න තවත් ආධාරයක් කරනවා ඇටම්පිටිය සිට පැමිණි
දයානන්ද මුදලාලි තම මවට පිං පිණිස රුපියල් දෙසීය පනහක ආධාරයක් කරනවා... මුදලාලිටත්
මේ පින් බලය අත්වේවා...““දයානන්ද මුදලාලිගේ නම කියවෙනවාඅද දිනයේ පලවෙනි ආධාරය දෙනවාමවට පින් ලැබෙන්නයි ඔහු කියා පතනවාමෙපින් බලෙන් මව් ඔබ නිවනටම වඩිනවා....“දයානන්ද මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ වත්තේ මාටින් මුදලාලි..
මිනිහා දෙනවා 300ක් . මාටින් මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ විජේ මුදලාලි මිනිහත් තව
රුපියල් දහයක් පහලවක් වැඩි කරලා ආධාර දෙනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න එක කවි
පංතිය කවි පංති දෙකක් වෙනවා. ඒ වෙලාවට දෙන ඔය රුපියල් දහයේ විස්සේ ආධාර ගණන්
ගන්නෙවත් නෑ.. ආච්චිත් රුපියල් විස්සක් අතේ මිට මොලවගෙන ඉන්නවා. තරඟෙ ඉවර වුනාම
දෙන්න. ඉතිං සල්පිලට කලින් ආධාර පෝලිම නැගලම යනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න
විටෙන් විටේ ලොකු හාමුදුරුවොත් සල්පිල පැත්තේ ඇවිත් කැරකිලා පස්වනක් ප්රීතියෙන්
ඔද වැඩි වැඩී යනවා. මළුවේ නට නටා ඉන්න අපි ලොකු හාමුදුරුවෝ දැක්ක ගමන් ගල්
ගැහෙනවා....ඉතිරි කොටස ලඟදීම....
(ප.ලි. ෆේස්බුක් එකේ සහ ලංකාදීප පිටු අතර ලිය ලියා හිටපු
මට බ්ලොග් එකක් ලියන්න උත්තේජනයක්ආවේ සුරංගයා (සුංගියා) ලියන “යාංහෑල්ල“ බ්ලොග් එක
නිසා කියලා නිහතමානීව කියනවා. යාංහෑල්ල ලියවෙන්නේ රත්නපුර පැත්තේ ගමක සිදු වෙච්ච
සිදුවීම්. මම ලියන්නේ කඳුකරේ බදුල්ලෙනුත්
ඈත නුවරඑළිය පැත්තට කිට්ටුවෙච්ච ගමක් ගැන විස්තර... ඉතිං අපි වගේ තවත් අය ලිව්වනම්
සයිබර් අවකාශය තවත් ලස්සන වෙයි.. යාංහෑල්ලට මෙතැනින් යන්න)
Thursday, December 17, 2015
අපේ නෑම.......................
ඊයේ පෙරේදා මම ගමේ ගිය වෙලාවක උළු ගෙදෙට්ට පහලින් ඇල වේල්ලේ එල්ලිලා තවමත් විරාජමානව ඉන්න ලොකු සියඹලා ගහ දිහා බලන් ඉන්නකොට හිත ඈත අතීතයට දුවන් ගියා.
සමහර කාල වලට සෙල්සියස් පහලවක් විතර උෂ්ණත්වයක් තියෙන අපේ ගමේ අඩුවෙන්ම සිද්ධ වෙන දෙය තමයි දිය නෑම. අපිනම් ඒ දවස්වල නාන්න ගොඩාක් හොරයි. සමහර වෙලාවට ඇඟපත සීතලෙන් හෙල්ලුම්කාලා යන කාලෙට නාන්නේ සෙනසුරාදා දවසට තමයි. අව්වත් නැති නිසා සතියකට දවසක් නෑවම හොඳටම ඇති කියලා අපිම න්යායක් ගොඩනගාගෙන තිබ්බා. ඉතිං සෙනසුරාදත් නාන්න අදිමදි කලොත් ඕක ඇහැගහගෙන ඉන්න අම්මා තේ දර ඉපල්ලකුත් අතට අරගෙන “සන්ලයිට්“ කෑල්ලයි බේසමයි අතට දීලා
“පලයල්ලා නාගෙන වරෙල්ලා“ කියලා අපිව ඇලට එලවනවා.
ඇලේ නාන්න මිනිස්සු හදාගත්තු තැන් තියෙනවා. හොඳම තැන තමයි ඔය සියඹලා ගහයට ඇල. ඔතන තියනවා සිමෙන්තියෙන් බැඳපු බැම්මක්. එතන ලොකු බටයක් දාලා ප්රශස්ත මට්ටමට වඩා වැඩි ජලය ඉවත්කරනවා. අපි කරන්නේ ඇල වේල්ලෙන් කිරිවැල් වගේ ඒවා කඩාගෙන ඇල බ්ලොක් කරලා බටේ දිගේ වතුර යන ප්රමාණය හා වේගය වැඩි කරලා හිතේ හැටියට ඔලුව අල්ලන් නාගන්න එක. ඉතිං ටික වෙලාවක් යනකොට ඇලේ පල්ලැහැට වතුර යන්නැති එක බලන්න ගොවියෝ එකිනෙකා උඩහට ඇවිත් අපිට බැන වදිමින් අර කිරිවැල් බැම්ම කඩලා දානවා.ටිකක් වෙලා යනකොට අපේ අම්මත් එනවා. අපි හොරට නානවද බලන්න සහ කුණු අතුල්ලන්න. අපි ඉතිං ඒ දවස්වල රෙදි හේදුවෙත්...වලං පිඟන් හේදුවෙත්... නානකොට ඇඟේ ගෑවෙත් සන්ලයිට් තමයි. ඔය පුසුඹ සබන් සහ සන්ලයිට් අතර ඇත්තේ සුවඳේ වෙනසක් පමණක් බවත් මේ සබන් දෙවර්ගයේම සෝඩියම් අඩංගු බවත් මෘදු සබන් හෙවත් බේබි සබන් වල පමණක් පොටෑසියම් අඩංගු බවත් අපි දැනගත්තේ උසස් පෙළ කරද්දී. ඒ කාලේ නොදැනුවත්ව හරි අපි නියම මල්ටි සෝප් විදියට සන්ලයිට් තෝරගෙන තිබ්බා. අගහිඟකමත් මේකට බලපාන්න ඇති කියලා හිතෙනවා. ඒත් නාන්න වඩාත් සුදුසු මෘදු සබන් බවත් සිහියේ තියාගන්ටකෝ.
“මෙහේ වරෙල්ලා සබන් ගාන්න“
“අපි සබන් ගෑවා“
“උඹලා සබන් ගාන හැටි මම දන්නැතැයි. මෙහෙ වරෙල්ලා“
ඉතිං අම්මට අවනත වෙලා අපි යනවා සබන් ගාගන්න. ඇස් වල සබන් දැවටුනාම ඇතිවෙන දැවිල්ල අපි බොහෝම අමාරුවෙන් ඉවසගෙන ඉන්නේ දැඟළුවොත් කෝටුපාර හම්බුවෙන බව දන්න නිසා.ඊට පස්සේ අපිට තරු විසිවෙන්නේ අම්මා ගලත් අරගෙන පිටේ කුණු අතුල්ලන්න ගත්තම. ගලේ විපරීත වූ පාෂාණ කැබලි වලින් පිටේ දරුණු සීරීම් ඇතිවෙලා දැවෙන්න පටන්ගද්දි අපිට උන් හිටි තැන් අමතක වෙලා ඇස්වලින් කඳුළු පනිද්දී අපි එහෙට මෙහෙට ඇඹරෙනවා.
“නලියන්නැතුන් හිටපියකෝ“
“ඩස්“ ගාලා කුණු අතුල්ලන ගලෙන්ම අපේ පිට හරහා පහරක් වදිනවා.අපි කෑගහලා අඬනවා.
“බලපල්ලකෝ කුණු හත්තට්ටුවයි“
“ඔය කුණු නෙවෙයි අම්මේ අපිච්ඡද පටක“
“පණ්ඩිතකම නැතුන් හිටු. තෝ එනවද මට උගන්නන්න. “
“ඩස්“
තවත් ගල් පාරක් පිට හරහා වදිනවා.ඉතිං නාලා ඉවරවුනාම අපි අවුරුදු ගානක් හිරේ ඉඳලා නිදහස් වෙලා ආවා වගේ හැඟීමක් දැනෙනවා.සියඹලා ගහෙන් වැටෙන සියඹලා මල් ඇල දිගේ පහලට ඇදි ඇදී යනවා. අපි ඒ මල් පස්සේ දුවන් ගිහිං ඒවා අල්ලාගෙන කටේ ඔබාගෙන ඇඹුල් රස විඳිනවා.අපේ අම්මා ඔය සියඹලා මල් එකතු කරලා රසවත් ඇඹුලක් හදාගන්නවා. ඕකත් එක්ක බත් කන්න පුලුවන් බඩ පැලෙන්න. ඒකට අපි ඇල හරහා දැලක් බැඳලා තියනවා. ඇලට වැටෙන සියඹලා මල් අර දැලේ දැවටෙනවා. පහුවදා අපි සියඹලා මල් එකතු කරගන්නවා. ඔහොම දවස් දෙක තුනක් එකතු කරලා අම්මට ගිහිං දුන්නම උන්දෑ ඔය ඇඹුල හදනවා.
ඉතිං අපි නාන්න ඇල දිගේ උඩහට යද්දිත් නාලා ඇල දිගේ පහලට එද්දිත් අපේ ජීවිත කාලය පුරාම අපි ලඟින් ඉඳන් අපේ ශරීරය ස්පර්ශ කරමින් සහයෝගයෙන් ජීවත් වෙච්ච ජීවී කොට්ඨාශයක් ගැනත් මතක් නොකරම බෑ. ඒ තමයි කූඩැල්ලෝ. දැකලත් ඇති. කූඩැල්ලා කියන්නේ නිකන් රබර් කෑල්ලක් වගේ සතෙක්. සීතල පලාත් වල ඇල දොල අයිනේ සීතල තණ පඳුරු අස්සේ හරි කෙලින් හිටගෙන ඉන්නවා ගොදුර තම සමීපයට එනකන්. ගොදුර ආපු ගමන් ක්ෂණිකව ඇඟේ එල්ලිලා සම තුවාල කරලා ලේ උරාබොන පරපෝෂිතයෙක් තමයි කූඩැල්ලා කියන්නේ. අපි ඇල දිගේ උඩහට යද්දි කොහොමත් කූඩැල්ලෝ 30-40ක් අපේ ඇඟේ එල්ලෙනවා. ආය පහලට එද්දිත් ඒ වගේ තමයි. ඉතිං මෙයා ඇඟෙන් ගලවලා අයින් කරන්න ක්රම කීපයක් තියෙනවා. එකක් තමයි කඩලා ඉවත් කිරීම. කූඩැල්ලා ලිස්සන නිසා මේක ටිකක් අමාරු වැඩක්. අනික තමයි සන්ලයිට්. සන්ලයිට් ගාපු ගමන් කූඩැල්ලෝ පිස්සු හැදිලා වගේ සල සල ගාලා හැලෙනවා. අනික දුන්කොල. දුන්කොල ගෑවම කූඩැල්ලා මිය යනවා. අනික හුණු . හුණු වලටත් එහෙම්ම තමයි. ගොඩක් අය ඇලේ ගඟේ යද්දි හොඳට දුන්කොල කාලා විටක් හප හප යන්නේ. අඩි තිහ හතලිහක් ගිහින් බුලත් කෙල වඩි දෙකක් “චොරෝස්“ ගාලා කකුල් දෙකට ගැහුවම කූඩැල්ලෝ මර්ධනය වෙනවා.
අපි නාලා ගෙදර එද්දී මඟ දිගට රණ්ඩු කරද්දි එහෙම අම්මගෙන් ආයෙත් තේ දර ඉපල් පාර වදිනවා පිට හරහා. ඉතිං අපි අඬ අඬා එද්දි ඕක දකින ආච්චි අපේ අම්මට බැණ වදිනවා.
“අනේ බං ඔය අප්පත් නැති දරුවන්ට තඩිබාන්න එපා කියලා කොච්චර කියලා තියෙනවද? බලපං උන් ගුටිකාලා තියෙන හැටි“
කියද්දි අපේ හැඬුම් වල වේගය දෙගුණ තෙගුණ වෙලා අහල කඳු වල හැප්පිලා දෝංකාර දෙනවා. වෙලාවකට අපි අඬලා ඉවරවුනාම අම්මත් තනියෙන් අඬනවා. මේ ලෝකේ කාගෙවත් අම්මා හරි තාත්තා හරි කරදඬු උස්මහත් වෙන්න කලියෙන් මියැදෙන්න එපා කියලයි මගේනම් ප්රාර්ථනාව.
Saturday, December 5, 2015
වෙනත් නම් (අන්වර්ත නම්).......................
කඳු ඉහත්තාවට පතිත වෙන අව් රැල්ල හැමදාමත් මළානිකයි. උණුසුමත් නැති සිසිල දනවන සෞම්ය දේශගුණයක් අපේ ගමේ තිබුනත් තවම මිනිස්සුන්ගේ ජීවිත සෞම්ය වෙලා නෑ කියලයි මටනම් පේන්නේ.ගමේ මිනිස්සු එකිනෙකා හඳුනගන්න ඔවුන්ගේ නමට අමතරව වැටෙන අන්වර්ත නාමයන්නම් බොහෝමයි. ඒ අන්වර්ත නාමයන් වැටෙන්නත් විවිධ ප්රස්තූතයන් බලපාලා තියෙනවා.එගොඩ බංඩේ අයියා කාගෙත් ඉඩකඩම් වලට අයිතිවාසිකම් කියමින් නඩු දාන්න රුසියා. ආණ්ඩුවේ රිසිවේසන් ඉඩම් පවා නඩු දමමින් අත්පත් කරගැනීම ඔහුගේ විනෝදාංශය බවට පත් වෙලා තිබ්බා.නඩු 50-60ක් තියාගෙන ජීවිත කාලෙම උසාවි වල ලැග ලැග හිටියා. පතන් ඇල්ලීමට ප්රිය නිසා ඔන්න බංඩෙට නමක් වැටුනා “පතන් බංඩේ“ කියලා. එගොඩ සු-රංජි අයියා. මෙගොඩින් එගොඩට දීග ගිය සු-රංජි අයියා බොරු කීමේ මහා දක්ෂතාවයන්ගෙන් හෙබි අයෙක්. පළාතේ දේශපාලන ඇමැත්තාගේ පිහිටෙන් සෞඛ්ය අමාත්යාංශයේ රැකියාවක් ලබා ගත් ඔහුද බොරු කීමේ නිපුණයෙක් බටට පත් උනා.“සිංහලයාගේ එක් භයානක නපුරක්නම් බොරු කීමයි. එයද අසුවන ලෙසින්ම කීමයි“ යැයි ලංකාව ගැන විස්තර ලියා තැබූ රොබට් නොක්ස් පවා ලියා තබා ඇත.දිනෙක ගමේ මලගෙදරකදී තමන් සෞඛ්ය අමාත්යාංශයට අයත් වාහන වලින් විනාඩි දහයෙන් බදුල්ල සිට මහියංගනයට යන බවට පුරසාරමක් දෙඩීමෙන් පසු සු-රංජි අයියාට වැටුණු අන්වර්ත නම “පචයා“ ය.තවත් පචයෙක් සිටී. ඔහුද සෞඛ්ය අමාත්යාංශයේම සේවය කරන සිසිල් අයියාය. ඔහුද අසුවන ලෙස බොරු කීමේ නිපුණයෙකි.අපේ බාප්පා කළුබංඩේ අපේ ආච්චි මැරෙනකන් උන්දැට වතුර ටිකක් පොවන්නවත් ගමට ආවේ නෑ. ඒත් ආච්චි මළාට පස්සේ ගෑණිගේ බහට මහගෙදරට රූටන්න පටන්ගත්තේ ඉඩම් තණ්හාවට. අන්තිමේ මහ ගෙදර ඉඩමෙන් කෑල්ලකුත් අල්ලාගත්තා. අල්ලගෙන ගෙයක් ගැහුවා. පංපෝරි ගැසීමේද ප්රමුඛයෙකු වන අපේ බාප්පා එක්තරා මැතිවරණයකදී දේශපාලකයකුට අයත් උදළු වගයක් බෙදීම සඳහා නිවසේ තබා ගැනීම නිසා මැතිවරණ නීති කඩ කිරීම යටතේ පොලීසියේ අත්අඩංගුවට පත්වී ඇප පිට නිදහස ලබා පැමිනෙද්දී ඔහුටද නමක් පටබැඳී තිබුණි. ඒ “උදළු බංඩේ“ය.ඔය උඩහා ගලබඩ ඇල්ල දිහාට අලුතෙන් ආපු ඉස්කෝලේ මහත්තයා ගව පාලනය අමතර ආදායමක් විදියට සරුවටම කරගෙන ගියා. ඉතිං මිනිහට හිටියේ හොඳ ප්රීසියන් හරක්. ඔවුන්ව ගවගාල් ඇතුලේ තියලම තමයි හදන්න ඕනි. ඉතිං ඉස්කෝලේ මහත්තයට දැන් ඇතිවෙන ගැටළුව තමයි වල් ප්රශ්ණය. වල්නම් ඔය ගම්තුලානේ ඕනි තරම් තියෙන්නේ. ඒත් කූඩැල්ලොත් කව්වගෙන ඕවා කපන්ඩත් එපැයි. කුලියට කප්පන්නත් බර වියදමක් යන නිසා ඉස්කොලේ මහත්තයා දිග කලිසමත් ඇඳගෙන තමාම වල් කපන්න ගියා. ඉතිං දිග කලිසමයි අත් දිග කමිසෙයි ඇඳන් වල් කපන ඉස්කෝලේ මහත්තයටත් නමක් වැටුනා “වල් මහත්තයා“.ගමේ මිනිස්සු තමන්ගේ හිතට අමාරුවක්... ආදරයේ විරහවක්....විභාගයේ අමිහිරි බවක් ඇති වුනොත් වහ බීලා දිවි තොරකරගන්න හිතනවා. එළවළු වගාව නිසා වහ ඔය ගමේ ගොඩේ හැමතැනම බහුලව තියෙනවා. ආය පුතේ වහ බීලා බේරුණොත්නම් වහ බීලා මැරෙනවා ඊට හොඳයි කියලා හිතෙයි. මොකද ඒ තරමට නින්ගිරා අපහාස. ඉතිං වහ බීලා බේරිලා ආපු අයට ගොඩක් වෙලාවට නම් වැටෙන්නේ වහ බොතලේ බ්රෑන්ඩ් නේම් එක යටතේ. ටැමරෝන් සුමනේ.. හාක්රෝස් බංඩේ.. ඇනට්රකෝල් සුද්දා... වගේ නම් එක එකාට වැටුනේ වහ බී බේරීම කියන වරදට දඬුවමක් විදියට. ඉතිං ඔය අය මැරෙනකම් ඔය නම් රෙජිස්ටර් වෙනවා. හරි නම කියලා ඇහුවොත් ඔය කවුරුවත් කාවවත් අඳුරන්නේ නෑ. අන්වර්ත නම කිව්වොත් සුටුස් ගාලා අඳුරනවා.කරුණක්කා බැන්දේ බදුල්ලටත් එහා සුදු සරමයි ෂර්ට් එකයි අඳින මනුස්සයෙක්. මනුස්සයා කලේ බදුල්ල සේනානායක පිට්ටනියේ එළවළු කඩේක වැඩකරන එක. ඉතිං ගමේ කෙනෙක් දවසක් මළ ගෙදරකදි අහලා තියෙනවා දවසට පඩිය කීයක් දෙනවද කියලා. රුපියල් පන්දාහක් කියලා ගත් කටටම තඩි නයෙක් ඇදබෑමේ වරදට අදාල පුද්ගලයාව ගමේ මිනිස්සු තවමත් හඳුන්වන්නේ “පන්දාහ“ කියලා.උඩහා ගුණේ අයියට කාලගුණේ කියන නම වැටුනේ කොහොමද කියලා දන්නේ නෑ . රාජා අයියට සීටීබී රස්සාවක් ලැබුණ නිසා සීටීබී රාජා කියන්න පටන්ගත්තා. උඩහා හේල්ලන්දේ ගෙදර ලොකු නෙල්ලි ගහක් තිබුණා. ඒ ගෙදර පොඩි කෙල්ලට නෙල්ලි බබා කියලා නමක් පටබැඳුනා. ගල්වත්තේ ආච්චිගේ මිණිබිරීට බබික්කි කියලා නමක් පටබැඳිලා තිබ්බා. ඔය නම කියනවා ගල්ලත්තේ ආච්චිට ඇහුණොත් හොඳ සුද්ද සිංහලෙන් අහගන්න පුලුවන්. උදළු වත්තේ කතා කරන්න බැරි අක්කට ඇබැයියා කියලා කිව්වා. මාළු මුදලාලි කෙනෙක් බැන්ද නිසා පවුලට මාළු ඇන්ටි කියලා නමක් වැටිලා තිබ්බා. උදේ ඉඳන් ඉතා වේගයෙන් කුඹුරු තඩිගහන සුනිල් අයියාට හනුමා කියලා නමක් ගමේ තුඩ තුඩ රැව්දුන්නා.තවත් නොකී මතකයෙන් ගිළිහුණු අන්වර්ත නාමයන් බොහෝමයි. මතක් වූ කලක ඉදිරියේ ඒවා ග්රන්ථාරූඪ කිරීමට බලාපොරොත්තු වෙමි.
Monday, November 9, 2015
වත්ත ....................
තාත්තා
නැති වුනාට පස්සේ අපි අඳුරු ළිඳක් පතුලට වැටුනා. ඔක්සිජන් නැතුං හුස්ම ගන්න අමාරුවෙන්
ඉන්නෙකාට අඳුරු ළිඳට හීන් දීප්තිමත් නළයකින් ඔක්සිජන් ජුන්ඩක් ලැබුණා. අපි යාන්තන්
හුස්ම ගත්තා... ඒ ඔක්සිජන් නළය තමයි තේ වත්ත. තේ වත්ත කියන්නේ අපේ තේ වත්ත නෙවෙයි.
සුද්දගේ වත්ත. ආණ්ඩුවේ වත්ත. සැන්ජේමිස් වත්ත.
අම්මා
කූඩයක් කරේ එල්ලගෙන වත්තේ වැඩට ගියා. අපි වැටිච්ච ළිඳට ආලෝකයක් දෙන්න. උදේම්ම
නැගිටලා රොටී උයාගෙන අපිට අලුත් බත් දීලා උන්දෑ හීල් බත් දංකුඩ කාලා අපිව ඉස්කෝලේ
යවලා සීතලේ ගැහි ගැහී වැඩට ගියා. කමලනීලා .. සරෝජනීලා ... සරස්වතීලත් එක්ක හරි
හරියට උන්දැත් දළු කඩනවා. ඉතිං ඔය තේ වත්ත අපේ ජීවිත එළිය කලේ ඔහොම.
වත්තේ
මිනිස්සු ඉන්නේ ලැයිම් වල.එහෙම නැත්තන් කෝටස් එකේ. අපේ ආච්චි ඒ දවස්වල වැඩ කලේ
පුල්ලේ කාමරේ. ඒ කියන්නේ වත්තේ ගෑණු දරුවෝ වදන කාමරේ තමයි පුල්ලේ කාමරේ කියන්නේ. ඒ
කියන්නේ අපේ ආච්චි පරණ මිඩ්-වයිෆ් නෝනා කෙනෙක්. ඔය කඳුකරේ ගම්මානවල ගෑණු දරුවෝ වදන
කාලේ ලං වුනාම අපේ ආච්චිව ඒ මිනිස්සුන්ගේ ගෙවල්වල දවස් ගනන් එක්කරං ගිහිං
තියාගන්නවා. ආච්චි එන්නේ දරුවා ලැබිලත් දවස් තුන-හතර ගියාම. ඉතිං ආච්චිත් එක්ක
වගේම ගල්වත්තේ ආච්චිත් එක්කත් අපි වත්තේ යන හින්දා අපි වත්ත ගැන ගොඩාක් දේවල්
දන්නවා.
වත්තේ
මිනිස්සු කාට නැතත් දෙවියන්ට දක්වන්නේ මහා ගෞරවයක් වගේම බයක්. ඔය සැන්ජේමිස් වත්තේ
තැන තැන ඉදිවෙච්ච ගණදෙවි රූප ඕනිතරම් තියෙනවා. ඒ වගේම වත්තේ කෝවිලෙන් වාර්ෂිකව
පවත්වනවා උත්සවයක්. ඒකට කියන්නේ රදන් කියලා. ඒ ගැන විස්තරයක් ඉදිරියේදි තියන්නම්.
ඉතිං
අම්මා හවස ගෙදර ඇවිල්ලා කකුල් කෙඩෙත්තුව හැදිලා කෙඳිරි ගාද්දි සිද්ධාර්ත තෛලය
උන්දැගේ කකුල් වල ඇතිල්ලුවේ අපි. සමහර දවස්වලට ලාම්පුතෙල් දාලාත් උන්දැගේ කකුල්
අතුල්ලන්නේ වේදනාව වැඩි වුනාම. උන්දැගේ ඇඟිලි පුරුක් කළු පැහැ ගැන්විලා තිබ්බා තේ
දළු වල කහටට. ඇඟිලි තුඩු අග පුපුරලා තිබ්බා තේ දළු සැරට. පස්සේ කාලෙක කූඩේ බර හේතුකොටගෙන
කොන්දේ කැක්කුමකුත් දායාද වුනා උන්දැට.ඒ තමයි අපේ අම්මා. ඉතිං අපේ අම්මා වැඩට
යද්දි පරණ තර්මෝස් උණුවතුර බෝතලේකට තේ කහට එකකුත් පුරවගෙන යන්නේ. වත්තෙ ගොඩක්
කට්ටිය තේ ගේන්නේ අරක්කු බෝතල් වල. ඉතින් ඔය බෝතල් වලට තේ දැම්මම පේන්නේ අරක්කු
වගේ තමයි. ඉතින් ඔය කහට අරක්කු බෝතල් ගෙනල්ලා නැවුම් තේ දල්ලක් කඩලා ඒකට
දාලා ගලක් උඩ තියල තියනවා.අව්ව වැටෙනකොට ගල රත්වෙනවා. ඉර එළියේ රස්නෙයි ගලේ
විස්තාපනය වෙන තාපෙයි එකතු වෙලා අර කහට බෝතල් උණුසුමෙන්ම තියනවා. නැවුම් තේ දල්ල
තේ කහටත් එක්ක ප්රතික්රියා කරලා අලුත් රහකුත් අර තේ එකට ලැබෙනවා. කට්ටිය සතුටින්
නැවුම් උණුසුම් තේ කෝප්පෙක රහ බලන්නේ ඔහොමයි.
අපි තියා
අපේ අහල ගම් හතකවත් මිනිස්සු කවදාවත් තේකොල සල්ලි දීලා කඩෙන් ගෙනාවෙ නෑ.. වත්තේ
ඉස්ටෝරුවෙන් තේකොල හම්බුවෙනවා. ඒවා ඉතිං සහයෝගයෙන් ඔහේ ගම්මානේ සංචරණය වෙනවා.
හදිසියේවත් නොදැනුවත්ව තේ කොල බෝතලේ හිස් වෙලා තිබ්බොත් ගෙදරදීම තේකොල හදාගන්න ක්රමයක්
ගමේ මිනිස්සු දන්නවා. ඒක පරිස්සමින් කරන්න ඕනි. ඔය කොයි තේ කොලේටත් වඩා රහයි.
ගුණයි. විශ්වාසයි. ඔය අපේ පැතිවල ට්රිප් එහෙම යන අය ඔය පාර අයිනේ තියෙන තියෙන තේ
වතු වලින් සිලි-සිලි මල්ලකට තේ දලු ටිකක් කඩලා පුරෝගෙන එන්න . කවුරුත් මොකුත්
කියන්නේ නෑ.
මෙන්න
මෙහෙමයි හදන්නේ. ලපටි තේ දලු ගෙන (බී.ඕ.පී) වංගෙඩියකට දමා කුඩුවනතුරු හොඳින්
කොටාගන්න. ඉන්පසුව කපු රෙදි කැබැල්ලක් ගෙන පොට්ටනියක් බැඳ පැය කිහිපයක් තබන්න.
එවිට කහට ගතියක් ඇතිවේ. පසුව තැටියක් ගෙන ලිප තබා මද ලා ගිනි රස්නයේ පදම දැනෙනකන් බැදගන්න. දැන් ඔබට
100% විශ්වාස සුමිහිරි තේ පානය කරන්න ලැබෙයි. කිරි සමඟ අගෙයි.. ඉතිං අත්හදා බලලා
කියන්ටකෝ. අපි අර අඳුරු ළිඳට වැටුන නිසා තමයි මේ වගේ කතා ලියවෙන්නේ. නැත්තම්
ලියන්න වෙන්නේ “අපේ තාත්තා ප්රාඩෝ එක හෝද හෝද ඉන්නකොට තඩි ගැරඬියෙක් එතනින්
ගියානේ“ වගේ කතා තමයි. ගිහිං
එන්නම්..............................................
Tuesday, October 6, 2015
ඕප-දූප ....
ඔන්න පඩිපෙළ බැහැගෙන උඩවෙල පුංචි අපේ ගෙදෙට්ට එනවා. වෙන
මොනාටද ඉතිං ඕප දූප කියවන්න තමයි. ඉතිං උඩවෙල පුංචි ඇවිල්ලා කහට එකක් හෙම බීලා
බුලත් විටක් හෙම කාලා ඕප දූප දෙකතුනක් වමාර වමාර ඉන්නකොට තව කවුරු හරිත් ඇවිත් ඒ
ඕපදූප වලටම එකතු වෙනවා. දැන් අලුත් ඕප දූපත් ඉතිං ඔය මාතෘකාවලට එකතු වෙලා සමහර
වෙලාවට පැය ගණන් ඇදි ඇදී යනවා. අපිත් ඉතිං හිමීට හිමීට ඔය ඕපදූප අහන්න කුස්සියට
සේන්දු වෙනවා.“පලයල්ලා යන්න. මම කියලා තියෙනවා නේද? ලොකු මිනිස්සුන්ගේ
කතා වලට හොට දාන්න එපා කියලා.“අම්මා අපිව එළවගන්නවා. ඒත් අපිට ඔය කතා අහන්නම ඕනි නිසා
පිළිකන්න පැත්තෙන් ගිහිං බිත්ති වලට කන තියාගෙන අපැහැදිලි කතා අහගෙන ඉන්නවා.“නෑ““ඔව්““කොළඹ ගිහිල්ලා එකෙක්ව අල්ලගෙන බඩත් හෝදගෙනලු ඇවිත්
ඉන්නේ““නෑ...උඹට කවුද කිව්වේ““කියපු කෙනා කියන්න බෑ.. උඹ කියයි““උඹටත් විකාර.. මම යනවද ඕව කියන්න““ආ එහෙනම් දිව්රපං““ඕන්න දිවුරුවා““..............................“ඉතිං එක
ඕපයක් ඉවර වුනාම තව ඕපයක්. සමහර වෙලාවට රෑ අඳුර වැටෙනකම් අපේ ගෙදර ඕපදූප මධ්යස්ථානය
වෙනවා. මුලු ගමටම ලයිට් තිබ්බත් මහ ගෙදරට බාප්පත් එක්ක තිබ්බ ප්රශ්ණයක් නිසා
ඔප්පු සම්බන්ධ ගැටලුවක් නිසාත් තාත්තා නැතිකම නිසා ඇතිවෙච්ච අහස උසට වූ අගහිඟ
නිසාත් අපිට ලයිට් තිබ්බේ නෑ. අඳුර වැටෙනකොට කුස්සියට කුප්පි ලාම්පුවත් ගෙට චිමිනි
ලාම්පුවත් පත්තු කිරීමේ වගකීම පැටවිලා තියෙන්නේ අපිට. ලාම්පු තෙල් කාඩ් එකට
සමූපකාරෙන් දෙනවා. ආහාර මුද්දරෙත් එක්ක ලාම්පුතෙල් කාඩ් එකකුත් ලැබෙනවා. ආහාර
මුද්දරේ රෝස පාටයි. ලාම්පුතෙල් කාඩ් එක ලා නිල් පාටයි. ඉතිං මාසේ පළවෙනිදා අපි ඔය
කාඩ් දෙක අරං ගිහිං හාල් පොල් බඩුයි ලාම්පු තෙලුයි උස්සගෙන එනවා. “දිළිඳු සහන
දෙපාර්තමේන්තුව“ කියලා ඔය කාඩ් එකේ ගහලා තිබ්බත් මතකයි.ඉතිං
කුප්පි ලාම්පුව හදන්න කියලා තියෙන්නේ මාමයිට් බෝතලෙන්. අපිට කොයින්ද මාමයිට්
බෝතල්. අපිට පහසුවෙන් සපයාගන්න පුලුවන් බෝතල් තමයි වහ බෝතලේ. වහ බෝතලේ ගැන මතක්
කරාම මතක් වෙන ඇමැත්තෙක් ඉන්නවා නේද? ආං එයත් අපේ පැත්තේ. වහ බෝතලේ අරං මූඩිය
ඇණයකින් විදලා තව්වක් හදා ගන්නවා. ඒකල්ලා කපු රෙද්දක් අරං කෑල්ලක් කපාගෙන කකුලේ
තට්ටමේ තියලා රෝල් කරගන්නවා. පංසල් යන්න පහන් තිර රෝල් කරන්නෙත් ඔය ක්රමේටම තමයි.
ඉතිං ඔය රොල අර තව්ව අතරින් ටිකක් උඩට යවලා තිරේ වහ කුප්පිය ඇතුලට දාලා ලාම්පුතෙල්
වලින් කුප්පිය පුරෝලා හොඳට වහලා ගින්දර පත්තු කරනවා. චිමිනි ලාම්පුව පරිස්සමට අරං
චිමිනිය පිහදලා තෙල් පුරවලා තිරේ උඩට අරං පත්තු කරලා චිමිනිය දාන්න ඕනි.
වැරදිලාවත් චිමිනිය බින්දොත් අම්මගෙන්“වේවැල්
කෝටු නාරන් සියඹලා අතු ...“ පහරවල්වල මිහිරියාව විඳගන්න පුලුවන්.ඉතිං ඔය
ඕප දූප කියවෙන තව තැන් කීපයක්ම තියෙනවා අපේ ගමේ. එකක් පිහිල්ල.. පිහිල්ල කියන්නේ
අපි වතුර සපයාගන්න තැනක්. පිහිලි ගොඩාක් තියෙනවා ගමේ . පිහිල්ල අයිති ගෙදරට අනුව
තමයි නම වැටිලා තියෙන්නේ. බුලත්ගෙදර පිහිල්ල... හේල්ලන්දේ පිහිල්ල.. ඉස්කෝලේ
මහත්තයලගේ පිහිල්ල.. පිහිල්ල කියන්නේ කන්දේ පාෂාණ වල විපරීතනයන් නිසා ඒ තැන් වලින්
මතුවෙන භූගත ජලය කඳුරක් දිගේ ආවාම එතැනට ඔය උණ බටයක් හරි කිතුල් කඳක අඩක් හරි ගහලා
වතුර කඳක් ලබාගන්න තැන. පිහිල්ලට ඔළුව අල්ලා නෑවාම දැනෙන සනීපෙනම් නිමක් නෑ.ඉතිං
ඔය පිහිල්ලට කලගෙඩි අරං වතුර අරං යන්න එන ගෑණු ඕපදූප කියවනවා. අපේ පැත්තේ ලිං නැති
නිසා “පිහිල්ල ලඟ සංගමය“ කියලා දැම්මා ඕන්.
අනික්
තැන ඇල. ඇලට යන්නෙත් නාන්න. රෙදි සෝදන්න .. වළං සෝදන්න තමයි. ඔය තැන්වලත් ඕපදූප ප්රරෝහණය
වෙලා විසල් ගස් දක්වා වැඩිලා ගමේ එහා මෙහා වේගයෙන් ගමන් කරනවා. අනික් තැන ගඟ. ගඟට
යන්නෙනම් ගොඩාක් අය නාන්න තමයි. ඉතිං නානතොටේ ඕපදූප ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕනි
නෑනේ.
ඉතිං ඕප
දූප කිය කිය ඉඳලා රෑ වුන නිසා අපේ පඩිපෙල නැගගන්නත් අපහසු නිසා කට්ටියට දැන්
පන්දම් හදලා දෙන්න වෙනවා. වෙන පැති වල ඔය හුලු අතු තිබ්බට අපේ පැති වල පොල් ගස්
නැති නිසා පන්දම් තමයි පාවිච්චි කරන්නේ.
සරළ
පන්දමක් හදන්නේ මෙහෙමයි. කොටු කෑල්ලක් අරං රෙදි කඩක් කෙලවරක ඔතලා ගැටගහලා ඒක
ලාම්පුතෙල් ගැලුමේ ඔබලා තෙල් කවලා පත්තු කරලා දෙනවා. උඩවෙල පුංචිට ඕකෙන් ගෙදෙට්ට
යන්න පුලුවන්. තෙල් කවපු ටික පිච්චිලා ඉවර වුනාම පන්දම මැරෙනවා.
ඉතිං ඔය
කාටවත් කියන්න එපා... උඹට විතරයි කියන්නේ... ඔන්න මම දිවුරුවා ... කියන ඕප දූප තව
දවස් දෙක තුනකින් ගමේ නොදන්නා පිරිසක් වෙත්නම් ඒ බල්ලන් සහ බළලුන් පමණි. ඒ තරමට ඕප
දූප හරිම මිහිරියාවයි.-මතු
සබඳී-
Friday, September 25, 2015
අපේ බලාපොරොත්තු සහ දේව දානය ...

ඔන්න අපේ ගෙදර තිබ්බා යුනික් රේඩියෝ කබලක්. ගමේම ටී.වී එකක් තිබ්බේ පීරිස් බාස්ලගේ ගෙදර විතරයි. පීරිස් බාස් ටීවී බලන්න යන මිනිස්සුන්ගෙන් රුපියලක්ද කොහේද ගත්තා මයේ හිතේ.
“අනේ ඕකගේ ටීවී එක.. අපිට හොඳයි අපේ රේඩියෝ කබල“
ඕකට ලොකු බැට්ටි හතරක් දාලා තමයි ක්රියාත්මක කරන්නේ. ඒ දවස්වල තිබ්බේ කෙටි තරංගයි. මධ්යම තරංගයි . අපි ඇහැව්වේ මහනුවර සේවය. පැහැදිලි නෑ.. හිටපු ගමන් කතාව හෝස් ගාලා හුලඟේ යනවා.. තරංග දුරුවලයි.
“මේ ශ්රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ මහනුවර සේවයයි. හුන්නස්ගිරියෙන් මෙගහර්ට්ස් ...................... මහනුවර සේවය..ශ්රී පුෂ්පදාන මාවත.. මහනුවර “ ඔව්වා අපිට තාම මතකයි ... මේ එෆ් එම් (Funeral of media) එකක් ඇවිල්ලනේ මිනිස්සුන්ට ගුවන්විදුලිය එපා කෙරෙව්වේ.. අපි ඉතිං බැට්ටි දාලා රේඩියෙක අහනවා .. බැට්ටි බහින නිසා ඉක්මන්ට අහලා වහලා තියනවා . තියෙන කරදර මදිවට තව බැට්ටි වලටත් සල්ලි හොයපල්ලකෝ . අම්මා කියනවා.
මතකයිද අපි ඉස්කෝලේ ගිය හැටි. මං දෙවතාවක්ම මතක් කරලා ඇති. ඉතිං අපිට ඉස්කෝලේ යන්න පැය කාලක් ගත වුනාට එද්දි පැයක් එකහමාරක් ගතවෙනවා . නාකි බල්ලෝ කොළඹ ගියා වගේ . ඇයි ගොස්සැල්ලේ ගෙදර ගල් පරුවතේ කොක්කු ගෙඩි කඩන්න තියෙනවා. පංසල ගාව කැකුණ ගහට ගල් ගහන්න තියෙනවා . රිළවු දැක්කොත් උන්ට ගල් ගහන්න තියෙනවා. කැටේ ගෙදරට උඩින් තියෙන තෙල් මොට්ටු වැලෙයි බූටා වැල් වලයි ගෙඩි හොයන්න තියෙනවා. හේල්ලන්දේ නෙල්ලි ගහේ ගෙඩි කඩන්න තියෙනවා. පේරවත්තේ පේර කඩන්න තියෙනවා. ඊට උඩින් තියෙන පැණි තෝර ගස්වල ඉදුනු කරල් හොයන්න තියෙනවා. ඉස්කෝලේ මහත්තයගේ කඩෙන් බන්ටි ටොපී අරං ඒවගේ කොලේ අදින්න තියෙනවා. ඉස්කෝලේ මහත්තයගේ පිහිල්ලෙන් වතුර බොන්න තියෙනවා. විජේ අයියගේ මඩුවේ කියතට කැපෙන ලී දිහා බලන් ඉන්න තියෙනවා. සේපාලිකා අක්කගේ ටේලර් සාප්පුවේ මැෂිමේ රෝද කැරකෙනවා බලන්නත් මැහෙන එක එක රටා බලන්නත් කැපිච්ච රෙදි කෑලි සාක්කුවේ ඔබාගන්නත් තියෙනවා. අපේ ජීවිතත් හරියට සේපාලිකා අක්කගේ මැස්මක් වගේ. නූලක දැවටීගෙන... මැසීගෙන .... මැසීගෙන.. මැසීගෙන....
“අයෑම් ටාරෝ..අයෑම් ෆ්රොම් ජපෑන් ... අයෑම් මුරු .. අයෑම් ෆ්රොම් නයිජීරියා...අයෑම් ගීතා ..අයෑම් ෆ්රොම් ඉන්දියා..අයෑම් සමන් ..අයෑම් ෆ්රොම් ... ශ්රිලංකා...“
අපේ අ-ප්පිරියම පාඩම ඉංගිරිසී.. ඉංග්රීසි පීරියඩ් එක එද්දි අපිට අර අසාත්මිකතාව වගේ...
“අයි වෝන්ටුබී අ ඩොක්ටර්...ඉංජිනියර්...ටීචර්...කන්ට්රැක්ටර්..බිස්නස්මන්...ලෙක්චරර්...අකවුන්ටන්“
ෆාමර්ලා..ඩැයිවර්ලා...ලේබරර්ලා.... එක්කෙනෙක්වත් හිටියේ නෑ.. ඒත් ඔය කියපු එක්කෙනෙක්වත් කියපු එක්කෙනෙක්වත් වුනේ නෑ..
ඉස්කෝලෙට ආපු අලුත් සිංහල සර් ඔක්කොගේන්ම අනාගතේ වෙන්න කැමති කවුද කියලා ඇහැව්වා.. ඔක්කොම ලොකු ලොකු කතා කියාගෙන ගියා. මාත් ටීච කෙනෙක්ද කොහෙද වුනා .. ඉන්දුසිරියා නැගිට්ටා..
“මම ලොකු වුනාම කෑගහනවා සර්“
“කෑගහනවා....??? මට තේරුන්නෑ“
“කෑගහනවා සර්“
“මොකක්ද ළමයි මෙයා කියන්නේ“
“නෑ සර් එයාලගේ තාත්තා කෑගහනවනේ බදුල්ලේ ස්ටෑන් එකේ“
“මට තේරුන්නෑ ළමයි“
“සර් කෑ ගහලා බස්වලට සෙනඟ පටවලා කීයක් හරි හොයාගන්නවා.. ලොකු වුනාම ඒ රස්සාව කරනවා කියලා කියන්නේ“
ඒත් ඉන්දුසිරි විතරක් තමා කිව්වාට වඩා ලොකු රස්සාවකට ගියා ... මිනිහා දැන් හමුදාවේ....
මම අද කියන්න යන්නේ කමතේ අවසානයට පෙර ලිපිය.. දේවදානය (මුලුතැන් බත) ගැන.. ඔය තිලකේ මාමා පුරන් පෙරලන්න ඉස්සෙල්ලා කතරගම දෙයියන්ට භාරයක් වෙලා පඬුරක් අහක් කරනවා.. කෙත බත සරු වෙන්න.. වන සත්තුන්ගෙන් රෝග පළිබෝධ වලින් වෙන හානිය අඩු කරන්න කියලා.. ඉතිං ගොයම කපලා බැත ගෙට ගත්තහම ඔය බාරේ ඉෂ්ඨ කරන්න ඕනි.
ඉස්සෙල්ලම තිලකේ මාමා යන්නේ බුලත්ගෙදර සීයා හම්බුවෙන්න. එයා තමයි කපු මහත්තයා. එයා දෙන දිනයක් තමයි. තවත් දාන තියෙනවනේ බාරගත්තු. සෙනසුරාදා දවසක් තමයි ගොඩාක් වෙලාවට වැටෙන්නේ. ඉතිං ඔය දේවදානෙට යන්නේ පිරිමි උදවිය විතරයි. මල්වර වෙච්ච නැති පොඩි කෙල්ලන්ට යන්න අවසර තිබ්බත් කොල්ලෝ ඇනුම්පද කියන නිසා පිරිමි තමයි යන්නේ. ඉතිං ඕකටත් බලෙන් යන්නේ නෑ කවුරුත්. ආරාධනා කරන්න ඕනි. අපිටනම් ඉතිං කොහොමත් ආරාධනා කරනවා. අපිනේ තිලකේ මාමාගේ කුඹුරු වැඩ වලින් ගොඩ හරියක් සුවෙච්චාවෙන් කරලා දෙන්නේ. දේව දානේ දෙන්නේ කමතේ.
මම ගමේ ගිය වෙලාවේ කරුණේ මාමා හම්බුවෙලා දේවදානේ ගැන විස්තර ටිකක් අහන්න ගත්තේ මගේ මතකෙනුත් ඔය ගැන විස්තර ගිලිහිලා ගිහිල්ලා හිංදා. මිනිහා අදි මදි කරද්දි මම පත්තරේට මේක දානවා කියලා විස්තරේ අහගත්තේ.
අපේ නමත් එහෙනම් දාපං කියලා කිව්වා.
ඔන්න අපි රතු පාට කහ පාට අනේකවිධ මල් අරගෙන හිරමනේකුත් කරේ තියාගෙන උදෙම්ම තිලකේ මාමලගේ කමතට ඇදෙනවා. ගිහිල්ලා ඉතිං පොල් ගානවා. කෙසෙල් ගස් කපාගෙන එනවා. පතුරු ගලවනවා. කෙහෙල් කොල කපනවා. එවුවා හෝදනවා. පොල් කෑලි කපනවා. හකුරු කෑලි කපනවා. කෙසෙල් ගෙඩි වල අගිසි මුල් කපනවා. ඔය වගේ වැඩ තමයි අපිට බාර. දේව පූජාව තියන තට්ටුව හෙවත් මල් ආසනය හැදීම සහ දානය සකස් කිරීම ඔය කරුණෙ මාමලා තිලකේ මාමලා වගේ වයසක උදවියට බාරයි. ඉතිං මේ දානෙට ඉස්සෙල්ලාම කුඹුරෙන් කපලා අයින් කරලා තිබ්බ වී ටික හාල් කරලා ගන්නවා .. මුල් අස්වැනු බත ... මුල්තැන් බත...දේව දානය ඔය එක එක පලාත් වල එක එක විදියට කියනවා. ඉතිං ඕකට ඕනි හාල් (මුල් සහල් සමඟ කළවම් කල සහල්) සීනි.. පොල්...හකුරු.. කෙසෙල් සහ පළතුරු .. කහ..ලුණු.. මුං ඇට.. කඩල.. කරද මුංගු..හඳුන්කූරු..කපුරු..පොල්තෙල්..පහන්තිර..කෙහෙල් කොල ...කළමනා ටික..
ඉස්සෙල්ලාම මුං ඇට ලිප තියනවා. පස්සෙ මුං ඇට තැම්බීගෙන එනකොට හාල් ලිප තියනවා.. දැන් මුං ඇට තැම්බුනාට පස්සේ බත් එකට කලවං කරනවා..මුද්දරප්පලං වගේ ඒවත් .. කරදමුංගුත් මේ වෙලාවෙම මිශ්ර කරනවා..දැන් පොල් මිරිකගන්නවා.. සීනි දිය කරගන්නවා..මේවා ලඟ ලඟ කීප දෙනෙක් බෙදාගෙන කරනවා..දැන් අර මිටිකිරියි සීනියි දාලා අර බත ලිප තියලා හොඳට කූරෙන් කලවම් කරමින් පදමට ආවට පස්සේ බිමට බාගන්නවා.
දැන් තට්ටුව හෙවත් මල් ආසනයත් හදලා ඉවරයි.. ඒකේ ගහපු කෙහෙල් පතුරු වල මල් ගහන්නේ අපි. ඉස්සෙල්ලා බුද්ධ පූජාව තියනවා.. පස්සේ කතරගම දෙයියන්ට දේව පූජාව.. මෙතැනදි මල් වර්ග හතක් පූජාවට යොදාගන්නවා.. බුලත් ගෙදර සීයා තමයි ඔය රාජකාරිය කරන්නේ. ඉතිං අපිත් කරබාගෙන වැඳගෙන ඉන්න ඕනි.
බුද්ධ පූජාවයි දේව පූජාවයි ඉවරවෙච්ච ගමන් අපි කෙහෙල් කොල අරං වාඩි වෙනවා.. එක්කෙනෙක් දේව දානේ බෙදාගෙන එනවා. තව කෙනෙක් පලතුරු..තව කෙනෙක් හකුරු.. තව කෙනෙක් පොල්කෑලි බෙදාගෙන එනවා .. අපි දානේ අනුභව කරලා ගෙදෙට්ටත් පාර්සලයක් ඔතාන යනවා ... දානෙට නොආවත් මුළු ගමටම දානේ බෙදා හරින එක සිරිතක් ... අපූරුයි නේද? ගිහුං එන්නම් ... කමත අවසන් ලිපියෙන් හමුවෙමු....
Subscribe to:
Posts (Atom)





